රාවය

සමාජ මාධ්‍ය නියාමනය කළ හැකිද? කළ යුතුද?

සමාජ මාධ්‍ය නියාමනය කළ හැකිද? කළ යුතුද?

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය නියාමනය (regulation) කළ හැකිදැයි සිතීමට කාලය එළඹ ඇති බව අගමැතිවරයා ජුලි මස අගදී කොළඹ පැවති ජාත්‍යන්තර නීතිවේදී සමුළුවක් අමතමින් කී බව මාධ්‍ය වාර්තා කළා.
වාර්තාවලට අනුව ඔහු මෙය මතු කොට ඇත්තේ නීතිඥ ප්‍රජාවට මෙනෙහි කිරීම සඳහායි.
“නීති ප්‍රජාව මුහුණ දෙන අභියෝග අතරට නව තාක්‍ෂණයෙන්ද අභියෝග එකතු කරනවා. උදාහරණයකට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය නියාමනය කළොත් එය මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද?” ඔහු ප්‍රශ්න කොට තිබුණා.
“විදෙස් රජයන්ද මේ අභියෝගයට මුහුණ දෙනවා. ළමා සුබසාධනය හා සමාජ සංවර්ධනය ක්‍ෂේත්‍රයන් සලකන විට සමාජ මාධ්‍යවල බලපෑම කැපී පෙනෙනවා. අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?” ඔහු තව දුරටත් කී බව මාධ්‍ය වාර්තා කළා.
ජනාධිපතිවරයා මෙන් අධිසුචරිතවාදී හා දැඩි මතධාරී ප්‍රකාශ නොකර, සංවාදශීලී ලෙසින් සමාජයීය ප්‍රශ්න මතු කිරීමේ හැකියාව අගමැතිවරයාට තිබීම අගය කළ යුත්තක්.
ඔහු මතු කළ ප්‍රශ්නය මේ තීරු ලිපියෙන් අප කිහිප වතාවක්ම මැදහත්ව සාකච්ඡා කොට තිබෙනවා.
2017 මැයි 21 වනදා ලිපියේ මා අවධාරණය කළේ සමාජ මාධ්‍ය වන්නේ මොනවාද, නොවන්නේ මොනවාද යන්න ගැන නිරවුල් අවබෝධයක් ඇතිව පමණක් මේ ප්‍රශ්න සාකච්ඡා කළ යුතු බවයි.
ෆෙස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි ගෝලීය වේදිකාවලට ඕනෑම කෙනකුට නොමිලේ බැඳිය හැකියි. සමාජ මාධ්‍ය යනු මහජන සන්නිවේදන වේදිකා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන මාධ්‍ය නොවෙයි.
වෙබ්ගතව පමණක් පවතින ආයතනගත වූ මාධ්‍ය ද තිබෙනවා (ලංකා ඊ-නිවුස්, ශ්‍රී ලංකා මිරර්, ඒෂියන් මිරර් වැනි පුවත් වෙබ් අඩවි මෙන්ම ගොසිප් වෙබ් අඩවි). සමහරක් මේවා රට තුළත් අනෙක්වා රටින් පිට සිටත් පවත්වා ගෙන යනවා. මේවායේ පූර්ණකාලීනව නියැලෙන අය සිටිනවා. මේවා සමාජ මාධ්‍ය නොවේ!
සමාජ මාධ්‍යවලට දොස් තබන බොහෝ දෙනා මේ දෙවර්ගය පටලවා ගෙනයි කථා කරන්නේ.
යහපත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ කෙසේද යන තේමාවන් ත්‍රෛභාෂික සංවාදයක් 2017 ජුලි 18 වනදා කොළඹදී පැවැත්වුණා. iVoice නමැති වෙබ් වේදිකාව දියත් කිරීම නිමිති කර ගෙනයි.
එහි ප්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ ආර්ථික විද්‍යාඥ හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වායි. පාර්ලිමේන්තුවේ සිටින විද්වත් හා මැදහත් චරිතයක් ලෙස සැලකෙන ඔහු, කලෙක සිට සමාජ මාධ්‍ය වේදිකා හරහාත් සක්‍රිය ලෙස සංවාද කරන්නෙක්.
ඔහු එදා උදක්ම කියා සිටියේ සයිබර් අවකාශය තුළ තරුණ තරුණියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා නොකළ යුතු බවයි. තවදුරටත් ඔහු මෙසේ කීවා:
“සමාජ මාධ්‍ය තමයි අලුත් ප්‍රවණතාව, අලුත් යථාර්ථය. අපි සමාජ මාධ්‍යවලට දක්වන ප්‍රතිචාරය මොකක්ද? වසා දමනවාද? ලයිසන් කරනවාද? එහෙම හරි යන්නේ නැහැ. අපට පුළුවන් වෙන්න ඕනෑ විවේචනත් සමඟ අපේ ගමන හරි ගස්සාගෙන ඉස්සරහට යන්න. ඒකට දේශපාලනඥයන්ට පිට කොන්ද තිබෙන්න ඕනෑ. ඔවුන් සිතන්න නරකයි තරුණ තරුණියෝ සමාජ මාධ්‍යවල සාකච්ඡා කරන්නේ අනවශ්‍ය දේවල් කියලා. ඒවා තමයි ඔවුන්ගේ ප්‍රශ්න. අපි සිතනවා නම් ඒවා වසා දැමිය යුතුයි, බ්ලොක් කළ යුතුයි හෝ (අහිතකර ප්‍රකාශ) ඩිලීට් කළ යුතුයි කියලාගගග ඒක වැරදියි”
“ඒ නිසා අපේ රජය සමාජ මාධ්‍ය හරහා වගකීමෙන් යුතු සාකච්ඡා හා විශ්ලේෂණ තව තවත් දිරි ගැන්විය යුතු” යයි ඔහු කළ ප්‍රකාශය ඉතා වැදගත්.
හර්ෂ මෙසේද කීවා: “එහෙත් සමාජ මාධ්‍ය තිබෙන්නේ මිනිසුන්ට මඩ ගසන්නටවත්, කාගෙවත් රූපයක් දමලා එයට වෙන මුහුණක් සවි කරන්නවත්, කාගෙවත් වීඩියෝ එකක් දමා ඔවුන් අපහාසයට පත් කරන්නවත් නොවෙයි. තමන් හරි වැරදි තෝරා ගත යුතුයි. මධ්‍යස්ථව වැඩ කිරීමට හැකි විය යුතුයි. මේක සමාජ මාධ්‍ය කථාවක් නොව හැදියාව පිළිබඳ ප්‍රශ්නයක්. සමාජ මාධ්‍ය දෙපැත්ත කැපෙන අවියක්. එය සූක්‍ෂ්මව, වගකීම් සහිතව භාවිත කිරීමේ අභියෝගය අප සැමට තිබෙනවා.”
එසේම සමාජ මාධ්‍ය හරහා කාලීන හා පොදු ප්‍රශ්න ගැන සංවාද කිරීම පමණක් නොසෑහෙන බවත්, මැතිවරණ පවත්වන විට ඡන්දය ප්‍රකාශ කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සෘජුවම සම්බන්ධවීම අවශ්‍ය බවත් ඔහු කියා සිටියා.
මෙය ෆේස්බුක් ක්‍රියාකාරිකයන්ට තිබෙන අභියෝගයක්. නිවසේ, කාර්යාලයේ හෝ මගතොටදී වෙබ්ගත වී සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වීමට එහා යන සමාජ හා ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාකාරිත්වයක් අවශ්‍යව තිබෙනවා.
සමාජ මාධ්‍යවල සිදුවන කථාබහ සියල්ල හරසුන් හෝ වාචාල බවට සමහරුන් දරන මතය වැරදි බව තමා අත්දැකීමෙන් දන්නා බවද හර්ෂ ද සිල්වා එදා ප්‍රකාශ කළා. සමාජ-ආර්ථික හා සංවර්ධන කටයුතුවලදී තරුණ දායකත්වය ලබා ගන්නට සමාජ මාධ්‍ය ඉතා හොඳ ක්‍රමවේදයක් බව ඔහුගේ අදහසයි.
මෙලෙස විවෘත මනසකින් සමාජ මාධ්‍ය විග්‍රහ කිරීමට හැකි ප්‍රතිපත්ති සම්පාදකයන් ටික දෙනකු හෝ මේ රජයේ සිටීම හොඳ ප්‍රවණතාවක්.
කැනේඩියානු මාධ්‍ය නීතිඥ හා මානව හිමිකම් නීතිඥ ටෝබි මෙන්ඩල් ගිය මාසයේ කොළඹට පැමිණි අවස්ථාවේද සමාජ මාධ්‍ය නියාමනය ගැන මා විමසුවා.
ගෝලීය මට්ටමෙන් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යවේදිකා (Facebook, Twitter)හා චැට් වේදිකා (WhatsApp) ආදිය, දේශීය මට්ටමෙන් ප්‍රකාශ කැරෙන පුවත්වෙබ් අඩවි සමඟ පටලවා නොගත යුතු බව ඔහුගේ ද උපදෙසයි.
“රටක් තුළ ස්ථාපිත කොට, එම රටේ සිට අන්තර්ගතය කළමනාකරණය කැරෙන වෙබ් අඩවි එම රටේ නීති හරහා නියාමනය කළ හැකියි. එහෙත් රටෙන් පරිබාහිරව පිහිටුවා ඇති, ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන වෙබ් අවකාශයන් හා සමාජ මාධ්‍ය වේදිකා රටේ අධිකරණ බලසීමාවෙන් (jurisdiction)  ඔබ්බෙයි පවතින්නේ. උදා හරණයකට ශ්‍රී ලංකාවට බැහැ ෆේස්බුක් නියාමනය කරන්න. කළ හැකි එකම දෙය නම් සමස්ත ෆේස්බුක් වේදිකාවට පිවිසීම රට තුළ සිට අවහිර කිරීම හෙවත් බ්ලොක් කිරීම පමණයි. චීනය හා තවත් සමහර ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් මෙසේ කර තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ මේ අන්තවාදී පියවරට යොමු විය යුතුද?”
මෙය ටෝබි තවදුරටත් මෙසේ විග්‍රහ කළා. “ගෝලීය මට්ටමේ සමාජ මාධ්‍ය වේදිකා හිමි අමෙරිකානු සමාගම් එරට නීති රාමුවට අවනත වනවා. එරට ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශන නිදහසට හා ආගමික නිදහසට ප්‍රබල රැකවරණයක් සපයා දී තිබෙනවා. මේ නීතිමය නිදහස වෙනුවෙන් එකී සමාගම් පෙනී සිටිනවා.”
රජය හා සියලු අධිපතිවාදයන් නිර්දය ලෙස විවේචනය කිරීමේ නිදහස අමෙරිකානු ප්‍රකාශන නිදහසට අයත්. මේ නිසා ෆේස්බුක් වැනි වේදිකාවකට පිවිසී අමෙරිකානු රජය හෝ වෙනත් ඕනෑම රජයක් හෝ සමාගමක් හෝ පුද්ගලයකු ඕනෑ තරම් විවේචනය කිරීමේ නිදහස රැකීමට එම වේදිකා හිමි සමාගම් කැප වී සිටිනවා.
සමහරුන් නිර්දය ලෙස ෆේස්බුක් හරහා තමන්ට බනිනවා කියමින් විවිධ රජයන් ෆේස්බුක් සමාගමට පැමිණිලි කළාට එම සමාගම ඒවා ඉවත් නොකරන්නේ ප්‍රකාශන නිදහසට ඔවුන් තුළ ඇති ප්‍රබල කැපවීම නිසායි.
එහෙත් ප්‍රකාශන නිදහසේ මුවාවෙන් ඕනෑම අසැබි දෙයක්, ඕනෑම ප්‍රකෝපකාරී හෝ ප්‍රචණ්ඩ ප්‍රකාශයක් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා පරිපාලකයෝ ඉඩ දෙන්නේ නැහැ. ඒ හැම එකකටම අදාළ කොන්දේසි සමුදායක් තිබෙනවා. මේ නිසා සමාජ මාධ්‍ය යනු අරාජික කලාපයක් යයි සමහරුන් කරන විග්‍රහය වැරදියි.
ටෝබි තවදුරටත් කියන්නේ ෆේස්බුක් සමාගම අමෙරිකානු නීතිරීතිවලට අනුකූල වන අතරම අමෙරිකානු බහුතර සංස්කෘතික හරයන් ද පිළිපදින බවයි.
“ෆේස්බුක් ප්‍රති පත්තිවලට අනුව ඔවුන්ට අවශ්‍ය සිය වේදිකාව පවුලේ කාටත් හිතකර (family friendly)තැනක් සේ පවත්වා ගන්නයි. එය ප්‍රායෝගි කව කිරීමට යන විට යම් පරස්පරයන් මතු වනවා. උදාහරණයකට බහුතර අමෙරිකානුවන් නග්න බවට කැමති නැහැ. එහෙත් ලෝකයේ සමහර රටවල හා සමාජවල නග්න බව ජනජීවිතයේ සාමාන්‍ය දෙයක්. කාන්තාවන් උඩුකය ආවරණය නොකර සිටින ගෝත්‍රික සමාජ තවමත් තිබෙනවා. එවන් ඡායාරූපයක් එම රටක ෆේස්බුක් සාමාජිකයෙක් හෝ සංචාරකයෙක් ෆේස්බුක් ගත කළොත් පරිපාලකයෝ එය ඉක්මනින් ඉවත් කරනු ඇති.”
එපමණක් නොවෙයි, ඵෙතිහාසිකව වැදගත් ඡායාරූප හෝ සම්භාව්‍ය චිත්‍ර නිර්මාණවල පියයුරු නොවැසූ කාන්තාවන් සිටින විට ඒ හැම එකක්ම අසැබි යැයි ෂලකා ඉවත් කිරීමට යාමෙන් ෆේස්බුක් පරිපාලනය ලොකු ආන්දෝලනයන්ට ද මැදි වූ අවස්ථා ද තිබෙනවා.
එසේම කුඩා දරුවන්ට මවු කිරිදෙන කාන්තාවන්, පියයුරු පිළිකා වැළඳී ප්‍රතිකාර ලද කාන්තාවන්ගේ උඩුකය ආදිය දැක්වෙන ඡායාරූප ද ෆේස්බුක් පරිපාලනය හිතුමතයට ඉවත් කිරීම නිසා විටින් විට ආන්දෝලන හට ගන්නවා.
වියට්නාම් යුද්ධයේ උච්ච අවස්ථාවෙක, 1972 ජුනි 8 වනදා AP පුවත් සේවයේ නික් උට් ඡායාරූප ශිල්පියා ගත් ඡායාරූපයකින් දැක්වුණේ දකුණු වියට්නාම් හමුදා කළ නාපාම් ගිනි බෝම්බ ප්‍රහාරයක් නිසා ගිනි ගන්නා ගමක දරුවන් හා වැඩිහිටියන් බියෙන් කෑ ගසමින් දිව යන සැටියි. ඡායාරූපයේ ප්‍රබලව පෙනුණේ හැඳිවත ද ගිනිගෙන දැවී ගොස් පණ බියෙන් කැමරාව වෙත දිව එන නව හැවිරිදි නග්න දැරියක්.
Napalm Girl නමින් ලොව ප්‍රකට වූ මේ ඡායාරූපය, යුද්ධයේ කුරිරු බව සංකේතවත් කරන 20වන සියවසේ ප්‍රකටම පුවත් සේයාරුවක්.
එහෙත් 2016 සැප්තැම්බරයේ ෆේස්බුක් පරිපාලකයෝ මේ ඡායාරූපය ද වාරණයට ලක් කළා. දැරියක නග්නව සිටින රූපයක් අසැබි යයි තර්ක කරමින්! මෙය නග්න බවට එහා යන ඵෙතිහාසික වශයෙන් වැදගත් ඡායාරූපයක් යයි ඔවුන් මුලදී පිළිගත්තේ නැහැ. පසුව යුරෝපීය පත්‍ර කතුවරුන් ප්‍රබල ලෙස උද්ඝෝෂණය කරන විට ෆේස්බුක් නැවතත් එම සේයාරුවට ඉඩ දුන්නා.
මේ සිදුවීම් පිටුපස යථාර්ථය නම් දිනපතා දිවා රැයේ අලුතෙන් එකතු වන බිලියන් ගණනක් රූප හා වචන එකින් එක විමර්ශනය කිරීමට ෆේස්බුක් පරිපාලකයන්ට නොහැකි වීමයි. මේ නිසා බොහෝ මුල්වටයේ විමර්ශන කිරීම ස්වයංක්‍රිය පරිගණක වැඩසටහන්වලට හෙවත් botsවලට පවරා තිබෙනවා.
හැබැයි බොට්ස්වලට විනිශ්චය ශක්තියක් නෑ. “මානව නග්න බව එපා” යයි උපදෙස් ලත් බොට්ටෙකුට අසැබි රුවක හා ඵෙතිහාසික සේයාරුවක වෙනස තේරුම් ගන්නට බෑ.
මේ නිසා ෆේස්බුක් අන්තර්ගතය නිරීක්‍ෂණය කිරීමේ වගකීම භාවිත කරන්නන් සමග බෙදා ගන්නට දැන් සමාගම ක්‍රියා කරනවා. භාවිත කරන ප්‍රජාවගේ මාර්ගෝපදේශන (user community
guidelines) නමින් (නීති නොවන) රීති රාමුවක් ඔවුන් ප්‍රවර්ධනය කරනවා.
කෙසේ වෙතත් සංස්කෘතික සාපේක්‍ෂතාවන් ගන් තොරව ශිෂ්ට ලෝකයම අයහපත් හා අහිතකර ලෙස පිළිගන්නා අන්තර්ගතයන් තිබෙන බව ටෝබි පෙන්වා දෙනවා.
“ළමා ලිංගික දර්ශන, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම, ප්‍රචණ්ඩත්වයට උසි ගැන්වීම ආදි සාධක අරභයා අමෙරිකානු නීතිය වෙනත් ලොව බොහෝ රටවල නීති සමග සමපාත වනවා. මේ නිසා අමෙරිකාවේ මූලස්ථාන තිබෙන සමාජ මාධ්‍ය සමාගම් මේවා ගැන දැඩි ස්ථාවරයක සිටිනවා.”
නමුත් එක් පැහැදිලි වෙනසක් නම් වෛරී කථනය (Hate Speech) සම්බන්ධයෙනුයි. ලොව බොහෝ රටවල් වෛරීය කථනයට එරෙහිව ජාත්‍යන්තර නීති රාමුවකට බැඳී එය පිටු දැකීමට කැප වී සිටිනවා. එහෙත් අමෙරිකානු නීතිය එයට වෙනස් ස්ථාවරයක තිබෙනවා. වෛරීය කථනය පවා ප්‍රකාශන නිදහසේ අයිතිය යටතේ රැකීමට එරට නීතිය රාමු කොට තිබෙනවා. මෙය ප්‍රශ්නකාරී තත්ත්වයක්” ටෝබි කියනවා.
සමාජ මාධ්‍ය නියාමනය කිරීමට තැත් කිරීමේදී තවත් බොහෝ ප්‍රායෝගික දුෂ්කරතා තිබෙනවා.
ගෝලීය වේදිකාවලට බලපෑම් කිරීමේ හෝ තැරැව් කිරීමේ හැකියාවක් නැති අපේ වැනි රටවල සමාජ මාධ්‍ය නියාමනය ගැන ලොකුවට කථා කළත් සැබැවින්ම ගත හැකි පියවර ඉතා සීමිතයි.
මේ නිසා නීතිමය හෙවත් නියාමන ප්‍රවේශය වෙනුවට ආචාර ධර්මීය (ethical) ප්‍රවේශයක් ගැනීම වඩා සාර්ථක විය හැකියි. (නමුත් ආචාර ධර්මීය කියන්නේ සිංහල බෞද්ධ හෝ වික්ටෝරියානු අධිසුචරිතවාදය රටේ සියලු ජනකොටස් මත බලෙන් මුදා හැරීම නම් නොවෙයි.)
වාරණයට යොමුවීම නොව සමාජ මාධ්‍යවලින් සමාජ සංවර්ධනය වැඩ ගැනීමයි අවශ්‍ය වන්නේ. මේ සඳහා සංකල්පීය නිරවුල් බව මත පදනම් වී, ලිබරල් එහෙත් වගකීම් සහිත ආකල්පවලින් සන්නද්ධ විය යුතුයි.
(මේ ලිපියේ ෆේස්බුක් නිතර උදාහරණයට ගත්තේ එය මෙරට වඩාත්ම ප්‍රචලිත සමාජ මාධ්‍ය වේදිකාව නිසායි. 2017 මැද වන විට ලාංකික ෆේස්බුක් ගිණුම්, මිලියන් හතරක් පමණ තිබුණා. බොහෝ දේ පොදුවේ සියලු සමාජ මාධ්‍ය වේදිකාවලට අදාළයි.)■