රාවය

දෙකක් කඩතොලු හදන ආචාරියා

දෙකක් කඩතොලු හදන ආචාරියා

අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයා තවත් විකාර පනතක් නීතිගත කරන්නට බලාපොරොත්තු වන බව කියා තිබේ.
ඒ ගැන කතා කරන්නට පෙර, විදුලිබල නියෝජ්‍ය ඇමතිවරයා, අධිකරණ ඇමතිවරයා ගැන පසුගිය දා රූපවාහිනී වැඩසටහනක දී කී වැදගත් කාරණයක් සටහන් කළ යුතු ය. නියෝජ්‍ය ඇමතිවරයා කීවේ, පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්, අපරාධකරුවන් සම්බන්ධයෙන් වන නඩු ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා පිහිටුවන්නට රජය පොරොන්දු වී ඇති වෙන ම අධිකරණය, පිහිටැවිය නොහැක්කේ අධිකරණ ඇමතිවරයා ඊට අකමැති නිසා බව යි. මේ කතාව ඇත්තක් නම් විජේදාස රාජපක්‍ෂ යනු ආණ්ඩුවේ තවත් මිනීවල කණින්නකු බව පැහැදිලි ව කිව යුතු ය.
පසුගිය ආණ්ඩුවේ දූෂිතයන් හා අපරාධකරුවන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කොට, ඔවුන්ට දඬුවම් පැමිණවීම මේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුවකි. පසුගිය අවුරුදු දෙකහමාරක පමණ කාලය තුළ ඒ දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් අදාළ විමර්ශන ආයතන විමර්ශන පවත්වා ඉන් සමහර ඒවා ගැන දැන් අධිකරණයේ නඩු පවරා තිබේ. අධිකරණයේ දී ප්‍රකට ව පෙනෙන්නේ, අනෙකුත් සාමාන්‍ය නඩු අතරතුර මේ නඩු ඇසීමෙන් යුක්තිය ඉෂ්ටවීම සෑහෙන දුරකට පමා වන බව ය. ඒ නිසා, එම නඩු දිනපතා අසා අවසන් කිරීමට වෙන ම අධිකරණයක් (විශේෂ අධිකරණයක් නොවේ.) පිහිටුවීමේ අවශ්‍යතාව පසුගිය කාලය පුරා ම මහජනතාව වෙතින් මෙන් ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වෙතින් ද, අගමැතිවරයා හා ජනාධිපතිවරයා වෙතින් ද අවධාරණය කෙරිණි. විදුලිබල නියෝජ්‍ය ඇමතිවරයා කියන්නේ ඒ අධිකරණය ත්‍රිපුද්ගල මහාධිකරණයක් විය යුතු බව ය. තනි විනිසුරුවරයකු වෙනුවට තිදෙනකු අසන බැවින්, වඩාත් සාධාරණ ව හා අපක්‍ෂපාතී ව එම නඩු ඇසිය හැකි අතර, අභියාචන අවස්ථා එකක් පමණක් තිබෙන නිසා, එනම් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් අභියාචන කළ හැකි නිසා, යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය, ප්‍රශස්තව හා වේගවත් ව අවසන් වේ. ඒ ක්‍රියාවලිය තුළ කිසි ම අයුක්තියක්, අසාධාරණයක් සිදු නොවෙයි. යුක්තිය ඉටුවීම වේගවත් වීම පමණක් සිදු වෙයි.
දැන් ආණ්ඩුවේ මේ පොරොන්දුව ඉටු කිරීමට බාධාව වී තිබෙන්නේ අධිකරණ ඇමතිවරයා නම්, ඔහු ධුරයෙන් ඉවත් කිරීම හැර අන් කිසිවක් නැත. රටේ හැට දෙලක්‍ෂයකගේ වුවමනාවන් මේ එක් ඇමතිවරයකුගේ කැමැත්ත අකමැත්තට වඩා සුවිශාල නිසා ය. අධිකරණ ඇමතිවරයාට පසුගිය ආණ්ඩුවේ දූෂිතයන් සමඟ ඇති විශේෂ ඇඟෑලුම්කමක් නිසා මිස නොවේ නම්, මේ කාරණයට විරුද්ධ වන්නට කිසි ම දේශපාලන හා නෛතික හේතුවක් ද නැත. අනෙක් අතට, හැට දෙලක්‍ෂයක ජනතාවට පොරොන්දු වුණු දෙයක් ඉටු කරන්නට අධිකරණ ඇමතිවරයා අකමැතියැ’යි කියමින් ඇඟ බේරා ගන්නට ආණ්ඩුවට ද අවසරයක් නැත. දූෂිතයන් හා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉටු කිරීමට ඇති දේශපාලන අධිෂ්ඨානය ආණ්ඩුව පෙන්විය යුතු ය. ඒ ඊට බාධාකරන්නන් නොතකා හැරීමෙන් හෝ ඔවුන් චිත්‍රයෙන් ඉවත් කිරීම මගිනි.
දැන්, ඉරිදා දිනවල උදේ වරුවේ පෞද්ගලික උපකාරක පන්ති නැවැත්වීමට විකාර පනතක් ගෙන එන්නට යන්නේ ද මේ ඇමතිවරයා ය. බෞද්ධ දරුවන් දහම් පාසල් යෑම දිරි ගන්වන්නට ඉරිදා දිනවල උදේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම යනු මෝඩ අදහසකි. තමා ප්‍රාඥයකුයැ’යි අත්තුක්කංසනයෙහි යෙදෙන අධිකරණ ඇමතිවරයාට පවා කිසිසේත් නොගැළපෙන්නකි. ඊටත් වඩා, එය මේ කාලයේ යළි නැග එමින් තිබෙන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට ගෙඩිපිටින් යටත් වීමකි. අධිකරණ ඇමතිවරයා පසුගි ය කාලය පුරා ම, මේ ආගමික අන්තවාදීන් සමඟ එක පෙළට සිටගත් අතර, ආණ්ඩුව බලයට ගෙන ඒමට කැප වුණු සුළුතර ආගමික කණ්ඩායම්වල සතුරකු හැටියට ද කටයුතු කළේ ය.
ඉරිදා උපකාරක පන්ති තහනම, පසුගිය කාලය තුළ පළාත් සභා මට්ටමින්, වරින් වර ක්‍රියාත්මක වුණකි. බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ඉල්ලීමක් වන එයට, පළාත් සභා වැනි රටේ පාලන ආයතන ද විවාදයකින් තොර ව එකඟ වුණු අතර, ඊට විරුද්ධ පිරිස වෙතින් ද විශාල හඬක් නැගුණේ නැත. මෙවැනි තහනමක් විකාර අදහසක් බව කියන්නට ඕනෑ තරම් කාරණා තිබේ. කෙටියෙන් කිවහොත්, එය බහුතර බෞද්ධයන්ගෙන් හොඳ නම දිනාගන්නට අනෙකුත් සුළුතර ආගම්වල ජනතාවගේ අයිතිවාසිකම් කඩකිරීමකි. සුළුතර ආගමිකයන්ට වෙනස් කොට සැලකීමකි. අනෙක් පැත්තෙන්, දරුවන්ගේ අධ්‍යාපන නිදහස කොල්ලකෑමකි. මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතා මූලධර්මවලට ද විරුද්ධ ය.
දරුවන් දහම් පාසල් නොයන එක ම හේතුව උපකාරක පන්ති නොවේ. දහම් පාසල්වල ප්‍රශ්නය ඇත්තේ වෙන තැනක ය. ලංකාවේ සදාචාරය නැති වී ඇත්තේ ද ළමයින් ඉරිදාට උපකාරක පන්ති යන නිසා නොවේ. මේ සියලු පැති ගැන බැරෑරුම් ව නොසලකා, ඉරිදාට උපකාරක පන්ති තහනම් කිරීමට පනතක් ගෙන ඒම, ප්‍රශ්නයේ වලගෙන් අල්ලා ගැනීමකි. එය මතවාදී ව මෙන් ම නෛතික ව ද පරාජය කළ යුතු ය. ඊටත් වඩා මෙවැනි අමනොඥ ඇමතිවරුන් දේශපාලනික ව පරාජය කළ යුතු ය.■