රාවය

ජෝන් ද සිල්වා නැතුව බැරිද?

ජෝන් ද සිල්වා නැතුව බැරිද?

රංග මනුප්‍රිය

ඉහත පැනය නැගූ සැණෙන් සිහියට එන්නේ, සැකයකින් තොරව ම දැවැන්ත අර්බුදයක් බවට පත් ව ඇති වත්මන් ආණ්ඩුවේ දේශපාලන අවසානය සඟවා, එය වත්මන් ආණ්ඩුවේ නොහොබිනාකම් සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයක් වැනි අදහසකි. එහෙත් අප මේ උත්සාහ කරන්නේ ‘ජෝන් ද සිල්වා රැකගනිමු’ සටන් පාඨය වෙත පක්ෂපාතී විවේචනයක් ගෙනඒම හැර ජනවාරි 08 ව්‍යාපාරයට සහයෝගය දැක්වූවන් නිරුවත් කළ ආණ්ඩුවට සහයෝගයක් දීමට නොවෙයි.

ජෝන් ද සිල්වා රඟහල අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ වන්නේ 2012 අයවැය සාකච්ඡාවකදී එවකට පැවති ආණ්ඩුව ගත් තීරණයකට අනුවයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ 2014 නොවැම්බර් මස 7 වන දින අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණි.

බැලූබැල්මට එහි වරදක් නැත. අප හොඳින් දන්නා පරිදි අවසන් වරට ජෝන් ද සිල්වා රඟහලේ, රඟ දැක්වුණු නාට්‍ය නැරඹීමේදී නොයෙක් අපහසුතාවන්ට හා රංගයට යම් සීමාවන් පැනවීම් සිදුවූ තරමක අබලන් තත්ත්වයක් රඟහල තුළ දකින්නට ලැබුණු බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. තව ද නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීමේදී යම් තාක්ෂණික අපහසුතා ද (ශබ්ද) ජෝන් ද සිල්වා රඟහලට අත්විඳින්නට සිදුවිය. ගැටලුව ඇත්තේ රඟහල අලුත්වැඩියා කිරීමේ තීරණය ගැනීම තුළ නොවන බව ද අප අවබෝධ කරගත යුතුය. රඟහල පෞද්ගලික අංශයට භාරදීමට යන උත්සාහයක් (මේ වනවිටත් භාර දී ඇති බව) හේතුවෙන් මෙම විරෝධය පැනනැගී ඇත.

රඟහල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනීසිටින නාට්‍යකරුවන් සහ සමාජ ක්‍රියාධරයන්ගෙන් අපට අසන්නට ඇත්තේ, ජෝන් ද සිල්වා රඟහල සහ ජනතාව අතර සම්බන්ධය ඔබ හඳුනාගෙන ඇත්තේ කෙසේද? ජෝන් ද සිල්වා සමරු රඟහල රැකගත් පසු නාට්‍ය කලාව කොයි ආකාරයක වර්ධනීය හැරවුමක් ලබාගනියිද? ජෝන් ද සිල්වා රඟහලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර නාට්‍ය කලාව තිබූ තත්ත්වය යහපත්ද? රාජ්‍ය හා නාට්‍ය කලාව අතර සුබදායික සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ හැකියාවක් මෙම ආණ්ඩුව පෙන්වාදී ඇත්ද? මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී ‘ජෝන් ද සිල්වා රඟහල රැක ගැනීම’, ‘නාට්‍ය කලාව’, ‘ආණ්ඩුව’ අතර ඇත්තේ කිසිදු ආකාරයක සමීප සම්බන්ධයක් නොවන බව අප අවබෝධ කරගැනීමට කෙනෙක්ට හැකිවන්නේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරන්නේ නම් පමණි. අද දවසේ නාට්‍ය කලාව පත්ව ඇති අර්බුදකාරීත්වය ප්රොසීනියම් නාට්‍යකරණය, ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිපාදනය හා කොළඹ නාට්‍යකරුවන්ට තම නිර්මාණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ කිසි ලෙසකින්වත් ජයගත නොහැක්කකි.

නාට්‍යකරුවන්ගේ උත්සාහය හා අරමුණ වන්නේ මෙරට නාට්‍ය කලාව ජනතාවාදී දෘෂ්ටියකින් යළි ගොඩනැගීමට නම්, ‘කළයුත්තේ කුමක්ද?’ යන්න ඔවුන් අවබෝධ කරගෙන ඇතිදැයි යන්න සැක සහිතය. 2000ක පමණ ප්‍රේක්ෂක ජනතාවකට සීමාවී ඇති නාට්‍ය කලාව, තවදුරටත් කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පංතික ප්‍රේක්ෂකාගාරය තුළ සුරක්ෂිත කිරීමේ අභිප්‍රාය පමණක් අද දවසේ නාට්‍යකරුවන් තුළින් නික්මෙන සටන්පාඨ බවට පත්වී ඇත. ජෝන් ද සිල්වා රැකගැනීමේ ඒකායන අරමුණවන්නේ ප්‍රේක්ෂකයන්ට අඩු මුදලක් දී නාට්‍ය දර්ශනයක් පෙන්වීමට ඇති ඉඩ ඇහිරීම වෙනුවෙන් පෙනීසිටීමයි. සත්‍ය වශයෙන් මෙම අඩු මුදල නම් සාධකය තීරණය වන්නේ අද දවසේ නාට්‍ය කලාව භාරගෙන සිටින මුදලාලිලා මතයි. මුදලාලිලාගෙන් තොර වූ උසස් නාට්‍ය සඳහා අවකාශයක් ජෝන් ද සිල්වා රඟහල හරහා විවෘත කරගැනීමට යම් උත්සාහයක් දැරිය හැකි වුවත් අද දවසේ එය අධ්‍යක්ෂවරයෙකු ලබන ඉතා බැරෑරුම් අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ සඳහා ඇති තවත් එක් අවකාශයක් වන්නේ කොළඹ 7, නාඩා ආයතනයයි. ඉතා සාධාරණ මුදලකට එහි නාට්‍ය පුහුණුවීම් හා නාට්‍ය දර්ශන පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසාගෙන ඇත. (මෙම විරෝධයටම සම්බන්ධ නාට්‍යකරුවන් හා දේශපාලනඥයන් ඊට සම්බන්ධ වූ බව මතක් කළ යුතුය.) එහෙත් පිරී ඉතිරී යන ප්‍රේක්ෂක සහභාගිත්වයක් හෝ 1990 හෝ ඊට පෙර දශකවල මෙන් නාට්‍ය නැරඹීමේ උද්යෝගයක් ඇති කිරීමට හෝ නාට්‍ය කලාව නඟා සිටුවීමට නාඩා ආයතනය හරහා සිදුවී ඇති සේවය කුමක්ද? තවත් ආකාරයකට කියන්නේ නම් ගොඩනැගිලි අයිති කරගැනීම මත නාට්‍ය කලාවේ සශ්‍රීකත්වය තහවුරු වන්නේ නැත. නැවත අදාළ සන්දර්භයේ සිට කියන්නේ නම් ජෝන් ද සිල්වා සටන ජයග්‍රහණය කළද කිසිවක් සිදුවන්නේ නැත.

මෙරට නාට්‍ය කලාවේ සැබෑ හිස්තැන් සෙවීම, නැති නම් අප හඳුනාගත යුතු මෙරට නාට්‍ය කලාව පැමිණ ඇති අර්බුද රාශියකි.
විචාර කලාවක් නොමැති වීම. (අද දවසේ සිනමාව සම්බන්ධයෙන් තත්ත්වය තරමක් යහපත් වුවත් නාට්‍ය කලාව වෙනුවෙන් විචාර ලියවෙන්නේ ඉතාම අල්ප වශයෙනි.)
නාට්‍ය කලාවේ න්‍යායාත්මක කරුණු පිළිබඳ සංවාදයක් නොමැති වීම. (රූපණය, නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය, ආනුශංගික කලා, නර්තනය හා බැලේ, ව්‍යවහාරික රංග කලාව, අවම වශයෙන් – ග්රොටෝස්ව්කි, ආටෝ, මෙයර් හෝල්ඞ්, ස්ටැනිස්ලව්ස්කි, බෙකට්, අයෙනෙස්කෝ, පින්ටර් වැනි නාට්‍යකරුවන් පිළිබඳ සංවාදයක් නොමැති වීම.) මේ ආකාරයේ කිසිදු න්‍යායාත්මක සංවාදයක් විශ්වවිද්‍යාල මට්ටමෙන් කලාතුරකින් දැකිය හැකි වුවත් එය ඉතා ම අල්ප වේ.
රංග කලා ආයතන හා සමාජය අතර පවතින දුරස්ථ බව.

නාට්‍යකරුවන් අතින් තුරන්වෙමින් යන නාට්‍ය කලාවේ ප්‍රගතිශීලීත්වය හා ආත්මීයත්වය.
අධ්‍යාපනික විෂය නිර්දේශ මත යැපෙන නාට්‍ය හා ඒවා වෙළෙඳ භාණ්ඩ බවට පත් වී තිබීම.
සමකාලීන විශ්ව නාට්‍ය පිටපත් පරිවර්තන හිඟ වීම.
ව්‍යවහාරික රංග කලාවක් නොමැති වීම.
සමාජය වෙත පුළුල් දේශපාලනික බුද්ධිමය මැදිහත්වීමක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට තරම් ප්‍රගතිශීලී විභවයක් නොමැති වීම.

රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන මධ්‍යම පංතික නාට්‍ය ව්‍යාපෘති, සමාජ ගැටලු වෙත සක්‍රීය ලෙස අභිමුඛ නොවීම.
රස හීන නාට්‍ය කලාව හා මුදල් අර්බුද මත අහිමි වෙන නාට්‍ය කලාවේ සැබෑ අරමුණ.
ඉහත අර්බුද යම් යම් තීව්‍රතාවෙන් විවිධ කලා මාධ්‍ය තුළ දැකගත හැකි වුවත්, යම් කලා මාධ්‍යයක් ඒ අතරින් කැපීපෙනෙන සේ නැඟීසිටීමෙන් එය අනෙක් කලාවන්ටද යහපත් රැල්ලක් නිර්මාණය කරනු ඇත. හෛඩගර්ගේ වචනවලින් කියන්නේ නම් දෛනික ජීවිතයේ බොළඳ කතාවට (ෂාකැ ඒකන) ඇති ජීවිත අව්‍යාජත්වයට ඔසවා තැබීමට අද දවසේ කලාව තුළ සිදුවිය යුතු බුද්ධිමය මැදිහත්භාවය ඉහත කරුණු ඔස්සේ අප විසින් ජයගත යුතුව ඇත. 70 හා 80 දශකවල කලාකරුවන් තමුන්ගේ ජීවිතයේ මුඛ්‍ය අරමුණ ලෙස ඇදහුවේ යහපත් සමාජයක් බිහිකිරීමයි. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ඔවුන්ගේ කාර්යය ලෙස තේරුම් ගනිමින් කලාවේ සාංදෘෂ්ටිකත්වය නිරාවරණය කර ගැනීමට ඔවුහු උත්සහ කළහ. අද දවසේ තම ප්‍රධාන අරමුණ ජෛවීය ශරීරය නඩත්තු කිරීම බවට ඌනනය වූ සමාජයට කලාකරුවාද එහිම සමරිසියෙකු වී ඇත.

ජෝන් ද සිල්වා සමරු රඟහල වෙනුවෙන් සිදුවන මෙම අරගලය හා ‘පොලිටිකල් ඉවෙන්ට් එකක්’ ලෙස අද දවසේ හඳුනාගන්නා දේශපාලන පක්ෂ සිදුකරන ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙම අරගලය ප්‍රතීයමානවීමද වැළැක්විය නොහැකිය. වාමාංශික පක්ෂ හෝ විපක්ෂය මෙවැනි ක්‍රියාදාමයක මූලිකත්වය ගැනීම අපට ප්‍රශ්නයක් නොවේ. ඒවායින් පැහැදිලිවම පවතින ආණ්ඩුවට විශාල බලපෑමක් සිදුකළ හැකිය. (උමා ඔය විරෝධය, සයිටම් ගැටලුව, කසළ බැහැර කිරීමේ ගැටලුව) එමඟින් එම පක්ෂවලටද විශාල ජනතා ලාබයක් උපයාගැනීම, එනම් ජනමතය තමන් වෙනුවෙන් නම්මවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස්වන බව කිව හැකිය. තවත් ආකාරයට කියන්නේ නම් සමහරක් ජනප්‍රිය නොවන, නමුත් විරෝධය පෑමට පුළුල් ජනවිභවයක් ඇති බවට හඳුනාගන්නා ගැටලු ජනප්‍රිය කරමින් කථිකාව තුළ සිට ඒවා ජයග්‍රහණය කිරීමට උත්සාහ දැරීම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සිදුවෙයි. මේ කුමන අර්ථයෙන් වුවද මූලිකව ජනතා ගැටලුව විසඳීමට උත්සාහ කිරීම වටිනා ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැකිය. එය උගසට තබා ඡන්ද ලබාගැනීම ඉන්පසු සිදුවන දෙයකි. ඒ සඳහා දැනුවත් බුද්ධිමත් ඡන්දදායකයන් පිරිසක් මෙරට නිර්මාණය වනතුරු මෙවැනි තත්ත්වයන්ගෙන් අපට මිදෙන්නට බැරිය. එහෙත් මෙවැනි පක්ෂ දියත් කරන නොයෙක් ක්‍රියාදාම, ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය අවසන් වූ විගස අවසන් වන සැටිද අප දැක තිබේ. වත්මන් ආණ්ඩුව ඒ සඳහා අපට තොග ගණනින් උදාහරණ සපයා ඇත. මේ අර්ථයෙන් පොලිටිකල් ඉවෙන්ට් එකක් යනුම මූලික ප්‍රශ්නය අමතක කරන, ජනප්‍රිය මොහොත තම න්‍යාය පත්‍රයට හසුකර ගන්නා ප්‍රාග්ධනයේ තවත් දේශපාලන පෙනීසිටීමක් මිස අනෙකක් නොවෙයි. මෙමගින් කියන්නට උත්සාහ කරන්නේ සමාජවාදී කලා සංගමය හා මෙම විරෝධය පෑම දේශපාලන අභිප්‍රායක් මත මුලිමනින්ම තීරණය වනවා යන්න නොවෙයි. එහෙත් මෙම විරෝධය මගින් ජනතාව වෙත ඉඟිකරන්නේ එවැනි තත්ත්වයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඉහත සඳහන් කළ නාට්‍ය කලාව නඟා සිටුවීම, අවසාන අර්ථයෙන් යහපත් සමාජයක් බිහිකිරීමේ ක්‍රියාවලිය වෙත අභිමුඛවීමට ගත යුතු ප්‍රාථමික නැති නම් පළමු ක්‍රියාමාර්ගය මෙය නොවන නිසා ය.

සිදුවිය යුත්තේ ඉහත සඳහන් කළ මූලික ගැටලු සඳහා යහපත් පෙනීසිටීමක් සංවිධානය කිරීමයි. එවිට ජෝන් ද සිල්වා වෙනුවෙන් නාට්‍යකරුවන් වෙනුවට ජනතාව ඔවුන්ගේ අරගලයක් බවට පත්කරගනු ඇත. මෙරට සියලු වෘත්තීමය හා සමාජයීය අරගල දියාරු වී හා පරාජය ලබන්නේ එම ගැටලු ජනතා ගැටලු බවට පත්කිරීමට එම විෂයෙහි ක්‍රියාධරයන්ට අවශ්‍ය බුද්ධිය නොමැතිවීම තුළය. නාට්‍ය කලාව හා බැඳුණු ජනතාවක් නිර්මාණය වූ යුගයක කිසිදු ආණ්ඩුවක් මෙවන් තීරණ නොගන්නා බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත. 2000කගේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගන්නා නාට්‍ය කලාව වෙනුවෙන් ලාබ රහිත හා ජනතා ආකර්ෂණයක් ලබාගත නොහැකි ව්‍යාපෘතිවලට කරගැසීමට පාඩු ලබන බංකොළොත් ආණ්ඩුවක් කිසිදා ක්‍රියාත්මකවන්නේ නැත.

මේ සියලු අර්ථයෙන් නාට්‍යකරුවන්ගේ මෙම ක්‍රියාදාමය වැඩදායක එකක්ද යන්න ගැටලුවක් නොවේද? පසුගිය යෞවන සම්මාන උළෙල වෙනුවෙන් තරුණ නාට්‍යකරුවන් කළ විරෝධයත්, රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සිදුකළ විරෝධයත්, මෙම කරමින් සිටිනා විරෝධයේත්, ප්‍රවෘත්තිමය වටිනාකම පවා අද ගිලිහී ගොසින්ය. ජෝන් ද සිල්වා අහිමිවීම, ජනතාව හඳුනාගන්නේ බස් ගාස්තු රුපියලකින් ඉහළ දැමීමෙන් ජනතාව වෙත ඇතිකරන බලපෑමෙන් 100න් එකක් වත් තරමින් නොවන බව නාට්‍යකරුවන් පිළිගත යුතුය. එසේ නම් කළයුත්තේ නාට්‍ය කලාවේ අර්බුදය හඳුනාගෙන එයට පිළියම් කිරීමයි. එම අර්බුද විසඳෙන තෙක් කිසිදු ආණ්ඩුවක් නාට්‍ය කලාව වෙනුවෙන් කිසි දිනෙක පෙනීසිටින්නේ නැත. ජෝන් ද සිල්වා රඟහල අලුත්වැඩියා සඳහා කඩාදැමීමේ දී නාට්‍යකරුවෝ විරුද්ධ වූහ. දැන් එය විකිණීම සම්බන්ධයෙන් විරෝධය අරඹා ඇත. මෙම අරගලයෙන් කුමන ප්‍රතිඵලයක් අත්වුවද නාට්‍ය කලාවේ අර්බුදය සඳහා යහපත් පෙනීසිටීමක් සිදුවන්නේ නැත. නාට්‍ය කලාවේ අභිවෘද්ධියට නාට්‍යශාලා අවශ්‍ය බව සැබවි. එහෙත් නාට්‍යශාලා ගොඩනැගීමට පෙර නාට්‍ය කලාවක් තිබිය යුතුය. නාට්‍යකරුවන් අවබෝධ කරගත යුත්තේ ඔබගේ වේදිකාව තිබෙන්නේ ජනතාව ගැවසෙන, දුක්විඳින, ඔවුන් දිනපතා ඔබමොබ යන කඩපිලේ, මන්සංදියේ, වෙළෙඳපොළේ, කෝච්චියේ, වෙලේ කමතේ මිස අවවර්ධිත ධනේශ්වර රාජ්‍යයක් මගින් සකසාදීමට පොරොන්දු වන හුදෙකලා රංග ශාලාවක් තුළ නොවන බවයි.■