රාවය

සම්පන්දන්ගේ ඉල්ලීම

සම්පන්දන්ගේ ඉල්ලීම

පසුගිය දා ලංකාවට පැමිණි සිංගප්පූරුවේ විදේශ ඇමතිවරයා හමු වූ අවස්ථාවේ දී විපක්‍ෂ නායක සම්පන්දන් ඉල්ලා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය, තමන් තුළ ඇති පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙක ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී එක් ව කටයුතු කරන ලෙස යි. ප්‍රධාන පක්‍ෂ දෙක සාමූහික ව තීන්දු ගැනීම මේ අවස්ථාවේ දී අත්‍යවශ්‍ය බව ද, ජාතික එකඟතාවක් මත ඇති කර ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ මේ මොහොතේ අවශ්‍යතාව බව ද ඔහු පෙන්වා දී තිබේ.

විපක්‍ෂ නායකවරයා යළිත් අවධාරණය කරන්නේ, රටේ සාධාරණ මනසක් ඇති සියලු ජනතාවගේ ප්‍රාර්ථනය ම බවට සැක නැත. එනම්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු ව කටයුතු කළ යුතු බව යි.

සම්මුති ආණ්ඩුව 2017දී පිහිටුවා ගන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලට තනි තනි පක්‍ෂ වශයෙන් විසඳුම් ලබා ගත නොහැකි බවත්, සාමූහික ක්‍රියාමාර්ගයක් තුළින් ඒවාට පිළිතුරු සැපයිය යුතු බවත් කියන අදහස මුල් කර ගෙන ය. එය යහපත් අරමුණක් මෙන් ම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පූර්වාදර්ශ නොතිබුණු භාවිතාවකි. පක්‍ෂ දෙකේ සම්මුතියෙන් ඇති කර ගත් ආණ්ඩුවේ ධුර කාලයෙන් අඩක් පමණ අවසන් වන විට, යම් සීමිත ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙනවා වුව ද, බහුතරයක් අරමුණු තිබෙන්නේ ඉටු නොවුණු තත්ත්වයක ය. මේ නිසා ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවත් අසමත් බව කියන්නට සාධාරණ ඉඩක් අපට ලැබී තිබේ. අඩු ගණනේ, පොරොන්දු වූ පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නටවත් ආණ්ඩුව සමත්කමක් දැක්වුවහොත්, ඒ අපකීර්තිමත් චරිතයෙන් මිදෙන්නට හැකියාවක් තවමත් තිබේ.

එහෙත්, අවාසනාවකට, විපක්‍ෂ නායකවරයාත් පැහැදිලි කරන අන්දමට, අලුත් ව්‍යවස්ථාව ගැන අදහස් පරතරයක් ඇත්තේ ප්‍රධාන පක්‍ෂ දෙක අතර ය. විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ දෙක අතර පරතරයක් තිබේ. විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වා ගැනීම ශ්‍රීලනිපයේ අභිලාෂය වන අතර එජාපය ඉන්නේ ඊට විරුද්ධ මතයේ ය. එහෙත්, ශ්‍රීලනිපයේ නායකයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දක්වා ම සිටින පැහැදිලි ස්ථාවරය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව යි. ඒ ස්ථාවරයෙන් අබමල් රේණුවකුදු වෙනස් වන්නට ජනාධිපතිවරයාට සදාචාරාත්මක වශයෙන්වත්, දේශපාලන වශයෙන්වත්, පෞද්ගලික වශයෙන්වත් කිසිදු ඉඩක් නැත. ඒ හැම පැත්තකින් ම ජනාධිපතිවරයා බැඳී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවේ ඇති කිරීම සඳහා ය. ඔහුට ජනවරම ලැබී ඇත්තේ ද ඒ අරමුණෙනි. තමන්ගේ පක්‍ෂයේ මතය පිළිගන්නට, ඒ නිසා කිසි ම ඉඩක් ජනාධිපතිවරයාට නැත්තේ ය. ඒ අරමුණෙන් පිට පනින කිසියම් ම හෝ පියවරක් හැඳින්විය හැක්කේ, ජනවාරි 8 ජනවරම පාවා දීමක් හැටියට ය. ජනාධිපතිවරයාට ඇත්තේ තෝරා ගැනීම් එකක් පමණ ය. එනම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා තම පක්‍ෂය මෙහෙයවීම ය.

වාසනාවකට මෙන්, බලය බෙදා හදා ගැනීම පිළිබඳ ව ප්‍රධාන පක්‍ෂ දෙක අතර මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ අනෙක් ප්‍රධාන දේශපාලන පක්‍ෂ අතර ද විශාල අදහස් පරතරයක් නැති බව දැනගන්නට ලැබේ. ඒ නිසා වහ වහා ප්‍රධාන කාරණා ගැන එකඟතාවන් ඇති කොට ගෙන අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ ඊළඟ පියවරවලට යෑම අත්‍යවශ්‍ය ය.

විශේෂයෙන්, සම්පන්දන් වැනි දූරදර්ශී, මධ්‍යස්ථ හා කැරිස්මාවක් සහිත දෙමළ නායකයකු හා ඔහු වැනි ම දූරදර්ශී තවත් දෙමළ නායකයන් සහිත දෙමළ ජාතික සන්ධානය, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කෙරෙහි දක්වන නම්‍යශීලීභාවය උපයෝගී කොට ගෙන ඔවුන් සෑහීමට පත්වන ආකාරයේ විසඳුමක් ලබා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගත යුතු ය. ඒ සඳහා මේ ස්වර්ණමය අවස්ථාව බව අප කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. යම් හෙයකින්, මේ අවස්ථාව ගිලිහී ගියහොත්, උතුරේත්, දකුණේත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අල්ලා ගනු ඇත්තේ අන්තවාදීන් විසින් බව තේරුම් ගත යුතු ය. විශේෂයෙන්, දැනටමත් ආන්තික දේශපාලන සංවිධාන උතුරේත්, උතුර පදනම් කරගෙන ජාත්‍යන්තරවත් ක්‍රියාකාරී වෙමින් පවතින පරිසරයක, දෙමළ ජාතික සන්ධානයට තමන්ගේ ජනතාව අතර විශ්වාසය පවත්වාගත හැක්කේ, බලය බෙදා හදා ගැනීම පිළිබඳ සාධනීය යෝජනා ඔවුන්ට ලැබුණොත් පමණකි. එනම්, පවතින තත්ත්වයන් යටතේ උපරිම බලය බෙදා හදා ගැනීමක් ඇත්තේ නම් පමණකි.

ආණ්ඩුව මේ තත්ත්වය තේරුම් ගැනීම අවශ්‍ය ය. ජනාධිපතිවරණයේ දී දකුණේ ප්‍රගතිශීලී ජනතාව සමඟ එකා වන් ව, එකට සිට ගත් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම වන උපරිම බලය බෙදා හදා ගැනීමක් ඇති කර ගැනීමත්, ඒ අන්තර්ගතය සහිත අලුත් ව්‍යවස්ථාවක් හැකි ඉක්මණින් නීතිගත කර ගැනීමත් අවශ්‍ය ය. එය එක් අතකින්, තමන්ගේ ම ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය තනි නොකිරීමකි.■