Wednesday, 23/8/2017 | 12:32 UTC+0
රාවය

පානම ඉඩම්වල ඉරණම දයා අතේද?

කේ. සංජීව

මිහිරි සුවඳ එන්නේ පාන මින්ය. 1818 කැරැල්ලෙන් පසුබා කැලේ වැදුණු වෙල්ලස්සේ පිරිමි කුඹුක්කන් ඔය දිගේද හැඩඔය දිගේද සැඟවෙන්නට ඉසව් හෙව්වෝය. එවැනි පිරිසකින් ජනාවාස වූ ගමකි පානම. ඉන්පස්සේ මේ පිරිමි නැගෙනහිර දෙමළ ගැහැනුන් කරකාරේ ගත්තෝය. පරිපාලනයද එවක නැගෙනහිර අගනගරය වූ මඩකළපුවෙන්ම සිදුවූ නිසා මේ පිරිස දෙමළ සිංහල යන ලක්ෂණ දෙකෙන්ම සපිරි ජනතාවක් වූවෝය. ඒ නිසාම මේ මිනිසුන්ගේ වගවාසගම් දෙමළ ක්‍රමයටය. පැරැන්නෝ දෙබසින්ම කතා කරති. ඒ මිහිරි ජන මිශ්‍රණයට එදා කොටි හමුදාවද අඩන්තේට්ටම් කළේ සුළුවෙන්ය. එකල මෙහි තිබුණේද එස්ටීඑෆ් කඳවුරක් සහ සිවිල් ආරක්ෂක කඳවුරක් පමණි. මේ මිනිසුන් කවදාවත් යුද්ධයෙන් අවතැන් වූවේ නැත. වටෙන්ම කොටි සංවිධානය කඳවුර අටවාගෙන සිටියත් ප්‍රශ්නයක් වුණේද නැත. එනිසා මේ මිනිස්සු හේන් ගොවිතැන යහමින් කළෝය. කැලේට ගොස් මී වද, පලු, වීර කඩා දිවුල් ඇහිඳා ජීවිතය ගැටගසා ගත්හ. එහෙත් 2009 කොටි සංහාරයෙන් පසුව පානමට උදාවුයේ යුද්ධ කාලයට වැඩිය අමිහිරි කාලයක්ය. කැලය සුරකින්නට වනජීවී අංශ මැදිහත් වීම නිසා එතෙක් කැලෙන් ඔවුනට උරුමව තිබූ බොහෝ සම්පත් අහිමිවන්නට විය. වගා බිම් මතින් කැලෑ මහත්තුරුන්ගේ මායිම් ගල් වැටී, කැලය මහත් වී, ගොවිබිම් කේඬෑරි වී යන්නට විය. ඒ කුමන කැලය දෙසින් පැමිණි උවදුරුය.

ඊළඟට 2009න් පසුව මුහුද දෙසින් එන කරදර ගොන්න සුනාමියක් තරම් විය. ඒ කරදර ගොන්නට එකම හේතුව වුයේ පානම මුහුදු තීරය සර්ෆින් සඳහා ලංකාවේ හොඳම වෙරළ තීරය වීමය. රාජපක්ෂ සමාගම එනිසා මේ බිමට කෙළ හැලූ අතර හමුදාව මේ බිමේ පැලකරමින් ඒ සඳහා සැලසුම් සකස් කළේය. අන්තිමට ඔවුහු පානම වැසියන් අතීතයේ සිට හේන් කළ සමහර පවුල් ස්ථිරව පදිංචි වී සිටි මේ ඉඩම් සමාගමේ අණසකට ගන්නට තීරණය කළෝය. ඒ අනුව 2010 ජුලි 17 දින එස්ටීඑෆ් මැරයෝ පැන රාගම්වෙල ශාස්ත්‍රවෙල ගම්මාන ගිනිබත් කර ගම්මුන් මහමගට විසි කළෝය. එයින් පසු ගෙවුණු මේ අතීතය පානම මිනිසුන්ට අරගලයක්ම විය. පානම සුරැකීමේ ව්‍යාපාරය ඉදිරියෙන්ම සිටිමින් අදටත් මේ අරගලයට ගම්මුන් සමගින් පණ දෙයි. අද රාජපක්ෂ සමාගම නැත. අද ඉන්නේ දයා සමූහ ව්‍යාපාරයයි. මේ ලියන්නට හදන්නේ ඒ අරගලයේ අද තත්ත්වයයි.

කලින් සභාපතියා තමයි මේක කළේ
“තාම විසඳුමක් නැහැ පුතා. අපි අතාරින්නෙ නැහැ මැරුණත්. 2010 එස්ටීඑෆ් එකෙන් පැනලා අපිට ගහලා මේ රාගම්වෙල ගමට ගිනි දැම්මා. මේ නාකි මටත් හොඳටම ගැහැව්වා. ලාහුගල පරණ සභාපති අපේ ඡන්දෙන් ගිහිං අපිටම කෙළියා. ඡන්දෙන් දිනනකොට මිනිහට අඳින්න හරියට ඇඳුමක් නැහැ. ගෙයක් දොරක් නැහැ. ඡන්දෙන් දිනුවා විතරයි තට්ටු දෙකේ ගෙවල් හැදුවා. වාහන ගත්තා. ඒ ප්‍රාදේශීය ලේකම් ආණ්ඩුවේ ලොක්කෝ එක්ක එකතුවෙලා අපේ ඉඩම් විකුණලා. යහපාලනය එදා මහින්ද මහත්තයා ගත්ත ඉඩම් අපිට දෙනවා කිවුවාට තාම දෙන පාටක් නැහැ. ඇත්තමයි දැන් මට වයස 78ක්. එකෙක් කපලා මමත් මේ ඉඩමෙමයි මැරෙන්නේ.”

ඒ සුන්දරන් සෝමනාදන් මාමාගේ හඬය. ඔහු මේ රාගම්වෙල ඉඩමේ යහමින් රටකජු මිරිස් පොල් වැවූ ගොවියෙක්ය. අද බලහත්කාරයෙන් මේ ඉඩමට පැමිණ පොල් අතු වාඩියක් ගසාගෙන දුෂ්කර ජීවිතයක ගිලෙමින් සිටින්නේය. ඒ යහපාලනය නිසාය. යහපාලනයේ සල්ලිකාර පුළුවන්කාරයෙකු වන දයා ගමගේ නිසාය.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පානම රාගම්වෙල අක්කර 264ක් ද, ශාස්ත්‍රවෙල අක්කර 115ක්ද රජයේ ඉඩම් අක්කර 240ක්ද උල්පස්ස ගිනිකොණදිග නාවික විධානය සඳහා අක්කර 800ක් ද යුද-ගුවන්-නාවික සහ පොලිස් විශේෂ බලකාය යන හමුදා විසින් අල්ලාගෙන ඇති අතර දැනට රාගම්වෙල ගමේ බලයෙන් පදිංචි වී සිටින පවුල් ගණන 21ක් ය. ඔවුන් දැන් පොල් අතු වාඩි තනාගෙන ගොවිතැන පටන්ගෙන ඇත. මේ ඉඩමේ අක්කර 25ක් හැර ඉතිරිය මේ පාරම්පරික අයිතිකරුවන්ට ලබාදිය යුතු බව අධිකරණයද කැබිනට් මණ්ඩලයද තීරණය කර බොහෝ කල්ය. මේ පිළිබඳව ලියුම්කරු අම්පාර දිසාපති කාර්යාලයේ ඉහළම නිලධාරියෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ යුගයේදී මේ බිම මේ මිනිසුන්ටම නැවත ලබාදිය යුතුයි කියා හඬ නගමින් ජනතාව කුලප්පු කළ නැගෙනහිර එජාප නායක අමාත්‍ය දයා ගමගේ මේ තීරණ ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදෙන බවය. ඒ ඇයි? දැනගන්නට තිබෙන ලෙස නම් ඔහු මේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට සැලසුම් සකස් කරමින් සිටීම එයට හේතුවයි.

කැබිනට් තීරණය වෙනස් කරන්න හදනවා
“මේ ඉඩම් අයිති පානම ජනතාවට. මේවා නැවත ඒ පදිංචිකරුවන්ට දෙන්න ඕනෑ කියලා අධිකරණය තීරණය කළා. ඊළඟට යහපාලනය ආවාට පස්සේ කැබිනට් එකත් තීරණය කළා දැනට ඉදිකිරීම් කරලා තියෙන භුමිය හැර ඉතිරි භූමිය අපිට දෙන්න. එහෙත් මේ තීරණ දෙකම ක්‍රියාත්මක වෙන පාටක් නැහැ. ඒ හින්දා තමයි අපි මෙතැන ඇවිත් බලෙන්ම පදිංචි වුණේ. ඊළඟට අපි ශාස්ත්‍රවෙල, උල්පස්ස, හොරේකන්ද කියන ඉඩම්වලටත් යන්න හිතාගෙන ඉන්නේ. ඒ මොකද හමුදාව මේවායේ ඉන්නේ බලෙන්. අයිතියක් නැහැ. මේ ඉඩම් අපිට දීලා අපිට සාධාරණය කරන්න කියලා මානව හිමිකම් එකේ දාපු පැමිණිල්ලක් පහුගිය 14 වෙනිදා ලාහුගල ප්‍රාදේශීය සභාවේ විභාග කළා. ඒ වෙලාවේ එතැන ප්‍රාදේශීය ලේකම් නාවික හමුදාවේ ගුවන් හමුදාවේ නියෝජිතයෝ දිසාපති කාර්යාලයේ නියෝජිතයෝ හිටියා. එතැනදී නාවික හමුදාව කිව්වේ අපිට මේ ඉඩම්වල අයිතිය නැහැ. අපි 2016 අයිතිය ඉල්ලුවත් තවම ලැබිලා නැහැ කියලා. ගුවන් හමුදාවත් කිව්වේ ඔවුන්ටත් මේ ඉඩම්වල අයිතිය නැහැ කැබිනට් තීරණය අනුව අක්කර 25ක් විතරයි අයිති. ඉහළින් නියෝග නිකුත් කරනවානම් ඉවත් වෙන්න කියලා ඔවුන් ඒකට සූදානම් කියලා. හැබැයි මේ මොන විභාගයක් කළත් අපිට ඉඩම් දෙන්න මේ රජයටත් උවමනාවක් නැහැ කියලා අපි දැන් දන්නවා. අනික මේ අවස්ථාව වෙනකොට අපිට ලැබෙන තොරතුරු කියන්නේ ඇමති දයා ගමගේ මේ කැබිනට් තීරණය වෙනස් කරන්න ගොඩක් මහන්සි වෙනවා කියලා. මිනිහාට දැන් මේ ඉඩම් ඕනෑ වෙලා තියෙන්නේ. ඒ ව්‍යාපාර කරන්න. දැන් මේ ඉස්සරහා තියෙන ගල් කන්දක් අපිට දෙන්න මැනුම් කරනවා.

මේ ගල් කන්ද අපිට මොකටද? අපි මෙච්චර හොඳට වතුර තියෙන ඉඩම දාලා කීයටවත් මෙතැනින් යන්නේ නැහැ. අනික ඔය ඉඩම්වලට අපේ ගමේ සමහර මිනිස්සුන්ට බලපත්‍ර තියෙනවා. එතකොට මෙතැනත් කරන්න හදන්නේ බේදයක් හදලා පානම දෙකට කඩලා දයාගේ වැඬේ කරගන්න. අපි ඕවාට අහුවෙන්නේ නැහැ කියලාත් කියන්න ඕනෑ. අනික දැන් අපි ආයෙත් අධිකරණයට යන්න තීරණය කරලා තියෙනවා. මේ අනවසරයෙන් ඉන්න හමුදාව අයින්කරලා දෙන්න කියලා කියන්න.” මේ හඬ පානම සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාළ සෝමසිරිගේ ය.

යකාට පල
“මේ වැලි වගේ ඕකුන් දුහුවිලි වෙන්න ඕනි” ඇය සුදු සුසිනිඳු වැලි දෝතක් ගෙන ඉහළට විසිකරන්නී හඬා වැටෙන්නීය. ඇය තම ආබාධිත දරුවා සමඟ මේ වැල්ලේ පොල් අතු සෙවිලිකළ මඩුවේ දිවි ගෙවන්නීය.
“අපි මේ ඉඩමේ හේන් කළේ 1970 අවුරුද්දේ ඉඳලා. අපේ තාත්තාට මේ ඉඩමේ අක්කර 5ක් තිබුණා. දැන් මේ දයා ගමගේ මේ ඉඩම් අපිට ආයෙත් දෙන එක නතර කරලා. අපිට මේ ඉඩම් ලැබුණේ නැත්තං මහපාර තමයි. මටයි මගේ දරුවාටයි යන්න තැනක් ගොවිතැනක් කරගන්න ඉඩමක් නැහැ. අනික එලවන්න ආවොත් මරාගෙන මැරෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මමයි මගේ දරුවායි දැන් වතුරයි බතුයි කන්නේ. අපිට කරපු දේට ඕකුන්ට හෙණම ගහන්න ඕනි.” ඇය තිලකාවතීය. නැවත නැවතත් දෙස් දෙවොල් තබමින් ඇය කරන්නේ හඬා වැටෙන එකය.
2010 පිටමං කළ දින සිට මේ වනවිට බොහෝ කල් ගතවී ඒ අත්පත් කරගැනීම කළ රෙජිමයද වළපල්ලට ගොස් ඇත. එහෙත් මේ මිනිසුන්ට ඒ රෙජීමයෙන් වූ වරද නිවැරදි කරන්නට යහපාලනයට තවමත් හැකිවී නැත. ඒ යහපාලනයේ ප්‍රමුඛයෝ ද ව්‍යාපාරිකයන් ලෙස මේ ඉඩම් අර්බුදයට මැදිහත්වෙමින් බොරදියේ මාළු බාන්නට පටන්ගෙන තිබෙන නිසාය. දයා ගමගේගේ ව්‍යාපාරික උවමනාවන්ටද මේ අහිංසකයන්ගේ ජීවත්වීමේ අවස්ථාවටද යහපාලනය ප්‍රමුඛතාව දෙන්නේ යන්න අගමැතිවරයා මෙන්ම ජනපතිවරයාද තීරණය කළ යුතුය. දැන් මේ මිනිස්සු නාවික හමුදාව හෝටල් තනාගෙනද විශාල කඳවුරු නිර්මාණය කරගෙනද සිටින තමන්ගේ භූමියට ඇතුල්වීමට සූදානමින් සිටිති. මේ තවත් විනාශයක පෙරනිමිතිද? ආණ්ඩුව කල්පනා කළයුතුය. එනිසා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට දැන්වත් ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුය.■