රාවය

සත 50ට ජීවිතයත් ගත්තාද?

සත 50ට ජීවිතයත් ගත්තාද?

කේ. සංජීව

ලංකාවේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ ඇඳිවත පමණක් අරගෙනය. ඔවුහු දේශපාලනය හැරයන්නෝ සත්මහල් ප්‍රාසාද සමගින් කෝටිපතියන් වීගෙනය. ඒ ලංකාවේ දේශපාලකයන් ජනතා පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන තරමය. ඒ අතින් අපි සුපින්වත් ය. දාහත් වසරක එජාප පාලනය පෙරළා 94 දී චන්ද්‍රිකා බලයට එන්නේ දාහත් වසරකදී ජනතාවට අහිමිවූ සියල්ල ඇලඩින්ගේ පුදුම පහනින් උපන් භූතයා පරිදි ලබාදෙන බවට වූ පොරොන්දු පත්‍රයත් සමගය. එහෙත් ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතාව වන්නේ තම දේශපාලන පැලැන්තියට දාහත් වසරකදී අහිමිවූ ධනය සහ බලය නැවත ලබා ගැනීමය.
ඔවුහු සල්ලි පමණක් නොව රටේ ඉඩම් ආදිවූ පොදු දේපළද කොල්ලකන ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. එයට හොඳම නිදර්ශනය මොනරාගල සුමේධා ජී ජයසේන ශත 50ක් වැනි විශාල මුදලකට රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම් තමන්ගේ පවුලේ උදවිය අතර බෙදා ගැනීමය. 1999 තරම් ඈතකදී සිදුවූ මේ සිදුවීම අප අද නැවත සිහිපත් කරන්නේ ඇයි? ඒ හේතුවක් ඇතුවය. සුමේධා ජී ජයසේනලා එදා එලෙස ඉඩම් ලබාගන්නා විට එම ඉඩම් සමහරක මිනිස්සු පදිංචිව සිටියෝය. එහිදී ඔවුහු පළවා හරිනු ලබති. එහෙත් එලෙස පලවා හරින්නට නොහැකිවූ උපතින්ම ආබාධිත අසරණයෙක් තවමත් මේ දූෂිත ගනුදෙනුවට විරුද්ධව තනිවම තමනට අයිතිවිය යුතු ඉඩම් කැබැල්ල ලබාගැනීම සඳහා නොනවතින අරගලයක නිරතව සිටින්නේය. ඔහු ගැනද, ඔහුට මේ ජනතා නියෝජිතයන්ගෙන්ද, ඔවුන්ගේ බහට කීකරුවී නටන රාජ්‍ය නිලධාරීන්ගේ කල්කිරියාව නිසාද, සිදුවන ගැහැට ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණයි.

කතාවේ මුලට යමු
“‍මහත්තයා මගේ නම එම් පී ජිනදාස. මම උපතින්ම ආබාධිතයි. ඒ පෝලියෝ නිසා. ඉනෙන් පහළ අප්‍රාණිකයි. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දැන් එයාලා බැඳලා වෙන්ව ජීවත් වෙනවා. මොනරාගල කච්චේරිය හංදියේ ලංකා බැංකුව ළඟ මේ ඉඩමට මම මගේ බිරිඳත් එක්ක ආවේ 1994. එදා ඉඳලා මම මෙතැන මගේ නෝනාත් එක්ක කඩයක් කරනවා. මුලින්ම පටන්ගත්තේ බුලත්විට විකුණන්න. ඊළඟට තේ කඩයක් වුණා. මගේ නෝනා හවසට ආප්ප හැදුවා. මම ආබාධිතයෙක් වුණත් කාටවත් අතනොපා ජීවත්වුණේ මෙතැනින්. 1994දී මම මේ හිස් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ඉල්ලු‍වා. ඊට පස්සේ මම කුස්සියක් වැසිකිළියක් එක්ක මේ තැන වැඩිදියුණු කළා. කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ලයිට් ගත්තා. දෙන්න බැහැ කිව්වේ නැහැ. පස්සේ තමයි දන්නේ මම 1994 ඉඳලා ජීවත්වෙන මේ ඉඩම (පර්චස් 10) 1999 නොවැම්බර් 05, සුමේධා නෝනාගේ පුතෙක් වෙන සාලිය සුමේධගේ නෝනාට (එල්. ඒ. කේ. ගීතිකා කුමාරී) රුපියල් 5ක මුදලකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම දීලා කියලා.”‍ මේ කතාව ගොඩනැගෙන්නේ එලෙසින්ය. යම් පුද්ගලයෙකු ජීවත්ව සිටින ඉඩමක් තවත් කෙනෙකුට නියමිත ඔප්පුවක්ද සමගින් ලබාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මූලික අරමුණුවලට පටහැනිවන අතරම එය නීති විරෝධීද වෙයි. මේ චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ පාලන කාලය තුළ සමාජ සේවා ඇමතිනිය ලෙස කටයුතු කළ සුමේධා ජී ජයසේන තමන්ට ප්‍රදේශයේ ජනතාව ලබාදුන් පරමාධිපත්‍ය බලය අභ්‍යාස කළ අන්දමය.
මේ සිදුවීම 1999 නොවැම්බර් 14 ඉරිදා යුක්තිය පුවත්පත පළකරන්නේ මෙසේය. ”‍ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති මොනරාගල කච්චේරිය ඉදිරිපිට ඉඩමේ පර්චස් 54ක භූමි ප්‍රමාණයක් සමාජ සේවා ඇමතිනී සුමේධා ජයසේනගේ දරුවන් ඇතුළුව පවුලේ තිදෙනෙකුට ළඟම හිතවතුන් දෙදෙනෙකුට රුපියල් 45ක් වැනි සුළු මුදලකට ආණ්ඩුව විසින් පවරා දී තිබේ.”‍ එහිදී එම වාර්තාව කියන්නේ පර්චසයක් සත 50 බැගින් එක් අයෙකුට පර්චස් 10ක්ද (අප මේ සඳහන් කරන ඉඩම අංක 2943), අනෙක් සිව් දෙනාට පර්චසය සත 91ක මුදලකට පර්චස් 11ක් ද ලබා දී ඇතිබවය. මේ තෑග්ග එවක ආණ්ඩුව සුමේධාට දෙනවිට මේ ඉඩම්වල නියමිත වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ බව යුක්තිය කියයි. මෙලෙස මේ ඉඩම කොල්ලකාරිව ලබාගත් පසු අපේ කතානායකයා වන එම්පී ජිනදාසට වන්නේ අතෝරක් කරදර සහ අඩන්තේට්ටම්වලට ලක්වන්නටය. ඒ අනුව 2010.03.24 දින ඔහුගේ වැසිකිළිය සහ කඬේ කුස්සිය එවක ඌව පළාත් මන්ත්‍රී සාලිය සුමේධ විසින් ඩෝසර් කර එම ස්ථානයේ ගොඩනැගිල්ලක් හදන්න අත්තිවාරම දමන්නේය. එහිදී ජිනදාස මහතා පොලිසියට පැමිණිලි (ක්‍ෂඊ /11/284/265) කරන අතර ඒ පැමිණිල්ල විභාග කිරීමේදී සාලිය සුමේධ කියන්නේ තමන් අලු‍තින් හදන ගොඩනැගිල්ලේ සියලු‍ පහසුකම් සපිරි කඩකාමරයක් ජිනදාසට දෙන්නට කටයුතු කරන බවය. මේ බහට රැවටෙන ජිනදාස සාලිය සුමේධට අදාළ ඉදිකිරීම කරන්නට ඉඩදී බලාසිටින්නේය. අද බ්ලොක් ගලෙන් බැඳී කුඩා ගොඩනැගිල්ලක් ලෙස එය ඉදිවී ඇත. ඒ මේ ඉඩමේ අයිතිය තහවුරු කරන්න සුමේධ ගැසූ ගැටයක් බව ජිනදාස මහතාට තේරෙනවිට කෝච්චිය ගිහිං හමාරය. දැන් මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගය විශාල වීම නිසා සහ සුමේධගේ ගොඩනැගිල්ල ඉදිවීම නිසා ජිනදාස මහතාගේ කඩය පුංචිවී හිරවී තිබේ. මේ ලංකාවේ මිනිසුන්ට ගෞරවාන්විතව ජීවත්වීමට තිබෙන අයිතිය දේශපාලකයන් විසින් උදුරා ගන්නා ආකාරයට හොඳම නිදර්ශනයක් ය.

නඩු පිට නඩු
මේ ඉඩම සාලිය සුමේධලා තුට්ටු දෙකට ගත් පසු ඔවුන්ට ජිනදාස පෙනෙන්නට ඇත්තේ මේ හිස් ඉඩමට අරක්ගත් බහිරවයෙකු ලෙසය. ඉන්පසුව ඒ බහිරවයා එළවීමට නොයෙකුත් දොළපිදේනි රාජ්‍ය බලධාරීන්ට සුමේධා පවුල දෙන්නට ඇත. එහි ප්‍රතිඵල වැලක එක් ප්‍රතිඵලයක් වන්නේ 2009.01.29 දින මොනරාගල ලංවිම ජිනදාසට ලිපියක් එවමින් කඬේට ලබාදී තිබූ විදුලිය විසන්ධි කිරීමය. එහෙත් මේ අසාධාරණය පිළිබඳව වූ දුක්ගැනවිල්ල පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්ට දැනුම්දුන් පසුව නැවත විදුලිය ලැබෙන්නේය. ඊළඟට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මොනරාගල බලමණ්ඩලයේ අධ්‍යක්ෂ 2009.06.10 ලිපියක් එවමින් කියන්නේ අදාළ වෙළෙඳසැල දින 14ක් ඇතුළත ඉවත් කරගන්නා ලෙසය. ඊළඟට වැඬේට බහින්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ මොනරාගල විධායක ඉන්ජිනේරුවාය. ඔහු ජිනදාසට ලිපියක් එවමින් කියන්නේ මාර්ග මධ්‍යයේ සිට ගොඩනැගිල්ලකට තිබිය යුතු දුර සීමාව මේ වෙළෙඳසැල විසින් උල්ලංඝනය කර ඇති බැවින් වෙළෙඳසැල ඉවත්කරගන්නා ලෙසය. එහිදී ඔවුන් නොකියා කියන්නේ මේ ගොඩනැගිල්ල මාර්ග රක්ෂිතයේ ඉදිවූවක් බවය. මේ කඩය නිරීක්ෂණය කළ අපට පෙනුණේ මේ වෙළෙඳසැල ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගයට සමාන්තරව රේඛාවක් නිර්මාණය කළහොත් ඒ රේඛාවට එම ස්ථානය අසලදී පමණක් ව්‍යාපාරික ස්ථාන දහයකට වැඩි ප්‍රමාණයක් හසුවන බවය. තත්ත්වය එලෙස නම් මේ රාජ්‍ය නිළධාරියා ඒ ව්‍යාපාරික ස්ථානවලටත් ලිපි මෙලෙස යැව්වාද ප්‍රශ්න කළ යුතුය. දේශපාලකයන් දෙන කටු ලෙවකන රාජ්‍ය නිලධාරීන්ගේ තරම පෙනෙන්නේ මෙවැනි සිදුවීම්වලිනි.
ඊළඟට මේ රාජ්‍ය නිළධාරියා මේ අසරණයාට පමණක් නඩු පවරන්නට කටයුතු කරන අතර එම නඩුව විභාගයට ගන්නා මොනරාගල පළාත්බද මහාධිකරණය ඉංජිනේරුවාගේ ඉල්ලීම නීතියට පටහැනි බව කියමින් ඉවත දමන්නේය. ඒ කඩා ඉවත් කිරීමට අධිකරණය කලින් දී තිබූ නියෝගයක්ද ප්‍රතිශෝධනය කරමින්ය. එදා අධිකරණය මෙවැනි තීරණයක් නොගන්නට අද මේ අසරණයා මහමග වන්නට බැරි නැත. ජිනදාස මේ ඉඩම් අවුල විසඳා ගැනීම සඳහා සහ මේ බිමේ අයිතිය තමන් සතුකර ගැනීම සදහා මේ දුක්ගැනවිල්ල සමග අහිමි දෙපාවරුවත් සමග නොගිය තැනක් නැත. එහෙත් තවමත් ඔහුට ලැබුණු විසඳුමක් නැත. කොයි ආණ්ඩුව මාරු වුණත් සුමේධලා බලවන්තයන්ය. ඔහු මලානික දෙඇසක් සමග පුංචි කඩ කාමරයේ බිම තප්පලන් ගසාගෙන කවුළුවෙන් මහමග බලා සිටියි. ඒ කවදා පාරට දමාවිදැයි සැකයෙන් වියයුතුය. බිරිඳ වෙළෙඳාමේ නිරතව සිටින්නීය.
“මට මේ මුළු ඉඩමම ඕනි නැහැ. මම තව වැඩිකාලයක් ජීවත්වෙන එකකුත් නැහැ. එතකන් වැටිලා ඉන්න මං මැරුණාට පස්සේ මේ ගෑනිට වැටිලා ඉන්න පර්චස් 5ක් දුන්නා නම් ඒ ඇති.”‍ ඒ ජිනදාසගේ කතාවේ අවසානයයි. එහෙත් මේ ලියුම්කරු නම් කියන්නේ මේ හිස් ඉඩමේ 1994 සිට මේ මිනිසා පදිංචිව සිටින බැවින් ඔහුට මුළු ඉඩමම හිමිවිය යුතු බවය. මිනිසෙක් කාලයක් ජිවත්වන රජය සන්තක ඉඩමක් තවත් කෙනෙකුට සතගණනකට හෝ මිලියන ගණනකට විකුණන්නට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට තිබෙන බලය කුමක්ද ප්‍රශ්න කළයුතුය. ඉඩම් කොමිසම දේශපාලන බලාධිකාරයට යටවී 1999දී ගත් වැරදි තීන්දුව දැන්වත් නිවැරදි කර මේ අසරණ මිනිසාට ජිවිතයේ අවසාන කාලයේ හෝ සැනසිලිදායක හුස්මක් ගන්නට ඉඩකඩ විවරකර දියයුතුය. ආණ්ඩුව හෝ දේශපාලන බලධාරීන් අසරණයෙකුට මෙලෙස සලකයි නම් එය කියන්නේ මේ රටේ දේශපාලනය කුණුවී ඇති තරමය. එනිසා යහපාලනය මේ මිනිසාගේ ඉඩම් ගැටලුව වහා විසඳිය යුතුය.■