රාවය

රට යන්නේ අරාජකත්වයකටද?

රට යන්නේ අරාජකත්වයකටද?

වික්ටර් අයිවන්

ට ගමන් කරමින් තිබෙන්නේ අරාජකත්වයට යැයි කිව හැකිය. රට අරාජකත්වයක් කරා යන මේ ගමන අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු සම්පූර්ණ කළ යුතුව තිබුණු කොන්දේසි සම්පූර්ණ නොකිරීම නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. දශක තුනක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් හා ඒ ආශ්‍රයෙන් රටේ ඇතිව තිබුණු බිහිසුණු හා අශීලාචාර පසුබිම ශ්‍රී ලංකා සමාජය පමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍යයද විකෘති කිරීමට හා ජරපත් තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබුණි. එහෙත් අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු එසේ විකෘති තත්ත්වයකට පත්ව තිබූ සමාජය හා රාජ්‍යය එම තත්ත්වයෙන් මුදාගැනීම අරමුණු කරගත් ප්‍රතිසංවිධානයකට හෝ ප්‍රතිනිර්මාණය කරන තැනකට ගියේ නැත. ඒ නිසා එතෙක් රට වෙලාගෙන තිබූ අර්බුදයේ ස්වභාවය වෙනස් වී රට අරාජකත්වයකට තල්ලු කරන අර්බුදයක ස්වභාවය ගත්තේය.

ඒ වන විට සමාජය තිබුණේ රෝගී හා විකෘති බවට පත්වූ තත්ත්වයකය. රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයද තිබුණේද නිසි ක්‍රමයකට දේවල් සිදු නොවන අකාර්යක්ෂම දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්වූ තත්ත්වයකය. අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු යහපත් ඉදිරි ගමනක් සඳහා රෝගී හා විකෘති තත්ත්වයකට පත්ව තිබූ සමාජය සුවපත් කොට ප්‍රකෘති තත්ත්වයකට ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබුණි. එසේම අකාර්යක්ෂම දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබූ ශ්‍රී ලංකා රාජ්‍යය එම අවලස්සණ තත්ත්වයෙන් මුදාගැනීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව සම්පූර්ණ කරගත යුතු එම කොන්දේසි පිළිබඳ හරි අවබෝධයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ඔහුට උපදෙස් දෙන න්‍යායවාදීන්ට නොතිබුණි. ඔවුන් සියලුදෙනාම කල්පනා කළේ ප්‍රභාකරන් පරාජය කිරීමේ ආස්වාදයෙන් පමණක් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජීවත්ව සිටින තෙක් අභියෝගයකින් තොරව රට පාලනය කළ හැකිවනු ඇති බවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හා ඔහුගේ ආණ්ඩුවට තිබූ පාලන බලය අහිමිවීම. ඒ නිසා ඇතිවූ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එසේම විරුද්ධ පක්ෂ සන්ධානයට පාලන බලය හිමිවූයේද එහිම ප්‍රතිඵලයක් වශයෙනි.

දර්ශනයේ දුප්පත්කම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ හවුල් ආණ්ඩුවටද ලංකාව මුහුණ දී තිබුණු විස්තීරණ අර්බුදය ගැන හෝ අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව සම්පූර්ණ කළ යුතුව තිබුණු කොන්දේසි ගැන නිරවුල් අවබෝධයක් නොතිබුණි. ඔවුන් දැන සිටියේ රාජපක්ෂ පාලනය පරාජය කිරීමට පමණය. ඉන් ඔබ්බට ගිය ඉදිරි දැක්මක් එම ආණ්ඩුවටද නොතිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම ඔහුගේ අනුප්‍රාප්තිකයින්ටද රෝගී හා විකෘති තත්ත්වයකට පත්ව තිබූ ජාතිය සුවපත් කොට එහෙත් ගොඩනගා ගැනීමට අසමත්ව තිබූ ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවද සේ ම දූෂිත සේ ම ජරපත් තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත් වූහ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එම ආණ්ඩුවද දඩාවතේ යන ආණ්ඩුවක් බවට පත්වී එම ආණ්ඩුවට සේ ම එම ආණ්ඩුව මෙහෙයවන නායකයන් දෙදෙනාටද තිබුණ පිළිගැනීම වාෂ්ප වී යන තත්ත්වයකට පත්වෙමින් රට අරාජක තත්ත්වයකට තල්ලු වී යන තත්ත්වයක් ඇතිවීමය.

දැන් රටේ මහජන පිළිගැනීමට හේතුවූ නායකයන් ඇත්තේම නැති තරම්ය. සියලු සාම්ප්‍රදායික දේශපාලන නායකයන් දැන් මහජනයාට අඩු වැඩි වශයෙන් පෙනෙන්නේ කිසිම නිර්මාණශීලීභාවයක් නැති අවංකකමක්ද නැති චෞර කවටයන් පිරිසක් ලෙසය. ඔවුන්ට සියලු දේශපාලන පක්ෂ පෙනෙන්නේද ඒ සමාන ආකාරයකටය.
ආණ්ඩුව තිබෙන්නේ ශක්තිමත් තත්ත්වයක නොව කිසියම් විශේෂ මොහොතක සුන්බුන් ගොඩක් බවට පත්විය හැකි දුර්වල තත්ත්වයකය. විරුද්ධ පක්ෂ ව්‍යාපාරය තිබෙන්නේද ශක්තිය වර්ධනය කරගන්නා තත්ත්වයක නොව එකතැන පල්වෙන තත්ත්වයකය. සියලු දේශපාලන පක්ෂ හා ඒවාහි නායකයන්ට තිබූ මහජන විශ්වාසයේ ශීඝ්‍ර බිඳ වැටීමක් ඇතිවෙමින් තිබෙන්නේයැ’යි කිව හැකිය.

රටේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේද තිබෙන අවුල් වර්ධනය කොට නැති අවුල්ද ඇතිකර ගන්නා ආකාරයට මිස තිබෙන අවුල් විසඳා ගැනීමට හේතුවන ආකාරයට නොවේ. රටේ ආර්ථිකය තිබෙන්නේද යහපත් තත්ත්වයක නොව රට පූර්ණ බංකොළොත් තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවන ආකාරයටය.

ආර්ථික අර්බුදය
ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුදය හා එහි ඇතිවෙමින් තිබෙන බංකොළොත්භාවය කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අද දක්වා දේශපාලන අර්ථයෙන් සිදුවෙමින් පවතින මහා වස්තු කොල්ලයද වැදගත් සාධකයක් වශයෙන් බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. රටක බලයට පත්වන හැම පාලක කණ්ඩායමක්මත් බලයට පත්වන්නේ රටේ වස්තුව කොල්ලකෑමේ අරමුණින්නම් හා බලයට පත්වන හැම පාලක පක්ෂයක්මත් උපරිම මට්ටමෙන් රටේ සාරය උරා බොන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එවැනි රටක් උපරිම මට්ටමකින් කාලකණ්ණි තත්ත්වයකට පත්වීම පුදුමයට හේතුවිය යුතු නැත. ලංකාවේ හැම දෙයක්ම සිදුවන්නේ වස්තුව කොල්ලකෑමේ අරමුණිනි. මෙය 1977න් ආරම්භ වී අද දක්වා පැවත එන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

රටේ සිදුවන සංවර්ධන වැඩසටහන් රාජ්‍ය මට්ටමෙන් සිදුවන විකිණීම් හා මිලදී ගැනීම්වලදී වස්තුව කොල්ලකෑමේ ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙම වස්තු කොල්ලය රටට ඇතිකර තිබෙන ආර්ථික විනාශයේ තරම අතිවිශාලය.
පසුකලක ශ්‍රී ලංකා එයාර් ලයින්ස් බවට පත්වූ එයාර් ලංකා සමාගම දේශපාලන අර්ථයෙන් ලංකාවේ සිදුවන මහා වස්තු කොල්ලය පැහැදිලි කිරීම සඳහා දැක්විය හැකි කදිම නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. මෙම සමාගම පවත්වාගෙන යෑම සඳහා මේ දක්වා කර තිබෙන වියදම රුපියල් බිලියන දහස් ගණනක් විය හැකිය. 1977 සිට 1988 දක්වා වන වසර නවය තුළ පමණක් එය පවත්වාගෙන යෑම සඳහා වැය කර තිබෙන වියදම රුපියල් දශ ලක්ෂ 7159කි. එම සමාගම් විසින් කරනු ලබන ගුවන් යානා මිලදී ගැනීම් සමහර ජනාධිපතිවරුන් මහා පරිමාණයෙන් මුදල් උපයා ගැනීම සඳහා යොදා ගැනුණු සුලබ ක්‍රමයක් විය.

අනූව දශකය ආරම්භයේදී එම සමාගමට මිලදී ගත් ් 340 වර්ගයේ ගුවන් යානා 5ක් පිළිබඳව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඇස්. ශන්මුගලිංගම් විසින් ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙන රහස්‍ය වාර්තාවකට ඇතුළත් තොරතුරු අනුව එම ගුවන් යානා පහ මිලදී ගැනීම සඳහා වැඩිපුර ගෙවා තිබෙන මුදල ඩොලර් කෝටි 15ක් හෙවත් රුපියල් කෝටි 750කි. ගැහිල්ල සිදුවී තිබෙන්නේ ගුවන් යානා මිලදී ගැනීමේදී පමණක් නොවේ. ණය පහසුකම් ලබාගැනීමේදීද එම ලෙසම සිදුවී තිබේ. ණය පහසුකම් ලබාගෙන ඇත්තේ වෙළෙඳපොළේ අය කෙරෙන සාමාන්‍ය පොලියට වැඩියෙන් සියයට දෙකකට වැඩි පොලියකටය. එය එම වැඩසටහනට සම්බන්ධ නිලධාරියෙකු කරන ලද ගැහිල්ලක් විය හැකිය. හෙජින් වංචාව සේ ම යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ බැඳුම්කර වංචාවද පොදු වස්තුව කොල්ලකෑම සඳහා යොදා ගැනුණු සටකපට ක්‍රමවේද දෙකක් ලෙස සැලකිය හැකිය.

රටේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපාරවලදීද සිරිතක් වශයෙන් පොදු වස්තුව කොල්ලකෑමක් සිදුවේ. දේශපාලකයන් සංවර්ධන යෝජනා ක්‍රමවලදී වැදගත් කොට සලකන්නේ ඒවායින් තමන්ට ලැබෙන ආර්ථික ඵලප්‍රයෝජන මිස, ඒවායින් රටට ලැබෙන ඵල ප්‍රයෝජන නොවේ. දේශපාලකයන්ට ලොකුවට ආර්ථික වාසි ලැබේ නම් රටට හානිකරන සංවර්ධන ව්‍යාපාරවලට පවා ඉඩදීමට ඔවුන් සූදානම්ය. ලංකාවේ ලොකුම බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය ලෙස සැලකිය හැකි මහවැලි සංවර්ධන ව්‍යාපාරය පවා සැලකිය හැක්කේ කෙටිකාලීන අර්ථයෙන් නොව දීර්ඝකාලීන අර්ථයෙන් ගතහොත් රටට ලොකු විපතක් ඇති කිරීමට හේතුවිය හැකි ව්‍යාපාරයක් ලෙසය. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ යන ව්‍යාපාර පාලකයාට පුරාජේරු වැදගත්කමක් ලබාගැනීම පිණිස කරන ලද නාස්තිකාර ව්‍යාපාර ලෙස සැලකිය හැකිය. මහත් ආන්දෝලනයකට හේතුවී තිබෙන ලුණුගම්වෙහෙර ව්‍යාපාරය මහත් විනාශකාරී ප්‍රතිඵල ඇති කරමින් තිබෙන ව්‍යාපාරයක් වනවාට අතිරේකව රට මුහුණ දී තිබෙන අර්බුදයේ නියම ස්වභාවය සංකේතවත් කරන ව්‍යාපාරයක් ලෙසද සැලකිය හැකිය.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ වැල්ලවායේ සිට හම්බන්තොට දක්වා වන ප්‍රදේශය සඳහා අවශ්‍ය ජලය ඌවෙන් ලබාගැනීමය. ජලය ගෙනයෑමට අපේක්ෂා කළේ උමං මාර්ග ඔස්සේය. මෙම වැඩසටහනේ හොඳ නරක ගැන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර හොඳ සොයා බැලීමක් කළේ නැත. වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස ක්‍රියා කළ ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට ගිය ආකාරය ගැන බලවත් ලෙස විරුද්ධ විය. හොඳින් කරුණු සලකා බලන තැනකට නොගොස් ව්‍යාපෘතිය ආරම්භ නොකළ යුතු බව ඔහුගේ මතය වූ බව කියනු ලැබේ. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවකු වනවා සේ ම වාරිමාර්ග විශේෂඥයකුද විය. අවසානයේ ඔහුගේ මතය නොසලකා ක්‍රියාකිරීම නිසා ඔහුට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ව්‍යාපෘතියට අත්සන් තබා තිබෙනුයේ පාරිසරික තක්සේරු වාර්තාවක් පවා නැතිවය. අවසානයේදී ටනල්බෝරිං විදුම් යන්ත්‍රයක් යොදාගෙන කෙරුණු උමං තැනීමේදී සිදුවී තිබෙන විනාශය අතිවිශාලය. ඒ නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස 8000ක් පමණ ඉරිතලා තිබෙන අතර සිඳී ගොස් තිබෙන ළිං සහ ජල උල්පත් සංඛ්‍යාව 5000කට වැඩිය. ඒ නිසා ඇළ මාර්ග ගණනාවක්ද සිඳී ගොස් තිබේ.

මෙම ව්‍යාපෘතිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවගේ බලවත් විරෝධයට හේතුවී ඇතත්, උමං මාර්ගයේ කැණීම් කරන යන්ත්‍රය ඉදිරියට මිස ආපස්සට ගැනීමේ හැකියාවක් නැති නිසා එම ව්‍යාපෘතියෙන් රටට සිදුවන හානිය කොතරම් විශාල වුවද ව්‍යාපෘතිය කරගෙන යනවා මිස එය නතර කිරීමේ හැකියාවක් නැති බව කියනු ලැබේ. මෙයද මග සිටියහොත් තමන්ද, ගෙදර ගියහොත් අඹුවද නසන වර්ගයේ ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. ලංකාව දැන් තිබෙන්නේද එම ව්‍යාපෘතිය තිබෙන තැනට සමාන තත්ත්වයකය. චීන ණය හා ආධාර යටතේ කොළඹ වරාය ආශ්‍රයෙන් ඉදිකෙරෙමින් තිබුණු කෘත්‍රිම දූපත් ව්‍යාපෘතියද මේ හා සමාන ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. එහි ඇති විනාශකාරීභාවය සලකා තමන් බලයට පත්වූවොත් එම ව්‍යාපෘතියේ වැඩ නතර කරන බව විරුද්ධ පක්ෂය කීවේය. පසුව කීවේ දැන් වැඩ නතර කළහොත් ඒ වෙනුවෙන් චීනයට ගෙවන්නට සිදුවන අතිවිශාල වන්දිය නිසා එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනවා හැර තෝරා ගැනීමට අන් විකල්පයක් නැති බවය.

දේශපාලන හා නිලධරතන්ත්‍රය නඩත්තු කිරීම
ලංකාවේ චෞර හා පරපීඩාකාරී දේශපාලන ක්‍රමය හා ඊට අදාළ දේශපාලන හා නිලධර තන්ත්‍රය නඩත්තු කිරීම සඳහාද රටට ඔරොත්තු නොදෙන තරමේ විශාල වැය බරක් දරන්නට සිදුවී තිබේ. දේශපාලනඥයන්ට රටේ වස්තුව කොල්ලකෑමේ නිදහස රිසි ලෙස ලබාදී තිබියදීත් දේශපාලකයන් හා ඔවුන්ගේ නිලධරතන්ත්‍රයේ සාමාජිකයන්ගේ නඩත්තුව සඳහාද අතිවිශාල වියදමක් දරන්නට රටට සිදුවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවත්නා මොනම රටකවත් මහජන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කරන්නට ඉඩ දෙන්නේ නැත. එසේ කරන අයගේ මන්ත්‍රීකම් අහිමි කෙරෙන ක්‍රමයක් ඒ රටවල ක්‍රියාත්මක වේ. එහෙත් ලංකාවේ මහජන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කිරීමේ අයිතිය ලබාදී තිබෙන්නේය. බොහොමයක් මන්ත්‍රීවරුන් රජයේ කොන්ත්‍රාත්කරුවෝය. තවත් සමහරුන් දැව බලපත්‍රලාභී දැව ජාවාරම්කරුවන්ය. තවත් සමහරෙක් බලපත්‍රලාභී තැබෑරුම්කරුවන්ය. බලපත්‍රලාභී ගල් හා වැලි ජාවාරම්කරුවන්ය. මේ සියලුදෙනාටම විකුණාගෙන මුදල් උපයා ලාභ ලැබීම සඳහා පමණක් ලබාදෙන වාහන වෙනුවෙන් රටට දරන්නට සිදුවී තිබෙන වියදම අතිවිශාලය. ඇමතිවරයෙක් පරිහරණය කරන වාහන සංඛ්‍යාව දහයකට වැඩිය. මන්ත්‍රීවරුන්ද විවිධ අමාත්‍යාංශවලට අනුයුක්ත කර තිබෙන නිසා හැම මන්ත්‍රීවරයෙක්ම පාහේ වාහන එකකට වැඩි සංඛ්‍යාවක් පරිහරණය කරති. දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ නිලධාරීන්ගේ ඉන්ධන වියදම සඳහාද ලොකු වැය බරක් දරන්නට රටට සිදුවී තිබේ. සියලු දේශපාලකයන්ට දේශපාලන කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහාද මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදෙයි. ඇමතිවරුන් කාර්ය මණ්ඩලය සමන්විතවන්නේ බිරිඳ හා පවුලේ සාමාජිකයන්ගෙන් වන නිසා ඔවුන් නඩත්තු කිරීම සඳහාද ලොකු වැය බරක් දරන්නට රජයට සිදුවී තිබේ.
හිටපු ජනාධිපතිවරුන් පමණක් නොව ඔවුන්ගේ අඹු දරුවන්ද නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇත්තේ රජයටය. සාමාන්‍යයෙන් විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ අඹුවන්ට රජයේ වියදමෙන් නිවාස දිය යුත්තේ ඔවුන්ට ජීවත්වීමට සුදුසු තමන්ගේම නිවාස නැතිනම් පමණය. එහෙත් ලංකාවේ විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ අඹුවන් තමන්ගේ නිවාස ලොකු මුදලකට කුලියට දී රජයෙන් ලබාගන්නා සුඛෝපභෝගී නිවාසවල ජීවත් වෙති.

ජනාධිපති ජේ.ආර්.ගේ ආදර්ශය
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පමණක් තමන්ගේ මරණය තෙක්ම වෝඞ් පෙදෙසේ තමන්ට තිබූ තමන්ගේම නිවසේ ජීවත් විය. ඔහුගේ එම ආදර්ශමත් භාවිතය තුළ මහජන අවධානයට යොමුවිය යුතු අවුලක්ද තිබුණි. රජය සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුමක් අනුව වෝඞ් පෙදෙසේ තිබූ ඔහුගේ නිවස ඔහුගේ හා ඔහුගේ ආර්යාවගේ මරණයෙන් පසුව රජයට පවරා දිය යුතුව තිබුණද තවමත් එසේ සිදුවී නැත.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා ඔහුගේ ආර්යාව බලයේ සිටින තෙක් ඒ දෙදෙනා උපයන ආදායම් වෙනුවෙන් හා ඔවුන් පවත්වාගෙන ගිය ව්‍යාපාර වෙනුවෙන් රජයට ගෙවිය යුතු ආදායම් බදු ගෙව්වේ නැත. ඒ ගැන 1981දී දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් ලිඛිත කරුණු විමසීමක් කළේය. ඒ කාලයේ පවා කොන්ද පණ ඇති නිලධාරීන් රටේ සිටියේය. එම කරුණු විමසීමට ජනාධිපති ජයවර්ධන ලබාදී තිබෙන පිළිතුර වී ඇත්තේ තමන් හා තමන්ගේ ආර්යාව ගෙවිය යුතු බදු මුදල් වෙනුවෙන් තමාගේ හා තමාගේ ආර්යාවගේ ඇවෑමෙන් පසු තමන් දෙපළ ජීවත් වන වෝඞ් පෙදෙසේ ඇති ඉඩම හා නිවස රජයට පවරා දීමට අදහස් කරගෙන සිටින නිසා ඒ ගැන මින්මතු තමන්ගෙන් කරුණු විමසීමක් නොකළ යුතු බවය.

ඒ අනුව එලීනා ජයවර්ධන විසින් ජෝන් විල්සන් නොතාරිස් සමාගම ලවා 1981 මාර්තු 10 වැනි දින තෑගි ඔප්පුවක් ලියවන ලද අතර අංක 6356 නමැති එම තෑගි ඔප්පුවේ එන තොරතුරු අනුව තමන් හා තම ස්වාමි පුරුෂයාගෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු සියලු බදු මුදල් වෙනුවෙන් තමන් හා තම ස්වාමි පුරුෂයා ජීවත් වන ඉඩම හා නිවස ඒ දෙදෙනාගේ ප්‍රාණ භුක්තියට යටත්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිය යුතු බවත්, එම දෙපාර්තමේන්තුව සිය වියදමෙන් තමන්ගේ හා තම පුරුෂයාගේ පවුලේ කෞතුකාගාරයක් ලෙස එය පවත්වාගෙන යායුතු බවත්ය.

තවත් වසර 12කට පසුව එම ඔප්පුවේ එන කොන්දේසි වෙනස් කොට සකස් කරන ලද අලුත් තෑගි ඔප්පුවක් ලියාපදිංචි කළේය. ඔප්පුව ලියා ඇත්තේ 1993 ජූනි 21 වැනිදාය. දෙවැනි තෑගි ඔප්පුව ලියා ඇත්තේද පළමු තෑගි ඔප්පුව ලියා ඇති නොතාරිස් සමාගම විසිනි. එය ලියාපදිංචි කොට තිබෙන අංකය 7346 වේ. ඒ අනුව එම ඉඩම හා නිවස ඔවුන්ගේ ඇවෑමෙන් පසු ලැබිය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොව ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයටය.

ඉන් පෙනෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හා ඔහුගේ ආර්යාව පවා ඔවුන්ට ලැබෙන ආදායම් වෙනුවෙන් හා ඔවුන්ගේ ව්‍යාපාර උපයන ආදායම් වෙනුවෙන් රජයට ගෙවිය යුතු ආදායම් බදු ගෙවා නැති බවය. ඒ වෙනුවෙන් නව නිවාස හා ඉඩම රජයට පවරා දෙන බවට ප්‍රකාශ කර ඇතත්, එම පවරාදීම කර ඇත්තේද රජයට ආදායමක් ලැබෙන ආකාරයට නොව රජයට එම පවුලේ පුරාජේරුව වෙනුවෙන් ලොකු වැය බරක් දරන්නට සිදුවන ආකාරයටය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ලබාදී තිබෙන මෙම ආදර්ශය රටේ බදු ගෙවන්නන් ආදර්ශයට ගතහොත් විය හැක්කේ කුමක්ද? අපේ රටේ රාජ්‍ය නායකයන්ගේ නියම ස්වභාවය එම නිදර්ශනය ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

රාජ්‍ය සේවයේ ප්‍රසාරණය
ලංකාවේ රාජ්‍ය සේවය රටේ ජනගහනයට සාපේක්ෂව ලෝකයේ තිබෙන විශාලතම රාජ්‍ය සේවය වේයැ’යි කිව හැකිය. රාජ්‍ය සේවයේ සේවා නියුක්තිය ලක්ෂ 15කි. රාජ්‍ය සේවයට මිනිසුන් බඳවා ගැනීමේදී දේශපාලකයන්ට ලැබී තිබෙන හිතුවක්කාරී බලය රාජ්‍ය සේවයේ මෙම ප්‍රසාරණය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය.
ලංකාවේ රාජ්‍ය සේවය ප්‍රමාණයෙන් ඉතා විශාල වුවත් රාජ්‍ය සේවයේ ගුණාත්මක අගය තිබෙන්නේ පහළම මට්ටමකය. හැම රාජ්‍ය ආයතනයක්ම පාහේ අකාර්යක්ෂම සේ ම දූෂිතය. බලපත්‍ර ලබාදෙන, අනුමැතිය ලබාදෙන හා බදු එකතු කරන රාජ්‍ය ආයතන තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයකය. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ශ්‍රම ඵලදායිතාව තිබෙන්නේ පහළම තත්ත්වයකය. එක් අයකු කළයුතු වැඩ සඳහා සාමාන්‍යයෙන් පුද්ගලයන් තිදෙනකු පමණ යොදා ගැනේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් බිල ඉසිලීමට අමාරු ලොකු වැය බරක් බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. විශ්‍රාම වැටුප් ක්‍රමය පවත්වාගෙන යන්නේ ඒ සඳහා පවත්වා ගෙන යන ස්ථිර අරමුදලක් නැතිවය. ඇත්ත අවශ්‍යතාවන් සඳහා වෙනුවට දේශපාලන වාසි සලකා රජයේ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ජනාධිපති ප්‍රේමදාස පාලන කාලයේදී ගුරු සේවයේ යෙදීමට අවශ්‍ය තරම් අධ්‍යාපන සුදුසුකම් නැති ගුරුවරුන් 25,000ක් ගුරු සේවයට බඳවා ගත්තේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීද උපාධිධාරීන් 40,000ක් රජයේ සේවයට බඳවා ගත්තේය. එවැනි ක්‍රියා රජයේ සේවකයන් සඳහා වන වැටුප් බිලේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවේ. ඉන්පසු යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන රටේ තිබූ ආර්ථික අර්බුදය මුළුමනින් නොසලකා සියලු රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළේය. ඒනිසා රජයේ සේවක වැටුප් බිල රජයට ලැබෙන ආදායමෙන් පමණක් පවත්වාගෙන යා නොහැකි තරමේ වර්ධනයක් ඇතිවිය. ඒ නිසා පමණක් රජයට රජයේ සේවක වැටුප් සඳහා දරන්නට සිදුවූ අමතර වියදම රුපියල් මිලියන 160000කි. 2016දී එය රුපියල් මිලියන 135848ක් විය.

ලංකාව තමන් උපයන ආදායමට වඩා වියදම් අධික උජාරු ජීවිතයක් පවත්වාගෙන යන රටක් ලෙස සැලකිය හැකිය. ණයට මුදල් ගැනීම ඒ සඳහා අවශ්‍ය අතිරේක මුදල් ලබාගන්නා ප්‍රධාන මාර්ගය බවට පත්වී තිබේ.
2010 වසරේදී රුපියල් බිලියන 2565ක වූ දේශීය ණය ප්‍රමාණය 2014 දක්වා වන අවුරුදු හතර තුළ රුපියල් බිලියන 4277 දක්වා රුපියල් 1712කින් වැඩිවිය. 2010දී රුපියල් බිලියන 4590ක් වූ විදේශ ණය ප්‍රමාණය 2014දී රුපියල් බිලියන 7370 දක්වා රුපියල් බිලියන 2800කින් වැඩිවිය. 2014 රටේ මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2ක් තරම් විශාල විය.

යහපාලන ආණ්ඩුවද මූල්‍ය කළමනාකරණයේදී යහපත් වෙනසක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. 2015 සිට 2016 දක්වා අවසාන කාලය දක්වා වන කාලය තුළ රටේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1064කින්ද, විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1997කින්ද ඉහළ ගොස් තිබේ. රටේ සමස්ත ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 79.3 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසර දෙකහමාර තුළ රජය විදේශ ණය වශයෙන් ඩොලර් මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක් ණය ලබාගෙන තිබෙන අතර, එම දැවැන්ත මුදල් කන්දරාව එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑම සඳහා මිස කිසිදු වැදගත් සංවර්ධන යෝජනා ක්‍රමයක් සඳහා යොදාගෙන ඇති බවක්ද පෙනෙන්නට නැත.

විනිමය අනුපාතිකයේ ඇතිවී තිබෙන අවප්‍රමාණයද විදේශ ණය බර උග්‍ර කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. 2014 වසරේදී ඩොලරයක රුපියල් අගය රුපියල් 131.05ක් වූ අතර, අද එය රුපියල් 155.02ක. මේ කාලය තුළ රුපියලේ අගය පහත වැටී ඩොලරයේ අගය රුපියල් 23.17කින් ඉහළ ගොස් තිබේ.

කවර ආකාරයකින් බැලුවද රට තිබෙන්නේ යහපත් තැනක නොව, අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. පූර්ණ බංකොළොත්භාවයකට ඇති දුර බොහෝ ඈත නොවේයැ’යි කිව හැකිය. කෘෂිකර්ම තලයේ ඇතිවී තිබෙන පරිහානියද රටේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී.

අපි පසුගිය සති අන්තයේදී පුනරුදය සාකච්ඡා සභා පැවැත්වීම සඳහා ලග්ගලටද, බතලයායටද, මහියංගණයට හා බිබිලටද ගියෙමු. ඒ හැම තැනකම පාහේ ගොවීන් විශාල අතෘප්තියකින් ජීවත් වන බව පෙනෙන්නට තිබුණි. ගඟේ වතුර ඕනෑතරම් තිබියදී ගොවිතැන් කිරීමට අවශ්‍ය තරම් වතුර නොදීම බතලයායේ ගොවීන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. එහි පැවති සාකච්ඡා සභාවේදී එක් ගොවි නායකයකු කීවේ ප්‍රදේශයේ ගොවි සංවිධාන විශාල සංඛ්‍යාවක් ඇතත්, එම ගොවි සංවිධානවල නායකයන් ජල ප්‍රශ්නය ගැන කතා නොකරන බවත්, ඊට හේතුවී ඇත්තේ ගොවි නායකයන් නිහඬ කිරීම සඳහා ඔවුන්ට වැලි බලපත්‍ර ලබාදී තිබෙන බවත්ය.

රටේ සමස්ත චිත්‍රය එකට ගෙන බලන විට රට වේගයෙන් අරාජක තත්ත්වයක් කරා ගමන් ගනිමින් තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. ආණ්ඩුව හා ආණ්ඩුවේ නායකයන්ට තිබෙන පිළිගැනීම වාෂ්පවෙමින් තිබෙන බව පෙනෙන්නට ඇතත්, විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට තිබෙන පිළිගැනීමේ සැලකියයුතු වර්ධනයක්ද පෙනෙන්නට නැත. රටේ සියලු දේශපාලන නායකයන් සේ ම දේශපාලන පක්ෂද මහජනයාට එපාවන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙන බවද පැහැදිලිව දැකිය හැකිය. ආණ්ඩුව මැතිවරණවලට කැමති නැත. මැතිවරණ නොපැවැත්වීමද සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට මහජනයාට තිබෙන බැඳීම් දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි. ආණ්ඩුව මැතිවරණන්‍ලට කැමති නැතත්, ප්‍රමාද වී හෝ මැතිවරණ පැවැත්වීමට සිදුවනු ඇත. පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකයේ ලොකු පහළ වැටීමක් ඇතිවුවහොත් එම තත්ත්වය 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය කෙරෙහිද බලපෑ හැකිය. ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50කට වඩා අඩු වුවහොත් ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිය හැකිය.■