රාවය

ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද?

ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද?

ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන හවුල බිඳී විසිරී යෑම, එය කුමන අවස්ථාවකදී සිදුවුවත් දැන් ස්ථිරය.
එම පෙරළියට නොබා නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන දැන් මුහුණ දෙන්නේ ගෙදර ගියොත් අඹු නසී; මඟ සිටියොත් තෝ නසී! වැනි උභතෝකෝටිකයකටය. පසුගිය සතිඅන්ත පුවත්පත් බොහොමයකම දේශපාලන ලියුම්කරුවන් ජනාධිපති සිරිසේන විසින් අගමැති වික්‍රමසිංහට එල්ල කරන ලද බරපතළ චෝදනා පිළිබඳව වාර්තා කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය තනිව ගමන් කිරීමට ලැහැස්ති වෙයි. 2020 ජනාධිපතිවරණයෙහිදී රනිල් වික්‍රමසිංහ එජාප අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට දැන්ම සිට ලැහැස්තිය. එජාප ලේකම්වරයා කියන්නේ හෙට වුවත් එජාප ආණ්ඩුවත් පිහිටුවීමට තමන් සූදානම් බවයි. ජනාධිපති සිරිසේන වෙනුවෙන් දේශපාලන අවදානම් නොසලකා ඔහු සමඟ එක්වූ මහින්ද සමරසිංහ කියන්නේ කවුරු මොනවා කීවත් 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවයි. රාජපක්ෂවරුන්ට තවම පෙනෙන තෙක් මානයක ජනාධිපති අපේක්ෂකයකු නැත.

වර්ධනය වන මෙම දේශපාලන තත්ත්වයෙහි තීරණාත්මක ස්ථාවර සහ විචල්‍ය සාධක කිහිපයක් වෙයි. එජාප-ශ්‍රීලනිප සභාගයට කුමක් සිදුවිය හැකිදැයි විමසා බැලීමට එකී සාධක දෙස බැලීම අත්‍යවශ්‍යය.
මෛත්‍රීපාල සිරිසේන 2020 වන තුරු ජනාධිපති සහ ආණ්ඩුවේ නායකයාය. එමෙන්ම 2020 වන තුරුම ආණ්ඩුව විසුරුවා හැරීමට ඔහුට නොහැකිය. වත්මන් බල තුලනය යටතේ ශ්‍රීලනිපය සහ එහි හවුල්කරුවන්ට රාජපක්ෂ සමඟ එක් වුවත් පාර්ලිමේන්තු බහුතරය ලබාගත නොහැක. එබැවින් රනිල් වික්‍රමසිංහ ඉදිරි වසර දෙකහමාර තුළද අගමැති ධුරය දරනු ඇත. මෙම සාධක ස්ථාවරය. ප්‍රායෝගික වශයෙන් අද ආණ්ඩුවේ නායකයා රනිල් වික්‍රමසිංහය.
පසුගිය දෙවසරක කාලය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ සම්මුති ආණ්ඩුව පිළිබඳ විශ්වාසය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර ඇතිකිරීමට සමත්ව නැත. ඔහුගේ රාජ්‍ය පාලනය අධිකාරීවාදීය. ඔහුගේ අගසව්වන් එජාප බැසිල් රාජපක්ෂලාය. දේශපාලනය නව ලිබරල්වාදී උද්දච්චකමය. උපායමාර්ගික වශයෙන් කෛරාටිකය.

මෙම තත්ත්වය යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පමණක් නොව බොහෝ එජාප මන්ත්‍රීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ විශ්වාසයවත් දිනාගැනීමට ඔහු සමත්ව නැත. එබැවින් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්විය යුතු බවට වන තෙරපුම එන්න එන්නම ඉහළයයි. එය අද මෙරට දේශපාලනයේ ප්‍රධානතම විචල්‍ය සාධකය වේ. සිරිසේන සමඟ එක්වූ රාජපක්ෂවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු හෝ ඉක්මනින්ම යළි රාජපක්ෂ කරා යන බවට දැනටමත් තර්ජනය කරන්නට පටන්ගෙන තිබේ.

අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර බලයක් දිනාගැනීමට නම් එහි සභාපති වන මෛත්‍රීපාල සිරිසේන එජාපය සමඟ ඇති දේශපාලන දීගයෙන් ඉවත්විය යුතුය. මෙම තත්ත්වය යටතේ ඔහුට ඇති පහසුම තෝරාගැනීම නම් එජාපය සමඟ ඇති ආණ්ඩුකරණ සභාගයෙන් ඉවත්වීමය.
එහෙත් බොහෝ විට සාමාන්‍ය ජීවිතයේදී පවා පහසුම තෝරාගැනීම නිවැරදිම තෝරාගැනීම වන්නේ නැත.
මෙම අවස්ථාවෙහි එජාපය සමඟ වන සභාගය සිරිසේන විසින් අතහැරිය හොත් රට දේශපාලන වශයෙන් අස්ථාවර වීමටත් ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ප්‍රජාතන්ත්‍රීයකරණ ප්‍රතිසංස්කරණ අඩපණවීමට ඇති ඉඩ වැඩිය.
එසේ වුවහොත් එහි අපවාදය ඍජුවම සිරිසේන මත පතිත වෙයි. ඔහු 2015 ජනවාරි අපේක්ෂා අතහරින ලද බවට මෙරට සුළුතර ප්‍රජාවන් විසින්ද තීරණය කරනු ඇත. එය දේශපාලන වශයෙන් ඔහුට මාරාන්තිකය.
අනෙක් අතට එවැනි තත්ත්වයක් යටතේ රට පාලනය කිරීමේ තනි බලය එජාපයට ලැබෙයි. රනිල් වික්‍රමසිංහට සිය දේශපාලන – ආර්ථික න්‍යාය පත්‍රය පෙරට ගෙනයෑමට ඉඩ ලැබෙයි. ඉදිරි දෙවසර තුළ දකින්නට ඉඩ ඇතැයි පෙනෙන මහා පරිමාණ ව්‍යාපෘති යනාදියේ අයිතිය ද එජාපයටම හිමිවෙයි. එමෙන්ම ජනාධිපති වශයෙන් සිරිසේනගේ බලය ආණ්ඩුව තුළ දුර්වල වෙයි.

රාජපක්ෂගේ දේශපාලන සැලසුම හරියටම එය විය හැකිය. එනම් දේශපාලන වශයෙන් මෛත්‍රීපාල සිරිසේන අනාථ කිරීමයි. එම සැලසුමේ වක්‍ර සහායකයා ලෙස රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ලවීම අරුමයක් නොවේ.
තමන් හැර විපක්ෂය කරා යෑමට සූදනම් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් අඩුම වශයෙන් දෙසැම්බර් 31දා වන තෙක් ආණ්ඩුවේ සිටින්නැයි ආයාචනා කිරීමට සිදුවීමෙන්ම ජනපති සිරිසේන පත්ව සිටින අසරණ තත්ත්වය පැහැදිලි වෙයි. ඔහු ඔවුන්ට කියා සිට ඇත්තේ දෙසැම්බරය වන විට වඩා සාධනීය දේශපාලන වර්ධනයන් ඇතිවනු බවයි.
වසර දෙකහමාරක් තුළ ඇති කිරීමට නොහැකි වූ සාර්ථකත්වයන් ඉදිරි මාස පහ තුළ දිනාගැනීම සඳහා ආශ්චර්යන් අවශ්‍යය. එවැනි ආශ්චර්යයන් ඇතිකළ හැකි විශ්වකර්මයකු ආණ්ඩුවේ නැත.

සිරිසේන-රනිල් දෙදෙනාම එක සේ වගකිව යුතු ආණ්ඩුවේ ඉබිගමන වාර්තා තැබිය හැකි එකකි. නිකමට බලන්න:
හම්බන්තොට වරාය නගරය පිළිබඳ චීන-ලංකා ගිවිසුමද දෙවසරක් පුරා ඇදි ඇදී යයි. දූෂණයේ සහ භීෂණයේ රාජකීයයන් වූ රාජපක්ෂවරුන්ට එරෙහි එකුදු නඩු විභාගයක්වත් ඇරඹී නැත. කුරුණෑගල ෆොක්ස්වැගන් කම්හල, ඉංගිරියේ ටයර් කම්හල, ගූගල් බැලුන් සහ උසස් පෙළ සහ සරසවි සිසු සිසුවියනට පරිගණක ලබාදීම, රැකියා දශලක්ෂය ගැන අහන්නටවත් ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය උගුල 2019-2020 වසරවලදී ඉතා උග්‍රවනු ඇති බව මූඩීස් නම් එකී ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක් විසින් පෙන්වාදී තිබේ. දෙවසරක් ගතවීත් එයාර් ලංකා දූෂණ පිළිබඳ සකස් කරන ලද වැලිඅමුණ වාර්තාව තවම පුස්කයි.

රොෂේන් චානක මරණය පිළිබඳ විනිසුරු මහානාම තිලකරත්න වාර්තාව ඉල්ලා සිටි ඔහුගේ මවට ජනාධිපති කාර්යාලය කියාසිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බැවින් එය නොදිය හැකි බවයි. අවසානයේදී එය ලබාදුන්නේ තොරතුරු කොමිසම විසිනි. එම වාර්තාවෙහි හෝ වැලිකඩ ඝාතන වාර්තාවෙහි හෝ නිර්දේශ ක්‍රියාවට නැගීමට ආණ්ඩුව තවම සූදානමක් නොපෙන්වයි.

පනත සම්මත වී තිබියදීත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොපෙනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවම එහෙමමය. දේශපාලන සිරකරුවන් ආණ්ඩුවට අමතක වී තිබේ. පානම වැසියන්ගේ ඉඩම් අයිතිය දයා ගමගේ විසින් පාගාගෙන සිටී. සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලියට අදාළ යාන්ත්‍රණ හතරෙන් එකක්වත් පිහිටුවා නැත. ප්‍රගීත්, ලසන්ත, සිවරාම් සහ තාජුඩීන් ඝාතකයන් නිදැල්ලේය.

වත්මන් තත්ත්වයේ බරපතළම සාධකය නම් සමස්ත ආණ්ඩුව සම්බන්ධයෙන්ම වර්ධනය වන අප්‍රසාදය සහ විරෝධයයි. ආණ්ඩුවේ හොඳක් කියන අයකු සොයාගැනීම නොමළ නිවෙසකින් අබ සෙවීමට වඩා දුෂ්කරය. ආණ්ඩුවේ අසාර්ථකත්වයේ ලාංඡන බවට උමා ඔය, සයිටම්, කසළ, ඩෙංගු, බැඳුම්කර මගඩිය යනාදිය පත්ව තිබේ.
ආණ්ඩුකරණ සභාගයෙන් ශ්‍රීලනිපය ඉවත්වුවද මෙම කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නොලැබෙනු ඇත. ඇත්ත වශයෙන්ම නම් වත්මන් දේශපාලන අර්බුදයේ හේතුව සිරිසේන-රනිල් ආණ්ඩුකරණයේ අසාර්ථකත්වයයි.

විසඳුම සෙවිය යුත්තේ එයටය. ජනපති සිරිසේනට තෝරාගත යුත්තේ තමා හමුවෙහි ඇති මාවත් නොව නව මාවතක් නිර්මාණය කිරීමයි. එනම් ආණ්ඩුකරණය කාර්යක්ෂම කිරීමෙහිලා ගැඹුරු වෙනසක් ඇති කිරීමට සම්මුතියකට යෑමයි. ඔහු සභාගයෙන් ඉවත්විය යුත්තේ එවැනි වෙනසකට ඉඩ නැත්නම් පමණි.■