රාවය

බොක්සිං තහනම්

බොක්සිං තහනම්

ඒ.වික්‍රමසුරිය
මූල්‍ය ගනුදෙනු විගණනය නොකොට පවත්වන ලද බොක්සිං නිලවරණයෙන් පත්වූ සියලුම නිලතල අහෝසි කොට එම සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ ගිය සති අන්තයේය.
ඒ අනුව මෙවර නිතරගයෙන් තනතුරු බෙදාගත් බොක්සිං නිල මඬුල්ල නිරායාසයෙන්ම අහෝසි වේ. අහෝසි කළ බොක්සිං සංගමයේ පරිපාලන කටයුතු තාවකාලිකව කිරීම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටම පැවරී ඇත. ඒ නැවත නිලවරණයක් පවත්වන තෙක්ය.

බැලූබැල්මටම පෙනී යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය නීති රාමුවේම සියල්ල සිදුකරන බවය. කොටින්ම තිතට වැඩ කරන බවය. නීතියට පිටින් ක්‍රීඩා පනතට පිටින් නව රෙගුලාසිවලට පිටින් කවුරු හෝ අඩියක් හෝ තබන්නට ක්‍රියා කළහොත් ඒ කකුල අහකට කරන්නට වන ඉක්මන මේ හරහාම පැහැදිලිය.
නව රෙගුලාසිවලට අනුව අකුරටම නිලවරණ පැවැත්වෙන බව කොතරම් කයිවාරු වුවද සංගම් කිසිදු හිරිකිතයකින් තොරව ඒවා කඩාබිඳ දමා නිලවරණ පැවැත්වීම සිදුවිය. බැඞ්මින්ටන් සංගමයද එයම කළේය. ඔවුහු ක්‍රීඩා බලධාරීන් පයිසයකට මායිම් නොකර නිලවරණය පැවැත්වූහ.

ඒ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා සිටියේ විදෙස්ගතවය. ඔහු ආ සැණින් බැඞ්මින්ටන් නිල මඬුල්ලටද මෙවැනි තහනමක් පැනවීය. එහෙත් අදටත් එහි නිලවරණය නොපැවැත්විණ. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එහිද වැඩ බලන තැන වී ඇත. බැඞ්මින්ටන් සංගමයද කර ඇති වරද පසුගි ය වසරේ මූල්‍ය කටයුතු විගණනය කොට විගණන වාර්තා නොදීමය. බොක්සිං සංගමයේ වරදමය. එහෙත් බැඞ්මින්ටන් සංගමයේ පත් වූ නිලධාරීන්ට විගණන වාර්තා ලබා නොදී නිලවරණය පැවැත්වීමේ වරදට එම නිලධාරීන් තහනමකට ලක්කරන බවද ඇමතිවරයා පැවසීය. එහෙත් එම අවදානම බොක්සිං නිලධාරීන්ට නොවේ. එයට විවිධ හේතු ඇත. ඉන් ප්‍රධාන හේතුව මෙය තනිකරම හිටපු සංගමයේ වරදකි. ඒ නිසා පත්ව ඇත්තේ සුපිරිසිදු මිනිසුන්ය. ඔවුන්ට සාධාරණය විය යුතුය. යන තැන අද ක්‍රීඩා බලධාරීහු සිටිති. බැඞ්මින්ටන්වලට එක විදිහක් සහ බොක්සිංවලට තව විදිහකටත් සැලකීම ක්‍රීඩා පරිපාලනයේ බංකොළොත්භාවයම පෙන්වීමකි.

නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන්නා සේම මේ පත් වූ බොක්සිං නිලධාරීන් ද විගණන වාර්තා දිය යුතුව ඇතැයි නොදන්නේද? නිතරගයෙන් සියල්ල පත් වන්නේ නම් ඒ පරිදිම ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියල්ල නිරවුල් කොට පරිපාලනය බාර ගන්නට මේ අය නොඉවසුම් ඇයි?
ක්‍රීඩා බලධාරීන් නොදන්නා තොත්ත බබාලා ලෙස කටයුතු කළද පසුගිය කාලය පුරාම බොක්සිං පරිපාලනය කළේ ඩයන් ගෝමස්ම බව අපට රහසක් නොවේ. එය රස රහසක් ලෙස රකිමින් ඩයන්ලා සුදනා කිරීම ක්‍රීඩා පරිපාලනයේ සිල්ලරකමකි. ඩයන් ගෝමස් දීර්ඝ කාලයක් බොක්සිං සංගමයේ රැඳුණු අතර බොක්සිං ක්‍රීඩාව පාතාලයටම ඇදදැමීය. බොක්සිං ක්‍රීඩාවේ තිබූ ගුණය අන්තයටම පිරිහීගිය කෙසේ හෝ දිනන මානසිකත්වයේ සිට ක්‍රීඩකයන් බිලිකොක්කේ ඇමිණු මාළුන් බවට පත්කළ අතර මාළු බාන්නා බවට ඔහු පත්විය. අවසානයේ ඔහු මහා ඉහළින් පාරම් බා තරග කළ ක්‍රීඩකයෝ තහනම් උත්තේජකවලටද හසුවූහ. මේ අල්ලපනල්ලේ මඳකට බොක්සිං පරිපාලනයේ පිටුපසට වී මුහුණ හංගාගත් ඩයන් ඒ වෙනුවට තමාට අවනත රූකඩ පත්කොට බලය තිරය පිටුපස සිට ගෙනගියේය. නැවත තරග කිරීමේ දොරගුළු නව රෙගුලාසි සමඟ ඇතිවන විට කරලියට ආයේය.

ඩයන් නිලවරණයට පෙර විගණන වාර්තා ලබා දිය යුතු බව නොදන්නේද? ඒ කිසිවක් නොමැතිව නිලවරණය පවත්වා නිතරගයෙන් පත්වී ලබන වසරේ කොමන්වෙල්ත් යන පිලට බොක්සිං ක්‍රීඩකයන් දුසිමක්ම දමන්නට වලිකන්නේ ඉහත නීති නොදැනද? නිලවරණයට පත්වන විට ඔහුද ක්‍රීඩා ඇමති සතයකට මායිම් නොකළ බව සැබෑය. ඒ ඔවුන් ව්‍යාපාරිකයන් ලෙස සිටිනුයේ හැම ඇමතිම තමන් යටතේ යන සිතුවිල්ලේ නිසාය.
බොක්සිං සංගමය අහෝසි කොට නැවත මොවුන්ට එන්නට බාධාවක් නොවන කල ඩයන්ගේ සිතීමේ වරදක් නැති බවද පැහැදිලිය. නීතියට පිටින් පත්වන කෙනා කවුරු වුව ඔහු නීති විරෝධීය. එය බැඞ්මින්ටන්වලට මෙන්ම බොක්සිංවලටද පොදුය. 2006 වසරේ සිට බොක්සිං සංගමයේ ප්‍රධානියා වූ ඩයන් ගිණුම් වාර්තා ලබා දිය යුතු බව නොදන්නේ ද? එසේනම් මේ රෙගුලාසිවල පමණක් තිබූ කරුණක්ද එය මේ විහිළු සපයනුයේ කාටද? ක්‍රීඩා බලධාරීන්ද කියනකොට එහෙමය. කරනකොට මෙහෙමය.

පසුගිය කාලය පුරාම බොක්සිං ක්‍රීඩාවේ ගෝඞ් ෆාදර් ඩයන් ගෝමස් හැසිරුණේ ලබන වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට බොක්සිං ක්‍රීඩාවෙන් පමණක් දොළොස් දෙනකු හරින්නටය. අනෙක් ක්‍රීඩා හෑල්ලු කරන ඩයන් බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කම් පහක් ගත හැකි යැයි කට මෑත දොඩවති. ඒ පස්දෙනා සොයා ගැනීමට දොළොස් දෙනාම හැරිය යුතුය. ඉන් දහයක් යැවුහොත් සමහර විට දිනන දෙන්නා තබා ගියා විය හැක. හත් දෙනෙක් යැව්වද දිනන පහම තබා ගියා විය හැකිය. එබැවින් මේ ජය සොයා ගැනීමට දොළහම ඇරිය යුතුය. මේ බහුබුත මොහු මීට පෙර පාලකයාව සිටියදීද කළේය. අපි එවිට ඔලිම්පික් පදක්කම්ද දිනා තිබුණු සැමට වැටෙන්නට පහරදී තරග කරන්නද කෙනෙක් තරගයට පෙර සිටියේ නැත. ඒ නාඩගම බැලූ අයට මේ නාඩගම පෙනෙන්නේද ඒ අරුතෙන්ම ය. තවත් ක්‍රීඩකයන් ටිකක් පිස්සන් වී සිය දිවි නසා ගන්නට උත්සාහ කළොත් අප පුදුම වියයුතු නැත. මන්ද මේ බොක්සිං පරිපාලනයම උමතුය. තාවකාලිකව අහෝසි කළද නැවත එන්නේද ඔවුන්මය. ගිණුම් ඉදිරිපත් කළ යුතු බව ඩයන් නොදනී. එහෙයින් හෙට දවසේ කෙසේ හෝ විගණන වාර්තා ඉදිරිපත් වනු ඇතිය. ක්‍රීඩා බලධාරීන්ගේ මේ බබා වැඩ ක්‍රීඩාව තව තවත් බාලකරනු විනා දියුණු කරනු නම් පෙනෙන්නට නැත.■