Wednesday, 23/8/2017 | 12:34 UTC+0
රාවය

කඳුළු නැති නායකයන්ගේ දේශය

වික්ටර් අයිවන්

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීමේ වරදට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරන ලද නඩුවේදී වරද පිළිගත් චූදිතයාට පනවන ලද රුපියල් දෙදහසේ දඩය ගෙවා නිදහස්වීමේ හැකියාව ලැබුණි. මෙම නඩුව පැවරීම සඳහා පමණක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම ලොකු වියදමක් දරන්නට ඇතැයි සිතිය හැකිය. වත්කම් බැරකම් නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් පුද්ගලයෙකුටම පැමිණවිය හැකි උපරිම දඩය වන්නේද එයයි. ඒ අනුව නීති විරෝධී ලෙස වත්කම් රැස් කළ පුද්ගලයෙකුට ගැළවීම සඳහා යොදාගත හැකි හොඳම ක්‍රමය ලෙස සැලකිය හැක්කේද එයයි. එනම් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටිීමය. එවිට රුපියල් 1000ක දඩයකින් සියලු වැරදි වසාගත හැකිය.

රටේ සාරය උරාබීම හානව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන දේශපාලකයන්ට රටේ වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන නිදහස ලංකාවේ ඇතිවී තිබෙන මහා කුණුවීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකිය. ඇතිකර ගන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමාන ආණ්ඩු ක්‍රමයට ආවේණික එම දෝෂය ඉවත් කිරීමට අවශ්‍ය විධි විධාන ඇති ආණ්ඩුක්‍රමයක් වේද නැද්ද යන්න එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හොඳ නරක උරගා බැලීම සඳහා යොදාගත හැකි වැදගත්ම සාධකයක් ලෙසද සැලකිය හැකිය.

යහපාලන ආණ්ඩුවේ ආණ්ඩු ප්‍රතිසංස්කරණ දර්ශනය තුළ රාජ්‍යයේ සුක්කානම හසුරුවන දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන නිදහස අහිමි කරන උපාය මාර්ගයක් ඇතුළත්වන්නේ නැත. එය අමතකවීමෙන් ඇතිවූ දෝෂයක් ලෙස සැලකිය නොහැකිය. තිබෙන ක්‍රමයේ අවලස්සන බාහිර පෙනුම වෙනස් කරනවා හැර රටේ සාර උරාබීමට දේශපාලකයන්ට ලැබී තිබෙන අයිතිය නැති කිරීමේ සැබෑ වුවමනාවක් යහපාලන ආණ්ඩුවටද නැත. එය ඔවුන්ට හුරු පුරුදු ක්‍රමය ලෙස සැලකිය හැකි අතර දේශපාලනය ඔවුන්ගේ උනන්දුවට හේතුවන්නට ඇත්තේද පොදු වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය නිසාම විය හැකිය. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ නායකයන්ට සේ ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා දර්ශනය සපයන න්‍යායවාදීන්ටද අවශ්‍ය වී තිබෙන්නේ පරණ ආණ්ඩුක්‍රමයෙන් ලැබී තිබෙන එම අයිතිය ආරක්ෂා කරගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමටය.

ආණ්ඩුක්‍රමයේ පවත්නා මෙම කොල්ලකාරී ක්‍රමයට පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ මතධාරී සියලු දේශපාලන පක්ෂ සේ ම පුද්ගලයන්ද පක්ෂපාතය. ඒ හැම කෙනෙකුම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට ඒ ක්‍රමයෙන් ඵල ප්‍රයෝජන ලබාගෙන ඇත්තේය. ඒ මගින් රටේ සිදුවන වස්තු කොල්ලයේ ඍජු හෝ අනියම් කොටස්කරුවන් ලෙස ක්‍රියාකර ඇත්තේය. පාර්ලිමේන්තුවේ සිටින මොනම පුද්ගලයෙක් හෝ පක්ෂයක් ආණ්ඩුක්‍රමයේ තිබෙන එම කොල්ලකාරී ස්වභාවය වෙනස් කරනවාට කැමති නැත. මෙම දෝෂය නොපෙනෙන දෙයක් නොව පෙනෙන දෙයකි. එහෙත් ඒ කිසිවෙක් ආණ්ඩුක්‍රමයේ තිබෙන එම බරපතළ දෝෂය ඉවත් කරවා ගැනීම සඳහා පෙනී සිටින්නේ නැත. එය ඔවුන්ට නොපෙනෙන්නේ නම් ඔවුන් සැලකිය හැක්කේ මෝඩයන් ලෙසය. එය පෙනි පෙනී එසේ කරන්නේ නම් ඔවුන් සැලකිය යුත්තේ වංචාරකයන් ලෙසය. එම කොල්ලකාරී ලක්ෂණය ආරක්ෂා කෙරෙන ආකාරයට හදන මොනම ව්‍යවස්ථාවක්වත් යහපත් ව්‍යවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය.

වස්තු කොල්ලය පාලනය කිරීම
රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන පුළුවන්කම අහෝසි කිරීම සඳහා යොදාගත හැකි ප්‍රතිකර්ම දෙකක් පවතී. වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන කොට එම නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇති කිරීම ඒ සඳහා යොදාගත හැකි ප්‍රතිකර්ම දෙකෙන් එකකි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන රටවල ක්‍රියාත්මක වන ආකාරයට හා 1977ට පෙර ලංකාවේද ක්‍රියාත්මක වූ ආකාරයට පාර්ලිමේන්තුවට පළාත් සභාවලට හෝ පළාත් පාලන ආයතනවලට තේරී පත්වන මහජන නියෝජිතයන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමට තිබෙන පුළුවන්කම අහෝසි කෙරෙන විධි විධාන ඇති කිරීම ඒ සඳහා යොදාගත හැකි ඊළඟ ප්‍රතිකර්මය වේ. 1977ට පෙර මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමඟ ව්‍යාපාර කරන තැනකට නොගියේ එසේ කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමයක් ක්‍රියාත්මක වූ නිසාය.

එහෙත් විශේෂ වැදගත්කමක් ඇති එම කාරණා දෙකට අතගැසීමට යහපාලන ආණ්ඩුව හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ව්‍යවස්ථා සම්පාදකයන් සූදානම් නැත. ආණ්ඩුව හදන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින අයද ආණ්ඩුක්‍රමයේ තිබෙන එම මූලික දෝෂය නිවැරදි කරවා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. අවසාන විග්‍රහයේදී ඒ සියලුදෙනාට අවශ්‍ය වී තිබෙන බව පෙනෙන්නේ මහජනයාට කොළේ වසා ගැසීමය.

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සැලකිය හැක්කේ රජය සමඟ විවිධ ව්‍යාපාරවල යෙදෙන ජාවාරම්කරුවන් ලෙසය. සමහරෙක් ඉතා අඩු මිලකට රජයේ ඉඩම් ලබාගෙන ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්ව සිටින අය වෙති. තවත් සමහරෙක් ආණ්ඩුව සමඟ කොන්ත්‍රාත් කරන කොන්ත්‍රාත්කරුවෝය. තවත් සමහරෙක් ගල් වැඩපළවල් පවත්වාගෙන යන ගල් ජාවාරම්කරුවෝය. තවත් සමහරෙක් බලපත්‍රලාභී තැබෑරුම්කරුවෝය. මන්ත්‍රීවරුන් සඳහා පැවති පැරණි ක්‍රමය අනුව බලපත්‍ර ක්‍රමයක් යටතේ සහන මිලකට ලැබෙන වාහනය පවා විකිණීම තහනම් විය. එයද මන්ත්‍රීකම අහිමි කිරීමට හේතුවන වරදක් ලෙස සලකන ලදි. 1977ට පෙරද මන්ත්‍රීවරුන්ට වාහන සඳහා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වුවද මන්ත්‍රීවරුන් වාහන ලබා නොගත්තේ ඒවා විකුණා ලාභ ලැබීමේ හැකියාවක් නොතිබුණු නිසාය. යහපාලන ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට දෙන ආර්ථික වරප්‍රසාද දෙතුන් ගුණයකින් ඉහළ දැම්මේය. කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ඇති කර දුන්නේය. පාර්ලිමේන්තුවේ සහභාගිත්වය වෙනුවෙන් කෙරෙන ගෙවීම්ද කීප ගුණයකින්ද ඉහළ දැම්මේය. වාහනය විකුණා ගැනීමෙන් උපයාගත හැකි ආදායමද දෙගුණ කර දුන්නේය. මේ සියල්ල ආණ්ඩුව කළේ රටේ විශාල ආර්ථික අර්බුදයක්ද තිබෙන අවස්ථාවකදීය. එවැනි ආණ්ඩුවකට රටේ දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන අයිතිය අහිමි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ හැක්කේ කෙසේද?

විනිසුරුවරයෙකුගේ කඳුළු සැලීම
දකින හැම කෙනෙකු තුළම ලොකු කම්පනයක් ඇති කිරීමට හේතුවන අපූරු රූප රාමුවක් පසුගිය සතියේ කිසියම් දිනක සමහර රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වනවා දකින්නට ලැබුණි. යාපනේ මහාධිකරණ විනිසුරුවරයා වෙඩි තැබීමකින් මරණයට පත්වූ තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ මළගෙදරට ගිය අවස්ථාවේදී එම ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ ඉදිරියේ මහ හඬින් හඬා වැලපෙමින් ඇගේ පාමුල තෙක් නැමී ඇයට ආචාර කළේය. මහාධිකරණ විනිසුරුවරයාගේ නම ඉලන් චේලියන්ය. මරණයට පත් පොලිස් සැරයන්වරයාගේ නම සරත් හේමචන්ද්‍රය. විනිසුරුවරයා වාර්ගික අර්ථයෙන් දෙමළය. මියගිය ආරක්ෂක නිලධාරියා සිංහලය.

මෙම විනිසුරුවරයාගේ කඳුළු සැලිල්ලේ අංශුමාත්‍රයක හෝ ව්‍යාජ භාවයක් නොතිබුණි. එම සිංහල සැරයන්වරයා අවුරුදු 15ක් තරම් දීර්ඝ කාලයක් එම විනිසුරුවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කර තිබුණි. සැරයන්වරයා සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත්වන්නේද විනිසුරුවරයාට ආරක්ෂාව සලසමින් ඔහු සමඟ ගමන් කරමින් සිටි අවස්ථාවකදීය. විනිසුරුවරයා දෙමළ වුවත් මෙම සිංහල සැරයන්වරයා විනිසුරුවරයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ පුද්ගලයකු වන්නට ඇත. විනිසුරුවරයෙකු තමන්ගේ නිල කබායට ඇතුළෙන් තිබෙන මනුෂ්‍යත්වය මේ ආකාරයෙන් මුදාහරින ලද අවස්ථාවක් මා මීට පෙර අසා හෝ දැක නැත.

ඉතා වැදගත් දේ විනිසුරුවරයාගේ ඇස්වලින් නිදහසේ කඳුළු ගලායෑමය. කඳුළු සංකේතාත්මක වැදගත්කමකින් යුතුය. අපට සිටින්නේ ඇස්වල කඳුළු නැති නායකයන්ය. ඇස්වල කඳුළු ඇති නායකයන් අපට සිටියේ නම් ලංකාව මේ තරම් කාලකණ්ණි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. අපට සිටින්නේ හැඬිය යුතු අවස්ථාවලදීද සිනාසෙන නායකයන්ය.

2004 අවසානයේදී ඇතිවූ සුනාමි ව්‍යසනය ලංකාවේ දේශපාලකයන් උරගා බැලීමකට ලක්වූ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යසනය නිසා එක දිනක පැයකට අඩු කාලයක් තුළ මිනිසුන් තිස් දහසකට වැඩි පිරිසක් මරණයට පත්වූහ. අනාථභාවයට පත්ව සිටි අයගේ ගණන ලක්ෂ ගණනකි. එය ලංකාව කෙරෙහි අතිවිශාල ලෝක අනුකම්පාවක් ඇති කළ සිද්ධියක් ලෙස සැලකිය හැකිය. එම විශේෂ අවස්ථාවේදී ප්‍රමුඛ පෙළේ ලෝක නායකයන් ලොකු පිරිසක් ලංකාවට ආවේය. සියලුදෙනාම පාහේ මෙහි පැමිණියේ ගාම්භීර නිල ඇඳුම් ලබාගෙන නොව එවැනි ශෝකජනක අවස්ථාවකට උචිත සරල ඇඳුම් ඇඳගෙනය. ඔවුන්ගේ මුහුණුවල කම්පාවක් තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් තමන්ගේ රටේ එතරම් විශාල විනාශයක් සිදුව තිබියදීත් ලංකාවේ නායකයන්ගේ ඇස්වල කඳුළු තිබෙන බව පෙනෙන්නට නොතිබුණි. ඔවුන්ගේ මුහුණුවල ශෝකී ස්වභාවයක් තිබෙන බවක්ද පෙනෙන්නට නොතිබුණි. මෙහි පැමිණි ලෝක නායකයන්ට වෙනස්ව අපේ නායකයන් හැඳ පැළඳගෙන සිටියේද තමන්ගේ උජාරුව පෙන්වන ඇඳුම් පැළඳුම්ය.

ගැටුම් නිරාකරණ විෂය ලෝකයට හඳුන්වා දුන් පුරෝගාමී න්‍යායවාදියා ලෙස සැලකිය හැක්කේ ජොහාන් ගල්ටූන්ය. සුනාමි කාලයේදී ඔහුද ලංකාවට පැමිණියේය. මා ඔහු හමුවූ අවස්ථාවේදී ඔහු ලංකාව පිළිබඳව හා සාමය පිළිබඳව වැදගත් පාඩම් දෙකක් මට කියා දුන්නේය. ඔහු මගේ ‘නොනිමි අරගලය’ නමැති කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනයේ අඩක් පමණ කියවා තිබුණි. ඒ ආශ්‍රයෙන් ඔහු ලංකාවේ තත්ත්වය පිළිබඳව වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කළේය. ඒ පොත ලංකාවේ අධිකරණය හා අගවිනිසුරු සරත් සිල්වා ගැන ලියන ලද පොතකි. සාමාන්‍යයෙන් රටක ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙන්නේ අන් සියලු ආයතනවලට වඩා උස්ම තැනක බවත් මාගේ පොතට අනුව ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද ගංවතුරට අසුවී යටවී ඇත්නම් ඊට වඩා පහළ තැන්වල තිබෙන සියලු ආයතන ගංවතුරට යටවී තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැති බවත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳව මගේ නිරීක්ෂණය සැබෑවක් නම් ලංකාවේ අනෙකුත් සියලුම ආයතන තිබිය හැක්කේ හොඳටම කුණුවූ තත්ත්වයක බව කියා සිටිමින් ලංකාව ගලවා ගැනීම හුඟාක් අමාරු දෙයක් වනු ඇති බව කියා සිටියේය.

සාමය පිළිබඳව ඔහු කියන ලද කතාව ඊටත් වඩා වැදගත්ය. ඔහුට අනුව දීර්ඝකාලීන ගැටුම් පැවති රටවල් අතුරින් සැබෑ සාමයක් උදා කරගෙන ඇත්තේ රටවල් දෙකක් පමණය. ඒ දකුණු අප්‍රිකාව හා ජර්මනියයි. දකුණු අප්‍රිකාව ප්‍රකට නිදර්ශනයක් වීම නිසා ඔහු වැඩියෙන් කතා කළේ ජර්මනිය ගැනය. හිට්ලර්ගේ කාලයේදී යුදෙව්වන්ට කළ මහා විනාශය නිසා දෙවැනි ලෝක යුද්ධය අවසන්වීමෙන් පසු තවත් බොහෝ කලක් යන තෙක් යුදෙව්වන් තුළ ජර්මනිය කෙරෙහි ලොකු වෛරයක් තිබූ බවත් ජර්මනියේ එක් චාන්සල්වරයෙක් ඔහු විසින් කරන සරල ක්‍රියාවක් මගින් ඒ චිත්‍රයේ ලොකු වෙනසක් ඇති කරන ලද බවත් කියා සිටියේය. ඔහු කතා කළ මෙම චාන්සල්වරයා විලි බ්‍රාන්ට්ය. ඔහු 1970 දෙසැම්බර්වලදී යුදෙව් සොහොන් පිට්ටනියක ඇති යුදෙව් පල්ලියක් වෙත ගොස් කිසියම් වෙලාවක් එහි බිම දණ ගසාගෙන සිටි බවත් ඔහු එහිදී කිසිවක් කතා කළේ නැතත්, ඔහුගේ ඇස්වල කඳුළු තිබුණ බවත් යුදෙව් සොහොන් කොතක ඇති පල්ලියක විලී බ්‍රාන්ට් කඳුළු පිරි දෑසින් දණ ගසාගෙන සිටින දර්ශනය රූපවාහිනී නාලිකා ඔස්සේ මුළු ලෝකයේම සිටින යුදෙව්වන්ට දකින්නට ලැබුණු බවත් චාන්සල්වරයාගේ සංකේතාත්මක වැදගත්කමක් ඇති ක්‍රියාව යුදෙව්වන් තේරුම් ගත්තේ ජර්මනිය යුදෙව්වන්ට කරන ලද මහා අපරාධවලට යුදෙව්වන්ගෙන් සමාව ගැනීමක් ලෙස බවත් චාන්සල්වරයාගේ එම ක්‍රියාව යුදෙව්වන් අතර ජර්මනිය කෙරෙහි පැවති වෛරය බොහෝ දුරට නැති කිරීමට හේතු වූ බවත් ඔහු කියා සිටියේය. කඳුළුවලට කළ හැකි දේ කොතරම් විශාලද? අවාසනාවකට මෙන් අපට සිටින්නේ හිතක් පපුවක් සමඟ කඳුළුද නැති නායකයන්ය.

වස විස නැති ගොවිතැන
ලංකාවේ හැම තැනකම දකින්නට තිබෙන හා නොකඩවා වර්ධනයවෙමින් තිබෙන ප්‍රවණතාවක් නොව සැලකිය හැකි අසමත්කම හා කුණුවීම එක මොහොතකදී මුළු රටම අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවනු ඇත. මොනම දෙයක්වත් හොඳින් කරුණු සොයා බලා විධිමත් ලෙස සිදු නොකිරීම හා ආරම්භ කරන හැම දෙයක්ම උපරිම මට්ටමකින් ගසාකෑමට ලක්වීම ලංකාවේ රාජ්‍ය මට්ටමින් සිදුවන හැමදේකටම ආවේණික වැදගත් ලක්ෂණ දෙකක් ලෙසද සැලකිය හැකිය. වස විස නැති කෘෂිකර්මයක නාමයෙන් රසායන පොහොර නැතිව. වල් රෝග හා කෘමීන් නැසීම සඳහා යොදා ගන්නා රසායන නැතිව ගොවිතැන් කරන ක්‍රමයක් ජාතික මට්ටමෙන් ක්‍රියාවට නගන ලද්දේ ඊට පෙර ප්‍රාදේශීය මට්ටමෙන් සිදුකරන අත්හදා බැලීම්වලින් තොරවය. ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කරන ලද්දේද ඒ ගැන විධිමත් ලෙස කරුණු සොයා බැලීමකින් තොරවය. ගොවින් භාවිත කළ යුතු බවට විකල්ප පොහොර වර්ග නිර්දේශ කරන ලද්දේද ඒවාහි ඵලදායකත්වය පිළිබඳව කරුණු සොයා බැලීමකින් තොරවය.

ඉතා වැදගත් දේ කෘෂි විද්‍යාඥයන් කිහිපදෙනෙකු හා පුනරුද ව්‍යාපාරය හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් එම හිතුවක්කාරී මනෝරාජික වැඩසටහනට විරුද්ධ නොවීමය. එම මෝඩ වැඩසටහන මේ වනවිටත් කෘෂිකර්මයට ඇති කර තිබෙන විනාශය අතිවිශාලය. පුනරුද ව්‍යාපාරය එය ඇති කරන ප්‍රතිඵල ගැන කී අනාවැකි හොඳින් සනාථ වී තිබෙන්නේයැ’යි කිව හැකිය. මේ වනවිට ජනාධිපතිවරයා විසින් එම වැඩසටහන අත්හිටුවා කෘෂිකර්මය පිළිබඳ තීන්දු ගැනීමේ වගකීම නැවත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙන බවද දැනගන්නට තිබේ. ප්‍රමාද වී හෝ එවැනි තීන්දුවක් ගැනීම ඉතා යහපත් වුවත් එම මනෝරාජික වැඩසටහන නිසා දැනටත් කෘෂිකර්මයට සිදුවී තිබෙන විනාශය අතිවිශාල බවද කනගාටුවෙන් වුවද කිව යුතුය.

මිනිසුන් නොවැදගත් බවට පත්කොට වන සතුන් වැදගත් බවට පත්කිරීම
කෘෂිකර්මයට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන උපාසක ප්‍රතිපත්තියද කෘෂිකර්මයට ඇති කරමින් තිබෙන විනාශය අතිවිශාලය. එය අතීතයේ සිට පැවත එන ප්‍රතිපත්තියක් ලෙස සැලකිය නොහැකි අතර රට අශීලාචාරත්වයට තල්ලුවීමෙන් පසු ගොඩනැගුණු ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය.
ඕස්ටේ්‍රලියාවේ ජාතික සත්වයා ලෙස සැලකෙනුයේ කැන්ගරුවාය. ඕස්ටේ්‍රලියාව කැන්ගරු ගහණය පාලනය කරන්නේ තෝරාගත් කාලවලදී කැන්ගරු දඩයම් කිරීමට මහජනයාට ඉඩදීමෙන් හා ආණ්ඩුව දඩයම්කරුවන් යොදා කැන්ගරුවන් මරා දැමීමෙනි. එසේ මරා දමන කැන්ගරුවන්ගේ මස්වලින් කොටසක් මනුෂ්‍ය පරිභෝජනය සඳහා යොදා ගන්නා අතර ඉතිරිය සුනඛ ආහාර නිපදවීම සඳහා යොදා ගනී. 2016 මැයි මාසයේදී ඕස්ටේ්‍රලියාව කැන්ගරු 1900ක් එසේ මරා දමන ලදි. ඕස්ටේ්‍රලියාවේ කැන්ගරු ගහණය කෝටි 5කට වැඩිය. කැන්ගරු 10 ලක්ෂයක් මරා දමන වැඩසටහනක් ඕස්ටේ්‍රලියාව සැලසුම් කර තිබෙන බව 2017 පෙබරවාරි 15 වැනිදා බීබීසීය වාර්තා කළේය.
ඉන්දියාවේ හින්දුන් ගවයා සලකන්නේ දෙවියෙකු ලෙසය. එසේ වුවත් මස් පිණිස ගවයන් වැඩියෙන්ම මරන රට ලෙස සැලකිය හැක්කේද ඉන්දියාවය. ඉන්දියාව හා බ්‍රසීලය එක්ව හරක් මස් අපනයන වෙළෙඳපොළේ හිමිකර ගෙන තිබෙන පංගුව සියයට 38කි. ඒ රටවල් දෙක හිමිකරගෙන තිබෙන පංගුවේ ප්‍රමාණයද බොහෝ දුරට එක සමානය. එනම් එක රටක් සියයට 19 බැගිනි. ඉන්දියාව හරක් මස් අපනයනයෙන් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 04ක් තරම් විශාලය.

1971 කැරැල්ලට පෙර ලංකාවේ ගොවීන්ගෙන් කිසියම් ප්‍රමාණයකට බලපත්‍ර සහිත තුවක්කු තිබුණු අතර ඔවුන් වගාවන්ට හානිකරන වන සතුන්ට වෙඩි තබා මරා දැමුවා පමණක් නොව උන්ගේ මස් ද ආහාරයට ගත්තේය. වන සතුන් සම්බන්ධයෙන් රටේ ක්‍රියාත්මක වූ එම ප්‍රතිපත්තිය වල් ඌරන්, රිලවුන් හා වඳුරන්ද, දඬු ලේනුන්, ඉත්තෑවන් වැනි කෘෂිකර්මයට හානි කරන සතුන්ගේ ගහණයේ පාලනයක් ඇති කොට එවැනි සතුන්ට කෘෂිකර්මයට හානි සිදුකිරීමට තිබෙන හැකියාවද අවම කළේය. රට වන සතුන් මරණ ප්‍රතිපත්තියෙන් ඉවත් වී මිනිසුන් මරණ ප්‍රතිපත්තියකට මාරුවීමත් සමඟ මිනිසාට ලැබෙන වැදගත්කම පහළ වැටී වන සතුන්ට ලැබෙන වැදගත්කම ඉහළ ගියේය. ඒ සමඟ කෘෂිකර්මයට හානි කරන හා මිනිසුන්ට හිංසා කරන සතුන් ආරක්ෂා කරන හා මිනිසුන්ට හිංසා කරන සතුන් මරණ මිනිසුන්ට එරෙහිව දඬුවම් කරන ප්‍රතිපත්තියක් කරළියට ආවේය.

ඊට පෙර දඩාවතේ යන බල්ලන් අල්ලාගෙන ගොස් මරා දමන ප්‍රතිපත්තියක් පළාත් පාලන ආයතන පවත්වාගෙන ගියේය. එය බල්ලන්ට කරන හිංසාවන් ලෙස සලකා ඒ ක්‍රමය අත්හිටුවන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දඩාවතේ යන බල්ලන්ගේ ගහණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවී තිබේ. උන් විවිධ ආකාරවලින් මිනිසු්ට කරන හානියේද වේගවත් වර්ධනයක් වී තිබේ. රජයේ රෝහල් සඳහා ඖෂධ වෙනුවෙන් කෙරෙන වියදමෙන් සියයට 20ක් වැය කරනුයේ පිස්සු බලු එන්නත් සඳහාය. පාසල්වල අරක්ගෙන සිටින දඩාවතේ යන බල්ලන්ගේ කැත කුණු ඉවත් කරන්නට සිදුවී තිබෙන්නේ ඒ පාසල්වලට යන සිසු දරුවන්ටය. ඊට පෙර මිනිසුන් කන කිඹුලන් මිනිසුන් විසින් මරා දමන ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර පසුව ඒ ක්‍රමයද අත්හිටුවා, කිඹුලන්ට අවශ්‍ය නම් මිනිසුන්ව කන්නට ඉඩදී, මිනීකන කිඹුලන් මරණ මිනිසුන්ට දඬුවම් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. මිනීකන කිඹුලන් සිටින ගංගාද මිනිසුන්ට පරිහරණය කිරීමට තිබෙන ඉඩ සීමා කොට ප්‍රධාන කොට මිනීකන කිඹුලන්ගේම පරිහරණය සඳහා වෙන් කළ ගංගා බවට පත්කර තිබේ.
අලින්ද ඇතුළුව වන සතුන්ට උන්ගේ ගහණය පාලනයට ලක්කිරීමකින් තොරව නිදහසේ වර්ධනයවීමට ඉඩදෙන උපයන ප්‍රතිපත්තිය නිසා උන්ගේ ගහණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවී ඉන් කෘෂිකර්මයට පමණක් නොව මිනිසුන්ටද සිදුවන හානියේ වේගවත් වර්ධනයක් ඇතිවී තිබේ. මේ අමන ප්‍රතිපත්තිය ගොවියා හා ගැමියා වන සතෙකු තරම්වත් පිළිගැනීමක් නැති වන සතුන් කරන සියලු හානි ඉවසා දරාගෙන සිටිය යුතු නිවටයන්ගේ තත්ත්වයට පත්කිරීමට හේතුවී තිබේ. දඩාවතේ යන බල්ලන්ද ඇතුළුව වන සතුන්ගේ ආරක්ෂාව සඳහා හඬ නගන සංවිධාන විශාල සංඛ්‍යාවක් රටේ ඇතත්, වන සතුන්ගෙන් බැටකන ගොවි ජනයාගේ හා ගැමි ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කිසිදු සංවිධානයක් රටේ නැත.

ඩෙංගු මර්දනය
ඩෙංගු උවදුර මර්දනය සඳහා යොදාගෙන තිබෙන ආණ්ඩුවේ දර්ශනය කෙරෙහි පවා ඉහත කී උපාසක ආකල්පය බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රධාන උපාය මාර්ගය වී තිබෙන්නේ මහජනයා ලවා ඔවුන්ගේ ගෙවතුවල ඩෙංගු මදුරුවාට බිත්තර දැමිය හැකි ස්ථාන නැති කිරීමය. එම වැඩසටහන තුළ ඩෙංගු මදුරුවන්, මදුරු කීටයන් හා මදුරු බිත්තර නසන උපාය මාර්ගයක් ඇත්තේම නැති තරම්ය. එසේම ඩෙංගු රෝගීන්ගෙන් රෝගය පැතිරීම වළකන උපාය මාර්ගයන්ද ඊට ඇතුළත්වන්නේ නැත.
ආණ්ඩුවේ එම ඩෙංගු මර්දන වැඩසටහන ඵලදායී ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත් වී නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩෙංගු උවදුර වසංගත තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. මහජනයාට අවශ්‍ය නම් ආණ්ඩුවේ ඩෙංගු මර්දන වැඩසටහනට අලුත් අංශ දෙකක් එකතු කිරීම මගින් එය ඵලදායී වැඩසටහනක් බවට පත් කළ හැකිය.

ඊට ඇතුළත් විය යුතුව තිබෙන පළමුවැනි වැදගත් අංගය වනුයේ ඩෙංගු රෝගීන්ට මදුරුවන්ට දෂ්ට කළ නොහැකි තත්ත්වයක් ඇති කිරීමය. ඒ මගින් ඩෙංගු වෛරසය පැතිරීම වැළකිය හැකිය. ඒ සමඟ ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීම සඳහා සුදුසු ස්ථාන ලබාදී ඒ ස්ථානවල හැදෙන ඩෙංගු කීටයන් හා බිත්තර විනාශ කරන තැනකට යා හැකිය.
ඩෙංගු රෝගීන් මදුරුවන්ට දෂ්ට කළ නොහැකි ආවරණ සහිත ස්ථානවල තබා ගන්නා ප්‍රතිපත්තියක් ඇති කළ හැකිය. ආරෝග්‍යශාලාවල ඩෙංගු රෝගීන් සඳහා වෙන් කළ වාට්ටු සඳහාද ඒ ක්‍රමය යොදාගත යුතුය. ඒ සමඟ හැම නිවසකම මදුරුවන්ට බිත්තර දැමීම සඳහා සුදුසු භාජන තබන තැනකට යා හැකිය. ඩෙංගු මදුරුවන් අඳුරු ස්ථාන ප්‍රිය කරයි. ගෙවත්තේ එවැනි ස්ථානවල සුදුසු තැනක හෝ තැන් කිහිපයක පිරිසිදු ජලය සහිත භාජන තැබිය හැකිය. ඒවා හැම දිනකම පරීක්ෂාවට ලක් කළ යුතුය. ජලය ඇතිවිට උන් දමන බිත්තරවලින් කීටයන් ඇතිවීමට ගතවන්නේ දින දෙකත් තුනත් අතර කාලයකි.