රාවය

සුසන්තිකා ආවේ නෑ

සුසන්තිකා ආවේ නෑ

ටිරන් කුමාර බංගගමආරච්චි

ක්‍රීඩා අමාත්‍යාං ශයට පනස් වසරක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලබන ස්වර්ණ ජයන්ති උළෙලට සමගාමීව වැඩසටහන් තොගයක් මේ දිනවල ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කරමින් පවතී. ඒ අතර එක් වැඩසටහනක් වූයේ මෙරට ක්‍රීඩා ඉතිහාසය පුරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමය. කල් ගොස් හෝ ඇගයීම යන කරුණ ඉතාම වැදගත් බව කිව යුතුය. මන්ද අද මෙන් නොව මීට ඉහත ඔලිම්පික් ගිය අය ඊට අවශ්‍ය පරිසාධන මට්ටම් සපුරා ඔලිම්පික් යෑමට සුදුසුකම් ලද්දන් වන බැවිනි. අද එය හිනාවට කතාවට යන බෝනස් වාසනා බවට පත්ව ඇත. වයිල්ඞ් ඔලිම්පික් යෑම සිහිනයක්ම වී ඇත. මේ තත්ත්වයන් වෙනස් කර ගන්නට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුව ඇත. එය ලේසි පහසු නැත. එහෙත් අපහසුවෙන් වුව කළ යුතු දේද ඇත. ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර දඟලනුයේ එය ජයගන්නට බව පැහැදිලිය.

ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ මෑත කාලීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇති පදම් අගය කොට ඇත. එස්.බී. දිසානායක ක්‍රීඩා ඇමති කල ඔලිම්පික් ගිය සුසන්තිකා, දර්ශා, ශ්‍රීයාණි, සුගත් සහ තව බොහෝ අය අගය කොට ඇත. ඒ අතර සුසන්තිකා ඉහටත් උඩින් අගයා ඇත. එස්.බී. කාලයේ සුසන්තිකා ක්‍රීඩා ඇමති තරම්ම බලවත්ය. එහෙව් යට ගියාවක මේ අගය කිරීම් මහා ලොකු නැතත් ඊට වෙනස් හැඩයක් දෙමින් මෙරට ක්‍රීඩා ඉතිහාසය පුරා ඔලිම්පික් ගිය අය ඇගයීමට ක්‍රියා කිරීම ක්‍රීඩා ඇමති කළ යහපත්ම ක්‍රියාවක්ය.

මෙරට මුල්ම ඔලිම්පික් පදක්කමේ හිමිකරුවා වූ ඩන්කන් වයිට් අමතක කර දැමු ඉතිහාසයක ඔහු ඔසවා කර තබා ගත්තේ ආණ්ඩුව හෝ ක්‍රීඩා අමාත්‍යවරුන් නොව ඩන්කන් වයිට් පදනමය. පසුව එයට බලධාරීන් සහය වූවා මතකය. කෙසේ වෙතත් මෙරට අමතක කර තිබූ යුග පුරුෂයෙකු නැවත ඇගයීම හරහා ඔහුට සුවදායක සැනසිලිදායක සමුගැනීමක් දීමට ඩන්කන් වයිට් පදනමට හැකි විය. ඔවුන් නොවන්නට ඩන්කන් වයිට් මියැදෙනුයේ ලංකාව කෙරෙහි සදා වේදනාත්මක මතකයන් කැටි කර ගෙන බැවිනි. එහෙත් ඔහු ඔසවා නිසි තැන තැබීමත් සමඟ ලංකාව කෙරෙහි සදා මිහිරි මතකයන් රැගෙන ඔහුට ස්වර්ගයට යෑමට හැකි විය.

එනයින් බලන කල අගය කිරීම අගනේය. අවැසිමය. පසුගිය කාලයේ අගයනු ලැබුවේ ඇති පදම් වරප්‍රසාද වරදාන ලැබූවුන්මය. මෙම වැඩසටහන වෙනස් වනුයේ ඇමති සියල්ලම එක ලෙස අගයන්නට උත්සාහ කර තිබීම නිසාය. එය ඉතාම හොඳ කර්තව්‍යයක් බව කිව මනාමය.

මෙරට ඔලිම්පික් නියෝජනය කළ ඉතිහාසයට අනුව ඔලිම්පික් නියෝජනය සියයටත් අඩුය. එය 96කි. ඉන් මේ වන විට ජීවත් වනුයේ හැට හතක් පමණි. ඉන්ද මෙරට ඉතිරි වී ඇත්තේ හතළිස් පස් දෙනෙකි. ඉතිරි අය විදේශවල පදිංචිය. එබැවින් ජනපති අතින් නිසි ඇගයුමට සම්මානයට පාත්‍ර වන්නට හැකි පිරිස වූයේ මෙරට වෙසෙන අය පමණය. එය වුව කම් නැත. එහෙත් මෙහි තිබූ ලොකුම අඩුව නම් ඊට දැනට ඔලිම්පික් පදක්කමක් දිනා සිටින එකම ක්‍රීඩිකාව වන සුසන්තිකා සහභාගී නොවීමය. එය සැබැවින්ම අඩුවකි. ඔලිම්පික් ගියවූන් අගයන අතර ඔලිම්පික් ගොස් පදක්කමක් දිනූ අය නැති වීම අඩුවක්මය.

මෙහිදී තව දෙයක් කිව යුතුමය. එනම් සුසන්තිකා සම්මුඛ වන හැම මාධ්‍ය සාකච්ඡාවකම ඇය කියනුයේ ඔලිම්පික් දිනු මෙරට එකම කෙනා තමන් බවය. මෙය ඇය හිතා මතාම කරන තුට්ටු දෙකේ ප්‍රකාශයකි. ඇය ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් දිනු බව නොදන්නීද? ඩන්කන් වයිට් පදනම ඇයට නැවත ඔලිම්පික් දිනන්නට දුන් තල්ලුව ඇයට අද අමතකය. සියල්ල අමතක කොට තමන් පමණක් මුදුනාසේ තමන් පමණක් යැයි හිරිකිතකින් තොරව කියන්නට හැකි වීම ඇයගේ පුංචි කමේ අභාග්‍යයක් මය. එය එසේ නොවිය යුතුය. ලියන්නෝ වුව ඇය සම්මුඛයේ එය නිවැරදි කළ යුතුය.
නැවත කතාවට එන්නේ නම් සුසන්තිකාගේ නොපැමිණිමට හේතු සෙවුයෙමි. එය පසුගිය කාලයේ ක්‍රීඩා ඇමති සමඟ ඇති වූ අරෝව නිසා සිදු වුවක්ද බව සොයා බැලිමි. හේතුව එය නොවේ. ඔලිම්පික් නියෝජනය කළ අය ළඟකදී පිහිටුවා ගත් “ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමයේ” සභාපතිකම ඇයට නොදීම මේ මඟහැරීමේ හේතුවය. ජනපති අගයනු ලබනුයේ මේ සංගමයේ අයය. සම්මාන පුදනුයේ ඔවුන්ටය. එහෙත් එහි සභාපතිකම නොදුන් නිසා ඇය ඒ ගමන නො ආවාය. එපමණක් නොව තැන් තැන්වල බැණ වදින තැනටම පත් වූවාය. සුදුසුකම් මත එම සංගමයේ මුල් පුටුවට සුදුසුම ඇය බව සහතිකය. එහෙත් ඉතිහාසය පුරාම සුසන්තිකා හොඳ නායිකාවක පෙරමුණ ගත හැකි කාන්තාවක නොවනබව පැහැදිලිය. ඒ අතින් ඒ තැන ශ්‍රීයානිට සහ දර්ශාට මෙන්ම සුගත්ට වුව පිරිනැමීම උචිතය. යම් හෙයකින් මෙය සුසන්තිකා මුදුනා සේ ඇරඹියේ නම් එහි ආයුෂ ඉතාම කෙටි වී එය සුසන්තිකා පමණක් සිටින සංගමයක් බවට මේ වන විටත් පත්වී හමාරය. එබැවින් සුසන්තිකා මෙය මග හරිනුයේ තමන්ට රිසි තැන නොදුන් නිසාය. සුසන්තිකා කුමක් කළද ඇය ඔලිම්පික් ශූරිය කියා නිවැරදි කරන මාධ්‍යයට මෙය මහා කෙළියකි. එහෙත් මෙහි ඇත්තේ සුසන්තිකාගේ තණ්හාවය. සුසන්තිකාට අමතරව නදිකා ලක්මාලි, රෝෂන් විජේකෝන්, යසයි “චෙට්ටි සම්මාන උළෙලට” පැමිණ නොතිබුණි.
ඉතිහාසය දෙය බලද්දී මෙතරම් විශාල ප්‍රමාණයක් ඇගයුමට ලක් වනුයේ ප්‍රථම වතාවටය. එයම අපූරුය.

මෙම සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ලක්‍ෂ පනහක්ද පිරිනැමීම ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජනපති අතින් සිදුවිය. වැඩක් පටන් ගැනීමට එය ලොකු මුදලකි. හොඳ අඩිතාලමකි. සංගමයක් ලෙස ඔවුන් කුමක් කරන්නේද යන්න තවමත් විනිවිද නැත. ඒවාද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධීක්‍ෂණය විය යුතුමය. ඊට ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන බලධාරීන් නියෝජනය වන අධීක්‍ෂණ මණ්ඩලයක් නිර්මාණය විය යුතුය. මේවා හුදෙකලා නොවී ක්‍රීඩා අමාත්‍යාංශය සමඟම එකට යන වැඩසටහන් විය යුතුය. මේ ඔලිම්පික් නියෝජනය කළ අය අද ගමින් ගමට ක්‍රීඩාව ව්‍යාප්ත කරන මඟ පෙන්වන්නන් ලෙස යොදා ගත යුතුය. ඔවුන්ගේ අත්දැකීම් තරුණ ක්‍රීඩා පරපුර අතර බෙදා හැරිය යුතුය. එහි උපරිමය මේ එකතුව හරහා ලබා ගැනීමට ඇමතිවරයා උත්සුක විය යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ට දෙන සහය මෙන්ම ඔවුන්ගේ උපරිමයද ක්‍රීඩා ඇමතිවරයාට ලබාදිය යුතු වනුයේ එය ක්‍රීඩාව වෙනුවෙන් වන ඉතිරියක් වන බැවිනි.
මෙම අවස්ථාවේදී ඉදිරි සැලසුම් කිහිපයක් ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණි. ඩොලර් මිලියන 80ක වියදමින් ඉදිකරන අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ගැන ඉඟි කර තිබුණි. ඊට අමතරව දියගම ක්‍රීඩාංගණයක් ක්‍රීඩා පාසලක් ලෙස නිර්මාණය කරන බවද පවසා තිබුණි. යහපත්ය. ඊටත් කලින් සුගතදාස ක්‍රීඩාංගණය අහවර කළ යුතුය. එය කෙටි ධාවනයක් තරම් වේගවත් විය යුතුය. එය වසා තැබූ කාලය ඕනෑවටත් වඩා වැඩිය.

වයස හැට වන තෙක් ඔලිම්පික් ගිය අය රැක බලා ගන්නා බව ඇමතිගේ මතයය. එහෙන්ම හැටෙන් පසු විශ්‍රාම වැටුපක් සහ රක්‍ෂණවරණයක් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවද පවසා තිබුණි. මේවා කඩිනම් කළ යුත්තේ මේවා භුක්ති විඳිය යුතු පිරිස් දැනටමත් සිටින බැවිනි. එවිට ඔවුන්ගේ මරණයට වුව රටක් ලෙස සාධාරණයක් කළා යන විශ්වාසය ඔවුන් තුළ ජනිත වන බැවිනි. හොඳ දේ හොඳය. ඇමති යහපත් බොහෝ දේ පවසා ඇත. ඒවා ඉටුවනු දැකීම වේගවත් කළ යුතුය. එවිට ඔහු කෙරෙහි විශ්වාසය ජනිත වනු ඇත. මෑත කාලයේ ක්‍රීඩා ඇමතිවරුන් විශ්වාසය අඩියටම සිඳගත්තේ කයිවාරු මිස වැඩ නොකරමිනි. දයාසිරි ඇමතිවරයාද කතා දැන් ඇතිය. සිදුවිය යුත්තේ ඒ කතා ක්‍රියාවට නැඟීමය. කාලය සෙමෙන් මුත් ඉක්මනින් ගෙවෙන බව සිහි තබා ගත යුතුය. වැඩ නොවන තැන එය වේගයෙන් ගෙවී ඇතැයි තවත් සිතනු ඇත.■