රාවය

ආණ්ඩුව හොරුත් එක්ක හෙලුවෙන්

ආණ්ඩුව හොරුත් එක්ක හෙලුවෙන්

දැන් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වසා දමා තිබේ. මාස හයකට වරක් බැගින් දීර්ඝ කරමින් ආ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ විධාන පත්‍රය, ජුනි 30 වැනි දා අවසන් වීමට නියමිත ව තිබුණි. ඊට පෙර පැවැති ඇමති මණ්ඩල රැස්වීමේ දී එය දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැත. ඒ ගැන සමාලෝචනය කර පසු ව තීන්දුවක් ගන්නා බව දැනුම් දෙන ලද අතර, පසුගිය ඇමති මණ්ඩල රැස්වීමේ දී එම කාර්යාලය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය වී තිබේ.
දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවන ලද්දේ දින සීයේ ආණ්ඩුව යටතේ තිබුණු ජාතික විධායක සභාවේ තීරණයක් පරිදි ය. ලේකම් කාර්යාලයත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයත් පිහිටැවුණේ ඒ අනුව ය. ඒ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් හිත්වල තිබුණු හුදු දූෂණ විරෝධී පිරිසිදු චේතනාවක් නිසා නොවේ. ජනාධිපතිවරණයේ දී ඉස්මත්තට ඇවිත් තිබුණු දූෂණවලට හා මූල්‍ය වංචාවලට එරෙහි මහා ජනතා විරෝධය නිසා ය. ආණ්ඩුව පත්වුණු වහා ම පරණ ආණ්ඩුවේ වංචා දූෂණ අපරාධ ගැන වහවහා සොයා බැලිය යුතු බවට මහා ජනතා හඬක් ඒ වන විට නිර්මාණය වී තිබුණි. ඒ අනුව, ජනාධිපතිවරයා පත් වූ වහා ම වාගේ, 2015 පෙබරවාරි 19 වැනි දා පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයත්, එෆ්සීඅයිඩීයත් දේශපාලකයන්ගේ නොව ජනතාවගේ අයිතියකි, වුවමනාවකි.

තමන් ජනතාවට පොරොන්දු වූ බොහෝ දේවල්වලට දැනටමත් පයින් ගසා කුණු කූඩයට දමා ඇති මේ ආණ්ඩුව දූෂණ විරෝධී ලේකම් කාර්යාලයත් අවසානයේ ඒ ගොඩට ම ඇද දැම්මේ ය.
දූෂණ විරෝධී කාර්යාලය යනු අපරාධ විමර්ශන කාර්යාලයක් නොවේ. විශේෂඥ උපදේශක කාර්යාලයක ස්වභාවය ගත් එකකි. එහෙත්, කැබිනට් පත්‍රිකාවක් මගින් ඊට යම් තාක් දුරට මූලික විමර්ශන පැවැත්වීමේ බලය ද ලබා දී තිබිණ. මූල්‍ය අපරාධයක පැමිණිල්ලක් ලැබුණු විට, විශේෂඥ මණ්ඩලයක මූලිකත්වයෙන් ඒ ගැන මූලික විමර්ශනයක් කොට, වැඩි දුර කටයුතු සඳහා සුදුසු විමර්ශන අංශ වෙත යොමු කිරීම එයින් සිදු විය. පැමිණිල්ලක් ලැබුණු විට ඒ ගැන මූලික විමර්ශනය කැරුණේ ගණකාධිකාරිවරයකු, විගණකවරයකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයකු, රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරියකු හා බුද්ධි අංශයේ නිලධාරියකු යන විශේෂඥ මණ්ඩලයක් විසිනි. මේ අනුව, පැමිණිල්ලේ හැම පැත්තක් ම පිළිබඳව විශේෂඥ මණ්ඩලයක පරීක්‍ෂාවට භාජනය වී, ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්ද සිදු කොට, අදාළ ලිපිගොනු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හෝ පොලිස්පතිවරයාට හෝ අදාළ අමාත්‍යාංශයට හෝ එවැනි වෙනත් තැන්වලට යවනු ලැබේ. වැදගත් ම කාරණය නම්, ඒ ඒ විමර්ශන ආයතනයට පැමිණිල්ලට අදාළ ලිපිගොනුව ලැබෙන විට එහි සෑහෙන ප්‍රමාණයක විමර්ශන මඟ පෙන්වීමක් අඩංගු ව තිබෙන බව ය. මේ ක්‍රියාවලිය නිසා, එෆ්සීඅයිඩීය වැනි විමර්ශන ආයතනවල කාර්යය ඉතා පහසු වූ බව ඒ ආයතනවල ඉහළ නිලධාරියෝ කියති.

දැන් දූෂණ විරෝධී කමිටු කාර්යාලය වසා දැමීමට විවිධ හේතු දක්වන ආණ්ඩුව, එය පලදායක තැනක් නොවිණියැ’යි අවලාද නගනු පෙනෙයි. එහෙත් සත්‍යය සම්පූර්ණයෙන් ම වෙනස් ය. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පසුගිය දා පෙන්වා දුන් පරිදි, පසුගිය කාලය තුළ බරපතළ ගණයේ මූල්‍ය අපරාධ 481ක් ද, දූෂණ හා අවභාවිතා ගැන පැමිණිලි 547ක් ද, වෙනත් සුළු පරිමාණයේ පැමිණිලි 120ක්ද ගැන මේ කාර්යාලය විමර්ශන පවත්වා පසුව එම ලිපිගොනු අදාළ විමර්ශන ආයතනවලට යොමු කොට තිබේ. ඒ මුළු ගණන 1148කි. කමිටු කාර්යාලය හරහා එෆ්සීඅයිඩීයට යොමුකැරුණු ගොනු 329කින් 86ක් ගැන සම්පූර්ණයෙන් ම පරීක්‍ෂණ අවසන් කොට නීතිපතිවරයා වෙත යොමු කර ඇත. ඒ අතරින් 12කට දැනටමත් දිවයින පුරා මහාධිකරණවල නඩු පවරා තිබේ. ඒ අතර, කමිටු කාර්යාලය යොමු කළ පැමිණිලිවලට අදාළ මඟපෙන්වීම් අනුව විමර්ශන පැවැත්වූ එෆ්සීඅයිඩීය පමණක්, මේ වන විට රුපියල් බිලියන තුනකට අධික වංචාසහගත මුදල් හා දේපළ රාජසන්තක කොට රජයේ භාරයට එකතු කොට තිබේ. එය ම විශාල ජයග්‍රහණයකි. කමිටු කාර්යාලයේ වියදම් ගැන ද ආණ්ඩුවේ තොරතුරු වැරදි ය. පසුගිය කාලය පුරා ම කමිටු කාර්යාලයට වියදම් කොට ඇත්තේ රුපියල් මිලියන 32ක් පමණකි. එහි සාමාන්‍ය මාසික වියදම රුපියල් ලක්‍ෂ 12ක් පමණ ය.

ඒ නිසා දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වසා දැමීමේ වුවමනාව ආණ්ඩුව මේ දක්වන කරුණුවලට එහා දෙයක් බව පැහැදිලි ය. ඒ ගැන සිතන විට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව ද, ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ට හා ඔවුන්ගේ සමීපතමයන්ට විරුද්ධව ද එහි පැමිණිලි විභාග කෙරෙන නිසා, කාර්යාලය වසා දැමිණියැ’යි කියන තර්කය මඟහරින්නට බැරි ය. මෙවැනි සැකයක් ආණ්ඩුව කෙරෙහි ඇතිවීම පවා ජනවාරි 8 ජනතා අභිලාෂයන්ට එරෙහි ව යෑමකි. දැන් ආණ්ඩුව ඒ වරද කර තිබේ. හොරුන් ඇල්ලීමට එකතු කර ගත යුතු සියලු පෙරමුණු එකතු කර ගෙන හැකි ඉක්මනින් හා වුවමනාවෙන් හොරුන් අල්ලා ජනතා අභිලාෂයන් ඉටු කරනු වෙනුවට හොරුන් සමඟ එකට ලැගීම සඳහා දූෂණ විරෝධි කමිටු කාර්යාලය වසා දමන ලදැයි සිතන්නට අපට සිදු වී තිබේ.■