රවී කරුණානායක ගෙවිය යුතු වන්දිය

මනුවර්ණ

රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව්වී ඇති කාරණා ඉතාම බැරෑරුම් ඒවා වන විට, ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙමින් ඇමතිවරයා පැහැදිලි කළ කාරණා විශ්වාසවන්තභාවයෙන් තොර බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. තමා තාවකාලිකව වාසය කරන මහල් නිවාසය ගැන හෝ එහි අයිතිකාරිය හෝ ගැනත්, එය ලබාගත් ආකාරය ගැනත් දැනට කොමිසම ඉදිරියේ එළිදරව්වී ඇති කාරණාවලට පරස්පර අදහසක් ඔහු එහිදී ප්‍රකාශ නොකළ අතර, ඒ සියල්ල එසේ සිදුවී ඇති බව පිළිගත්තේය. ඔහුගේ ස්ථාවරය වුණේ, එවැනි ගනුදෙනුවක් සිදුවුණු බවක් තමා නොදන්නා බවත්, පසුව දැනගත්තේ මන්ත්‍රීවරයකු විසින් එය පාර්ලිමේන්තුවේදී මතුකරන ලද අවස්ථාවේදී බවත්ය. කෙසේ වෙතත්, ගනුදෙනුවට අදාළ මුදල් නැවත ගෙවූ බවද ඔහු කීවේය. මේ පිළිතුරු, කොමිසම හමුවේ එල්ලවී ඇති කරුණු බිඳහෙළීමට තරම් ශක්තිමත් නොවේ. මුදල් නැවත ගෙවීමෙන් ප්‍රශ්නය නිරාකරණයද නොවේ. මැදමුලන රාජපක්‍ෂ කෞතුකාගාරය වෙනුවෙන්ද, බැසිල් රාජපක්‍ෂගේ ගුවන් ගමන් සඳහාද, සතොසෙන් ණයට ලබාගත් භාණ්ඩ සඳහාද පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් ඒ වංචාවලට අදාළ විමර්ශන පැවැත්වෙද්දී, පසුගිය දිනවල මුදල් ආණ්ඩුවට ගෙවූ නමුත්, ඒ වූ පමණින් ඔවුන් මුහුණ දී සිටින අපරාධ චෝදනාවලින් මිදෙන්නට ඉඩක් නැත.

ජනාධිපති කොමිසමට කිසිම පුද්ගලයකු වරදකරුවකු කළ නොහැකිය. එයට කළ හැක්කේ, තමන්ට පැවරී ඇති විෂය කාරණය සම්බන්ධයෙන් කරුණු සොයාබලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණය. ඒ කරුණු පදනම් කරගෙන නඩු පැවරීම හෝ වෙනත් නීතිමය පියවරක් ගැනීමට ජනාධිපතිවරයා එම වාර්තාව අදාළ ආයතනවලට ඉදිරිපත් කළ යුතුය. මෙය විශේෂ ජනාධිපති කොමිසමක් නොවන නිසා, එහි නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට කිසිවකුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීම වැනි ක්‍රියාමාර්ගවලට එළැඹීමටද නුපුළුවන. ඒ අනුව, ජනාධිපති කොමිසම වනාහි තර්කානුකූල අන්තයක් නැති, හුදෙක් මහජන මුදලින් නඩත්තු කෙරෙන කතා සාප්පුවක් පමණකැයි කවුරුහරි කිව්වොත් එයත් බොරුවක් නොවේ. විශේෂයෙන් මහජනතාව අතර කිසියම් දේශපාලන ආන්දෝලනයක් පැනනැගෙන විට, එහි උණුසුම සමහන් කිරීම සඳහා තාවකාලික පියවරක් හැටියට ජනාධිපති කොමිෂන් සභා පත්කිරීම පසුගිය කාලයේ ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් විය. ඒවායේ කාර්යය අවසානයේදී රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ඉදිරිපත්කළ වාර්තාවලට වුණු දෙයක්ද නැත. අද බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම කරේ තබාගෙන යන රාජපක්‍ෂ ආණ්ඩුවේ හිටපු දේශපාලකයන්ට, ඒ ආණ්ඩුව කාලයේ පත්කළ ජනාධිපති කොමිෂන් සභා ගණන මතකයේවත් තිබේදැයි සැක සහිතය. ඒවායේ අවසන් වාර්තා දැමූ හමස් පෙට්ටිය දැන් තිබෙන්නේ කොහේදැයි ඔවුන් පළමුව රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අසා දැනගත යුතුය.

ඇත්ත. රවි කරුණානායක ඇමතිවරයා මේ ආණ්ඩුව බලයට ගෙනඒමට අතිවිශාල කාර්යභාරයක් කළ පුද්ගලයෙකි. ඒ සඳහා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ මෙන්ම අනෙකුත් පක්‍ෂවලද, සිවිල් සංවිධානවලද ශක්තිය එකට එකතු කිරීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ පුද්ගලයෙකි. ජාතිවාදයට, ආගමික අන්තවාදයට සපුරා විරුද්ධ මතයක් දරන්නෙකි. පසුගිය කාලයේ රජයේ ආර්ථිකය ශක්තිමත් කරන්නට බලවත් දායකත්වයක්ද දැක්වූවෙකි.

එහෙත් ඉහත කී කිසිවකින් රවි කරුණානායක ඇමතිවරයා මේ කාරණයේදී පිරිසිදු කෙරෙන්නේ නැත. කොමිසම හමුවේ ඇති කරුණුවලින් එල්ල වන්නේ අපරාධ චෝදනාවක් නොවේ. එය දේශපාලන සදාචාරය පිළිබඳ වරදකි. රවි කරුණානායක ඇමතිවරයා කර ඇත්තේ දේශපාලන සදාචාරය පිළිබඳ සමාව දිය නොහැකි වරදකි.

සදාචාර චෝදනාව ඉතා පැහැදිලිය. තමන්ගේ ආණ්ඩුව බලයට පැමිණි වහාම සිදුවුණු බැඳුම්කර වංචාවට අදාළ පළමුවැනි වගඋත්තරකරුගේ මුදල්වලින් ගත් නිවසක ඔහු පදිංචිව සිට තිබේ. බැඳුම්කර පිළිබඳ කොමිසම සොයාබලන්නේ 2015 පෙබරවාරි මස 1වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා කාල පරිච්ඡෙදයේ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ වංචා සම්බන්ධයෙනි. එම කාල පරිච්ඡේදය තුළ අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර සිදුවීමට අදාළ වගඋත්තරකරු හැටියට හැම අතින්ම ප්‍රසිද්ධ ව සිටියේය. ඒ බව ඇමතිවරයාවත්, ඔහුගේ ව්‍යාපාරික බිරිඳවත් නොදැන සිටින්නට කිසිම සාධාරණ හේතුවක් නැත. එසේ තිබෙද්දී, ප්‍රශ්නගත මහල් නිවාසය කුලියට ගැනීම සඳහා ඇමති කරුණානායකගේ බිරිඳ එහි යන්නේ 2016 ජනවාරි 27 වැනිදා දහවල්ය. එනම් බැඳුම්කර වංචාව ගැන මුළු රටම කතාකරන්නට පටන්ගෙන තිබුණු කාලය ඇතුළතදීය. මහල් නිවාසයට ගොස් නිවස පරීක්‍ෂා කළ ඇමති බිරිඳ දුරකථන ඇමතුමක් දී අර්ජුන් ඇලෝසියස්ද එහි කැඳවා ගත්තාය. ඇලෝසියස්, නිවස හිමිකාරියට පවසා ඇත්තේ, තමා නිවස කුලියට ගන්නා බවත්, නමුත් එහි පදිංචි වන්නේ ඇමති කරුණානායකගේ පවුල බවත් ය. බිරිඳගේ මැදිහත්වීමෙන් මේ කරුණු මෙසේ සිදුවුණු බවක් ඇමතිවරයා නොදැන සිටියේයැයි කීම පිළිගැනීම හෝ නොපිළිගැනීම හෝ කොමිසම කළ යුතු වුණත්, සාධාරණ මනුෂ්‍යයකුට ඒ ගැන ඇති කරගත හැකි නිගමනය පැහැදිලිය. ‘ඇමති කියන්නේ බොරු.’

කරුණානායක ඇමතිවරයා, කර ඇත්තේ 70- 80 දශකවල ලංකාවේ දේශපාලකයන් කළ පරණ පන්නයේ වරදකි. එනම්, වංචාවක වගඋත්තරකරුවකුගෙන් තමන්ගේ පාවිච්චියට නිවසක් කෙළින්ම ලබාගැනීමය. එහෙත් රාජපක්‍ෂ පාලන කාලයේ වංචා සිදුවුණේ මේ විදියට බැලූ බැල්මට පෙනෙන ආකාරයෙන් නොවේ. ඉතාමත් සූක්‍ෂ්ම සංකීර්ණ ආකාරයෙනි. ඒ නිසා, ඒ මහා පරිමාණ සුපිරි ගණයේ වංචා සොයන්නට මහත් වෙහෙසක් ගන්නට අපරාධ පරීක්‍ෂණ අංශවලට තවමත් සිදුවී තිබේ.

කොහොම වුණත්, ඇමතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. නැතහොත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මැදිහත්වී ඔහු ධුරයෙන් ඉවත් කළ යුතුය. ආණ්ඩුව බලයට ගෙනඒමට ඔහු කළ කැපවීම ඒ අසීරු පියවර නොගැනීමට හේතුවක් නොවේ. කරුණානායක ඇමතිවරයා, ධුරයෙන් ඉවත්වීම හෝ ඉවත් කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපය පිරිසිදු කරගැනීමට හේතුවනවාක් මෙන්ම ඊට අදාළව අනාගතයේ පැනනැගිය හැකි දේශපාලන අර්බුද ගණනාවකට පිළිතුරද වන්නේය. විශේෂයෙන් ඔහුට එරෙහිව නැගෙන විශ්වාස භංග යෝජනාවකදී ආණ්ඩුවට සිදුවන්නේ ‘මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ කියන තත්ත්වයට වැටෙන්නටය. කරුණානායක බේරාගන්නට ආණ්ඩුවට වුවමනා වුණොත්, සිය යහපාලන ප්‍රතිරූපය ඒ වෙනුවෙන් බිල්ලට දෙන්නට ආණ්ඩුවට සිදුවෙයි. ‘චෝදනා ඔප්පුවී නැතිය’ කියන පදනම මත සිට ඇමතිවරයා ආරක්‍ෂා කිරීමෙන්ද සිදුවන්නේ ආණ්ඩුව තමන්ම වලක් කපාගැනීමය. පෙනෙන විදියට අමතිවරයා ඉවත්කිරීම හැර විසඳුමක් නැත. ආණ්ඩුව තුළ, විශේෂයෙන් එජාප කණ්ඩායම තුළ පවා කරුණානායක ඇමතිවරයා සම්බන්ධයෙන් පවතින්නේ පහන් හැඟීමක් නොවන බව කියන්නට මනුවර්ණ කැමතිය.

එහෙත්, කරුණානායක සිදුවීම හරහා ආණ්ඩුවේ දේශපාලන ගතිකයන් ගැන අවබෝධයක් ලබාගැනීම වැදගත් වනු ඇත. ජනාධිපතිවරයා මුල සිටම බැඳුම්කර වංචාව ගැන තදින් හිටියේය. ඒ අගමැතිවරයා එම වංචාවට සම්බන්ධ පුද්ගලයන් ආරක්‍ෂාකිරීමේ පිළිවෙතක් පවත්වාගෙන යද්දීය. එම වංචාවට මහබැංකුව ඇතුළතින් සහාය දුන්නේයැ’යි කියූ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුට එරෙහිව බරපතළ චෝදනා නැගී තිබියදී පවා දෙවන වරටත් මහබැංකු අධිපතිධුරයට පත්කරන්නට අගමැතිවරයා මහත් වෙහෙසක් ගත්තේය. එක් අවස්ථාවකදී ඔහු සිටියේ, අර්ජුන් මහේන්ද්‍රන් පත්කරන්නේ නැතිනම් තමා අගමැතිකම හැරදා විපක්‍ෂයට ගොස් වාඩිවන බව කියන තරම් මුරණ්ඩු තත්ත්වයකය. ජනාධිපතිවරයා දෙවැනි වර පත්වීම නොකළේ, ආණ්ඩුව ඇතුළතින් මෙන්ම පිටත සමාජයෙන්ද මහේන්ද්‍රන් මහතා නැවත පත්නොකළ යුතු බවට පැනනැගුණු බලපෑම පදනම් කොටගෙනය. ඒ තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා බලවත් නොසතුටකින් සිටි බව රහසක් නොවේ. අවසානයේදී ජනාධිපතිවරයා භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම පත්කළේය. ඒ වික්‍රමසිංහ මහතාත් ආණ්ඩුවත් බැඳුම්කර වංචාව වසාගන්නට උත්සාහ කරන බව පෙනෙමින් තිබෙද්දීය.

මුලින් කී ආකාරයට මෙම කොමිසමට කිසිම නීතිමය පියවරක් ගත නොහැකිය. එහෙත්, ගතයුතුයැයි සිතෙන පියවර ගැන නිර්දේශ කළ හැකිය. ඒ පියවර ගන්නේද නොගන්නේද යන්න අනාගතය පිළිබඳ කාරණාවකි. සමහරකු ජනාධිපති කොමිසම විවේචනයට ලක්කළේ, එහි ඇති මේ සීමාකාරී තත්ත්වය නිසාය. කොහොම වුණත්, කොමිසමෙන් ඇතිවිය හැකියැයි කිසිවකු බලාපොරොත්තු වුණු ආන්දෝලනය නම් දැනටමත් ඇතිවී තිබේ. මීට පෙර මේ කාරණය සම්බන්ධයෙන්ම පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට ඉදිරිපත් නොවුණු කරුණු කාරණා රාශියක් මේ කොමිසම හමුවේ ඉදිරිපත්වී තිබේ. එයින් පැනනැගෙන එක් පැති නිරීක්‍ෂණයක් වන්නේ, පාර්ලිමේන්තු කොමිටිවල තිබෙන අප්‍රතිඵලදායක බවද?

කොමිසම හමුවේ පරීක්‍ෂණයට භාජනය වුණේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලම ඇමතිවරයෙකි. එය පහසුවෙන් නොතකා හැරිය යුතු දෙයක් නොවේ. පරණ ආණ්ඩුවේ හා මේ ආණ්ඩුවේ ඇති එක් සාධනීය වෙනසක් නම් එයයි. එදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රසිද්ධ පාලන මූලධර්මය වුණේ ‘අපේ එකෙක් නම් නීතිය ඒ හැටියටම ක්‍රියාත්මක කරන්න බැහැනේ’ යන්නයි. ඒ මහින්ද චින්තනය ක්‍රියාත්මක වීම නිසා, රජයේ සේවකයෙකු ගස් බැන්ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමඟ බලහත්කාරයෙන් ජාතික රූපවාහිනියට කඩාපැන්න මර්වින් ද සිල්වා වැනි මුළු සමාජයේම ගර්හාවට පාත්‍රවුණු තුට්ටු දෙකේ දේශපාලකයකු පවා නීතියෙන් ආරක්‍ෂා වුණේය. ඉන් ඉහළ දේශපාලකයන් ගැන කතා මොකටද? ‘ඔබ ආවේ යහපාලනය ගෙනයන්නදැයි’ නීතිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපති කොමිසමේදී අසන විට, ‘මා වැනි ප්‍රධාන ඇමතිවරයකු කැඳවා ප්‍රශ්න කිරීමට තරම් හැකියාවක් ඇතිවී තිබෙන්නේ යහපාලනය නිසායැ’යි රවි කරුණානායක ඇමතිවරයා දුන් පිළිතුර ඇත්තක් වන්නේ එහෙයිනි.

මොනවා වුණත්, මහජනතාවගෙන් පැනනැගුණු බලපෑම නිසා හිටපු මහබැංකු අධිපතිවරයාට ධුරය හැර යන්නට සිදුවුණේය. නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට ධුරය හැර යන්නට සිදුවුණේය. අවුරුදු දෙකහමාරක කාලය තුළ මේ උදාහරණ පෙන්වන්නේ, වැරදි ඇතිමුත්, කිසියම් ප්‍රමාණයකට හෝ මහජන බලයට හිස නවන ආණ්ඩුවක් තවමත් තිබෙන බවය. ඒ සඳහා ආණ්ඩුවේ ද්විපාර්ශ්වික එළැඹුමද වැදගත් සාධකයකි. එවැනි එළැඹුමකදී, සංවරණ හා තුලනයන් ප්‍රකටව වැඩකරනවා පමණක් නොව, ආණ්ඩුවේ හෝ එහි නායකයන්ගේ අධිකාරිවාදී ස්වරූපය තුනී වී සමාජ බලවේගයන්ගේ බලපෑම්වලට කිසියම් ඉඩක් ලැබෙන බවටද මේ එක් උදාහරණයකි.
ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයද කරුණානායකගේ ප්‍රශ්නය අල්ලාගෙන එජාපයට උඩ පැන පැන තලන හැටි දුටුවිට ඇතිවන්නේ හාස්‍යයක් මිස පුදුමයක් නොවේ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේදී අඳගොලු බිහිරි චරිත රඟපාමින් හොරුන් සමඟ හෙලුවෙන් එකම කැබිනට්ටුවේ සිටි මේ වර්තමාන ඇමති පිරිස, අද වංචා දූෂණවලට එරෙහිව දක්වන නිර්භය මැදිහත්වීම එදා ආණ්ඩුවට එරෙහිව කළේ නම් සිදුවිය හැකිව තිබුණේ කුමක්ද?

කරුණානායක මහතා කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරීන් භුක්ති විඳි සුපිරි නිදහස හා උද්යෝගිමත්භාවයද ජනවාරි 8න් පසු රටේ ඇතිවුණු වෙනසේ ප්‍රතිඵලයක් මිස අන් කිසිවක් නොවේ. ඊටත් වඩා සිත්ගන්නාසුලු කාරණය නම්, කොමිසමේ සාක්‍ෂි දීමෙන් පසු පිටතට ආ කරුණානායක මහතා වටකරගෙන මාධ්‍යකරුවන් ප්‍රශ්න කළ නිර්භීත හා ආක්‍රමණශීලී ආකාරයයි. මාධ්‍ය නිදහස පැත්තෙන් එය වර්ණනා කළ යුතු තරමේ ඉමහත් උද්යෝගිමත්කමකි. එහෙත්, ඒ මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවන්ම, තවමත් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ හෝ බැසිල් රාජපක්‍ෂ වැනි පුද්ගලයකුගෙන් කැමරා, මයික්‍රපෝන අල්ලාගෙන ප්‍රශ්න කරන සුපේශල ශික්‍ෂාකාමී, හරියටම කිවහොත්, බියසුලු ආකාරය මතක් කරගන්න. ජනවාරි 8 නිසා ඇතිවුණු දේශපාලන වෙනස නම් එයයි.

ඒ දේශපාලන වෙනස අමාරුවෙන් ඇතිකරගත්තකි. ඒ සඳහා රටේ බහුතර මහජනතාවක් කර ඇති කැපකිරීම් සුළුපටු නොවේ. රට වෙනස් කරගත හැකි වනු ඇත්තේ, දැනට පෙනෙන්නේම නැති තරම් දුර්වල වී ඇති ඒ වෙනස තවතවත් දියුණු කර ගැනීමෙන් පමණකි. එහිදී, ඊට එරෙහිව යන කිසිම දෙයක් ඉවසිය යුතු නැත. රවි කරුණානායක ඇමතිවරයා, බැඳුම්කර වංචාකරුවකු සමඟ පවත්වා ඇති මේ දුර්වරණ නිවාස සම්බන්ධතාව, රට බලාපොරොත්තු වන වෙනසට හානිකර දෙයකි. එය කළේ බිරිඳයැයි කියමින් නීතියේ තාක්‍ෂණික කාරණාවලින් ගැලවෙන්නට හැකිවුණත්, දේශපාලන සදාචාරය පිළිබඳ අවුලෙන් නම් කිසිසේත් ගැලවිය හැකි නොවේ. එහි වන්දිය ඔහු ගෙවිය යුතුය. නැතහොත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මහජනතාව වෙනුවෙන් ඔහුගෙන් වන්දිය අයකරගත යුතුය.■