රාවය

‘සුදු වෑන් සංස්කෘතිය’ හෙවත් බලහත්කාරී අතුරුදහන් කැරැවීම ‘ශීලයක්’ සේ රැක ගත යුතු ද, අපරාධයක් සේ පිටුදැකිය යුතු ද?

‘සුදු වෑන් සංස්කෘතිය’ හෙවත් බලහත්කාරී අතුරුදහන් කැරැවීම ‘ශීලයක්’ සේ රැක ගත යුතු ද, අපරාධයක් සේ පිටුදැකිය යුතු ද?

තුන් මැරීම පළමු ශික්ෂා පදය සේ ගන්නා ලෝකයේ එකම ආගමේ පැවිදි ප්‍රජාවකැයි සැලකෙන අස්ගිරිය පාර්ශ්වයට අනුව, බලහත්කාරී අතුරුදහන් කැරැ වීමට එරෙහි නීති ප්‍රතිපාදන සැලසීම පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය.
ප්‍රජාතන්ත්‍රවාදයේ ‘අ’ යන්න දන්නා ඕනෑම කෙනෙකු සහසුද්දෙන් පිළිගන්නා අයිතීන් ගණනාවක් තිබේ. ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් යනුවෙන් හැඳින්වෙයි. කෙනෙකුට තමන් කැමති මතයක් දැරීමේ නිදහස, එම මතය ප්‍රකාශ කිරීමේ නිදහස, තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආදි විවිධ අයිතීන් ඊට ඇතුළත් ය. අද ලෝකයේ සෑම ශිෂ්ට රටක්ම එම මූලික අයිතීන් අවිවාදයෙන් පිළිගනී. එසේ නම්, නීතියට සහ අධිකරණයට පිටස්තර මොන යම් හෝ මාර්ගයකින් කෙනෙකුගේ ජීවිතය අහිමි කරනු ලැබීමෙන් වැළැකී සිටීමටත් කෙනෙකුට අයිතියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් යමෙකුගෙන් පැහැරගනු ලැබීම මූලික අයිතියක් උල්ලංඝනය කිරීමක් වශයෙන් සැලකෙතත් අපරාධයක් වශයෙන් නොගැනේ. එහෙත් ජීවිතයක් නීති විරෝධීව පැහැරගනු ලැබීම අපරාධයක් බව, ශිෂ්ට ලෝකයේ සෑම රටකම දණ්ඩ නීති සංග්‍රහයන්ට ඇතුළත් කොට ඇත. මනුෂ්‍යයෙකුගේ පමණක් නොව, කුරාකූඹියෙකුගේ වුව ජීවිතයක් පැහැර ගනු ලැබීම පාපයක් බව, අස්ගිරි පාර්ශ්වය අනුදන්නේ යැයි සැලකෙන, බුදුන් වහන්සේගේ ධර්මය තුළ ඉතා පැහැදිලිව දේශනා කෙරේ. ‘සුදුවෑන් සංස්කෘතිය’ හෙවත් බලහත්කාරී අතුරුදහන් කැරැවීම ආගමික වශයෙන් මෙන්ම, ප්‍රජාතන්ත්‍රීය ශිෂ්ටත්වයේත් මූලධර්මයක් වශයෙන් ගත් විට පාපයක් හෙවත් අපරාධයක් විය යුතුව ඇතැයි පොදුවේ සැලකෙන්නේ එබැවිනි.

සාමාන්‍ය මිනිස් ඝාතනයක් සහ මෙවැනි අතුරුදහන් කැරැවීමක් අතර මූලික වෙනසක් තිබේ. එනම්, සාමාන්‍ය මිනිස් ඝාතනයකදී මෙන් නොව, මෙවැනි අතුරුදහන් කැරැවීමකදී, වචනාර්ථයෙන්ම ගැනෙන පරිදි, ඝාතනයට අදාළ මළසිරුරක් සොයා ගැනීමට සාමාන්‍යයෙන් නොලැබීමයි. ඒ නිසාම දෝ, මෙය ලංකාවේ නීතිය යටතේ මිනිමැරුමක් සේ ගැනෙන්නේ නැත. එහෙත් අප මේ කතා කරන්නේ, අතුරුදහන් ‘වීමක්’ ගැන නොව අතුරුදහන් ‘කැරැවීමක්’ ගැන නිසා, එසේ අතුරුදහන් කැරැවීමකට ලක්වූ එම පුද්ගලයා පිළිබඳ නිශ්චිත තොරතුරක් නැති තාක් කල්, අතුරුදහන් කැරැවීමෙන් පසු එම පුද්ගලයා ඝාතනය කොට ඇති බවට උපකල්පනය කිරීම අසාධාරණ නැත. ඊළඟට, අතුරුදහන් කැරැවීමක් බොහෝ විට සිදුවන්නේ, දේශපාලනික හෝ වෙනත් බල කේන්ද්‍රයක අනුග්‍රහයෙන් හෝ වක්‍ර මෙහෙයැවීමෙන් බව, ලතින් ඇමරිකාවේ සිට ලංකාව දක්වා අප අත්දැක ඇති සත්‍යයයි. ඒ නිසාම, සාමාන්‍ය මිනිස් ඝාතනයකදී පොදුවේ ක්‍රියාත්මක වන නීතියේ ආධිපත්‍යය සහ අධිකරණමය ස්වාධීන පරිපාටිය, මෙවැනි අතුරුදහන් කැරැවීමේ සිද්ධියකදී ක්‍රියාත්මක වන්නේ බරපතළ සීමාවන්ට යටත්ව බව අපි දනිමු. ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවූ විවිධ අතුරුදහන් කැරැවීම් ඉදිරියේ අපේ නීතිය සහ අධිකරණය අසරණ වූයේ ඒ හේතුවෙනි.
මේ නිසා, සුදු වෑන් සංස්කෘතියක් ඇති විට වැරදි දෙකක් එක විට සිදුවෙයි. එකක් වන්නේ ඉහතින් සඳහන් කළ පරිදි, අනීතිකව ජීවිතයක් පැහැරගනු ලැබීමයි. දෙවැන්න වන්නේ, ඒ අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවන තත්වයක් තුළ, නීතිය සහ අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටීමයි. තවත් විදිහකින් කිවහොත්, එක අතකින් එම රට පව්කාර සමාජයක් බවට පත්වන අතර අනිත් පැත්තෙන් අනීතික සමාජයක් බවටත් පත්වෙන බවයි.

“බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියක්” තිබේ. 2010 අවසානයේ පටන් ක්‍රියාත්මක වන මෙම සම්මුතියට මේ වන විට රටවල් 96 ක් අත්සන් තබා ඇති අතර, ඒ අතරින් රටවල් 54 ක් එය යළි අනුමත (අපරානුමත) කොට තිබේ. ශ්‍රී ලංකාව 2015 දෙසැම්බර් 10 වැනි දා ඊට අත්සන් තැබුවේය. අනතුරුව, 2016 මැයි 25 වැනි දා එම අත්සන් කිරීම රටක් වශයෙන් ශ්‍රී ලංකාව අපරානුමත කෙළේය. මුලින් අත්සන් කළ යම් ජාත්‍යන්තර සම්මුතියක් අපරානුමත කළ පසු, එය දේශීය වශයෙන් ක්‍රියාවේ යෙදැවීමට සෑම රටක්ම බැඳී සිටී. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 2017 ජුලි 5 වැනි දාට යෙදී තිබුණි. එහෙත්, අස්ගිරි පාර්ශ්වයේ ඉල්ලීම හෝ බලපෑම පිට එදා එම කාරණය විවාදයට ගැනුණේ නැත.

ප්‍රගීත් එක්නැලිගොඩට දරුවන් දෙන්නෙකි. ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ, ඔහු අතුරුදහන් කැරැවූ දවසේ පටන් දැන් අවුරුදු අටක් තිස්සේ තම සැමියා සහ දරුවන්ගේ පියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන්නීය. ඇය සහ දරුවන් දෙන්නා මේ කාලය තුළ කොපමණ හඬා වැළපී ඇත්දැ යි මම නොදනිමි. එහෙත්, ශිෂ්‍යයන් 11 දෙනෙකු විවිධ අවස්ථාවලදී පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කර දැමූ බවට චෝදනා ලත් නාවුක හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී. කේ. පී. දසනායක නැමැති නිලධාරියාගේ සිරුරට කිසි සීරීම් තුවාලයක් හෝ සිදු නොකොට, සිරුර පිටින් ඔහුව අතුරුදහන් නොකොට, පසුගිය සතියේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා ඔහුගේ බිරිඳ සහ දරුවන් හැඬූ කඳුළින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර සිටීමෙන් පසු, ඒ ආකාරයේ කුටුම්බ ශෝකයක් ද ඇති බව මම දැන ගතිමි.

මේ ශිෂ්‍යයන් හෝ ඔවුන්ගේ පවුලකට සම්බන්ධ කිසිවෙකු මට කිසි දවසක හමු වී නැත. ඔවුන් කිසිවෙකු ඈතකින්වත් මා හඳුනන්නේත් නැත. පසුගිය දවසක එම දරුවන්ගේ මව්වරුන් දෙන්නෙකු මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් ප්‍රකාශ කරනු මම රූපවාහිනියෙන් බලා සිටියෙමි. විනාඩියකට වැඩි නැති, ඒ එක් මවකගේ කතාව අසා සිටිද්දී මට මගේ කඳුළු නතර කරගත නොහැකි විය. නීතිය, අධිකරණය ඈ සියල්ල මොහොතකට පසෙකලන්න. මනුෂ්‍යත්වයේ අතිප්‍රාථමික නිර්ණායකය මත හැලෙන කඳුළුවල ඝනත්වය සේම බරත් මොන වගේදැ යි, ස්වාර්ථයකින් තොරව, එවිට ඔබට පසක් වනු ඇත.

නීතියේ ආධිපත්‍යය නැති රටක් වශයෙන් මහින්ද රාජපක්ෂ කාලයේ ලංකාව ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක්වීමට එක් හේතුවක් වුණේ මෙවැනි අතුරුදහන් කැරැවීම් ය. ඒ තත්ත්වයට එරෙහි ජාත්‍යන්තර හඬක් නැගෙන විට පාලකයෝ විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කළෝය. අපේ මානව හිමිකම් ගැන කතා කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් ඔස්සේ බවට වන ප්‍රති-චෝදනාව ඉන් ප්‍රධානයි, අප දැන් කතා කරන මාතෘකාව වන අතුරුදහන් කැරැවීම අපරාධයක් වශයෙන් නීතිගත කෙරෙන පනත අපට යෝජනා කරනු ලබන බටහිර ජාතීන් පවා එවැනි පනත් තමන් වෙත පනවාගෙන නැති බව, එල්ල වන තවත් එවැනි ප්‍රති-චෝදනාවකි. ඇමරිකාව සහ කැනඩාව වැනි බටහිර රටවල් කිහිපයක් එම ජාත්‍යන්තර පනතට මේ දක්වා අත්සන් කොට නැති බව ඇත්තයි. ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් එසේ විය හැකිය. අප කළ යුත්තේ ඔවුන් නොකරන නිසා අපත් නොකර සිටීම නොව, ඔවුන්ටත් කලින් එම යහපත් දෙය කිරීමෙන් ඔවුන්ටත් ආදර්ශයක් සැපයීමයි. ඇමරිකාවේ කැරැට්ටුව අනුව යන්නේ නම්, පලස්තීන ජනතාව සම්බන්ධයෙන් වන අනේක මානුෂීය ප්‍රතිපත්ති ඇමරිකාව අනන්තවත් ප්‍රතික්ෂේප කොට තිබේ. එහෙත් ඒ හේතුව නිසා, මනුෂ්‍යයාගේ පොදු ප්‍රගතියට හේතු වන ප්‍රතිපත්තියක් අපේ ප්‍රතිපත්තියක් කර ගැනීමෙන් අප වැළැකී සිටිය යුතු නැත. හෙන්රි ඕල්කට් පියතුමා බෞද්ධ පුනරුදය වෙනුවෙන් ලංකාවට එද්දී ඔහු උපන් ඇමරිකාවේ බුද්ධාගමක අබැටක්වත් තිබුණේ නැත. ඒ හේතුව මත, ඕල්කට් තුමා දේශනා කළ දේවල් ප්‍රතික්ෂේප කිරීමට එදා ලංකාව තීරණය කෙළේ නැත.

මෙවැනි ‘මතවාදී’ විරෝධතාවන්ගෙන් එහාට යමින්, අතුරුදහන් කැරැවීම් සිදු වී නැති බව පෙන්වීම සඳහා හිටපු රජය වෙනත් කූටෝප්‍රකම ද භාවිත කෙළේය. ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ වෙසෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ‘ඇසින් දුටු’ සාක්ෂියක් එදා ඉදිරිපත් වුණේ ඒ අනුව ය. එය සනාථ කිරීමට හිටපු අගවිනිසුරුවරයෙකු වූ මොහාන් පීරිස් පවා සාක්කියට හිටියේය. මළසිරුරක් සොයාගෙන නැති තත්වයක් තුළ, අතුරුදහන් කැරැවීමක් සිදු වූ බව ප්‍රතික්ෂේප කිරීම පාලකයෙකුට අපහසු නැත. එදා රාජපක්ෂ ආණ්ඩුවට එවැනි ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට ප්‍රයෝජනවත් වුණේ එම හිඩැසයි.

එහෙත් දැන් විමල් වීරවංස නැමැති දේශපාලනඥයා එම හිඩැස අහෝසි කොට දමා තිබේ. තවත් විදිහකින් කිවහොත්, අතුරුදහන් ‘වීමක්’ නොව, අතුරුදහන් ‘කැරැවීමක්’ සිදුව ඇති බව හෙතෙම විවෘතව පිළිගනී. එසේ පිළිගනිමින් එම ශිෂ්‍යයන් අතුරුදහන් කැරැවීමට හේතු පාදක වූ කරුණු අගේට විස්තර කරයි. ඒ අනුව, මේ අතුරුදහන් කැරැවූ ශිෂ්‍යයන් ‘කොටින්’ ය. කොටින් යැයි සැලකෙන කෙනෙකු අතුරුදහන් කැරැවීම, ඔහුට අනුව, ‘දේශප්‍රේමී’ රාජකාරියකි. එවැනි දේශප්‍රේමී රාජකාරියක් පිළිබඳ සැක පිට ඉහත කී නාවුක හමුදා නිලධාරියා වැනි ‘රණවිරුවන්’ අත්අඩංගුවට ගැනීම ‘දේශද්‍රෝහී’ ය.

ජාත්‍යන්තර ප්‍රජාවත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ශිෂ්ටත්වය ඉල්ලා සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් මෙතෙක් නගමින් තිබූ චෝදනාව විමල් වීරවංශ නැමැති දේශපාලනඥයා දැන් සනාථ කොට ඇත්තේ එයාකාරයෙනි. මේ කියන ශිෂ්‍යයන් 11 දෙනා අතුරුදහන් කර ඇති බව ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහුට ප්‍රශ්නයකට ඇත්තේ, ‘කොටින්’ යැයි ඔහු විසින් සැලකෙන එකී ශිෂ්‍යයන් අතුරුදහන් කැරැවීම සම්බන්ධයෙන්, ‘රණ විරුවෙකු’ යැයි ඔහු සලකන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමයි. හෙවත්, එවැනි පුද්ගලයන් අතුරුදහන් කැරැවීම අපරාධයක් වශයෙන් නොව, ශීලයක් වශයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි. මෙසේ කියන පුද්ගලයාගේ අතිජාත සගයන් දහස් ගණනක් නොවේ නම් අඩු වශයෙන් සිය ගණනක්වත්, 1987-90 කාලයේ දකුණේදී අතුරුදහන් කෙරුණි. අවස්ථාවාදය වෙනුවෙන් තක්කඩියෙකුට වුවත් මෙච්චර සාහසික විය හැකිද?■