Wednesday, 23/8/2017 | 12:36 UTC+0
රාවය

පෞද්ගලික අවශ්‍යතාවලට වඩා රට ගැන හිතන්න ඕනෑ -සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

තරිඳු උඩුවරගෙදර

 

අාණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම ඉවත්වෙන බවට සාකච්ඡාවක් තියෙනවා. ඔබේ අදහස මොකක්ද?

සමහර අය විවිධ මත පළකළා ජාතික ආණ්ඩුව හදපු දවසේ ඉඳන්. ජාතික ආණ්ඩුවට සමහර අය එකතුවෙන බව කීවා. තවත් අය ඉවත්වෙන බව කීවා. මේවා කතන්දර විතරනේ. අපි ජාතික ආණ්ඩුවට ආවේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා ඇවිල්ලා මධ්‍යම කාරක සභාවේදී එකඟ වෙලා. ඒක අත්සන් කළේ දෙසැම්බර මාසේ. ඉවරවෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර්වල. අපි ඒ වෙද්දී බලනවා එකඟවුණ කාරණාවලින් කොච්චරක් ඉටුවෙලා තියෙනවාද කියලා. ඒ අනුව අපි තව ඉන්නවාද නැද්ද කියලා මධ්‍යම කාරක සභාව විදියට තීන්දු කරනවා. ඒකයි නියම ක්‍රමවේදය.

ආණ්ඩුවේ මෙතෙක් ක්‍රියාකලාපය ගැන ඔබේ අදහස මොකක්ද? ආණ්ඩුව පිහිටුවීමේ බලාපොරොත්තු ඉටුවෙලාද?
අපි අවුරුදු දෙක සම්පූර්ණ වෙද්දී බලන්න ඕනෑ, එක් පැත්තකින් අපට එල්ලවී තියෙන මානව හිමිකම් චෝදනා ගැන මොකක්ද වෙන්නේ කියන එක. මැතිවරණ ක්‍රමයේ වෙනසක් සහිත විසිවැනි සංශෝධනය ගැන බලන්න ඕනෑ. සංශෝධන ටික කෙටුම්පත් හැදිලා තියෙනවා. ගිවිසුමත් එක්ක බලලා කණ්ඩායමක් විදියට මධ්‍යම කාරක සභාව තමයි තීන්දු කරන්නේ. සාධනීය විදියට පක්ෂය බලාවි. දැන්ම මොනවත් කියන්න බෑ. අපේ පෞද්ගලික අවශ්‍යතාවලට වඩා රට ගැන හිතන්න ඕනෑ. ඒ වගේම පක්ෂය ගැන හිතලා සාමූහිකව තීන්දු ගන්න වෙනවා.
ඉටු නොවුණු දේවල් ඉටු කරගන්න නම්, ආණ්ඩුවෙන් ඉවත්නොවී ඉදිරි අවුරුදු දෙක පවත්වාගෙන යන්නත් පුළුවන් නේද?
ඔව්. සමහරවිට ඉෂ්ට නොවුණු දේවල් ඉදිරි අවුරුදු දෙකේ සම්පූර්ණ කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් අපට පුළුවන් එකට ඉන්න. ඒක තීරණය කරන්න ඕනෑ ඒ ඉෂ්ට නොවුණු දේවල් ඉෂ්ට කරන්න අවශ්‍ය මූලික පියවර අරගෙන තියෙනවාද කියන එක මත.

ශ්‍රීලනිප සහ එජාප ආර්ථික ප්‍රතිපත්ති එකිනෙකට වෙනස්. ඒ නිසා ආර්ථික තීන්දු ගනිද්දී මතගැටුම් ඇතිවුණා. ඉදිරි කාලයට ආණ්ඩුව යනවා නම් ඒ මතගැටුම අවසන් කරගැනීම වැදගත් නේද?
අනිවාර්යයෙන්ම. ශ්‍රීලනිපය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නොවුණ අවස්ථාවල සාකච්ඡා වෙලා තියෙනවා. අපි හැමවෙලාවෙම එකඟතාව පළකළේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති තුළ ගන්න පුළුවන් ක්‍රියාමාර්ගවලට. අපි ඉදිරි අවුරුදු දෙක ඉන්නවා නම් ඒ ගැන තව සාකච්ඡා කළ යුතු බව ඇත්ත. මම හිතන්නේ සමබරව ගෙනියන්න හැකියාව ලැබෙනවා මේ ගැන තවත් සාකච්ඡා කරලා රටට හොඳම දේ කරන්න පුළුවන් නම්. සමහර තීන්දු තනිව ගත්තා. අපට එකඟවෙන්න බැහැ. බැඳුම්කර ගනුදෙනුවත් ඒ වගේ සිද්ධියක්. හැබැයි පොදුවේ පහුගිය කාලයේ ගත්ත රටට වඩා හොඳ තීන්දු, සාකච්ඡාවලින් පස්සේයි ගත්තේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට වැදගත් කරුණු හෙළිවෙමින් තියෙනවා. මේ ගැන ශ්‍රීලනිපයේ අදහස මොකක්ද?
පරීක්ෂණ සිදුවෙන ආකාරය පිළිබඳව ශ්‍රීලනිපය සතුටුයි. අපි දින සීයේදීත් මේකට විරුද්ධව පාරට බැස්සා. ජනාධිපති කොමිසම සත්‍යය රටට හෙළිකරයි. ඒක ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත සිද්ධවුණේ. කොමිසම හෙළිකරන කරුණු අනුව අපි පියවරක් ගන්නවා.

විශ්වාසභංගයක් ඉදිරිපත්වෙන්න නියමිත බවට කතාබහක් යනවා. එහෙම තත්ත්වයක් ඇතිවුණොත් ශ්‍රීලනිපය ඉන්නේ කොතැනද?
ඒක ඒ වෙලාවට බලන්න ඕනෑ. අපි දූෂණයට විරුද්ධයි. පක්ෂයක් හැටියට මේ ගැන කතාකරලා තීන්දුවක් ගන්නවා. අපට ඔහු ආණ්ඩුවේ ඇමතිවරයෙක්ද කියන එක අදාළ නැහැ. අපට තියෙන ප්‍රශ්නය තවම ඔහු වරදක් කරලා තියෙන බව ඔප්පු වෙලා නැති එක. තවම එක් පාර්ශ්වයක් සාක්ෂි ඉදිරිපත් කිරීමක් පමණයි සිද්ධවෙලා තියෙන්නේ.

මධ්‍යම කාරක සභාවේ තීන්දුවට පිටින් ශ්‍රීලනිපයෙන් වෙන්වෙන්න යම් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් ඉන්නවා නේද?
මම දන්නෑ ඒ ගැන. මම සම්බන්ධ වෙලා නෑ සාකච්ඡාවලට. එහෙම සාකච්ඡාවල හිටියා කියලා පුවත්පත් වාර්තාවල නම් සඳහන්වෙලා තියෙන සමහර අය සාකච්ඡාවලට ගිහිල්ලාත් නෑ. කොහොමවුණත් සමහර අයට පෞද්ගලික ප්‍රශ්න තිබුණා. ආසනවල පාක්ෂිකයන්ගේ බලපෑම් තිබුණා. ඉතින් එහෙම අදහස් තියෙන අය ඇති. හැබැයි අපි පක්ෂය රැකගන්න ඕනෑ.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන බව පවසද්දීම බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු වේගවත් කර ඇති බව පහුගිය සතියේ පුවත්පත් වාර්තාවලින් පේනවා. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙද්දීත් ඔවුන් ශ්‍රීලනිපයෙන් වෙන්වෙන්න උත්සාහ කරන බව ඔබට නිරීක්ෂණය වී තියෙනවාද?
පොදුජන පක්ෂයත් සම්මන්ත්‍රණ තියාගෙන රට වටා යනවා. ඒකේ බලපෑම වෙන්නේ ශ්‍රීලනිපයට. මොකද ශ්‍රීලනිපයේ පිරිසක් එකතුවෙන්නේ. හැබැයි බහුතර ශ්‍රී ලංකාකාරයෝ පක්ෂය කඩන්නේ නෑ. ඒ කාලේ යූඇන්පීය කඩන්න රාජාලියා ගෙනාවා. දෝෂාභියෝග ගෙනාවා. ඒත් ඔවුන්ට ආණ්ඩු පිහිටුවන්න බැරිවුණා. ඔවුන් යළි එජාපයට ආවා. පහුගිය කාලයේත් පක්ෂ රැල්ලට ආවා. හැබැයි වරින් වර ප්‍රධාන පක්ෂ දෙක තමයි ආණ්ඩු කළේ. ඒකාබද්ධයේ ඉන්න කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒකේ සාමාජිකත්වය අරගෙනත් නෑ.

එහෙම වුණත් ශ්‍රීලනිපයේ සමහර අය පොදුජන පෙරමුණේ පෝස්ටර් කටවුට්වල ඉන්නවා. ප්‍රසන්න රණතුංග ගම්පහ ආසන සමුළුවට පහුගිය සතියේ සහභාගි වුණා. ශ්‍රීලනිපය විදියට ඒ ගැන විනය පියවර අරගෙනත් නැහැ නේද?
මේක ඉතින් කාගේ හරි වුවමනාවකට කරන දෙයක්. අපේ පක්ෂය දෙකඩ කරලා කොටසක් අරගෙන වෙන පක්ෂයක් හදන එක. මේකේ වාසිය යූඇන්පීයට. ජනතාව තුළ තියෙනවා මේක යූඇන්පියේ ඩීල් එකක්ද කියලා. එජාපයට තනියම ආණ්ඩු පිහිටුවන්න බෑ කොහොමත්. ඒකට ඡන්දයක් එන්න ඕනෑ. ඡන්දයක් ආවොත් ශ්‍රීලනිපය දෙකඩ කරලා ජයග්‍රහණය ලබාගන්න එජාපය උත්සාහ ගැනීමක් විදියටත් මේක දකින්න පුළුවන්. ශ්‍රීලනිපය දෙකඩ වුණොත් වාසිය යන්නේ එජාපයට බව පැහැදිලියි.

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා. සංශෝධනයේ සැබෑ වුවමනාව මොකක්ද? මැතිවරණ කල් දැමීමද?
එහෙම යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. පළාත් සභා කඩින්කඩ එන එක රටට ලොකු බරක්. ඒ නිසා පළාත් සභා මැතිවරණ එක දවසක තියෙනවා නම් හොඳයි. නැත්නම් එක එක වෙනම තියනවා. එක පක්ෂයක් දිනනවා. සමස්ත බලය එක පළාතකට යොදවනවා. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. මැතිවරණවලට යන මුදලත් විශාලයි. රටේ වැඩක් වෙන්නේත් නෑ. එකට තියන එක හොඳයි. අපි මැතිවරණ කල් දාන්නේ නැහැ. සංශෝධනය සම්මත වුණු විගස ඡන්දය තියනවා.■