අලුත්ම හිට්ලර් පිලිපිනයේ දුටර්ටේ

එස්. නන්දලාල්

පිලිපීනයේ මිලියන තුනකට ආසන්න මත්ලෝලීන් ප්‍රමාණයක් සිටින බවත් මත්ද්‍රව්‍යවලට එරෙහි තමාගේ සටන අවසන් වනු ඇත්තේ ඔවුන් සියල්ලන් ඝාතනය කිරීමෙන් පසු බවත් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ වසරක පමණ කාලයක සිට වරින්වර පවසයි. ඒ අනුව මේ වනවිට මරා දමනු ලැබ ඇති පිලිපීන වැසියන්ගේ සංඛ්‍යාව 7,000ක් ඉක්මවන බව අනාවරණය වී තිබේ.
පසුගිය 30දා පිලිපීන පොලීසිය අලුයම දියත් කළ හදිසි මෙහෙයුමක දී පිලිපිනයේ දකුණු දිග දූපතක් වන මින්දනාඕහි ඔසාමිස් නගරයේ පුරපති රේනාල්ඩෝ පැරජිනොග් සහ ඔහුගේ බිරිඳ ඇතු`ඵ 10දෙනකු මරා දැමූ බව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාගේ මත්විරෝධී ඝාතන ගැන කතාබහ නැවතත් ජාත්‍යන්තර කරලියට පැමිණ තිබේ.

දුටර්ටේගේ මත්විරෝධී සටන ඔහු පිලිපීන ජනාධිපතිවරයා වීමෙන් පසු ඇරඹුණක් නොවේ. එහි අතීතය ඔහු 1998 පෙබරවාරි මින්දනාඕ දිවයිනේ දවාඕ නම් නුවර පුරපති ලෙස දිව්රුම් දුන් දා දක්වා දිව යයි. එතැන් සිට 2016 මැයි දක්වා ඔහු එනුවර මත් උවදුර මැඩීමට ගත් පියවර වූයේ පුද්ගල ඝාතනයයි. එහෙත් මෙහි දී ප්‍රමුඛ වූයේ නීතිය නොව අනීතියයි. යුක්තිය පසිඳලීමක් සිදු වූයේ නැති තරම් ය. එමගින් අපරාධවල මුල් සිඳීමක් සිදු වනු ඇත’යි යන්න ඔහුගේ විශ්වාසය වේ.
දේශපාලනයට පිවිසෙන්නට පෙර වෘත්තියෙන් නීතිවේදියකු වූ දුටර්ටේ දවාඕ නුවර අභිචෝදක කාර්යාලයයේ බලලත් නිලධාරියකු ලෙස 1972 සිට 1986 දක්වා සේවය කළේ ය. මේ නිසා ඔහුට නීතිය පිළිබඳව න්‍යායික දැනුමක් මෙන් ම ප්‍රායෝගික ද පරිචයක් ද ඇති බව පැහැදිලි ය.

නීතිය ගැන දන්නා අය සාමය සහ යුක්තිය පිළිබඳ විශ්වාසය තැබීම සාමාන්‍ය ස්වභාවය වන නමුත් දුටර්ටේ ඉන් බැහැර පුද්ගලයෙකි. ඔහුට ඒවා ගැන කිසිත් විශ්වාසයක් ඇති බවක් නොපෙනේ. දවාඕ පුරපති භවනේ සිට මැනිලා නුවර ජනපති මැඳුර දක්වා ඔහු යන්නට ඔහුට යානයක් වී ඇත්තේ ඔහුගේ නීතියෙන් බැහැර කීම් සහ කෙරුම් නිසා බව 2016 මැයි 25 දින පළ වූ රොයිටර් වාර්තාවක දැක්වේ. එදින සිට ජනාධිපතිවරණයට තිබුණේ දින පහකි. ඒ වාර්තාවේ දැක්වෙන පරිදි දුටර්ටේ පුරපති ව සිටි සමයේ අබිරහස් ඝාතන 1,400 ඉක්මවන සංඛ්‍යාවක් එනුවර සිදු විණි. ඒවා ගැන එරට ජාතික විමර්ශන බියුරෝව (NBI) සිව් වසරක් තිස්සේ විමර්ශනවල යෙදුණු නමුත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට සමත් වූයේ නැත. ඔහු පොදු තර්ජන කරයි. මිනීමැරුම් පැහැර ගැනීම් යනාදිය සිදුවේ. එහෙත් කිසිවකට සාක්‍ෂි නොමැත.

‘ඔබ මගේ නගරය තුළ අනීතික ක්‍රියාවල නිරත වන්නේ නම්, ඔබ අපරාධකරුවකු හෝ අපරාධ සංවිධානයක සාමාජිකයකු හෝ වන්නේ නම් එමගින් අහිංසක ජනතාවගේ දේපළ පැහැර ගන්නේ නම් මා මෙහි පුරපති ව සිටිනා තාක් ඔබ නීත්‍යනුකූල ඝාතනයක ඉලක්කය වනු ඇතැ’යි වරක් වාර්තාකරුවන් හමුවේ ඔහු පවසා ඇත.
ඔහු පුරපති ලෙස දිගටම ක්‍රියාත්මක කළේත්, දැන් ජනාධිපති ලෙස රට පුරා ම ක්‍රියාත්මක කරන්නේත් මේ අදහසයි.
ජනපතිධුරයේ දිව්රුම් දුන් දා සවස මැනිලා නුවර මුඩුක්කු පෙදෙසක කුඩා ජන රැළියකට සහභාගි වූ ජනාධිපති දුටර්ටේ එහි රැස්ව සිටි ජනතාව අමතා මෙසේ කීය: ‘මෙවුන් (this sons of whores) අපේ දරුවන් විනාස කරනවා. මං කැමතියි අවවාදයක් දෙන්නට. පොලිස්කාරයෙක් වුණත් මං මරන එක මරනවාමයි මත්ද්‍රව්‍ය චෝදනාවලට අහුවුණොත්.’ ඒ සමඟම ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මත්ලෝලියකු හසු වුවහොත් දෙවරක් නොසිතා ඒකා මරා දමන ලෙසයි.
මේ ිදබ දf ් අයදරු යන්න ඔහු ජනාධිපති ඔබාමා හැඳින්වීමට ද වරක් යෙදී ය.

ජනාධිපති දුටර්ටේ යටතේ පොලිස් සහ හමුදා භටයන් 130,000ක් දෙනා පතුල් හේවායන් (foot soldiers) ලෙස ක්‍රියාත්මක බව පැවසේ. ඔවුන්ට පැවරී ඇති රාජකාරිය වන්නේ මිනී මැරීම බවට චෝදනා එල්ල වෙමින් පවතී.
පසුගිය මාර්තු මාසයේ හියුමන් රයිට්ස් වොච් නිකුත් කළ වාර්තාවකින් පොලීසියට ඍජුවම ඝාතන චෝදනා එල්ල විය. පොලීසිය විය යුතු පරිද්දෙන් ම මේ චෝදනා ප්‍රතික්‍ෂෙප කරමින් කියා සිටින්නේ තමන් කිසිවිටෙක මිනිසුන් ඝාතනය නොකරන බවත් එහෙත් තමන් අතින් මිනිසුන් ඝාතනය වනවා විය හැකි බවත් ය. සෝදිසි මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය පරිහරණය කරන්නන් සහ විකුණන්නන් තමන්ට ප්‍රහාර එල්ල කරන බවත් ප්‍රතිප්‍රහාරවල දී ඇතැම්විට ඔවුන් මිය යන බවත් පොලීසිය පෙන්වා දෙයි. 30දා ඔසාමිස් පුරපති ඝාතනය ගැන ද පොලීසිය කියන්නේ එවැනි කතාවකි. එහෙත් පාන්දර 4ට සෝදිසි මෙහෙයුම සිදුවන අවස්ථාවේ නිවැසියන් සහ ආරක්‍ෂකයන් එවැන්නක් නොකළ බව වින්දිත පාර්ශ්වය පෙන්වා දී ඇත.

2016 ඔක්තෝබර් 01දා ජනාධිපති දුටර්ටේ ප්‍රසිද්ධ වේදිකාවක පැවසුවේ ජර්මනියට හිට්ලර් කෙනෙකු සිටියා සේ පිලිපීනයට ද එවැන්නකු සිටිය යුතු බවයි. ‘ඔහු යුදෙව්වන් මිලියන ගණනාවක් ඝාතනය කළා. පිලිපීනයේ මත්ලෝලීන් මිලියන තුනක් පමණ ඉන්නවා. ඔවුන් සියල්ලන් ඝාතනය කළොත් මට සතුටු විය හැකියි.’
ඊට සතියකට පසු ප්‍රංශයේ ලිබරේෂන් පුවත්පත ජනාධිපති දුටර්ටේ හැඳින්වූයේ ‘දාම ඝාතක ජනපති’ යන අභිධානයෙනි. දුටර්ටේ පාර්ශ්වයෙන් ඊට බෙහෝ විරෝධතා එල්ල වෙයි. ‘එසේ නොකර මේ මත් උවදුර මුලිනුපුටා දමන්නේ කෙසේද’යි ඔවුහු අසති. එහෙත් හිට්ලර් කෙනෙකු වන්නට පෙරුම් පුරන දාම ඝාතක ජනපති මේ වනවිට ලොව පුරා දෝෂාරෝපණයට බඳුන් ව සිටියි.
පිලිපීනය මාධ්‍යවේදීන්ට නපුරු තැනක් වූයේ බොහෝ ඈත සන්දියක ය. මේ වනවිට නැවතත් මාධ්‍ය වෙත වන තර්ජන වැඩිවෙමින් පවතී. ‘ඔබ ජනමාධ්‍යකරුවෙක්ය කියා ඔබට විශේෂ මුක්තියක් ලැබෙන්නේ නෑ. වැරදි කර නැත්නම් බියවන්නට හේතුවක් නෑ’

ජනාධිපතිවරයා කෙසේ කීවත් එරට පොලීසිය අතිදූෂිත බවත්, පොලීසියට අල්ලස් දීමෙන් නොමැරී සිටින්නට හැකි බවත් ජනතාව චෝදනා කරති. එවැනි දේ බහුල බව මානව හිමිකම් සංවිධාන ද පෙන්වා දෙයි. එබන්දන් හසු වුවහොත් තමා ඔවුන් හෙලිකොප්ටරයකින් අහසට ගෙන ගොස් බිමට වැටෙන්නට සලස්වා මරා දමන බව ජනාධිපතිවරයා පවසා ඇත. දවාඕ පුරපති සමයේ තමා එබන්දක් කළ බව ඔහු ප්‍රකාශ කර ඇතත් ඊට සාක්ෂි නැත. එසමයේ තමා පුද්ගලයන් සිව් දෙනෙකු සියතින් ම මරා දැමූ බව ඔහු පවසයි. ඒ ගැන නම් පරීක්‍ෂණයක් පැවැත්වෙන බව සඳහන් ය.
ජනාධිපතිවරයා සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා ගෙන එන බව ද ප්‍රකට කරුණකි. ඔහු ඒ සියල්ල කරන්නේ ජනාධිපති මුක්තියට මුවා වෙමින් බව එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තවමත් විභාග වී අවසන් නොමැති ලීලා ඩි ලීමා නම් කාන්තාවක විසින් පවරන ලද නඩුවක දී චෝදනා නැගී ඇත.

අපරාධකරුවන්ගේ මානව හිමිකම් ගැන කථාකරන්නන් මෝඩයන් ලෙස හඳුන්වන ජනාධිපති දුටර්ටේ මත්ද්‍රව්‍ය නිසා හිංසනයට ලක්වන්නන්ගේ මානව හිමිකම් ගැන කතා නොකරන්නේ මන්දැයි අසයි. මේ කිසිවකට පිළිතුරු සොයන්නට නොසමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසුරුවා හැරිය යුතු බව ඔහුගේ අදහසයි.■