රාවය

සම්මුති ආණ්ඩුව අවසන් විය යුතුද?

සම්මුති ආණ්ඩුව අවසන් විය යුතුද?

තරිඳු උඩුවරගෙදර

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය අතර සම්මුති ආණ්ඩුවක් බිහිවුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ආණ්ඩුව බිහිවීම පොරොන්දු සිය ගණනක් ඉටු කිරීමේ අරමුණ මත සිදුවූවක් විය. එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඒ බලාපොරොත්තු ඉටු කරන්නක් නොවීය. වසර දෙකක කාලය තුළ සිදුවූ දේවල් පිළිබඳ කිසිවෙකුට සතුටුවිය නොහැකිය. දැන් වසර දෙකක පොරොන්දු වූ කාලය අවසන්ය. ශ්‍රීලනිප කණ්ඩායමේ සාමාජිකයෝ වසර දෙක අවසන්ව ආණ්ඩුවෙන් ඉවත්වන බව ප්‍රසිද්ධියේ පවසති. ජනාධිපතිවරයා දෙසැම්බර් තිස්එක තෙක් ආණ්ඩුවේ රැඳී සිටින්නැයි ශ්‍රීලනිප කණ්ඩායමෙන් ඉල්ලා ඇත. මේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය.

ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙන සලකුණක් නෑ
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
පැහැදිලිවම මේ ආණ්ඩුවට තවදුරටත් ගමන් කරන්න බැහැ. ඒකට මූලිකම හේතුව ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් නැතිවීම. මේ පක්ෂ දෙකේ ඡන්ද පදනම සහ පාක්ෂිකයන් විශ්වාස කරන ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් ඒවා. ශ්‍රීලනිපය දේශීය චින්තනයකින් පෝෂණය වුණ වාමාංශික නැඹුරුවක් තියෙන පක්ෂයක්. ඔවුන් හැමදාම හිටියේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව. එජාපය කියන්නේ දේශීය සම්පත් විකිණීම ප්‍රතිපත්තිය කරගත්ත පක්ෂයක්. මේ දෙක කෘත්‍රිමව එකතු කළත් එකට පවතින්න බැහැ.

අනෙක් පැත්තෙන් මෙහෙම පක්ෂ දෙක එකතුවීම රටට අහිතකරයි. එජාප ආණ්ඩුවක් බලය පත්වෙලා දේශීය සම්පත් විකිණීමට එරෙහිව හැමදාම ප්‍රබල විවේචනය ගෙනාවේ ප්‍රධාන විපක්ෂය විදියට ශ්‍රීලනිපය. දැන් ඔවුන් ආණ්ඩුවේ කෑල්ලක් බවට පත්වෙලා. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම විදියට කථානායකවරයා පිළිගන්නේ නෑ. කථානායකවරයා පිළිගන්නේ දෙමළ ජාතික සන්ධානයයි විපක්ෂය විදියට. ඒ නිසා ආණ්ඩුවෙන් ශ්‍රීලනිප කණ්ඩායම ඉවත්ව නිල විපක්ෂය බවට පත්වීම අත්‍යවශ්‍ය දෙයක්. ඔවුන් තමන් සමඟ ප්‍රතිපත්තිමය වශ‍යෙන් ගැළපෙන ඒකාබද්ධ විපක්ෂය එක්ක කටයුතු කරන්න ඕනෑ. ඉන්පසුව දුර්වල එජාප ආණ්ඩුවට එරෙහිව වඩා බරපතළ විදියට විවේචනයක් ගෙනෙන්න ඕනෑ. ඒත් දැන් තියෙන තත්ත්වයේ හැටියට ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රීලනිප කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙන සලකුණක් නෑ. ඔවුන්ට එහෙම චේතනාවක් තියෙන බව පෙනෙන්නේ නෑ.
එජාප කණ්ඩායමටත් වඩා ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව විවේචන ගෙනෙන්නේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප කණ්ඩායම. ළඟදී ශ්‍රීලනිප මහලේකම් තනතුරේ ඉන්න දුමින්ද දිසානායක මහත්තයා කියලා තිබුණානේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා දෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම පසුබිමක ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙලා වැදගත් දෙයක් කරයි කියලා හිතන්න බැහැ.

ඔබ ඇහුවා, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මීට පෙර සිවිල් සමාජ සංවිධාන එක්ක ජනාධිපතිවරණයේදී ඇතිකරගත්ත එකඟතාවන් ගැන. මේ සිවිල් සමාජ කණ්ඩායම් කියලා කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්න උත්සාහ කරන අය. ඔවුන්ගෙන් බහුතරය පැහැදිලිවම දෙමළ ජාතික සන්ධානයේ න්‍යාය පත්‍රය එක්ක එකඟයි. මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රීලනිපයේ සාමාජිකත්වය පැහැදිලිව ඒ න්‍යාය පත්‍රයට විරුද්ධයි. සිවිල් සමාජයේ සහ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ අපේක්ෂා එකිනෙකට වෙනස්. ඒ දෙක අතරින් ශ්‍රීලනිපය තෝරාගත යුත්තේ පාක්ෂිකයාගේ අපේක්ෂාවනුයි.

 

වැඩි වාසි ලබාගන්න උත්සාහ කිරීමක්
නීතිඥ ලාල් විජේනායක
මට හිතෙන විදියට මේ සංවාදය තියෙන්නේ ඉතාම අපැහැදිලි තැනක. ශ්‍රීලනිපයේ අය ඉවත්වෙනවා කිව්වත් ඔවුන් ඉවත්වෙන්න එක් එක්කෙනා විවිධ හේතු ඉදිරිපත් කරනවා. එක් තැනක දහයක් ඉවත්වෙනවා කියද්දී තව කෙනෙක් අටක් අයින්වෙනවා කියනවා. සමහර අය කියන්නේ විරුද්ධ පක්ෂයට යනවා කියලා. සමහර අය කියන්නේ ස්වාධීන වෙනවා කියලා. එක් කාරණයක් හොඳින් පැහැදිලියි. මේ අයට ජනවාරි අටවැනිදා දුන්න තීන්දුව වැටහිලා නැහැ. ඔවුන් ජනවාරි අටවැනිදා ජනතා ව්‍යාපාරයේ හිටපු අය නෙවෙයි. ජනවාරි අටවැනිදා ව්‍යාපාරය කියන්නේ මැතිවරණයට මාස දෙකක් කලින් අටවාගත්ත එකක් නෙවෙයි. ඒක අඩු ගාණේ අවුරුදු තුනක් තිස්සේ සෝභිත හිමියන්ගේ නායකත්වය වටේ එකතුවුණ කොටස් විසින් විවිධ සාකච්ඡා ඇතිකරලා බිහිකළ ජනතා ව්‍යාපාරයක්.

දැන් මේ අයට තියෙන්නේ ජනවාරි අට ජනතා තීන්දුව සම්බන්ධයෙන් ඒ අයට තියෙන කාර්යභාරය ගැන අනවබෝධයක්. ඇත්තටම එජාපයේ සමහර අයටත් ජනවාරි අට ජනතා තීන්දුව ගැන අවබෝධයක් නෑ.
එක් පැත්තකින් මට හිතෙනවා, මේ අය අයින්වෙන බව කියන්නේ අයින් වෙන්නම නෙවෙයි කියලා. මොකද මේ අයට අයින්වෙලා විපක්ෂය ලෙසින් ක්‍රියාකරන්න තරම් ශක්තියක් තියෙන බවක් පෙනෙන්නේ නෑ. කතාවට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා කිව්වත් එහෙම ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් තියෙන බව පෙනෙන්නේ නෑ. බොහෝවිට මෙයාලා කරන්නේ ඉවත්වෙන බවට තර්ජනය කරලා වැඩි වාසි ලබාගන්න උත්සාහ කිරීමක් වෙන්න පුළුවන්, වරප්‍රසාද වැඩියෙන් ලබාගන්න වෙන්න පුළුවන්.

මොකද මේ අය තමන්ගේ චෝදනා විදියට කියන්නේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට රැකියා නැතිවීම වගේ හේතු. පටු දේශපාලන අරමුණු. ඒකෙන් තව පෙනෙන දෙයක් තමයි ලංකාවේ දේශපාලනය මොන තරම් පටු, පිරිහීමට ලක්වුණ එකක්ද කියන එක. මේ අයට ප්‍රතිපත්තියක් නෑ. මොන පැත්තේ හිටියත් වෙනසක් නෑ. වැඩි වාසි තියෙන පැත්තේ ගිහින් ඉඳගනියි. මේ අය ඉවත්වුණා කියලා විශාල බලපෑමක් වෙන පාටක් නෑ. මම කලින් කිව්වා වගේ මේ අයට ආණ්ඩුවක් හදන්න ශක්තියක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එහෙම දේකට සහාය දෙයි කියලා හිතන්න අමාරුයි. සහාය දුන්නත් ජනාධිපති ධුරය තිබුණා කියලා ඔවුන්ට ආණ්ඩුවක් හදන්න හැකියාවක් නෑ.

 

ඩයිනසෝර් දේශපාලනඥයන්ට ඕනෑ දෙයක් කරන්න ඉඩ දෙන්න
නීතිඥ ශිරාල් ලක්තිලක
ඇත්තටම මට ඔය මතුපිට සංවාදය එතරම් වැදගත් නැහැ. මට වැදගත් වෙන්නේ මේ ඉවත්වීමට සැබෑ හේතුවයි. මහින්දවාදීන් විපක්ෂය විදියට උග්‍ර ජාතිකවාදී ව්‍යාපාරයක් ගෙනියනවා. ඒකේ බලපෑම නිසායි ශ්‍රීලනිප කණ්ඩායම පීඩනයට ලක්වෙන්නේ. ඔවුන් හිතන්නේ පක්ෂයේ අනාගතය තියෙන්නේ මහින්දවාදී පිල සමඟ එකතුවීම එක්ක කියලායි. මම අහන ප්‍රශ්නය මහින්දවාදී උග්‍ර ජාතිකවාදී දේශපාලනයට අනාගතයක් තියෙනවාද කියන එකයි. මට හිතෙන්නේ ඒ දේශපාලනයට අනාගතයක් නෑ.

ඊළඟ ජනාධිපතිවරණයක් තිබුණොත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ අපේක්ෂකයාට සිංහල බෞද්ධ ජනතාව වන සීයට හැට අටක ප්‍රමාණයෙන් සීයට හැටක්වත් ඡන්දය ගන්න ඕනෑ. එහෙනම් ඒ වෙනුවෙන් දැඩි ජාතිකවාදී ව්‍යාපාරයක් ගෙනියන්න ඕනෑ. ඒක කරන්න බැරි බව පැහැදිලියි. එහෙම සීයට හැටක ඡන්දයක් සිංහල ජනතාවගෙන් ගත්තත් ඒ වගේ ඡන්ද ප්‍රමාණයක් සඳහා ගෙනයන දේශපාලන ව්‍යාපාරයකට මුස්ලිම් හෝ දෙමළ ඡන්ද හම්බවෙන්නේ නෑ.

ලංකාව අන්තර්වාර්ගික අන්තර් ආගමික රටක් කියන එක 2009 යුද්ධය අවසාන වුණ දවසේ ඉඳලා නැවත ස්ථාපිත වුණා. මේක තේරුම් නොගන්න ඩයිනසෝර් දේශපාලනඥයෝ ටිකක් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ ඩයිනසෝර් දේශපාලනඥයන්ට ඕනෑ දෙයක් කරන්න ඉඩ දෙන්න ඕනෑ කියන එකයි මගේ මතය. හැබැයි 2020 මැතිවරණය තීරණය වෙන්නේ දේශපාලනය ගැන දන්න අලු‍ත් දේශපාලන පන්තියකින්. එහෙම නැතිව මේ අද ඉන්න ඩයිනසෝර් දේශපාලනඥයන්ගෙන් නෙවෙයි. ඉතින් ඒ නිසා මම නම් කිසිම සැලීමකට පත්වෙන්නෙ නෑ කවුරු ගියත්, කවුරු ආවත්. අනාගතයක් තියෙන්නේ මේ නව දේශපාලනය එක්ක ඉන්න අයටයි.

මේ ආණ්ඩුවේ ඩයිනසෝර් දේශපාලනඥයෝ ඉන්නවා. අපට ගැටලු‍ව තියෙන්නේ විපක්ෂයේ ඉන්න ඩයිනසෝර් දේශපාලනඥයන්ටත් වඩා ආණ්ඩු පක්ෂයේ ඉන්න ඩයිනසෝර්ලා ගැන. ආණ්ඩු පක්ෂයේ ඩයිනසෝර්ලාත් 2020 වෙද්දී ක්ෂීණ වෙලා යයි. ඒක තමයි ඩාවින්ගෙන් අපි ඉගෙනගත්තේ. මම කියන්නේ ලංකාවේ ඉන්න දේශපාලනඥයනුත් ඩාවින්ගේ න්‍යාය අනුගමනය කරන්න ඕනෑ කියලායි.

දැන් මේ සිදුවන මතුපිට සිදුවීම් ගැන මගේ පෞද්ගලික මතය, ඔය කිව්වාට කවුරුත් මන්ත්‍රීවරුන් යන්නේ නැහැ කියන එකයි. එහෙත් එජාපය සහ ශ්‍රීලනිපය අතර තියෙන සම්බන්ධතා ගැන නැවත හිතා බලන්න කාලය ඇවිල්ලා තියෙනවා කියන එක ඇත්ත. ඒක හෙමිහිට කරන්න ඕනෑ දෙයක්. කොහොම වුණත් ජනමාධ්‍යවල තිබුණා ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා කියලා මේ ගැන කලබල වෙන්න ඕනෑ නෑ කියලා. එජාපය සමඟත් ජනාධිපතිවරයා හොඳ අවබෝධයකින් වැඩ කරන බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

 

ජාතික ආණ්ඩුව නිසා යහපත් දේවල් සිද්ධවුණා
නීතිඥ ජාවිඞ් යූසු‍ෆ්
මං හිතන්නේ එහෙම අයින්වෙන එක ඒගොල්ලන් තමන්ගේ නායකයාට කරන අසාධාරණයක්. ආණ්ඩුව ජනවාරි අටවැනිදා ජනතාව එක්ක සම්මුතියකට ආවා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. දැනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒකෙන් කොටසයි. ඉතිරි ටික ක්‍රියාත්මක වෙනකන් ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා මේ සම්මුති ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. මොකද මේක එජාපය හෝ ශ්‍රීලනිපයේ තනි ආණ්ඩුවක් නෙවෙයි සම්මුතිවාදී ආණ්ඩුවක්. මේ සම්මුතියට පුරවැසියනුත් සම්බන්ධයි. ඒක හිතුමතේ අත්හරින්න ආණ්ඩුවට අයිතියක් නෑ.

අයින් වෙන්න හේතු විදියට එයාලා මතුකරන කරුණු පක්ෂයේ අනාගතයට හොඳ දේවල් කියලායි මට පෙනෙන්නේ. වෙන විශේෂ හේතුවක් දක්වලා නෑ. හැබැයි අපි ඇත්තටම බලන්න ඕනෑ රටේ අනාගතය ගැනයි. රටට හොඳ ජාතික ආණ්ඩුව බිහිකරගන්න හේතුවුණ පොදු අරමුණු ඉටු කරන එකයි.
ශ්‍රීලනිපයේ දැන් ඉන්න ඇමතිවරු ජනවාරි අට ජනවරමට බැඳිලා නැහැනේ. එයාලා හිටියේ ඒකට විරුද්ධව මහින්ද රාජපක්ෂ වෙනුවෙන්නේ. ඒ නිසා තමයි එයාලා ලේසියෙන්ම පක්ෂයේ යහපත කියලා මේකෙන් ගැලවිලා යන්න උත්සාහ කරන්නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එකතුවුණේ ජාතික වැඩපිළිවෙළක් අනුව. මම හිතන්නෑ ඉදිරි මාස කිහිපය ඇතුළත මේවා ඉටු කරගන්න පුළුවන් කියලා.

පහුගිය අවුරුදු දෙකක කාලය තුළ කිසිවක් සිදුනොවුණු බව කියන්න බෑ. ජාතික ආණ්ඩුව නිසා යහපත් දේවල් සිද්ධවුණා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් වීමක් වුණා. තොරතුරු පනත වගේ පනත් සම්මත වුණා. දහනවවැනි සංශෝධනය සම්මත වුණා. එහෙත් කරන්න තියෙන හුඟක් දේවල් කරලා නැති බවත් ඇත්ත. වැදගත්ම දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ඡන්ද ක්‍රමයක් හා නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමයි. ඒ වගේම හිටපු ආණ්ඩුවේ දූෂිතයන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ මේ ආණ්ඩුවේ සිදුවුණ දූෂණවලට පියවර ගැනීම. ඒ දෙකම දැනට අසාර්ථකයි. ඉතින් ඉදිරි අවුරුදු දෙකට යළි ගිවිසුම්ගත වෙද්දී මේවා යළි සලකලා බලලා කරන්න බැරිවුණ දේවල් කරන්න ඕනෑ.

 

වෙන්වීම සිදුවීමට නියමිතයි
විදර්ශන කන්නන්ගර

ජනවාරි අටවෙනිදා යම් දේශපාලන බල වෙනසක් වුණා. හැබැයි ඒකෙන් පස්සේ සිදුවුණ දේවල් අපට පෙන්නුවේ රටේ අනාගතය පැත්තෙන් බරපතළ වෙනසක් වෙලා තිබුණේ නැහැ කියන එකයි. එක් පැත්තකින් ඒ වෙලාවේ රාජපක්ෂව එළවා දැමීමේ නිශ්චිත අවශ්‍යතාව තිබුණා. හැබැයි ඒ මොහොතේ ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා විදියට තෝරාගත්ත අයට මඟහැරුණු කාරණයක් තිබුණා. ඒ ඔවුන් තෝරාගත්තේ දේශපාලන පක්ෂයක නායකයෙක්. දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. දේශපාලන පක්ෂවල අය දේශපාලනය කරන්නේ තමන්ගේ පක්ෂ පදනම මත. තමන්ගේ බලය මත. එතකොට සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණවලට කලින් දේශපාලන නායකයන්ට වැදගත් වෙන්නේ තමන්ගේ දේශපාලන ගමනයි. එතකොට එජාපය සහ ශ්‍රීලනිපය අතර 2015 අගෝස්තු 21 ඇතිවුණාය කියන අවබෝධතා ගිවිසුම අපි තේරුම්ගන්න වෙන්නේ රට ගොඩනඟන හැටි, රටේ පිළිවෙළ හදන සිවිල් සමාජය බලාපොරොත්තු වුණ වෙනස්කම් ඉටුකරන බලවේගයක් හදන ගිවිසුමක් විදියට නෙවෙයි. ඒ වෙනුවට දේශපාලන න්‍යාය පත්‍ර සහිත ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමන්ගේ බලය ස්ථාපිත කිරීම වෙනුවෙන් හදපු දේශපාලන එකඟතාවක්.

එක් පැත්තකින් මේ පක්ෂ දෙක අතරේ තියෙනවා ඉදිරියට යන්න බැරි ගතිකයක්. ඒකෙන් අර ජනවාරි අටවැනිදා මතුවුණ අරමුණු නිශේධනය කරන පාලනයක් බිහිවෙනවා. ඒ නිසායි මිනිස්සු ජනප්‍රිය විදියට කියන්නේ පැරදුණු අයත් ආණ්ඩුවේ ඉන්නවා කියලා. ජනවහර අනුව කිව්වොත් එළහරකායි මීහරකායි එකතුවෙලා හැදුණු ආණ්ඩුවක් මේක.
වෙනස් පාලන අවශ්‍යතා තියෙන, වෙනස් වුවමනා එපාකම් තියෙන, එකිනෙකට වෙනස් ආර්ථික වැඩපිළිවෙළවල් යෝජනා කරන කණ්ඩායම් දෙකක එකතුවක් මේක. මේ කණ්ඩායම් දෙක මෑත කාලයේ බලය තහවුරු කරගැනීමේ වැඩපිළිවෙළක් ඇතුලේ බල පොරයක හිටියේ.

අපි බලන්න ඕනෑ මේගොල්ලෝ ඉවත්වෙන්න කරන යෝජනා දිහා. ශ්‍රීලනිපයේ අය කියනවා රැකියා වියුක්තියට අදාල සුභසාධන නොකිරීම සහ සුළු‍ සහ මධ්‍ය ව්‍යවසායකයන්ට සහන ලබානොදීම සහ දූෂණ සෙවීම සඳහා එජාප ආණ්ඩුව යොමු නොවීම වගේ කාරණා. ඒ හේතුවලත් තේරුම්ගන්න බැරි එකතුවක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න වගේ දේවල් තමයි ඉස්සරහට දාන්නේ.

සම්මුති ආණ්ඩුව කියලා මුලින්ම හැදුවේ අවුරුදු කිහිපයකින් රට ගොඩනඟන විශේෂ ආණ්ඩුවක් විදියට අර්ථ ගන්වමින්. ජෝන් ලොක් ඉදිරිපත් කළ සමාජ සම්මුති න්‍යාය එක්ක මහජනතාව සහ පාලකයන් එකතුවෙලා මුළු සමාජයම ඇතිකරගත්ත සම්මුතියක් විදියටයි මේක අර්ථකථනය කළේ. හැබැයි පැහැදිලිවම පෙනෙන්නේ මේක එහෙම සමාජයේ ඇතිවුණ සම්මුතියක් නෙවෙයි, බල අරමුණු ඇති කණ්ඩායම් දෙකක් අතරේ සම්මුතියක් පමණක් බවයි.
ඉතින් මූලිකම කාරණය, මේ කණ්ඩායම් දෙක වෙන්වීම සිදුවීමට නියමිතයි. ඒක වෙන්නේ මොන වෙලාවේද කියලා තීරණය වෙන්නේ ප්‍රතිපත්තිමය කාරණා මත නෙවෙයි. ඒක වෙන්නේ අභ්‍යන්තර බල ගැටුමේ පුපුරායෑමක් විදියට. හැබැයි ඒක තීරණය කරන්නේ ඒගොල්ලෝ. ජනතාවවත් සිවිල් සංවිධානවත් නෙවෙයි.

කෙනෙක් කියාවි ජනතාවට බලයක් තියෙනවා කියලා මේ සඳහා බලපෑම් කරන්නට. හැබැයි ජනතාවට එවන් තීරණ ගැනීමේ බලයක් තිබුණු කාලය ඉවරයි. දැන් දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ පාලන තන්ත්‍ර සහ පාලන තන්ත්‍ර ඇතුළේ ඉන්න කල්ලි. ජනතාව සහ පාලකයා අතර තියෙන බැඳීම අවසන්. හොඳම උදාහරණය තමයි ජනවාරි අට වෙනස ජනතාව නිසා වුණා නම්, දැන් ඒ ජනතාවගේ අදහස් ආණ්ඩුව ඇතුළේ පෙනෙන්න ඕනෑ. ඒත් එහෙම ජනතා අදහස් ආණ්ඩුව නියෝජනය කරන්නේ නෑ. ඒක මේ පක්ෂවල අනාගතයට බලපාන්නේ නෑ.

මේ දේවල් ගැන අපි නිරීක්ෂණයෙන් ඉන්න ඕනෑ බව ඇත්ත. හැබැයි කිසිසේත්ම මේ සිදුවීම් රටේ විශාල වෙනසක් වෙන්නට හේතුවෙන්නේ නැහැ. මේ ආර්ථික වැඩපිළිවෙළ, මේ දේශපාලන ව්‍යාපාර ඉදිරියටත් තියෙනවා. හොරු, ජාවාරම්කරුවන්, ධනවතුන් නියමිත මොහොතවල් බලමින් බල ගැටුමක යෙදීමක් දිගටම සිදුවේවි.