රාවය

ඒ.සී.ඩෙප් රිටි පැනීම, බඹර කවි සහ පොලිසියේ ඉතිහාසය හඹායෑම

ඒ.සී.ඩෙප් රිටි පැනීම, බඹර කවි සහ පොලිසියේ ඉතිහාසය හඹායෑම

නීල් විජේරත්න

මලල ක්‍රීඩා සහ පාපන්දු ක්‍රීඩාව නවසිය හැටේ දශකයේදී මෙරට ක්‍රීඩාලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණ. ජනප්‍රියත්වය අතින් ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ ඊට පහළ මට්ටමකය. ඒ.එස්.එම්. ඛාන්, ඩැරල් ලීවර්ස්, ලක්ෂ්මන් ද අල්විස්, එස්.එල්.බී. රෝසා, බෲනෝ ප්‍රනාන්දු, නාගලිංගම් එදිරිවීරසිංහම්, ඩබ්ලිව්, විමලදාස, ආර්.ජේ.කේ. කරුණානන්ද, ලීනස් ඩයස්, නිර්මලා දිසානායක, ලොරේන් රත්නම්, ජිල්ස්කා ෆ්ලේමර්-කල්දේරා, ශ්රාහි බොන්ග්සෝ, ශාන්ති ද ආබෲ, රන්සිරි සේරසිංහ, පියන්ති ගුණසේකර වැනි මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවෝද පීටර් රණසිංහ, මහින්ද අළුවිහාරේ, පී.ඩී. සිරිසේන, හෂීම් ඩීන් වැනි පාපන්දු ක්‍රීඩකයෝද ඇතුළුව තවත් බොහෝ ක්‍රීඩක-ක්‍රීඩිකා පිරිසක් ස්වකීය ක්‍රීඩා කෞශල්‍යය හේතුවෙන් එකල ක්‍රීඩාලෝලීන් අතර නිතර කියැවුණු ජනප්‍රිය ‘නම්’ ඇත්තන් බවට පත්ව සිටියහ.
පාසල් මට්ටමින්ද මේ තත්ත්වය එසේම විය. දිවයිනේ පාසල් කලාප අතර ‘ග්රූප් මීට්’ නමින් වූ මලල ක්‍රීඩා තරගාවලි මෙන්ම ප්‍රසිද්ධ පාසල් අතර ‘ද්වි-විද්‍යාල’ සුහද මලල ක්‍රීඩා තරග පවා එකල පැවැත්විණ.

පන්ති කාමරයේද බොහෝවිට අපට අසන්නට ලැබුණේ අප පාසලේ ක්‍රීඩා යටගියාව උලුප්පා දක්වන ආකාරයේ කතා පුවත්ය. අප පන්තියට පැමිණි ඇතැම් ගුරුවරුන් ස්වකීය පන්ති වාර හමාර වූ පසු තවත් විනාඩි කීපයක් ගත කළේ ක්‍රීඩා පිටියේ පැරණි සිදුවීම් සහ පාසලේ ආදි සිසු ක්‍රීඩකයන්ගේ හපන්කම් යළිදු සිහිපත් කරන්නටය. එයාකාරයට අපේ පන්ති කාමරයේ මලල ක්‍රීඩාව ගැන කතා කළ සෑම අවස්ථාවකදීම අනිවාර්ය යෙන් කියැවෙන නම් කීපයක් විය. මුල්ම ටාබර්ට් කුසලාන මලල ක්‍රීඩා තරගයේදී (1930) සැතපුම දිවීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලද නෝර්මන් මැතිව්ස්, පී. දොන් වික්ටර්, නාගලිංගම් එදිරිවීරසිංහම් වැනි ආදි සිසු ක්‍රීඩකයෝ ඒ අතර වූහ. මෙම නාමලේඛනයට අයත් තවත් ක්‍රීඩකයකු වූයේ ආතර් සී. ඩෙප්ය. රිටි පැනීමේ ඉසව්වෙන් ඔහු තබා තිබූ සමස්ත ලංකා වාර්තාව පිළිබඳ විස්තරය ඔහුගේ නම කී සැණින් අනිවාර්යයෙන්ම ඊට ඈඳෙන කතා පුවතක් විය.
ඔහුගේ රිටි පැනීමේ ශූරත්වය ගැන අප මුලින්ම දැනගත්තේ මේ අයුරිනි; ඔහු ගැන අපට මුලින්ම අසන්නට ලැබුණේද මේ අයුරිනි.

මේ සටහන කීර්තිමත් මලල ක්‍රීඩකයකු, රජයේ සේවකයකු, ඉතිහාසඥයකු සහ ගත්කතුවරයකු වූ වැවගේ ආතර් ක්ලීටස් ඩෙෆ් (ඒ.සී. ඩෙෆ්) පිළිබඳවය. ඔහුගේ ජන්ම ශත සංවත්සරය (1917-2017) මේ වසරේ යෙදී තිබීම හේතුවෙනි.
ඒ පළමුවැනි ලෝක යුද්ධයට පසු කාලයයි. එකල මෙරට මුහුදුබඩ පළාත්හි තරුණ කණ්ඩායම් අතර සුහද මලල ක්‍රීඩා තරග පැවැත්වීම බහුලව කෙරුණකි. ළඟපාත ගම් පළාත් සහ ගම් මට්ටමින් නොයෙක් ක්‍රීඩා සමාජ අතර මෙවැනි සුහද මලල ක්‍රීඩා තරග එකල පැවැති බව කියැවේ.

ආතර් ඩෙප්ගේ රිටි පැනීමේ කුසලතාව මුල් වතාවට විද්‍යමාන වී ඇත්තේ එලෙස පැවති සුහද මලල ක්‍රීඩා තරගයකදී වීලු. ඒ වත්තල පළාතේ මාබෝල සහ ඇවරිවත්ත යන ගම් ප්‍රදේශයන්හි ක්‍රීඩා සමාජ දෙකක් අතර පැවති තරග වාරයකදීය.
එය ඔහුගේ මලල ක්‍රීඩාවේ බෞතිස්මය විය.

කොළඹ මරදානේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ආතරේ ඩෙප් හාපුරා කියා ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වනුයේ 1933දීය. රිටි පැනීමේ ඉසව්වෙන් ඔහුට හිමිවූයේ දෙවැනි ස්ථානයයි. ඉනික්බිති 1935 තරගාවලියේදී ඔහු එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගනු ලැබුවේ ස්වකීය පාසල් සගයකු වූ මැල්කම් ස්පිට්ල් දෙවැනි තැනට පත්කරවමිනි. එමෙන්ම නව සමස්ත ලංකා පාසල් වාර්තාවක්ද තබමිනි. පාසලේ නිවාසාන්තර තරගයන්හිදී රිටි පැනීමේ ඉසව්වේදී ආතර් ඩෙප්ට කරට කර සටනක් දුන් කෙනෙකි, මැල්කම් ස්පිට්ල්. පසු කලෙක මැල්කම් ස්පිට්ල් සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ අතර ආතර් ඩෙප්ටද සමස්ත ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වය හෙබවීමේ අවස්ථාව අත්විණ.

මෙම මලල ක්‍රීඩා ඉසව්ව සඳහා ආතර් ඩෙප් භාවිත කළ රිට වූයේ සවිමත් උණ බම්බුවකි. මඳ දුරක් දිව ගොස් උණ රිට බිම පතිත කර ඒ වාරුවෙන් ඉහළ ගුවනට ඇදෙන මෙම ක්‍රීඩකයා හරස් දණ්ඩ උඩින් පැන නැවත මහ පොළොවේ පා තබනුයේ බුරුල් කළ පස් උඩට ලී කුඩු දමා සකස් කළ බිම් තීරුවකට පතිතවෙමිනි. මේ ඔහු මුල් කාලයේ රිටි පැනීම කළ ආකාරයයි.

පාසල් අධ්‍යාපනය නිමා කළ ආතර් ඩෙප් එවකට ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල විදුහලේ (පසුව ලංකා විශ්වවිද්‍යාලය) උපාධිය හදාරා ලන්ඩන් විශ්ව විද්‍යාලයීය උපාධිධරයෙක් විය.
විශ්වවිද්‍යාල සිසු සමය ඔහුගේ මලල ක්‍රීඩා දිවියේ එක්තරා කඩඉමක් ලෙස සැලකිය හැකිය. ‘යුනිවර්සිටි කොලීජිය’ නියෝජනය කරමින් ඔහු ඒ වකවානුවේ පිහිටු වූ වාර්තා ගණනාවකි. 1963දී රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අඩි 11 සීමාව දක්වා ඉහළ නංවන්නට සමත්වීම එම වාර්තා මාලාවේ අංක එක විය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු හැටියට සිටියදීම එම වාර්තාව අඩි 12 සීමාව දක්වා ඔහු ගෙන ගියේ එවන් වික්‍රමාන්විත දස්කමක් පෑ ප්‍රථම ලාංකිකයා වීමේ ගෞරවයද අත්කර ගනිමිනි.

ආතර් ඩෙප් විස්මයජනක ආකාරයට රිටි පනිනු බලා හුන් එවකට අගවිනිසුරු වූ සර් සිඞ්නි ඒබ්‍රහම්ස් කියා සිටියේ එංගලන්තය වැනි රටකදී එවැන්නක් කළේ වී නම් ඔහු (ඩෙප්) නිසැකවම ඔක්ස්ෆර්ඞ් හෝ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාල ක්‍රීඩා ‘නීලවර්ණ’ ප්‍රදානය සඳහා සුදුසුකම් ලබන බවය.
තමා පිහිටු වූ එම සමස්ත ලංකා වාර්තාව තවත් ඉදිරියට ගෙනයමින් ආතර් ඩෙප් 1939දී අඩි 12. 7 1/2 සීමාව ජයග්‍රාහී ලෙස පසු කරන්නට සමත් වූයේ එතැන් සිට තවත් වසර 23ක් තරම් වූ දීර්ඝ කාලයක් පුරා නොබිඳි වාර්තාවක් පිහිටුවමිනි. මෙම ඓතිහාසික පිම්ම සඳහා ඔහු ඇලුමිනියම් රිටක් භාවිත කර ඇත.
ඔහු මෙම සුප්‍රකට වාර්තාව පිහිටුවන අවස්ථාවේ එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබවූ ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට් ද එම ස්ථානයේ සිට මහත් උනන්දුවකින් එකී ඓතිහාසික සිදුවීම නැරඹූ බව පුවත්පත් වාර්තාවන්හි දැක්විණ.
වර්ෂ 1939දී ආතර් ඩෙප් පිහිටු වූ මෙරට රිටි පැනීමේ ජාතික වාර්තාව වසර විසි තුනකට පසු 1962දී විජිත විජේසේකර ක්‍රීඩකයා විසින් බිඳ හෙළන ලදි. බම්බලපිටියේ පොලිස් ක්‍රීඩාංගණයේ සිදුවූ එම ඓතිහාසික අවස්ථාවේදී විජිත විජේසේකර ක්‍රීඩකයාට මුලින්ම සුබ පැතූ අය අතර ආතර් ඩෙප්ද සිටි බව වාර්තා විණ. තමා පිහිටුවන ලද වාර්තාව බිඳ හෙළන අවස්ථාවේ එම ඉසව්ව සඳහා වූ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබීම සඳහන් කළ යුත්තකි.

ආතර් ඩෙප් ලන්ඩන් විශ්වවිද්‍යාලයීය උපාධි ධරයකු ලෙස ලංකා පොලිසියට බැඳෙනුයේ 1942දීය. ඒ සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙනි.
රාජ්‍ය සේවයේ නිරතව සිටියදී වුව ඔහු පොලිස් දෙපාර්තමේන්තුව නියෝ ජනය කරමින් නොකඩවා මලල ක්‍රීඩා තරගයනට සහභාගි වූයේය. 1942-1946 දක්වා වූ කාලය තුළ පැවති ලංකා ආධුනික මලල ක්‍රීඩා තරගාවලින්හි රිටි පැනීමේ ශූරතාව අඛණ්ඩව දිනා ගනු ලැබුවේ ඔහු විසිනි. සමස්තයක් හැටියට 1936 සිට 1951 දක්වා වූ කාලවකවානුවේ රිටි පැනීමේ ඉසව්වේ ජාතික ශූරතාව දස වතාවක් දිනා ගැනුමට හෙතෙම සමත් විය.
1938 ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවර පැවති බි්‍රතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙලට සහභාගි වූ සමස්ත ලංකා කණ්ඩායම ඩබ්ලිව්.ඩබ්ලිව්. තම්බිමුත්තු, එච්.ඒ. පෙරේරා, ඩන්කන් වයිට් සහ ආතර් සී, ඩෙප් යන ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලද්දකි. අවාසනා වකට ඒ කිසිවෙකුටත් පදක්කම්ලාභියකු වීමේ අවස්ථාව නොලැබිණ.

හාහාපුරා කියා ඉන්දු-ලංකා මලල ක්‍රීඩා තරගාවලියක් පවත්වනු ලබන්නේ වර්ෂ 1940 ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන්හිදීය. ස්ථානය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයයි. එහිදීද රිටි පැනීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ආතර් ඩෙප් සමත් වූයේ ඒ.කේ. මුකර්ජි සහ අමාර් සිං යන ඉන්දියානු ක්‍රීඩකයන් අබිබවා යමිනි.
දෙවන ඉන්දු-ලංකා මලල ක්‍රීඩා තරගය පැවැත්වෙනුයේ තවත් වසර හයක් ගතවූ තැනය. 1946දීය. ස්ථානය ඉන්දියාවේ බැංගලෝරයයි. එවර ලංකා කණ්ඩායමේ නායකත්වය භාරවූයේ ආතර් සී. ඩෙප්ටය.

අප සන්තකයේ ඇති පුවත්පත් වාර්තා අනුව මෙම ඉන්දියානු සංචාරය ක්‍රීඩා පිටියෙන් බැහැරව වුව කිසියම් අපූර්වත්වයක් ගත්තකැයි කිව හැකිය. ලංකා කණ්ඩායම බැංගලෝරය බලා පිටත්වීමට පෙර කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයක් ගෝල්ෆේස් හෝටලයේදී පවත්වන ලදි. එකල කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධුරය දැරූ ඩී.එස්. සේනානායක මහතාද, සර් ජෝන් කොතලාවල, ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය අයිවෝ ජෙනිංස් සහ පොලිස්පති බේකන්ද එසමයේ කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටි යුනිවර්සිටි කොලීජියේ හිටපු ප්‍රධානාචාර්යවරයකු වූ ආර්. මාර්ස්ද ලංකා කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයට සහභාගි වී ඇත. ආතර් ඩෙප් යුනිවර්සිටි කොලීජියේ උගත් සමයේ එහි ප්‍රධානාචාර්යවරයා වූයේ මාර්ස් මහතාය. ඔහු තම ගෝලයාට සුබ පතන්නට තකහනියක් එහි ආවේලු. ගෝල්ෆේස් උත්සවයෙන් පසු, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවූ ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තලෙයි මන්නාරමේදී මුහුදින් එතෙරව ඉන්දියාවේ ධනුෂ්කොඩි නගරය හරහා මදුරාසියේ එග්මෝර් කරා ගොස් එතැනින් බැංගලෝරයට යනවිට මේ ගමනට දින තුනකට වැඩි කාලයක් ගතවී තිබිණ.

බැංගලෝරයේදී සමස්ත ලංකා කණ්ඩායමට කඩින් කඩ දිවීමේ තරග හැර අනෙකුත් ඉසව්වලින් දිනාගත හැකිවූයේ ‘පළමු’ ස්ථාන තුනක් පමණි. බලාපොරොත්තු වූ ලෙසට කණ්ඩායමේ නායක ආතර් ඩෙප් රිටි පැනීමේ ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. ‘පළමු’ ස්ථාන ලද සෙසු ක්‍රීඩක දෙපළ වූයේ ඩන්කන් වයිට් (මී. 400 කඩුලු පැනීම) සහ එච්.එම්.පී. පෙරේරා (මී. 400)ය.
පොලිස් සේවයේ රාජකාරි කටයුතු හේතුවෙන් රත්නපුර, තලෙයිමන්නාරම, මාතලේ, මඩකළපුව සහ ඌව පළාත වැනි දුර බැහැර ප්‍රදේශවලට ස්ථාන මාරු ලද්දේ වී නමුදු අවම පහසුකම් මධ්‍යයේ වුව රිටි පැනීමේ ඉසව්වට ඇවැසි ‘රිට’ අතහැරියේ ආතර් ඩෙප් නොවේ. මලල ක්‍රීඩා පිටියේදී ඇතැම් ජාතික වාර්තාවක් ඔහු විසින් පිහිටුවනු ලැබුවේ එලෙස දුර බැහැර පළාතක රාජකාරියේ නිරතව සිටියදී බව සඳහන් කළ යුත්තකි.

මඩකළපු දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් සේවය කරන සමයේ ඉඳහිට හෝ තමා ලද විවේකය අපූරු කටයුත්තක් සඳහා මිඩංගු කරන්නට මේ පොලිස් නිලධාරියා උත්සුක වී ඇත. ඒ බඹර පැණි රැස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමටය. මෙහි ප්‍රතිඵලය වූයේ “ඌවේ බඹර පැණි රැස් කිරීම සහ ඒ ආශ්‍රිත කවි” මැයෙන් ශාස්ත්‍රීය ලිපියක් ඔහු අතින් ලියනු ලැබීමය. එය 1956 වසරේදී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ පළවිය. ඉංග්‍රීසියෙන් ලියන ලද එම දීර්ඝ ලිපියේ විශේෂත්වයක් වූයේ ලේඛකයා විසින් එකතු කරන ලද බඹර කවි සියල්ලන්ම තත්වාකාරයෙන් සිංහල භාෂාවෙන් පළකරනු ලැබීමය. ඒ කවි ආශ්‍රිත සවිස්තරාත්මක සටහන පමණි, ඉංග්‍රීසියෙන් ලියන ලද්දේ. පසුකලෙක මෙම බඹර කවි ලිපිය සිංහල බසට පරිවර්තනය කරන ලදුව ‘බඹර කවි’ නමින් පොත් පිංචක් ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින් 2003 වසරේදී පළ කරන ලදි.

‘බඹර කවි’ ලිපියේ අග, මෙකී ශාස්ත්‍රීය අධ්‍යයනය සඳහා සැකසුණු පසුබිම ගැන කතුවරයා මෙසේ සඳහන් කරයි. “මෙහි සඳහන් කවි සහ තොරතුරු සියල්ල එකවර එකතු කර ගන්නා ලද්දේ නොවේ. එය දීර්ඝ කාලයක් පුරා සිදුවූවකි. ඇතැම් කවි සහ විස්තර අදාළ පෙදෙස්වලින් සොයා ගන්නා ලද්දේ 1943දීය. එසේ එකතු කළ විස්තර ප්‍රමාණය 1946දී තවත් දීර්ඝ විය. තොරතුරුවලින් වැඩි කොටසක් රැස් කළේ 1956දීය. පළමුවෙන්ම වේරගල පළාතේ නමගිය පැණි රැස් කරන්නකු මුණගැසී, මේ පැණි ලබාගන්නා ආකාරයද ඒ හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ද එකී ක්‍රියාවලියෙහිදී ගැයුණු කවිද ඔහුගෙන් අසා ලබා ගැනිණ. පසුව ඌවේ වෙනත් ප්‍රදේශවල පැණි රැස් කරන්නන්ගෙන් තොරතුරු ලබා ගැනිණ.”
මෙම රචනාවේ දැක්වෙන අනුමාතෘකා සහ බඹර කවි කීපයක් මෙහිලා ගෙන හැර දැක්වීම වටනේ යයි සිතමු.
‘බඹර කවි හෙවත් මාලි ගී’, ‘ගස්වලින් පැණි රැස් කිරීම’, ‘හෙල්වලින් පැණි රැස් කිරීම’, ‘පැණි රැස් කරන්නට ගිය මිනිසුන් තිදෙනාගේ කතාව’, ‘මාලි ගී, ‘යාදින්න’ සහ ‘ඉරණම් කවි’ ආදි වශයෙනි, අනුමාතෘකා යොදා ඇත්තේ.

1965 වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස්වීමක් ලද ආතර් ඩෙප් වැඩබලන පොලිස්පති වශයෙන් කීප අවස්ථාවකදී කටයුතු කරැත. වසර 30ක පමණ කාලයක් පොලිස් සේවයේ නිරත වූ හෙතෙම 1972දී ඉන් විශ්‍රාම ලැබීය.
එතැන් සිට ඔහු සිය කාලය මිඩංගු කළේ ශාස්ත්‍රීය නිබන්ධ සම්පාදනය කරනු පිණිසය; එමෙන්ම මලල ක්‍රීඩා උපදේශකවරයකු සහ පරිපාලකවරයකු හැටියට කටයුතු කරනු පිණිසය.

ඔහු විසින් රචිත ලිපි සියල්ලම පාහේ ඓතිහාසික සිදුවීම් අළලා ලියැවුණු ඒවා විය. ඉංග්‍රීසියෙන් ලියන ලද ඒ ඇතැම් ලිපි රාජකීය ආසියාතික සංගමය පළ කළ සඟරාවේ සහ ‘ඇක්වයිනාස් ජර්නල්’ වාර ප්‍රකාශනයේ පළවූ අතර ඉන් තෝරා ගත් කීපයක් පසුකලෙක මුද්‍රිත ග්‍රන්ථ හැටියටද පළ කෙරිණ. ආතර් ඩෙප් විසින් එසේ ලියන ලද ඉංග්‍රීසි ලිපි අතර ‘වත්තල අප්පු, මහා චරපුරුෂයා, මල්වාන සහ එහි ඉතිහාසය’, ලංකාවේ මලල ක්‍රීඩාව (1868-1900) සහ ‘ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ ආදි සිංහලයෝ’ වැනි රචනා ප්‍රධානය. ‘ලංකාවට පැමිණි ඊජිප්තු පිටුවහල්කරුවෝ’ කෘතිය එළිදක්වනු ලබන්නේ 1983දීය. ‘ලංකා පොලිසිය සහ 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය’ ඔහු විසින් රචිත තවත් කෘතියකි.

ආතර් ඩෙප් විසින් ලියන ලද අගනාම කෘතිය හැටියට සැලකෙනුයේ 1795 සිට 1866 දක්වා සහ 1866 සිට 1913 දක්වා කාලපරිච්ඡේදවලට අදාළ ‘ලංකා පොලිස් ඉතිහාසය’ පිළිබඳ කෘතියයි. මෙය තත් විෂය අරබයා ඔහු විසින් කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයකි. පාදක සටහන් සහ උපග්‍රන්ථයකින්ද දුර්ලභ ගණයේ ඡායාරූප සහ සිතියම්ද සහිත මේ දැවැන්ත කෘතිය වෙළුම් දෙකකින් සමන්විතය. මෙවැනි ඉතිහාසයක් ග්‍රන්ථාරූඪ කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වුවද අභිප්‍රේත කාර්යය මනාව සහ ප්‍රශස්ත අයුරින් ඉටුකිරීමට කතුවරයා සමත් වෙයි. මෙම කෘතිය සඳහා ‘පෙරවදන’ සපයනුයේ එම කෘතිය මුලින් පළවූ කාලයේ (1969) පොලිස්පති ධුරය හෙබවූ ඊ.එල්. අබේගුණවර්ධන මහතාය. ‘වගකිව යුතු රාජකාරි රාශියක් අතරේ නිරතවෙමින් වුව තමා ලද සුළු විවේක වේලාව මේ සා මහඟු කටයුත්තක් සඳහා මිඩංගු කිරීමට කතුවරයා ගත් උනන්දුව මහත් ඇගැයුමකට ලක්විය යුතු බව” පොලිස්පතිවරයා එහිදී සඳහන් කරැත.

මෙම කෘතියේ පිටපතක් කතුවරයා ජීවත්ව සිටි කාලයේම ත්‍යාගයක් හැටියට ලැබීම අප ලද භාග්‍යයක්මැයි.
මෙම කෘතිය හුදෙක් පොලිසියේ ඉතිහාසය පමණක් ගොනුකර ගත්තක් නොවේ. අදාළ වකවානුවන්හි මෙරට සමාජීය වටාපිටාව – රාජ්‍ය සේවය – සුබ සාධනය – ක්‍රීඩාව – අපරාධ සහ කැරලි කෝලාහල ඇතුළු බොහෝ කරුණු කාරණා දීර්ඝ ලෙස විස්තර කෙරෙන්නකි. මේ කෘතියේ සෑම ඡේදයකම දැක්වෙන කරුණු කාරණා කෙතරම් සාර්ගර්භදැයි කියතොත් ඒ එක් කෙටි ඡේදයක සඳහන් කරුණුවලින් වුව අලුතින් ලිපියක් හෝ ග්‍රන්ථයක් සම්පාදනය කරන්නට ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකුට ඉඩ ප්‍රස්ථාව ඇති තරම්ය. එය ඒ සා මූලාශ්‍ර උල්පතකි.

1866 පමණ මෙරට පොලිසියේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ ජෝර්ජ් විලියම් රොබර්ට් කැම්බෙල් නමැති සුදු ජාතිකයාය. ලංකාණ්ඩුව විසින් මෙහි කැඳවන විට ඔහු ඉන්දියාවේ රාජකාරියේ නිරතව සිටියේය. කතුවරයා සඳහන් කරන ආකාරයට මේ පොලිස් ප්‍රධානියාගේ වැටුප රුපියල් එක් දහසකි. ඊට අමතරව ගමන් වියදම් සහ නිවාස දීමනාවක්ද විය. “කැම්බෙල්ට ඕනෑ වුණේ තම නිලධාරීන් සේරම දෙනා ඒ අයගේ පවුල්වල කට්ටියත් එක්ක එකට ඉන්නවා දකින්ඩ. පවුලේ අය වෙන කොහේ හරි ඉන්න කොට මේ නිලධාරීන් තනිවම බැරැක්කවල ඉන්නවා දකින්නට ඔහු කැමති වුණේ නැහැ.” විවාහක නිලධාරීන් සඳහා පොලිස් ස්ථානවල බැරැක්ක ඉදිකිරීමේ යෝජනාව කැම්බෙල් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. මේ සඳහා “අඩි 11×11 කාමරයක් සහ අඩි 11 × 7 වැරැන්ඩාවක් සහිත ස්ථානයක් හොඳටම සෑහෙන බව” ඔහුගේ මතය විය. (132 පිට)
1906 පැවති කරත්තකරුවන්ගේ වැඩවර්ජනය ගැන සවිස්තරාත්මක සටහනක්ද මෙහි දැක්වේ.
පොලිසියේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කච්චේරියේ පිහිටි පොලිස් කාර්යාලයේ සේවයේ නිරත සිවිල් නිලධාරීන්ටද අවස්ථාව සැලසුණු ආකාරය විස්තර කරන ලේඛකයා එම දායකත්වය මත 1908 සහ 1910 වසරවල රජයේ සේවා ක්‍රිකට් ශූරතාව ඔවුන් දිනාගත් බවද සඳහන් කරයි.

කතුවරයා මෙම කෘතිය පිළිගන්වා ඇත්තේ තම මාපිය දෙපළටය. කතුවරයාගේ පියාණන් වූ ලැම්බර්ට් ඩෙප් ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූවෙකි. ආතර් ඩෙප්ගේ සහෝදරයන් වූ තෝමස් (ක්‍රිකට් -එස්.එස්.සී සහ සැරසන්නී), වින්සන්ඞ් පසුව වින්සන්ට් ඩෙප් පියනම (මල්ලවපොර), ජෝර්ජ් (රිටි පැනීම සහ මල්ලව පොර) සහ ලූෂන් – පසුව ලූෂන් ඩෙප් පියනම) 1948දී පාසල් ශූරතා තරගාවලියේදී රිටි පැනීමේ ඉසව්ව සඳහා පිහිටුවූ නව වාර්තාව පුරා වසර පනහකට ආසන්න කාලයක් නොබිඳී පැවතිණ.

ආතර් ඩෙප්ගේ දරුවෝ සියලු දෙනාමද, ඇන්ටනට් (වෛද්‍යවරියකි.), මාරි (ආර්ථික විද්‍යා උපාධිධාරී ගණකාධිකාරිවරියකි), ප්‍රියසත් (ශ්‍රී ලංකාවේ වත්මන් අගවිනිසුරු), සිරිමත් (සිවිල් ඉංජිනේරුවරයෙකි), ක්ලීටස් (මහාධිකරණ විනිසුරුවරයෙකි) සහ ආචාර්ය ලීනන් (භෞතික විද්‍යා විශේෂ උපාධිධරයෙකි) මලල ක්‍රිීඩාවේ නිරත වූවෝ වූහ. මේ අතරින් සිරිමත් (කඩුලු පැනීම) සහ ක්ලීටස් (උස පැනීම) පාසල් ශූරතා තරගාවලියේ අවුරුදු 17 වයස් සීමාවේදී නව වාර්තා පිහිටුවමින් දස්කම් දැක්වූවෝ වූහ. මරදානේ ශාන්ත ජෝශප් විදුහලේ උගත් සමයේ ප්‍රියසත් පාසලේ මලල ක්‍රීඩා, පාපන්දු සහ රග්බි කණ්ඩායම්හි සාමාජිකයකු වූ අතර සිරිමත් ක්‍රිකට් සහ මලල ක්‍රීඩාවේ යෙදුණෙක් විය. ඔහු පළමු පෙළ සරා කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූයේ පේරාදෙණිය සරසවි පිල නියෝජනය කරමිනි. මෙකී මලල ක්‍රීඩා උරුමය තවත් ඉදිරියට ගෙනයමින් ප්‍රියසත්ගේ පුත් චරිත් 2003 වසරේ කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළේය.

1997දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම සංගමය විසින් අගනා සමරු කලාපයක් පළකරන ලදි. එය මෙරට මලල ක්‍රීඩා ඉතිහාසය සඳහන් අත්පොතක් බඳු පුස්තකයකි. 1922-1997 අතර වූ වසර 75ක කාලය තුළ මෙරට මලල ක්‍රීඩාවේ විශිෂ්ටතමයන් :්කක ඔසපැ ඨර්ැ්එි* පිළිබඳ සඳහනක් එහි විණ. එය කිසියම් ශ්‍රේණිගත කිරීමක් මත ලකුණු ලබාදී විනිශ්චයට ලක් කරනු ලැබූවකි. එහි කාන්තා අංශයේ මුල් ස්ථාන තුන සඳහා පිළිවෙළින් සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ සහ විජිතා අමරසේකර යන ක්‍රීඩිකාවන් සඳහන්ය. පිරිමි අංශයේ මුල් ස්ථාන හය සඳහා පිළිවෙළින්: ඩන්කන් වයිට් (මී. 400 කඩුලු පැනීම), නාගලිංගම් එදිරිවීරසිංහම් (උස පැනීම), ඩබ්ලිව්. විමලදාස (මී. 400), සී. සේනානායක (කවපෙත්ත විසි කිරීම), කේ.ඒ. කරුණාරත්න (මී. 1000) සහ ආතර් සී. ඩෙප් (රිටි පැනීම) යන මලල ක්‍රීඩකයන්ගේ නම් සඳහන්ව තිබිණ. මීට අමතරව 1922-1997 කාලය තුළ රිටි පැනීමේ ඉසව්වේ විශිෂ්ටතමයා හැටියටද ඩෙප්ගේ නම මුලටම දැක්විණ.

මෙම විශිෂ්ටතමයන්ගේ පෙළගැස්මේ ආතර් සී. ඩෙප්ගේ නමද සඳහන්ව තිබීම 1936-1952 කාලය තුළ ක්‍රීඩකයකු හැටියට මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ඔහුගෙන් සිදුවූ දායකත්වය ඇගැයීමක් ලෙස සැලකිය හැකිය. එසේ වුවත් එම කෘතිය 1997දී පළවන විට ඔහු ජීවිතයෙන් සමුගෙන වසර නවයක් ගතවී තිබිණ.■