Wednesday, 23/8/2017 | 12:37 UTC+0
රාවය

අස්වෙන්න රවීට බලපෑම්

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් පරාදවී පක්ෂයද ආණ්ඩුවද අපකීර්තියට පත් නොකර සිය අමාත්‍ය තනතුරෙන් ඉවත් වන ලෙසට අමාත්‍ය රවී කරුණානායකට දැනුම් දෙන්නැයි එජාප ප්‍රබලයන් රැසක් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

එසේම සිය තනතුරෙන් ඉල්ලා අස්නොවී විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන්නේ නම් රවී කරුණානායකට සහයෝගය නොදිය යුතුය යන දැඩි ස්ථාවරයක සජිත් ප්‍රේමදාස, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, නිරෝෂන් පෙරේරා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සිටින බවද වාර්තාවේ.
එසේම රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු තනතුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමටද එම පිරිස සූදානම් බව වැඩිදුරටත් වාර්තාවේ.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගෝස්තු 03දින පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු අත්සන් තබා ඇති අතර ඊට හිටපු ජනාධිපති වත්මන් කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ අත්සන් කර නොතිබීම කැපී පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පැවැති අගෝස්තු 03 දින ඊට සහභාගිවූ ඒකාබද්ධ විපක්‍ෂයේ එම මන්ත්‍රීවරුන් එයට අත්සන් කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතාද එම අවස්ථාවට සහභාගිවී ඇත.
අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට සිය පක්ෂයේ සහාය ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර එකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් නොගෙනේ නම් තම පක්ෂය එම යෝජනාව ගෙන එන බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර රාවය කළ විමසීමකදී ජාතික හෙළ උරුමයේ ප්‍රබලයෙකු පැවසුවේද විශ්වාසභංග යෝජනාවට ඔවුන් සහයෝගය පළ කරන බවයි.
ඊට අමතරව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප අමාත්‍යවරුන් රාශියක් ද විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීමට කැමැත්ත පළකර ඇතැයි දැනගන්න ලැබෙන අතර එම පිරිසට ඊට පෙර අමාත්‍ය රවී කරුණානායක ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට ද නියමිත බව පැවසේ.
එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීමට කැමති එජාප සමාජිකයන්ද ස්වාධීනව කටයුතු කිරීමට හැකිවුවහොත් එම දිනයේදී පාර්ලිමේන්තුව මගහැර යෑමටද අදහස් කර ඇතැයි වාර්තාවේ.
විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධව ඡන්ද විමසීමක් විවෘත හා රහසිගත යන ආකාර දෙකෙන්ම පැවැත්විය හැකි අතර විශ්වාසභංග යෝජනාව ජය පරාජය තීරණය කරනු ලබන්නේ එදින ඡන්දය අනුවය.

 

About