රාවය

මෙරට ළමා සාහිත්‍යයේ ගමන් මග වෙනස් කරමු

මෙරට ළමා සාහිත්‍යයේ ගමන් මග වෙනස් කරමු

රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන

ෙමරට ළමා සාහිත්‍යය ගැන මා මෙම ලිපිය ලියන්නේ THE MAGIC SCHOOL BUS ඇතුළු ළමා පරිවර්තන කෘති 50 කට අධික සංඛ්‍යාවක් මෙරට දහස් සංඛ්‍යාත දරු පිරිසක් අතට පත් කොට ලබා ගත් පරිචය ඇසුරිණි.
නොබෝදා දුම්රිය ගමනකදී මාහට කියවන්නට ලැබුණු ඉංග්‍රීසි පොත් 3ක සංක්ෂිප්ත සිංහල පරිවර්තනයන් 3ක් පහතින් ඔබට ඉදිරිපත් කරමි. දුම්රියට ගොඩවූ පොත් වෙළෙන්දා මේ පොත් තුන සඳහාම මගියකුගෙන් අය කළේ රුපියල් 50කි. පොත් සියල්ල උණු කැවුම් මෙන් විකිණිණි.

. . . . . ඉන්පසු ආවේ ජිරාෆ් ය. හොටක් නොමැතිකමින් මුළු දිවියම කුරුල්ලන්ගේ සමච්චලයට ලක් වූ ජිරාෆ්ට මේ නම් අපූරුම අවස්ථාවකි. ගිරවාට ද මහත් සතුටක් දැනෙයි. තමා වැටී ඇති ගැඹුරු වළෙන් ගොඩට එන්නට ජිරාෆ් උදව් වන බවට සැක නැත. ජිරාෆ් කිසිදින නරියා මෙන් අවස්ථාවාදියකු නොවන බව ගිරවාට විශ්වාස ය. … ගතවූ නිමේෂයෙන් සිය හිස වළට යොමුකොට ගිරවාගේ හොට කඩා ගෙන දිවයෑමට ජිරාෆ් සමත් විය. ජිරාෆ් දුර්වල තත්ත්වයේ ලා සැලකූ සියලු පක්ෂීන්ට දැන් කියන්නට දෙයක් නැත. දැන් ජිරාෆ්ට ද හොටක් ඇත…
කුකුළු පැටවා බිහි විය. කිකිළි මෙන් ම අප ද සතුටිනි. ගත වූ දින 60ක කාලය පැටවාට දීර්ඝ ය. අප අත සුරතල් වූ පැටවා වැඩිහිටි වියට පැමිණ ඇත. අපට තවත් සතුටු ය. .. අපි උගේ පිහාටු අත ගෑවෙමු. කරමල කිති කැව්වෙමු. ටටා බායි කියා සමු දුන්නෙමු. කිරි මාමාගේ මස් කඩය ඇතුළට යන තෙක් ම බායි කිව්වෙමු. ඇතුළට යන්නට පෙර අප දෙස හිස ඔසොවා බලන්නට ද අපේ කුකුළු යාළුවා අමතක නොකළේ ය…
මේ අනෙක් පොතේ හමු වන සතුන් දෙදෙනෙකුගේ දෙබසකි.
“මම ඔයා එක්ක තරහයි. ආයෙ මාත් එක්ක සෙල්ලං කරන්න එන්න එපා”
“එතකොට කා එක්කද ඔයා හෙට ඉඳලා සෙල්ලං කරන්නේ?”
“මං අලුත් යාළුවෙක් සොයා ගන්නවා.”
“එයා එක්කත් ඔයා තරහා වුණොත්?”
“තවත් අලුත් යාළුවෙක් සොයා ගන්නවා.”
“ඒ යාළුවාත් එපා වුණොත්?”
“තවත් අලුත් යාළුවෙක් සොයා ගන්නවා….”
කතාව අවසන් වන්නේ තමාගේ දුක සැප බෙදා හදා ගනිමින් කලක් එකට සෙල්ලම් කළ ඉබි යාළුවා හැර දමා යන ඉත්තෑවා සතුටින් දිවි ගෙවන ආකාරය විස්තර කරමිනි.

Bad guys never win හෝ good guys come out in the end යන්න තව දුරටත් ළමා සාහිත්‍යයට වලංගු නැති සෙයකි. ඉහත කතා සංස්කෘතිකමය සංවේදී (culture sensitivity) බවින් තොර වූ කතා යැයි සලකා අයෙකු විසින් ඉවත දැමුණ ද, සැබෑ ලොව යථාර්ථයන් නො වන දේ ළමා සාහිත්‍යයේ දී පමණක් එසේ වන්නේ කුමට දැයි සිතන අයකු මේ පොත් පරිවර්තනය කර හෙට ඔබේ දරුවා අතට පත් කරනු ඇත. එසේ පළ වූ මෙන් ම දැනටත් මෙරට පොත්හල් තුළ අලෙවි වන එවන් ළමා සාහිත්‍ය කෘති එමට ය. ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කරවීම සඳහා ක්‍රියාත්මක වන යන්ත්‍රණයක් නම් මෙරට නැත.

ජලය නොමැති ව බිම ඇද වැටී සිටින සතුන් ඩෝසර් කරගෙන යන ශක්තිමත් සතුන් කතාව අවසානයේ ජය පැන් පානය කරන ආකාරය මෙන් ම (මෙවැනි කාටූන් වැඩසටහන් විකාශනය කරන රූපවාහිනී නාළිකා ද ඇත.) තාරා පැටවුන් තුන් දෙනෙකු සිටින තාරාවකගේ එක් පැටවකු ගිල දැමීම සාධාරණ යැයි සිතන නරින් ගැන වූ කතන්දර පොත් වෙළෙඳ පොළේ දී කියවන්නට හැකි ය. තමාට නොමැති දෙයක් ලබා ගැනීම වෙනුවෙන් අනෙකා පෙළන්නට සූදානම් වීම, තමාට නොමැති හැකියාවන් සහිතවූවන් කෙරෙහි ද්වේෂ සහගත ව කටයුතු කිරීම මෙන් ම ඔවුන් විනාශ කිරීම සඳහා සංවිධානගත වීම ආදිය සාධාරණය කෙරෙන කතාන්දර කියවන්නට සැලැස්වීමෙන් දරුවන් තුළ වර්ධනය වන වටිනාකම් කවරේද?

අපි සිබිල් වෙත්තසිංහගේ “ළිඳේ යකා” ළමා කෘතිය ගනිමු.
යකුන් කිසිවකුට ප්‍රිය මනාප නැත. ළිඳේ යකා ද යකෙකි. එහෙත් කුඩා දරු පිරිසකට මැදි වන යකා දයාව, සෙනෙහස, කරුණාව ඉදිරියේ කාගේත් ආදරයට පාත්‍ර වන, හීලෑ යකෙකු බවට පත් වේ. කාරුණික වීම ඉදිරියේ යක්ෂයකු පවා අහිංසකයකු වන බව කියවන දරුවාට සැබෑ ලෝකයේ දී අන් අයට කරුණාව පෑමේ වටිනාකම නිතැතින් ම අවබෝධ වේ. ඇගේ ම “සණ්ඩුව” නම් ළමා කෘතිය කියවන දරුවකුට හැඟෙන්නේ කුමක්ද? මව්පියන් අතර ඇති වන පුංචි අමනාපකම් හා වාද විවාද සියල්ල රාත්‍රී ආහාරය ගැනීමටත් පෙර අවසන් වන ආකාරයත්, ඔවුනොවුන් අමනාප වී ගත කරනා කෙටි කාලය පවා ඔවුන්ට ඉතා දුෂ්කර එකක් වන ආකාරය හා මව්පියන් එකිනෙකාට තදින් ආදරය කරන බව ය, එකිනෙකාගේ ඇසුර නොමැති ව ඔවුන්ට ජීවත් වන්නට නො හැකි බව ය. මේ කතා කියවන පුංචි දරුවන්ගේ අනාගතයට යහපතක් මිස අවැඩක් වේ ද?

එහෙත් නොබෝ දා පළ වූ එක් ළමා කෘතියක සඳහන් ආකාරයට (අදාළ ලේඛකයා ළමා පොත් ලිවීම ආරම්භ කර ඇත්තේ ධනාත්මක චින්තන වැඩසටහනකට සහභාගි වීමෙන් පසු ඇති වූ අදහසක් අනුව විරැකියාවට පිළියමක් ලෙසය) පාරට නැමී ඇති අඹ අත්තකින් අඹ කඩා ගත් පුංචි පුතකුට ගෙහිමියාගේ එම වයසේ ම දරුවා දොස් නගන්නේ අපේ ගහේ අඹ කඩලා ආයෙ අහු වුණොත් හතරහන්දි කඩනවා, යැයි පවසමිනි. තවත් ළමා කෘතියක කතා නායකයා විසින් තම පන්තියට ඇතුළත් වන නවක ශිෂ්‍යයා පිළිගන්නේ දිය සායම් දිය කළ වතුරින් නහවමිනි, ඒ දෙස බලා සමච්චලයට සහ සරදමට ලක් කරමිනි. නවක ශිෂ්‍යයා සතුව ඇත්තේ එක ම කමිසයක් පමණක් බව දැන ගත් පසුව ද කතා නායකයාට ඒ ගැන කිසිදු හැඟීමක් නැත. සහකම්පනය, සහානුභූතිය, සෙනෙහස හා දයාව පෑම, බෙදා හදා ගැනීම ආදිය පාසල් පෙළපොතින් උගන්නා දරුවාට අප බාහිරින් කියවන්නට සලස්වන්නේ මෙවැනි අකාරුණිකයන් සහ ආත්මාර්ථකාමීන් වීරයන් වන ආකාරය ගැන ය, අකාරුණිකයා කිසිදු දෝෂ දර්ශනයකට ලක් නොවී සමාජයේ යහතින් වැජඹෙන ආකාරය ගැන ය, ඔවුන් වටා සමාජයේ ප්‍රබලයන් රැස් වන ආකාරය ගැන ය. එක් පසෙකින් දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කෑමොර දෙමින් ඉරු දින පන්ති පැවැත්වීම පවා තහනම් කෙරෙද්දී, තවත් පසෙකින් ඕනෑ ම තරාතිරමක අයකු විසින් අවිචාරශීලී ලෙස බස හසුරුවමින් ලියැවෙන ඕනෑ ම කතාන්දරයක් ළමයින් උදෙසා සමාජගත කිරීමේ අවසරය අප ලබා දී ඇත්තේ එලෙසිනි.

දරුවන්ගේ වාග්මාලාවට අලුත් වචන එකතු කිරීමේ මෙන් ම නිදහස් චින්තනය වර්ධනය කිරීමේ හැකියාව ද, මනා ලෙස රචිත ළමා කෘතියකට ඇත. එයට එදා සිට අද දක්වා ම උර දෙන ලේඛක පරපුරක් ද අප සතු ය. එහෙත් ළමයින් තුළ එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාව, ද්වේෂය, කුහකත්වය ජනිත වන ආකාරයේ මෙන් ම පරගැති සංස්කෘතිය උසස් කොට උලුප්පාලන කතා පුවත් කෙතෙක් නම් විවිධ ලේඛකයන් අතින් මෑත දී මෙරට ලියැවී ඇත්ද? පරිවර්තනය හෝ අනුවර්තනය කෙරී ඇත් ද? මේවා ප්‍රකාශනයට අදාළ නිර්ණායක සැකසෙන හෝ අලෙවියට සීමා පැනවෙන හෝ ඒ ගැන මැදිහත් වන අපක්ෂපාතී රාජ්‍ය අධිකාරියක් මෙරට නැත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් මෙම කාර්යය ඉටු වන්නේ යැයි කෙනකු පවසන්නට පුළුවන. නැත, එකී ස්ථානයෙන් කෙරෙන්නේ ඔවුන් වෙත ස්වේච්ඡාවෙන් අවුත් ග්‍රන්ථ ඉදිරිපත් කරන්නන්ගේ කෘති ප්‍රකාශනයට සුදුසු දැයි බලා නිර්දේශ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණි. ඔවුන්ගේ සමීක්ෂකයන් දෙදෙනකු විසින් අගයනු ලැබීමෙන් පසු ප්‍රතික්ෂේප කෙරෙන කෘති වුව ද ප්‍රකාශනය වන්නේ ද නොවන්නේ ද යන්න හෝ අලෙවි වන්නේ ද නොවන්නේ ද යන්න පසු විපරමකට ලක් කිරීමක් එහි කවරකු අතින් හෝ සිදු නොවේ. ඔවුන් අතින් සිදු වන වැදගත් කාර්යයක් වන්නේ අදාළ කෘතිය පාසල් පුස්තකාල සඳහා යෝග්‍ය කෘතියක් බවට වන බලපත්‍රයක් නිකුත් කරනු ලැබීම ය. එහෙත් එය ලබා නොතිබීම ළමා පොත් අලෙවියට බාධාවක් නොවන බැවින් හෝ අදාළ බලපත්‍රය ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමටත්, යම් කාලයක් බලා සිටීමටත් සිදු වීම නිසාවෙන් හෝ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන්නේ මෙරට ප්‍රකාශනයට පත් කෙරෙන ළමා පොත්වලින් අතළොස්සක් පමණි.

මේ කාර්යයට මඳක් සමාන කර්තව්‍යයක් කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ද ඉටුවෙතත් ඒ ද ඔවුන් වෙත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කෙරෙන අත් පිටපත් සඳහා පමණි. ළමා පොත් ලිවීමේ භාරධුරත්වය හඳුනා ගත්, ඒ කටයුත්තේ යම් අභිමානයකින් යෙදෙන්නන් තම පොත් මෙවන් කමිටුවකට ඉදිරිපත් කොට නිර්දේශ ලබා ගන්නේ නම් ළමයින්ට නොගැළපෙන ග්‍රන්ථයක් සමාජගත කිරීමේ පාපකර්මයට දායක නො වී සිටින්නට පුළුවන. සියල්ල වාණිජකරණය වූ සමාජයක අපට එවැනි පිරිස් පමණක් ළමයින් සඳහා පොත් ලියනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ද?

තම ලාභය උපරිම කිරීමේ එකම අධිෂ්ඨානයෙන් කටයුතු කරන අයකු ඇතුළු නො විය යුතු ක්ෂේත්‍රයකි, ළමා පොත් ප්‍රකාශනය. ළමයින්ගේ අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීම අනාගතය සඳහා කෙරෙන ආයෝජනයක් වන්නේ නම්, ළමයින් සඳහා ම ලියැවෙන පොත්පත්හි අන්තර්ගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් මුදල් වැය කිරීම ද අනාගතය සඳහා කෙරෙන ආයෝජනයක් ම ය. ළමයින්ට සුදුසු දේ පමණක් ලියන්නට, මුද්‍රණය කරන්නට හෝ ප්‍රකාශනයට පත් කරන්නට නීති සැකසීම ප්‍රායෝගික නොවන මුත් දරුවන් අතට පත් කරවීමට සුදුසු යැයි විද්වතුන් විසින් නිර්දේශිත ග්‍රන්ථ පමණක් අලෙවි කරන්නට හැකි වන සේ නීති සැකසිය හැකි ය.

මෙරට වාර්ෂිකව පැවැත්වෙන දැවැන්ත පොත් ප්‍රදර්ශන තුළ අඩු මිලට අලෙවි වන පොත් අතර ඉතා ම බාල ගණයේ ළමා කෘති කෙතරම් අලෙවි වේ ද? ළමා මනසට ගෝචර නොවන කතා පුවත් රැගත් ළමා කෘති මෙන් ම අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ බහුල ළමා කෘති ප්‍රධාන පෙළේ පොත්හල් තුළින් ඉවත් කෙරුණ ද, ඒ පොත් ඉතා අඩු මිලට පොත් ප්‍රදර්ශනවල අලෙවි කෙරෙනු දැකිය හැකිය. (මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක යෙදෙන කිසිවකු ගැන අප දැනුවත් නැත.) මෙසේ අලෙවි කෙරෙන පොත් කියවනු ලබන්නේ ද මෙරට කොහේ හෝ ජීවත් වන අපේ ම දරුවෙකු විසිනි. දරුවෝ ඔවුන් කියවන පොත්පත්හි හමුවන චරිත සමග ඉක්මන් මානසික සබඳතාවක් ගොඩ නගා ගනිති. දරුවන්ගේ අනාගත හැසිරීම කෙරෙහි සෘජුවම බලපාන අයහපත් ආකල්ප ඇති කිරීමට හෝ වැරදි පූර්වාදර්ශ සැපයීමට පොත් හල් හිමියන්ට ඉඩ නො තැබීම අධ්‍යාපන අමාත්‍යාංශයේත් ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සියලුම ආයතනයන්ගේත් වගකීමක් ය.

පිටු දහයේ පහළොවේ, වෛවර්ණ කඩදාසියේ මුද්‍රිත බාල ගණයේ ළමා කතන්දර දුම්රියේ සහ බස් රථවල අලෙවි වන්නේ බොහෝවිට ගමින් කොළඹට අවුත් යන අහිංසක අම්මලාට ය. පොත් කියවා බලා මිල දී ගන්නට තරම් කාලයක් හෝ උනන්දුවක් නොමැති මොවුහු රුපියල් විස්සට තිහට දෙන නිසා ම මෙවැනි පොත් මිලට ගෙන තම දරුවන් අතට පත් කරති. ඒවා කියැවීමෙන් දරුවන්ට සිදු වන අයහපතක් ගැන සිතන්නට තරම් ඔවුන්ගෙන් බොහොමයකට අවබෝධයක් ද නැත. කුඩා වැඩිහිටියන්ට ලියන අයුරින් ලියැවුණු හෝ මුලක්, මැදක්, අගක් නොමැති ව ලියැවුණු හෝ කතාවට කිසිසේත් අදාළ නොවන රූප සහිත මෙවැනි ළමා කතා බටහිර වෙළෙඳ පොළේ ද දක්නට පුළුවන. එහෙත් එවැනි රටවල පාඨකයා දැනුවත් ව සිටීම නිසා බොහෝ විට එවැනි පොත් සඳහා කිසිදු ඉල්ලුමක් ජනිත නොවී කාලයත් සමග ක්‍රමයෙන් එවැනි පොත් වෙළෙඳපොළෙන් ඉවත් වනු දැකිය හැකිය. එවැනි පරිසරයක දී ළමා පොත් ප්‍රකාශනයට හෝ අලෙවියට ඉදිරිපත් කිරීමට පෙර අදාළ අධිකාරීත්වයකින් අවසරයක් හෝ අනුමතියක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් හට නොනගිතත් ශ්‍රී ලංකාව වැනි රටකට එය එසේ නොවේ.

මෙ රට බහුතරයක් වැඩිහිටියන් සිය කුඩා දරුවන්ට පොත්පත් මිල දී ගන්නා ආකාරය දෙස පොත් හලකට ගොස් විමසුම් ඇසින් බලා සිටින්නකුට හොඳින් ම පෙනී යන්නක් වන්නේ ඔවුන් ළමා පොත් මිල දී ගැනීමේ දී පොතේ මිල, පිටු ගණන හා කවරයට පමණක් සංවේදී වන බව ය. ඉන්දියාව වැනි රටවල සිදු කර ඇති පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ ද ළමා පොත් මිලට ගැනීම වැඩිහිටියන් විසින් බොහෝ විට සිදු කෙරෙන්නේ සිතා මතා නො ව, ක්ෂණිකව ඇති වන ආශාවකට නතු වීමකින් හෝ පොත දැකීමෙන් ක්ෂණික පෙළඹීමක් ඇති වීම නිසා (සපචමකිැ ඉමහසබට) බව ය. අන්තර්ගතය කියවා බලා තම දරුවාගේ වයස් මට්ටමට ගැළපෙන්නක්දැයි තීරණය කොට ළමා පොත් මිල දී ගන්නෝ වෙතොත් ඒ අතළොස්සකි.

නොසැලකිලිමත් ගැනුම්කරුවන් සිටින රටක ළමා පොත් ප්‍රකාශනයට සහ අලෙවියට බලපාන නීති සම්පාදනය වැදගත් වන්නේ ළමා සාහිත්‍යය යනු සමස්ත රටේ ම අනාගතය වෙනස් කිරීමේ ශක්‍යතාවක් සහිත ක්ෂේත්‍රයක් වන බැවිනි. මේ තත්ත්වය වටහා ගත්ත ද එය නිසි කළමනාකරණයකට නතු කිරීමට මෙරට ග්‍රන්ථ ප්‍රකාශකයන් ඉදිරිපත් නොවන්නේ සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට සහ ව්‍යාපාරයන්ට ඉන් සිදු විය හැකි අලාභය සම්බන්ධයෙන් ඇති බිය නිසා නම් රාජ්‍ය මැදිහත්වීමකින් ළමා ග්‍රන්ථ අලෙවිය නියාමනය වීම වැදගත් වන්නේ ය.

මේ තත්ත්වයේ ව්‍යාප්තියට තවත් තුඩු දී ඇත්තේ පාසල් තුළ විදුහල්පතිගේ අවසරයෙන් පොත් ප්‍රදර්ශන නමින් පවත්වනු ලබන පොත් සල්පිල් ය. අදාළ පාසලේ පුස්තකාලයට පොත් කට්ටලයක් හෝ දෙකක් නොමිලේ සැපයීමෙන් එහා ගිය යමක් මේ වෙළෙන්දන්ගෙන් පාසලට නොලැබෙන අතර දරුවන්ට මේවායේ දී ලබා දෙන්නේ ද සොච්චම් වට්ටමකි. මෙලෙස තම පාසලේ දරුවන්ට අලෙවි කෙරෙන ළමා පොත්වල ගුණාත්මකභාවය කෙසේ වේ දැයි පිරික්සා බලන්නෙක් ද නැත. දරුවන්ගේ ඇවිටිල්ල නිසා ම මව්පියෝ ද පොත් සල්පිල් පැවැත්වෙන දිනයට දරුවා අතට මුදල් දී පාසලට යැවීමට පෙළඹෙති. මෙය ඇතැම් ප්‍රකාශකයන්ට ඉල්ලමකි. සාහිත්‍ය මාසය අත ළඟ බැවින් මේ දිනවල මෙවැනි සල්පිල් බහුල ය. දරුවන්ගේ සිත් ගත් පොත් පත් බොහෝවිට මේවායේ නැත. ඒ වෙනුවට එහි ඇත්තේ වෙළෙන්දාට විකුණා ගැනීමට අසීරු ව කලක් තිස්සේ ගොඩ ගැසී තිබුණු රොඩු පොත් ගොඩකි. රොඩුවලින් යමක් ගෙදර ගෙනෙන දරුවා ඉන් ලබන කිසිත් නැති බව දෙමාපියෝ ද නොදනිති; පාසල ද නොදනී; දරුවා ද නොදනී.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලිඛිත අවසරය මත පමණක් මෙවන් පොත් ප්‍රදර්ශන පාසල් තුළ පැවැත්වීමට ඉඩ දීමෙන් හා විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස අනුමත කෙරුණු ළමා පොත් පමණක් ඒවායේ අලෙවි කරන්නට ඉඩ දීම මගින් මේ තත්ත්වය යම් තාක් දුරට පාලනය කළ හැකිවනු ඇත. ඊට අනුගත නො වන ප්‍රකාශකයන්ට සිය පාසල් භූමිය තුළ ළමා පොත් විකිණීමට අවසර නොදීමට විදුහල්පතිවරුන් ද වගබලා ගැනීම වැදගත් ය. රෝහල් සහ රජයේ ආයතන පරිශ්‍ර තුළ පැවැත්වෙන පොත් සල්පිල් සඳහා ද කීමට ඇත්තේ මේ කතාව ම ය. ඒවායේ ද යම් ක්‍රමවේදයකට යටත් ව නියාමනයකට ලක් වූ ළමා පත පොත පමණක් අලෙවි කරන්නට රාජ්‍ය ආයතන පරිපාලකයන් කටයුතු කරන්නේ නම් තම දරුවන් ද කැටුව එම ස්ථාන කරා දිනපතා ඇදෙන විශාල ගැමි ජනතාවකට යහපතක් ම සැලසෙනු ඇත.

ළමා පොත්පත්හි මිල ප්‍රකාශකයාට රිසි සේ තීරණය කරන්නට අද මෙරට ඇත්තේ අසීමිත වූ නිදහසකි. ළමයින් සඳහා වන හොඳ පොත්වල මිල අධික වීම නිසා බාල පොත් මිල දී ගැනීමට යොමු වන මාපියෝ ද වෙති. මේ අතර කිසිදු හරයක් නැති බාල පොත් ඉහළ මිල ගණන් යටතේ අලෙවියට තැබීමෙන් ඒවා “මිල අධික වී ඇත්තේ හොඳ පොත් නිසා ය” යන වැරදි අදහස පාඨකයන්ගේ මනසට කාවද්දන ප්‍රකාශක පිරිසක් ද අද බිහි ව සිටිති. ළමයින් සඳහා ම ලියැවෙන පොත්වල මිල පාලනයකට යටත් කළ නො හැකි ද?

මෙහි දී සලකා බැලිය යුතු අංශ කීපයකි.
සාමාන්‍යයෙන් මෙරට සිදු වන්නේ ලේඛකයා හෝ පරිවර්තකයා විසින් නිම කරන ලද අත් පිටපත ප්‍රකාශන ආයතනයකට මුද්‍රණය සඳහා භාර දීම ය. (තමා විසින් ම පිරිවැය දරා, පොත් දහසක් පමණ මුද්‍රණය කොට බෙදා හරින්නන්ගේ එනම් කර්තෘ ප්‍රකාශකයන්ගේ තත්ත්වය මින් වෙනස් ය. එය වෙන ම විමසා බලමු.) අත්පිටපත මුද්‍රණයට භාර දීමේ දී ලේඛකයා හා ප්‍රකාශකයා අතර ඇති වන එකඟතාවට අනුව පොත් අලෙවි වූ පසු ඒ පොත්වල මුළු වටිනාකමින් සියයට 10ක් පමණක් ලේඛකයාට හෝ පරිවර්තකයාට ගෙවන ක්‍රමයකි, මෙරට ක්‍රියාත්මක වන්නේ. අප “කර්තෘ භාගය” ලෙස හඳුන්වන්නේ මෙම සියයට 10ක ප්‍රතිශතයයි. මෙය කොහෙත් ම ලේඛකයාගේ කැප කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවන, ඉතා ම පහළ මට්ටමේ වූ ප්‍රතිශතයකි. එය මීට වඩා ඉහළ විය යුතු බව පැහැදිලි ය. කෙසේ වෙතත් මේ සියයට 10 උගුලට හසු වනු රිසි නොවන ලේඛකයෝ සියලු පිරිවැය තමා දරමින්, පොත් බෙදා හැරීමේ බර ද සිය කරට ගනිමින් කර්තෘ ප්‍රකාශකයන් ලෙස නැගී එන ප්‍රවණතාවක් අද මෙරට දැකිය හැකි ය. (ලියන්නට හැකි අයකු මෙලෙස ඉදිරියට ඒම ඉතා ම අගය කළ යුත්තක් ද වේ.) තමා විසින් ම මුද්‍රණය කොට බෙදා හැරීමේ දී ලේඛකයා ලබන ලාභය වැඩි බැවින් පොතේ මිල අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වීම එක් වාසියකි. පොත් ප්‍රදර්ශනවලදී පාඨකයාට වැඩි වට්ටමක් ලබා දිය හැකි වීම තවත් වාසියකි. (පාඨකයාට සියයට 20ක වට්ටමක් වසර පුරා ම ලබා දීමේ අරමුණින් මෑත දී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ප්‍රකාශන අංශය මගින් ආරම්භ කරන ලද නව ව්‍යාපෘතිය ද අගය කළ යුතු ය. මේ පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම ද අදාළ අංශ කළ යුත්තකි.)
ළමා පොත් සම්බන්ධයෙන් අද දැකිය හැකි ප්‍රවණතාව වන්නේ පරිවර්තන කෘති සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ව තිබීම ය.

ළමා පොත් පරිවර්තන කාර්යයේ පරිචයක් සහිතවූවන්ට මුල් ප්‍රකාශකයන්ගෙන් එනම් විදේශීය පොත් සමාගම්වලින් ප්‍රකාශන අයිතිය ලබා ගැනීම සඳහා විශාල මුදලක් ගෙවීමට සිදු වීම නිසා තම පරිවර්තන කෘතිය මහා පරිමාණ පොත් සමාගමකට ලබා දී, පෙර කී සියයට 10 ලබා ගෙන කර බා ගෙන සිටීමට සිදු වී තිබීම කනගාටුදායක ය. (යම් පොතක ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් මව් සමාගම සමග එකඟතාවකට පැමිණ ඇත ලෙස සඳහන් කරන ඇතැම් ප්‍රකාශකයන් කිසිදු ප්‍රකාශන හිමිකමක් මුදල් ගෙවා ලබා ගෙන නොමැති බව ද මෙහි දී හෙළිදරව් කළ යුත්තකි. පොත සඳහා ප්‍රකාශන හිමිකම ලබා ගැනීමට අයදුම් කොට ඔවුන් එය ඔබ වෙත ලබා දීමට සූදානම් දැයි බැලීමෙන් මෙය සනාථ කර ගැනුම ඕනෑම අයකුට කළ හැකි ය.) ප්‍රකාශන අයිතිය සඳහා ගෙවිය යුතු මිල විදේශ මුදලින් ගෙවන්නට සිදු වන නිසා රුපියල අවප්‍රමාණ වී ඇති මෙවන් කලක සාමාන්‍ය ලේඛකයකුට එය ඉතා ම දුෂ්කර කාර්යය් බව ද සැබෑ ය. (මවිසින් පරිවර්තනය කෙරුණු අරුම පුදුම පාසල් බස් රිය නම් වූ පොත් පෙළෙහි මුල් පොත් පෙළ වන THE MAGIC SCHOOL BUS නම් පොත් පෙළෙහි ප්‍රකාශන හිමිකම ලබා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාවේ ස්කොලාස්ටික් පොත් සමාගම වෙත මා ගෙවූ මුදල රුපියල් මිලියන දෙකකට වැඩි ය. එම මුදල ආවරණය කර ගැනීම සඳහා පොත්වල මිල ඉහළ දැමීම හැර අන් ක්‍රමවේදයක් ද නැත.) පරිවර්තන හැකියාව සහිතවූවන්ට ප්‍රකාශන අයිතිය ලබා ගැනීමට අත හිත දෙන අධිකාරියක් මෙරට ස්ථාපිත වන්නේ නම් වඩා හොඳ ළමා පරිවර්තන කෘති සාධාරණ මිලකට මෙරට දරුවන් අතට පත් කිරීම වෙනුවෙන් රජයට මැදිහත් විය හැකි ය. මෙවැන්නක් නොමැතිකම නිසා ම Goose Bumps වැනි ළමා කෘති මෙරට කීප දෙනෙකු අතින් විවිධ ආකාරයෙන් පරිවර්තනය වී මෙරට දරුවන්ට අලෙවි කෙරෙනු දැකිය හැකි ය. (ඒ සඳහා මුදල් ගෙවා ප්‍රකාශන හිමිකම ලබා ගත් කිසිවකුත් ශ්‍රී ලංකාවේ නොමැති බව එහි මුල් අයිතිය දරන ඇමෙරිකාවේ ස්කොලාස්ටික් පොත් සමාගම මෑත දී ප්‍රකාශ කොට තිබිණි.)

විවිධ ප්‍රකාශකයන් විසින් රට පුරා පිහිටි පොත්හල් වෙත අලෙවිය පිණිස ලබාදෙන පොත් සඳහා අදාළ පොතේ වටිනාකමින් සියයට 30ත් 40 ත් (ඇතැම් විට සියයට 50ක්) අතර වට්ටමක් අය කර ගැනීමට පොත් වෙළෙඳසැල් හිමියෝ පෙළඹෙති. යටත් පිරිසෙයින් ළමා පොත් සම්බන්ධයෙන්වත් ක්‍රියාත්මක කළ හැකි අඩු වට්ටම් ක්‍රමයක් සැකසෙන්නේ නම් දැනට මුද්‍රණ පිරිවැය මෙන් තුන් හතර ගුණයකට මිල කෙරෙන ළමා පොත් ඊට වඩා බොහෝ අඩු මිලකට මිල කොට අපේ දරුවන් අතට පත් කිරීමේ හැකියාව ප්‍රකාශකයන් සතු බවට සැක නැත.
තම දරුවාගේ වයසට වඩාත් ම සුදුසු කුමන පොත් ද යන්න තීරණය කර ගත නොහැකි දෙමාපියන්ට ඒ සඳහා මග පෙන්වීමක් කිරීම ද වැදගත් ය. මේ සම්බන්ධයෙන් බටහිර රටවල අනුගමනය කෙරෙන්නේ කේත ක්‍රමයක් (Coding System)ය. උදාහරණයක් ලෙස වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන් සඳහා ලියැවුණු පොත් පිටුපස නිල් තරුවක් ද, අවුරුදු 6ත් 12ත් අතර වන දරුවන්ට යෝග්‍ය පොත් පිටුපස කොළ තරුවක් ද, අවුරුදු 12ත් 18ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා වන පොත් පිටුපස රතු තරුවක් ද වන පරිදි මුද්‍රණය කර තිබීම අනිවාර්ය කිරීම මගින් සිය දරුවන්ට පොත් තෝරන මාපියන්ට සහාය වීම කළ හැකි ය. අදාළ පොත එකී වයස් කාණ්ඩයට විශේෂයෙන් යෝග්‍ය බවට වන නිර්දේශය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ ප්‍රකාශන අංශය වෙතින් ලබා ගැනීමට ප්‍රකාශකයා යොමු කිරීම රජයට කළ හැකි ය.
සැප්තැම්බරය ළඟ ය. එනම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ළඟ ය. වසරක් පුරාවට එකතු වූ කැටයේ කාසි ටික නෝට්ටු වී කොළඹ එන්නට බලා සිටී. ඒ නෝට්ටු ඔබ වෙත දිගු කරන පුංචි දෑතට හසුවන්නට රොඩු පොත් නොතබන මෙන් සියලු පොත් ප්‍රකාශකයන්ගෙන් කල් තියා ඉල්ලා සිටිමු.■