Wednesday, 23/8/2017 | 12:33 UTC+0
රාවය

මොසූල් අළු ගොඩ

තරිඳු උඩුවරගෙදර

ඔවුන් සමස්ත ජාතියක් ත්‍රස්ත වාදීන් ලෙස නම් කරද්දී ඒ ජාතිය ඒ ලේබලය කරට ගෙන ත්‍රස්තවාදීන්ම බවට පත්වේවි. දුප්පත්කම, බඩගින්න මැද පීඩනයට මුහුණදෙන මිනිසුන් තමන්ගේ පීඩනයට හේතුවයැයි සිතන මිනිසුන් පුපුරවාහරින්නට ධෛර්යය එකතුකරගනීවි. ඒ පිපිරීමෙන් පසුව අර පීඩිත මිනිසුන් අයිති සමස්ත ජනවර්ගයම ‘ත්‍රස්තවාදීන්’ ලෙස ලේබල් කරාවි. ඒ ලේබලය කර තබාගනිමින් ඒ පිරිස තව තවත් ත්‍රස්තවාදීන් වේවි.

යුරෝපයේ නගරයක් මැද සතුටින්, සාමයෙන් සැහැල්ලුවෙන් සිටින මිනිසුන් පිරිසක් තමන්ගේ ජනවර්ගය යුද්ධයෙන්, බඩගින්නෙන්, දූවිල්ලෙන් පීඩා විඳින්නට හේතුවයැයි දැනෙද්දී නැගෙන කෝපය පිටවෙන්නේ මැන්චෙස්ටර් නගරයේ හෝ යුරෝපයේ නගරයක් මැද මරාගෙන මැරෙන බෝම්බ පුපුරායෑමෙන් වෙන්න පුළුවන්. කොටුව දුම්රිය ස්ථානයේ පිපිරීගිය මරාගෙන මැරෙන බෝම්බයකට හේතුවත් එයම වෙන්නට පුළුවන්. ඒ බෝම්බයෙන් පසුව ඉතිහාසයේ වැරදිකරුවා ලෙස, ත්‍රස්තවාදියා ලෙස නම් වෙන්නේ බෝම්බකරුවාගේ පාර්ශ්වය වෙන්නට පුළුවන්. ඒත් සැබෑව කුමක්ද?

මේ සියල්ල කියන්නේ මරාගෙන මැරෙන්නා සාධාරණීකරණය කරන්නට නෙවෙයි. මේ ගැටලුවල ස්වභාවය යළි යළිත් තේරුම් ගන්නයි. යුද්ධයට විසඳුම යුද්ධය නොවන බව පැහැදිලි කරන්නයි. මැන්ඩෙලා හෝ ගාන්ධි හෝ පෙන්වූ මාවත යළි සිහිපත් කරන්නයි. ඒ සියල්ල කෙසේ වෙතත් ඉරාකයේ දෙවැනි විශාලතම නගරය හිංසනයෙන් හිස් පුරවාගත් සංවිධානයක් විසින් අල්ලාගැනීමත් එහි පුරවැසියන්ට වධ දීමත් එක්ක ඒ නගරය මුදාගන්නට යුද වැදීම හැර අන් යමක් කරන්නද? මේවාට පිළිතුරු දීම ඉතා අසීරුයි.

අපගේ ගමනාන්තය මොසූල් නගරයයි. පසුගිය සතියේ ‘ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත්’ බව අභිමානයෙන් වාර්තා කෙරුණු මොසූල් නගරයයි. ඉරාකයේ දෙවැනි විශාල නගරය ලෙස ඉතිහාසයට එක්ව ගිය නගරය ගැනයි. අයිඑස් සංවිධානයේ අගනගරය ලෙසින් හැඳින්වූ නගරය ගැනයි. දැන් සීයට අසූවක්ම විනාශ වී ගිය මිනිස් වාසයෙන් තොර අළු ගොඩ ගැනයි.
නගරයක් විනාශ වීම ඛේදවාචකයක් නොවෙයිද? එයට සම්පූර්ණ වැරදිකරුවා ‘ත්‍රස්තවාදීන්’ යැයි ඔබ කියාවි. ඒත් ‘ත්‍රස්තවාදයත් තවත් වාදයක්. ඒ වාදය බිහිවෙන්නේ කුමන ප්‍රශ්නයට උත්තර සොයන්නටද?’ පිළිතුරු සොයන්නට ඕනෑ අන්න ඒ ප්‍රශ්නයටයි. එයට කෙටියෙන් දිය හැකි පිළිතුරු නැහැ. ඒ නිසා අප අර අළු ගොඩ මතට ගමන් කරනවා. අළු ගොඩ ගැන කතාකිරීම අළු ගොඩ බිහිවෙන්නට හේතු කතාකිරීමට වඩා පහසුයි. අළු ගොඩ මතට භෞතිකව ගමන් කරන්නට නොහැකි තැන අප එතැනට ගියේ ඒඑෆ්පී, අල් ජසීරා, ඒපී වැනි ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් සමඟ. අන්තිමේදී මේ හැම දෙයක්ම ඉතිහාසයේ සටහන් කර තබන්නේ ඔවුන් පමණයි. වෙඩි උණ්ඩ මැද දූවිලි අළු වෙලා යන ලෝකයේ සත්‍යය ලෙස ඉතිරිවෙන්නේ ඔවුන් වාර්තා කර තබන දේ පමණයි.

ජුලි මාසය මුල නිල වශයෙන් මොසූල් සටන අවසන් වුණා. පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් 16 ඉඳන් මොසූල් වෙනුවෙන් ඉරාක හමුදා සහ අයිඑස්අයිඑල් ත්‍රස්තයන් සටන්වැදුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවුණු දරුණුම නාගරික යුද්ධය ලෙස මොසූල් සටන හැඳින්වෙනවා. ඒ විතරක් නෙවෙයි, පසුගිය වසර පහළොවක කාලය තුළ ඇතිවුණ ම්ලේච්ඡතම යුද්ධය ලෙසත් මොසූල් යුද්ධය හැඳින්වෙනවා. අවසානයේදී 2014 සිට අයිඑස් සංවිධානය සතුව තිබුණු මොසූල් නගරය මුදාගන්නට ඉරාකය සහ ජාත්‍යන්තර හමුදාවන්ට හැකිවෙනවා.

විනාශ වී ගිය මොසූල් නගරය තිබුණු පරිදිම යළි ගොඩනංවන්නට අවම වශයෙන් ඩොලර් බිලියන 50ක්වත් අවැසි බව කියන්නේ මූලික පහසුකම් ඇති කරන්නට ඩොලර් බිලියනයක්වත් අවැසි මොහොතක. සමතලා වී ගිය සිමෙන්ති ගොඩක් මැද යළිත් නිවාස, ගොඩනැගිලි, ජල පහසුකම්, විදුලි පහසුකම් ඇතුළු නාගරික ජීවිත ඇති කරන්නේ කෙසේද? ඇත්ත. මේ වන විට බටහිර රටවල් මොසූල් නගරය භෞතිකව ගොඩනංවන්නට ආධාර ලබාදෙන බව කියනවා. එහෙත් මොසූල් නගරය ගොඩනංවන්නට ජීවිත දෙන්නේ කවුද? විනාශ වී ගිය ලක්ෂ ගණනක් ජීවිත යළි ලබාදෙන්නේ කවුද?
බොහෝ බටහිර මාධ්‍ය මොසූල් යුද්ධය ගැන වාර්තා කරන්නේ ලංකාවේ යුද්ධය දිවයින පුවත්පතෙන් හෝ එකල රාජ්‍ය මාධ්‍යයකින් වාර්තා කළ විදියටමයි. මිනිස් පලිහක් ලෙස අයිඑස් සංවිධානය විසින් පුරවැසියන් තබාගත් හැටිත් මානුෂීය මෙහෙයුම් හරහා ඒ පුරවැසියන් ගලවාගත් හැටිත් බොහෝ බටහිර මාධ්‍යවල වාර්තා වෙනවා. එහෙත් මොසූල්හි ජීවිත විනාශයන්ට වගකිව යුත්තේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් සංවිධානය පමණක් නොවෙයි. සත්‍යය විමසද්දී පෙනෙන්නේ දෙපාර්ශ්වයම සාමාන්‍ය මිනිසුන් මතින් මේ මහා යුද්ධය ගෙනගිය බවයි. එය දැවැන්තම ජීවිත හානි සිදුකළ විනාශයක් ලෙසින් හැඳින්විය හැකියි.

වරක් අන්තර්ජාලය පුරා වීඩියෝ හරහා අයිඑස් සංවිධානය පිළිබඳ තොරතුරු ලබාගන්නට ඉරාක හමුදාව විසින් දරුවන්ට වදහිංසා කරන බව වාර්තා වී තිබුණා. එපමණක් නොවෙයි මිඞ්ල් ඊස්ට් මොනිටර් නම් සුන්නි වෙබ් අඩවිය විසින් වීඩියෝවක් පළකර තිබුණේ ඉරාක හමුදාව විසින් පිරිමි දරුවෙකු මරා දමන අයුරුයි. මොහොමඞ් අලි අල් හඩිඩි නම් ඒ දරුවා යුද ටැංකියක් ඉදිරිපිට වෙඩි තබා දරුවා මතින් යුද ටැංකිය ගෙනගොස් තිබුණා. පහුගිය මාර්තු දාහත්වැනිදා ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 200ක් පමණ ඝාතනය වුණු බව සඳහන් වෙනවා. මෙවන් සිදුවීම් බොහෝයි. රසායනික අවි සහ මිනිස් පලිහක් ඇති තැනක පාවිච්චි නොවිය යුතු බර අවි පාවිච්චි කිරීම් ගැන චෝදනා බොහෝයි. ඒවා ඔප්පු කරන සාක්ෂි ඇති තැන් ද බොහෝයි.
මේ සියලු කතා මැද විනාශ වී ගියේ ඉරාකයේ දෙවැනි විශාලතම නගරයයි. මිහිපිට අපායක් ලෙසින් ඉරාකයේ සාමාන්‍ය මිනිසුන්ට මේ නගරය දැනෙන්නට ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සෙයිද් අල් හුසෙයින් කුමරු කියනවා.

පාරාදීසය, උතුරේ මුතු ඇටය, කොළ පැහැ නගරය වැනි විවිධ නම්වලින් ඉරාක ජාතිකයන් විසින් මොසූල් නගරය හඳුන්වනවා. ටයිග්‍රීස් නදියේ බටහිර නිම්නයේ මොසූල් නගරය පිහිටා තියෙනවා. සුප්‍රකට පැරණි ටයිග්‍රීස් ඇසේරියන් නගරය නදියට නැගෙනහිරින් පිහිටා තියෙනවා. ඊට මුහුණලායි මොසූල් නගරය පිහිටා තියෙන්නේ. ක්‍රිස්තුපූර්ව විසිපස්වැනි සියවසේ පමණ සිට ටයිග්‍රීස් නදිය අසබඩ මේ නගරවල පැරණි රාජධානි පැවතුණා. විසිඑක්වැනි සියවස වෙද්දී මොසූල් පුරවැසියන් ඇසේරියන්, අරාබි, ආර්මේනියන්, තුර්කි ඇතුළු විවිධ ජනවර්වලින් සමන්විත වූ බව කියනවා. මේ නගරයේ සුන්නි ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් සිටියත් ක්‍රිස්තියානි, ශියා ඉස්ලාම් ඇතුළු විවිධ ආගමිකයන් සිටිනවා.

මොසූල් විශ්වවිද්‍යාලය මෙන්ම එහි වෛද්‍ය පීඨය ලෝක ප්‍රසිද්ධ වී තියෙනවා. තෙල්වලට මොසූල් නගරයත් ප්‍රසිද්ධයි. සතුටින් පිරි මිනිසුන් කලෙක මේ නගරයේ ජීවත්වෙන්නට ඇති. එවන් නගරයක් පොළොවේ අළු බවට පත්ව ගිහින්. අයිඑස් ඉස්ලාමීය රාජ්‍යයේ අගනගරය ලෙසින් හැඳින්වූ මොසූල් නගරය බිඳවැටීම අයිඑස් සංවිධානයට විශාල පරාජයක්. ක්‍රමයෙන් අයිඑස් සංවිධානය පරාජයේ අත්දැකීම් විඳිනවා වෙන්නට පුළුවන්. එහෙත් මැදපෙරදිග මිනී නොමැතිව ලොව බලවත් රටවල් හුස්ම ගන්නේ කෙසේද? ඒ නිසා ඇතැම්විට මොසූල් නගරය යළි තැනුණත් ක්‍රම ක්‍රමයෙන් මිනිසුන් බිහිවෙමින් හුස්ම ගන්නට පටන්ගත්තත් නුදුරේදී යළිත් සමතලා වෙන්නට නියමිත වෙන්නට පුළුවන්.■