රාවය

පුරා විද්‍යා උරුමයන් පන්සලකටද? මුළු රටටමද?

පුරා විද්‍යා උරුමයන් පන්සලකටද? මුළු රටටමද?

කේ. සංජීව
අස්ගිරි පාර්ශ්වය නුවර දළදා මාලිගාව ඉදිරිපිටින් වැටී ඇති ඒ 26 මග අහුරමින් එය ජනයාට විවෘත නොකරමින් විශාල රණ්ඩුවක් කරමින් සිටින්නේ කාලයක සිටය. ඊළඟට ඔවුහු වර්තමාන තම නායකත්වය යටතේ රටේ පාලන කටයුතුවලටද ඍජුව අතපොවමින් සිටිති. මෑතකදී මේ පාර්ශ්වයේ සගයන් කීවේ ගලගොඩඅත්තේ හිමියන්ගේ අභිලාෂයන් සහ අරගලයන් නිවැරදි බවය. එයිනුත් නොනැවතී ඔවුන් කීවේ තමන් ඇතුළු සඟ සමාජයම අලු‍ත් ව්‍යවස්ථාවකට විරුද්ධ බවය. ඊළඟට ඔවුහු වර්තමානයේ පරණ ප්‍රශ්නයක් අලු‍ත් බෝතලයක දමාගෙන පැමිණ රජයටද සමස්ත සමාජයටද අභියෝගයක් එල්ල කරමින් සිටිති. ඒ දඹුලු‍ විහාර ගැටලුවයි.

අස්ගිරිය
ලෙඩ පිට ලෙඩ දමමින් මේ සෙල්ලම් පෙන්වන අස්ගිරිය පන්සල යනු කුමක්ද මුලින් විමසා බැලිය යුතුය. කුරුණෑගල රජ පැමිණි සිව්වන පරාක්‍රමබාහු රජු තම බෑණනුවන් වූ සිරිවර්ධන නම් සෙනෙවියා ලවා කටුපුලූ නගරයෙහි සෙංකඩගලපුර ශී‍්‍ර වර්ධනපුරය කරවා විහාරයක් ද කොට යාපහුවේ අච්චගිරි (අස්ගිරි) සෙනසුනේ පලාබත්ගල වනරතන තෙරුන් වහන්සේ ප‍්‍රධාන පස්නමක් වැඩමවා අභිනව විහාරයේ වඩා හිඳවීය. අද මහනුවර අස්ගිරි පාර්ශ්වය නමින් ප‍්‍රකට මෙම මූලස්ථානයයි. ගම්පළ තුන්වන වික්‍රමබාහු රජු මෙම විහාරයට අයත් ගෙඩිගේ විහාරය (ආදාහන මළු විහාරය) ඇතුළු විහාරයන් කරවා පූජා කළ බව කියැවේ. ශ්‍යාමෝපසම්පදාවෙන් අනතුරුව අස්ගිරි මහාවිහාරයේ ප‍්‍රථම මහානායක පදවිය උරුලෑවත්තේ සිරි ධම්මසිද්ධි නාහිමි වෙත පවරා ඇත. මෙම පාර්ශ්වයේ මහානායක අනුනායක පදවි ප‍්‍රදානය මුලදී රජුන් විසිනුත්, දෙවනුව ඉංග‍්‍රීසි පාලකයන් විසිනුත් සිදුකළ අතර 1853න් පසු අස්ගිරි මහාවිහාරයේ විංශත්ද්වර්ගික කාරක සංඝ සභාවට එම බලය පවරන ලදි. මහානායක අනුනායක ලේඛකාධිකාරි පදවිවලින් සමන්විත විංශත්වර්ගික කාරක සංඝ සභාව, මහාවිහාර වංශික ශාසන පරම්පරාවට අයත් උපසම්පදා විනයකර්ම සිදු කිරීම, නායක පදවි පත්කිරීම, භික්ෂූන් වහන්සේගේ කටයුතු සොයා බැලීම ආදි ශාසනිකවූත්, ජාතිකවූත්, සාමාජිකවූත්, සංස්කෘතිකවූත්, ධර්ම ශාස්ත‍්‍රීයවූත් සේවාවන් රැසක් ඉටු කරති. මැද පන්සල, පහළ පන්සල, ඉහළ පන්සල වශයෙන් පන්සල් පාර්ශ්ව තුනක් මෙහි පවතී. මේ අස්ගිරි ඉතිහාස වරුණාව නුවර මාලිගාවේ වෙබ් අඩවිය කියන අයුරුය. තවත් මූලාශ්‍ර කියන්නේ මේ සඟ පරපුරට අවුරුදු 700ක පමණ ඉතිහාසයක් ඇති බවය. අනෙක් පැත්තෙන් මේ පාර්ශ්වයට මහියංගණ, මුතියංගණ, දඹුල්ල යන විහාරද, එහි නින්දගම්හි භුක්තියද සතුය. එනිසා මුලින්ම කිවයුතු වන්නේ මේ විහාරය සල්ලි ගුහාවක් බවය. ඊළඟට කිවයුතු වන්නේ මේ උපයන ධනයට රජය බදු පැනවිය යුතු බවය. දැන් සමහර පුද්ගලයන් මෙලෙස කිව හැක. ඔය පන්සල්වලට එකතුවෙන සල්ලි සේරම බෞද්ධ කටයුතු කොමසාරිස් හරහා රජයට යන්නේ. එහෙත් මෙය නීතියක් හෝ කටවචනයක් පමණි. රංගිරි දඹුලු‍ විහාරයේ ආදායම පසුගිය කාලයේදී භාණ්ඩාගාරයට ගිය හැටි අපට පසුවට කතා කරන්න පුළුවන්ය. දැන් දඹුලු‍ විහාරයේ ප්‍රශ්නය දෙසට හැරෙමු.

දඹුලු‍ විහාර ගැටලු‍ව
මුලින්ම මේ විහාරයේ ඉතිහාසය පිරික්සා බලමු. වළගම්බා රජු ක්‍රි.ව. 43-17 කරවූ බව සඳහන් මේ විහාරයට අයත් ලෙන් සමූහය පිළිබඳව රජුට දැනගන්නට ලැබුණු අයුරුව පිළිබඳ කතාවද මනරම්ය. දඩයමේ ගිය සීතා නම් වැද්දෙකු මෙම ලෙන පිළිබඳව රජුට දැන්වූ බවත් රජු ලෙන්වල කටාරම් කොටවා පස් පිළිම ගෙයද, මහරජ විහාරයද, දෙව්රජ විහාරයද කරවූ බවත් එම කතාවයි. මෙම විහාරය වළගම්බා රජු කරවූ බව සඳහන් වන්නේ රාජරත්නාකරයේ හා මෙම විහාරය පිළිබඳ ලියා ඇති තල්පත්වල පමණි. ක්‍රි.ව. 1187-1196 කාලයේදී නිශ්ශංකමල්ල රජු විහාරය ප්‍රතිසංස්කරණය කරවා පිළිමවල රන් ‍ආලේප කළ බවත් එසේ හෙයින් එය රංගිරි දඹුලු‍ විහාරය ලෙස නම් කළ බවත්, නිශ්ශංක මල්ලගේ අභිලේඛන කියයි. මෙහි ලෙන් විහාර පහක් වන අතර අලු‍ත් මහා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූ බවත් දෙවන අලු‍ත් විහාරය 18 වන සියවසේදී දුල්ලෑවේ අදිකාරම් විසින් කරවන ලද බවත් මූලාශ්‍ර කියයි. මේ විහාරයේ ඇති වැදගත්කම කුමක්ද, එය නම් අන් කිසිවක් නොව මෙම විහාරය ලංකාවේ ඇති විශාලතම, මහනුවර යුගයට අයත් බිතුසිතුවම් සහිත කලාගාරය වීමය. මෙහි ඇති සම්පූර්ණ පිළිම ගණන 153කි. වළගම්බා රජු, නිශ්ශංකමල්ල රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු යන රජවරුන්ට අයත් ප්‍රතිමා තුනක් ද උපුල්වන්, තාරා දෙවඟන, නාථ විෂ්ණු යන දේව රූප 4ක් ද මෙහි දක්නට ලැබේ. මෙහි සිතුවම් කර්මය සිලගම පරම්පරාවේ සිත්තරුන් කර ඇත. ඇත්තට නම් මේ කලාගාරය අයිති රටටය. ජනතාවටය. එනිසාම එය සුරක්ෂිත කර පවත්වාගෙන යෑම රජයේ වගකීමක්ය. දැන් සිද්ධවී තිබෙන්නේ මේ කලාගාරය තට්ටු මාරු ක්‍රමයට සඟ නායකයන් කියාගන්නා පුද්ගලයන් අයිතිකරගෙන භුක්ති විඳීමය. ඒ ලක්ෂ ගණනින් මුදල් හම්බ කරගැනීම සඳහාය.

මේ ලෙන් විහාර සංකීර්ණය සහ එහි ඇති සිතුවම්වල කලාත්මක අගය නිසාම මේ ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් වන්නේ 1991 තරම් ඈතකදීය. ඒ නිසාම මේ ස්ථානය විදේශ සංචාරකයන්ගේ ප්‍රියතම නැරඹුම් ස්ථානයක් වන අතර විහාරයට ලැබෙන ආදායමද ලක්ෂ ගණනින් ඉහළ යයි. ඇත්ත වශයෙන්ම නම් එම මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලට යායුතු වුවත් යන්නේ ලොකු හිමියන් වෙතය. ඒ නිසාම ඉනාමළුවේ සුමංගල හිමි මේ විහාරය පසුගිය කාලයේ තමන්ගේ හිතුමනාපයට පාලනය කළ අතර ඒ හිමියෝ මේ ස්ථානයේ නොයෙකුත් ඉදිකිරීම් සහ වෙනස්කිරීම් කළහ. ඒ හිමියන් මේ ලෙන්විහාර සංකීර්ණයට මුහුණලා එයට යාබදව උයන්වත්ත පන්සල වැඩි දියුණු කළ අතර රන් පිළිමයක්ද ඉදිකළේය. යම් ස්ථානයක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් කළේ නම් ඔවුන්ගේ නිර්ණායකයන්ට යටත්ව එම ස්ථානයේ ඉදිරි කටයුතු සිද්ධ විය යුතුය. ඒ නිර්ණායකවලට අනුව ලෝක උරුමයේ සිට මීටර් 500ක දුර ප්‍රමාණයක වෙනත් ඉදිකිරීම් නොකළ යුතුය. එම තත්ත්වය සහ සුමංගල හිමියන්ගේ තවත් බොහෝ ක්‍රියාකලාපයන් නිසා යුනෙස්කෝ නිර්ණායකද මෙරට පුරාවිද්‍යා අණපනත්ද අමුඅමුවේ උල්ලංඝනය වූ අතර ඒවා ඉදිරියේ බලධාරියෝ නිවටයන් මෙන් කටයුතු කළෝය. සුමංගල හිමියන් මේ පිළිමය නිර්මාණය කළේ පුරාවිද්‍යා කොමසාරිස් ලෙස ශිරාන් දැරණියගල මහතා කටයුතු කරන අවධියේ බවද සඳහන් කළයුතුය. ඒ අනුව මේ හිමියන් එකල කටයුතු කළ අත්තනෝමතික ස්වරූපය සිතාගත හැකිය. මේ සියලු‍ දේවල් හමුවේ අස්ගිරිය ගල් ගිල සිටියේය. විහාර නින්දගමේ ජීවත්වෙන අසරණ මිනිසුන්ටද නොයෙකුත් අඩන්තේට්ටම් විඳින්නට සිද්ධ විය. ඔවුහු ඒ දුක අරගෙන නුවර ගියෝය. ඒත් අස්ගිරිය කටක් හෙල්ලු‍වේ නැත. එදා අස්ගිරිය මේ විනාශයට විරුද්ධව වැඩ කළේ නම් ලෝක උරුමයෙන් ඉවත්වීමේ අවදානමද, මෙලෙස පන්සල වසා ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාවද නැත. මහින්ද රෙජීමය පරාජයට පත්වූ පසුව සුමංගල හිමියන් පැත්තකට විසිවූ අතර අද අස්ගිරියට නැවත දඹුල්ලේ අණසක පතුරවන්නට අවස්ථාව ලැබී ඇත. එනිසා දැන් අස්ගිරි කටට පණ ඇවිත්ය.

පන්සල වහනවා
පසුගිය 10 වැනිදා රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය තීරණය කරන්නේ මේ ලෙන් විහාර සංකීර්ණය තාවකාලිකව වසා දමා සංරක්ෂණ කටයුතු සිද්ධ කරන්නටය. එහි අවසාන අරමුණ ලෝක උරුම ලැයිස්තුවෙන් මේ විහාරය කැපීයෑම වළක්වා ගැනීමය. මේ කටයුතු මේ වර්ෂය අවසන් වනවිට අවසන් කළයුතුය. මේ තීරණය ගන්නට බොහෝ කලින් මේ ප්‍රතිසංස්කරණයන් සඳහා පුරාවිද්‍යාව කටයුතු කර තිබූ අතර පසුගිය 25 වැනි දිනය වනවිට ඒ කටයුතුවල නිරත නිලධාරීන් පන්සලෙන් ඉවත් කිරීමට විහාරයේ නායකකාරකාදීන් කටයුතු කළ බව පුරාවිද්‍යා කොමසාරිස් 26 වැනි දිනයේදී මාධ්‍ය සාකච්ඡාවක් තබමින් කීවේය. ඔහු තවදුරටත් කීවේ මේ අවහිර කිරීම් නිසා දැනට රසායනික වර්ග ආලේපනය කළ සිතුවම් විනාශවී යාහැකි බවය. මේ අද භික්ෂූන්ට ලැබී තිබෙන බලයක දිග සහ පළලය. ඇත්තටම මේ ගැටලු‍වේ ආරම්භය මෙතැනය. අනෙක් හේතුව වන්නේ මේ උපදේශක මණ්ඩලය, මේ විහාරයට සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් පැරණි ක්‍රමවේදයටම මධ්‍යම සංස්කෘතික අරමුදලට යැවිය යුතුයැයි තීරණය කිරීමය. අපට නම් හිතෙන්නේ අස්ගිරිය අවි අමෝරා ගන්නට ප්‍රධාන හේතුව මෙය විය හැකි බවයි. මෙලෙස පුරාවිද්‍යාවට අදාළ අමාත්‍යවරයා වන අකිල විරාජ් මේ විහාරය තාවකාලිකව වසා මේ කටයුතු සිද්ධ කරන බව කියන විට බෞද්ධ කටයුතු කොමසාරිස් පත්කළායැයි කියන භාරකාර හිමි, අඹගස්වැව රාහුල හිමියන් කියන්නේ මේ නියෝගය නීතියට පටහැනි බව නුවර බෞද්ධ කටයුතු කොමසාරිස් කිවූ බවය. ඒ නිසාම තමන් කිසි ලෙසකින්වත් විහාරය වසන්නට හෝ මේ තීරණ ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන බවය. ඒ මාධ්‍ය සාකච්ඡාවක් තබමින්ය. ඒ අවස්ථාවේ ඒ හිමියන් ළඟින්ම සිට අදහස් දක්වන චණ්ඩි පන්නයේ හිමිනමක් (අම්බුළුගල වාචිස්වර) කියන්නේ හොඳින් ආවොත් ඔටුනු පළඳන්නට ද, නරකින් ආවොත් නරකින්ම බේරගන්නටද සූදානම් බවය. මේ තර්ජනය ඒ හිමියන් කරන්නේ ආණ්ඩුවටය. දැන් නීතිය කොහේද තියෙන්නේ අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නෙමු. ගල් කණුවක් වටේ සැක කටයුතුව හැසිරුණත් නිධන් හාරන්නට පැමිණියායි කියා අත්අඩංගුවට ගන්නා රටේ මේ පුරාවිද්‍යා විනාශයට කටපියාගෙන බලා සිටීම අඟවන්නේ කුමක්ද? මේ ගණින්නාන්සේලා කුමක් කළත් එය ඉවසන්නට ආණ්ඩුව සූදානම් බවය. මේ පිළිබඳව හරි අපූරු ප්‍රකාශයක් පසුගියදා අගමැතිවරයා මාධ්‍යයට කියා තිබුණි. එහිදී ඔහු කියන්නේ ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් කරගන්නවාද නැද්ද කියා අස්ගිරියේ මහනායක හිමියන්ට තීරණය කළ හැකි බවය. තමන්ට එම තීරණය කුමක් වුවත් කම් නැති බවය. මෙලෙස ප්‍රශ්න විසඳීමට අගමැතිවරයෙක් කුමකටද? ප්‍රශ්න කළ යුතුය. මේ කලාකෘතීන් පිළිබද අයිතිය පිරිසට ලබාදෙන්නේ ඇයි? ඇයි එසේ නම් උපදේශක මණ්ඩලයක්? මේ ආණ්ඩුව දැන් දිනෙන් දින විහිළු සපයමින් සිටිනවා විනා කරන මඟුලක් නැත. අනෙක් පැත්තෙන් දඹුල්ල විහාරය වැසුවහොත් තමන් දඹුල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වෙන බව තවත් විකට රූපයක් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කර තිබුණි. මේවාට අපට කියන්නට වන්නේ අනේ අපොයි කියා පමණි.

දෛනික ආදායම ලක්ෂ 35යි
මේ විහාරයේ රුපියල් කෝටි හත්සීයකට අධික මුදල් වංචාවක් සිද්ධවී ඇති බවත් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවත් කියන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකය. ඔහු එලෙස කියන්නේ ඇයි? මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පාලනය වන සිද්ධස්ථානවල ප්‍රවේශපත්‍ර අලෙවිය එම අරමුදලෙන් සිදුවිය යුතු වුවත් සුමංගල හිමියන්ගේ පාලන කාලයේදී ඊට එම අරමුදලට ඉඩ ලැබුණේ නැති නිසාය. ඔහු තවදුරටත් කියන්නේ එක් අවස්ථාවකදී පමණක් රුපියල් 280,000ක මුදලක් තමන්ට ලබා දුන්නද මූල්‍ය පාලන කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමට සුමංගල හිමි කටයුතු නොකළ බව ය. මේ තොරතුර මගින් මේ විහාරය අරබයා අස්ගිරි පාර්ශ්වය නටන නාඩගමේ තානය සොයාගත හැකිය. අවසාන වශයෙන් අපට කියන්නට වන්නේ මේ කලාකෘතීන්හි අයිතිය මේ පිරිස් අතට පත්කිරීම නතර කරන්නට දැන් කාලය එළැඹ ඇති බවය. මෙවැනි ස්ථානවලින් භික්ෂූන් වහන්සේ ඉවත්කර මේවා නිදහස් කලාගාර ලෙස පවත්වාගෙන යෑමට යම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවය. බුදුන් වඳින්නට අවශ්‍ය නම් ඒ සඳහා පන්සල් ඕනෑවටත් වැඩිය තියෙන රටේ මෙවැනි තැන හත අටකින් මේ සංඝයා වහන්සේ ඉවත්කළාට ප්‍රශ්නයක් වන්නේ නැත. එය එම කලාකෘතීන්හි අනාගතයට මෙන්ම රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවටද හිතකරය.■