රාවය

කලිසම් ගැලවීම සහ මෙරට ක්‍රීඩාව

කලිසම් ගැලවීම සහ මෙරට ක්‍රීඩාව

ටිරන් කුමාරබංගගම ආරච්චි
කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී තරග වැදි සියලු තරග පරාජය. එය අවමානයක් නොවේද? විලිලැජ්ජා නැති වැඩක් නොවේද? ඒ ගැන හාංකවිසියක් නොසිතන අය සිම්බාබ්වේ පරාජය අවමානයක් සරදමක් ලෙස සලකන්නේ ඇයි?

මුලින් කිව යුත්තේ කාන්තා ක්‍රිකට් පරාජයන් සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිල තරගාවලිය පරාජය වීමත් අපට නම් මහා පුදුම සහගත දෙයක් නොවන බවය.

ක්‍රීඩාවේ ජයග්‍රහණය විනා පරාජයක් නැත. එහෙත් දක්‍ෂතා මත ජය පරාජය තීරණය වේ. කිසිදු විචාරකයෙකු නොකියන දේ නම් සිම්බාබ්වේ කණ්ඩායම දක්‍ෂ බවය. ඔවුන් අප මීට පෙර දැක දැන සිටි සිම්බාබ්වේ නොවේ. කාලයත් සමඟ ඔවුන් සිය දක්‍ෂතා කුසලතා වර්ධනය කරගෙන ඇත. එය සැලසුම් සහගතව සිදු වූ දෙයක් බව මෙවර පැහැදිලිය. සෑම තරගයකම පාහේ ලකුණු 300 කඩඉම පහු කරන්නට ඔවුන්ගේ පිතිකරුවෝ සමත් වූහ. එයම අපූරුය. කිසිවකු අවතක්සේරු කළ යුතු නැත. අප සිම්බාබ්වේ දෙස බැලුවේ අවතක්සේරුවෙනි. ඉන්දීය පිල දෙස බලන්නේ අධිතක්සේරුවෙනි. ක්‍රීඩාව දෙස එලෙස බැලිය නොහැකිය.

සිම්බාබ්වේ පිලට වර්ධනය විය නොහැකිද? ඔවුන්ට කවදා හෝ ලෝක කුසලානයක් දිනිය නොහැකි ද? ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මෙන්ම මෙරට ක්‍රීඩාව ගැන ලියන අයටද ක්‍රීඩා ප්‍රේක්‍ෂකයාටද මෙවැනි දෙයක් නොසිතෙන ලෙඩක් ඇත. ඔවුන් සිතනුයේ සිම්බාබ්වේ වැනි කණ්ඩායමක් පරාජය විය නොහැකි බවය. ඇමතිවරයෙකු කියනුයේ අප බංග්ලාදේශයටත් පරාජය වන බව තමා කල් තියාම කී බවය. බංග්ලාදේශයට ජය ගත නොහැකිද? බංග්ලාදේශය මෙන්ම සිම්බාබ්වේද පෙරළිකාර ලෙස ඉදිරියට එනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන් දිනන්නට තරග කරන නිසාය. නැති වෙන්නට දෙයක් නැති තැන ඇති කරගන්නට තරග කරන නිසාය. අපි ලෝක ශූරයන් වුණැයි පාරම් බාමින් තවමත් කල් ගත කරමු. එය දිනුයේ 1996 දීය. එම ජයග්‍රහණය ගෙන වසර 21ක් ගෙවී ඇතත් අපට ඉන් පසු ලෝක ශූරයන් විය නොහැකි විය. එහෙත් තවමත් සිටිනුයේ ලෝක ශූර මානසිකත්වයෙනි.

20 -20 ලෝක ශූරයන් වුවද එය එතරම් ගණන නොගන්නා තත්ත්වයක්ද පිරිසකගෙන් දක්නට ඇත. වඩා ප්‍රමුඛ තැන තවම දෙන්නේ 96 ලෝක ශූරයන්ටමය. 96 දී ලෝක ශූරයන් වන්නට පෙර අප කණ්ඩායමක් ලෙස සිටියේද බංග්ලාදේශ, සිම්බාබ්වේ මට්ටමේ මය. අමතකව ඇත්තේ ඒ යටගියාවමය. ඒ නිසා සියල්ල නිමා වූ තැනින් ක්‍රිකට් ගැන ලිවීම පිස්සුවකි. මේ එක් තරගාවලියකි. අපට නම් කිව යුතුව ඇත්තේ සිම්බාබ්වේ පිල සැහෙන ඉදිරිගාමී වී ඇති නොව හෙට මුහුණ දීම අපට නොව හෙට දවසේ කාට වුව ලේසි පහසු නොවනු ඇතිය. ක්‍රිකට් තාක්ෂණයේ අමුතු රහස් නැත. දැන් සියල්ල විවෘතය. ඕස්ටේ්‍රලියාවෙන් එය ඉන්දියාව සියතට ගන්නා විට ක්‍රිකට් ක්‍රීඩාවම රස්තියාදුකාර වී ඇත. ගමේ චණ්ඩි ලෙවල් එකට ක්‍රීඩා කළ රටාව නැවත අත්හළ යුතු බව සිම්බාබ්වේ පාඩමක් කියා දේ. අපද ලෝක ශූර මානසිකත්වය අමතක කොට ලෝක ශූරයන් වන්නට වෙර දරන කණ්ඩායමක් ලෙස වර්ධනය විය යුතුය. සිම්බාබ්වේ හරහා උගත යුත්තේ එයය. ඕනෑම කණ්ඩායමක් පෙරළිකාරයන් විය හැකිය. එය අවමානයක් නොවේ. කැපකිරීම්වල අග්‍ර ඵලයකි.

* * *
ඉන්දියාවේ පැවති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් සහ රිදී පදක්කම් හතරක් ජය ගැනීමට සමත් විය. මෙය පදක්කම් නියඟයට වැටුණු මල් වැස්සක් ලෙස ක්‍රීඩා ඇමතිවරයා දකින බව පෙනේ. ජයග්‍රහණවලින් ක්‍රීඩා ඇමතිවරයා බැබලෙන්නා සේම පරාජයන් තුළින් ක්‍රීඩා ඇමතිවරයා බංකොළොත් වන බවද මෙරට නිර්ණායකයය. ක්‍රීඩා ඇමතිවරු වැඩ කරන්නෝද එවැනිම කෝවක සිටය. ක්‍රිකට් ගැන කතා නොකර මලල ක්‍රීඩාව ගැන ඇමතිවරයා කතා කරන්නේ ඒ නිසාය. මේ ඇති වෙනුවට මේ මදි කියන තැනට අප තල්ලු විය යුතුය. ක්‍රීඩා ඇමති මලල ක්‍රීඩාවෙන් ලද පදක්කම් හරහා ඉපිළ ගොස් ඇති බව සැබෑය. එය හොඳය. වටෙන්ම විවේචන චෝදනා එල්ල වෙන මොහොතක පදක්කම් දිස්නය ඇසට ප්‍රියය. අප ඉන්දියාවේ පදක්කම් පහක් දිනුවද ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට යාමට සුදුසුකම් ලබනුයේ එක් අයෙකු පමණි. ඒ නිමාලි ලියනාරච්චිය. ඒ මිටර් 800 ඉසව්වෙන් රන්පදක්කමට උරුමකම් කියමින් (මි.2.05.23) කින් තරගය නිමා කළ නිසාය. ගයන්තිකා අබේරත්න මෙම ඉසව්වේම රිදී පදක්කම දීනා ගත් අතර ඇය එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද උරුමකම් කියන්නීය. ඒ අනුව එම ඉසව්වේ ලොකු තරගකාරීත්වයක් පවතින බව පැහැදිලිය. එසේනම් ක්‍රීඩා ඇමතිවරයාට විදෙස් පුහුණුව ලබා දී ඉදිරියට ගත හැකි ක්‍රීඩිකාවෝ දෙපළක් දැන් සිටිති. එමෙන්ම සෙසු අයද ඉදිරියට රැගෙන යෑමට අපහසු අය නොවන බව පැහැදිලි මුත් ලෝකයා හමුවේ මීටර් 100 -200 ඉසව්වල අද ප්‍රවණතාව සහ ලංකාවේ තත්ත්වය අනුව බලන කල ලේසි පහසු නැතත් සාග් සහ ඊට ළඟ තරගාවලි දිනීමට අප පුහුණු විය යුතුය. ඒ අනුව මේ පදක්කම් සමඟ ක්‍රීඩා ඇමතිවරයා ලබන අවංක සතුට අගය කළ යුතුය. එමෙන්ම මෙම පදක්කම් ලාභීන් පිළිගනිමින් ඔහු කරන කතාවේ ඉතාම හරවත් කොටසක් ඇත. එනම් හිටපු මලල ක්‍රීඩා සභාපති සුගත් තිලකරත්න සිහිකරවීමය. ක්‍රීඩා ඇමතිවරයා මැතකදී කළ හරවත්ම කතාව එය යන්න අපගේ හැඟීමය. මේ පදක්කම් පිටුපස ඇත්තේ සුගත්ගේ සෙවණැල්ලය. පාලිතලා වැඩ බාරගෙන මසක් වැනි කෙටි කාලයකදී පදක්කම් රැගෙන එන්නට ඉඩ සකස් කර ගත්තද සුගත්ගේ දෙවසරක පාලන කාලය තුළ මේ සියල්ල ශක්තිමත් වූ බව නොකිව මතය. එය මතක් කර දීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අතීතය සහ වර්තමානය අතර දෝලනය වන අනාගතය ගැන සිතන චරිතයක් බව පැහැදිලිය.

අද ක්‍රීඩාව කඩා වැටී ඇත. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඒ සියල්ලට එකම හේතුව දයාසිරි ඇමතිවරයා නොවේ. ඔහු පත්ව වසර දෙකක් පමණය. ඊට පෙර සිටම ක්‍රීඩාව කඩා වැටෙමින් පැවතුණි. එය එකවර නවතා දැමීමට ඔහුට කළ හැකි දෙයක් නොවේ. එහෙත් ඔහුගේ දෙවසර තුළ ද අඩුපාඩු එමට විය. එහෙත් ඒවා හරි ගස්සා ගනිමින් ඉදිරියට යාමට ඔහුට හැකියැයි දැනට ඇති විශ්වාසයය. එහෙත් එය අප අදහන්නක් නොවන බවද කිව යුතුය. ඇතැම් අය අපට කියනුයේ දැන් දයාසිරි ක්‍රීඩාව බේරා ගනිතැයි අප අන්ධ වී ඇති බවය. ඒ මහත්වරුන්ට කීමට ඇත්තේ අප අන්ධ වී නැත. එහෙත් දැනට අප විශ්වාස කරන බවය. එය ඕනෑම මොහොතක පළුදු විය හැක යන්නය.

* * *
සියලු ක්‍රීඩාවේ තරම තේරුම් ගත හැකි මහඟු ආදර්ශය නම් සූරියවැවදී තරුණයන්ගේ කලිසම් ගලවා ගැනීමෙන් පැහැදිලිය. තිලංග සුමතිපාලලාගේ කතාව නම් බෝධිසත්ව ලීලාවටය. එහෙත් ක්‍රියා එලෙසය. පසුව කම්පා වී පලක් නැත්තේ දැන් ක්‍රියාත්මක වන්නේ තිලංගගේ අණ බැවිනි. මේ තිලංගගේ මිනිස්සුය. ඉතින් ලාභ ලබන වායැයි කියන ක්‍රිකට් ආයතනයේ බාල වැඩය. හිරිකිත. වැඩය. ලංකාවේ ක්‍රිකට් මහත්තුරුන්ගේ කරන්නට වෙර දරන පරිපාලනය මහත්වරුන්ගේ තරම මෙබඳුය. මෙය සමස්ත ක්‍රීඩාවටම සිදු වී ඇති ඛේදවාචකයකි. ක්‍රීඩාවේ කලිසමම ගලවා ඇත. එය අන්දවනවාද යට ඇඳුම පිටින්ම යනවාද යන්න වත්මන් ක්‍රීඩා ඇමති සතු වගකීමකි.■