අගමැතිවරයාට දෑත් පිරිසිදු බව ඔප්පු කරන්න බැරි වුණා | විජිත හේරත්

තරිඳු උඩුවරගෙදර

කෝප් කමිටුව විසින් බැඳුම්කර ගැන හෙළිකරගත් කරුණු එක්ක ලොකු ආන්දෝලනයක් ආවා. ආණ්ඩුවට එල්ලවුණු මහජන පීඩනය හමුවේ ඒ වාර්තාව මත පදනම් වෙලා බැඳුම්කර කොමිසමක් පත් කළා. පොදුවේ ආණ්ඩුව ගත්ත මේ පියවර ගැන ඔබේ අදහස මොකක්ද?
කෝප් කමිටු වාර්තාවෙන් බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවුණු දේ සම්පූර්ණයෙන් හෙළිදරව් වුණා. එතැනින් හෙළිවුණු දේවල් අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නයි තිබුණේ. ඒ වෙනුවට ආණ්ඩුව කළේ කොමිසමක් පත් කළ එක. ඒ කොමිසමෙන් තවත් වැඩිමනත් කරුණු එළියට ආවා. තව එමින් තියෙනවා. හැබැයි මේක මෙච්චර දික්ගස්සන්න ඕනෑ නෑ. දැනට හෙළිවෙලා තියෙන කරුණු හොඳටම ප්‍රමාණවත් මේක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න. පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ දේපළ රාජසන්තක කරන එක, ඒවා විදේශ රටවලට ගෙනයෑම නතර කරන එක, ඒකට සම්බන්ධ වුණ අනෙක් නිලධාරීන්ගේ වැඩ තාවකාලිකව නතර කරන එක වගේ ඉක්මනින් කළ හැකි දේවල් ගොඩක් තිබුණා. ඒත් ඒවා කළේ නෑ. දැන් මේක ඇදි ඇදී යනවා. කොමිසමත් තව කාලයක් යයි. කොමිසමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒකට පුළුවන් වාර්තාවක් හදන්න. ඒක අරගෙන ආයේ නඩු දායි. ඉතින් තව ගොඩක් කල් යයි. හැබැයි දැන් කරුණු හෙළිදරව් වෙලා ඉවරයි. රවි කරුණානායකලා අතේ මාට්ටු. දැන් මොබයිල් ෆෝන් ස්විමින් පූල් එකට වැටුණා වගේ විවිධ බොරු කියලා වැඩක් නැහැ. දැන් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒත් එහෙම වෙයි කියලා විශ්වාසයක් නෑ.
අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ, ඔහුව ආරක්ෂා කළේ, බැඳුම්කර ගනුදෙනුව යට ගහන්න උත්සාහ කළේ සහ මහ බැංකුව බාරව සිටියේ දෑත් පිරිසිදු දේශපාලනඥයෙක් බව කියන අගමැතිවරයා.

මේකෙදි ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් අදහස මොකක්ද?
ඔහු වග කියන්න ඕනෑ. ඔහු නිවැරදි නම් ඔහු නිවැරදි බව ඔප්පු කරන්න ඕනෑ. මහ බැංකු අධිපතිවරයාව රකින්න උත්සාහ කරද්දී පැහැදිලියි ඔහු මේකේ හවුල්කාරයෙක් කියලා. විශේෂයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම චෝදනා එල්ලවෙද්දී අගමැතිවරයා උත්සාහ කළේ අර්ජුන් මහේන්ද්‍රන්ව රකින්න. කොයිතරම් දෑත් පිරිසිදු වුණත් ඒක ඔප්පු කරන්න හැකිවෙන්න ඕනෑ. අගමැතිවරයාට දෑත් පිරිසිදු බව ඔප්පු කරගන්න බැරිවුණා.

රවි ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ආවොත් ජවිපෙ ගන්නා පියවර මොකක්ද?
අනිවාර්යයෙන් විශ්වාසභංගයක් ගෙනෙන්න ඕනෑ. අපිත් විශ්වාසභංගයක් ගේන්න හිතාගෙන ඉන්නවා. කවුරු විශ්වාසභංගයක් ගෙනාවත් අපි සහාය දෙනවා. කොහොමත් ලබන අටවැනිදා තමයි පාර්ලිමේන්තුව පටන්ගන්නේ. එදාට තමයි මන්ත්‍රීවරුන් අත්සන් කරලා කතානායකවරයාට විශ්වාසභංගය බාරදෙන්න වෙන්නේ.

හම්බන්තොට වරාය ගිවිසුම පහුගිය සතියේ කතාබහට ලක්වුණු අනෙක් මාතෘකාව. එහෙත් වරාය වෙනුවෙන් වෙලා තියෙන අධික ණය පියවන්නටත් පාඩුව මකාගන්නටත් ඒක බදුදීම යහපත් පියවරක් නෙවෙයිද?
හම්බන්තොට වරාය කියන්නේ ජාතික සම්පතක්. මෙතැනට වරායක් ඕනෑ කියලා මුලින්ම කිව්වේ 1912දී විතර හම්බන්තොට හිටපු මහ දිසාපතිවරයා. අපිත් කාලයක් තිස්සේ වරායක් ඕනෑ කියන ස්ථාවරයේ හිටියා. හැබැයි හිටපු ආණ්ඩුව මේක හදනකොට අඩුපාඩු රැසක් තිබුණා. කොහොමවුණත් දැන් වරායක් තියෙනවා. තියෙන වරාය වැඩි දියුණු කරලා ලාභ උපයන තැනට ගෙනෙන එක තමයි ආණ්ඩුවක් කරන්න ඕනෑ. දැන් කරන්නේ අවුරුදු අනූනවයකට බදු දෙන එක. අවුරුදු අනූනවයකට බදු දෙනවා කියන්නේ වික්කා හා සමානයි. හම්බන්තොට තෙල් ටැංකි ටික පාවිච්චි කළා නම් තෙල් සංස්ථාවට තිබුණා අපට අඩුවට තෙල් ටික දෙන්න. දකුණු ආසියාවේම හොඳම තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට ලංකාව පත් කරගන්න තිබුණා. ඇත්තටම ගත්තොත් මේක චීනයේ ජාත්‍යන්තර ආරක්ෂක උපාය මාර්ගයට ඉතාම වැදගත් තැනක්. ඒ නිසා තමයි චීනය මෙච්චර ඇහැ ගහගෙන හිටියේ. චීනා තම අරමුණ ඉෂ්ට කරගත්තා. අනූනව අවුරුද්දකින් තෙල් බලශක්තියක් විදියට පාවිච්චි කරන්නේත් නැතිවෙයි. අපට මේක ඒ කාලේ වෙනකොට ගත්තාට වැඩක් වෙන්නේ නැහැ. ඒ ගත්ත සල්ලි ටිකත් දැන් මහා භාණ්ඩාගාරයට දාලා තියෙන්නේ. ණය පියවීම ගැන කිව්වත්, දැන් ඒ මුදල් ණය පියවන්න නෙවෙයි, මහා භාණ්ඩාගාරයට දාලායි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයේ සල්ලි යොදවන විදියට යොදවනවා. ඒක ණයට හිලව් කරලාත් නැහැ. ණයත් තියෙනවා. සුපුරුදු වංචා දූෂණ සහ නාස්තියට මේ සල්ලි ඉවරවෙලා යනවා.

ආණ්ඩුව කියන්නේ මේක සංවර්ධනය කරලා ලාභ ලබන තැනට ගෙනෙන්න තරම් ආයෝජනය කරන්නට මුදල් සහ හැකියාවක් ලංකා රජයට නැහැ කියලා නේද?
වරාය අධිකාරිය කිව්වා පුළුවන් කියලා. ඔවුන් මේක ගැන යෝජනාවක් දුන්නා. ඔවුන් කිව්වේ අපට මේක කරන්න දෙන්න, මේක කරන්න පුළුවන් කියලා. සමහරු කියනවා මේක වැඩක් නෑ කියලා. අපට පාඩුයි කියලා. පාඩුයි නම් චීනා ගන්නේ ඇයි? චීනාට පුළුවන් නම් අපට බැරි ඇයි. අනික මේක පාඩු ලබන නිසා මේක වික්කා නම්, ලාභ ලබන කොළඹ වරායේ ජැටිය චීනාට වික්කේ ඇයි? දැන් නැගෙනහිර ජැටියත් ඉන්දියාවට දෙන්න හදනවා. පාඩු ලබන හින්දා දෙනවා කියන එක බොරු කතාවක්. ලාභ ලබන ඒවා දෙන්නේ ඇයි එහෙනම්. මේක ජනතාව රවට්ටන්න කියන කතාවක්.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ආයෝජන ගෙන්වා ගැනීම හරහා රට දියුණු කරන නව ලිබරල් ප්‍රතිපත්තියයි. ජවිපෙ හැමදාම මේකට විරුද්ධව හිටියා. හැත්තෑහතට අවුරුදු හතළිහයි. ජවිපෙ අත්දැකීම මොකක්ද?
මේ ලිබරල් ආර්ථිකය අපට මොනවාද දායාද කළේ. මහා කුණු කඳු, ඩෙංගු වසංගතය, කුඩු ජාවාරම, වංචාව, දූෂණය, නාස්තිය, ජරාජීර්ණ දේශපාලනය තමයි දායාද කළේ. සමාජයේ අධ්‍යාත්මය සම්පූර්ණයෙන් විනාශ කළා. මේ ආණ්ඩුවත් දැන් බදු ගහනවා, දඩ ගහනවා, සහනාධාර කප්පාදු කරනවා. අන්තිමට තියෙන රාජ්‍ය සම්පත් ටික කුණුකොල්ලෙට විකුණනවා. අපි තවත් අගාධයට වැටෙනවා. දැන් අපේ වාර්ෂික ආනයනය ඩොලර් බිලියන විස්සයි. ආදායම ඩොලර් බිලියන දහයයි. පරතරය ඩොලර් බිලියන දහයයි. අපේ නිෂ්පාදනය වැඩි කරන්නට ආර්ථිකය හසුරවලා නෑ. කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ආදායම් ගන්න අපේ ආර්ථිකය සංවර්ධනය කරලා නෑ. අපි රටක් විදියට කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන මත පදනම් වුණු ආර්ථිකයක් හදන්න සැලසුම් කරලා නෑ. මේ ආර්ථිකය යන්නේ කොහේටද කියලා දිශාවක් පෙන්වන්නේ නෑ. එන එන අර්බුදවලට මොනවා හරි පැලැස්තර දාලා දවස ගෙවා ගන්නවා.

ආයෝජනය කෙරෙන මුදල් එදිනෙදා ජනතාව වෙත යන්නේ නැහැ. දිළිඳුයැයි පිළිගන්නා පුරවැසියන්ගේ තත්ත්වය ඉහළ යන්නේ නැහැ නේද?
ආයෝජනයක් කරන්න ඕනෑ ඒකෙන් සීයට පනහකවත් වාසියක් රටට එන විදියට. ඒක තමයි පොදු රාජ්‍ය මණ්ඩලයේ ආයෝජන මූලධර්මය. වින් වින් පොලිසි එක හෙවත් පනහට පනහ ප්‍රතිපත්තිය. අපේ භූමිය, අපේ සම්පත් සහ ඔවුන්ගේ ප්‍රාග්ධනය. එතකොට සියට පනහ විදියට ලාභ ලබන්න ඕනෑ. ඒක කවර ක්ෂේත්‍රයක හෝ ආයෝජනයක් වෙන්න පුළුවන්. හැබැයි පහුගිය කාලයේම අනුගමනය කළේ ඒ කොන්දේසි නෙවෙයි. අපි ඔවුන්ගේ කොන්දේසිවලට යටවුණා. යටවෙලා අප සතු දේවල් දෙන එකයි කළේ. අපි කියන්නේ ආයෝජන හා ප්‍රාග්ධනය ඕනෑ. හැබැයි ආයෝජනය කිරීමේ මූලික අරමුණ විදේශ ප්‍රාග්ධනය හා තාක්ෂණය රටට ගෙන්වාගෙන ඒකේ ප්‍රතිලාභවලින් සාධාරණ පංගුවක් ගන්න එක. ඒකෙන් තමයි ගොවියාට සහ කම්කරුවාට ප්‍රතිලාභ ලබාදෙන්න පුළුවන් වෙන්නේ.

ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නේද?
හම්බන්තොට ගිවිසුම සම්බන්ධ සිදුවීම ගනිමුකෝ. අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ හඬ නැඟු‍වා ගිවිසුම් අත්සන් කරන්න කලින් පාර්ලිමේන්තුවට දාන්න, වාද විවාද කරන්න අවස්ථාව දෙන්න කියලා. ආණ්ඩුව පොරොන්දු වුණා එහෙම කරනවා කියලා. ඒත් එක පාරම කැබිනට් මණ්ඩලයට මේ ගිවිසුමේ ඉංග්‍රීසි පිටපතක් දැම්මා. ඉන්පස්සේ එදාම අනුමත කළා. කිසි ඇමතිවරයෙකුට කියවන්න වෙලාවක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවටත් දැම්මේ ඉංග්‍රීසි කොපිය. අපි කිව්වා ඉංග්‍රීසි කොපිය විතරක් බෑ කියලා. විවාදය දවසේ උදේ තමයි සිංහල කොපිය දුන්නේ. එදාම විවාදය. මේක පිටු එකසිය ගණනක් තියෙන ගිවිසුමක්. අනික ඒ ගිවිසුමේ නීතිමය වගන්ති තියෙනවා. රටේ ජාතික සම්පතක් ගැන එකක්. රටට පෙන්වන්න විතරක් පාර්ලිමේන්තුවට දාන්නේ. අපි හිතමු එදා විවාදයේදී සංශෝධන ඉදිරිපත් කළා කියලා, පැය දහයක් ඇතුළත කොහොමද සංශෝධන අනුමත කරන්නේ. ඒ සංශෝධන අනෙක් පාර්ශ්වයත් එක්ක කතා කරන්නත් ඕනෑ. පාර්ලිමේන්තුවෙන් සංශෝධන ඉදිරිපත් වුණා නම්, පහුවදා උදේ වෙද්දී ඒවා මේකට ඇතුළත් කරන්නේ කොහොමද? මෙතැන කළේ අමුම අමු ප්‍රෝඩාවක්.

ගොඩක් ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව සංවාදයක් නැතිව, පොදු ජනතාවගේ අවබෝධයක් නැතිව තනිව තීරණ ගන්නා බව පෙනෙනවා නේද?
දැන් අත්තනෝමතික ක්‍රියාමාර්ග පටන් අරන්. ඒ නිසා තමයි තමන් එක්ක එකඟ නොවන අයට මහ දවාලක කැති පොලු‍ අරගෙන ඇවිල්ලා පහරදුන්නේ. ඒ තත්ත්වයටම ආණ්ඩුව රෙදි ගලවාගෙන නිරුවත් වෙලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය කිව්වාට දැන් බලහත්කාරය පාවිච්චි කරනවා. දැන් ආර්ථික කළමනාකරණ කමිටුව කියලා චරිත රත්වත්තේලා, පාස්කරලිංගම්ලා දාගෙන තීරණ ගන්නවා. කැබිනට් එකටත් දැනුම් දෙනවා. එච්චරයි. ජනාධිපතිවරයාත් මෙතැන රූකඩයක්. ජනාධිපතිවරයාටත් බැරිවුණා මේක පාලනය කරගන්න.

මෙවන් සිදුවීම්වලින් ආණ්ඩුව තමන් සතු මර්දන අඬු ක්‍රමයෙන් දිගහරින බව පෙනෙනවා නේද?
මේක එජාපයේ ජානමය ලක්ෂණයක්. හැත්තෑහතේ ආර්ථිකය ගෙනාවාත් එක්කම තමයි මේ වගේ මැර කණ්ඩායම් බිහිකළේ. එදා ගෝනවල සුනිල් වගේ මැරයෝ ඇති කරලා, එයාලාට සාමවිනිසුරු පට්ටම් දීලා මේ සංස්කෘතිය බහුලව පටන්ගත්තේ ඔවුන්. දැන් යහපාලනය කිව්වාට ඒක බෝඞ් ලෑල්ලක් විතරයි. ඒකට මුවාවෙලා හොරකම්, මැරකම්, වංචා ඔක්කෝම කරනවා. ඒකෙන් පෙනෙන්නේ ආණ්ඩුව වෙනස් වුණාට දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා නෑ කියන එක. දැන් රජයේ මාධ්‍යත් මේකට පාවිච්චි කරනවා. මුල් කාලයේ මාධ්‍යවලට යම් නිදහසක් තිබුණා. පොලු‍වලින් ගහලා, මාධ්‍යවලින් පහරදීම සාධාරණීයකරණය කරනවා.

ජවිපෙ සයිටම් විරෝධී සටනේ පෙරමුණේ ඉන්නවා. හැබැයි ඒ වේදිකාවේ ඒකාබද්ධ විපක්ෂයත් ඉන්නවා. සයිටම් සටන ඔවුන් තම දේශපාලන වාසිය වෙනුවෙන් පාවිච්චි කරන බව පෙනෙනවා නේද?
ඒක අපි පිළිගන්න දෙයක්. හැබැයි අපි සයිටම් එකට ප්‍රතිපත්තිමය වශයෙන් එදත් අදත් විරුද්ධයි. රාජපක්ෂ කණ්ඩායම එදා මේක ගෙනල්ලා, එදා ක්‍රියාත්මක කරලා, අද විරුද්ධ වෙනවා. ඔවුන් දේශපාලන බල වුවමනාව වෙනුවෙන් මේක පාවිච්චි කරනවා. දැන් රටේ ජනතාවට තේරෙනවා මෙයාලාට තියෙන්නේ ඇත්ත වුවමනාවක් නෙවෙයි කියලා, විරෝධය දේශපාලන බලය ලබාගන්න කරන එකක් කියලා.
ඒකාබද්ධය මොනතරම් උත්සාහ කළත් මේ ආණ්ඩුවට විරුද්ධව බහුතරයකගේ විරෝධය පැනනඟින්නේ ජාතිවාදී ඉල්ලීම් මත නෙවෙයි. ආර්ථික හා සමාජීය ඉල්ලීම් මත. ඒ නිසා ආණ්ඩුවට දේශපාලන හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ කරන්නට ලොකු බාධාවක් නෑ. ජවිපෙ වගේ කණ්ඩායම්ද ඒකට සහාය දෙනවා. ඒත් ආණ්ඩුව ඒ ප්‍රතිසංස්කරණ උනන්දුවෙන් කරන්න කම්මැලියි.

ඒ වෙනුවට ආර්ථික ප්‍රතිසංස්කරණ කරට අරගෙන කරනවා. මේ තතත්වය ගැන අදහස මොකක්ද?
ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා. සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ශපථ කළා. හැබැයි අද ඒ ගැන කතාවක්වත් නෑ. අද නිමල් සිරිපාල ද සිල්වා කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ශ්‍රීලනිපය එකඟ නෑ කියලා. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු නොකර සද්ද නැතිව ඉන්න ජනාධිපතිවරයාට අයිතියක් නැහැ. අපි ජවිපෙ විදියට පැහැදිලිව එතැන ඉන්නවා. මේක බාලගිරි දෝෂය වගේ තල්ලු‍ කරගෙන යන එක වැරදියි. ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න ඕනෑ. ඒකයි ප්‍රමුඛතාව විදියට සලකන්න ඕනෑ.

දැන් ආණ්ඩුව පළාත් සභා ඡන්ද කල් දාන්න යන්නේ ආණ්ඩුකාරවරුන් අතට පළාත් සභා දීලා. බලය බෙදන්න කතා කළ ආණ්ඩුවක් මේ විදියට බලය කේන්ද්‍රගත කිරීම ගැන අදහස මොකක්ද?
ඒක ඇත්ත. ආණ්ඩුව බලය බෙදන්න කතාකරමින් බලය මධ්‍යගත කරනවා. ඇත්තටම ඡන්ද කල් දමන්නේ ඔය කියන හේතු නිසා නෙවෙයි. ඡන්දයට බය නිසා. ආණ්ඩුවට ඡන්දයකට ආවොත් ලොකු පරාජයකට මුහුණදෙන්න වෙනවා. ඒකට බයේ පළාත් සභා ඡන්දය කල් දානවා. මේක හිතාමතාම ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීමක්.■