Wednesday, 23/8/2017 | 12:36 UTC+0
රාවය

මල්පැණි බොන මදුරුවා ඩෙංගුවලට හොඳ පිළියමක් |මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ෙඩංගු රෝගය මේ වන විට කවදාවත් නැති තරම් තදින් පැතිරෙමින් තියෙනවා. මේකට හේතු කාරණා වෙලා තියෙන්නේ මොකක්ද?
ලංකාවේ ඩෙංගු රෝගය මුලින්ම වාර්තා වෙන්නේ එක්දහස් නවසිය හැට හතරේ. මේක වසංගතයක් බවට පත් වුණේ දෙදහස් හතරේ විතර ඉඳන්. දෙදහස් නවය වන විට තත්ත්වය තවදුරටත් වර්ධනය වුණා. ඒ අවුරුද්දේදී මිනිස්සු තුන්සිය පණහක් විතර ඩෙංගු රෝගයෙන් මියගියා. එදා ඉඳන් සාමාන්‍යයෙන් අවුරුද්දට ඩෙංගු රෝගය නිසා මිනිස්සු සීයක් විතර මිය යනවා. රෝගීන් පණස්දාහක් විතර වාර්තා වෙනවා. ඔබ කිව්වා වගේ මේ අවුරුද්ද වෙනවිට ඩෙංගු රෝගය තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. මේ වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අසූපන්දාහක් විතර.

අපිට ඩෙංගු බෝකරන්න මුල් වන මදුරු වර්ග දෙකක් ඉන්නවා. ඒ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් කියන වර්ග දෙක. වෛද්‍ය විද්‍යාත්මකව බලද්දී ඩෙංගු වෛරසය ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදනවා. ඒ හතරෙන් මෙච්චර කාලයක් ලංකාවට වැඩි වශයෙන් බලපෑම් කළේ තුන්වෙනි කාණ්ඩයේ ඩෙංගු වෛරසය. ඒ නිසා ඒ කාණ්ඩයේ වෛරසය සම්බන්ධයෙන් අපි තුළ ප්‍රතිශක්තිකරණය යම් තරම් දුරකට වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් වෛද්‍යවරු කියන විදිහට මේ වෙලාවේ ලංකාවට වැඩිපුර බලපෑම් කරන්නේ දෙවෙනි කාණ්ඩයේ ඩෙංගු වෛරසය. ඒ වෛරසයට අර විදියේ ප්‍රතිශක්තිකරණයක් අපි තුළ වර්ධනය වෙලා නෑ. ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව පිළිබඳව සලකා බලද්දී මේ කාරණය ඉතාමත් වැදගත් වෙනවා.

අද ඩෙංගු මදුරුවාට සක්‍රියව ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් නව ඉදිකිරීම් සහිත වැඩබිම් ආදිය මේ අතර ඉතාම වැදගත්. කසළ කළමනාකරණයේ අවිධිමත්භාවයත් එතැනදී වැදගත්. අනික් ප්‍රධාන ම සාධකය තමයි දේශගුණයේ සිදුවෙලා තියෙන විපර්යාසය.

අද ඩෙංගු මදුරුවාගේ චර්යාවේ යම් කිසි වෙනසක් සිදුවෙලා තියෙනවා කියලා කියනවා?
අපි කලින් හඳුනාගෙන හිටි විදිහට ඩෙංගු මදුරුවා සක්‍රිය ලෙස රුධිරය උරා බිව්වේ දවල් කාලයේ. නමුත් ඔබ ඇහුවා වගේ, දැන් වන විට ඌ දවස පුරාමත් රාත්‍රී කාලයෙත් රුධිරය උරා බොන මට්ටමකට තමන්ගේ චර්යාව වෙනස් කරගෙන තියෙනවා.
ඒ විතරක් නෙමෙයි අපි කලින් කිව්වේ ඩෙංගු මදුරුවන් බිත්තර දාන්නේ පිරිසිදු ජලයේ විතරයි කියලා. නමුත් අද වන විට මඩවගුරුවල සහ කළපු ජලයේ පවා ඩෙංගු කීටයන් වාර්තා වෙලා තියෙනවා.

මිනිස්සු තුළ තියෙන සාමාන්‍ය පිළිගැනීම තමයි ඩෙංගු මදුරුවා ඩෙංගු රෝගය බෝ වෙලා තියෙන රෝගියෙකුගෙන් රුධිරය උරා බී නිරෝගී මිනිසෙක්ට දෂ්ඨ කිරීම මගින් ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය කරනවා කියන එක. ඒක එක පැත්තක්. නමුත් ඩෙංගු වෛරසය සහිත මව් මදුරුවෙක් දමන බිත්තරවලින් බිහිවන නව මදුරුවන් තුළ පවා ඩෙංගු වෛරසය තියෙනවා. ඒක ඩෙංගු කියන කාරණය සංකීර්ණ වීමට විශාල වශයෙන් බලපාලා තියෙන සාධකයක්.
අපි කවුරුත් දන්න විදියට රුධිරය උරා බොන්නේ ඩෙංගු මදුරුවාගේ ගෑනු මදුරුවා විතරයි. ඒ ආහාරමය අවශ්‍යතාවකට වඩා බිත්තර දැමීමට අවශ්‍ය කවච සාදා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න. ඒ සඳහා ඌ මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි අනික් සත්තුන්ගේ පවා ලේ බොනවා.

බිත්තර දැමීමේදී මව් මදුරුවා සැලකිල්ලට ගන්න පාරිසරික සාධක මොනවද?
ගැහැනු ඩෙංගු මදුරුවාගේ ආයුෂ කාලය සති තුන හතරක් වෙනවා. ඒක පිරිමි මදුරුවාට වඩා ටිකක් වැඩි ආයු කාලයක්. ගැහැනු මදුරුවා පිරිමි මදුරුවෙක් සමග සංසර්ගයේ යෙදුණාම පිරිමි මදුරුවාගේ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් තමා තුළ රඳවා ගන්නවා. ඒ සඳහා විශේෂ කුටීරයක් ගැහැනු මදුරුවාගේ ප්‍රජනක පද්ධතියේ නිර්මාණය වෙලා තියෙනවා.
මේ ගැහැනු මදුරුවා මුලින්ම සිදුකරන ලද සංසර්ග කාර්යාවලියේදී ලබාගත් ශුක්‍රාණුවලින් කොටසක් තමන්ගේ ඩිම්බ සමඟ සංසේචනය කර මුල් වරට බිත්තර දෙතුන්සීයක් දමනවා. ආයෙත් සතියකින් පමණ නැවතත් බිත්තර දමනවා. ඒ ආකාරයට එක් වරක් ගබඩා කරගත් ශුක්‍රාණු තම ඩිම්බ සමඟ සංසේචනය කොට කීප වතාවක් බිත්තර දමන්න ඩෙංගු මදුරුවාට පුළුවන්.

ඒ වගේ ම ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ ජලය සහිත තැන්වල. ඌගේ කීට හා පිලා අවස්ථාවන්ට ජලය අවශ්‍ය නිසා. හරියට ම බලනවා නම් ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ ජලය මතුපිට නෙමෙයි. ඌ බිත්තර දාන්නේ ජලය මතුපිටට ටිකක් ඉහළට වෙන්න ජල භාජනයේ උපස්ථරයට අලවලා. උදාහරණයක් විදියට මදුරුවා බිත්තර දමන්න තෝරාගත්තේ වතුර පිරුණු යෝගට් කෝප්පයක් කියලා හිතමු. ඌ තමන්ගේ බිත්තර අලවන්නේ ජල පෘෂ්ඨයට ආසන්නයේ ඊට ඉහළින් යෝගට් කෝප්පයේ දාරය වටා. මේ නිසා බිත්තර පිපිරුණු ගමන් ඊළඟ අවස්ථාව විදියට එළියට එන කීටයා ජලයට වැටෙනවා. එතැන් ඉඳන් සුහුඹුල් මදුරුවා වෙනකං ඌගේ ජීවන චක්‍රය තියෙන්නේ ජලය තුළ.

ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ ජලය මතුපිට නොවන නිසා පරිසරය පිරිසිදු කරද්දී අපි කරන්න අවශ්‍ය එක වැදගත් දෙයක් තියෙනවා. ඒ අර කියූ මතුපිට තලයන් පිසදා ඉවත් කිරීම. ඩෙංගු බිත්තර ඇති කියලා හිතලා ඒකේ තියෙන වතුර ටික විතරක් හලලා හරියන්නේ නෑ. එහෙම කළොත් විනාශ වෙන්නේ ඩෙංගු කීටයන් විතරයි. නමුත් ඒ භාජනයේ තියෙන්නේ ඩෙංගු බිත්තර නම් ඒවා විනාශ වෙන්නේ නෑ. මොකද ඒවා දාලා තියෙන්නේ වතුර උඩ නෙමෙයි. භාජනයේ අලවලායි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක භාජනයේ වතුර ඉවත් කරන ගමන් භාජනය ඇතුළ හොඳින් පිහදාන්න අවශ්‍යයි. ඩෙංගු බිත්තරවලට වතුර නැතිව සෑහෙන කාලයක් පවතින්න පුළුවන්. අපි අර විදියට භාජනය අස් කළේ නැත්නම් භාජනයේ ඇලිලා තියෙන බිත්තර එම භාජනයට ආපහු වතුර එකතු වුණ දවසක පුපුරනවා.

ඇතැම් අය කියනවා, ඩෙංගු මදුරුවාට බිත්තර දමන්න තියෙන සුදුසු තැන් අපි අයින් කළත්, ඌ ඒ සඳහා ඊළඟට ගැළපෙන වෙන තැනක් සොයමින් කෙසේ හෝ බිත්තර දමන බව. ඒ නිසා ඩෙංගු මදුරුවන්ට බිත්තර දමන්න විධිමත් තැන් සකසමින්, ඒ බිත්තර විනාශ කිරීම නිවැරදි ක්‍රමය බව ඔවුන් කියනවා?

ඒ වගේ වැඩපිළිවෙළක් නිවාස මට්ටමින් නම් සාර්ථකව කරන එක පහසු නෑ කියලායි මං හිතන්නේ. ඩෙංගු බිත්තර විනාශවෙයිද නැද්ද කියලා අපිට සීයට සීයක් කියන්න අමාරුයි. මං කලින් කිව්වා වගේ ඩෙංගු බිත්තර කියන ඒවා ජලය නැතිව වුණත් සෑහෙන කාලයක් පවතිනවා.
ඒ නිසා අවට පරිසරය දිහා ඕනෑකමින් බලලා, ඩෙංගු බෝවෙන්න ඉඩ තියෙන තැන් ඉවත් කිරීම තමයි අපිට කරන්න පුළුවන් හොඳ ම දේ.

ඩෙංගු බෝ වීම නැති කරන්න අපිට විවිධ රසායන ද්‍රව්‍ය සහ බැක්ටීරියා වගේ දේවල් වුණත් පාවිච්චි කරන්න පුළුවන් තමයි. නමුත් අපි යෝගට් කෝප්ප, පොල්කටු හොය හොයා රසායනික ද්‍රව්‍ය ඉහනවාට වඩා කොච්චර ප්‍රායෝගිකද ඒ යෝගට් කෝප්පේ හරි පොල්කට්ට හරි විනාශ කරලා දාන එක. ඒ නිසා ඩෙංගු මර්දනය කිරීමේ මූලික කාර්යය වෙන්න ඕනෑ ඩෙංගු මදුරුවන් බෝවන තැන් විනාශ කරන එක. ඒ වගේම කසළ විධිමත්ව කළමනාකරණය කරන එකත් ඉතාම වැදගත්.

මැලේරියා මදුරුවා විනාශ කිරීමට කෘමිනාශක යෙදූ ක්‍රමය ඩෙංගු මදුරුවා සඳහා යොදාගන්න බෑ. මැලේරියා බෝකරන ඇනෝෆිලික්ස් මදුරුවා ලේ බිව්වාට පස්සේ ගෙදර බිත්තිවල වහන එක පුරුද්දක්. ඒ නිසා බිත්තිවලට මැලතියන් වගේ කෘමිනාශක ඉහලා මේ මදුරුවා විනාශ කරන්න පුළුවන්. ඒත් ඩෙංගු බෝකරන ඊඩිස් මදුරුවන්ගේ පුරුද්ද එහෙම නෙමෙයි. උන් ලේ බිව්වාට පස්සෙ ගෙදරින් එළියට යනවා.

කෘමිනාශක ධූමකරණය අනික් රසායනික ද්‍රව්‍ය යෙදීමේ ක්‍රමවලට වඩා ඩෙංගු මදුරු මර්දනයට තරමක් සාර්ථක පිළියමක්. මොකද දුම හැමතැනම පැතිරෙන නිසා. නමුත් ධූමකරණය මගින් පරිසරයට හානිකර බලපෑම් වෙනවා. ඒ මගින් විනාශ වෙන්නේ මදුරුවෝ විතරක් නෙමෙයි, පරිසර පද්ධතියට හා ගස්වැල්වල පරාගනයට අවශ්‍ය වෙනත් කෘමීන් පවා විනාශ වෙනවා. ඒ නිසා ධූමකරණය ආවාට ගියාට සිද්ද කරන්න හොඳ නෑ.

ඒ නිසා ඩෙංගුවලින් ගැලවීමට පරිසර පද්ධතිය පිරිසිදු කිරීම හා පෞද්ගලික වශයෙන් වන ආරක්ෂාව ඉතා වැදගත්. රෑට මදුරුදැල් දාගෙන නිදාගන්න එකෙන් විතරක් ඩෙංගු වළක්වාගන්න බෑ. මොකද ඩෙංගු මදුරුවා දවලුත් වැඩිපුර ලේ බොන නිසා. දිග ඇඳුම් ඇඳීම, පැඟිරි තෙල් වගේ මදුරුවන් විකර්ෂණය කරන වෙනත් ද්‍රව්‍ය ශරීරයේ ආලේපකිරීම, මදුරුදඟර සහ වේපරයිසර් වගේ දේවල් පාවිච්චි කිරීම වුණත් එතැනදී වැදගත්.

පහුගිය කාලවල වැඩිපුර කතා කෙරුණේ බීටීඅයි බැක්ටීරියාව ගැන. අද තවත් දේවල් ගැන කතා කරනවා?
බීටීඅයි කියන්නේ ඩෙංගු මදුරුවන් පාලනය කරන්න පුළුවන් දෙයක් තමයි. නමුත් ගැටලුව බීටීඅයි බැක්ටීරියාව අනික් කෘමිනාශකවලට වඩා මිල අධිකයි.

බීටීඅයි මගින් වෙන්නේ ඩෙංගු කීටයන් විනාශ කරන එක. බීටීඅයි මගින් නිපදවන විෂ සහිත ප්‍රෝටීන ආහාරයට ගැනීම නිසා ඩෙංගු කීටයන් විනාශ වෙනවා. ඒත් බීටීඅයි භාවිතයේදී අපිට ඩෙංගු කීටයන් ඉන්න තැන් හොය හොයා ඒ තැන්වලට බීටීඅයි යොදන්න වෙනවා. ඒක එච්චර ප්‍රායෝගික නෑ. බීටීඅයි මිල අධික නිසා ආවාට ගියාට හැමතැනම යොදන්නත් බෑ.

බීටීඅයි බැක්ටීරියාවත් හිරු එළියට නිරාවරණය වුණ ගමන් මියයනවා. ඒ නිසා අලුත් බීටීඅයි පරම්පරා නැවත නැවත ඉබේ හැදෙන්නේ නෑ. ඒ හින්දා අපිට එකම තැනට නැවත නැවත බීටීඅයි යොදන්න වෙනවා. ඒක බීටීඅයි සම්බන්ධයෙන් තියෙන එක ප්‍රධාන ගැටලුවක්.
ඩෙංගු වාහකයන් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන විශේෂඥ කමිටුවේ මමත් ඉන්නවා. දැන් අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ වොල්බැකියා බැක්ටීරියාව ගැන. වොල්බැකියා (උදකඉ්ජයස්) බැක්ටීරියාව ඕස්ටේ්‍රලියාවෙන් ගෙන්නන්න රජය සැලසුම් කරලා තියෙනවා. වොල්බැකියා කියන්නේ ස්වාභාවික පරිසරයේ ජීවත්වන බොහොමයක් කෘමි සතුන්ගේ ශරීරයේ ජීවත්වන බැක්ටීරියාවක්. මේ බැක්ටීරියාව කෘමීන්ට රෝග හැදීම පාලනය කරනවා. නමුත් අවාසනාවකට ප්‍රධාන වශයෙන් ඩෙංගු බෝකරන ඊඩිස් ඊජිප්ටයිගේ ශරීරයේ මේ පරපෝෂිතයා නෑ. මේ බැක්ටීරියාව මදුරුවන්ගේ ශරීරයේ පවතින විට ඩෙංගු ඇතුළු වෛරස්වලට මදුරුවා තුළ පවතින්න බෑ. කොහොම වුණත් පලතුරු මැස්සාගෙන් ගත් වොල්බැකියා බැක්ටීරියාවක් දියුණු කරලා ඊඩිස් ඊජිප්ටයින් මදුරුවා තුළට යොදා ඒ බැක්ටීරියාව සහිත මදුරු ගහන හදන්න දැන් විද්‍යාඥයන් සමත්වලා තියෙනවා. ලංකාව තුළ අත්හදාබලන්න හදන්නේ ඒ වොල්බැකියා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් අපි කළ එක පරීක්ෂණයකදී අපිට හොයාගන්න පුළුවන් වුණා ඊඩිස් ඇල්බොපික්ටස් ඇතුළු ලංකාවේ ඉන්න මදුරු විශේෂ හතරක් තුළ වොල්බැකියා ස්වාභාවිකව ජීවත්වන බව.
ඩෙංගු මදුරුවන් පාලනය කරන මල්පැණි බොන මදුරුවා (ඔදංදරයහබජයසඑැි) වුණත් අපේ ස්වාභාවික පරිසරයේ ම ඉන්නවානේ. මේ මදුරුවා රුධිරය උරා බොන්නේ නෑ. එයා බිත්තර දමන්නේත් ඩෙංගු මදුරුවා බිත්තර දමන තැන්වලමයි. මදුරුවා රුධිරය නොබිව්වාට මල්පැණි බොන මදුරුවාගේ කීටයා මාංශභක්ෂකයි. ඉතිං ඒ කීටයා ජලයේ ඉන්න ඩෙංගු කීටයන්ව ආහාරයට ගන්නවා. මල්පැණි බොන මදුරුවා ඩෙංගුවලට හොඳ පිළියමක් තමයි. නමුත් පරීක්ෂණාගාරවල මල්පැණි බොන මදුරුවන් ප්‍රමාණවත් පරිදි බෝ කරලා පරිසරයට මුදා හරින එක තරමක් අපහසු වැඩක්.

වතුර රැඳෙන තැන්වලට ගප්පි මාලුවන් වගේ අය දමන එක ඉතාම හොඳ පිළියමක්. ගප්පි මාලුවා අනික් මාලුවන්ට වඩා සක්‍රිය ලෙස ඩෙංගු කීටයන්ව ආහාරයට ගන්නවා.

ඩෙංගු මදුරුවන් හා කීටයන් සම්බන්ධයෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පරීක්ෂණ මොනවාද?
ජාතික මූලික අධ්‍යයන ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය ඒකාබද්ධව මේ වනවිට අපි, ලංකාවේ ඉන්න මදුරු විශේෂ පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන් වන ආකාරයේ ඩීඑන්ඒ බාර්කෝඞ් ක්‍රමවේදයක් සකස්කරමින් ඉන්නවා. ඒ යටතේ අපිට දැනටමත් මදුරු විශේෂ තිහක් විතර වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඊට අමතරව ආචාර්ය ධම්මිකා මගනාරච්චි විද්‍යාඥවරිය ඇතුළුව ජාතික මූලික අධ්‍යාපන ආයතනය ව්‍යාපෘති යෝජනාවක් සකස්කරලා තියෙනවා මදුරුවන්ට විෂ සහිත දේශීය බැක්ටීරියාවක් නිපදවන්න. ඒක තාම යෝජනා මට්ටමේ පවතින එකක්.
එතැනදී අපි අදහස් කරන්නේ මදුරු කීටයන් වැඩිපුර ආහාරයට ගන්න කැමති දේශීය වශයෙන් පවතින බැක්ටීරියා වර්ග භාවිත කරමින් ජාන තාක්ෂණය යොදාගනිමින් මදුරුවන්ට විෂ සහිත දේශීය බැක්ටීරියාවක් නිපදවන එක. බීටීඅයි වගේ බැක්ටීරියා විසින් නිපදවන විෂ ජාන කෘත්‍රිමව සකස්කරලා ඒවා කලින් කී – මදුරු කීටයන් ප්‍රිය දේශීය බැක්ටීරියා එක්ක බද්ධ කරගන්න අපිට පුළුවන් නම් ඒක මදුරු මර්දනයට විශාල සාධකයක් වෙයි. ඒ වගේම ඒ බැක්ටීරියාව මදුරු කීටයන්ට හැර සෙසු පරිසර පද්ධතියට හානියක් නොවන ආකාරයේ එකක් කරගන්නත් අවශ්‍යයි. ඒ විදියේ දේශීය බැක්ටීරියාවක් පරිසරයට මුදාහැරි විට එහි බෝවීම ස්වභාවයෙන්ම සිදුවන නිසා නැවත නැවත යොදන්න ඕනෑ වෙන්නේ නෑ. ■