රාවය

වර්ෂාව සමඟ බණ්ඩාරවෙලට මාරයාගේ සෙවණැල්ල

වර්ෂාව සමඟ බණ්ඩාරවෙලට මාරයාගේ සෙවණැල්ල

රේඛා නිලු‍ක්ෂි හේරත්

බණ්ඩාරවෙලට වැසි වැටෙන්නට පටන්ගෙන ඇත. වෙනදා නම් වසර එකහමාරකට පමණ පසු පැමිණෙන මේ වැස්ස බණ්ඩාරවෙල මිනිසුන්ට ආශීර්වාදයකි. එහෙත් මෙවර වර්ෂාව යනු මාරයාගේ සලකුණකි. උමා ඔය ව්‍යාපෘතියත් සමඟ බණ්ඩාරවෙල නායයෑමේ අවදානමට මුහුණදෙන කඳු රැසකි. අම්පිටිය, දික්අරාව, කොලතැන්න කොඩිගල කන්ද, උඩපේරුව, කිණිගම, ලියන්ගහවෙල, පන්අරාව, අඹතැන්න, ඉඹුල්පෝරුව ඇතුළු කඳු බරපතළ නායයෑමේ අවදානමක් ඉදිරිපිට ඇත. තවම වැස්සක් දෙකක් පමණක් වැටී ඇතත් වර්ෂා කාලය ඉදිරියේදී ඇරඹෙද්දී කුමකින් කුමක් සිදුවේදැයි කිසිවෙකු දන්නේ නැත.
තවමත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කර නැති අතර ඔවුහු ඉදිරියේදී පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන බව කියති. එහෙත් වර්ෂාව ඔවුන්ගේ වාර්තාව පැමිණෙන තුරු බලා සිටින්නේ නැත. ආණ්ඩුව ඉක්මන් පියවර ගත යුතුය. තවත් ජීවිත කඳුවලට යටවෙන්නට හැර බලා සිටිය යුතු නැත.
පසුගිය 24 වැනිදා වැටුණු පළමු වර්ෂාව සමඟ ඉදිරියේදී සිදුවන්නට නියමිත විනාශය ගැන සංඥාවක් දික්අරාව කන්ද විසින් ලබාදී ඇත. අප දික්අරාවට ගියේ ඒ පිළිබඳ විමසන්නටයි.
දික්අරාව
“පහුගිය 24 වැනිදා රෑ ලොකු වැස්සක් ආවා. ඒකත් එක්ක කන්ද මුදුනට වැටුණ වතුර පොළොව යටට උරාගත්තා. ඒ වතුර පහළ ගෙදරක ටයිල් අතරින් මතුවුණා. ඒකත් එක්ක තමයි මිනිස්සු කලබල වුණේ. ගමේ මිනිස්සු පාරට එකතුවුණා. ඒ වෙලාවේ ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරිය හොඳ මැදිහත්වීමක් කළ බව අපි කියන්න ඕනෑ. එතුමිය ඇවිත් තත්ත්වය බලලා ඉක්මනින් අපිව බිඳුණුවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානයට ඉවත් කළා. ඒත් අපි ඒ වෙලාවේ ඉල්ලු‍වේ වහාම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිලධාරීන් ගෙන්නලා පරීක්ෂාවක් කරන්න කියලායි. ඒ වෙලාවේ පාර වැහුවේ ඒ ඉල්ලීම කරමින්.”
සතියකට පෙර කොළඹ බදුල්ල මාවත අවහිර කරමින් දික්අරාව ජනතාව කලබල වෙන්නට හේතුව ගම්වාසියෙකු පැහැදිලි කළේ එසේය.
“පහුවදා වෙද්දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ආවා. නිලධාරීන් කිව්වා ලොකු අනතුරක් නෑ කියලා. යූත් සෙන්ටර් එකේ ගොඩක් දවස් ඉන්න බෑ. අපි ආපහු ගෙවල්වලට ආවා. අපි හැමෝම දැනට ගෙවල්වල තමයි පදිංචිවෙලා ඉන්නේ. යූත් සෙන්ටර් කියන්නේ පදිංචිවෙන්න පුළුවන් තැනක් නෙවෙයි. එතැන දවසක් දෙකක් හදිස්සියට ඉන්න හොඳයි. ඒත් එතැන කිසි පහසුකමක් නෑ. වැසිකිළි ප්‍රශ්න තියෙනවා. ලෙඩරෝග අවදානම් තියෙනවා. පිරිසිදුකමක් නෑ.” ඔහු එසේ පැවසීය.
දික්අරාව කන්ද බදුල්ල කොළඹ පාරට ඉහළින් ඇති අතර, පාරට පහළින් ගමේ අනෙක් කොටස ඇත. ඉහත අදහස් අප සමඟ ඉදිරිපත් කළේ කන්දට පහළ පදිංචිකරුවෙකි. ඔවුන්ගේ නිවෙස්වලට දැනට හානි සිදුව නැතත් කන්දේ නිවාස පැලී ගොස් ඇත. අප සමඟ කන්දේ පදිංචිකරුවෙක් මෙසේ කීය. “කන්දේ ඉන්න අයට හදිසියේ අයින්වෙන්න කිව්වා. හැබැයි අපි බොහෝදෙනෙක්ට යන්න තැනක් නැහැ. ගෙවල් කුලී දෙනවා කියලා කියනවා. ඒත් කුලියට ගන්නට ගෙවල් නෑ.”
පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.
“මෙතැන පවුල් 56ක් විතර ඉන්නවා. කන්දේ ඉන්න පවුල් හයකට වඩා ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. ඒත් තව පවුල් 50ක් විතර ගමේ ඉන්නවා. ඒ අයත් අවදානමට මුහුණදෙනවා. එයාලා සම්බන්ධයෙනුත් ආණ්ඩුව පියවරක් ගන්න ඕනෑ.”
දික්අරාව කන්දේ ඇති නිවාසවලට අපි ගියෙමු. ඉතාම තද බෑවුමක මේ නිවෙස් පිහිටා තිබෙයි. ඒවා ඉතාම දරුණු ලෙස පැලී ගොස් ඇති අයුරු අපට දකින්නට ලැබුණි. අප සිහින් කූරක් එවන් පැල්මකින් පහළට ඇතුළු කර බැලු‍වෙමු.
“කූරක් බැස්සුවාම සමහරු කියනවා අපි කූරෙන් පොළොව හිල් කරනවා කියලා. ලඹයක් යවලා බලමුද?” ගම්වාසියෙකු අපට එසේ යෝජනා කළ නිසා අප ලඹයක් පැල්ම දිගේ ඇතුළුකර බැලු‍වෙමු. ලඹය අඩි තුනක් පමණ පහළට ගියේය. ලඹයේ පහළ බරැති කොටස සෙන්ටිමීටර් තුනකට වඩා පළලය. අඩි තුනක් පමණ යනතෙක් පැල්මේ පළල එතරම් වේ නම් පැල්මක තරම කෙතරම් දරුණුදැයි සිතාගත නොහැකි තරම්ය.
අපි නිවෙස්වල බිත්ති ලඹය තබා බැලු‍වෙමු. දකින්නට ලැබුණේ නිවෙස්වල බිත්ති බරපතළ ලෙස ඇලවී ඇති ආකාරයයි.
ලිඛිත තීන්දුවක් නෑ
“ආණ්ඩුවෙන් දෙන වන්දියත් ප්‍රමාණවත් වෙන්නේ මේවාට පොටි දාන්න විතරයි. අපට ප්‍රමාණවත් වන්දි දෙන්නේ නෑ. ගෙදර සම්පූර්ණයෙන්ම පැලිලා ගිහින්. මගේ පුතා උපාධිධාරියෙක්. එහෙත් එයාට උපාධියට ගැළපෙන රස්සාවක් නෑ. කොළඹ ගිහින් පොඩි රස්සාවක් කරනවා. අපි මහන්සිවෙලා මේ ගෙදර හැදුවේ. දැන් ඒක විනාශයට යනවා. ආණ්ඩුව හරිහමන් වන්දියක් අපට දෙන්නේ නෑ. මෙතෙක් අපට කිව්වේ මෙතැන ඉන්න එපා අවදානම් කියලා විතරයි. ඒක වාචිකව කිව්වා මිසක් ලිඛිතව මොනවත් කියලා නෑ. ලිඛිතව කිව්වොත් අපට වන්දි දෙන්න වෙයි කියලා ආණ්ඩුව බය හින්දා වෙන්න ඇති. අපට හරිහමන් දෙයක් කියන්නෙ නැතිව අපි මේ කන්දේ ඉන්නවා. අපට වෙන්නේ එක තැනක මැරිලා යන්නයි.” පැලීමට ලක්ව ඇති එක් නිවසක හිමිකාරිය වන චන්ද්‍රා මහත්මිය අප සමඟ කීවේ හඬා වැටෙමිනි.
නිවාස ණය ප්‍රශ්නය
සමන් කුමාර හමුදා නිලධාරියෙකි. ඔහු තවමත් නිවස තනන්නේය. දික්අරාව කන්ද මුදුණේ නිවෙසක් තැනීමම පුදුමාකාර අසීරු කටයුත්තක් බව දන්නේ කන්ද නඟින බහින මිනිසුන්ය. එක්වරක් පමණක් කන්දට ගිය අපටත් අසීරුව වැටහෙයි.
“මට ගෙදර හදන්නටත් කලින් ඉඩම මට්ටම් කරගන්නම ලක්ෂ දෙකහමාරක් විතර ගියා. මේ කන්ද මුදුනට වාහන එන්නේ නැහැ. ඉතින් ගෙදර හදනකොට බඩු අදින්න තාවකාලික පාරක් දාලා ලොකු මහන්සියක් සහ මුදලක් යට කළා. ගඩොල් අතින් මෙතැනට ඇද්දා. අවුරුදු හතරක් තිස්සේ ගේ හදනවා. ණය කිහිපයක් ගත්තා. බැංකුවෙන් ලක්ෂ අටයි. වැඩ කරන තැනින් ලක්ෂ දහයයි ගත්තා. තාම ණය ගෙවනවා. ඒත් ගෙදර ඉවරයි.”
නැවත මතුවෙන්නේ නිවාස ණය ප්‍රශ්නයයි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැලී ඇති නිවාස හත්දහසකට අධික ප්‍රමාණය අතරෙහි නිවාස ණය ලබාගෙන තැනූ නිවාස විශාල ප්‍රමාණයක් ඇත. ඒ නිවෙස්වල හිමිකරුවෝ දහසක් ප්‍රශ්නවලට මුහුණදෙන අතරේ නිවාස ණය ප්‍රශ්නයකටද මුහුණදෙති. දික්අරාවේ සමන් කුමාරද එවැන්නෙකි.
යන්න තැනක් නැහැ
මේ මිනිසුන්ට ඉවත් වෙන ලෙස නිල වශයෙන් දැනුම් දුන්නත් යන්නට තැනක් නොමැති වීම තව ප්‍රශ්නයකි. වී. නිරංජලා අප සමඟ කීවේ මෙසේය.
“අපට අයින්වෙන්න කියලා දැනුම් දුන්නාට නිල වශයෙන් තවමත් මොනවත් කියලා නැහැ. ඒත් බය අපට තියෙනවා. ඉතින් අපි ඉවත්වෙන්නයි හදන්නේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉස්සරහට නිල ප්‍රකාශයක් අපේ ගෙවල් ගැන කරනවා කිව්වානේ. අපි දන්නවා අපට ඉවත්වෙන්න කියයි කියලා. ඉතින් අයින්වෙද්දී අපි බඩු ටික කොහේට හරි ගෙනියන්න කියලා එකතු කළා. ඒත් දැන් නෑදෑ ගෙවල්වල ගිහින් පවුල් පිටින් පදිංචිවෙන්න විදියකුත් නෑ, සම්පූර්ණ ගෙදරක බඩු ගිහින් නෑදෑ ගෙදරක තියන්න විදියකුත් නෑ. කොහේ යන්නද මොනව කරන්නද කියලා හිතාගන්න බෑ.”
කුලී මුදල මදි
නිවෙස්වල පදිංචිකරුවන් කුලී නිවාසවලට ඉවත් කිරීම සඳහා මාස හයක නිවාස කුලී දීමට තීරණය කර තිබුණත්, පහළොස් දහසක කුලියට නිවාස හෙවීම දැන් විශාලම ගැටලු‍ව වී ඇත. නිවාස කුලී ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
“මේ පැත්තේ ගෙවල් කුලී පුදුම ගණන් ගිහින්. ඉස්සර පහළොස්දාහේ ගෙයක් දැන් තිස්දාහක් විතර වෙනවා. මේ වෙලාවේ උපරිම වාසි ගන්නයි ගෙවල් කුලියට දෙන මිනිස්සු බලන්නෙත්. තවත් ප්‍රශ්නයක් තමයි ගෙදරක කුලියට ඉන්නකොට කුලියට ඉන්න ගෙදර ඔප්පු ඉදිරිපත් කරන්න ඕනෑලු‍. ඉතින් මිනිස්සු අපට ගෙවල් කුලියට දෙන්න බයයි. අන්තිමේ එයාලාගේ ගෙදර අයිතියත් නැතිවෙයි කියලා.” ගම්වාසියෙක් කීය.
සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේ හානි සිදුවූ නිවාස 7037ක් ඇති බවත් ඒ නිවාස සියල්ල වෙනුවට පහළොස්දහසේ කුලී නිවාස සෙවීම කළ නොහැක්කක් බවත්ය. “අපි නිවාස කුලී විදියට රුපියල් තිස්දහසක් දක්වා මුදලක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ආණ්ඩුව එකඟතාව ප්‍රකාශ කරලයි තියෙන්නේ.”
ක්ෂණික පියවර ගන්න
දික්අරාවේ ජනතාව ඇතුළුව සමස්තයක් වශයෙන් බණ්ඩාරවෙල, ඇල්ල ආශ්‍රිත අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉල්ලන්නේ වර්ෂාව සමඟ ආණ්ඩුව ක්ෂණික පියවර ගත යුතු බවයි. එහෙත් සටහන ලියන මොහොත වෙද්දීත් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ එදිනෙදා ප්‍රශ්න ගැන මැදිහත් වන මන්දගාමීත්වයෙන්මය. රජයේ ආයතන තමන්ගේ වැඩ සියල්ල කොට ඉඩ ලැබුණොත් මෙයට මැදිහත් වන බව පෙනෙයි. දේශපාලනඥයන්ද තම තමන්ගේ ප්‍රශ්න සියල්ල දෙස බලා ඉඩ ලැබුණාම උමා ඔය ගැන කල්පනා කරන බව පෙනෙයි.
මේ කන්දක් නායගොස් සිය ගණනක් මියගියහොත් සියල්ලන් මේ ගැන කතා කරනු ඇත. එහෙත් දහස් ගණනක් ජීවිත අවදානමක ඇති මේ මොහොතේ නිසි අවධානය යොමුකළොත් ජීවිත රැසක් බේරාගැනීමට හැකිවනු ඇත. උමා ඔය ගැන අනෙක් වාද විවාදවලට පෙර අවදානම් කලාපවල ජනතාවට නිසි වන්දි ලබාදී හැකි ඉක්මනින් ඉවත් කිරීම වැදගත්ම කාරණයයි.
“තවම බණ්ඩාරවෙලට අන්තර් මෝසම් වර්ෂාව හරියට වැටෙන්නට පටන් ගත්තේ නැහැ. වර්ෂාව එක්ක නායයෑමේ අවදානම දරුණු ලෙස වැඩිවෙනවා. අපි කඳු රැසක් නායයෑමේ අවදානමට ලක්ව ඇති බව හඳුනා ගත්තා. ගිය සතියේ මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු නිලධාරීන් එක්ක සාකච්ඡාවක් තිබුණා. අපි අනතුරුදායක කඳුවල නම් ඇතුළත් ලේඛනයක් දුන්නා. අපි අඳුනාගෙන තියෙනවා ඒ සියල්ල පරීක්ෂා කරලා වාර්තාවක් හදන බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිව්වා. අපි කියන්නේ අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව අඳුනගෙන ඉක්මනින් පියවරක් ගන්න කියලායි.” සමන්ත විද්‍යාරත්න මහතා කීවේ එසේය.

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ මේ වනවිට නතර කර ඇත. විශේෂයෙන් වර්ෂා කාලය එළැඹෙද්දී උමා ඔය ව්‍යාපෘතිය කරගෙන යාහැකිදැයි සැකසහිතය. පොළොවට උරාගන්නා ජලය වක්කඩ කැඩුවා සේ උමඟ තුළින් ගැලීමට නියමිතය. ඒ ජල කඳ සමඟ ඉදිරියට ව්‍යාපෘතිය කරගෙන යෑම අවදානම් සහගතවීමට ඉඩ ඇති බව සාමාන්‍ය දැනුමට වුව වැටහේ. ඒ නිසා දැනට ඇනහිට ඇති ව්‍යාපෘතිය වර්ෂාව අවසන් වනතුරු ආරම්භ නොකිරීම වඩා යහපත්ය. දැන් කළ යුත්තේ අවදානම් සහගත ප්‍රදේශ ගැන වැඩි අවධානයක් යෙදවීමයි.
ගම්වාසීන්ද ඉල්ලන්නේ එයයි.
“මෙතැන අවදානම් නම් අපව ඉවත් කරන්න. අපි උමා ඔය වහන්න කියන්නේ නැහැ. අපට ආණ්ඩුව කියන දේ තේරෙනවා. එයාලාට මේක නවත්වන්න බැරිව ඇති. අනික මේක නැවැත්වුවාම උමඟ වහලා නිකම් ඉන්නත් බැහැ. ඒක නඩත්තු වෙන්නේත් නැහැ. ඊට වඩා හොඳයි කොන්ක්‍රීට් ආවරණයක් දාලා ආරක්ෂිතව උමඟ ඉවර කරලා නඩත්තු කරන එක. කරන දෙයක් පරෙස්සමෙන් කරන්න. ඔක්කෝටම කලින් මිනිස්සුන්ව ඉවත් කරන්න. මිනිස්සුන්ට මොන වාගේ හානි වෙනවාද කියන එක තක්සේරු කරලා අපට වන්දියක් දෙන්න. අපට පොඩි ගෙවල් කෑල්ලක ඉන්න බැහැ.” එක් ගම්වාසියෙක් එසේ පැවසීය.
කෝපය
මේ සියල්ලට පෙර බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන්ගේ කෝපය ගැන යමක් කිව යුතුය. බණ්ඩාරවෙල ජනතාව ඉන්නේ වේදනාවෙන් සහ කෝපයෙනි. දික්අරාව ගමනේදී අප සමඟ කතා කළ බොහෝදෙනා කතා කළේ ආණ්ඩුව සමඟ මහත් වෛරයකිනි. ඇතැම් ප්‍රකාශ ඉතාම දරුණු ප්‍රකාශ විය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාවගේ දරුණු පිළිකුලට සහ වෛරයට හේතුවී ඇත්තේ ඉක්මන් පියවර නොගන්නා නිසාය. යම් අනතුරක් සිදුව එක් ජීවිත හානියක් හෝ සිදුවුවහොත් මේ කෝපය ඉතාම දරුණු ලෙස පුපුරායෑමට ඉඩ තිබේ.
දික්අරාව කන්දේ අවදානම් සහගත නිවෙස්වල වසන්නවුන් අප එහි යද්දී සිටියේ වර්ෂාව සමඟ මාරයා කොයි මොහොතේ හෝ රැගෙන යනු ඇතැයි සිතමිනි. කන්දේ පවුල් හයක් පමණ රාත්‍රියට එක් නිවසකට එක්වුණේ නාය ගියහොත් මිනී ටික එකතු කරගන්නට පහසුවනු පිණිස බව කන්දේ වසන්නෙක් කීවේය. යන්නට තැනක් නැති, යන්නදැයි එපාදැයි හරිහැටි උපදෙස් දී ලැබී නැති පසුබිමක ඔවුන් අසරණව මරණය එන තෙක් බලා සිටීම ඛේදවාචකයකි.
බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව ආර්ථිකය ගලායන රුධිරය කෘෂිකර්මාන්තයයි. බණ්ඩාරවෙලට අවටින් එන පලදාව නගරය ස්වයංපෝෂිත කරයි. බණ්ඩාරවෙල ආශ්‍රිත බොහෝ දෙනෙකුට කෘෂිකර්මාන්තය කරගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇත්තේ ජලය හිඳී ගොස් පැවතීම නිසාය. කෘෂිකර්මාන්තයේ යෙදෙන කාලයේ වර්ෂාව පැමිණීම යනු යහපත් බලාපොරොත්තුවකි. සුන්දර ලෙස වැවුණු ගෝවා පාත්තියක්, ලීක්ස් පාත්තියක් හෝ අල වගාවක් වර්ෂාවෙන් පසුව සුවඳ හමන තෙත පසත් සමඟ පිනි බිංඳු තැවරෙමින් දිලෙන අයුරු සුන්දර දර්ශනයකි. මීදුම මැද්දෙන් එළවළු පාත්තියක වගාවන් සරු කරගනු පිණිස වැස්සේ කඩිසර වූ මිනිසුන් දැන් වැස්ස සමඟ කඩිසර වෙන්නේ ජීවිතය බේරාගනු පිණිසය.
මේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් කර ඇති බහුකාර්ය විනාශයේ තරමයි.■

 

නායයෑමේ අවදානමක් තියෙනවා
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉහළ නිලධාරියෙක්

අපි දික්අරාවේ හැම ගෙදරකටම පාහේ ගිහින් පරීක්ෂණ කිරීම සහ අවදානම පැහැදිලි කිරීම කළා. දික්අරාවේ කන්ද උමා ඔය ව්‍යාපෘතියට පෙර ඉඳන්ම නායයෑමේ අවදානම තිබී ඇති තැනක් බව පෙනී ගියා. මේ නිවාස නිර්මාණය කරලා තියෙන ආකාරය අනුවත් නායයෑමේ අවදානමක් තියෙනවා. කොහොමවුණත් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ අවදානම ඉතාම බරපතළ අවදානමක් බවට පත්වෙලා තියෙනවා. පොළොව පැලීයෑම් වෙලා තියෙන්නේ ඒ නිසා.
පොළොවේ පැලීම් හරහා පොළොව අභ්‍යන්තරයට ගිය වතුර කන්ද පාමුල ගෙදරක ටයිල් අතරින් මතුවීමයි වෙලා තිබුණේ. මේක නායයෑම අවදානමක ලක්ෂණයක්. දික්අරාවේ පාරෙන් උඩ කන්ද කොටස බරපතළ නායයෑමේ අවදානමක් තියෙන තැනක්. එහි පදිංචිකරුවන් තාවකාලිකව ඉවත් කළ හැකිනම් හොඳයි. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දික්අරාවේ යූත් සෙන්ටර් කියන ගොඩනැගිල්ලට යන්නැයි ප්‍රදේශවාසීන්ට දැනුම් දී තියෙනවා මම දන්නා විදියට. නායයන කොටස සහ ඉන් පහළ සිටින ජනතාව ඉවත් කරන්න ඕනෑ කියලායි අපි තීරණය කරලා තියෙන්නේ.■