රාවය

සයිටම්: මෝඩ චූන් අරගලය

සයිටම්: මෝඩ චූන් අරගලය

සයිටම් විරෝධී අරගලය තරම් මෝඩ චූන් අරගලයක් මෑත කාලීන ලංකාවේ තිබී නැත. මන්ද යත් දිනුවත් පැරදුණත් ඉන් කිසිදු දීර්ඝ කාලීන හෝ තීරණාත්මක වෙනසක් සිදු නොවන නිසාය. සයිටම් සටන වනාහි, දැන දැනම වළගම්බා ක්‍රමයට උණු කිරිබත් (නො)කෑමට දැරෙන වංචාවකි.
සයිටම් තිබුණත් නැතත් මෙරට නිදහස් අධ්‍යාපනය දුර්වල කරමින් පුද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ඉදිරියටම යනු ඇත.

අප කැමැති වුවත් නැතත් වත්මන් දේශපාලන යථාර්ථය එයයි. එය තිත්ත නමුත් ඇත්තය. රාජ්‍යය විසින් සපයන නිදහස් අධ්‍යාපනය වැඩි දියුණුකිරීම උදෙසා අප මුහුණදෙන අභියෝග තේරුම්ගත යුත්තේ එම පසුබිම තුළය.

සයිටම් විරෝධී අවස්ථාවාදී දේශපාලන හවුලට මෙරට අධ්‍යාපනය මහජන සේවාවක් ලෙස දියුණු කිරීමට සමස්ත අදහසක් නැත.

ඇත්ත වශයෙන්ම නම් මෑත කාලයෙහි මෙරට අධ්‍යාපනයේ ජනතා ළැදි සුසමාදර්ශී වෙනසක් ඇති කිරීමට අදහසක් හෝ තිබුණේ චන්ද්‍රිකා කුමාරතුංග පාලනයට පමණය. 1980 ගණන් මැද භාගයේදී එජාප ආණ්ඩුව විසින් ගෙනඑන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාවෙහි වූ යම් යම් යෝජනාද යළි විමසා බැලීම වටී.

පුද්ගලික අංශයේ අධ්‍යාපනය යනු සයිටම් නොවේ. අනුර කුමාරගේ පුතා අධ්‍යාපනය ලබන ස්ලිට් තවත් සයිටමයකි. ජවිපෙ හිටපු නායකයන් දෙදෙනාගේම දරුවෝ විදෙස් රටවල අධ්‍යාපනය ලබති. පෙරටුගාමී නායකයාගේ දරුවන් ඉගෙනගන්නේද එතෙරය.

ජීඑම්ඕඒ ප්‍රධානීන්ගේ දරුවන් කොපමණ පුද්ගලික අංශයේ සහ එතෙර අධ්‍යාපනය ලබන්නේදැයි දන්නේ කව්ද? සිය දරුවන් සුපිරි පාසල්වලට ඇතුළු කරගැනීමට මරාගෙන මැරෙන ජීඑම්ඕඒ සයිටම් අහෝසි කරන්නට කියන්නේ පුද්ගලික වෛi විද්‍යාලයන්ට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ නිසා නොවේ. අහවල් එකකටද කියා දන්නේ කව්ද? ජීඑම්ඕඒ මොළය තිබෙන්නේ කොතැනකදැයි පෙනුණු සිදුවීම් දෙකක් පසුගියදා සිදුවිය. එකක් නම් කාලෝ පොන්සේකා වෙනුවෙන් වැඩ වර්ජනයක් කරන බවට කටමැත දොඩා කාලෝගෙන්ම කෑමය. අනෙක නම් වරෙන්තු පහක් පිට සිටි රයන් නම් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට සුදුවෑන් එවූවේයැයි තවත් වර්ජනයක් කරන්නට ගොස් නෑමයි. ජීඑම්ඕඒ රාජපක්ෂ සමයේ සුදුවෑන් ගැන දන්නේම නැත්ද? ජීඑම්ඕඒ ප්‍රධානීන් කියූවේ සයිටමය අහෝසි නොකළ හොත් යළි 1988-1989 තාලයේ බිහිසුණු යුගයක් ඇතිවිය හැකි බවය. ඒ ඇසූ අන්තරය “අපි යන්නේ කොයි පාරේ – ත්‍රිමාවිතාන ගිය පාරේ” යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණි.
රාජපක්ෂ කණ්ඩායමේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ බොහෝ පිරිස් සිය දරුවන් ඉගෙනීමට යවා ඇත්තේ එතෙරය. නැත්නම් පුද්ගලික පාසල්වලටය. උදාහරණයක් ලෙස ජී.එල්. පීරිස්ගේ දුව ඉගෙනගත්තේ නේපාලයේය.

රාජපක්ෂ කළේ මෙරට අධ්‍යාපන ක්‍රමයම දේශපාලනිකව මිලිටරිකරණය කිරීමයි. ලු‍තිනන් විදුහල්පතිවරුන් සහ සරසවි සිසු යුද පුහුණු මතක නැද්ද? රාජපක්ෂ 2015 දී බලයට පැමිණියේ නම් රට පුරාම යුද හමුදා පුද්ගලික විශ්වවිiාල ඇරඹෙන්නට තිබුණි. දැන් සයිටම් විරෝධී ජනපවුරේ වැඩිම බලය ඒ රාජපක්ෂවරුන්ය.

හඬන්නද? හූ කියන්නද? කොක් හඬළන්නද?
දැන් සයිටම් සියලු‍ අවස්ථාවාදී දේශපාලන බලවේගයන් එක්කරන සබන් බෝලය බවට පත්ව තිබේ. මේ අවස්ථාවාදී හවුලේ එකම පොදු සාධකය නම් තමන් තව ටිකක් ජනප්‍රියවීම පමණි. මෙරට පොදු ජනතාවගේ අධ්‍යාපන අයිතිය ගැන සයිටම් හවුලට කිසිදු පොදු අදහසක් නැත.
සයිටම් සටනේ පෙරමුණු බලකාය වන ජවිපෙ සහ ජවිපෙහි මනෝකාය වන පෙරටුගාමීන්ට සයිටම් වනාහි අද දවසේ ආහ්ලාදයයි. පොලීසිය පැමිණ කරදර නොකරන විරෝධතා පිකට් එකක ගතියක් නැති පරිදිම වතුර විදිනයන්ගෙන් නාගැනීමට නොහැකි වුවහොත් පාරවල් හරස් කිරීමට බැරිවුවහොත් සයිටම් විරෝධතා අල වෙයි. සයිටම් අරගලයේ ශිෂ්‍ය නායකත්වය දරන අන්තරය පිහිටුවා තිබෙන්නේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට නොවේ. එය ශිෂ්‍ය සංවිධානයකට වඩා තාවකාලික දේශපාලන අම්බලමකි.

ආණ්ඩුවට තිබුණේ එපා නම් එපා කියා සයිටමයට ඕනෑම කෙංගඩියක් කරගන්නට එහි යතුර එය ආරම්භ කළ රාජපක්ෂටම දීමය. මන්ද යත් සයිටමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය තීරණය කරන වෝටර්ලූ සටන නොවන නිසාය. සයිටම් සටන ආණ්ඩුවේ හයිය පිළිබඳ සංකේතයක් වන්නට ඉඩහරිනු වෙනුවට එය කළ යුතුව තිබුණේ එක් පියවරක් ඉදිරියට යනු පිණිස දෙපියවරක් ආපස්සට තැබීමය.

ජනතා විමුක්ති පෙරමුණේ උපන්ගෙයි ලක්ෂණය නම් දුර නොපෙනීමය. එයට කිසිදු වැදගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජාතික පිළිවෙතක් නැත. රාජපක්ෂ යටතේ කෘෂිකර්ම ඇමැතිකම ලද ජවිපෙ කළේ හිල් කූඩවලින් මඩ අදිමින් වැව් සුද්ධ කිරීමයි. අන්තිමේදී නටපු නැටුමකුත් බෙරේ පලු‍වකුත් නැතිවිය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පිළිවෙත යළි සකස් කිරීමට ජවිපෙට හෝ එහි පෙරටුගාමී මනෝකායට කවර හෝ අදහසක් තිබේද? පසුගිය කාලය පුරා ජවිපෙ හෝ අන්තරය හෝ මනෝකාය හෝ විසින් මෙරට නිදහස් අධ්‍යාපනය සමස්තයක් ලෙස ගෙන කරන ලද එකද අරගලයක් හෝ ව්‍යාපාරයක් හෝ දැක තිබේදැයි කල්පනා කර බලන්න.

මෙරට මාපියන් දරුවන්ගේ අධ්‍යාපනයේ ආරම්භයේදීම මුහුණ දෙන ප්‍රශ්නය පාසලක් ලබාගැනීමයි. දුගී ජන තීරු ගමේ ඉස්කෝලයට දරුවන් යවන අතර නාගරික මධ්‍යම පාන්තිකයෝ හතු මෙන් පීපී ඇති පුද්ගලික පාසල්වලට යවති. ඉන්පසු ඇතිවන්නේ මරාගෙන මැරෙන පහේ ශිෂ්‍යත්වයයි. පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවට අධ්‍යාපන විශේෂඥයන් කර ඇති නිර්දේශ සයිටම් චූන්කරුවන්ට අගුණද?

ලොව කිසිදු දියුණු රටක මෙවැනි අර්බුදයක් නැත. ප්‍රාථමික පාසල් පවතින්නේ දරුවන්ට ලෙහෙසියෙන් යා හැකි දුරකය. ප්‍රාථමික පාසල් යනු දරුවන්ගේ අධ්‍යාපනය කෙළිදෙලෙන් ලබාගන්නා පරිසරයකි. මෙරට අධ්‍යාපනයේ ප්‍රථමයෙන් කළ යුතු වෙනස නම් ප්‍රාථමික, ද්විතීයික සහ උසස් යනාදි ලෙස පාසල් යළි බෙදා වෙන්කිරීමයි. එමෙන්ම සැම පාසලකම කුඩා හෝ ක්‍රීඩා පිට්ටනියක් මෙන්ම ක්‍රීඩාගාරයක් ඇති කිරීමයි. පාසල් පන්ති කාමරය දරුවන් 20-25කට සීමාකිරීමයි. නවීන දැනුම සහිත ගුරු පුහුණුවක්ද වඩා ඉඩ සහ පහසුකම් සහිත පාසල් පන්තිකාමර ද අත්‍යවශ්‍ය සාධක වෙයි. බහුභාෂා අධ්‍යාපනයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවට පත්වෙයි.

ඉගෙනීම යනු පාසලෙහි ගතකරන කාලයම නොවේ. පාසලෙන් පසු අපේ දරුවන් කාලය ගතකරන්නේ කෙසේද? අපේ අසල්වැසි යාය කීයක දරුවන්ට පාපන්දු, අත්පන්දු, ක්‍රිකට් ගැසිය හැකි පිට්ටනි තිබේද? රට පුරා කට්ටිකර බෙදා විකුණන ඉඩම් කීයක ක්‍රීඩා කිරීමට ඉඩමක් වෙන් කර තිබේද? හැම හන්දියකම බුදුපිළිමයක් හෝ කුරුසයක් හෝ කෝවිලක් හෝ නම් තිබේ! කවර හෝ ආණ්ඩුවක් විසින් වියදම් රහිත සාමූහික ක්‍රීඩා වන අත්පන්දු, පැසිපන්දු සහ පාපන්දු දරුවන් අතර ජනප්‍රිය කිරීමට ගත් එකද උත්සාහයක්වත් මතකයට නඟා ගත හැකිද?

සයිටම් සටන්කාමීන්ට මෙරට ‘නිදහස් අධ්‍යාපනය’ රැකගැනීමට ඇත්ත වුවමනාවක් ඇත්නම් කළ යුත්තේ සයිටම් සටන මෙරට අධ්‍යාපනය නවීකරණය සහ ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේ සටනක් බවට පත්කිරීමයි. එවිට අක්‍රමවත්, ළමා අධ්‍යාපනයට පටහැනි පෙරපාසල්වලින් පටන්ගෙන පහේ ශිෂ්‍යත්වයේ සිට ටියුෂන් පංති දක්වාද, හරසුන් කලා අධ්‍යාපන ධාරාවන්හි සිට විශ්වවිද්‍යාලයන්හි දේශපාලන සමාජ සංස්කෘතිය දක්වාද ප්‍රශ්න කරන්නට සිදුවෙයි.

කවර පැත්තක සිට වුවත් සයිටම් නාඩගම නටන කිසිවකුට මෙවැනි ප්‍රශ්න ගැන උනන්දුවක් ඇති බවක් මේ තාක් පෙනී නැත. ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින එක් ප්‍රධාන සාධකයක් නම් ස්වාධීන, විවිධත්වයට ගරුකරන, නිර්මාණශීලි, විනෝදකාමී, සෞඛ්‍යමත් සහ බුද්ධිමත් පුරවැසියන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමයි. එය ලාභ අරමුණූ කරගත් අපාලිත පුද්ගලික අධ්‍යාපනයෙන් සිදුවන්නේ නැත.

දේශපාලන බලය වෙනුවට සිවිල් බලය මත රඳාපවතින අපේ අභියෝගය වන්නේ එවැනි සමස්ත ප්‍රතිසංස්කරණ සඳහා සමාජ දේශපාලන සම්මුතියක් ඇතිකර ගැනීමට කටයුතු කිරීමයි.
ඒ නයින් බලන කල සයිටම් යනු මෝඩ චූන් පුස්වෙඩිල්ලකි. එය පත්තු වුණත් නැතත් අපට වන කෙංගෙඩියක් නැත.■