රාවය

ගෝණකැලේ දී ගුරු ගීතය දුටිමි

ගෝණකැලේ දී ගුරු ගීතය දුටිමි

නිමල් අබේසිංහ ඡායාරූප රුවන් මීගම්මන

අෑත ගිරිහෙල් මුදුන් තරණය කර පල්ලම් බැහැගෙන ආ ළමයි එකා දෙන්නා පාසලට ඇතුළුවෙනවා. බාහිර පෙනුමෙන් නම් මේ දරුවන් සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා කියන්න බැහැ. ඒත් මේ පාසල තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග තුනම ඉගෙනගන්න බව නම් ඇත්තක්. මේ දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේ අයගේ ජනවර්ගය අදාළ නෑ. එක පවුලක සාමාජිකයෝ වගේ අපූරුවට සහජීවනයෙන් සමාදානෙන් ඉන්නවා. මේ සහජීවන අසපුව තමයි ගෝණකැලේ සිංහල විද්‍යාලය

.

ගෝණකැලේ විද්‍යාලය තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ. නුවරඑළිය පැත්තෙන් යනවා නම් කඳපොළ, හයිෆොරස්ට් පැත්තෙන් යන්න පුළුවන්. හඟුරන්කෙත පැත්තෙන් යනවා නම් හඟුරන්කෙත පදියපැලැල්ලෙන් දකුණට හැරිලා මතුරට හරහා යන්නත් පුළුවන්. මේ කොයි පැත්තෙන් ගියත් ගෝණකැලේට යන්න ඕනෑ අතිශය දුෂ්කර මගක් ගෙවාගෙනයි. ප්‍රවාහන පහසුකම් හොඳටම අඩුයි. පදියපැලැල්ල පැත්තෙන් උදේ ගෝණකැලේ හරහා ගෝණපිටියට දිවෙන බස් රථය පළමු ගමන්වාරය අට වෙනකොට ගෝණකැලේට ළඟා වෙනවා. දෙවැනි ගමන් වාරය සවස හතරට නුවරඑළිය පැත්තෙනුත් පළමු බස් ගමන් වාරය ඇරඹෙන්නේ උදේ අටට.
ගෝණ කැලේ විදුහලේ විශේෂත්වය වන්නේ එදා ඉඳලාම සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් තුනේම දරුවන් ඉගෙන ගැනීමයි. දෙමළ, මුස්ලිම් ළමයි මේ පාසලට එන්නේ ඒ ආසන්නයේම ගෝණකැලේ භාරති විදුහල, මෙරිගෝල්ඞ් දෙමළ විදුහල වාගේ පාසලුත් තිබෙද්දීයි.

මෙතැන තිබෙන අනෙක් විශේෂත්වය තමයි සිංහල පාසලේදී දෙමළ මුස්ලිම් ළමයි සිංහල, බුද්ධාගම වාගේ විෂයයන් ඉගෙන ගත්තත් ඔවුන්ගේ අනන්‍යතාවට කිසිදු හානියක් නොවීම.
එක්දහස් නමසිය පනස් අටවසරේ ළමයි හැට දෙනෙකුගෙන්, ගුරුවරු හතර දෙනෙකුගෙන් පොල් අතු මඩුවක වතු පාසලක් විදියට ආරම්භ වුණ ගෝණකැලේ විදුහල අදටත් ජාතින් අතර සහජීවනය ගැන රටට අපූරු පාඩමක් කියා දෙන විද්‍යාස්ථානයක්. පාසලේ දරුවෝ එක්ක කතාබහ කළාම මේ කතාව හොඳටම තහවුරු වෙනවා.
සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං නාදි ගච්ජන්ති මිච්ඡා සංකප්ප ගෝචරා
මුදලප්පන් ප්‍රදීප්, එකොළහ වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. බුද්ධාගමත් ඉගෙන ගන්නවා කීවා. එහෙනම් බුද්ධාගමෙන් ගාථාවක් කියන්න කියලා මම කිව්වාම ඔහු කීවේ මෙන්න මේ ධම්ම පද ගාථාව. ඇත්තම කියනවා නම් බුද්ධාගම ඉගෙනගත්ත මමත් ප්‍රදීප් කියූ ගාථාව දන්නේ නෑ. අවංකවම මම ප්‍රදීප්ට පරාදයි.

“මගේ හොඳම යාළුවෝ සිංහල අයයි. අපි එකට කනවා. ගෙවල්වලට යනවා එනවා. අපි දෙමළය කියලා මෙහේ සිංහල අය කිසිම වෙනසක් කරන්නේ නෑ. මම හිතන්නේ ලංකාවේ සියලුම පාසල්වල දෙමළ භාෂාවත් දෙමළ පාසල්වල සිංහල භාෂාවත් උගන්වන්න ඕනෑ. ඊටත් වඩා හොඳ සිංහල දෙමළ කියලා පාසල් දෙවර්ගයක් නොතියා, ඕනෑ කෙනෙකුට යන්න පුළුවන් පාසල් තියෙනවා නම් තමා තිබීම.” ප්‍රදීප් එක්ක කතා කළාම කීවේ එහෙමයි.
කේ. ශ්‍රීනාත් මධුසංක එකොළහ වසරේ ඉගෙන ගන්නේ. “දෙමළ ළමයි මේ පාසලෙන් ඉවත්කරනවාට කැමතිද?” මම ශ්‍රීනාත්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

“ඒ මොකටද? අපේ යාළුවෝ මෙහෙම හිටපුවාවේ.” ඔහුත් පෙරළා මගෙන් ප්‍රශ්නයක් අසමින්ම පිළිතුරු බැන්දා.
“සමහර කට්ටිය තමන්ගේ ජාතිය විතරක් ලොකුයි කියලා අනෙක් ජාතිය විනාශ කරන්න හැදුවාට හැම ජාතියක්ම සමානයි.” ශ්‍රීනාත් එහෙම කිව්වා. ඔහුට හැම ජාතියකම මිතුරන් ඉන්නවාලු. මේ යාළුකම් පාසලට පමණක් සීමාවූ දෙයක් නොවෙයි කියලාත් ශ්‍රීනාත් කියනවා. මේ මිතුරන් නුවරඑළියේ, රාගල, වලපනේ වාගේ මෙයාගේ ගම වන ගෝණකැලේත් ඈත ගම්වලත් උදවිය.
“අපිට ජාතිවාදී ප්‍රශ්න නෑ. පුළුවන් නම් මේ පණිවිඩය රටේ හැමෝටම කියලා දෙන්න.”
පුංචිකමට මේ දරුවා අවසානයේදී කියූ කතාව මගේ සිත සසල කළා. ඉහවහා ගිය සිංහල බෞද්ධකමින් නෙත් අඳවුවන්ට මේ නොදරුවා කියා දෙන පාඩම වැටහෙයිද කියලාත් මට සැකයි.

නමය වසරේ ඉගෙනුම ලබන ඩී.එම්. උදේශිකා ප්‍රියදර්ශනී දිසානායක කියන්නේ, ‘සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා නෑ, ඔය කොයි අය අතරත් හොඳ අය වගේම නරක අයත් ඉන්නවා. අපි හොඳ අයගේ පැත්තේ තමා ඉන්නේ’ කියලායි.
“අපේ තාත්තා කීප වතාවක්ම මාව දෙමළ ඉස්කෝලෙට දාන්නද කියලා ඇහැව්වා. මම බැහැ කීවා. මට මේ ඉස්කෝලේ හොඳයි.”
හය වසරේ අධ්‍යාපනය ලබන ජෝදි ප්‍රියා අපටත් වඩා හොඳට සිංහල භාෂාව උච්චාරණය කරනවා. ඇයගේ කථා විලාසය ළගන්නාසුලුයි. ඇය මගේ සටහන් පොතේ සිංහලෙනුත් දෙමළෙනුත් නිමල් කියා ලීවේ මට කරපු පුංචි අභියෝගයක් විදියට වගෙයි. මට දෙමළ අකුරක්වත් ලියන්න බැහැ. දෙවෙනි වතාවටත් මම පරාදයි.
ඒ.එච්. දමුත් දහය වසරේ ඉගෙන ගත්තේ. ඔහුගේ කතා විලාසය දැනමුතුකම් ඇති වැඩිහිටියෙක් වගෙයි.
“අපේ ඉස්කෝලේ වාගේ රටෙත් සමගිය ඇතිකරන්න ඕනෑ. පොඩි පොඩි ප්‍රශ්න තමයි ලොකු කරගන්නේ. මිනිස්සු අතරේ ඉවසීම වාගේම සුහදකමත් තිබෙනවා නම් ගැටුම් අඩුයි. ජාතීන් අතර එකිනෙකා දුරස්ථ වීම නැතිකරන්න ඕනෑ. කවුරුවත් වෙන්කරලා සලකන්න හොඳ නැහැ. අපේ ගම්වල එවැනි තත්ත්වයක් නැහැ. නගරයට ගියාම තමයි මේ වෙනස්කම් අපි දකින්නේ.”

ගෝණපිටිය ගම් අවට මුස්ලිම් ප්‍රජාව ජීවත්වෙන්නේ පවුලේ කීපයක් පමණයි. අතීතයේදී පාසලට මුස්ලිම් දරුවන් හත් අටදෙනෙකු ආවත් අනුපානෙට වගේ දැන් ඉන්නේ එකම දරුවායි. ඇය තමයි අන්වර් තමාදරා. ඇයත් බුද්ධාගම ඉගෙනගන්නවා. හයවසරේ සිටින මේ දැරියටත් අපූරුවට ගාථා කියන්න පුළුවන්. සිංහල දෙමළ මිතුරියන් සමඟ එකපතේ බෙදාගෙන කන වග ඇය මට කීවේ බොහෝම ආඩම්බරයෙන්.
වසර පහළොවක සිට මේ විදුහලේ හය, හත, අට ශ්‍රේණිවලට දෙමළ භාෂාව උගන්වන්නේ සංජය රත්නායක ගුරුවරයායි.
ඔහු කියන්නේ රටේ සැම දරුවෙකුටම කුඩා කාලයේ සිට විවිධ ජනකොටස් සමඟ ඇසුරුකිරීමේ අවස්ථාව හිමිකරදී අත්දැකීම් හුවමාරුවට ඉඩක් ලබාදිය හැකි නම් ඉතාම වැදගත් බවයි. සහජීවනය රටේ ඇතිකිරීමට උනන්දුවන පිරිස්වලට සංජය වැනි ගුරුවරුන්ගේ අත්දැකීම් බොහොම වැදගත් කියලා හිතෙනවා.
වත්මන් විදුහල්පති එස්.එම්. චන්ද්‍රරත්න සමයමන්ත්‍රී.

“මම උපගුරුවරයෙක් විදියට තමයි මෙහෙට පත්වීම අරගෙන ආවේ. මේ වන විට ළමයි එකසිය හැටක් විතර පාසලේ ඉගෙනගන්නවා. ගුරු වරුනුත් ප්‍රමාණවත් තරම් ඉන්නවා. එහෙත් ඒ අයට බලපාන ප්‍රධාන ගැටලුව ප්‍රවාහන පහසුකම් නැතිකමයි. පාසලට පුස්තකාලයකුත් නැහැ. ඒවාගේ අඩුපාඩු ගැන කලාප කාර්යාලය දැනුවත් කරලා තිබෙනවා.”
විදුහල්පතිවරයා එසේ පැවසුවත් එක්තරා අවධියකදී මේ පාසලේ තිබී ඇති ඉසුරුමත් බව හා සසඳත්දී විභාග ප්‍රතිඵල පාර්ශ්වයෙන් එතරම් දියුණුවක් ඇති බවක් නම් පෙනෙන්නට නැහැ. මෙවැනි දුෂ්කර ප්‍රදේශවල දිළිඳු දරුවන්ට ගොඩ යන්න පුළුවන් හොඳම ක්‍රමය තමා විභාග සමත් වී ඉහළට ඉගෙන ගැනීම. ගෝණකැලේ වැනි අතිදුෂ්කර ප්‍රදේශයකට ගිය කෙනෙකුට ඒ දෙය හොඳටම වැටහේවි.

ගෝණකැලේ පාසලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය හැටක් වුවත් ළමයි පන්සීයකටත් වැඩියෙන් ඉගෙන ගත්ත, විභාග ඉහළින් සමත් වුණ, ඉසුරුමත් අවධියකුත් තිබිලා. ඒ තමයි ඊ.ඩබ්ලිව්.එම්. කුලසිංහ බණ්ඩා විදුහල්පතිවරයාගේ පාලන සමය. වැටුපෙන් 6%ක සීතල දිමනාවක් ද ලබමින් පාසල් ගුරු නිවාසයේ ඔහුත් බිරිඳත් දරුවනුත් සමඟ නතර වී මෙහි දිළිඳු දරුවන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාදුන් ගෞරවනීය ගුරුවරයෙක්. ගමනාගමන පහසුකම් නොතිබු ඒ අවධියේ ඔහුට පදියපැලැල්ලේ සිට සැතපුම් දහයක පමණ මහගිරි දඹයක් නැග පාසලට දිනපතා ආගිය නොහැකි නිසායි එසේ දරුවන්ද සමඟ පාසල් බිමේ නතරව සිට ඇත්තේ.
ගුරු දිවියෙන් ඉසුඹු ලැබ සිය නිවසේ සිට තවමත් ප්‍රජා කටයුතුවල නියැලෙන කුලසිංහ බණ්ඩා මහතාගෙන් අතීත ශ්‍රී විභූතිය ගැන තොරතුරු අපි ඇහුවා.

“මම ඔය පාසලට යන කොට ළමයි එකසිය අටයි හිටියේ. ඒත් දිනපතා පැමිණීම හැත්තෑවක් අසුවක් විතර. ළමයි වතුවල වැඩට යනවා. මව්පියන්ටත් ළමයි පාසලට එවන්න වුවමනාවක් නැහැ. ගුරුවරු හතරයි හිටියේ. අපි දෙන්න ගියාම හයක් වුණා. එක්දහස් නවසිය අසූ අට අසූනමය වෙනකොට ළමයි හාර පන්සීය දක්වා වැඩි කරගන්න හැකි වුණා. මම එහෙන් එනකොට ළමයි පන්සිය තිස්පහක් හිටියා. ගුරුවරු විසිහතයි.
රටේ වාර්ගික අර්බුදයක් තිබෙද්දී අපි අපේ පාසලේ එවැන්නක් තිබෙන බවවත් ඇඟවුවේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග තුනම පාසලේ ඉගෙන ගත්තා. මට මතකයි දක්ෂ මුස්ලිම් ළමයි කීපදෙනෙක්ම හිටියා. සිත්ති අම්සියා, තජීමා, උම්මාසිදා ඒ වාගේ ළමයි. ශීව ශම්මුගනාදන්, දේවිකා වාගේ දෙමළ ළමයි හිටියා. දේවිකා සිංහල භාෂා තරගවලින් හැමදාම දිනනවා. එයා දැන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක්.”
කුලසිංහ විදුහල්පති වරයා අන් දරුවන්ද තම දරුවන් සේ සැලකු අයෙකි. සිය දරුවන් නගරයේ පාසලකට යැවීමට හැකියාව තිබියදීත් එසේ නොකර සිය පාසලේදීම අධ්‍යාපනය ලබා දුන්නේ ඒ නිසාය. ඔහුට ජාති ආගම් භේද නැත.
ඔහු ගුරු මණ්ඩලයද මැනැවින් මෙහෙයවන්නට සමතෙක් බව පෙනෙයි.

“කොච්චර දුෂ්කර පළාතක් වුණත් පාසලට ප්‍රමාද වී පැමිණෙන්න මම ගුරුවරුන්ට ඉඩක් දුන්නේ නෑ. ඉගැන්වීමේ කටයුතු පැහැර හරින්න ඉඩක් දුන්නෙත් නෑ. ඒ වාගේම ගුරුවරුන්ට කිසිම කෙනෙකුගෙන් කරදරයක් වෙන්න ඉඩක් තිබ්බෙත් නෑ.” හිටපු විදුහල්පතිවරයා කියයි. එහි ප්‍රතිඵලයක් වූයේ එකල ඉගෙනගත් දරුවන්ගෙන් බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනයට පිවිස රජයේ රැකියාවලට යෑමයි. ඔහු සිය කාර්යය මැනවින් ඉටු නොකළේ නම් දුප්පත් දමිළ, වතු කම්කරුවන්ගේ දරුවන් අධ්‍යාපන අධ්‍යක්ෂවරියන්, උසස් පොලිස් නිලධාරීන් බවට පත්වන්නේ නැහැ.

“ඉගෙන ගන්න පුළුවන් අයට අත දුන්නා වගේම එසේ නොහැකි අයට යහපත් පුරවැසියන් විදියට ජීවත්වෙන හැටියත් කියා දුන්නා. නව්ෆීල් කියලා තරමක දඩබ්බර මුස්ලිම් ළමයෙක් හිටියා. ඔහු අධ්‍යාපනයට එතරම් ළැදි කෙනෙක් නොවෙයි. එහෙත් අද ඔහු ව්‍යාපාරයක් කරගෙන හොඳට ජීවත්වෙනවා. ඒකනේ අපෙන් ඉටුවෙන්න ඕනෑ.
අවංකව වැඩ කරනවා නම් ඒ වාගේ කෙනෙකුට ඕනෑ තරම් උදව් කරන්න අයත් සිටිනවා. සිංහල මුස්ලිම් දෙමළ සහජීවනය සඳහා අපට උදව් කළ පිරිසක් හිටියා. සුබසිංහ පෙරේරා, ජෝර්ජ් පෙරේරා, ආර්.ඇම්. අප්පුහාමි, සෝමරත්න දිසානායක, ලෝටස් මුදලාලි, චන්ද්‍රදාස මුදලාලි ඒ අයගෙන් කීපදෙනෙක්. ඒ අයගේ සහයෝගයත් මගේ සාර්ථකත්වයට එක හේතුවක්.

මේ ගම්වල සිංහල, දෙමළ ප්‍රජාවන් අතර විවාහ සිද්ධ වුණා. මම හිතන්නේ මේ ක්‍රමය දිගටම යන්න ඉඩ සැලැස්සුවා නම් අපේ රටේ මේ තරමට ජාතිවාදී ගැටුම් ඇතිවෙන්නේ නෑ. මිනිස්සු විරසක වෙන්නේ නෑ.’‘ හිටපු විදුහල්පතිවරයා කියයි.
ගෝණකැලේ විදුහලේ සහජීවන වටපිටව අදටත් පවැතුණත්, අධ්‍යාපනය පැත්තෙන් ගත් විට සෑහීමකට පත්විය හැකි ප්‍රවණතාවක් දකින්නට නැහැ. අතීත ශ්‍රී විභූතිය සිහිපත් කර එය වසාගන්නටද නොහැකියි. ඒ නිසා අධ්‍යාපනය පැත්තෙන් ඉහළ ප්‍රතිඵල ලබාදෙන්නටත් පාසලේ වත්මන් විදුහල්පතිවරයා උත්සාහ ගන්නේ නම් ඉතාමත්ම වටින බව කියන්න ඕනෑ. එවිට සහජීවනයේ කේන්ද්‍රස් ථානයක් සේම උසස් ප්‍රතිඵල ප්‍රදර්ශනය කරන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසටත් ගෝණකැලේ විදුහල ජනප්‍රියකමක් දිනා ගැනීමටත් කාටවත් වලක්වන්න බැහැ.■