Wednesday, 23/8/2017 | 12:40 UTC+0
රාවය

කඳුරට දෙමළ ජනයා

වික්ටර් අයිවන්

ලංකාවේ දෙමළ ජනයා කියන විට උතුරු නැගෙනහිර දෙමළ ජනයා හා කඳුරට දෙමළ ජනයා එකම වර්ගයකට අයත් ජනතාවක් ලෙස සලකන තත්ත්වයක් රටේ පවතී. ඒ නිසා ලංකාවේ සංඛ්‍යාත්මක වශයෙන් විශාල ජනවර්ග ලෙස සැලකෙනුයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාය. මෙසේ ලංකාව ප්‍රධාන ජනවර්ග තුනකින් සමන්විත රටක් ලෙස සැලකීම නිවැරදි වන්නේ නැත. ලංකාවේ දෙමළ ජනයා හා කඳුරට දෙමළ ජනයා සැලකිය යුත්තේ එක ජනවර්ගයක් ලෙස නොව, ජනවර්ග දෙකක් ලෙසය.
මෙම දෙපිරිසම කතා කරන්නේ දෙමළ භාෂාව වුවද මෙම වර්ග දෙකේ ඓතිහාසික පසුබිම එක සමානවන්නේ නැත. ලංකාවේ දෙමළ ජනයා දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ ජීවත් වන ජන කොටසක් ලෙස සැලකිය හැකිමුත් කඳුරට දෙමළ ජනයා ලංකාවට ආවේ බි්‍රතාන්‍ය පාලන යුගයේදීය. මෙම දෙපිරිසේ සංස්කෘතිය හා සමාජ ආර්ථික පසුබිමද එකිනෙකට වෙනස්ය. ඔවුන්ගේ කුල පසුබිමද එක සමාන නැත. මෙම දෙපිරිස ජීවත් වන භූගෝලීය පසුබිමද වෙනස්ය. ලංකාවේ දෙමළ ජනයා ප්‍රධාන කොට උතුරු නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන ජීවත් වන විට කඳුරට දෙමළ ජනයා ජීවත්වන්නේ කඳුරට කලාපයේය. ලංකාවේ දෙමළ ජනතාව උගත් විවිධ රැකියාවල නිරත තමන්ගේ ඉඩම් හා නිවාස හිමි ජනතාවක් වන විට කඳුරට දෙමළ ජනයා අඩු උගත්කමකින් යුතු, ප්‍රධාන කොට වතුකරයේ කුලී වැඩවල නිරත වන තමන්ගේ ඉඩම් හෝ නිවාස නැති දුප්පත් ජනතාවකි. මෙම ජන කණ්ඩායම් දෙකේ අභිලාෂයන්ද එක සමාන නැත. ලංකාවේ දෙමළ ජනයා කඳුරට දෙමළ ජනයා තමන්ගේ ජනවර්ගයේ කොටසක් ලෙස නොසලකන අතර කඳුරට දෙමළ ජනතාවද ලංකාවේ දෙමළ ජනතාව තමන්ගේ ජනවර්ගයට අයත් කොටසක් ලෙස සලකන්නේ නැත.
පුනරුදය ව්‍යාපාරය, සිංහල, ලංකා දෙමළ හා මුස්ලිම් ජනයා අතර උරගා බැලීමකට ලක්වූ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි වුවද කඳුරට දෙමළ ජනයා අතර උරගා බැලීමකට ලක්වූ ව්‍යාපාරයක් නොවීය. පුනරුද ව්‍යාපාරය ඔවුන් අතර පළමුවට උරගා බැලීමකට ලක්වූයේ පසුගිය සෙනසුරාදා (26දා) හැටන්වල පැවති සාකච්ඡා සභාවකදීය. එහි සාකච්ඡා සභාවක් පැවැත්වීම සඳහා ආරම්භක උත්තේජනයක් ලබා දුන් පුද්ගලයා වනුයේ නෝර්වූඞ්හි සින්නයියා කනගරත්නම් මහතාය. ඔහු හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන අතර පාර්ලිමේන්තුවේ හිටපු භාෂා පරිවර්තකයකුද වේ. ඔහු පුනරුද ව්‍යාපාරයේ ලේඛන කිහිපයක් කියවා ඇති කරගත් ආස්වාදයකින් යුතුව මට දුරකතනයෙන් කතා කොට පුනරුද ව්‍යාපාරයට සුබ පතන අතර පුනරුද ව්‍යාපාරයේ පණිවුඩය කඳුරට දෙමළ ජනතාව වෙතද රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. හැටන්වල පැවති සාකච්ඡා සභාව පැවැත්වීමට අපට පන්සලක් සොයා දී තිබුණේ ප්‍රදේශයේ හෝටල්කරුවකු වූ ශෂීය. එම සාකච්ඡා සභාවට ඇත්ගාලේ සිට දොස්තර වික්‍රමසිංහද, ගිනිගත්හේනේ සිට තිලිණ පියදාස හා ඔහුගේ බිරිඳද පැමිණ සිටියෝය.
හැටන්හි පැවති එම සාකච්ඡා සභාවට පැමිණි වැඩි පිරිසක් කඳුරට දමිළයන් වූ අතර ඔවුන් අතර එම ප්‍රජාව අතර සමාජ ක්‍රියාධරයන් ලෙස සැලකිය හැකි කිහිප දෙනෙක්ද සිටියෝය. ඒ සියලුදෙනා අතර වඩාත්ම කැපී පෙනෙන පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ඒ. ලෝරන්ස්ය. තලවකැලේ කෙනෙකු වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. කඳුරට දමළ ජනතාව අතරින් බිහිවී සිටින ශාස්ත්‍රාලයීය උගතෙකි. සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඵ්ක්හ්ය් ඕපසක-චදඇර ිය්රසබට ්බා කදජ්ක ාැපදජර්ජහ සබ ීරස ඛ්බන් නමැති පොතේ කතුවරයාය. කලක් එන්. ෂන්මුගදාසයන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ඉන්පසු ගාමිණී යාපාගේ පෙරදිග සුළං ව්‍යාපාරයට එකතු වී එම ව්‍යාපාරය වෙනුවෙන් වැඩකරන්නෙකු බවට පත්වී තිබේ. පසුව ඔහු පී. චන්ද්‍රසේකරන් සමඟ එකතු වී ‘කඳුරට පෙරමුණ’ ගොඩනැගීමට දායක විය. වර්තමානයේ ඔහු කඳුරට පෙරමුණේ ලේකම්වරයාය.
චන්ද්‍රසේකරන් සමඟ මටද සම්බන්ධයක් තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඇය බලයට එන්නට පෙර චන්ද්‍රසේකරන් හඳුන්වා දුන්නේ මාය. 1994 පාර්ලිමේන්තු මැතිවරණය එක වැඩි ආසනයකින් ජයගත් විට චන්ද්‍රිකා මට කතා කොට චන්ද්‍රසේකරන් වහාම තමා වෙත ගෙන්වා දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. මා චන්ද්‍රසේකරන්ට ඒ අවස්ථාවේ කතා කළ විට තමා ගැන කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසත් කොළඹට පැමිණ වහාම තමා මැඩම් හමුවන්නට යන බවත් කියා සිටියේය.
ලංකාවේ දෙමළ ජනයා හා කඳුරට දෙමළ ජනයා එක ජනවර්ගයක් නොව ජනවර්ග දෙකක් බව හැටන්වල පැවති සාකච්ඡා සභාවේදී අපට කියා දුන්නේ ලෝරන්ස්ය. ඒ ගැන ඔහුට පුනරුද ව්‍යාපාරයේ ස්තුතිය හිමිවිය යුතුය. සංඛ්‍යාත්මක අර්ථයෙන් ගත් විට ලංකාවේ ප්‍රධාන ජනවර්ග හතරෙන් එකක් කඳුරට දෙමළ ජනයා බව ඔහු කීවේය. සාකච්ඡාවට සහභාගි වූ කඳුරට දෙමළ නියෝජිතයන් සියලුදෙනාම පාහේ තමන්ට පුනරුද ව්‍යාපාරයේ දර්ශනය සමඟ එකඟ විය හැකි බව කීවේය. වඩා ලොකු සාකච්ඡා සභාවක් හෝ කිහිපයක් පැවැත්වීමටද එකඟ විය. පසුව රෝහණ විජේවීර වතුකාරයෙකු ලෙස සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද උලපනේ ප්‍රදේශයේදීද, ඊට පසුදින පූජාපිටිය ප්‍රදේශයේ හා අකුරණ ප්‍රදේශයේද සාර්ථක සාකච්ඡා සභා තුනක් පවත්වන ලදි. උලපනේ විදුහල්පතිවරයෙකුගේ නිවසේ පැවති සාකච්ඡා සභාව සිංහල මුස්ලිම් මිශ්‍ර සාකච්ඡා සභාවකි. පූජාපිටියේ පැවති සාකච්ඡා සභාවට සහභාගි වූ වැඩි පිරිස සිංහලයන් වූහ. අකුරණ පැවති සාකච්ඡා සභාව ප්‍රමාණයෙන් විශාල සාකච්ඡා සභාවක් ලෙස සැලකිය හැකි අතර එයට සහභාගි වූ විශාල බහුතරය මුස්ලිම් අය වූහ. ඔවුන් අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි උගත් තරුණ පිරිසක්ද සිටියේය.

කඳුරට දෙමළ ජනතාව ඉතිහාසය කෙටියෙන්
පුරෝගාමී බි්‍රතාන්‍ය වැවිලිකරුවන්ට වතුකරයේ අවශ්‍යතාවක් සඳහා දකුණු ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සිදුවූයේ වතුකරයේ කුලී වැඩවලට අවශ්‍ය ශ්‍රමිකයන් ලංකාවෙන් ලබාගැනීමට නොහැකිවීම නිසාය. දකුණු ඉන්දියාවේ නිතර නිතර පැවති සාගත තත්ත්වයන් නිසා වතු වගාවට අවශ්‍ය කුලීකරුවන් දකුණු ඉන්දියාවෙන් බහුල වශයෙන් සපයා ගැනීමේ පුළුවන්කමක් තිබුණු අතර ඔවුන් ලංකාවට කාණ්ඩ වශයෙන් ගෙන්වා ගන්නා ලද්දේ කංකානම්වරුන් මාර්ගයෙනි. අත්තිකාරම් ගෙවා එකතු කරගත් කම්කරුවන් ඔරු හා බත්තල්වලින් උතුරු හා වයඹ වෙරළට ගෙනාවේය. මෙම සංක්‍රමණය කම්කරුවන්ට ඉන්දියානු වෙරළට ඒමට බොහෝ දුරක් පයින් ගමන් කරන්නට සිදුවී තිබුණු අතර ලංකාවේ වෙරළට ළඟාවූ පසුත් කඳුකරයට ළඟාවීම සඳහා සැතපුම් 150ක පමණ දුරක් පයින් ගමන් කරන්නට සිදුවී තිබේ. මෙම දුෂ්කර ගමනේදී මැලේරියාවට ගොදුරු වූවන් මැරෙන්නට හැර මහමග දමා ගොස් තිබෙන අතර මරණයට පත් නොවී කඳුකරයට ළඟාවූවන්ගෙන් සමහරෙක් ද ඔවුන්ට ඔරොත්තු නොදෙන ශීතල කාලගුණය නිසා මරණයට පත්වූ බව සඳහන් වේ.
වතු වගා කළ ප්‍රදේශවල ආර්ථික ක්‍රම දෙකක් ඇතිවිය. නිම්න පත්ලවල තිබුණේ උඩරට සිංහල ගැමියන්ට අයත් ගොවිතැන් සහිත ඔවුන්ගේ ගම්ය. කඳු බෑවුම්වල තිබුණේ වාණිජ වතු වගාවන්ය. ඒවාහි වැඩ කළේ ඉන්දියානු වතු කම්කරුවන්ය. මෙම ආර්ථික ක්‍රම දෙක අතර අන්තර් සම්බන්ධයක් නොතිබුණා සේ ම නිම්න පතල්වල ජීවත් වන සිංහලයන් හා කඳු බෑවුම්වල තිබුණු වතුකරයේ ජීවත් වන ඉන්දියානු කම්කරුවන් අතරද යහපත් සම්බන්ධයක් නොතිබුණි. මේ දෙපිරිසම ජීවත් වූයේ එකිනෙකට වෙනස් ලෝක දෙකකය. සිංහල ගැමියන් අතර ප්‍රශ්න උග්‍ර වනවිට සංක්‍රමණික ඉන්දියානු කම්කරුවන් කෙරෙහි ද්වේෂයක් ඇති කිරීම අමාරු දෙයක් නොවීය. මේ රටේ දේශපාලනයේ රජ කරන ඉන්දියානු විරෝධයේ ආරම්භය ඒ ආශ්‍රයෙන් ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ඩොනමෝර් කොමිසම ඉන්දියානු වතුකම්කරුවන් විශාල ප්‍රමාණයකට ඡන්ද බලය නිර්දේශ කළ අවස්ථාවේදී උඩරට සිංහලයන්ගෙන් ඊට බලවත් විරෝධයක් එල්ල විය. මේ කාලයේදී උඩරට සිංහලයන් අතර දෙමළ වතු කම්කරුවන් කෙරෙහි පමණක් නොව පහතරට සිංහලයන් කෙරෙහිද බලවත් විරෝධයක් තිබුණි. උඩරට සිංහලයන්ගේ ඡන්ද තරගකාරී කණ්ඩායම් අතර බෙදී ගිය විට ඉන්දියානු ද්‍රවිඩයන් උඩරට සිංහල ආසනවලින් තේරී පත්විය හැකියි කියන බියක් උඩරට සිංහලයන් අතර තිබුණි. ඒ නිසා යටත්විජිත ආණ්ඩුවට එම විෂයට අදාළ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ නැවත සලකා බලන්නට සිදුවිය. ඒ අනුව 1939දී ඉන්දියානු වතු කම්කරුවන් 225000කට ඡන්ද බලය හිමිව තිබුණද ඒ 1943දී ඒ ගණන 168000 දක්වා අඩු කිරීමට සිදුවිය. එම අඩු කිරිල්ල ඒ මොහොතේ ඉන්දියානු ආණ්ඩුවේ බලවත් විරෝධයට හේතුවිය. සෝල්බරි කොමිසම පුරවැසිභාවය හා සංක්‍රමණය යන ප්‍රශ්න සලකා බලන තැනකට ගියේ නැත. ඒවා නිදහස ලැබීමෙන් පසුව ලංකා ආණ්ඩුව විසින්ම විසඳාගත යුතු ප්‍රශ්න ලෙස සලකන ලදි. එම ප්‍රතිපත්තිය ඉන්දියානු වතු කම්කරුවන් නියෝජන කළ මන්ත්‍රීවරුන්ගේ සතුටට හේතුවූයේ නැත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුළත් ධවල පත්‍රිකාව 1945දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විවාදයට ගත් අවස්ථාවේදී ඉන්දියානු වතු කම්කරුවන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය. මෙම මතභේදය ඉන්දියාව කෙරෙහිද බලපෑවේය. ඉන්දියානු අගමැති ජවහර් ලාල් නේරු හා ලංකාවේ අගමැති ඩී.එස්. සේනානායක යන දෙදෙනා 1949 දෙසැම්බර්වලදී නවදිල්ලියේදී මුණගැසී පුරවැසි ප්‍රශ්නය ගැන කතා කළද පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවූයේ නැත.

ඡන්ද බලය අහිමි කිරීම
ඩී.ඇස්. සේනානායක තුළ දෙමළ වතු කම්කරුවන් කෙරෙහි හා ඔවුන්ගේ මන්ත්‍රීවරුන් කෙරෙහි අප්‍රසාදජනක හැඟීමක් ඇති කිරීමට විශේෂ හේතු දෙකක් බලපා තිබුණි. පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා ඉන්දියානු කොංග්‍රසයේ නියෝජිතයන් තරග නොකරන ආසනවලදී ඉන්දියානු කම්කරුවන් ඡන්දය පාවිච්චි කර තිබුණේ වාමාංශික පක්ෂවලටය. ඩී.එස්.ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී තිබුණේ වාමාංශික ව්‍යාපාරයයි. එම මැතිවරණයෙන් ඉන්දියානු වතු කම්කරු නියෝජිතයන් හත්දෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්විය. එසේම එම මැතිවරණයෙන් ඩී.එස්. සේනානායක අපේක්ෂා කළ තරමේ ලොකු ජයග්‍රහණයක් ලබන්නටද ඔහු සමත් නොවීය. ඔහු ආණ්ඩුවක් ගැට ගසා ගන්නට දරන උත්සාහයේදී වතු කම්කරුවන් නියෝජනය කළ මන්ත්‍රීවරුන් ඩී.එස්. සේනානායකට ආධාර කිරීමෙන් වැළකී සිටීමේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. ඒ නිසා ඩී.එස්. සේනානායකට එකවිට වාමාංශික ව්‍යාපාරයට සේ ම ඉන්දියානු වතු කම්කරුවන්ට පාඩමක් ඉගැන්වීමට අවශ්‍ය වී තිබුණි. ඔහු ඉන්දියානු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිවාසිකම් අහිමි කරන පනත් දෙකක් ඉදිරියට ගෙනාවේ ඒ අරමුණ සපුරා ගැනීම සඳහාය. ජේ.ආර්. ජයවර්ධනගේ චරිතාපදානය ලියූ මහාචාර්ය කේ.එම්. ද සිල්වා ද ඩී.එස්.ගේ එම අභිප්‍රාය එම චරිතාපදානයේදී පිළිගෙන තිබේයැ’යි කිව හැකිය.
එම අණ පනත් දෙකෙන් ලංකාවේ ජීවත් වූ ඉන්දියානු කම්කරුවන්ට සිදුවූ විනාශය අතිවිශාලය. ඒ මගින් ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කෙරුණා පමණක් නොව, ඔවුන් රටක් නැති ජනතාවකගේ තත්ත්වයට පත්විය. ඒ මගින් ඔවුන් රටේ පාසල් ක්‍රමයෙන් බැහැර කළේය. සෞඛ්‍ය ක්‍රමයෙන්ද බැහැර කළේය. ඔවුන්ට රජයේ රැකියාවලට එකතුවීමේ හැකියාවක් නොතිබුණු අතර මුදල් ඇති කෙනෙකුට පවා ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේ හැකියාව නොතිබුණි. පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමෙන් පසු දීර්ඝ කාලයකට ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය මුළුමනින් අහිමි විය. අවුරුදු 29කට පසුව නුවරඑළිය-මස්කෙළිය බහු මන්ත්‍රී ආසනයෙන් එක් නියෝජිතයෙක් (එස්. තොණ්ඩමන්) තේරී පත්වූයේද එම ආසනයේ තුන්වැනි මන්ත්‍රීවරයා වශයෙනි.
ඔවුන් රටක් නැති ජනතාවක් බවට පත්වීමේ ප්‍රශ්නය ඉන්දියාව කෙරෙහිද බලපෑවේය. ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දෙරටේ නායකයන් සාකච්ඡා කළේය. 1964 වන විට රටක් නැති තත්ත්වයක සිටි එම ජනතාවගේ සංඛ්‍යාව 975000ක් විය. එම වසරේ ඔක්තෝබර්වලදී ලංකාවේ අගමැති සිරිමා බණ්ඩාරනායක හා ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී අතර ඇතිවූ එකඟතාවකට ප්‍රතිඵලයක් වශයෙන් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම ඇතිවිය. ඒ අනුව රටක් නැති තත්ත්වයක සිටි 975000ක් වන ජනයාගෙන් 525000ක් ඔවුන්ගේ ස්වාභාවික වර්ධනය සමඟ බාර ගැනීමට ඉන්දියාව එකඟ විය. ඉතිරි අයගෙන් 300000කට ඔවුන්ගේ ස්වාභාවික වර්ධනය සමඟ භාරගැනීමට ලංකාව එකඟ විය. ඉතිරි 150000 සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය පසුව සාකච්ඡා කොට බේරාග ැනීමටද එකඟ විය.
එහෙත් එහිදී ඇති කරගත් එකඟත්වය කාර්යක්ෂම ආකාරයකින් ක්‍රියාවට නැගුණේ නැත. අකාර්යක්ෂමතාව වැඩියෙන්ම පෙන්නුම් කර තිබුණේ ලංකාවය. 1986 වන විට ඉන්දියාව තමන් භාරගත් 525000කින් 411207ක් ඉන්දියාවට ගෙන්වා ගෙන තිබුණි. ලංකාව භාරගත් 300000 ලංකාව පුරවැසිකම් ලබාදී තිබුණේ 197535කට පමණය.
අවුරුදු 100කටත් වැඩි කාලයක් ලංකාවේ ජීවත් වූ ඉන්දියානු වතු කම්කරුවන්ට ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කර තිබුණේ ඉන් ලබාගත හැකි පටු දේශපාලන වාසි සලකාය. ඉන් අවුරුදු 40කට පසුව 1988 ජනාධිපතිවරණයට ආසන්නයේදී පුරවැසි අයිතිවාසිකම් අහිමි සියලුදෙනාට පුරවැසි අයිතිවාසිකම් ලබා දුන්නේද ඉන් ලබාගත හැකි පටු දේශපාලන වාසි සලකාය.

පුරවැසි අයිතිවාසිකම් දීම
1965 සිට ඉන්දියානු වතු කම්කරුවන්ගේ නායකයාව සිටි එස්. තොණ්ඩමාන් එජාප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළේය. 1977 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව බලවත් කැබිනට් ඇමති ධුරයක් ඔහුට ලබාදෙන ලදි. 1988 ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලේ හැලෙන බිහිසුණු වටාපිටාවක් තුළය. පාලක එක්සත් ජාතික පක්ෂය එක දිගට අවුරුදු 17ක් පාලන බලයේ සිටි අතර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ධුර කාල දෙක සම්පූර්ණ කිරීමෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වය අගමැති ආර්. ප්‍රේමදාසට භාරදී විශ්‍රාම යෑමේ අපේක්ෂාවෙන් සිටියේය. එම ජනාධිපතිවරණය ජයගැනීමට ඉන්දියානු දෙමළ කම්කරුවන්ගේ ඡන්ද තීරණාත්මක වැදගත්කමක් හිමිකරගෙන තිබුණි. එජාප ආණ්ඩුව ජනාධිපතිවරණයක් මුවවිට තබාගෙන රටක් නැති තත්ත්වයක සිටි සියලු ඉන්දියානු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිවාසිකම් ලබාදීමට තීරණය කළේ ඔවුන්ට සිදුවී තිබුණ අසාධාරණය නැති කිරීමේ පිරිසිදු අරමුණින් නොව ඉන් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ලැබෙන වාසි සලකාය.
එම ජනාධිපතිවරණයේදී සමහර සිංහල ප්‍රදේශවල ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50කටත් වඩා අඩු මට්ටමකට වැටී තිබුණි. ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකයේ ජාතික සාමාන්‍ය සියයට 52 දක්වා පහළ වැටී තිබුණි. එහෙත් ඉන්දියානු වතු කම්කරුවන්ගේ ප්‍රධාන බලප්‍රදේශය ලෙස සැලකිය හැකි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය පාවිච්චි කළ අයගේ අනුපාතිකය සියයට 80ක් තරම් ඉහළ මට්ටමක පැවතුණි. රණසිංහ ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 112135ක් ලබාගන්නා විට සිරිමා බණ්ඩාරනායක මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 64907ක් පමණය.
සාපේක්ෂ වශයෙන් ඉහත කී ජනවර්ග හතර අතර දුප්පත්ම හා නූගත්ම ජනවර්ගය ලෙස සැලකිය හැක්කේ කඳුරට දෙමළ ජනතාවය. ඔවුන් දීර්ඝ කාලයක් රජයේ පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර කර තිබුණි. රජයේ සෞඛ්‍ය සේවා ක්‍රමයෙන් බැහැර කර තිබුණි. තවමත් ඔවුන්ගෙන් විශාල පිරිසක් ජීවත්වන්නේ ලයින් කාමරවලය. වැසිකිළි නැති අයගේ අනුපාතිකය සියයට 26ක් තරම් විශාලය. ඔවුන් අතර දක්නට තිබෙන මෙම පසුගාමීත්වය කෙරෙහි ඔවුන් දීර්ඝ කාලයක් රටක් නැති තත්ත්වයක තැබීම බලපා ඇත්තේ යැයි කිව හැකිය. ඒ අර්ථයෙන් ඔවුන් විශේෂ සැලකිලි ලැබීමට අයිතියක් ඇති ජනවර්ගයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන්ට ප්‍රමාණවත් තරමින් එවැනි සැලකිලි ලබාදී නැත.■