Wednesday, 23/8/2017 | 12:33 UTC+0
රාවය

ඇලෝසියස්ගේ ගෙට රිංගාගත් රවි

තරිඳු උඩුවරගෙදර

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම ගැන තමාට ආඩම්බර බව අමාත්‍ය රවි කරුණානායක කියා තිබුණේ එම කොමිසම ඉදිරියේ සාක්ෂි ලෙස රවි කරුණානායක ඇමතිවරයාට එරෙහි විශාල චෝදනාවක් ඉදිරිපත් වීමත් සමඟයි. චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රවි කරුණානායක මහතා පසුගිය සතියේ කොමිසම ඉදිරියට යා යුතු වුණත් ඔහු තමන්ගේ කාර්යබහුල බව පෙන්වමින් අගෝස්තු දෙවැනිදා දක්වා කාලය ඉල්ලා ගත්තේය. දූෂණ චෝදනාවකින් දෑත් පිරිසිදු කරගැනීමට වඩා ඔහුට ඇති වැදගත් වැඩ මොනවාදැයි අපි නොදන්නෙමු. අඟහරුවාදා කැබිනට් රැස්වීම ගැන ඔහු කීවත් ඔහුට කැබිනට් රැස්වීම අවසන්ව ජනාධිපති කොමිසම ඉදිරියට යා හැකිව තිබුණි. ඔහුට පිළිතුරක් ගොතාගන්නට අගෝස්තු දෙවැනිදා දක්වා කාලය ඇත.

සාක්ෂිය හරහා ඉදිරිපත් කර තිබුණු චෝදනාව වන්නේ රවි කරුණානායක ඇමතිවරයා පදිංචිව සිටි කොල්ලුපිටියේ මොනැක් මහල් නිවාස සංකීර්ණයේ නිවස සඳහා මාස හයක කුලී මුදල් ගෙවා ඇත්තේ මහබැංකු බැඳුම්කර දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලත් පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් විසින් බවයි. සාක්ෂිය ඉදිරිපත් කළේ නිවසේ එවකට හිමිකරු වූ මුතුකුඩ ආරච්චිගේ අනිකා විනෝදිනී විජේසිංහ මහත්මියයි. ඇය ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියකි. ඇගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු වන නහිල් විජේසූරිය මහතායි. ඔහු ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමේ සභාපතිවරයායි.

බැඳුම්කර කොමිසම
වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුළත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන කටයුතු ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 21 වැනිදාය. එය මාස තුනක් සඳහා පත්කළ කොමිසමක් වූ අතර මාස තුන ජූලි 21 වැනිදා අවසන් වුණත් කොමිෂන් සභාව තවත් මාස තුනකින් දීර්ඝ කිරීම පසුගිය සතියේ සිදුවිය. ඒ අනුව කොමිසමෙහි පරීක්ෂණ අඩක් නිමකොට අවසන් කිරීමට ජනාධිපතිවරයා සූදානම් නැති බව පැහැදිලිය. ඕනෑ නම් කොමිසම දීර්ඝ නොකර බැඳුම්කර සිදුවීම පිළිබඳ පරීක්ෂණ යට ගසන්නට ඉඩක් තිබුණත් එසේ කර තිබුණේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානිතන්ත්‍රී චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන සාමාජිකයන්ගෙන් සමන්විත කොමිසම මේ වනවිටත් ඉතා සාධාරණ ලෙස පරීක්ෂණ පවත්වන බව කිව යුතුය. එක්තරා ආකාරයකට මෙය පසුගිය දූෂිතයන් රැකගත් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පුරවැසියන් විසින් ගෙනගිය සටනකින් පසුව දූෂණයට එරෙහිව ජනතාව ලැබූ සටනෙහි ප්‍රතිඵලයක් යැයි කිවහැකිය. කෝප් කමිටුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ සභාපතිත්වයට පත්වීමත් කෝප් කමිටුවේ අභ්‍යන්තර සාකච්ඡා නිල නොවන වශයෙන් වුව මාධ්‍ය හරහා වාර්තාවීමත් බැඳුම්කර වංචාව පිළිබඳ කතාබහක් ඇතිකිරීමට හේතුවිය. අනෙක් අතට ආණ්ඩුවට පරීක්ෂණයක් නොපවත්වා සිටින්නට නොහැකි වන ආකාරයේ මහජන හඬක් නඟන්නට ජනවාරි අටවැනිදා ලද කතාකිරීමේ නිදහස නිසා හැකිවිය. මේ සියල්ල ආණ්ඩුව අපට දුන් නිදහසක් නොව ජනතාව විසින් ලබාගත් නිදහසක් බවත් ලියා තැබිය යුතුය.

සාක්ෂිය
රවි කරුණානායක මහතාගේ නිවස ඇත්තේ පාර්ලිමේන්තු පාරේය. එය අලුත්වැඩියාවට ලක් කරමින් තිබුණු බවත් රවි කරුණානායක මහතා වෙනත් තැනක පදිංචිව සිටි බවත් ප්‍රසිද්ධ කාරණයක් විය. ඔහු කොල්ලුපිටියේ අදාළ නිවසේ පදිංචිව සිටි බවත් ඔහුට සමීප කාර්යාල මණ්ඩල ආරංචිමාර්ග කියයි. ගැටලුව එම ගනුදෙනුව කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රවි කරුණානායක වෙනුවෙන් මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස් බව පවසන අනිකා විනෝදිනී මහත්මියගේ කතාව සැබෑවක්ද යන්නයි. ඈ විසින් ලබාදුන් සාක්ෂිය සංක්ෂිප්තව මෙසේය.

“මම කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබුවා. 2011 සහ 2012 කාලයේ කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන විට මම අර්ජුන් ඇලෝෂියස්ව සමීප මිතුරෙක් හරහා හඳුනාගත්තා. එහෙත් ඒ මිත්‍රත්වය ඒ කාලයේම අවසන් වුණා. මම කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබද්දී ඒ පාසලේ ඉගෙනුම ලැබූ රවි කරුණානායක ඇමතිවරයාගේ දියණිය වන ඔනෙල්ලා කරුණානායක මෙනෙවියව හඳුනාගෙන තියෙනවා. රවි කරුණානායක මහතාගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මියව මම 2016 පෙබරවාරි මාසයේ සිට හඳුනාගත්තා.

මේ කියන නිවස කොල්ලුපිටියේ ‘මොනැක්’ තට්ටු නිවාසයේ, 5 පී.එච්.2, අංකය දරන තට්ටු නිවාසය. එය මම මිලදී ගත් එකක්. මම 2016 ජනවාරි මාසයේදී පමණ මේ තට්ටු නිවාසය බදු දෙන්න තීරණය කළා. ඒ අතරේ රවි කරුණානායක නිවසක් සොයන බව මට සහෝදරයා දැනුම් දුන්නා. ඉන් පසුව රවි කරුණානායක මහතාගේ බිරිඳදුඡ් මේලා කරුණානායක මහත්මියට මම දුරකථනයෙන් කතා කළා. ඒ මොහොතේ ඇය කතා නොකළත් පසුව කතා කොට නිවස බලන්න ආවා. ඇය ආවේ තනියම. නිවස බලා ඇය යම් කෙනෙකුට දුරකථන ඇමතුමක් ගත්තා. ඉන්පසුව අර්ජුන් ඇලෝෂියස් නිවසට ආවා. ඔවුන්ට නිවස කුලියට ගැනීමට අවශ්‍ය වුණා. ඉන්පසුව ඔවුන් ගියා.

මම පසුව අර්ජුන් ඇලෝෂියස්ට නිවසට කුලියට දීමට කැමති බව කීවා. ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අනුව නිවස කුලියට දුන්නා. මාස හයක කාලයකට තමයි නිවස කුලියට ගත්තේ. රුපියල් මිලියන 10.2කට තමයි නිවස කුලියට ගත්තේ. ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කලේ ඩී.ඇල්.ඩී.එෆ්. සේරම් නීතිඥ සමාගම සහ වෝල් ඇන්ඞ් රෝ සමාගම. ජෙෆ්රි ජෝසෆ් ඇලෝෂියස්, අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස් සහ සුරේන් මුතුරාජා යන අය තමයි එහි අධ්‍යක්ෂවරුන්.

රුපියල් ලක්ෂ 72ක් සඳහා වූ අංක 101136 දරන 2016.02.08 දිනැති සම්පත් බැංකු චෙක්පතින්ද රුපියල් ලක්ෂ 39ක් සඳහා වූ අංක 97241 දරන 2016.02.09 දිනැති පෑන් ඒෂියා බැංකු කොල්ලුපිටිය ශාඛාවේ චෙක්පතින්ද මෙම මුදල් ගනුදෙනුව සිදුවුණා.

ඔවුන් පදිංචිවීමෙන් පසුව අර්ජුන් ඇලෝෂියස් මට පසුව කතාකළා. රවි කරුණානායකගේ නිවාස කුලිය තමන් ගෙවන බව මාධ්‍යවල පළවී ඇතැයි කීවා. මම ඒ පුවත් සොයාගෙන කියෙව්වා. මම යළි ඒ ගැන අර්ජුන් ඇලෝසියස්ගෙන් ඇහුවා. ඔහු ඒ මොහොතේ කිව්වා ඒ බදු ගිවිසුම් විනාශ කළා කියලා. මා සතු පිටපත විනාශ කරන්න කියලා ඔහු ඉල්ලුවත් මා එසේ කළේ නැහැ. මම මේ ගැන මේලා කරුණානායකට කිව්වා. ඇය කිව්වා ඔවුන් වරදක් කරලා නැහැ කියලා.
මේ සිදුවීම වෙද්දී මාස හයේ බදු ගිවිසුම් කාලය අවසන් වී තිබුණා. ලබාගත් අත්තිකාරම් මුදල් වෙනුවෙන් තව මාස දෙකක කාලයක් ඉතිරිවෙලා තිබුණා. නිවස මිලදී ගන්න කියලා මම ඒ වෙලාවේ මේලා කරුණානායක මහත්මියට යෝජනා කළා. මම නිවසේ මිල යෝජනා කළේ රුපියල් මිලියන 180කට. එහෙත් අපි කතාකරලා මිල රුපියල් මිලියන 165කට නියම කරගත්තා. ඔවුන් මිල ගෙව්වේ ණයක් අරගෙන කියලා කිව්වා. මේ නිවස මිලදී ගත්තේ ‘ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික්’ පුද්ගලික සමාගම නමට. ඒ සැප්තැම්බර් 06 වැනිදා.”
පසුගිය වසරේ පෙබරවාරි පමණ කාලයේ මේ ගනුදෙනු සිදුව ඇතැයි ඇගේ සාක්ෂිය අනුව කියැවෙයි. මේ කාලය චෝදනාලත් දෙවැනි බැඳුම්කර ගනුදෙනුව සිදුවූ කාලයයි.

ඇත්තද? බොරුද?
මේ චෝදනාව සාක්ෂියක් ලෙස ඉදිරිපත් වූ කරුණක් පමණි. එය සත්‍යද අසත්‍යද යන්න හෙළි කරගැනීම කොමිසමේ කටයුත්තයි. රවි කරුණානායක ඇමතිවරයා බැඳුම්කර කොමිසමට නොගොස් මාධ්‍ය හරහා සහ පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ මේ චෝදනා තමන්ට එරෙහිව චරිත ඝාතනයක් සඳහා ගෙතූ සත්‍යතාවෙන් තොර කතාවක් බවයි. එහෙත් රවි කරුණානායක මහතා මෙම නිවසේ පදිංචිව සිටි බව තහවුරු කළ හැකි කරුණකි. අනෙක් අතට අනිකා විනෝදිනී මහත්මිය කියන දුරකථන සාකච්ඡා සැබැවින්ම සිදුවී ඇතිදැයි දුරකථන දත්ත හරහා පරීක්ෂා කළ හැකිය. අනෙක් අතට මුදල් ගනුදෙනුද සිදුවී ඇතිදැයි පරීක්ෂා කළ හැකිය.

මේ ගනුදෙනුව ඇත්තක් නම් එය තහවුරු කිරීම අපහසු කරුණක් නොවේ. කොමිසමට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ දෙන්නේ නම්, එය තහවුරු කිරීම අපහසු නොවනු ඇත.

ග්ලෝබල් ස්ටාර්
නිවස මිලදී ගත්තායැයි විනෝදිනී මහත්මිය සඳහන් කළ සමාගම ගැනත් සඳහනක් කළ යුත්තේ රාවය කළ හෙළිදරව්වක් සමඟ එය සම්බන්ධ වන නිසාය. ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගම අප පුවත්පතෙහි පාඨකයන් දන්නා කියන සමාගමක් විය යුතුය. රාවය හෙළිදරව් කර තිබුණේ රවි කරුණානායක විසින් මීට පෙර ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ අධ්‍යක්ෂ ධූුරයක් දැරූ බවත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස රවි කරුණානායක ඇමතිවරයාගේ බිරිඳ සහ දියණිය කටයුතු කරන බවත්ය. රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී රේගුවෙහි පොදු බන්ධිත ගුදමක් සඳහා ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමට ලබා දී තිබුණි. පෞද්ගලික සමාගම්වලට පවත්වාගෙන යා හැක්කේ පෞද්ගලික බන්ධිත ගුදම් වන අතර රේගුවේ පොදු බන්ධිත ගුදම් පවත්වාගෙන ගියේ රජය පමණි. රවි කරුණානායක ජනවාරි අට ජයග්‍රහණය අවසන්වූ විගස මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව තිබුණි.

අගමැතිවරයා
මෙම ගනුදෙනුව සැබෑවක් ලෙස තහවුරු වුවහොත් ඒ පිළිබඳ වගකීමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ගැලවී යෑමට නොහැකි වනු ඇත. රවි කරුණානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීම පමණක් නොව ඉන්පසුව චෝදනා එල්ලවෙද්දී ඔහු එම ධුරයේ තබාගැනීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුය. අර්ජුන් මහේන්ද්‍රන් මහතාද මහ බැංකු අධිපති ධුරයේ තබාගන්නේ අගමැතිවරයාය.
අනෙක් අතට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට වගකීම මඟහැරිය නොහැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ වගකීම දරන්නේ අගමැතිවරයාය. එය අයත් වන්නේ අගමැතිවරයාගේ අමාත්‍යාංශයටයි.

විශ්වාසභංගය
රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි. අප සමඟ අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම කීවේ එළැඹෙන සතියේ හෝ ඉන් පසු සතියේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. එසේ විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ශ්‍රිලනීප මන්ත්‍රීවරු බොහෝදෙනෙක් කියති. අනෙක් අතට එජාපයේ ඇතැම් මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ නොකර සිටින බව පැවසූහ. ආණ්ඩුව තුළ සිටින බොහෝදෙනෙක් ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම පිළිබඳ රවි කරුණානායක ඇමතිවරයා සමඟ කෝපයෙන් පසුවෙති. බොහෝ දෙනෙකු රවි කරුණානායක ඇමතිවරයා ආරක්ෂා කරන්නට නොපෙළඹෙනු ඇත.

රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටියත් පෙනී සිටිනු ඇත්තේ එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පමණකි. ඇතැම්විට ඇමතිවරුන් කිහිපදෙනෙකු පෙනී සිටිනු ඇත. එජාපයේ එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙකු රවි කරුණානායක මහතා සහ එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගැන කීවේ මෙසේය. “මම නඩුවක පැටලුණු මොහොතේ රවි කරුණානායක මහතා මට කතා කළා. නඩුවට යන වියදම් සහ ඉහළම නීතීඥවරුන් සොයා දෙන්නම් කීවා. අපි වෙනුවෙන් හොඳට රවි ඇමතිතුමා වියදම් කරනවා. මම ඒ මොහොතේ නීතීඥයන් ලබාගන්න අකැමති වුණා. එහෙත් අනෙක් පසුපෙළ මන්ත්‍රීවරුන් රවි ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිද කියා මම කීව කාරණයෙන් තේරුම් ගන්න පුළුවන් ඇති.”
කෙසේ වෙතත් දැන් දැනගන්නට ලැබී ඇති කරුණු අනුව ඇතැම්විට ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගය රවි කරුණානායක ඇමතිවරයාට නොව සම්පූර්ණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ යුතු බවට අදහස් පළවී ඇත. රවි කරුණානායක ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයකට ඡන්දය දෙන විශාල පිරිසක් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකට එරෙහිව ඡන්දය දෙන්නේ නැත. ආණ්ඩු විරෝධී විශ්වාසභංගයක් පුස් වෙඩිල්ලකි. එවැනි පියවරක් ගන්නේ නම් රවි කරුණානායක හෝ අර්ජුන් ඇලෝෂියස් සමඟ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධයක් ඇතිදැයි සැක කරන්නට සිදුවේ. අර්ජුන් ඇලෝෂියස් අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිව සිටි සමයේද කූට ගනුදෙනුවලට සම්බන්ධ වී සිටි බව මීට පෙර රාවයෙන්ම හෙළිකර තිබුණි. එපමණක් නොව බැදුඡ්ඳුම්කර ගනුදෙනුව ගැන කතාකිරීමේදී ඇලෝෂියස් ගැන කතා නොකරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇති බවද අපි මීට පෙර රාවයෙන් වාර්තා කර ඇත්තෙමු.

එජාප සහ ශ්‍රීලනිප නායකවරුන් සහ රවි කරුණානායක ඇමතිවරයා අතර සම්බන්ධය කුමක්ද. රවි කරුණානායක ඇමතිවරයාට මීට පෙර කැබිනට් සංශෝධනයේදීද සැලකිය යුතු දඬුවමක් නොලැබුණේ ඇයි. විශේෂයෙන් එජාපයේ මැතිවරණවලදී රවි කරුණානායක ඇමතිවරයා මූල්‍යමය වශයෙන් විශාල මැදිහත්වීමක් කර තිබේද? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රවි කරුණානායක ඇමතිවරයා සමඟදුඡ් මූල්‍යමය බැඳීමක් තිබේද? එවන් ගනුදෙනුවක් නැතිනම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා රවි කරුණානායක ඇමතිවරයා බේරාගන්නට අනවශ්‍ය උත්සාහයක් නොගන්නා බව නිසැකය.

රවි කරුණානායක ඇමතිවරයාට එරෙහි චෝදනා ඔප්පු වී ආණ්ඩුවෙන් ඔහුට ඉවත්වීමට සිදුවන තැනට සියල්ල සිදුවුවහොත් එය දූෂණ විරෝධයේ විශාල ජයග්‍රහණයක් වනු ඇත. විශාල පූර්වාදර්ශයක් වනු ඇත.■