අර්බුදයේ ගිලුණු ආණ්ඩුවක සිට ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් කරා

තිසරණී ගුණසේකර

මෙය, රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමක් නොව, හෙණ ගහගෙන එන රේල්ලුව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී’ ගැනීමකි.
කිසි ආණ්ඩුවකට සදාතනික ජනප්‍රියත්වයේ සිටීමට පුළුවන්කමක් නැත. මිනිසුන්ට සේම ආණ්ඩුවලටත්, මැදිවියේ අර්බුදවලට මුහුණදීමට සිදුවෙයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව පෙළෙන ඇතැම් රෝග, එසේ ස්වාභාවික හේතු මත ඇති වූ ඒවාය. එහෙත් සියල්ල එසේ නොවේ. නැතහොත් බොහොමයක් එසේ නොවේ. අසීමිත අකාර්යක්ෂමතාව, විශේෂ ඕනෑ එපාකම් මත චණ්ඩිකම් පාන කණ්ඩායම් ඉදිරියේ කෙලින් සිට ගැනීමට ඇති අකමැත්ත, තමන්ගේම වළ කැපෙන බව අවබෝධ කර ගැනීමට පවා දක්වන නොහැකියාව ආදිය ස්වාභාවික ආබාධ නොවේ.

තිස් මසක් වැනි කෙටි කාලයක් බලයේ සිටීමෙන් අනතුරුව, ඇනා ආර්හෙන්ඞ්ගේ වචනයෙන් කිවහොත්, ‘සාමාන්‍ය බුද්ධියේ අති-සාමාන්‍ය නියාමයන් පවා’ තුට්ටුවකට ගණන් නොගන්නා, ‘ස්වාර්ථයේ ආශාව පවා නැති කර ගත්’ ආණ්ඩුවක් බවට අද එය පත්ව ඇත. ඒ වනාහි විහින් ඇති කර ගත් දෙයකි. එසේ සිදුවිය යුතුව තිබුණේ නැත. එහෙත් එසේ සිදු වීමට ඉඩ හැරුණි.
අවුල යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. විනාශය ඔස්සේ ගසාගෙන යෑමට ඉඩ හැරීම යහපාලනය නොවේ.
ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සහ (මොන සීමාවන් යටතේ වුවත්) ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් සහිත රටක් විණි නම්, ආණ්ඩුවේ වර්තමාන අර්බුදය, ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් නොවන්ට තිබුණි. එක දේශපාලන පක්ෂයකින් තවත් දේශපාලන පක්ෂයකට සාමකාමීව බලය හුවමාරු වීම සහතික කෙරෙන, පීඩනය මුදවා හරින යන්ත්‍රණයක් වශයෙන් මැතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක විය හැකිව තිබුණි.

අවාසනාවකට, පශ්චාත්-රාජපක්ෂ ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇතත්, ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැත්තේය.
රාජපක්ෂ පාලනය පලවා හැරීම සඳහා, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සමඟ, පෙර නොවූ විරූ සන්ධානයක් අවැසි විය. (ජනාධිපති සිරිසේන සඳහා ඔහුගේම පක්ෂය තුළ සහ පක්ෂයේ බිම් මට්ටමේ ඇති සහාය කෙතරම් ද යන්න මත්තට දැනගැනීමට පිළිවන). මේ සන්ධානය විසින්, දකුණේ විපක්ෂ දේශපාලන අවකාශයේ රික්තයක් හෙවත් හිඩැසක් නිර්මාණය කෙළේය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන ‘දෙමළ ජාතික සන්ධානය’ ප්‍රජාතන්ත්‍රවාදී වෙතත්, එහි දේශපාලනික-මැතිවරණමය හයිය, පළාත් දෙකකට සීමා වෙයි. ජනතා විමුක්ති පෙරමුණට, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රජාතන්ත්‍ර-සමාජවාදී පක්ෂයක් බවට හෝ පත්විය හැකිව තිබුණි නම් ඉහත කී හිඩැස පිරැවීමට ඊට හැකියාව තිබුණි. එහෙත් එසේ වෙනස් වීමේ කැමැත්තක්වත්, හැකියාවක්වත් ජනතා විමුක්ති පෙරමුණට නොවුණි. එහි ප්‍රතිඵලය වුණේ, එම හිඩැස මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙනඒමට පමණක් නොව, රාජපක්ෂවාදී බල කඳවුර යළි ස්ථාපිත කිරීම සඳහා කැපවූ වෛවාරන්න එකතුවක් වන ‘ඒකාබද්ධ විපක්ෂය’ විසින් පිරැවීමයි.

දෑවුරුද්දක් විපක්ෂයේ සිටි කාලය තුළ රාජපක්ෂලා වඩ වඩාත් ප්‍රජාතන්ත්‍ර-වීරෝධි වී ඇත්තාහ. වඩ වඩාත් ප්‍රතිගාමී වී ඇත්තාහ. වඩ වඩාත් අන්තවාදී වී ඇත්තාහ. ස්වයං-විවේචනයක්, ආපසු හැරී බැලීමක්, අලුතින් පටන් ගැනීමක් ගැන හාංකවිසියක්වත් ඔවුන්ට නැත. ස්වකීය පරාජයන්හි වරද ඔවුන් පටවන්නේ සුළු ජාතිකයන් සහ අධිරාජ්‍යවාදීන් මත ය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව අරභයා 2015 ජනවාරියේ පටන් අත්කර ගත් අල්ප ප්‍රගතිය පවා කාබාසිනියා කර දැමීමෙන් පටන්ගෙන, තමන්ට අහිමි වූ දේවල් යළි අත්පත් කර ගැනීමේ න්‍යාය පත්‍රයක් එහි පෙරමුණට පැමිණ තිබේ. පවුල් පාලනය යළි ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය නැසීම, සෝබනේට සේම නොවැළැක්විය හැකි මහජන අප්‍රසාදයට එරෙහි වේල්ලක් වශයෙන් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී අධි-ව්‍යුහය පාවිච්චියට ගැනීම ආදි අනාගතේ තමන් කරන්ට යන දේවල්, කිසි කෝලයක් නැතිව ඔවුහු ප්‍රසිද්ධියේ කියාපාති.

ලංකාවේ මිනිසුන්ට තමන්ගේ දේශපාලනඥයන් ගැන කප්පරක් බලාපොරොත්තු නැත. එහෙත් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව බලයට ගෙනඒමේදී ඇති කරගත් අවම ජනතා අපේක්ෂා පවා සාධනය කරලීමට එම ආණ්ඩුව අද අසමත්ව ඇත. එවැනි තත්ත්වයක් තුළ විකල්පයක් සැපයිය හැකි ප්‍රජාතන්ත්‍රීය විපක්ෂයක් නැති වීම හේතුවෙන් ආණ්ඩුවේ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් බවට පත්ව ඇත.

රාජපක්ෂ පව්වලට කර ගැසීම
ඒ සා අපේක්ෂාවකින්, ඒ සා විශ්වසනීයත්වයක් සහ සුජාතභාවයකින් යුතුව ආරම්භ කෙරුණු ආණ්ඩුවක් මාස තිහක් ඇතුළත මෙතරම් පරිහානියට ගියේ කෙසේද? කෙටිම පිළිතුර වන්නේ, පොරොන්දු වූ දේවල් නොකිරීමත්, නොකිරීමට පොරොන්දු වූ දේවල් කිරීමත් ය. යහපාලන ප්‍රතිඥා නොතකා හළ මේ ආණ්ඩුව රාජපක්ෂලාගේ වැරදිම හිතුමතේ කෙළේය.

උමා ඔය යනු, ආණ්ඩුවේ පුළුල් අර්බුදයේ ක්ෂුද්‍ර අනුරුවකි.
උමා ඔය ව්‍යාපෘතිය මුලින්ම කරලියට ආවේ 1990 ගණන්වල ය. එහෙත් එයින් ඇති විය හැකි පාරිසරික විපාක ගැන හිතා එය එදා ඉවතලන ලදි. එක් පාරිසරික සාධ්‍යතා අධ්‍යයනයකින් එදා හෙළිකොට තිබූ අනර්ථයන්හි ස්වභාවය ඉදිරියේ ලෝකයේ කිසි නම්බුකාර බැංකුවක් ඊට අත නොගසනු ඇත.

එහෙත් ලෝක පරිමාණ නගරයක් බවට හම්බන්තොට පත් කිරීමේ මනෝන්මාදයෙන් ඉදිමී ගිය රාජපක්ෂලා මේ සැලැස්ම දූවිලි ගසාබසා අතට ගත්තේය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සහ යෝජිත කාර්මික කලාපය වැනි ඔවුන්ගේ යෝධ සුදු අලි ව්‍යාපෘති සඳහා ජලය අවශ්‍ය කෙරුණි. උමා ඔය ව්‍යාපෘතියේ මූලික අභිලාෂය වුණේ එකී මහා පිපාසය සංසිඳවීමයි. ඒ සැලැස්ම නිසා සාමාන්‍යයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේත්, විශේෂයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේත් ඇති විය හැකි ඝෝර විනාශය එදා රාජපක්ෂලාට ගාණක් නොවුණි.

එකී විනාශකාරී ජාවාරමට කිසි ගෞරවාන්විත බැංකුවක් අත නොගසන තත්වය තුළ ජනාධිපති රාජපක්ෂ ස්වකීය ගජමිතුරා වූ, එවක ඉරානයේ ජනාධිපති මොහොමඞ් අහම්දිනජාඞ්ගෙන් උපකාර පැතීය. ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ඉරානයේ ‘එක්සිම් බැංකුවට’ කතා කෙළේය. අලුත් සාධ්‍යතා අධ්‍යයනයකින් තොරවම ණය අනුමත විය. රාජපක්ෂගේ සරුවපිත්තල චර්යාවට අනුගතව, ඉරාන ජනාධිපති ලංකාවට පැමිණි අවස්ථාවම ව්‍යාපෘතිය ආරම්භ කිරීමටත් යොදා ගැනුණි.

ව්‍යාපෘතියේ නරක පලවිපාක, 2015 ජනවාරි වන විටම පැහැදිලිව දැකගත හැකි විය. ගෙවල් දොරවල් ඉරි තැලීය. ළිං සිඳී ගියේය. ජනතාව විරෝධය පෑහ. ජනාධිපති සිරිසේන ව්‍යාපෘතිය නතර කිරීමට නියෝග කෙළේය. එහෙත් ගතවුණේ මාස කිහිපයකි. ක්‍රියාවලියේ කිසි වෙනසකින් තොරව ඇති විය හැකි අතුරු පලවිපාක කිසිත් සැලකිල්ලට නොගෙන, ව්‍යපෘතිය නැවත පටන් ගැනුණි. වර්තමාන අර්බුදය එකී විනාශකාරී තීරණයේ විපාකයකි.

අබමල් රේණුවක හෝ නිවැරදි කර ගැනීමකින් තොරව එම ව්‍යාපෘතිය නැවත පටන් ගත්තේ ඇයි? කොළඹ වරාය නගරය වෙනුවෙන් මෙන් ජාත්‍යන්තර තෙරපීමක් ඒ සඳහා තිබුණේ නැත. ඒ වන විට ඉරානයෙන් සැපයුණු ණය සේවා අවසන්ව තිබුණි. ව්‍යාපෘතියේ ඉතිරිය මුළුමනින් භාර වුණේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි. එසේ තිබියදී මෙය නැවත ආරම්භ කිරීමට උපදෙස් දුන්නේ කවුරුන් ද යන්නත්, එසේ කෙළේ මොන පදනමක් මත ද යන්නත් සොයා බැලීම වැදගත්ය. එම තොරතුරු, මේ ආණ්ඩුව සිතන පතන ආකාරය සහ වැඩ කරන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වනු ඇත.

දැන් මේ ව්‍යාපෘතියෙන් සියයට 80ක් අවසන්ව තිබේ. පරිසර හානිය නොසිතූ විරූ පරිමාණයකින් උග්‍ර වී ඇත. ඒ අනුව නැවත වරක් මෙය අත්හිටුවා ඇති අතර, විදේශ විශේෂඥ දැනුම දැන් සොයමින් සිටී. එය 2015 දී නොකෙළේ ඇයි? ඉදිරිපත්ව ඇති විසඳුම් වන්නේ, ඌව-වෙල්ලස්සට ව්‍යාපෘතිය සීමා කිරීමත්, පොළොව හෑරීම සඳහා (හානිය අඩු යැයි සැලකෙන) වඩාත් දියුණු යන්ත්‍රසූත්‍ර භාවිත කිරීමත් ය. මෙම විසඳුම් 2015 දී ක්‍රියාත්මක නොකෙළේ මන්ද? ප්‍රශ්නය පුපුරා යන තෙක් ආණ්ඩුව බලා සිටියේ ඇයි?

කුණු ප්‍රශ්නයේදී දැක ගත හැක්කේ ද එවැනිම ගමන් මාර්ගයකි.
කුණු ප්‍රශ්නය, එහි ආරම්භයේදී (ඇතැම් ප්ලාස්ටික් ද්‍රව්‍ය තහනම් කිරීම), කුණු එක්කාසු කිරීමේදී (කුණු වර්ගීකරණය කොට භාර ගැනීම) සහ ඒවා බැහැර කිරීමේදී (කුණු විදුලිය බවට පරිවර්තනය කිරීම) යම් විධිමත් පරිපාටියක් ආණ්ඩුවෙන් අනුගමනය කෙරේ. 2015 දී එසේ නොකෙළේ ඇයි? කළ යුතු දේ සහ කළ හැකි දේ කිරීමට මීතොටමුල්ල කඩා වැටෙන තෙක් ආණ්ඩුව බලා සිටියේ ඇයි? අධිකරණ නියෝග ගණනාවක් සහ මහජන උද්ඝෝෂණ නොවන්නට, මීතොටමුල්ලෙන් පසුව පවා, එසේ කළ හැකි සහ කළ යුතු දේවල් නොකර සිටීමට ඉඩ තිබුණි. එම මැදිහත් වීම් නොවන්නට ආණ්ඩුව කරනු ඇත්තේ, මීතොටමුල්ලේ කුණු කන්ද වෙනුවට කරදියානේ හෝ මුතුරාජවෙල කුණු කන්දක් නිර්මාණය කිරීමයි.

පොදු අර්බුදය උග්‍ර කිරීමට දායක වුණු, වැළැක්විය හැකිව තිබූ අනේක අතෝර අතරින් ඉතා පහසුවෙන්ම වළක්වාගත හැකිව තිබුණේ සයිටම් අර්බුදයයි.
උමා ඔය ව්‍යාපෘතිය සේම සයිටමයත්, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විසින් හදාවඩා ගත්, රාජපක්ෂ විසින් ජාතක කරන ලද දරුවෙකි. සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණේ රාජපක්ෂගේ ආශීර්වාදය සහ සක්‍රිය උපකාරය මතය. 2011 අගෝස්තු 30 වැනි දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්, සයිටම් විශ්වවිද්‍යාලය උපාධි පිරිනැමීමේ ආයතනයක් වශයෙන් ස්ථාපනය කෙරුණි. ඒ මාසයේම ජනාධිපති රාජපක්ෂ මෙම ආයතනයට තවත් තල්ලුවක් දුන්නේය. ඒ, එකක් රුපියල් ලක්ෂ 70 ක් වටිනා ආණ්ඩුවේ ශිෂ්‍යත්ව 10 ක් වෛද්‍ය අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් 10 දෙනෙකුට මේ ආයතනය තුළ පිරිනැමීමෙනි.

එදා ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සිටියේ කොහේද?
(නොදියුණු යැයි සැලකෙන දිස්ත්‍රික්කවලට විශේෂ සහන සැලසෙන) ‘දිස්ත්‍රික් කෝටා ක්‍රමය’ නිසා, දියුණු යැයි සැලකෙන දිස්ත්‍රික්කවලින් ඉහළ ලකුණු ලබා ගන්නා සෑහෙන ශිෂ්‍ය පිරිසකට හැම අවුරුද්දකම රජයේ වෛද්‍ය පීඨවල දොර වැසේ. එසේ හෙයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල වාස්තවික අවශ්‍යතාවක් ඉබේම ඇති වන්නේය. සයිටම් ආයතනය සමග ඇති ප්‍රශ්නය වන්නේ එහි අයිතිය කාගේද යන්න නොව, ඊට සිසුන් ඇතුළත් කරගන්නා ප්‍රමිතිය ගැන ඇති ප්‍රශ්නත්, ඉන් සැපයෙන පුහුණුවේ ගුණාත්මකභාවය ගැන ඇති සැක සාංකාවනුත් ය. මේ කරුණු ගැන ආණ්ඩුව 2015 දී සලකා බැලිය යුතුව තිබුණි. ඊට නිසි විසඳුම් යෝජනා කොට, ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. උදාහරණයක් වශයෙන්, සයිටම් උපාධියට වලංගුභාවය ලබාදීම සඳහා, එම උපාධියෙන් අනතුරුව ‘ශ්‍රී ලංකා වෛද්‍ය සභාව’ මගින් පවත්වනු ලබන අවසාන පරීක්ෂණයකින් සමත් වීමේ අවශ්‍යතාව නිර්දේශ කළ හැකිව තිබුණි.

සයිටම් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හැකියාව තිබුණි. එහෙත් එය එසේ කෙළේ නැත. එම අසමත්භාවය විසින් මෙම ප්‍රශ්නය අවියක් වශයෙන් පාවිච්චියට ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවස්ථාව සලසා දී තිබේ. බොහෝ විට එම සංගමය එසේ කරනු ඇත්තේත්, හැකි තාක් ඉක්මණින් යළි බලය ඩැහැගැනීමේ රාජපක්ෂ ව්‍යාපෘතියට අනුගතව විය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය අවජාතක කිරීම
මැතිවරණ තීන්දු කෙරෙන්නේ මිනිසුන් විසිනි. සංඛ්‍යාවන් විසිනි. ආණ්ඩුව එය අමතක කොට තිබේ. රාජපක්ෂ ගිය මාර්ගයේම නොනැවතී ගමන් ගනිමින් වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කරන්නේ, 2015 ජනවාරියේ රාජපක්ෂ ගල් රෝල පරාජය කිරීමටත්, අනතුරුව යළි හිස එසැවූ රාජපක්ෂ කල්ලියේ අභියෝගය 2015 අගෝස්තුවේදී දමනය කිරීමටත් මේ ආණ්ඩුවට ජවය සැපයූ ජනකොටස් හතුරු කර ගැනීමයි.

බොදුබල සේනා සහ ගලගොඩඅත්තේ ඥානසාර වැනි අධම භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් ඉවසීමෙන් මේ ආණ්ඩුව කරන්නේ සුළුජන ප්‍රජාවන්ගේ හොඳ හිත අහිමි කර ගැනීමයි. ශ්‍රී ලංකාවත් සෞදි අරාබිය සහ ඉරානය වන් දේවතන්ත්‍රවාදී රාජ්‍යයක් සේ සලකමින්දෝ, රට කැරැවිය යුත්තේ කෙසේද යන්න තීන්දු කිරීමත් අන්තවාදී භික්ෂු කල්ලිවලට අද වන විට භාර කොට තිබේ. ඇත්තෙන්ම ආණ්ඩුව කහ සිවුරේ ගර්ජනයට මෙසේ යට වීම පුදුමයකුත් නොවේ. මන්ද යත් මේ ආණ්ඩුව, දැඩි මතධාරී මුස්ලිම් පූජකයන්ගේ ඝෝෂාව ඉදිරියේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතිනුත් අත හෝදාගත් බැවිනි.

මේ සියල්ලට අමතරව, යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතා නිවාරණය කිරීම සඳහා හරිහමන් යමක් කෙරී ඇති බවක් ද පෙනෙන්ට නැත. යම් ආර්ථික සහනයක් අපේක්ෂාවෙන් මේ ආණ්ඩුව බලයට පත් කළ සිංහල ජනයාගේ ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට පවා ආණ්ඩුව අපොහොසත්ව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය යහතින් වැජඹෙන්නේ, සමාජයක් බහුත්වවාදී වන විටයි. කිසි පක්ෂයක් දීර්ඝ කාලයක් තිස්සේ බලයේ නොසිටින විටයි. සාමාන්‍ය තත්ත්වයකදී නම් මේ ආණ්ඩුව පරාජය කිරීම වටී. එහෙත් එසේ පරාජය කොට අත්පත් කර ගත හැකි විකල්පය වන්නේ, විවෘතවම සහ ලජ්ජාවක් නැතිවම ප්‍රජාතන්ත්‍ර-විරෝධී වන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තවාදී වන, අඩු වශයෙන් ආර්ථික ජනප්‍රියවාදයවත් නැති දේශපාලනික සංයුතියක් නම්? ඊටත් වඩා, ඊළඟ ජනාධිපතිවරණයේ එක් තරගකරුවෙකු වන්නේ ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකු නම්?

රාජපක්ෂලා කෙරෙහි ජනාධිපති සිරිසේන තුළ ඇති නොරිස්සීම සහ බිය අව්‍යාජය. ඒ අතර, රනිල් වික්‍රමසිංහ විසින් රාජපක්ෂලාට බුරුල දෙනු ලබන්නේ ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් වළ කැපේය යන විශ්වාසයෙනි.
අර්බුදය මෝරමින් පුපුරා යන තැනකට පැමිණියොත්, රාජපක්ෂලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් අවශ්‍ය නොවනු ඇත. කුට්ටිය පිටින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ ග්‍රහණයට නතු වන අතර, තුන් හතර දෙනෙකු මෛත්‍රීපාල සිරිසේනට ඉතිරි වනු ඇත. එහෙත් එතැනින් නතර නොවන රාජපක්ෂලා එක්සත් ජාතික පක්ෂය තුළත් භේද අවුලුවනු ඇත. ඒ සඳහා වන බිම් මට්ටමේ වැඩ දැනටත් සිදුවෙමින් තිබේ. එක්සත් ජාතික පක්ෂය තුළ ‘දේශප්‍රේමී’ සහ ‘දේශප්‍රේම-විරෝධී’ කල්ලි දැන් එහෙන් මෙහෙන් ගොඩනැගෙනු පෙනෙන්නේ එබැවිනි. ඒ පෙළගැසීම තුළ, ‘දේශප්‍රේමියෝ’ සිංහල-බෞද්ධ අන්තවාදය කෙරෙහි ආසක්ත වෙති. දේශපාලනික සහ සමාජීය වශයෙන් ගතානුගතික වන මොවුහු, ප්‍රජාතන්ත්‍රීයකරණයේ බොහෝ අංගවලට හතුරු වෙති. ඔවුන් ශක්තිමත් ආණ්ඩුවක් යනුවෙන් හඳුනාගන්නේ, ක්‍රියාශීලී ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආණ්ඩුවක් නොව, අධික අධිකාරීවාදී මාත්‍රාවක් සහිත ආණ්ඩුවක්ය. අර්බුදය පුපුරා යන මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩැහැගෙන, එක්සත් ජාතික පක්ෂය පුපුරුවා හැර, ඊනියා දේශප්‍රේමීන් තමන් වෙතට ආකර්ෂණය කර ගනිමින් රනිල් වික්‍රමසිංහට හපයක් ඉතිරි කර දෙන බව නම් සහතිකය. එසේ හෙයින් පරදුවට වැටී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ ඉරණම පමණක් නොව, එක්සත් ජාතික පක්ෂයේ සහ රනිල් වික්‍රමසිංහගේත් ඉරණමයි.

වර්තමාන පාලනය අරක්ගෙන ඇති ප්‍රශ්නය වන්නේ, ඇතැමුන් කියන පරිදි, ලැබී ඇති අධිකතර ප්‍රජාතන්ත්‍රවාදය නොව, සතුරාගෙන් මිතුරා වෙන් කරගැනීමට එය දක්වන ස්වප්‍රාණ නාශක නොහැකියාවත්, වර්තමාන දේශපාලනික මොහොතේ සුවිශේෂී ස්වභාවය වටහා ගැනීමට අසමත් වීමත් ය. ආණ්ඩුව කරන සෑම වරදක්ම පාර කපනු ඇත්තේ, සාමාන්‍ය විපක්ෂයක ප්‍රවර්ධනයකට නොව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර විපක්ෂයක හිස එසැවීමට ය.■
(පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)