රාවය

ජාතිවාදී මැස්සන් සයිටම් විරෝධී වේදිකාව මත වැසීම

ජාතිවාදී මැස්සන් සයිටම් විරෝධී වේදිකාව මත වැසීම

රමිඳු පෙරේරා

දකුණු ලංකාව තුළ මතු වෙමින් තිබෙන අරගල ගණනාවක් විසින් නව දේශපාලන තත්ත්වයක් නිර්මාණය කෙරෙමින් තිබේ. මෙම අරගල බහුල සමය අප වටහා ගත යුත්තේ කෙසේද? මේ නව දේශපාලන වර්ධනයන් සමග ගැට ගැසී තිබෙන සංකීර්ණතා මොනවාද? මෙම අරගල බහුල සමයේ කැඩපත ලෙස අපට සයිටම් සටන ගත හැකි අතර එම නිසා මෙම නව දේශපාලන තත්ත්වය විසින් ඇතිකොට තිබෙන සංකීර්ණතා හා ප්‍රතිවිරෝධතා පිළිබඳ සමීප නිරීක්ෂණයක් සඳහා වූ හරස්කඩක් ලෙස සයිටම් අරගලය කෙරෙහි අපට වැඩි අවධානයක් යොමු කිරීමට පුළුවන.

සමාජ ආර්ථික අරගල
මෙම පෙළගැසීම්වල අතිබහුතරය සමාජ ආර්ථික ඉල්ලීම් මූලික කොට ගෙන ඇති වූ ඒවාය. වඩාත් නිශ්චිත කොට කියනවා නම්, රනිල්-මෛත්‍රී රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන නව ලිබරල් ආර්ථික පිළිවෙත්වල ආනුෂංගයන් සමග මෙකී බොහෝ අරගල සෘජුව හෝ වක්‍රව සම්බන්ධය. සයිටම් අරගලය අධ්‍යාපනය වෙළෙඳ-භාණ්ඩකරණය සමග, ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය රාජ්‍ය සම්පත් පුද්ගලිකකරණය සමග ආදි ලෙස. නව ලිබරල් න්‍යාය පත්‍රය රාජපක්ෂ යුගයේ දී දේශප්‍රේමී දෘෂ්ටි වහන්තරාවකින් ආවරණය වී තිබුණු නමුත් මේ වනවිට එය ක්‍රියාත්මක වන්නේ එළිපිට විවෘතවය. ඊට සමගාමීව මෙම පිළිවෙත සමාජය තුළ දැඩි බෙදීමකට තුඩු දී තිබෙන ආකාරය ද දැකගැනීමට පුළුවන. අධ්‍යාපන ප්‍රශ්නය නිදසුන් ලෙස ගතහොත් අධ්‍යාපනය ගැන වෙළෙඳපොළවාදී අදහස සහ සුබසාධනවාදී අදහස අතර පැහැදිලි බෙදුම් ඉරක් මේ වනවිට සමාජය තුළ දැකගැනීමට පුළුවන් අතර මේ බෙදුම් ඉර කේන්ද්‍ර කරගත් තියුණු සටනක් උද්ගත වී තිබෙන ආකාරය ද දකින්නට තිබේ.

තත්ත්වය එසේ නම්, එනම් රජයේ නව ලිබරල් සංවර්ධන ආකෘතියට එරෙහි සමාජ අරගල මෝදු වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ නම්, අප එය භාර ගත යුත්තේ කොහොමද? එක් ප්‍රතිචාරයක් වන්නේ සාදරයෙන් එම තත්ත්වය පිළිගැනීමය. එනම් මෙය අතිමහත් වැදගත් උද්ගතයක් ලෙස ගනිමින් මෙකී සමාජ අරගල වඩාත් තියුණු කිරීම සඳහා මැදිහත් වීමය. ලංකාවේ වාමාංශික අවකාශය තළ දැනට බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ද එවැනි මනෝගතියකි.
මේ චිත්‍රයේ එක් පැත්තකි. ධෛර්යයේ සහ ආස්වාදයේ උත්කර්ෂය නිසා බැබලෙන දෑසකට ඇතැම් විට චිත්‍රයේ මේ අර්ධය දිස් වූවද ඒ සමඟ ගැට ගැසී තිබෙන වැදගත් අනෙක් අර්ධයක් නොපෙනී යා හැක. එම අනෙක් අර්ධය නම් අරගල බහුල තත්ත්වය සහ රාජපක්ෂවාදය විසින් නියෝජිත සිංහල ජාතිවාදී කඳවුර අතර ඇති වෙමින් තිබෙන සමීපත්වයයි. එනම් අරගල බහුලත්වය සිංහල ජාතිවාදයේ වාසියට ක්‍රියාත්මක විය හැකි දේශපාලන තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාවයි. මෙම අප්‍රසන්න අනෙක් අර්ධය නොතකා අරගලය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ස්වයංනාශක දේශපාලන වරදක් විය හැකි අතර එම නිසා ඒ පිළිබඳ බැරෑරුම් ලෙස සලකා බැලීම අවශ්‍ය වේ.

දේශපාලන සිතියම
මේ මොහොතේ ලංකාවේ දේශපාලනය පිළිබඳ කටු සටහනක් ගසන්නේ නම් එම කටු සටහනේ සංඝටක පහත පරිදිය.
1. රනිල්-මෛත්‍රී රජයට එරෙහි විරෝධාකල්ප පෙරමුණු දෙකකින් එල්ල වේ. පළමුවැන්න, ඉහත කී ලෙස විවෘත නව ලිබරල් වැඩපිළිවෙළෙහි බලපෑමට එරෙහි පෙරමුණයි. දෙවැන්න, දේශපාලන තලයේ දී ඊට ක්‍රියාවට නැගීමට බල කෙරී තිබෙන ජනවාර්ගික ප්‍රශ්නය හා සම්බන්ධ ඇතැම් ක්‍රියාමාර්ග කෙරෙහි තිබෙන අප්‍රසාදය මත පදනම් වූ පෙරමුණයි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආදි කරුණු මුල් කොට ගෙන විශාල ජාතිවාදී ප්‍රචාරක රැල්ලක් දියත් වී තිබෙන අතර අස්ගිරි මහනායකගේ සිට විමල් වීරවංශ දක්වා බහුවිධ තලවලින් නැගෙන තදබල විරෝධයක් ලෙස මෙය ප්‍රකාශයට පත් වී තිබේ.

2. මෙම පෙරමුණු දෙක තුළ රජය හැසිරෙන්නේ දෙවිදිහකටය. පළමු පෙරමුණ තුළ රජය ප්‍රහාරාත්මකවද, අචල ලෙස ද සිය ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටී. සයිටම් ප්‍රශ්නයෙන් පැහැදිලිව පෙනෙන විදිහට මොනම ජනතා විරෝධයක් ඉදිරියේ හෝ තමන්ගේ ආර්ථික චින්තනය සම්මුතිගත කිරීමට රජය සූදානම් නැත. අතිවිශාල විරෝධතා මධ්‍යයේ වුව එම පිළිවෙත සමග ඉදිරියට යෑමට රජයට තිබෙන අධිෂ්ඨානයයි ඒ අත්තනෝමතික ආස්ථානයෙන් පැහැදිලි වන්නේ.
එහෙත් ජනවාර්ගික ප්‍රශ්නය හා සබැඳි දෙවන පෙරමුණ තුළ රජයේ හැසිරීම චංචලය. දෙගිඩියාවෙන් යුක්තය. බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ඇති කිරීම හෝ පශ්චාත් යුද යුක්තිය සම්බන්ධ කරුණු ගැන ආර්ථික පෙරමුණේ දී දක්නට ලැබෙන ආකාරයේ කැපවීමක් හෝ අදිටනක් අපට රජය පාර්ශ්වයෙන් දැකගත නොහැක. එපමණක් නොව, විජේදාස රාජපක්ෂ ආදි දේශපාලනඥයන් ඉදිරියට දැමීම මගින් සිංහල ජාතිවාදී බලවේගවලට කොළ පැහැති සංඥා දැල්වීමට ද රජය ක්‍රියා කරනු දක්නට ලැබේ. ඇතැම් දේශපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි රජයට තිබෙන යොමුව බොහෝ දුරට විදේශ ආධාර සහ ජාත්‍යන්තර තලයේ හොඳ නම පවත්වාගැනීම පිළිබඳ වන බොහොම උපයෝගිතාවාදී ප්‍රවේශයක් තුළින් පැන නැග තිබෙන්නක් මිස ජනවාර්ගික ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේ අධිෂ්ඨානයක් තුළින් මතු වූවක් නොවීම මේ වෙනසට හේතුවයි.

3. දේශපාලන බල සිතියම තුළ වාමාංශය ඉතාම දුර්වලය. බහුජන පදනමක් සහිත ජනතා විමුක්ති පෙරමුණ එක තැන පල්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තිබෙන ජන සහය ඉතාම සුළු වූවකි. කෙසේ වුවද මෙම දුර්වලකම තරමක් සංකීර්ණ දුර්වලකමකි. අදහස් තලයේ දී සැලකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාව වාමාංශික අදහස්වලට ඇත. පෞද්ගලිකකරණ විරෝධය, අධ්‍යාපනයේ සම අයිතිය ආදි අදහස් වාමාංශය විසින් ඉදිරිපත් කළ අදහස්ය. මේ අදහස්වලට සැලකිය යුතු පිළිගැනීමක් ජනයා අතර පවතී. එහෙත් අදහස් තලයේ තිබෙන මෙම පිළිගැනීම දේශපාලන බලයක් බවට පරිවර්තනය වී නැත.

මූලිකව අවධානයට ලක්විය යුත්තේ ආර්ථික පෙරමුණ තුළ රජයට එරෙහිව පැන නගින විරෝධය සහ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පැන නගින විරෝධය අතර තිබෙන සම්බන්ධයයි. මේ කලාප දෙක පැහැදිලිවම දෙකකි. හැබැයි මෙම කලාප දෙක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරක කලාප දෙකක් නොවේ. සංකීර්ණතාව මතුවන තැන මෙයයි. තවදුරටත් පැහැදිලි කරනවා නම් ‘නව ලිබරල් ප්‍රතිසංස්කරණ විසින් ඇති කරන තත්ත්වයන්ට විරුද්ධ වීම’ සහ ‘දෙමළ විරෝධී/ සුළු ජාතික විරෝධී වීම’ එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙන් වූ දේවල් නොවේ. යමෙකුට එක් වරම මේ ආස්ථානයන් දෙක වෙනුවෙන්ම පෙනී සිටිය හැක. නිදහස් අධ්‍යාපනය ගැන කථා කරන ගමන්ම දෙමළාට රට පාවා දීමට විරුද්ධව පා ගමන් යා හැක. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන අස්ගිරි පන්සල සයිටම් ප්‍රශ්නය ගැන ද අවධානය යොමු කිරීම මේ සම්බන්ධ නාටකීය උදාහරණයකි.

‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය විසින් සයිටම් ආයතනයට එරෙහිව පසුගිය දින දැවැන්ත සමුළුවක් සංවිධානය කළ අතර එම වේදිකාව මත වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂවලට අමතරව ඒකාබද්ධ විපක්ෂයද නියෝජනය විය. ජාතික හෙල උරුමය ද සයිටම් විරෝධී විවිධ වේදිකාවල නියෝජනය වනු පසුගිය කාලයේ අපට දක්නට ලැබුණි. ඒකාබද්ධ විපක්ෂය යනු මේ මොහොතේ සිංහල ජාතිකවාදය සංවිධානය වී තිබෙන ප්‍රධාන දේශපාලන බල කේන්ද්‍රය බව මෙහිදී මතක තබා ගැනීම වැදගත්ය. ජනවර්ග ප්‍රශ්නය ගැන ගනු ලබන කවර හෝ සාධනීය ක්‍රියාමාර්ගයක් ‘රට පාවා දීමක්‘ ලෙසට හංවඩු ගසන ඔවුහු දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් දිශාවට තබන සුළු හෝ ප්‍රතිසංස්කරණයකට මාරාන්තික ලෙස විරෝධය පාති. එම විරෝධය මතින් ආණ්ඩු බලය ඩැහැගැනීමට මාන බලමින් සිටිති.

නිවුටන් ගුණසිංහ යථාර්ථය
මේ තත්ත්වය විසින් ඉහත කී සමාජ අරගල තුළ නියුක්ත, ඒවාට සහාය දෙන වාමාංශික හා ප්‍රගතිශීලී කොටස් අසීරු තැනකට ඇද දමනු ලබයි. රනිල්-මෛත්‍රී රජය ආර්ථික වශයෙන් ක්‍රියාවට නගා තිබෙන අත්තනෝමතික වැඩපිළිවෙළ විසින් එන්න එන්නම වඩා සටන්කාමී ක්‍රියාමාර්ග ඉල්ලා සිටී. එකී සටන් ක්‍රියාමාර්ග මග හැරීමට වාමාංශයට නොහැක. ඒවා මග හරින්නේ නම් එවැන්නක් තවදුරටත් වාමාංශයක් ද නොවේ. එහෙත් අනෙක් අතට, එකී සටන් ක්‍රියාමාර්ග උත්සන්න වන විට එමගින් ඇති වන කැලඹීම දේශපාලන බලයක් ලෙස ප්‍රකාශයට පත්වීමේ වැඩි හැකියාව තිබෙන්නේ වාමාංශයේ වාසියට නොව සිංහල ජාතිවාදයේ වාසියටය. මේ සඳහා තිබෙන ප්‍රධානතම හේතුව සිංහල ජාතිවාදය සතු බහුජන පදනම වාමාංශික කොටස් සතුව නොතිබීමය. එහෙත් ඒ වගේම, සිංහල ජාතිවාදය විසින් දේශපාලනිකව වාසි ගන්නා නිසා බරපතළ ලෙස සමාජය සමාජ හා ආර්ථිකමය ලෙස ධ්‍රැවීකරණය කරන නව ලිබරල් ව්‍යාපෘතිය ඉදිරියේ නිශ්ශබ්දව සිටීම වාමාංශික කොටස්වලට කළ හැකිද? මේ වූ කලි නියම උභතෝකෝටිකයකි.
මෙම උභතෝකෝටිකය අපට පැහැදිලි කළ හැක්කේ කෙසේද? අපට අනුව මෙම තත්ත්වය විසින් පෙන්නුම් කරන්නේ ලංකාවේ ජනවර්ග ප්‍රශ්නය සහ පංති අරගලයේ ප්‍රශ්නය අතර සම්බන්ධතාව ගැන 1980 දශකය මුල ආචාර්ය නිවුටන් ගුණසිංහ ඉදිරිපත් කළ ප්‍රවාදයේ සමකාලීන අදාළත්වයයි.
නිවුටන් ගුණසිංහගේ ප්‍රවාදයේ මූලිකාංග පහත පරිදිය.

1. ජූලි සංහාරයෙන් පසු ලංකාවේ ප්‍රධාන ජනවර්ග සැකසුම් දෙක අතර සම්බන්ධය මුළුමනින්ම බිද වැටුණු තත්ත්වයකට පත් වී තිබේ. මේ එක් එක් ජනවාර්ගික සැකසුම් දෙක තුළ අභ්‍යන්තර සමාජ ප්‍රතිවිරෝධතා වර්ධනය වී තිබෙන්නේ අසමාන විදිහකටය. දෙමළ සමාජය තුළ පංති ප්‍රතිවිරෝධතාව බාහිරින් එල්ල වෙන සිංහල ජාතිවාදී තර්ජනය හමුවේ යටපත් වී වාර්ගික විඥානය බලවත් වී තිබේ. සිංහල සමාජය තුළ සමාජ බෙදීම් පැහැදිලිව දක්නට තිබුණ ද මේ අතෘප්තීන් ‘දෙමළ ජනයාගේ අතාර්කික ඉල්ලීම්’ ලෙස හඳුන්වනු ලබන දෙයට එරෙහිව යොමු වීමේ ප්‍රවනතාවක් බලවත් වී තිබේ. ඒ අනුව මේ සැකසුම් දෙක තුළම ජාතික ප්‍රශ්නය සමාජයේ පංති ප්‍රතිවිරෝධතාවට ඉහළින් ක්‍රියාත්මක වන ව්‍යුහයක් බවට පත් වී තිබේ. නිවුටන් ගුණසිංහ ‘අධිනිශ්චය වීම’ ලෙස හඳුන්වන්නේ මේ සංසිද්ධියයි.
2. පංති ප්‍රතිවිරෝධතා ජනවාර්ගික ප්‍රශ්නය මගින් අධිනිශ්චය වී තිබේ යන්නෙහි අර්ථය පංති අරගලය රික්තකයක සිදු නොවන බවය. පංති අරගලයේ රිද්මය, රටාවන් හා හැඩය කෙරෙහි ජනවාර්ගික ප්‍රශ්නය තීරණාත්මක ලෙස බලපායි. එය පංති සම්බන්ධතාවලට වගේම සන්ධානයන් කෙරෙහිත් තීරණාත්මක බලපෑමක් ඇති කරයි. මේ නිසා ජනවාර්ගික ප්‍රශ්නය ‘අමතක කොට’ කටයුතු කිරීමට පොරොන්දු වීම අමනෝඥ ක්‍රියාවකි.
3. ජනවාර්ගික ගැටුමට සාම්ප්‍රදායිකව ‘ප්‍රගතිශීලී’ ලෙස හඳුනාගත් සිංහල දේශපාලන බලවේග විසින් ඉදිරිපත් කරන ප්‍රතිචාර දෙකක් තිබේ.
පළමුවැන්න, එවකට පැවැති එජාප රජය අධිරාජ්‍ය ගැති ආණ්ඩු තන්ත්‍රයක් නිසා ඊට විරුද්ධව ප්‍රගතිශීලී හා දේශප්‍රේමී ජනයාගේ එක්සත් පෙරමුණක් ගොඩනැගීමය.
දෙවැන්න, එම රජය ඉහත කී ලක්ෂණවලින් යුක්ත වූවක් බව සැබෑ නමුත්, සිංහල ජාතිකවාදීන්ගෙන් ද සමන්විත යට කී ආකාරයේ පොදු පෙරමුණක බලවත් දෘෂ්ටිවාදය ලෙස සිංහල ජාතිකවාදය වැඩ කරනු ඇත යන අවබෝධයයි. මෙය සිංහල හා දෙමළ සමාජ අතර තිබෙන විභේදනය තවත් පුළුල් කිරීමට හේතුවනු ඇත. පංති අරගලය මතු වීම සදහා පූර්ව කොන්දේසියක් වන්නේ ජනවාර්ගික ආතතීන් සමනය කිරීමය. එවැන්නකට මේ වර්ගයේ පොදු පෙරමුණක් බාධාවකි. එම නිසා වාමාංශයේ භූමිකාව වන්නේ බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ඇති කිරීමේ අවශ්‍යතාව දකුණ තුළ ජනප්‍රිය කිරීමට කටයුතු කිරීමය. එවැනි විසඳුමක් ඇති කිරීමට බල කිරීම තුළින් පමණි පංති ගැටුම මත වන ජනවාර්ගික අධිනිශ්චය දුර්වල කරමින් පංති ගැටුම මතු වීම සඳහා වූ වාසිදායක තත්ත්වයන් නිර්මාණය කළ හැක්කේ.
වර්තමානයේ ද ලංකාවේ සිංහල හා දෙමළ ජනවර්ග සැකසුම් දෙක අතිබරපතළ ලෙස ධ්‍රැවීකරණය වී තිබේ. දකුණ තුළ සමාජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උතුරට සාපේක්ෂව වැඩියෙන් ප්‍රකාශයට පත් වී ඇත. උතුරේ දේශපාලනය තුළ ප්‍රමුඛ වී තිබෙන්නේ ජනවර්ග ප්‍රශ්නයට අදාළ ඉල්ලීම් වූවද දකුණ තුළ ජනවාර්ගික නොවන සමාජ ආර්ථික අරගල පැන නගිනු දැකගැනීමට පුළුවන. එහෙත් වැදගත්ම දෙය, මේ අරගල ක්‍රියාත්මක වන්නේ හිස් අවකාශයක නොව සිංහල ජාතිකවාදය සමාජ ප්‍රතිවිරෝධතාවලට ඉහළින් ආධිපත්‍යයික ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වන තරලයක් තුළ වීමය. එම නිසා එම අරගල හරයෙන් ජාතිවාදී නොවූවත් එමගින් ඇති කරන කැලඹීම සිංහල ජාතිවාදයට එනයින්ම පසමිතුරු වූවක් නොවේ. එම කැලඹීම සිංහල ජාතිවාදය සමග සන්ධානගත වීමේ විශාල වියහැකියාවක් තිබේ. මේ වියහැකියාව ලංකාව තුළ බලපවත්වන වාර්ගික අධිනිශ්චයේ ප්‍රතිඵලයකි. ‘උඹලා සයිටම් එකට විරුද්ධව සටන් කලාට මුස්ලිම් අන්තවාදයට/උතුරු පළාත් සභාවේ බෙදුම්වාදයට විරුද්ධව මුකුත් කරන්නේ නැත්තේ ඇයි’ යනුවෙන් අවිශිබම ක්‍රියාකාරීන්ගෙන් විමසන (ඇත්තටම සයිටම්වලටත් විරුද්ධ) පොදු සිසුන් අපට අභිමුඛ වන්නේ මෙන්න මේ පසුබිම නිසාය.

මෙතැනදී, වාමාංශික කොටස්වලට ගත හැකි මාවත් දෙකක් තිබේ. ඒ ඉහත නිවුටන් ගුණසිංහ විසින් සංකල්පගත කළ මාවත් දෙකමය. පළමුවැන්න නම් ජනවර්ග ප්‍රශ්නය ‘අමතක කිරීම’ හෝ ‘තරමකට පසුවට තැබීමය’. ජනවර්ග ප්‍රශ්නය එලෙස මඳකට අමතක කළ හැකි නම් නව ලිබරල්වාදයට එරෙහි සටන්වලදී සිංහල ජාතිවාදීන් සමග එක පෙළට සිට සටන් වැදීමට පුළුවන. හැබැයි එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා ගෙවීමට සිදුවන මිල නම්, සිංහල ජාතිවාදය එම සටන් රැල්ල තුළින් බලයට ඒම සහ එය විසින් ජනවර්ග සබඳතා වඩාත් ධ්‍රැවීකරණයට ලක්කිරීමට නියමිත වීමය. රාජපක්ෂ පාලන සමයේ දී හොඳින්ම පැහැදිලි වූ පරිදි නව ලිබරල් ප්‍රතිසංස්කරණ සුජාත කිරීමේ ඉතාම ශක්තිමත් සදාචාරමය රාමුවක් සැකසීමේ හැකියාව ලංකාව තුළ ජාතිකවාදයට ඇති බව මතක තබාගැනීම වැදගත්ය.

දෙවන මග නම්, නව ලිබරල්වාදයට එරෙහි ව්‍යාපෘතිය සමග සිංහල ජාතිවාදයට විරුද්ධ සටන් පෙරමුණක් ඉදිරියට ගැනීමය. දැනට දකුණු ලංකාව තුළ දකින්නට නොමැත්තේ ද ඉහත කී දෙවන වර්ගයේ ව්‍යාපෘතියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලය බෙදීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ගැන, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ගැන කථා කරන්නේ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට සහයෝගය දෙන ලිබරල්වාදී කොටස්ය. රැඩිකල් වම ඒවා සම්බන්ධව නිහඬය. නැතිනම් උදාසීනය.

ජනවර්ග ප්‍රශ්නය ප්‍රජාතාන්ත්‍රීයව විසඳීමේ අවශ්‍යතාව සිංහල සමාජයේ පහළ පන්තික ජන කොටස් අතර ජනප්‍රිය කළ හැක්කේ එම ජනකොටස්වල එදිනෙදා අයිතිවාසිකම්, ඔවුන්ගේ ඉඩම්, ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ නිවාස, ඔවුන්ගේ ජීවනෝපායන් පිළිබඳ කථා කරන හා සටන් කරන බලවේගවලට මිස එම ජනයාට එරෙහි නව ලිබරල් ප්‍රහාරයන්ට සහය දෙන ඊනියා ලිබරල් කොටස්වලට නොවේ. රූපකාර්ථවත් උදාහරණයකින් කියන්නේ නම් බදුල්ලේ සිංහල පහළ පන්තික ජනයා සමග ජනවර්ග ප්‍රශ්නය ගැන හොඳම සංවාදය ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔවුන්ගේ ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නයේ දී ඔවුන් සමග එක්ව සටන් වදින සමන්ත විද්‍යාරත්නට මිස, විශ්වවිද්‍යාලවල ගම්බද පහළ පන්තික පසුබිම්වලින් එන තරුණ තරුණියන් සමග ජාතිවාදය ගැන හොඳම සංවාදය ගත හැක්කේ ඔවුන්ගේ අධ්‍යයන සුබසාධන ප්‍රශ්න වෙනුවෙන් සටන් වදින ලහිරු වීරසේකරට මිස මෙම සමාජ කොටස් සමග කිසිදු සම්බන්ධයක් නොමැති, ප්‍රභූවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්න දෙස බලන, ඇතැම් විට ‘බයියන්‘ ලෙස ඔවුන් හෙළාදකින, එහෙත් ඒ අතරම තමුන් ජාතිවාදයට විරුද්ධ බව කියා ගන්නා මැද පන්තික ලිබරල්වාදීන්ට හෝ ඔවුන්ගේ වීරයන් වන හර්ෂ ද සිල්වා වැන්නවුන්ට නොවේ. වාමාංශය එවැන්නකට අවධාරණය නොයොදනා තාක් දුරට සිංහල ජාතිවාදය බලවත් අදහසක් ලෙස දකුණ තුළ වැඩ කරනු ඇති අතර පැන නගින කවර හෝ සමාජ අරගලයකට ක්‍රියාත්මක වන්නට සිදුවන්නේ ජාතිවාදයේ එම ආධිපත්‍යයික තරලය තුළය. සත්‍යය නම්, අප තවමත් ජීවත් වන්නේ නිවුටන් ගුණසිංහ යථාර්ථයක වීමය. එම යථාර්ථය යනු නව ලිබරල්වාදයට එරෙහිව පංති සටන පමණක් පවතින සරලමතික මොහොතක් නොව පංති අරගලය ජනවර්ග පීඩනය සමග සම්බන්ධ වූ සංකීර්ණ මොහොතකි.■