රාවය

නොකී කතා එකතුකළ අන්ටෝල්ඞ් ස්ටෝරීස්

නොකී කතා එකතුකළ අන්ටෝල්ඞ් ස්ටෝරීස්

තරිඳු උඩුවරගෙදර |රේඛා නිලුක්ෂි හේරත්

ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ තරුණ නිර්මාණ කරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණ ඇතුළත් දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් ‘අන්ටෝල්ඞ් ස්ටෝරීස්’ නමින් පසුගිය 23 වැනිදා සිට 27 දක්වා කොළඹ ලයනල් වෙන්ඞ්ට් ශාලාවේදී පැවැත්විණි. ජුලි 23 වැනිදා ප්‍රදර්ශනය අරඹන්නට හේතු වී තිබුණේ කළු ජූලිය නම් සිදුවීම් මාලාව 1983 ජුලි 23 වැනිදා ඇරඹුණු නිසාය. එහෙත් නිර්මාණ සඳහා කළු ජූලියම තේමා කර නොතිබුණු අතර නිර්මාණකරුවන්ට කියන්නට අවැසි, තමන් නොකී කතාවක් දෘශ්‍ය කලා නිර්මාණයක් හරහා ඉදිරිපත් කිරීම ප්‍රදර්ශනයේ අරමුණ වී තිබුණි. තෝරාගත් කලාකරුවන් සඳහා වැඩමුළුවක්ද පවත්වා තිබුණි. මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් වූ කලාකරුවන් සමඟ අප කළ කෙටි අදහස් හුවමාරු ඇසුරෙන් සකස් කළ ලිපියකි.

අසංක මංජුල මේ
ඔහු කැලණිය වෙදමුල්ල මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. චිත්‍ර ශිල්පියෙකි. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය හැදෑරුවේය. මීට පෙරද සමූහ ප්‍රදර්ශන කිහිපයකට ඔහු සහභාගී වී ඇත. ඔහු ඉදිරිපත් කර ඇති නිර්මාණය සබරගමු වෙස් මුහුණු ඇසුරෙන් නිර්මාණය කර ඇත. එකිනෙකට වෙනස් වෙස්මුහුණු තුනක් ඔහු නිර්මාණය කර ඇත.
‘ශ්‍රී ලාංකිකයන් බෙදිලා ඉන්නේ ජාතීන්, පක්ෂ, ආගම්, කුල විදියට. මිනිසුන් තනි තනිව හිතනවා වෙනුවට මේ විවිධ දේවල් නියෝජනය කරන නායකයන් හිතන දේවල් අනුව කටයුතු කරන්න ගන්නවා. ඒක අලුත් විදියක වහල්කමක්. එතකොට සියල්ලන් තමන්ගේ මුහුණ වෙනුවට නායකයන්ගේ මුහුණු පැළඳගන්නවා. නායකයන් කියන ඕනෑම දෙයක් සාධාරණීකරණය වෙනුවෙන් තර්ක ගොඩනඟාගන්නවා. ඒක තමයි මම වෙස්මුහුණු හරහා පෙන්වන්න උත්සාහ කරන්නේ. මිනිස්සු තම තමන්ගේ ස්වාධීන ඇසෙන් ස්වාධීන ආකල්ප එක්ක එදිනෙදා වෙන දේවල් දිහා බලන තෙක් මේ ප්‍රශ්න මේ විදියට පවතිනවා.’

දර්ශියා ඉලංගෝවන්
දර්ශියා බොගවන් තලාවේ සිට පැමිණි තරුණියකි. ඇය යාපනය විශ්වවිද්‍යාලයේ කලා උපාධිය හදාරා ඇත. දර්ශියාගේ නිර්මාණය වී තිබුණේ එම්බ්‍රොයිඩර් නිර්මාණයකි. එය නම් කර තිබුණේ ‘ටි්‍රක්ස්’ යන නමිනි. දර්ශියා අප සමඟ කීවේ තමන්ගේ නිර්මාණය කඳුරට දෙමළ ජනතාව පිළිබඳ කතාබහ කරන නිර්මාණයක් බවයි.
‘මම පොඩි කාලේ ආච්චි අම්මා අපට කතා කියලා දුන්නා. ඒ කතාවල සමහර තැන් එයා අපට තේරුම් කරලා දුන්නා. ඒත් සමහර දේවල් අපටම තේරුම් ගන්න දීලා ආච්චි නිහඬව හිටියා. එම්බ්‍රොයිඩර් නිර්මාණයක් කරන්න ප්‍රධාන හේතුව වුණේ පොඩි කාලේ ඉඳලා මම දැක්කා මගේ ආච්චි අම්මා එම්බ්‍රොයිඩර් කරනවා. පස්සේ කාලේ එයාලා මටත් එම්බ්‍රොයිඩර් ඉගැන්වුවා.’ ඇය තමන් එම්බ්‍රොයිඩර්වලට ඇලුම් කරන්නට හේතුව පැහැදිලි කළාය.
එම්බ්‍රොයිඩර් නිර්මාණය කොළපැහැ වළල්ලකින් වටවී තිබේ. කඳුරට ජනතාවත් විවිධ සීමා වළලුවලින් වටවී සිටිති. ‘ලංකාවේ පුරවැසියෝ ඉන්දියාවේ ඉඳලා ලංකාවට අවුරුදු දෙසීයකට කලින් එක්කාගෙන ආවා. අපව සම්පූර්ණයෙන් පුරවැසියන් විදියට ලංකාවේ අය පිළිගත්තේ නැහැ. ඒ නිසයි අපට තවම ඉන්දියානු දෙමළ කියලා සමහරු කියන්නේ. එහෙත් ඉන්දියාවට ගියොත් එයාලා අපට කියයි අපි ලාංකික දෙමළ කියලා. එතකොට මේ දෙපැත්තේම අපට ඉඩක් නැහැ. බි්‍රතාන්‍ය පාලකයෝ ලංකාවට ඉන්දියාවේ සිට කම්කරුවන් ගෙන්වාගත්තේ බොරු පොරොන්දු රැසක් දීලා. මෙහේදී දෙන පහසුකම් ගැන අහස උසට බලාපොරොත්තු දීලා. සමහර පොරොන්දු කිසිම ඇත්තක් නැති බොරු. තේ ගස් යට උම්බලකඩ, පොල් තියෙනවා කියලා එදා ඉන්දියාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා ලංකාවට ගෙන්වාගත්තා. ඇත්තටම ඒ මිනිස්සු ඒ වගේ බොරුවකටත් රවටාගන්න පුළුවන් නූගත් අහිංසක මිනිස්සු. දැන් අපි නිදහස්. හැබැයි ඒ නිදහස අපි එක් සීමාවක ඉන්නකන් විතරයි. දැන් අපට ලැබෙන නිදහස ඇතුළේ කියන්නේ ඔයාලා නිදහස්, හැබැයි ඔයාලාගේ තරම දැනගෙන ඉන්න කියන එකයි.’

දුලානි සූරියබණ්ඩාර
දුලානි සූරියබණ්ඩාර කුරුණෑගල තරුණියකි. ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවාය. ඇගේ නිර්මාණය ඇය නම් කර ඇත්තේ මවගේ ආදරය නමින්ය. ඉහළ සිට පහළට එල්ලෙන බල්බ සහ බල්බය තුළ සිරින්ජර කටු, පුළුන් ඇගේ නිර්මාණය තුළ ඇත. සියල්ලට පහළින් ලේ පැහැ ගැන්වුණු කලලයක් ඇත. ඉහළ සිට එල්ලෙන බල්බ ගර්භාෂ මෙනි. පෙකණිවැල් දිගේ එල්ලුණු ගර්භාෂ මෙනි. ‘මවගේ ආදරය’ ඇගේ නිර්මාණයේ නමයි. බෞද්ධයන් ආඩම්බර වෙන්නේ මවට දණගසා වඳින එකම ජාතිය තමන්යැයි කියමිනි. මාපියන්ට වැඩිපුරම ගරුකරන රට ලංකාවයැයි කියති. අනෙක් අතින් ඇගේ නිර්මාණය තුළින් මතුවෙන්නේ ලංකාවේ කෙළවරක් නැතිව සිදුවූ ඝාතන ගැන විය හැකිය. මව්වරුන්ගේ කුස් තුළින් බිහිවෙන කෙළවරක් නැති කලලයන් දරුවන් බවට පත්ව අකාලේ මියැදෙන අයුරුත් ඒ මියගිය මව්වරුන්ගේ සෙනෙහස සුසුම් සහ කඳුළු බවට පත්වෙන අයුරුත් ලංකාවට අලුත් අත්දැකීමක් නොවේ.
‘මාතෘ මරණ අතරින් ලංකාව ඉතාම ඉහළ තැනක තියෙනවා. ඒ වගේම ගබ්සාවත් ලංකාවේ විශාල වශයෙන් සිද්ධවෙනවා. හැබැයි ඒ ගබ්සාවන් නීති විරෝධී ඒවා. අඩු වියදමින් කරන්න යන ගබ්සාවක් ඉතාම අනාරක්ෂිතයි. මට නිර්මාණය කරන්න හේතුවුණේ ඒ අදහස. ලංකාවේ මව්වරුන් ගැබ් ගන්නවා. සමහර විට ඒ ගැබ් ගැනීම දරුවෙක් හැදීමේ වුවමනාව නිසා ඇතිවුණු ගැබ් ගැනීමක් නෙවෙයි.’

untolds
කල්ප මධුරංග
ඔහු ශ්‍රීපාලි මණ්ඩපයේ කලා උපාධිය හැදෑරූ තරුණයෙකි. මාරයා+දුර්ගා යනුවෙන් ඔහු තම නිර්මාණය නම් කර ඇත. බෝ ගසක්, සිංහයෙක්, කොටියෙක් මියගිය මිනිසුන්, මියගොස් වැළපෙන මවකගේ තනයෙන් ගලායන කිරිවලින් පිරෙන පුන්කලසක් ඇතුළු සංකේත රැසකින් කල්පගේ නිර්මාණය සමන්විතය.
‘කළු ජූලියෙන් පස්සේ සමස්තයක් විදියට සිංහල බෞද්ධ කියන නිර්මිතය එක්ක කළු ජූලිය සහ යුද්ධය ගැන කතාකරන්නයි මට ඕනෑ වුණේ. අදත් තියෙන අතුරුදන්වූවන්ගේ පවුල්වල අයගේ උද්ඝෝෂණ වෙනකන් වේදනාවේ යථාර්ථය විනිවිද දකින්නයි මට ඕනෑ වුණේ. මම අහලා තියෙන විදියට එල්ටීටීඊ එකේ නායකයෙක්ව මැරුවා කියලා ඒකේ පළිය ගන්න ආමි එකේ දහතුන්දෙනෙක් මරනවා. ඒකට පළිය ගන්න ආපහු දකුණේ දෙමළ අයව මරනවා. අපේ අය ආමි එකට වැදුණු වෙඩි උණ්ඩ දැක්කේ බෝගහට වැදුණු වෙඩි උණ්ඩයක් විදියට. සිංහල බෞද්ධ කියන නිර්මිතයට වැදුණු උණ්ඩ විදියට. ඊට පස්සේ කළු ජූලිය ගැන අපේ අය සතුටුවෙනවා හොඳ පාඩමක් ඉගැන්වුවා කියලා.’
චිත්‍රයේ දුර්ගා, මහී කාන්තාව සිංහල බෞද්ධයන්, දෙමළ ජනතාව පෙනෙන්නට ඇතත් චිත්‍රයේ තේමාව වන මාරයා පෙනෙන්නට නැත. එහෙත් මුළු චිත්‍රයම පෙන්වන්නේ මාරයාවයි. ‘පහුගිය අවුරුදු තිහ හතළිහක් තිස්සේ සිදුවුණ හැමදේම තමයි මාරයා කියන්නේ.’ ඔහු එසේ කියයි. ‘යුද්ධය කියන්නේ දැන් කලාත්මක වස්තුවක්. අම්මලා තාත්තලා මල් වට්ටි අරන් පන්සල් යනවා. හැමදාම බුදුන්ට පහන තියනවා. රෑට ටීවී එක් බැලුවේ යුද්ධයේ ස්කෝ එක කීයද කියලා.’

කැලුම් චන්ද්‍රසේකර
කැලුම් කණ්ඩායමේ වැඩිමලාය. ඔහු විභවි ආයතනයේ අධ්‍යාපනය ලබා ඇත. 2000 පමණ සිට ඔහු කලාකෘති නිර්මාණය කරමින් ප්‍රදර්ශනවලට ඉදිරිපත් කර ඇත. ‘මම ජීවත්වෙන පරිසරය ඇතුළේ සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් පසුබිම හදන්න මම මොනතරම් දායක වෙලා තියෙනවාද කියලා මම කල්පනා කරනවා. මම මගෙන් ඇහුවා සංහිඳියාවට මම දායක වෙලා තියෙනවාද කියලා. මම යුද්ධය කාලයේ යටිහිතින් සතුටුවුණා එල්ටීටීඊ එකේ මරණ සංඛ්‍යාව වැඩි වෙද්දී. මගේ ඇතුළේ අවස්ථාවාදියෙක් ඉන්නවා. මමත් මුස්ලිම් විරෝධී දේවල්වලට යටිහිතින් කැමැත්ත පළකරලා තියෙනවා. ඒක තමයි මම නොකී කතාව. මම හිතන්නේ මමත් වැරදිකාරයක්. මම මේවා කියද්දී කවුරුහරි මට චෝදනා කළොත් ඔයා ජාතිවාදියෙක් කියලා මම ප්‍රශ්න කරන්නේ ඔබ ජාතිවාදියෙක් නෙවෙයිද කියලා. අපි හිතමු උතුරේ කෙනෙක් තමන්ගේ නිර්මාණයක් කරද්දී තමන්ගේ ජාතිකවාදය ඔවුන්ගේ හිත ඇතුළේ තියෙනවා. ඒ කල්පනාවේ ප්‍රතිඵලයක් මේ මූර්තිය.’
තම තමන් තුළ ඇති අවස්ථාවාදියා පරාජය කළයුතු බව ඔහු කියයි. ඔහුගේ නිර්මාණය තුළ එක්තරා විදියකට ලංකාවේ විප්ලවවාදියාද නිර්මාණය කර ඇත. ලංකාවේ විප්ලවවාදියා ජාතිවාදියෙකි. විප්ලවයේ විවිධ තේමා තිබුණත් ජාතිවාදයට එරෙහිව විප්ලවය කතාකරන්නේ නැත. ලෝක ඉතිහාසය විසින් විප්ලව කරන්නන්ට සාමයේ මාවතෙහි වටිනාකම පෙන්වා ඇත. මෑත කාලයේ මැන්ඩෙලා මෙන්ම ගාන්ධි පෙන්වුවේ සමාව දීම, අනෙකා අවබෝධ කරගැනීම මෙන්ම අවිහිංසාව කෙතරම් බලවත්ද යන්නයි. කැලුම් නිර්මාණය කරන අවස්ථාවාදී පොදු මිනිසා තම තමන් තුළ පරාජය කරන තුරු එවන් මාවතක ගමන් කිරීම අපහසුය.

සර්මලා ශන්ද්‍රදාසන්
වේදනාබරම නොකී කතාව තිබුණේ සර්මලාට විය හැකිය. ඇය යාපනයේ තෙලිප්පිලෙහි තරුණියකි. යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. ඇය පිළිකාවක් සමඟ සටන්කරන තරුණියකි. ‘මම උත්සාහ කළේ මම විඳපු පීඩාවන් ගැන කතාකරන්න. මම විඳපු පීඩාවන් දුකක් විදියට මම දකින්නේ නෑ. මම උපේක්ෂා සහගතව ඒ දිහා බලනවා. මට පිළිකාවක් තිබුණා. ඒකට ප්‍රතිකාර කරද්දී දැනුණු වේදනාව මට එළියට පෙන්වන්න අමාරුයි. ඒ ගැන වචනවලින් කියන්නත් මම කැමති නැහැ. පිළිකාව හැදිලා ඉන්නකොට මම පේපර්වර්ක් කළේ හිතට සහනයක් ලබාගන්න. ’
සර්මලාගේ නිර්මාණය මුලින් අප වටහාගත්තේ යුද්ධය පිළිබඳ නිර්මාණයක් ලෙසයි. හැඩතල, යතුරු සමඟින් කොලාජ් එකක් ලෙස කර ඇති නිර්මාණය සම්බන්ධයෙන් සර්මලා සිය අදහස්ද මෙසේ පැවසුවාය. ‘මම කැමති නෑ ඔයාගේ අදහසට බාධා කරන්න. මට දැනුණේ මේ රවුම් හැඩතල පිළිකා සෛල වගේ. මම මගේ පිළිකා සෛල තිරයෙන් දැකලා තියෙනවා. ඉතින් මට ඒවා තමයි මේක නිර්මාණය කරද්දී ඔළුවේ තිබුණේ. ඒත් යුද්ධයත් පිළිකාවක් නෙවෙයිද.’ ඇය එසේ අසන්නීය.■