Wednesday, 23/8/2017 | 12:35 UTC+0
රාවය

එජාපය රටම ආතතියට පත්කළා

මහාචාර්ය මිල්ටන් රාජරත්න

රාජපක්ෂ පාලන කාලය තුළ එජාපයේ අවිච්ඡිචින්න පරාජයත්, දිනෙන් දින පහළ ගිය ඡන්ද ප්‍රතිශතයත්, මන්ත්‍රීවරුන් එජාපය අතහැර මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට යෑමත්, නායකත්ව මණ්ඩල අවුලත් යන සකල ව්‍යාධීන්ගෙන් ඔත්පළව පෙනෙන තෙක් මානයකවත් අනාගත ජයග්‍රහණයක් නොමැතිව එජාපය මහත් ආතතියට පත්ව සිටියේය. කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටි එජාපය අවසානයේ මහින්දගෙන් බැට කා ආතතියට පත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන යොදා ගෙන “කමිකසෙ” වර්ගයේ ප්‍රහාරයක් (දෙවන ලෝක සංග්‍රාමයේ දී ගුවන් නියමුවෙකු යොදා එල්ල කළ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර විශේෂයකි) එල්ල කොට 2015 ජනවාරි 8 වෙනි දින මහින්ද පළවා හැර එම ආතතියෙන් මිදුණේය.

විසි වසරක් ආතතියෙන් පෙළී සිටි එජාපය සිය නව රජය පිහිටුවා ප්‍රභූන් කැටුව එතැන් පටන් අවුරුදු දෙකහමාරක් හෙවත් රජයේ ආයු කාලයෙන් හරි අඩක් පමණ සැපසේ ගෙවීය. මැතිවරණ සමයේ දුන් පොරොන්දු කිසිවක් ඉටුකර ගත නොහැකි වුවත් ඇමතිකම්වලත්, සැප කාර්වලත්, රට සවාරිවලත් කිසිදු අඩුවක් නම් නොවීය. රාජපක්ෂවරුන් රටම ණය උගුලක සිරකරනු ලැබී යැයි කියමින් ඒ ණය ගෙවීමට යැයි කියා අධික ලෙස ණය ගන්නටත් ඒවා යොදා ගනිමින් රිසි සේ සැපකාර් මිල දී ගන්නටත් යුහුසුළු විය. රුපියල් ලක්ෂ ගණනින් වැටුප් හා දීමනා හිරිකිතයක් නොමැතිවම වැඩිකර ගත්තේය. එහෙත් ඇමතිකම් හා අගමැතිකම්වල වගකීම් ඉටුකර ලීමට කිසිදු හැකියාවක් නොපෙන්වීය. ඒ වෙනුවට පෙන්නුම් කළේ බැරිබැරියාවමය. එමගින් ආණ්ඩුව පාණ්ඩුවක් බවට පත්විය.

ආණ්ඩුව පාණ්ඩුවක් වූ තැන රටේ සෑම අංශයක්ම කඩාවැටෙන්නට පටන්ගත්තේය. කෘෂිකර්මාන්තය පිරිහුණේය, කර්මාන්ත පිරිහුණේය, අපනයන පිරිහුණේය, විදේශීය විනිමය ඉපැයුම පහළ ගියේය, රැකීරක්ෂා හිඟය වැඩිවී ගියේය. උද්ධමනය වර්ධනය වූයේය. රට සංවර්ධනය කිරීමට යොදාගත් එකම ක්‍රමවේදය වූයේ නොයෙක් අණපනත් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙනඒමට ක්‍රියා කිරීම පමණි. ඒවා ද ගෙන එන තැනම ලොප් වී ගියේය. කිසිදු ගැටලුවකට විසඳුම් නොමැතිව කල් මැරීම නිසා දරුණු සමාජ ආතතියක් ජනිත කොට ඇත. අද වන විට මුළු මහත් සමාජයම විනිවිද යන සේ ආතතිය වැළඳී හමාරය. එම සමාජ ආතතියේ ස්වරූප කිහිපයක් වේ. ඒවා නම්; ආර්ථික ආතතිය, මැතිවරණ ආතතිය, ආගමික ආතතිය, වෛද්‍ය ආතතිය, සරසවි ආතතිය, ව්‍යාපාරික ආතතිය, නිළධාරි ආතතිය, පාරිභෝගික ආතතිය, ඩෙංගු ආතතිය, කසළ ආතතිය යනාදිය යි.

ආර්ථිකය දිගින් දිගටම පිරිහීමට පත්ව එමගින් ජනිත කරන ලද අයහපත් ප්‍රතිවිපාක හමුවේ මහජනයා ආතතියට පත්ව සිටී. කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන කර්මාන්තවල පිරිහීම නිසා විරැකියාව ඉහළ යෑම, ආදායම් මාර්ග ඇහිරී යෑම, උද්ධමනය වේගයෙන් වර්ධනය වීම, ඉසිලිය නොහැකි බදුබර, රුපියල බාල්දු වීම යනාදි බොහෝ ආර්ථික සංසිද්ධීන් විසින් පාරිභෝගික ජනතාව ආර්ථික වශයෙන් ආතතියට පත්කරනු ලැබ තිබේ. දිනෙන් දින ඉහළ යන බඩු මිල, ආදායම් මාර්ග ඇහිරී යෑම යනාදිය විසින් වෙළඳපොල තුළ මෙම ආතතිය නිර්මාණය වී ඇති අයුරුත් ඒ ඔස්සේ ආතතිය කුස්සියටම රිංගා හමාර බවත් දැන් දැනී අවසන්ය.

එමෙන්ම නව ආයෝජන සුලබ කිරීමට රජයේ වැඩපිළිවෙළක් නොවීම නිසාත් දිගින් දිගටම ආර්ථික පරිසරය අයහපත් වීම නිසාත් ව්‍යාපාරික ප්‍රජාව ආතතියෙන් පෙළෙමින් සිටී. නව ආයෝජන කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නිර්මාණය වන තුරු ව්‍යාපාරික ප්‍රජාව කල් බලමින් පසුවෙයි. උද්ධමනය හා ආදායම් හිඟය නිසා සමස්ත ඉල්ලුම පහළ වැටීමත්, වැටුප් අනුපාත හා පොලී අනුපාත ඉහළ යෑම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමත් යන උභතෝකෝටික ආතතියට ව්‍යාපාර ප්‍රජාව හසු වී හමාරය. දේශීය ව්‍යවසායක පන්තිය නගාසිටුවා ඔවුන්ට අවකාශ සලසනවා වෙනුවට ඔවුන් අතුගෑවී යන යෝජනා ඔස්සේ සම්පත් විදේශිකයන්හට විකුණමින් විදේශිකයන් මත පමණක් විශ්වාසය තබමින් යන මේ ගමන ව්‍යවසායකයන්ගේ ආතතියට හේතුභූත වී තිබේ.

රජය හඳුන්වා දීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට නිසි පිළිගැනීමක් නොලැබෙන බවට පැතිරෙන ආරංචි නිසාද බෞද්ධ භික්ෂුවගේ ගෞරවය කෙලෙසෙන පරිදි රජය ක්‍රියාකිරීම නිසාද සිංහල බෞද්ධ සමාජය මහත් ආතතියකට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ මහත් කෝපයට පත්ව සිටින්නාහ. රජයට අනතුරු අඟවමින් නිකුත් කරනු ලබන ලියවිලි මගින් උන්වහන්සේලාගේ ආතතියේ තරම සුළුපටු නොවන බව වටහාගත හැක. එමෙන්ම සිංහල බෞද්ධ ජනතාව තුළ හටගෙන තිබෙන ආතතිය අනෙකුත් ආගමික කණ්ඩායම් තුළ ද කුකුසක් මෙන්ම ආතතියක් ද නිර්මාණය කොට තිබේ.

රෝගීන් ප්‍රාණ ඇපයට තබා ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරගෙන යන නින්දිත වැඩ වර්ජන නවතා වෛද්‍ය හා සෞඛ්‍ය සේවය යථා තත්වයට පත්කර ගැනීමට රජයට ඇති නොහැකියාව හේතුවෙන් පොදු මහජනයා මහත් සේ භීතියටත් ආතතියටත් පත්ව සිටිති. එමෙන්ම, වෛද්‍ය සංගමයේ නිලධාරීන් ජෙනරල්වරුන් ලෙස ක්‍රියා කරමින් සරසවි සිසුන්, දෙමාපියන් සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සොල්දාදුවන් ලෙස යොදාගනිමින් සිදුකරන මෙම නීති විරෝධී වෘත්තීය සටන් සිඳබිඳ දැමීමට අපොහොසත් වීම නිසා එම සොල්දාදුවන්ද රෝගීන්ද නොනිම් ආතතියට හෙළනු ලැබ තිබේ. දිනපතා සිදුකරනු ලබන උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් ද මගතොට යන එන මහජනයාට සිදුවන පීඩා දුරලීම පිණිස කිසිදු පියවරක් නොගෙන එම පීඩා ජනජීවිතයේ සුපුරුදු අංගයක් බවට පත්වීමට ඉඩහැර සිටීම නිසා පාරක තොටක යාගත නොහැකිව, රැකියාවකට යාගත නොහැකිව, මහජනයා ආතතියට පත්ව සිටී.

පසුගිය රජයේ හොරමැරකම් අල්ලනවා යැයි වහසි බස් කියමින් පැමිණි රජයට එක රුපියලක වංචාවක් හෝ එක මිනීමැරුමක් අල්ලාගත නොහැකිව, නව රැකියා අවස්ථා උදාකර දිය නොහැකිව, ආර්ථික සංවර්ධනය කිරීමට විදේශ ආයෝජන ගෙන්වාගත නොහැකිව, සිය මැතිවරණ කොට්ඨාසයට යාගත නොහැකිව, කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැතිව කුණු කඳු ගැන සිත සිතා, පොදු විපක්ෂයෙන් නැගෙන චෝදනා සහ අභියෝගවලට මුහුණ දිය නොහැකිව, වසර දෙකක් පළාත් පාලන මැතිවරණ පැවැත්විය නොහැකිව, පැවැත්වුවහොත් අන්ත පරාජයට පත්වන බව දැන දැන ඇමැතිවරු ද මන්ත්‍රීවරු ද ආතතියෙන් පෙළෙමින් කොළඹට කොටු වී කල් ගෙවති. ප්‍රාදේශීය පාලනය වසර දෙකක් තිස්සේ අනාථ කොට ග්‍රාමීය මට්ටමේ මහත් දේශපාලන ආතතියක් නිර්මාණය කොට තිබේ. මෙය ප්‍රාදේශීය සංවර්ධනයත්, ඩෙංගු මර්දනයටත් ඉතා අහිතකර ලෙස බලපා තිබේ.

ජනවාරි අටවෙනි දා ඡන්දය දී නව වෙනිදා ජයපැන් බී යහපාලනයක් අපේක්ෂා කළ හැට දෙලක්ෂයක් ජනයා මහත්ම ආතතියට පත්ව යන එන මං නැතිව අතරමංව අහස දෙස බලාගත් වනම කල් ගෙවති. යහපාලනය යනු කුමක්දැයි අද දක්වාම තේරුම් නොගත් පිරිසකට යහපාලන ක්‍රමයක් බිහි කිරීමට උදව් කළවුන් (මා ද ඇතුළුව) අන් සියලු දෙනාටම වඩා ආතතියට පත්වී සිටින්නේ ඔවුන්ට කරකියාගත හැකි දෙයක් නොමැතිව සමාජයට මුහුණ දීමට ද නොහැකිව මහත් විලිලැජ්ජාවට පත්ව සිටින බැවිනි. ලිච්ඡවී පාලනය අපේක්ෂාවෙන් සිටි සියලු දෙනා දැන් ආතතිය කරණ කොට ගෙන නීච වී, තුච්ඡ වී, කුජීත වී සිටිති.

ඩෙංගු මදුරු මර්දනය රූපවාහිනියටත් ජනතාවටත් භාර දී හමාරය. තිරසාර ක්‍රමවේදයක් ගැන සිහිනෙකින් වුවද නොසිතන මෙම රජය අතීතයේ මැලේරියා මර්දන ව්‍යාපාරය සාර්ථකත්වයට පත්වූ අත්දැකීම්වලින් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට සිතන්නේවත් නැත. ඩෙංගු යනු අනිවාර්ය ලෙඩක් බවත්, එය වැළඳුණ පසු රෝහල්වල බිම පැදුරු එළා නිදාගෙන සිටිය යුතු බවත්, සුව වීම හෝ නොවීම පූර්ව කර්ම ශක්තිය මත සිදු වන බවත් සිතා ආතතියට පත්වීම හැරුණු විට වෙනත් අපේක්ෂාවක් ලබාදීමට රජය අපොහොසත් වී ඇත. ඩෙංගු උවදුර සාමන්‍යකරණය කොට සියගණන් මිනිසුන් අකාලයේ මිය යෑමට සලස්වමින්, රූපවාහිනියෙන් සුරංගනා කතා කියමින්, කරන කියන සියලු දේ අනාගනිමින්, ජනතාවට ආරක්ෂකයෙක්, ආරක්ෂාවක්, අනාගතයක්, සැනසිල්ලක්, බලාපොරොත්තුවක් නැති තැනට පත් කළ මෙම රජය රටම වෙළාගත් සාපයක් බවට පත්ව තිබේ.

මෙතෙක් කලක් කැළිකසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් යම්තමින්වත් පැවතිය ද මේ රජය නගර සභාවක කාර්යයවත් කරගැනීමට ශක්තියක් නොමැති බව පෙන්නුම් කර තිබේ. කැළිකසල ගැන මැතිඇමතිවරු රණ්ඩු කරගනිමින් ඒවාට විසඳුම් නොමැතිව ඉබාගාතේ යමින් සිටිති. නගරවල මාර්ග තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළක්වත්, අධිවේගී මාර්ග ඉදිකිරීමේ නිසි ක්‍රමවේදයක්වත් නොමැතිව මහජනයා අපේක්ෂා භංගත්වයට හෙළනු ලැබ තිබේ. මේ ආණ්ඩුව පිහිටුවීමෙන් මහජනයා ලබාගත් එකම දේ නම් ඉහවහා ගිය ආතතියයි.

එබැවින් දැන් ඉතිරිව තිබෙන්නේ මෙම ආතතියෙන් ජනතාව මුදවාලනු පිණිස වැඩ කළ හැකි පිරිසකට ආණ්ඩුව භාර කිරීම පිණිස අප්‍රමාදව කටයුතු කිරීමයි. ‘සීයා මැරෙන්නේ ද නැති ඇඳ ඉවත් වෙන්නේ ද නැති’ උභතෝකෝටික ගැටලුවට මුහුණ දී සිටින අපි ආතතිය නමැති ඇඳ ඉවත් කරගනු පිණිස එජාප රජය නමැති සීයාගේ ඉක්මන් මරණය අපේක්ෂා කළ යුතු නොවෙමුද?■

About