Wednesday, 23/8/2017 | 12:37 UTC+0
රාවය

ලැජ්ජයි !

විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට සිය ඇමති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට හැකි තත්ත්වයක් තිබේ ද?
මේ සතියේ පුවත්පත් කාටුන් ශිල්පීන් බොහෝ දෙනකු රවි කරුණානායක මහතා ඇඳ තිබුණේ යට ඇඳුමෙන් සිටින ආකාරයෙනි. ඇත්ත වශයෙන් ම යට ඇඳුමෙන් සිටින්නේ රවි කරුණානායක ඇමතිවරයා පමණක් නොවේ. ඔහු නිසා ආණ්ඩුවේ ද උඩ ඇඳුම ගැලවී තිබේ. මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිෂන් සභාවේ දී එළිදරව් වී ඇති ලජ්ජාසහගත කරුණු අනුව, අඩු ගණනේ එහි විභාගය අවසන් වී වාර්තාව එන තෙක් වත් කරුණානායක ඇමතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ය. නැතහොත්, අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ විසින් ඔහු ඉවත් කරනු ලැබිය යුතු ය. නැතහොත්, ධුරයෙන් ඉවත් වන ලෙස ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ඇමති රවි කරුණානායකගෙන් ඉල්ලා සිටිය යුතු ය.

මේ ආණ්ඩුව බලයට ආ පසු සිදුවුණු බරපතළ ම මූල්‍ය වංචාව ලෙස නිශ්චිතව ම කිව හැකි මහ බැංකු බැඳුම්කර සිදුවීමේ ප්‍රධාන චූදිතයා ලෙස සැලකෙන හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පුත්‍රයා, අර්ජුන් ඇලෝසියස්ගෙන්, එවකට මුදල් ඇමති රවි කරුණානායක, කොළඹ 3, මොනාක් රෙසිඩන්සිස් නමැති මහල් නිවාස පද්ධතියෙන් අධිසුඛෝපභෝගී මහල් නිවාසයක් නොමිලේ ලබා ගත් බව බැඳුම්කර කොමිසම හමුවේ දැන් අනාවරණය වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ මේ ජනාධිපති කොමිසම විමර්ශනය කරන්නේ, 2015 පෙබරවාරි මස 1වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා කාල පරිච්ඡෙදයේ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙනි. එහි තේරුම, එම කාල පරිච්ඡේදය තුළ අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර සිදුවීමට අදාළ චූදිතයා හැටියට ප්‍රසිද්ධ ව සිටි බව යි. පෙර කී මොනාක් අධිසුඛෝපභෝගී මහල් නිවාසය කුලියට ගැනීම සඳහා ඇමති කරුණානායකගේ බිරිඳ එහි යන්නේ 2016 ජනවාරි 27 වැනිදා දහවල් ය. මහල් නිවාසයට ගොස් නිවස පරීක්‍ෂා කළ ඇය දුරකථන ඇමතුමක් දී අර්ජුන් ඇලෝසියස් ද එහි කැඳවා ගත්තා ය. ඇලෝසියස් නිවස හිමිකාරියට පවසා ඇත්තේ, තමා නිවස කුලියට ගන්නා බවත්, නමුත් එහි පදිංචි වන්නේ ඇමති කරුණානායකගේ පවුල බවත් ය. ඒ වන විට පාර්ලිමේන්තුව ආශ්‍රිත ව තිබුණු කරුණානායක ඇමතිවරයාගේ නිවස අලුත්වැඩියා කරන්නට නියමිත ව තිබිණි.

ගෘහභාණ්ඩ ද සමඟ නිවස මාස හයක් කුලියට දීම පිළිබඳ ව ගනුදෙනුව සිදුවුණේ ඇලෝසියස් මහතා හා ඔහුගේ සමාගමක් සමඟ මිස කරුණානායක ඇමති බිරිඳ සමඟ නොවන බව නිවෙස් හිමිකාරිය කොමිසමේ දී කිව්වා ය. මාසයක නිවාස කුලිය රුපියල් ලක්‍ෂ 14.5 කි. මාස හයක් සඳහා එකඟ වුණු මුදලින් ලක්‍ෂ 73ක්, අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් විසින් නිවෙස් හිමිකාරියගේ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගමට ගෙවන ලද අතර, ලක්‍ෂ 14ක් මුදල්වලින් ගෙවන ලදි. ඊට යළි ගෙවන තැන්පතු මුදලක් ද ඇතුළු වී තිබිණ. මාස හයක කාලය තුළ ඇමතිවරයාගේ නිවස අලුත්වැඩියාව නිම නොවුණෙන්, තැන්පතු මුදලට සරිලන සේ තවත් මාස දෙකක් කරුණානායක පවුලට නිවසේ පදිංචි ව සිටින්නට ඉඩ ලබාදුන් බව ද ඇය කොමිසම හමුවේ කීවා ය. අර්ජුන් ඇලෝසියස් වෙත ද ඒ බව නිවෙස් හිමිකාරිය දන්වා තිබේ.

අවසානයේ, කුලියට සිටි නිවස මිල දී ගන්නට 2016 සැප්තැම්බර් මාසයේ දී කරුණානායක පවුල සමත් විය. මිල රුපියල් මිලියන 165ක් හෙවත් ලක්‍ෂ 1650කි. නිවස මිලදී ගනු ලැබුවේ ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඞ් ලොජිස්ටික්ස් නම් සමාගම විසිනි. එහි අධ්‍යක්‍ෂවරුන් වන්නේ මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ හා දියණිය යි.

2016 වසරේ මැද භාගය වන විට, අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් ගෙවා ලබා දෙන ලද නිවසක ඇමති රවි කරුණානායක වාසය කරන බව මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී තිබිණ. මේ නිසා තමා ඇමතූ අර්ජුන් ඇලෝසියස්, නිවාස ගනුදෙනුවට අදාළ බදු ඔප්පුව ගිනි තබා විනාශ කරන ලෙස නිවෙස් හිමිකාරියගෙන් ඉල්ලා ඇත. ඒ වන විට ඇලෝසියස් සතු ව තිබුණු බදු ඔප්පු පිටපත විනාශ කළ බව ඔහු තමාට කී නමුත්, තමාගේ ඔප්පු පිටපත් විනාශ නොකළ බව නිවෙස් හිමිකාරිය කියයි.
වැදගත් කරුණක් වන්නේ, බැඳුම්කර කොමිසම හමුවේ තමා සාක්‍ෂි දීමට පැමිණීමට පෙර ඇමති කරුණානායක විසින් තම පියා දුරකථනයෙන් අමතනු ලැබූ බව ද නිවෙස් හිමිකාරිය කීම යි.

මේ ජනාධිපති කොමිසම අධිකරණයක් නොවේ. අවසානයේ කිසිවකු වැරදිකරු කිරීමටත්, දඬුවම් දීමටත් එම කොමිසමට බලයක් නැත. කොමිසමට කළ හැක්කේ, බැඳුම්කර ගනුදෙනුවට අදාළ කරුණු ගැන තමන්ගේ විමර්ශන හා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයාට ලබා දීම ය. ඒ නිසා ඇමති රවි කරුණානායක කිසි ම වරදකට මේ කොමිසම විසින් වරදකරු නොකෙරෙනු ඇත. එහෙත්, කොමිසම ඉදිරියේ හෙළිදරව් වී ඇති මේ තොරතුරුවලින් රවි කරුණානායක ඇමතිවරයාගේ දේශපාලන සදාචාරයට බලවත් හානියක් නම් සිදු වී තිබේ.

මූල්‍ය වංචාවක් සිදු කළ බවට පැහැදිලි තොරතුරු හෙළිදරව් වී තිබුණු පුද්ගලයකුගෙන් සුඛෝපභෝගී නිවසක් නොමිලේ ලබා ගැනීම එක්කෝ අල්ලසකි. නැතිනම් අල්ලස් ගණයේ ලා සැලකෙන තුටුපඬුරක් පිළිගැනීමකි. එය නීති විරෝධී ය. එවැනි සදාචාර විරෝධී, නීති විරෝධී පැවැත්මක් ඇති පුද්ගලයකු යහ පාලන ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ සිටිය හැකි ද?■

About