රාවය

රාජපක්ෂලා තනි වෙන, පරාජය වෙන හොඳම ඡන්දය ජනමත විචාරණයයි | ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

රාජපක්ෂලා තනි වෙන, පරාජය වෙන හොඳම ඡන්දය ජනමත විචාරණයයි | ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

තරිඳු උඩුවරගෙදර

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකත්වය දැරූ බුද්ධිමතෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට සම සමාජ පක්ෂ නායකත්වය තීරණය කරද්දී සිය පක්ෂයේ පුරෝගාමීන්ගේ මඟ යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් නීතීඥ ලාල් විජේනායක වැනි බුද්ධිමතුන් සමඟ පොදු අපේක්ෂකයාට සහයෝගය දීමට ඔහු තීරණය කළේය. ඉන්පසුව පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු ඔහුට සියලුදෙනාගේ එකඟතාව ලබාගනිමින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමේ කටයුත්තට බුද්ධිමය වශයෙන් නායකත්වය දීමේ වගකීම පැවරුණි. ජනමතයට නව අර්ථකථන දෙමින් නව ව්‍යවස්ථාව යෝජනාවකට සීමා කරන්නට ඇතැමුන් උත්සාහ දරන මොහොතක ව්‍යවස්ථා සංවාදය පිළිබඳව අපි ඔහුගේ අදහස් විමසුවෙමු.

ශ්‍රීලනිප කණ්ඩායම පෙන්වා දෙනවා ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් කරමි කියලා 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුණ නිසා ජනමත විචාරණයකට යන අන්දමේ ව්‍යවස්ථා වෙනසක් කරන්න ජනවරමක් මේ ආණ්ඩුවට නෑ කියලා.
මුලින්ම කියන්න ඕනෑ ජනමත විචාරණයකට යන්න පොරොන්දු වුණේ නැහැ කියන එක සත්‍යයෙන් තොරයි. අපි මෛත්‍රීපාල සිරිසේන මහතාව පොදු අපේක්ෂකයා විදියට පිළිගෙන දවස් කිහිපයකට පස්සේ එජාපය සහ සිවිල් සංවිධාන සමඟ එකඟතාවකට ආවා විහාරමහාදේවි උද්‍යානයේදී ගිවිසුමක් අත්සන් කරමින්. ඒකෙ තිබුණා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියලා. ඉන් දිනකට හෝ දෙකකට පස්සේ අපි කවුරුත් දන්නේත් නැහැ, හෙළ උරුමයත් එක්ක සිරිසේන මහතා එකඟතාවකට ආවාලු‍ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර බලතල සීමා කරනවා කියලා. හැබැයි සෝභිත හිමියන් සමඟ අපි එකල බලාපොරොත්තු වුණේ ජනමත විචාරණයකුත් තියලා මේක අවසන් කරන්න. එහෙත් දේශපාලන යථාර්ථයන් අපි හිතන විදියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ කියන්නේ එවකට පාර්ලිමේන්තුවේ සිරිසේන මහත්මයාගේ ජනාධිපතිත්වයෙන් සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ සරල බහුතරයවත් තිබුණේ නෑ. ඒ නිසා ඉක්මනින් ආණ්ඩුවක් හදාගන්න ඕනෑ වුණා. ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියොත් මාස කිහිපයක් කල් ගතවෙන්න තිබුණා. ඒ සියල්ල දිහා බලලා අපි එකඟ වුණා ඒ අවස්ථාවේදී, ඒ සංශෝධනය ජනමත විචාරණයක් නැතිව කරන්න. හැබැයි ඒ සංශෝධනය පමණයි. මේ කාරණය අපි කෙටුම්පත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ තියෙනවා. ඔහු කියනවා තමාට ව්‍යවස්ථා සංශෝධනය සඳහා හෙළ උරුමය, එජාපය, ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ එකඟ කරවාගන්න පුළුවන් කියලා. එම නිසා සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කරලා දින සීයක් ඇතුළත මේ සංශෝධනය අනිවාර්යයෙන් කරන බව කියනවා. එතැන කියන්නේ දැනට පත්වෙන අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වගකියන විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. ඉන්පසුව කියනවා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි කියලා. ඒ කියන්නේ බොහොම පැහැදිලියි, මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඊට ඡේදයකට කලින් කියන දින සීය ඇතුළේ සිදුකරන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බව. මම දැකලා තියෙනවා සමහරු රූපවාහිනී සංවාදවල දෙවැනි කෑල්ල විතරක් කියන්නේ.

අගෝස්තු 17 මැතිවරණයේදී අලු‍ත් ව්‍යවස්ථාවකට ජනවරමක් ලැබුණාද?
එජාපය තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව. ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදන බවත් කියනවා. දැන් කනගාටුයි කියන්න, එජාපයෙන්ම පාර්ලිමේන්තුවට ආ සමහරු කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ නෑ කියලා. ඒක එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආ සමහර කුඩා පක්ෂ කිහිපයකම අය කියනවා. හෙළ උරුමයට සම්බන්ධ අයත් කියනවා. මුස්ලිම් සහ කඳුරට දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල අයත් ඒකම කියනවා. ඒක අපි ලැබූ ජනවරමට සම්පූර්ණයෙන් පටහැනියි.

එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබුණේ නැහැ නේද? ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වන ශ්‍රීලනිපය නව ව්‍යවස්ථාවක් ගැන පොරොන්දු වුණේ නැහැ නේද?
ඇත්ත, ශ්‍රීලනිප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ නැහැ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව. හැබැයි ඒකේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බව පොරොන්දු වී තිබුණේත් නෑ. ඔය මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ගත්තා 46.66%ක්. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන බව පොරොන්දු වුණා. ජවිපෙත් නව ව්‍යවස්ථාවක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට පොරොන්දු වෙමින් 4.8%ක් ගත්තා. දෙමළ ජාතික සන්ධානය අන් සියල්ලන්ටම වඩා ඒ වෙනුවෙන් පෙනීසිටියා. ඔවුන් 4.6%ක් ගත්තා. මේ ටික එකතු කළාම 54%කට වැඩි ප්‍රමාණයක් පැහැදිලිවම විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නටත් අලු‍ත් ව්‍යවස්ථාවකටත් පක්ෂව ඡන්දය දුන්නා.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය පිළිබඳ පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවේ සඳහන් වුණේ මොකක්ද?
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට යෝජනාවක් සම්මත කරගත්තා. ඒකෙදී යම් පක්ෂ සංශෝධන ඉදිරිපත් කළා. ඒ අනුව මෙය හැත්තෑඅටේ ව්‍යවස්ථාවේදී පූර්ණ සංශෝධනයක් කරනවාද, අලු‍ත්ම එකක් ගෙනෙනවාද කියන එක ගැන කිසිම දෙයක් නොකියා විවෘතව තියමු කියලා එකඟ වුණා. ඒක සංශෝධනයක් විදියට එකතුවුණා. හැබැයි කිසිකෙනෙක් සංශෝධනය කරන්න ඉල්ලු‍වේ නැහැ ජනමත විචාරණයට යන්න ඕනෑ කියන කාරණය. ඒක පැහැදිලිව පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත යෝජනාවේ තිබුණා. මේක පාර්ලිමේන්තුවේ කිසිම විරෝධයක් නැතිව ඒකමතිකව සම්මත කරගත්ත යෝජනාවක්. ඒකෙන් පැහැදිලි වෙනවා මේක මෙයාලා පසුව ගෙනා තර්කයක් බව.
ශ්‍රීලනිපයේ නායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසත් වැදගත් නේද? ඔහුගේ අදහස මොකක්ද?
සෝභිත හිමියන්ගේ ආදාහනය අවස්ථාවේදී ජනාධිපතිවරයා පැහැදිලිවම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ප්‍රතිඥා දුන්නා. ඒ වගේම ඔහු පදනම් ආයතනයේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සමුළුවකදීත් ඒක නැවත කිව්වා. ඇත්තටම ඒ ප්‍රකාශ දෙකෙන් පසුව ශ්‍රීලනිප ඇමතිවරුන් අපට කිව්වේ ජනාධිපතිවරයාගේ මතය පිළිගන්නා බව. ඒ පදනම උඩ තමයි අපි පහුගිය කාලේ සියල්ල කළේ. මම කලින් කිව්වා වගේ දැන් එක්වරමයි මේ අය වෙනස් අදහසක් ඉදිරිපත් කළේ. හැබැයි තවම ජනාධිපතිතුමා ස්ථාවරය වෙනස් කරලා නෑ. මෑතකදී පුරවැසි සංවිධානවල නායකයන් හමුවුණාමත් එතුමා ඒ ස්ථාවරයේ ඉන්න බව කීව බව ඒ සංවිධානවල අය කියනවා.

ජනමත විචාරණයක් මේ මොහොතේ වැදගත් වෙන්නේ ඇයි?
ජනමත විචාරණය කියන්නේ මොකක්ද. ජනතාවගෙන් ව්‍යවස්ථාවට අනුමැතිය ගන්නා එක. මේ වෙලාවේ මෙච්චර වාදවිවාද ඇතිවෙලා තියෙද්දී කළයුතු හොඳම දේ ජනතාවගේ අනුමැතිය ගන්නා එක. අනෙක් කාරණය තමයි ජනමත විචාරණයකට නොයන සීමාවේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ගියොත් කළහැකි දේවල් සීමිත වීම. සමහර වගන්තිවල කොමාවක්වත් වෙනස් කරන්න බැහැ ජනමත විචාරණයක් නැතිව. එහෙම වගන්ති 13ක් තියෙනවා. ඊට අමතරව තියෙන කාරණය තමයි අලු‍ත් ව්‍යවස්ථාවේ සුජාතභාවය. 72 සහ 78 ව්‍යවස්ථා ජනමත විචාරණයකින් අනුමත කළේ නෑ. ඒ නිසා මේක ජනමත විචාරණයකින් අනුමත කළාම සුජාතභාවයක් තියෙනවා. දැන් ජනතාවගේ පරමාධිපත්‍යය ගැන කතාකරන අයම කියනවා ජනතාවගෙන් අහන්නේ නැතිව ව්‍යවස්ථා සංශෝධන කරමු කියලා.

මැතිවරණ ප්‍රකාශනයක යමක් නොතිබුණු බව කියමින් එය කිරීමට ජනවරමක් නැතැයි කීම ගැන ඔබේ අදහස මොකක්ද?
ඔය තර්කය අනුව ගත්තොත් මැතිවරණයකින් දිනන පක්ෂයකට කිසිදෙයක් කරගන්න බැරිවෙනවා. අපි හිතමු යම් ආණ්ඩුවකට තුන්වැනි අවුරුද්දේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යවශ්‍ය වෙනවා. මැතිවරණ ප්‍රතිපත්තිවල නැහැ කියලා ඒක නොකර ඉන්නවාද. රටේ හදිසි අවශ්‍යතාවක් ආවොත් මොකද කරන්නේ.

අනෙක් පැත්තෙන් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව 2015 මැතිවරණවලදී හදිසියේ පැනනැඟු‍ණක් නෙවෙයි, එය කාලයක් තිස්සේ තිබුණු අවශ්‍යතාවක් නේද?
මේක හැත්තෑඅටේ ඉඳන් ඇතිවුණ සංවාදයක්. ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා, කොල්වින් මැතිතුමා, සිරිමාවෝ මැතිනිය ඇතුළු සියල්ලන් පෙන්වූවා විධායක ජනාධිපති ක්‍රමය රටට නුසුදුසු බව. ව්‍යවස්ථාවට උඩින් නීතියට උඩින් පාර්ලිමේන්තුවට උඩින් හදන ආයතනයක් මේක. අනෙක් රටවලත් සංවර්ධනයේ නාමයෙන් මෙවැනි තනතුරක් ගෙනල්ලා විනාශයක් වුණු බව ඔවුන් පෙන්නුවා. ඒ වගේම හැත්තෑඑකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති ක්‍රමයක් ගෙනෙන්න ඕනෑ කියලා කියද්දී ඩඞ්ලි සේනානායක මහත්තයා ඒකට විරුද්ධ වුණා. ඔහු කීවා තනි පුද්ගලයෙකුට බලය නොදිය යුතුයි කියලා. මේක අවුරුදු හතළිහක් තිස්සේ සාකච්ඡා වුණු දෙයක්. මේක ඉහළින් පහත් වුණ දෙයක් නෙවෙයි. ශ්‍රීලනිපය හැමදාම කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේත් පැහැදිලිව කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව.

තවත් පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වෙන්නේ රනිල් වික්‍රමසිංහ විශාල බලයක් අත්පත් කරගනීවි කියන බිය නිසා නේද? මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනයෙන් අතුගාන කුමන්ත්‍රණයක් හැටියට මේ ව්‍යවස්ථාව හඳුන්වනවා..
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයක් හරහා පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ඇති කරන බව. සමහරු හිතාගෙන ඉන්නවා අගමැති කියන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. ජනාධිපති කියන්නේ මෛත්‍රීපාල සිරිසේන කියලා. හැමදාම ඒ දෙන්නා මේ තනතුරුවල ඉන්නවා කියලායි හිතාගෙන ඉන්නේ. මේක පුද්ගලයන් සම්බන්ධ කාරණයක් නෙවෙයි. අනික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් අගමැතිවරයාට බලය යන්නේ නැහැ. බලය යන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තුවට.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයකින් අවුරුදු පහක් සඳහා බලය ලැබී තිබීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බාධාවක්ද?
අද සියලු‍ම පක්ෂ අතරේ එකඟතාවක් තියෙනවා ව්‍යවස්ථාව වෙනස් කරලා 2020 ජනවාරි අටවැනිදා තෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව තියෙන වර්තමාන බලතල එසේම තියෙන්න ඕනෑ කියලා. මොකද එතුමා තමයි මේ වෙනස ඇති කළේ. ඉතින් අපි පිළිගන්නවා එතුමාට තියෙන බලතල මේ මොහොතේ තියෙන්න ඕනෑ කියලා. ඉතින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළත් ඒක සිදුවෙන්නේ 2020 ජනවාරි අටවැනිදායින් ඔබ්බට.

විධායක ජනාධිපතිවරයා සතුව ඇති යම් විශේෂ බලතල පවතින්න ඕනෑ නිසා මේක අහෝසි කරන්න එපා කියන අයත් ඉන්නවා නේද?
විවිධ ක්‍රම තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය එක පාරම සම්පූර්ණයෙන් අහෝසි කරන්න බැරි නම් යම් විශේෂ බලතල ජනාධිපති ධුරයට දෙන්න පුළුවන්. සමහරු කියනවා පළාත් සභා පිළිබඳ බලතල ජනාධිපතිවරයාට දෙන්න කියලා. මගේ ඒ පිළිබඳ විරුද්ධත්වයක් නෑ. මගේ විරුද්ධත්වය තියෙන්නේ ජනාධිපතිවරයා තෝරන ක්‍රමයට. මම කියන්නේ නැහැ බලතල පැත්තෙන් ජනාධිපති ධුරය නැවත ගොපල්ලව ක්‍රමයේ ජනාධිපති ධුරයකට යන්න ඕනෑ කියලා. විශේෂ බලතල දෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ජනාධිපතිවරයා තෝරාගන්නේ කොහොමද කියන එක. මොකද බලතල අඩුවුණත් මහජනයාගෙන් කෙළින් තෝරාගන්නා ජනාධිපති ධුරයක් නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ලිප්හාර්ට් නම් සුප්‍රසිද්ධ දේශපාලන විශේෂඥයා කියලා තියෙනවා ඔය මෝඩ වැඬේ කරන්න එපා කියලා. මොකද අර්බුදකාරී අවස්ථාවක ජනාධිපතිවරයා කියයි මට තියෙනවා ඍජු ජනවරමක්, ඔබට තියෙන්නේ අර්ධ ජනවරමක් කියලා අගමැතිවරයාට කියලා යම් අර්ධ ජනාධිපති ක්‍රමයකට යන්න පුළුවන් කියන එක. විශේෂයෙන් අයර්ලන්තයේ සීමිත ජනාධිපති තනතුරක් කෙලින් තෝරනවා. හැබැයි එහේ දේශපාලන සංස්කෘතිය වෙනස්. මම එකඟයි සාකච්ඡා කරලා යම් විශේෂ බලතල ජනාධිපති ධුරයට දෙන්න. මගේ ප්‍රධාන කාරණය තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරන්න කියන එක. ඊටත් එහා ගිහින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අවධි කිහිපයකින් කරන්න ඕනෑ කියලා හිතනවා නම් 2020න් පස්සේ පත්වෙන ජනාධිපතිවරයාටත් යම් විශේෂ බලතල ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට විවෘතයි. ඔය වගේ වැඩ කරනවානේ අන්තර්කාලීන විධිවිධාන විදියට. අපි එකඟයිනේ ඔක්කෝම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ ඔහුගේ බලතල පවතින්න ඕනෑ කියලා. ඊළඟට පත්වෙන කෙනාටත් යම් විශේෂ බලතල දෙන්න ඕනෑ කියලා එකඟ වෙන්න පුළුවන්නේ.

2020න් පස්සේ පළවැනි විධායක නොවන ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාම පත් කරන්න පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ගන්නත් පුළුවන් නේද?
මම දන්නවා උදාහරණයක් වශයෙන් දැනටමත් දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් දන්වලා තියෙනවා 2019 අගදී අලුත් ජනාධිපතිවරයෙක් තෝරද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කරන්න කැමති බව. මම හිතනවා ඒ වගේ යෝජනාවකට එක්සත් ජාතික පක්ෂයත් විරුද්ධ වෙන්න හේතුවක් නෑ.

ජනමත විචාරණයකට ගියොත් පරාජය වේවි කියන මතය ගැන ඔබේ අදහස මොකද්ද?
අපේ ව්‍යස්ථාවේ තියෙන්නේ මුළු පනත් කෙටුම්පතම ජනමත විචාරණයට ඉදිරිපත් කරනවා කියලායි. වගන්තියෙන් වගන්තියට කැමැත්ත පළකරන්න නෙවෙයි. සමස්තයක් විදියටයි කැමැත්ත, අකැමැත්ත පළකරන්නේ. ඇත්තටම හැදෙන ව්‍යවස්ථාවේ සමහර වගන්තිවලට මම එකඟ නෑ. මම කැමතියි මින් බොහෝ එහා යන දේකට. හැබැයි අද එකඟවිය හැක්කේ මේකට නම් මම ඒකට එකඟයි. මේක විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් පමණක් නෙවෙයිනේ, ජනවාර්ගික ප්‍රශ්නයත් මේ ව්‍යවස්ථා යෝජනාව ඉදිරිපත් කරන්නට හේතුවක්නේ. අලු‍ත් මැතිවරණ ක්‍රමයක්, අධිකරණ ස්වාධීනත්වය, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ගෙනෙන ව්‍යවස්ථාවක් මේක.

බ්‍රෙක්සිට් නමින් හැඳින්වූ බි්‍රතාන්‍ය ජනමත විචාරණය එවකට ආණ්ඩුව පරාජය වීම උදාහරණයට ගනිමින් ලංකාවෙත් ජනාධිපතිවරණය පරාජය වෙන්න ඉඩක් තියෙනවා කියලා කියනවා නේද?
බ්‍රෙක්සිට් පාර්ලිමේන්තු ඡන්දයකින් පස්සේ නෙවෙයි කළේ. අනික ඒකෙදී හැම පක්ෂයකම සාමාජිකයන්ට නිදහසක් දුන්නා කැමති අදහසක් වෙනුවෙන් පෙනීසිටින්න. පක්ෂ විදියට නෙවෙයි ජනමත විචාරණයේදී ව්‍යාපාරය ගියේ. කොලොම්බියාවේදී ජනමත විචාරණයකට ගියේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැතිව. අනික ගරිල්ලා සංවිධාන එක්ක ඇතිකරගත්ත සාම ගිවිසුම හරියට පැහැදිලි නොකර සුමාන දෙකක් ඇතුළත ඡන්දයට ගියා. හැබැයි අපේ එහෙම නෙවෙයි. පළමුවැන්න මේක දිගු කාලයක් කතාකළ මාතෘකාවක්. අනික මේක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුණාට පස්සේයි ජනමත විචාරණයකට යන්නේ. තුනෙන් දෙකක් ගත්තාම ජනමත විචාරණයක් පරදින්නේ නෑ. ඒක තමයි දේශපාලන යථාර්ථය. ජන මත විචාරණයක් පවතියි කියනන්නේ ඇත්තටම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඕනෑ නැති අය.

මේ තර්ක කෙසේ වෙතත් ප්‍රායෝගික දේශපාලනයේදී කුමක් සිදුවේවිද කියා අනාවැකි කියන්න පුළුවන්ද?
අපි අවසානයට තිබුණ මැතිවරණවල අංක ගණිතය දිහා බලමු. ගිය සැරේ ජනාධිපති ඡන්දයේදී ලක්ෂ හැටදෙකක් සිරිසේන ජනාධිපතිවරයාට දුන්නා. ලක්ෂ පනස් අටක් මහින්ද රාජපක්ෂ මහතාට දුන්නා. ඉදිරිපත්වුණු ප්‍රධාන සටන්පාඨය තමයි රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරණය. ජීවන වියදම උඩ කළ ඡන්දයක් නෙවෙයි මේක. මම හිතනවා මේ ආණ්ඩුවට මොන විවේචන තිබුණත් ඒ හැට දෙලක්ෂය ජනවාරි අට ඉදිරිපත් වුණු මූලික සටන්පාඨය ආවොත්, ආණ්ඩුවට දැන් කුමන විරුද්ධත්වය තිබුණත් ඡන්දය දෙනවා. මොකද ඒ අයගෙන් කවුරුත් රාජපක්ෂලා ළඟට ගිහින් නෑ. ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා තමයි. ඒක බොහොම සාධාරණයි. හැබැයි රාජපක්ෂලා ළඟට යන්නේ නෑ. අනික රාජපක්ෂලාට ඡන්දය දුන්න අයගෙන් ලක්ෂ කීයක් අද ආණ්ඩුව එක්ක ඉන්නවාද. අපි දැක්කා ගැටඹේ මැයි දිනයට හැට හැත්තෑදාහක් ගියා. ශ්‍රීලනිප ඇමතිවරයෙකුගෙන් මම ඇහුවා අවංකවම ශ්‍රීලනිපය සමඟ කොපමණ ප්‍රමාණයක් මැතිවරණයේදී ඉන්නවාද කියලා. ඔහු කිව්වා අඩුම ගණනේ ලක්ෂ පහළොවක ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ ප්‍රමාණය වැරදි වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන් බාගයක් වෙන්න වුණත් පුළුවන්. හැබැයි ලක්ෂ ගණනක් ඉන්නවා මහින්ද පාර්ශ්වයට ඡන්දය දීලා නමුත් අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සමඟ. ඒකත් එකතුවෙන්න ඕනෑ. අලු‍ත් ව්‍යවස්ථාවකට යද්දී ජනමත විචාරණයකට සියලු පක්ෂ පෙළගැහෙනවා. එජාපය, ශ්‍රීලනිපය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙවෙයි අලු‍ත් ව්‍යවස්ථාවකට කැමති තවත් අය ඉන්නවා. හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය. ඔවුන් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා. හැබැයි අද ඔවුන් ඉතාමත්ම හොඳ ස්ථාවරයක් අරගෙන තියෙනවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඔවුන්ට තියෙන්නේ ඡන්ද පනස්දාහක් වෙන්න පුළුවන්. හැබැයි රටම පිළිගන්නා ඩිව් ගුණසේකර වගේ අවංක දේශපාලනඥයෙක් එළියට ඇවිල්ලා ව්‍යවස්ථාවට සහතිකයක් දුන්නාම ඒකට ලැබෙන වටිනාකම ඡන්ද පනස්දාහකට එහා ගිය එකක්. තව වාමාංශිකයක් ගණනාවක් ඉන්නවා ව්‍යවස්ථා වෙනසකට පක්ෂව. ලංකා කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී සංවිධානය වගේ නොයෙකුත් කණ්ඩායම් මෙයට සහයෝගය දෙනවා. දේශපාලනිකව ගත්තොත් ජනමත විචාරණයක් තමයි රාජපක්ෂලාව තනිවෙන, පරාජය වෙන හොඳම ඡන්දය. ඒ නිසා තමයි ඔවුන් ජනමත විචාරණයකට විරුද්ධ වෙන්නේ. ඒත් කනගාටුදායක තත්ත්වය තමයි අපේ ගොඬේ ඉන්න සමහර අයත් ඒ තර්කයම ගෙනෙන එක.

විධායක ජනාධිපති ක්‍රමයට අමතරව නව ව්‍යවස්ථාවෙන් සිදුකරන වෙනස්කම් මොනවාද?
අපි යෝජනා කරන්නේ නවීන ව්‍යවස්ථාවක්. නව රාමුවක්, නව අඩිතාලමක්. ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවේ අඩිතාලම දෙදරා ඉවරයි. ඒක ගෙනා එජාපය පවා කියනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. අද නව අඩිතාලමක් ඕනෑ. ඊළඟට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. හැම ආසනයකටම මන්ත්‍රීවරයෙක් ඉන්න අතර සමානුපාතික නියෝජනයක් සහිත ක්‍රමයක් ඇතිකරන්න ඕනෑ. බලය බෙදාහරින ක්‍රමයක් ඕනෑ. මම කියන්න කැමතියි බලය බෙදාහැරීම සම්බන්ධ යෝජනාවලට පදනම් වෙන හොඳම යෝජනා ඉදිරිපත් කළේ දකුණේ මහ ඇමතිවරුන්. ඒවා ඉදිරිපත් කළ සියලුම දෙනා ශ්‍රීලනිපයේ අය. විපක්ෂ නායකවරුන් එජාපයේ. ඔවුන් ප්‍රායෝගික සහ හොඳම යෝජනා ගෙනාවා. අවුරුදු තිහක බලය බෙදාහැරීමේ අත්දැකීම් මත පදනම්වයි ඒ යෝජනා කළේ. දෙමළ ජාතික සන්ධානය දැන් කැමතියි ඒකීය කියන වචනය ව්‍යවස්ථාවට යොදන්න. ඒ වගේම මූලධර්ම තුනටම එකඟ වෙලා තියෙනවා. එකක් තමයි ප්‍රකාශිතවම ශ්‍රී ලංකාව නොබෙදිය හැකි රාජ්‍යයකි කියන වගන්තිය ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. දෙවැන්න තමයි ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය පවතින්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සතුවය කියන කාරණය වගන්තියක් විදියට ඇතුළත් කරන්න. ඒ කියන්නේ ෆෙඩරල් විදියට බෙදුණු පරමාධිපත්‍යයක් නෑ. ඒකට ඔවුන් එකඟයි. තුන්වැනි එක තමයි අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කළ හැක්කේ කේන්ද්‍රයේ තියෙන ආයතනයට පමණයි කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ දෙවැනි මන්ත්‍රී මණ්ඩලය හරහා. ව්‍යවස්ථාවේ මොන වගන්ති තිබුණත් මේ මූලික වගන්ති තුන තියෙද්දී රට බෙදන්නට කිසිවෙකුට ඉඩක් ලැබෙන්නෙ නෑ. මේ වගන්ති ඇතුළත් වෙන ව්‍යවස්ථාවකින් රට බෙදෙනවා කියලා කියන්න කාටවත් බෑ. මේකට රට බෙදන්නට ඉඩ නැති කරන ව්‍යවස්ථාවක්. මේක සිංහල ජාතිකවාදීන්ගේ බලාපොරොත්තු ඉටුකරන ව්‍යවස්ථාවක්.

මේක ව්‍යවස්ථාව වෙනස් කරන්න සුදුසු අවස්ථාවක් කියලා හිතනවාද?
සම්බන්ධන්, සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා වැනි මධ්‍යස්ථ නායකයන් දෙමළ ජනතාවට නායකත්වය දෙන මේ මොහොතේ විතරයි මේක කරන්න පුළුවන්. උතුරේ අන්තවාදීන් සිටින බවත්, ඒ කවුද කියන එකත් අපි දන්නවා. ඒ අන්තවාදීන් බලාගෙන ඉන්නවා මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න. දකුණේ අන්තවාදීනුත් ඉන්නවා මේක කඩාකප්පල් කරන්න ප්‍රාර්ථනා කරන. පළාත් සභාවලට විරුද්ධ වුණ ජවිපෙ පවා අද මේකට විරුද්ධ නොවී ඉන්නවා. මෙවැනි ග්‍රහ පිහිටීමක් ආයේ කවදා එයිද කියලා කියන්න බෑ. ඉතින් මේකෙන් ප්‍රයෝජනය ගන්නවාද කියන එක තමයි ප්‍රශ්නය.■