රාවය

කබීර්ගේ ලේකම්ගේ මාවනැල්ලේ සෙල්ලම්පිටිය

කබීර්ගේ ලේකම්ගේ මාවනැල්ලේ සෙල්ලම්පිටිය

නිමල් අබේසිංහ

මාවනැල්ල යනු කලක් මහීපාලලාගේ සහ ලලිත් දිසානායකලාගේ හෙංචයියලාගේ භීෂණයට නතුව තිබුණ ප්‍රදේශයකි. යහපාලන ආණ්ඩුව බලයට පත් කළේ ඒ භීෂණයට එරෙහිවය. දැන් මාවනැල්ලේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයා ඇමති කබීර් හෂීම්ය. පාලනය යහ වුවත් ඇමති කබීර් හෂීම්ගේ ගෝලයෝ භීෂකයන්ගේ භූමිකාවට පණදෙති. ඊට ඇමති කබීර් හෂීම්ගේ ලේකම්වරයෙකුයි කියන අසේල බණ්ඩාර සම්බන්ධ බවට පැමිණිලි තිබෙත්දී නොදුටුවා සේ සිටීම නිසා කබීර් හෂීම් ඇමතිවරයාද මේවාට අනුබල දෙන බවක් සිතෙයි. ඒ මදිවාට පොලිසියේ උත්තමයා නීතිය නවන්නට ලකලැහැස්ති වෙත්දී මාවනැල්ලේ පොලිස් පොඞ්ඩෝ නීතිය අඹරති.

කේ.එම්.ඒ ස්වර්ණදේවි මාවනැල්ලේ මෙඬේරිගම තැන්නේගෙදර ඩී205 මිලයට ගෙන පදිංචි වනුයේ 2014 වර්ෂයේදීය. ස්වර්ණදේවි එන්ටප්‍රයිස් නම් ව්‍යාපාරයක් පවත්වාගෙන ඇය නිමි ඇඳුම් ආනයනය කර අලෙවි කිරීම, කැබලි රෙදි එකතුකර අපනයනය කිරීම ඇතුළු තවත් ව්‍යාපාර කීපයක ප්‍රධාන හිමිකාරිය වන්නීය. අසල්වැසියන් හෝ ගම්වාසීන් හෝ සමඟ සබඳකම් නොපැවැත්වූ ඇය තම දරුවා, මව සහ සේවිකාවද, තවත් මෙහෙකරුවන් කීපදෙනෙකුද සමඟ එම නිවසේ පදිංචිව සිටියාය. එසේ කල්ගෙවූ ඇය සමඟ ප්‍රථම ආරවුල පටන්ගන්නේ අසල්වාසියෙකි.

“මගේ දරුවා පාසල් යන වාහනයට එම පාරේ යන්න එපා යැයි තර්ජය කළා. ඔහු මගේ නිවෙස ඇතුළටම ඇවිත් තර්ජනය කළා. වාහනය ගිනි තියනවා. ගේ කුඩු කරනවා කියා තර්ජනය කළා. මම 119ට කතා කරලා දෙවතාවක්ම කියලා තියෙනවා. මේ ගැන වැඩිදුර හිතුවේ නෑ නිශ්ශබ්දව සිටියා. මේක සිද්ධවෙන්නේ 2015 අවුරුද්දේ.” සිදුවීම් පෙළක ආරම්භය ගැන කතාව ස්වර්ණදේවි ආරම්භ කළේ එලෙසටය.

දෙවන සිද්ධිය ඇතිවන්නේ 2016 අගෝස්තු 12 වන දිනය. එදින කබීර් හෂීම් ඇමතිවරයාගේ ලේකම්වරයා යතුරුපැදියකින් ගමේ පාරේ යද්දී ස්වර්ණාදේවිගේ ලොරියක් පාරේ ධාවනය වෙමින් තිබී ඇත. එහිදී ඔහු තර්ජනය කර ඇත්තේ “මේ පාරවල් අපි හැදුවේ උඹලාට යන්න නොව අපට යන්න විතරයි.” යනුවෙනි. එදිනම රාත්‍රියේ කබීර් හෂීම් ඇමතිවරයාගේ ලේකම් අසේල බණ්ඩාර, රෙජිනෝල්ඞ්, චන්ද්‍රා අනුෂා, පුෂ්පකුමාර, බංඩාර හේරත්, ජයසිංහ හේමන්ත යන පිරිස නිවසේ ගේට්ටුවට උඩින් පැන අවුත් නිවසේ නවතා තිබූ කේකේ1706 ඇක්ටියොන් ජීප්රථයට පහරදී කුඩු කරන බවට ස්වර්ණාදේවි පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. පොලිසිය පැමිණෙන විටත් සැකකරුවන් කඩු සහිතව එම ස්ථානයේ සිටි බව ඇය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් යැවූ ලිපියේ සඳහන් වෙයි.

පුදුමය වන්නේ මේ අවස්ථාවේදීත් පරුෂ වචනයෙන් බනිමින් හැසිරෙන පිරිස අත්අඩංගුවට නොගෙන “ලේකම්තුමා යන්න. ලේකම්තුමා යන්න.”යැයි පොලිස් නිලධාරීන් අසේල බණ්ඩාරට ආයාචනය කිරීමයි. සිද්ධිය වූ අවස්ථාවේදී පටිගත කර ඇති හඬපටිය ඊට මැනවින් සාක්ෂි දරයි. පොල් ගෙඩි දෙකක් හොරකම් කළත් රිමාන්ඞ් කර ඇප නොදෙන පොලිසිය මෙහිදී ක්‍රියා කර ඇති ආකාරය සිතාගත හැක්කේ ස්වර්ණාදේවි පොලිස් සහන මැදිරියට පැමිණිලි කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කරද්දී මාවනැල්ල පොලිසිය වහා ක්‍රියාත්මක වීම නිසාය. එහෙත් එය නීතියේ පිළිවෙළටම නොවන බව මැනැවින් පෙනෙයි.

මෙම සිද්ධියට අදාළව සාමාන්‍ය පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට කොට්ඨාසයෙන් පිටට ස්ථාන මාරුවීම් ලබාදී ඇත. ඒ මිටි තැනින් වතුර ගලායෑමේ න්‍යායෙන් ය. සැබෑවට නම් මෙවැනි අවස්ථාවක සුළු නිලධාරියෙකුට කළ හැක්කක් නැත. වගකිවයුත්තෝ පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයාය. ඔවුහු නම් තවමත් මාවනැල්ල පොලිසියේ සිටිති. ඒ අසේල බණ්ඩාරගේ ඇමති කබීර් හෂීම්ගේ අනුහසින් මිසෙක වෙන කිසිවක් නිසා නොවන බව නම් ඇත්තය.

අනෙක් සිදුවීම සිදුව ඇත්තේ 2017. 06. 19 දින රාත්‍රියේය. එදින ඇයගේ නිමි ඇඳුම් සහ කට්පීස් රෙදි ගබඩාවට ගිනිගෙන ඇත. මහනුවරින් ගිනි නිවන හමුදාව ගෙන්වා ගින්න නිවාලුවද නැවතත් ගින්න ඇවිලීම හේතුවෙන් කම්කරුවන් යොදා ගින්න මැඩ පැවැත්වුවත් ඒ වන විටත් එහි තිබූ රෙදි පෙරෙදි ගිනිගෙන හමාරව තිබී ඇත.
මෙම ගිනි ගැනීම ඉබේ වුවක් නොව කිසිවෙකු විසින් තබන ලද්දක් බව ස්ථානීය පරීක්‍ෂාව සඳහා පැමිණි රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසූ බව ඇය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් කරයි.
ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති මුත් පොලිසියේ රාජකාරිය මැනැවින් ඉටුකරන්නට වෙහෙසෙන බව පෙනෙයි. ඒ පරිසරය දූෂණය කෙරෙනවා යැයි මිනිසුන් කෑගසන බැවින් ගිනිගෙන ඉතිරි වුණු රෙදිකන්ද ඉවත් කරන්නයැයි පොලිසිය ඇයට පැවසීමෙනි. මෙම ස්ථානයට ගිය අපට කියන තරමේ පරිසර දූෂණයක් විනාශ වූ රෙදි වෙතින් සිදුවෙන බවක් නොපෙනුණත්, පොලිසියට හදිසියේ පරිසරය රකින්නට සිතීමත් පුදුම සහගතය. පොලිසිය මෙය පවසා ඇත්තේ2017. 06. 22 දිනදිය. එහෙත් පිළිස්සුණ රෙදි ඉවත් කිරීමට අධිකරණයෙන් අවසර දී නැති බවද ඇය කියයි.

ස්වර්ණදේවි සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මීට පෙරදීද ක්‍රියාකර ඇත්තේ අතිශය අසාධාරණ අන්දමිනි. ඒ සබරගමුව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සංජය සේනාරත්න සහ ඔහුගේ මස්සිනා වන ලක්ෂ්මන් රාජමන්ත්‍රී යන දෙදෙනා කූට ලිපි ලේඛන සකසා ස්වර්ණදේවිට 65-1825 දරන ජිප්රථය අලෙවි කිරීම සම්බන්ධයෙනි. මෙහිදීත් මාවනැල්ල පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම මගහැර සිටියදී ඇයට අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතින් නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට සිදුව තිබේ. ඒ එදා හැටිය. මෙදා පවතින්නේ දූෂණයට භීෂණයට එරෙහි යහපාලන ආණ්ඩුවකි. එහිද වෙනසක් නැත.

කෙසේ වෙතත් ස්වර්ණාදේවිට හිරිහැර කළ කණ්ඩායමේ අයෙකු වන රෙජිනෝල්ඞ් මේ වනවිටත් හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියකට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියි. ඔහු අසේල බණ්ඩාරගේ උදව්කරුවෙකි. අසේල බණ්ඩාර ඇමති කබීර් හෂීම්ගේ ලේකම්වරයෙකි. එබැවින් මෙහිදී කබීර් හෂීම් ඇමතිවරයාට මා ඕවාට සම්බන්ධ නැතැයි මගහැර යා නොහැකිය. එය මෙවැනි නොපතත්කම්වලට උඩගෙඩි දීමක්ම වීම වන හෙයිනි.
මේ පිළිබඳ කබීර් හෂිම් අමාත්‍යවරයාගේ විමසීමේදී ඔහු පැවසුවේ තමා මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි පොලිසීයට දැනුම් දී ඇති බවය.■

අසේල බණ්ඩාර | ඇමති කබීර් හෂීම්ගේ ලේකම්

මෙයා එක්ක මුළු ගමම විරුද්ධයි. පැමිණිලි සීයක් විතර එයාට විරුද්ධව පොලිසියේ දාලා තිබෙනවා. මෙයාගේ වාහන නිසා ස්කූල් වෑන් එකකටවත් පාරේ යන්න බෑ. මේ සිදුවීම්වලට මම සම්බන්ධ නෑ. සම්බන්ධයැයි කියන අය මගේ නැදෑයෝ නොවෙයි ගමේ අය. රෙජිනෝල්ඞ් කියන කෙනාට විරුද්ධව හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක් තිබෙන බව ඇත්ත.

එම්.ඩී.ඩී නිලංග| මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක
ස්වර්ණදේවිට විරුද්ධව බැණ අඬගැසීම සම්බන්ධයෙන් නම් පැමිණිල්ලක් තිබුණ බව මතකයි. ඒ හැර වෙනත් පැමිණිලි මාවනැල්ල පොලිසියේ නෑ. පිළිස්සුණු රෙදි කැබලි ඉවත්කරන්න කියලා අපි උසාවියටයි කීවේ. මොකද පාර අයිනෙ පිළිස්සුණු රෙදි කැබලි තිබුණා. ඩෙංගු එහෙම හැදෙන්න පුළුවන්නේ. ඒත් උසාවියෙන් ඉවත්කරන්න නියෝග කළේ නෑ. වාහනයකට පහරදීමේ සිද්ධියේදී පොලිසිය යනකොට හිටපු පිරිස අත්අඩංගුවට නොගත්තේ ඇඹිලිපිටියේ වාගේ සිද්ධියක් වේවි කියලා හිතලායි. එහෙම ජීවිත විනාශයක් වුණොත් කව්ද වග කියන්නේ.
ස්වර්ණදේවිට ඒ අය කරන තර්ජන නිසා ඇගේ ජීවිතයට හානියක් වුණොත් කව්ද වගකියන්නේ? ඒක නම් එහෙම තමා.