Wednesday, 23/8/2017 | 12:34 UTC+0
රාවය

විවෘත ආර්ථිකයේ ඵල භුක්ති විඳිමින් එයට ගරහන දෙබිඞ්ඩෝ

1977 ජූලි මහමැතිවරණය පවත්වා මේ මාසයට වසර 40ක් පිරෙනවා.
1977 ජූලි සිදු වූයේ ආණ්ඩු මාරුවක් විතරක් නොවෙයි. සමස්ත ආර්ථික ක්‍රමයේම ප්‍රබල වෙනසක්. වඩාත් විවෘත හා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කළ එජාපයට විශාල ජයක් ලැබුණා.
ඒ ජයට හේතුව එකී ප්‍රතිපත්තිවලට ජනතා කැමැත්ත ද නැතිනම් 1970-77 රජයට තිබූ බලවත් ජනතා අප්‍රසාදය ද? මෙය තාමත් විවාද කැරෙන්නක්.

අද වෙසෙන ලක් ජනගහනයෙන් බාගයකට වැඩි සංඛ්‍යාවක් 1977දී ඉපදිලාවත් සිටියේ නැහැ. මේ නිසා 1977 තීරණාත්මක මැතිවරණය හා ආර්ථික-සමාජයීය කඩඉම ගැන සෘජු මතකයන් ඇති පිරිස කෙමෙන් ක්ෂීණ වෙමින් පවතිනවා. එවකට ජීවත්ව සිටි අයගේ පවා මතකයන් කෙමෙන් මැකී යමින් ඇති.
සමාජවාදයේ නාමයෙන් රට අයාලේ ගිය ඒ කාලකණ්ණි හත් අවුරුද්ද ගැන ජන මතකයන් මැකී යත්ම ඒ යුගයේ ඉපදිලාවත් හිටියේ නැත්තෝ ඒ ගැන රොමෑන්ටික් විදියට කථා කරනු මා දකිනවා. තව ටිකක් එහෙම අල්ලා ගෙන හිටියා නම් අපි රටක් හැටියට ‘ගොඩ යන්න’ තිබුණාලු.

ඒත් ඒ රජයම පැවැත් වූ මැතිවරණයකින් ඔවුන් අන්ත පරද වුණානේ. තවත් කථා මොකටද?
1977-1994 එජාප පාලනයන් ගැන අපේ වෙනම විවේචන තිබෙනවා. ඒත් 1977ට පෙර පාන් පෝලිම්, හාල් පෝලිම්, සමුපකාර සලාක, ගඳ ගහන චීත්ත රෙදි ආදිය ළමයකු ලෙස අත්විඳි මට නම් ඒ විකාර සමාජවාදය නොකවුට් වෙන්නම අපේ ඡන්දදායකයන් 1977දුන් ප්‍රහාරය ගැන තවමත් ඇත්තේ ප්‍රමෝදයක්.
1977 දී මගේ වයස අවුරුදු 11යි. මා පස්වන ශ්‍රේණියේ සිසුවෙක්. පහේ ශිෂ්‍යත්ව විභාගය අපට එතරම් ලොකු අභියෝගයක් වූයේ නැහැ. ඒ නිසා මැතිවරණ උණුසුම හා ක්‍රියාදාමයන් ගැන සොයන්නට බලන්නට ඇති තරම් විවේකයක් මට තිබුණා.

මැතිවරණ කැම්පේන් වකවානුවේ පැවති රජය අසීමිත ලෙසින් රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළ සැටිත්, එවන් පච ප්‍රචාර රැසක් මැද වුවද ඔවුන් අන්ත පරාජයකට පත් වූ සැටිත් මට හොඳ හැටි මතකයි.
වෙනත් සියලුම රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තිද කලින් කලට සමාලෝචනයට හා සංශෝධනයට ලක් විය යුතුයි. කිසිදු ප්‍රතිපත්තියක් පූජනීය නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේදී සියලු ප්‍රතිපත්ති මැතිවරණ හරහා නිර්දය අගැයීමකට ලක් වනවා.

මේ සිද්ධාන්තය සලකන විට, 1977-2017 දශක හතරක කාලයේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති මහ මැතිවරණ කිහිපයකදීම බහුතර ඡන්දදායකයන්ගේ අනුමැතිය ලැබ තිබෙනවා යයි කිව හැකියි.
මන්ද යත් 1977න් පසු බලයට පත් වූ හැම රජයක්ම, හැම සන්ධානයක්ම යම් සුළු සංශෝධන සහිතව විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට පවත්වා ගෙන යන නිසා.

විවෘත ආර්ථිකයට වඩාත් මානුෂික මුහුණුවරක් දීම ගැන කථා කෙරුණත්, 1977ට පෙර තිබූ සංවෘත ආර්ථිකයට යෑමක් ගැන ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්‍ෂ කිසිවක් අද කථා කරන්නේ නැහැ.
එහෙත් දශක හතරක් ගතවීත් විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලට දොස් කීම, ගෙඩිපිටින් හෙළා දැකීම හා පහර ගැසීම අපේ ජාතික ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. සමහර විද්වතුන්, වෘත්තිකයන්, සැලකිය යුතු මාධ්‍යවේදීන් පිරිසක් හා ඇතැම් සමාජ ක්‍රියාකාරිකයන් උද්යෝගිමත්ව මේ “ක්‍රීඩාවේ” නියැලෙනවා.

හැබැයි ඔවුන් එසේ කරන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා ගලා ආ පාරිභෝගික භාණ්ඩ හා සේවා භූක්ති විඳින අතරයි. ඔවුන්ගේ කථාවේ හා කෙරුවාවේ ලොකු වෙනසක් තිබෙනවා.
මේ දෙබිඩි චරිත ගැන බ්ලොග් ලේඛක හා සමාජ විචාරක අජිත් පැරකුම් ජයසිංහත් මෑතදී ලියා තිබුණා.
එක තැන පල්වෙමින්, බහුතරයක් ජනයාට දුක් දෙමින් තිබූ සංවෘත ආර්ථිකය විවෘත කිරීමට මාස ගණනක් ගත වුණා. අධික නිලධාරිවාදය හා අනවශ්‍ය සීමා බන්ධන කෙමෙන් අඩු කළ යුතුව තිබුණා.

විවාහ මංගල්‍යයක් ගැනීමට, රටින් පිටව යෑමට ආදි පෞද්ගලික කටයුතු සඳහා රජයේ නිලධාරියකුගෙන් අවසර ගැනීමට සිදුවීම වැනි 1977 දක්වා පැවති අසාධාරණ, විකාර ක්‍රමවේදයන් මුළුමනින් නතර කරනු ලැබුවා.
මේ විකෘතීන් හරහා මාන්නාධික වූ යම් නිලධාරි පිරිසක් ආර්ථික ප්‍රතිසංස්කරණවලට ප්‍රතිරෝධය දැක්වූවත් විශාල ජනවරමක් ලද 1977 රජයට එරෙහි වීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණවල නියමුවා වූයේ 1977-1988 කාලයේ මෙරට මුදල් අමාත්‍ය වූ රොනල්ඞ් ජෝසෆ් ගොඞ්ෆ්‍රි ද මෙල් හෙවත් රොනී ද මෙල්.
ඔහු දැන් 92 හැවිරිදියි. 2016 සැප්තැම්බර් 24දා ‘ද නේෂන්’ පත්‍රය සමඟ ඔහු කළ සම්මුඛ සාකච්ඡාවකදී 1977 මුහුණ දුන් අභියෝග ගැන මෙසේ ආවර්ජනය කළා.

“වසර ගණනාවක් තිස්සේ මුළු රටම හා සමාජයම හුරුවී තිබුණේ සංවෘත ආර්ථිකයකට. යම් සීමාවන් සහිතව ආර්ථිකය විවෘත කිරීමේ හැකියාව හා සමාජයීය වැදගත්කම ගැන ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කර කාරියක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලගතු කොටසක් හා වාමාංශික පක්‍ෂ කලක් තිස්සේ අපේ සමාජ විඥානයට බලපෑම් කර තිබුණේ සංවෘත ආර්ථිකය හැර වෙන විකල්පයක් නැත කියායි.”

“ඒ වන විට ආර්ථිකයක් විවෘතව පවත්වා ගෙන යා හැකිද එසේ නම් ඒ කෙසේද යනාදි මූලික කරුණු පවා බොහෝ දෙනාට අමතකව තිබුණා. මේ නිසා අප ඇරඹූ ප්‍රතිසංස්කරණ දෙස ඔවුන් බැලුවේ විමතියෙන්. අප අසාර්ථක වන බව ඔවුන් සමහරෙක් මුල සිටම කිව්වා.”
තවත් විදියකින් කිවහොත්, සංවෘත ආර්ථිකය ගැන සංවෘත මනසක් බොහෝ දෙනා තුළ පැවතියා. එයින් සමහරක් දෙනා වසර 40කට පසුවත් සිය මනස විවෘත කොට නැහැ.

රොනීගේ සාකච්ඡාවේ මගේ අවධානයට වැඩිපුරම ලක් වූයේ ඔහු මාධ්‍ය ගැන කී දෙයයි.
“මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අතිබහුතරයක් සංවෘත ආර්ථිකය අදහමින් සිටියා. 1970-77 රජය සංවෘත ආර්ථිකය ප්‍රවර්ධනයට යොදාගත් තර්ක, උද්‍යොග පාඨ හා කතාන්දර මාධ්‍යවේදීන් බොහෝ දෙනකු ගෙඩිපිටින් ගිල දමා තිබූ බව පෙනී ගියා. මේ නිසා ඔවුන් සමඟ නිතර නිතර සංවාද කරමින්, ආර්ථිකය විවෘත කිරීමේ ප්‍රතිලාභ ගැන ඒත්තු ගැන්වීමට සෑහෙන කාලයක් ගත වුණා.”

රොනී ඒ සමඟ මෙසේද අවධාරණය කරනවා. “අප හඳුන්වා දුන්නේ සීමා කිසිවක් නැති විවෘත ආර්ථිකයක් නොවෙයි. සමාජ ආරක්‍ෂණ ක්‍රම හරහා දුගී ජනයා රැක ගන්නා අතර ව්‍යවසායකත්වය දියුණු කරන, ලෝක ආර්ථික සමඟ ගනුදෙනු කරන ආකාරයේ ක්‍රමයක්.”
එහෙත් ඒ වන විට සංවෘත ආර්ථිකය ගැන “මොළ සේදීම” කෙතරම් දුරදිග ගොස් තිබුණාද කිවහොත් පොතෙන් උගත් බොහෝ දෙනා මෙන්ම ඇසූපිරූ තැන් බහුල ලාංකිකයන් සැලකිය යුතු පිරිසක්ද ආර්ථික ක්‍රමයේ වෙනස ගැන සැක පළ කළා.

විවෘත ආර්ථිකයේ ශ්‍රී ලාංකික අත්දැකීම් ආර්ථික විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවත් පූර්ණ විචාරයකට ලක් විය යුතුයි. එහෙත් එය කළ යුත්තේ න්‍යායාත්මක අන්ධ භක්තියේ එල්බ ගෙන නොව, සාක්‍ෂි මත පදනම්ව හා තර්ක විතර්කවලට ඉඩ දෙමින්.

විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලට හෝ වෙනත් කිසිදු රාජ්‍ය ප්‍රතිපත්තියකට සුදුහුණු ගෑම අවශ්‍ය නැහැ. වැරදි සිදුවන විට ඒ පිළිබඳව සාවධානව අධ්‍යයනය කොට නිවැරදි කර ගත යුතුයි. (කලකට පෙර බෞද්ධ භික්ෂුන් පිරිසකගේ උද්ඝෝෂණ නිසා අභ්‍යන්තර මිරිදිය ධීවර කර්මාන්තයට තිබූ රාජ්‍ය අනුග්‍රහය නතර කර දැමීම එක් උදාහරණයක්. වරද වටහා ගත් පසු එය නිවැරදි කර ගනු ලැබුවා.)

එසේම විවෘත ආර්ථිකය තව දුරටත් ජේ.ආර්. හා රොනීගේ දායාදයක් නොව පසුගිය වසර 40 පුරා මෙරට පාලනය කළ හැම රජයක්ම (හා එම රජයෙහි හවුල්කාර දේශපාලන පක්‍ෂ සියල්ලම) සාමූහිකව ඉදිරියට ගෙන යන ලද ජාතික ප්‍රතිපත්ති රාමුවක්.

එහෙත් මේ යථාර්ථය පිළිගැනීමට නොකැමැති පිරිසක් අප අතර සිටිනවා. තමන් කැමති මතයක් (හෝ දුර්මතයක්) දැරීමට ඔවුන්ට නිදහස ඇතත් ඔවුන් ජනමතයට සෘජුව බලපෑම් කරන සමාජීය මර්මස්ථානවල සංකේන්‍ද්‍රණය වී සිටී නම් එය අපේ අවධානයට ලක් විය යුතුයි.
මගේ වැටහීම නම් ජනමාධ්‍ය හා දේශපාලනිකව සක්‍රිය වෘත්තීය සමිති යන ක්‍ෂේත්‍ර දෙකේම මේ ආකාරයේ අයගේ අධිනියෝජනයක් හමුවන බවයි.

විශේෂයෙන්ම සිංහල ජනමාධ්‍ය තවමත් ප්‍රවර්ධනය කරන ව්‍යවසාය-විරෝධී ස්ථාවරයන්ට මෙයද එක් හේතුවක්.
සිංහල මාධ්‍ය බොහෝ විට විවෘත ආර්ථිකය විවේචනය කරන්නේ සාක්‍ෂි සහිතව, මැදහත්ව නොවෙයි. ඔවුන් පතුරුවන චින්තනය නම් පෞද්ගලික අංශය මූලධාර්මිකවම රටට හානිකර බවයි. එහි යටි අරුත නම් රජය සියලු භාණ්ඩ හා සේවා සම්පාදනය කරමින් කාර්මික නිෂ්පාදනයේ, අලෙවිකරණයේ යෙදිය යුතු බවයි.
නූතන ලෝකයේ රජයක කාර්යභාරය ප්‍රතිපත්ති සම්පාදනය හා නිසි නියාමනය යටතේ තරගකාරී වෙළෙඳපොළ හරහා භාණ්ඩ හා සේවා බිහිවීමට සැලැස්වීම බව මේ හණමිටිකාරයෝ දන්නේ නැහැ. නැත්නම් සංවෘත වූ ඔවුන්ගේ මනසට එය ග්‍රහණය කර ගන්නට බැහැ.
ව්‍යාපාරිකයන් අතර සංඛ්‍යාත්මකව සුළුතරයක් වංචනික, කූට හෝ නීති විරෝධී ක්‍රියාවල නිරතවන බව ඇත්තයි. එහෙත් සිංහල මාධ්‍ය වාර්තාකරණයේ අප බොහෝ විට දකින්නේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම සෘණ ලෙසින් හංවඩු ගැසීමක්.

එසේම සියලු ව්‍යාපාරිකයන් “කෝටිපතියන්” ලෙස හැඳින්වීම සිංහල මාධ්‍යවල පුළුල්ව කැරෙනවා. ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා වැනි යෙදුම් ඇති තරම් භාවිත වන්නේ නැහැ. මේ ඇයි?
රටේ ව්‍යාපාරිකයන්ගේ බහුතරය මහා පරිමාණයේ නොව කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් (Small
and Medium Enterprises, SME)’ රටේ ව්‍යාපාරවලින් 75%කට වඩා සමන්විත වන්නේ SME ඔවුන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් උපදවනවා. ශ්‍රම බලකායෙන් 45%කට රැකියා අවස්ථා සපයනවා.
අමාරුවෙන් බිස්නස් කරන මොවුන් බහුතරයක් කෝටිපතියො නොවෙයි. මේ අය හොර තක්කඩි පිරිසක් නොව ආර්ථිකයේ පිට කොන්ද බව සිංහල මාධ්‍ය පිළිනොගන්නේ ඇයි?

අසාර්ථක වූ සමාජවාදී ව්‍යාපෘතිය (1970-77) පිළිබඳව තවමත් ඉතිරිව තිබෙන අතීතකාමී, ධනපති-විරෝධී හැඟීම් නිසාද? තමන්ගේ මේ පෞද්ගලික ආකල්ප, වෘත්තීය මාධ්‍යකරණයට එකතුවීමට දීම කෙතරම් සාධාරණද?
ව්‍යාපාරිකයන් ගෙඩි පිටින් හෙළා දැකීම කරන්නේ පුවත් ආවරණයේදී පමණක් නොවෙයි. අපේ බොහෝ ටෙලි නාට්‍යවලත් දුෂ්ඨයා බොහෝ විට ව්‍යාපාරිකයෙක්. සමාජ ප්‍රශ්න ගැන ඉතා සංවේදීව හා ව්‍යක්තව විග්‍රහ කරන දේශපාලන කාටූන් ශිල්පීන් පවා ව්‍යාපාරිකයා ගැන ලබා දෙන්නේ විපරීත ඒකාකෘතියක් (sterotype)
ඉස්සර නම් කළුකඩ මුදලාලි. දැන් නම් යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අව් කණ්ණාඩි පැළඳගත් අයෙක්. අනිවාර්යයෙන්ම කඳබඩ මහත නපුරු සිනාවක් සහිත පිරිමියෙක්.

‘තක්කඩි ව්‍යාපාරිකයා’ මාධ්‍ය හරහා නිතර දෙවේලේ නිරූපණය වනු දකින ළමයින් හා තරුණ තරුණියන් ශ්‍රම වෙළෙඳපොළට පිවිසෙන විට පෞද්ගලික අංශයේ රැකියාවලට වඩා රාජ්‍ය අංශයේ රැකියාම ඉල්ලා සිටීම පුදුමයක් නොවෙයි.
ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකත්වය සිංහල මාධ්‍යවල මැදහත්ව නියෝජනය වන්නේ ව්‍යාපාරික පිටුවල පමණයි. එය ද බොහෝ විට ප්‍රචාරාත්මක ස්වරූපයෙන්.
මෙයට වෙනස් වූ, ව්‍යවසායකයන්ද මේ සමාජයේම දිරිය මිනිසුන් හා ගැහැනුන් ලෙස දකින උත්සාහයන් ඉඳහිට හමු වන විට එය අගය කළ යුතුයි.

සිළුමිණ පත්‍රයේ කලක සිට සතිපතා පළවන ව්‍යාපාරිකයකු සමඟ සමීප සම්මුඛ සාකච්ඡාව එසේ උඩුගං බලා යෑමක් ලෙස මා දකිනවා. ඒ සාකච්ඡා මෙහෙයවන ඉනෝකා පෙරේරා බණ්ඩාර සංවේදී එහෙත් සංශයවාදී ලෙසින් ප්‍රශ්න නගනවා. ව්‍යාපාර ලෝකයේ අලුත් දේ කරමින් ආර්ථිකයට හා සමාජයට දායක වන චරිත අපට හඳුන්වා දෙනවා.
මෑතක පටන් ජ්‍යොතිෂ හා අද්භූත බහුබූතයන්ගෙන් පිරෙමින් තිබෙන සිළුමිණේ, සමහර සතිවල කියැවීමට තිබෙන එකම හා හොඳම විශේෂාංගය මේ ව්‍යාපාරික සාකච්ඡාවයි. එයින් පෙනෙන්නේ ඕනෑකම ඇත්නම් සාධාරණ හා සානුකම්පිත ලෙස ව්‍යාපාරිකයන් මාධ්‍ය හරහා ආවරණය කළ හැකි බවයි.

මෙරට පෞද්ගලික අංශයද හදා ගත යුතු වැරදි තිබෙනවා. තමන් පිළිබඳ සමාජයේ ප්‍රචලිත අහිතකර ප්‍රතිරූපයන්ට හේතුවී ඇත්තේ කුමන සාධකදැයි විවෘතව සොයා බැලිය යුතුයි.
ගජමිතුරු ධනවාදය (Crony Capitalism) වෙනුවට නවොත්පාදන හා තරගකාරිත්වය හරහා වෙළෙඳපොළ ජය ගැනීමත්, සාධාරණ ලාබයන් උපදවා ගනිමින් සමාජයට ඉලක්කගතව උපකාර කර දානපති සම්ප්‍රදායන් (philanthropic traditions) මීට වඩා ප්‍රගුණ කිරීමටත් ඔවුන් උත්සුක විය යුතුයි.
අසල්වැසි ඉන්දියාවේ ටාටා, බිර්ලා වැනි පැරණි ව්‍යාපාරික සමාගම් එරට සමාජ සුබසාධනයට අධ්‍යාපනයට කරන විශාල දායකත්වය අපේ ව්‍යාපාරික පැලැන්තියට හොඳ ආදර්ශයක්.■