රාවය

රාසයියා මහතාට යුක්තිය අහිමි කිරීම

රාසයියා මහතාට යුක්තිය අහිමි කිරීම

වික්ටර් අයිවන්

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් ජීවත් වූයේ මිනිසුන් මරන, මිනිසුන් හිංසාවට ලක් කරන කෙළවරක් නැති තරමට ලේ හලන අශීලාචාර වටාපිටාවකය. ඒ අශීලාචාර කාලයේදී බරපතළ අසාධාරණයන්ට ලක්වූ සියලුදෙනාට තවමත් යුක්තිය ඉටුවී නැත. තවමත් යුක්තිය ඉටුකර ගැනීමට අසමත් වී තිබෙන දස දහස් ගණනක් රටේ සිටින්නේය. මා දැන් කියන්නට යන්නේ එවැනි පුද්ගලයෙකුගේ කතාවකි.
මෙම කතාව මා වෙත එවන ලද්දේ ඔහුගේ මුහුණු පොතේ ඒ ගැන ලියන සටහනත් සමඟ මරිසා ඩී. සිල්වාය. එය යුක්තිය අහිමි කරනු ලැබ සිටින දෙමළ කලාකරුවකු පිළිබඳ අනුවේදනීය කතාවකි. මා වෙත ලියන ලද ආයාචනයන් සමඟ ඔහු එම සටහන ලියා එවා තිබුණේ එම කතාව රාවයේ පළකරවා ගැනීම පිණිසය. මම ඔහුට කෙටි පිළිතුරක් එස්එම්එස් පණිවුඩයක් ලෙස ලියා යැව්වෙමි. මා ඒ මගින් මරිසා වෙත දැනුම් දෙනු ලැබුවේ අසාධාරණයට ලක්වී සිටින එම පුද්ගලයාට ඉක්මනින් හා ප්‍රායෝගිකව යුක්තිය ඉටුකරවීමට අවශ්‍ය නම් අධිකරණයට ගොස් රිට් ආඥාවක් ලබාගැනීම වඩා සුදුසු බවය. එය දින දෙකක කෙටි නඩුවක් බවත්, එවැනි නඩුවක් සඳහා ලොකු වියදමක් දරන්නට සිදු නොවන බවත් මම වැඩිදුරටත් කීවෙමි. ඔහු මට වහාම පිළිතුරක් එවා තිබුණු අතර ඔහු එහි කියා තිබුණේ එවැනි නඩුවක් සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවන බව නීතිඥයන් කියන බවත් ප්‍රශ්නයට දැනටමත් දීර්ඝ කාලයක් ගතවී ඇති බැවින් මානුෂික පදනමක් මත යුක්තිය ඉටුකරවා ගැනීමට දරන උත්සාහයේදී එම අරමුණ ජයගැනීම සඳහා සිද්ධියට ප්‍රසිද්ධියක් ලබාදීම අත්‍යවශ්‍ය බවත්ය. මෙවැනි නඩුවකට අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවනු ඇතැයි කියන කතාවේ ඇත්තක් නැත. යුක්තිය අහිමි වූ අවස්ථාවකදී යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා කළ යුතු හොඳම හා හරි දේ ගැන හරි වැටහීමක් නැතිකමේ ප්‍රශ්නයක්ද රටේ පවතී. එයද එවැනි ප්‍රශ්න කුණු කරන තත්ත්වයක් ඇති කිරීමට බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ප්‍රධාන කතාවට එන්නට පෙර මේ මෑතකදී මා ලැබූ අත්දැකීමක් ආශ්‍රයෙන් එම තත්ත්වය වැඩිදුරටත් පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙමි.

මා මීට පෙර පුනරුදය සාකච්ඡා සභාවක් සඳහා බිබිලේට ගිය අවස්ථාවකදී ජල ප්‍රශ්නයක් නිසා එම ප්‍රදේශය ආවේගයෙන් මුසපත් තත්ත්වයකට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබුණි. මා එහි ගියේ පුනරුද ව්‍යාපාරය ගැන කතා කරන්නට මිස එම ජල ප්‍රශ්නය ගැන කතා කරන්නට නොවේ. ඔවුන්ගේ ජල ප්‍රශ්නය ගැන මට වැටහීමක් නොතිබුණු නිසා ඔවුන්ගේ ප්‍රශ්නය ගැන ඔවුන්ට ඇහුම්කන්දීමේ හැකියාවක් මට තිබුණද ඊට පෙර එම ප්‍රශ්නය විග්‍රහ කිරීමේ හැකියාවක් මට නොතිබුණි. ප්‍රදේශයේ දේශපාලන බලවතකුගේ පුතෙකු ජලය බැස යන පොදු ජල මාර්ගයකට අවහිර වන ලෙස අනවසර ඉදිකිරීමක් (හෝටලයක්) කරමින් තිබූ අතර ප්‍රදේශයේ ජනතාවගේ විරෝධයට හේතුවී තිබුණේ එම ප්‍රශ්නයයි. සාකච්ඡා සභාවට 50කට ආසන්න පිරිසක් පැමිණ තිබුණු අතර මාගේ කතාවෙන් පසු එහි සිටි සුළු පිරිසක් (10ක් පමණ) කීවේ ඔවුන් සභාවට ආවේ ඔවුන්ගේ ජල ප්‍රශ්නය ගැන කරන කතාවක් අසන්නට මිස පුනරුද ව්‍යාපාරය ගැන කරන කතාවක් අසන්නට නොවන බවය. එවිට මා ඔවුන්ට තරයේ කියා සිටියේ ජල ප්‍රශ්නය ගැන මට ඔවුන්ට ඇහුම්කන්දීමේ හැකියාවක් ඇතත්, මා එහි ආවේ ඔවුන්ගේ ජල ප්‍රශ්නය ගැන කතා කරන්නට නොව, පුනරුද ව්‍යාපාර ගැන කතා කරන්නට බවය. මාගේ එම පිළිතුරෙන් පසු සභාවේ කිහිපදෙනෙකු නැගිට ගිය අතර නැගිට නොගිය අය අතර එම ජල ප්‍රශ්නයට නායකත්වය දෙන ප්‍රධාන නායකයන් දෙදෙනෙකු සිටියේය. එම ආරාවුල විසඳා ගැනීමට ඔවුන් අපේක්ෂාකරන්නේ කවර ආකාරයකට දැයි මම ඒ දෙදෙනාගෙන් ප්‍රශ්න කළෙමි. අපි සියලු බලධාරීන් දැනුවත් කර තිබෙනවා යැයි ඒ දෙදෙනාම කීවේය. බලධාරීන් යුක්තිය ඉටු නොකරන්නේ නම් ප්‍රශ්නය විසඳා ගන්නට අපේක්ෂා කරන්නේ කවර ආකාරයටදැයි මම පෙරළා ප්‍රශ්න කළෙමි. ඒ සඳහා දෙන්නට ඔවුන්ට පිළිතුරක් නොතිබුණි.

බලධාරීන් දැනුවත් කළ පමණකින් ඔවුන් හැමවිටම ප්‍රශ්න විසඳන්නේ නැති බව මම කීවෙමි. බලවතකු වැරදි කරන විට සෙසු බලවතුන් නිහඬව සිටීම මගින් ඒ වරදට අනුබල දෙන බව තවදුරටත් මම කීවෙමි. එය ඔවුන් පිළිගත් අතර එම තත්ත්වය ජයගැනීමට තෝරා ගත යුතු මග කුමක්දැයි සභාව මගෙන් අසා සිටියේය. සිදුකෙරෙමින් තිබෙන ඉදිකිරීම නීති විරෝධී ඉදිකිරීමක් නම් ඉන් ප්‍රදේශයේ මහජනයාට ලොකු හානියක්ද සිදුවේ නම් එම ඉදිකිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීම ඒ සඳහා යොදාගත හැකි හොඳම ප්‍රතිකර්මය බව මම කීවෙමි. එවැනි නඩුවකට ලොකු වියදමක් යන්නේ නැති බවත් යන වියදම ගමෙන්ම එකතු කරගැනීම වඩා සුදුසු බවත් කියා සුදුසු නීතිඥයෙකු නැතිනම් හොඳ නීතිඥයෙකු සොයා දීමට මට උදව් කළ හැකි බවත් මම කීවෙමි.
මාගේ කරුණු දැක්වීම ඔවුන් තුළ අතෘප්තියක් තිබුණේ නම් එය නැති කොට ඔවුන් තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවී තිබුණු බව පෙනෙන්නට තිබුණි. එවැනි නඩුවකට අවශ්‍ය මුදල් සොයා ගැනීම අමාරු ප්‍රශ්නයක් නොවන බවද මම කීවෙමි. ඔවුන් ඒ ගැන සාකච්ඡා කොට තීරණයක් ගෙන මට දැනුම් දෙන බව කීවත්, මේ දක්වා ඔවුන් මට එවැනි දැනුම්දීමක් කළේ නැත. සාමාන්‍යයෙන් මිනිසුන් උද්ඝෝෂණවලට කැමතිය. ප්‍රසිද්ධ කිරීම්වලටද කැමතිය. ඒ දෙකම වැදගත්ය. එහෙත් ඒ දෙකෙන් පමණක් විසඳාගත නොහැකි ප්‍රශ්නද තිබෙන්නේය. නඩුවකට අවශ්‍ය මුදල් සොයා ගැනීම දුෂ්කර දෙයක් නොවන්නට ඇතත් නඩුව පවරන පුද්ගලයා කවුරුන් විය යුතුද යන ප්‍රශ්නයේදී ඒ සඳහා අවශ්‍ය නිර්භීතකම ඇති පුද්ගලයෙකු සොයා ගැනීම විසඳාගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්වූවා විය හැකිය.

දැන් මට ප්‍රධාන කතාවට යා හැකිය. යුක්තිය අහිමි කරනු ලැබ තිබෙන ඒ. රාසයියා මහතා සම්මානලාභී කලාකරුවෙකි. ඔහු විසින් නිර්මාණය කොට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මුද්දර සංඛ්‍යාව නවයකි. 1983 කළු ජූලිය වනවිට ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයාය. රාසයියා මහතා ජූලි කලබලවලින් විපතට පත් පුද්ගලයෙකි. කලබල පැවති බිහිසුණු අවස්ථාවේදී විපතට පත් අනාථයන් සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පවත්වාගෙන ගිය අනාථ කඳවුරේ සරණ සොයා යන්නට ඔහුට සිදුවිය. යාපනේ ජීවත් වූ ඔහුගේ පවුලේ අයට ඒ අවස්ථාවේ ඔහු සමඟ සම්බන්ධයක් නොතිබීම නිසා ඔහුද කලබලවලදී මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කළහ. රාසයියා මහතාගේ මව පුතා නැති දුකින් දින 14ක් නිරාහාරව සිට ඇති අතර කඳවුරේ සිටි අනෙක් අනාථයන් සමඟ රාසයියා මහතා නැව් මගින් යාපනයට ගෙන ගිය පසු ඔහු සිය නිවසට යනවිට ඊට පෙර දින මව මියගොස් සිටියේය.

83 කළු ජූලිය රාසයියා මහතා තුළ ලොකු කම්පනයක්ද, කලකිරීමක්ද ඇති කිරීමට හේතුවී තිබුණි. කළු ජූලියෙන් පසු ඉන් බැටකෑ පුද්ගලයන් අතර සිටි රජයේ සේවකයන්ට ඔවුන් කැමති නම් සිය කැමැත්තෙන් වේලාසනින් විශ්‍රාම යෑමේ අවස්ථාව රජය ලබා දුන්නේය. ඒ අනුව රාසයියා මහතාද විධිමත් ලෙස රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. එහෙත් ඔහුට ලැබිය යුතු විශ්‍රාම වැටුප් ඔහුට ලැබී නැත. ඔහු ඒ ගැන බලධාරීන්ට දිගින් දිගට ලීවේය. කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන විට මානව හිමිකම් කොමිසමට හා ඔම්බුඞ්ස්මන්වරයාටද පැමිණිලි කළේය. එම ආයතන දෙකම ඒ පරීක්ෂණ පවත්වා රාසයියා මහතාට විශ්‍රාම වැටුප් ලබාදිය යුතු බවට අධ්‍යාපන බලධාරීන්ට බලවත් ලෙස නිර්දේශ කළේය. එහෙත් අධ්‍යාපන බලධාරීන් එම ආයතන දෙකේ නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත. රාසයියා මහතා සිය කැමැත්තෙන් විශ්‍රාම යන විට සේවය කළේ කොළඹ රාජකීය විද්‍යාලයේය. දේශපාලන බලවතුන් කිසියම් විශාල පිරිසක් අධ්‍යාපනය ලබා තිබෙන්නේද දේශපාලන බලවතුන්ගේ දරුවන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන්නේද රාජකීය විද්‍යාලයේය. ඒ අර්ථයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාටද අතිවිශාල බලයක් තිබෙන්නේය. රාසයියා මහතා සේවය කළේ රාජකීය විද්‍යාලයේ නම් ඔහුට යුක්තිය ඉටුකරදීමට රාජකීය විද්‍යාලය මැදිහත් නුවූයේ ඇයිද යන්න ප්‍රශ්නයකි. ඒ ඔහු දමිළයකු වූ නිසාද?

රාසයියා මහතා දැන උගත් පුද්ගලයෙකි. බිබිලේ ගොවීන්ට සේ ම ඒ මහතාටද තමන්ට සිදුවන බලවත් අසාධාරණයකදී යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා තෝරාගත යුතු හරිමග ගැන හරි වැටහීමක් තිබී නැත.

මානව හිමිකම් කොමිසම හා ඔම්බුඞ්ස්මන්වරයා ලබාදෙන ලද නිර්දේශවලින් පසුත් අධ්‍යාපන බලධාරීන් එම නිර්දේශ ක්‍රියාවට නැගීමෙන් වැළකී සිටියේ නම් රාසයියා මහතා එම නිර්දේශ සමඟ අධිකරණ නියෝගයක් සඳහා අභියාචනාධිකරණයට යායුතුව තිබුණි. මෙම සටහනින් පසුවවත් ඔහුට යුක්තිය ඉටු නොවේ නම් ඔහු උසාවි නියෝගයක් ලබාගන්නා තැනකට යායුතුය. ඒ සඳහා ඔහුගේ ආධාරකරුවන් ඔහුට උදව් කළ යුතුය. නීතිමය ක්‍රියාමාර්ගයන් සඳහා ඒ මහතාට උදව් අවශ්‍ය නම් පුනරුද ව්‍යාපාරයටද එය කළ හැකිය. සියලු නඩු හබවලට කරගැසීමේ හැකියාවක් පුනරුද ව්‍යාපාරයට නැති බවද ඒ සමඟ කිව යුතුය. පුනරුද ව්‍යාපාරය කරගසන්නේ තෝරාගත් පොදු වැදගත්කමක් ඇති දේවලට පමණය.■