රාවය

අදූරදර්ශී නායකයෝ විනාශය කරා ගෙනයන රම්‍ය දූපත

අදූරදර්ශී නායකයෝ විනාශය කරා ගෙනයන රම්‍ය දූපත

ප්‍රගීත් එක්නැළිගොඩ

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලනඥයකු හැටියට පමණක් නොවේ. ආසියාවේ සිටින අභියෝග ජයගත් ආදර්ශමත් නායකයෙකුද හැටියට ය. එතුමා “දකුණු ආසියාවේ අභියෝග” යන මැයෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාව ද උදාහරණයකට ගනිමින් සිය අදහස් පළකළේ ය. එහිදී ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබූයේ ලෝකය හෝ කාලය ගැන නොදත් අඩුම තරමින් තම රට ගැනවත් සම්‍යක් දෘෂ්ටියක් නැති එන්න එන්නම මනැස කුඩා වන අදූරදර්ශී, අල්පශ්‍රැත නායකයන් විසින් විනාශය කරා ගෙන යන රම්‍ය දූපතක් ලෙස ය.
තම රටේ සාක්ෂරතාව 99%ක්ම ඇතැයිද, එනිසා තම රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් යැයිද, මේ රටේ මහා ප්‍රඥාව ඇති දූපුතුන් ඩැහැගැන්මට ලෝක සතුරන් කොයි වෙලේත් ඇහැ ගහගෙන ඉන්නේ යයිද ආදි වශයෙන් සිය රට ගැන කල්පනා කරන දේශප්‍රේමියකුට ලී ක්වාන් යූ මහතාගේ කියමන සිත් රිදවනසුලු විය හැකිය. එහෙත් ඒ කියමන ඇත්තකි. ලංකාවේ ජනතාව බුද්ධිමත් නම් අප්‍රබුද්ධ නායකයන් බිහි වන්නේ නැත.

බි්‍රතාන්‍ය පාලකයන් අප අත්හළ දා පටන් මේ රට පාලනය කළේ ලංකාවේ පාලකයන් ය. දේශීය ධනපති පංතිය හෝ කොම්ප්‍රදෝරු ධනපති පංතිය හෝ තවත් මොන මොන නම්වලින් හැඳින්වුවද ඔවුහු ශ්‍රී ලාංකිකයෝ ය. වඩාත්ම නිවැරදිව කියනවා නම් බහුතර සිංහල ජනතාවගේ නායකයෝ ය. මේ අඩ සියවස ඇතුළත අප ගමන් කරමින් ඉන්නේ විනාශයක් කරා නම් ඒ බහුතර ජන සමූහය පත්කරගත් නායකත්වයට එහි වගකීමෙන් මගහැර සිටිය නොහැකි ය. අප විනාශයක් කරා ගමන් කරමින් සිටින බව, පොදුවේ ගත්කල එම අදහස් ජනරජයේ කුමන පුරවැසියා වුවද පිළිගනු ලබන්නකි. ආසියානු කලාපයේ ජපානය හැරුණු කල අන් රටවල්වලට වඩා කල් ඇතිව සාක්ෂරතාවත්, සමෘද්ධියේ මාවත විවර කර ගැනීමත් ඉටුකරගත් රටක් වුවත් ජාතියේත්, ජාතියට නායකත්වය දුන් උදවියගේත් අමනකම් නිසා කාලකණ්ණිභාවයට ඇද වැටී ඇති පිලිපීනය තරම්ම ශ්‍රී ලංකාවද කෂඩ රටක් බවට පත් වී හමාර ය. මෙම රටවල් දෙකම තක්කඩින් පිළිගැනීමට තොරන් ඉදිකරන ජනතාවකගෙන් සමන්විත ය. මෙම රටවල් සොරුන් ඇතුළු වූ කුස්සි (සිනොවියෙව්) බවට පත් වී තිබේ.

මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය මෙම රටවල්වලට හදිසියේ පාත් වූ මරාලයක්ම නොවේ. එය දශක ගණනාවක සිට සෙමින් සෙමින් පියවරෙන් පියවර වර්ධනය වූ තත්ත්වයකි. එය ජනතාව විසින් තම නායකයන් ද නායකයන් විසින් තම ජනතාව ද අන්‍යොන්‍ය වශයෙන් රැවටීමත්, රවටා ගැනීමටත් දැරූ දීර්ඝ අඛණ්ඩ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව කිව යුතුය.
වාර්ගික ඇනකොටා ගැනීම් හැටියටත්, දූෂණ හා වංචා හැටියටත් කලින් කලට මෙම ජාතියේ අපකීර්තිය පුපුරා පිටට ගලා එයි. මෙවර එය යළිත් වතාවක් පිටට ගලා එන්නට වූයේ 2008 වසර සඳහා අය-වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමෙන් පසුව ය. මැතිවරණ තරග පැවැති කාලවකවානුවලදී තම නොවරදිනසුලු උත්තුංග ප්‍රතිපත්ති ජනතාව හමුවේ තබා පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරු, තමන් සිටින්නේ බලය නැති කඳවුරක් තුළ යැයි දැනගත් මොහොතේ සිට අර තමන්ගේ ‘නොවරදිනසුලු උත්තුංග ප්‍රතිපත්ති’ කහල ගොඩට විසි කොට, කලින් ඉතාම නරකයැයි කියන දිවුරා සිටි ප්‍රතිපත්ති වෙනුවෙන් බලය ඇති කඳවුරට එකතු වෙති. ඒ නරක ප්‍රතිපත්ති වෙනුවෙන් ලජ්ජාවකින් තොරව පෙනී සිටිති.

තම හද පත්ලෙන් බුර බුරා නැගෙන දේශප්‍රේමය නිසාම රට වෙනුවෙන් සටනට වැද සිටින ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට මෙලෙස විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වීමට ගමන් කරන මන්ත්‍රීවරුන්ගේ පෙරහැර තවමත් නැවැතී නැත. එහෙත් අර තවමත් හරියාකාරව ශක්තිමත් වී නැති දෑතින් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුළ සිදුවන දූෂණ, වංචා සහ ප්‍රජා ද්‍රෝහී සැහැසිකම් ඉවසා දරා සිටීමට නොහැකිව (සමහර විට) එතෙක් ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් එළියට බැස ප්‍රසිද්ධියේ ම එම ප්‍රජා ද්‍රෝහී ක්‍රියා හෙළිදරව් කරන විට ශක්තිමත් කරන්නට යන්නේ කෙබඳු දෑත් ද යන්න පැහැදිලි වේ. මෙම පාර්ලිමේන්තුවත්, විපක්ෂයත්, ආණ්ඩුවත් මෙන තරම් කසිකබල් ආයතනදැයි එමගින් පැහැදිලි වේ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ඉතා සීමිත මන්ත්‍රීවරුන් අතළොස්සක් දෙනා හැරුණු කල අනෙක් බහුතරය වල ඉහගන්නට කල එන තෙක් බලා ඉන්නා ඇබිත්තයන් (පංච තන්ත්‍රය) රංචුවක් බව සනාථ වී තිබේ.
ආණ්ඩුව ඇතුළත සිදුවෙමින් තිබුණු වංචාව සහ දූෂණය අරමුණු කොටගත් සැලසුම් සහගත ප්‍රජා විරෝධී සැහැසිකම, ආණ්ඩු පක්ෂයේ සිට විපක්‍ෂයට පැමිණ අසුන්ගත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා හෙළිදරව් කිරීමත් සමඟම එම මන්ත්‍රීවරයාගේ පක්ෂය මාරු කිරීම, (අවංකව කළ එකක් යැයි සිතුවහොත්) පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන් ගත් ශිෂ්ට සම්පන්න පියවරක් බව පැහැදිලි විය.

බිඳ හෙළිය නොහැකි තර්ක සහ විචක්ෂණව පෙළගස්වනු ලැබූ කරුණු මගින් ජනතාවගේත් පාර්ලිමේන්තුවේත් පරම අයිතීන් උල්ලංඝනය වන්නේ කෙසේදැයි කියා ඔහු සනාථ කිරීමෙන් පසු එතෙක් ආණ්ඩුවේ විලි වැසී තිබූ අන්තිම දුහුල් සලුව ද ලිහී බිම වැටිණ. එහෙත් එම තියුණු හෙළිදරව් කිරීම්වලට පිළිතුරු දීමට ඉදිරිපත් වූ ‘අහිංසක’ ඇමැතිවරයෙකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මෘග හඬ නැගීමෙන් හෙළිදරව් වූයේ භීතිය නීතිය බවට පත්ව ඇති සැටිය. මේ පනස් වසරක් ද ඉක්ම ගොස් සිටින අපගේ පාලන සංස්කෘතියෙන් ශේෂ වූ අස්වැන්න නොවේ ද? මිනිසෙකුට නොමිනිසෙකු හා නිවටයෙකු වීමේදී ඊට සීමාවක් නැතැයි ඔහු සනාථ කළේ ය.

භීෂණය යටතේ නිවටභාවය ප්‍රඥාව ලෙස වෙස් ගන්නා බව කියති. මේ එය සනාථ වූ අපූරු අවස්ථාවකි. “බලය දරන උදවිය එම බලය තමන් වෙතින් ගිලිහී යනු ඇතැයි කියා බිය වී දූෂණය වෙති. එම බලයට යටත්ව සිටින උදවිය බලය විසින් ඇති කරන පීඩාවට බිය වීම නිසා පිරිහෙති.” යන බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා ඖං සං සුකී මහත්මියගේ ප්‍රසිද්ධ කියමන සනාථවන අවස්ථාවකි මේ. සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේත් ආණ්ඩුවට සංක්‍රමණය වූ ‘දෑත් ශක්තිමත් කරන්නන්ගෙත්’ බැරෑරුම් ප්‍රහාරයට ලක් වූ විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ ගරුත්වයත් තමන්ගේ ආත්ම ගෞරවයත් වෙනුවෙන් ගත් පියවර සැලකුණේ කුමන්ත්‍රණකරුවෙකුගේ ද්‍රෝහියකුගේ මෝඩ ක්‍රියාවක් ලෙස ය. එය අර්ථවත් වනුයේ ඉදිරියටත් හෙතෙම එම ස්ථාවරයේ සිටියොතින් ය.

මෙබඳු වූ ජන සමාජයක වසන මිනිස් ප්‍රාණින්ට ප්‍රතිභා සම්පන්න පෞරුෂයක් හටගන්නේ නැත. මෙබඳු වූ සමාජයකට අර්බුදයකට මුහුණ දී ගන්නට නොහැකි ය. මෙබඳු වූ සමාජයකට හරිහමන් නවීන නායකයෙකු ලැබෙන්නේ නැත. මෙබඳු වූ සමාජයකට අලුත් ලෝකය සමඟ පොර බදන්නට ශක්තියක් නැත. මෙබඳු සමාජයක් තුළ දූෂණය තුරන් කළ නොහැකි ය. මෙබඳු වූ සමාජයක් මත නීතියේ ආධිපත්‍යය හෝ ගෞරවය පිහිටුවීම අසීරු ය. ලොව පරිහානියට පත්වන ඕනෑම සමාජයක තත්ත්වය මෙබඳුය. තමන් ජීවත්වන සමාජය තුළම එහෙමත් නැත්නම් අවසානයේ තමා තුළම පවත්නා දෝෂය නොදකිනා මොවුහු පිටින් එන කවුදෝ සතුරකු නිසා තමන්ට මෙම දශාව උදාවී ඇතැයි සිතා සිටිති. මෙය කල් ඇතිව සාදාගත් හඳහනකට අනුව දරුවකු බිහිකිරීමට බලා සිටිනවා වැනිය. පිළිතුර අතේ ඇතිව සරිලන ප්‍රශ්නයක් සොයමින් සිටින්නා සේය.

මෙබඳුවූ සමාජයකට ලැබෙන දේහපාලන පක්‍ෂ පවා රටකට නායකත්වයක් ලබාදීමට තරම් ශක්තියක් හෝ පුළුල් දැක්මක් ඇති ඒවා වන්නේ නැත. මන්ද කියනවා නම්, ඒවාද අර පරිහානියට ලක් වී ඇති සමාජයේම නිරූපණයක් වන නිසා ය. බලය අත්පත් කරගන්නේ කෙසේද කියා කල්පනා කරනවා මිස බලය පවත්වාගෙන යන්නේත් රට ශිෂ්ටාචාරයේ ඉදිරියට මෙහෙයවන්නේත් කෙසේද කියාවත් අදහසක් මෙම පක්ෂවලට නොමැත. ශ්‍රී ලංකාවේ වර්තමාන අත්දැකීම් මගින් පෙන්නුම් කරන්නේ එයයි. බලය ලබා ගැනීමට ඕනෑම නිර්ලජ්ජිත ක්‍රියාවක යෙදීමට සූදානම් බවයි. දේශපාලනික වශයෙන් පරිහානියට පත්ව තිබූ ඉතාලියේ තත්ත්වය ගැන බලා මීට සියවස් ගණනාවකට පෙර ඉතාලිය එක්සත් කිරීම ගැන නිකලෝ මකියාවේලි මෙවැනි අදහසක් පළකළේ ය. “ඉතාලිය එක්සත් කිරීමට ශක්තියක් පාප් වහන්සේට නොමැත. එහෙත් ඉතාලිය එක්සත් කිරීමට වෑයම් කරන යමෙකු වෙතොත් ඒ උත්සාහය වැළැක්වීමට තරම් ශක්තියක් පාප් වහන්සේට ඇත.” (කුමාරයා) පෙනී යන අන්දමට අප ඉන්නේ ද එබඳු වූ අවාසනාවන්ත දේශපාලන පරිසරයක ය. සැම දේශපාලන පක්ෂයකම හිසට ඉහළින් ඩිමොක්ලීස්ගේ කඩුව එල්ලී ලෙළ දෙමින් තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සිටිනුයේ කුමන හෝ මොහොතක තමන්ගේ බලය ගිලිහී ගොස් තමා පසුපස යම් දේශපාලන කරුමයක් එල්ලී එතැයි යන බියෙනි. ඒ නිසාම දේශපාලන බල රැකගැනීම සඳහා සම්මත මාර්ගවලින් බැහැරව දූෂිත මාර්ග ඔස්සේ ගමන් කිරීමට එම රජයට සිදුව තිබේ. එක්සත් ජාතික පක්ෂය ද කුමන හෝ උප්පරවැට්ටියක් යොදා බලය ලබා නොගතහොත් එම පක්ෂය කෙරෙහි ඇති සම්මත බලාපොරොත්තු ක්ෂය වී බලය ලබා ගැනීමට ඇති මාර්ග අවහිරවනු ඇතැයි බියකින් පසුවේ. මේ නිසා ම එම පක්ෂය ද දේශපාලනික වශයෙන් අපිරිසිදු මාර්ගයක වුවද ගමන් කරන්නට සූදානම් ය. ජවිපෙ සහ හෙළ උරුමය තමන්ට බලයක් ලබාගත නොහැකි වුවද බලය ඇති පක්ෂයකට ආවේශ වී එම පක්ෂයේ අවයවයක් වීමට තරම් පසුබට නොවේ. ඉන්පසු එම ආතුර පක්ෂය මරුවැල වෙත ගෙන යාමට උත්සුක වේ. එමෙන්ම බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් මිලිටරිමය වංකගිරියක සිරකිරීමට අවි අතදරා සිටින දෙමළ ගරිල්ලා ව්‍යාපාරය සමත් ය.
යුද්ධයක පැටලී සිටීමෙන් දකුණේ දේශපාලන පෙරමුණ තාවකාලිකව හෝ නිහඬ කළ හැකි නමුත් රටේ අනාගතය වෙනුවෙන් සාමය ඇති කිරීම සඳහා සන්නද්ධ ගරිල්ලන් සමඟ සම්මුතියකට එළඹීම අර දකුණේ පෙරමුණ මුළුමනින් ම නොසන්සුන් කර ගැනීමක් වනු ඇත. මේ නිසාම ශ්‍රී ලාංකික සමාජයේ දේශපාලන හර පද්ධතිය විකෘති වී තිබේ. බලය යහපත සහ පොදු අනාගතය ආලෝකමත් කිරීම වෙනුවෙන් මෙහෙයවනු වෙනුවට පෞද්ගලික යහපත සහ පෞද්ගලික අනාගත ආලෝකය ඇති කරනු සඳහා මෙහෙයවනු ලැබේ. එකම පක්ෂයකටවත් රට ගැන හැඟීමක් නැතැයි කියන අඳෝනාවක් නැගෙන්නේ එහෙයිනි. සමස්ත සමාජයම අඟලක් හෝ ඉදිරියට ගමන් කළ නොහැකි තත්ත්වයකට පත් ව තිබේ. මෙය රටක් පත් විය හැකි අවාසනාවන්තම තත්ත්වයකි. තුන්වන ලෝකයේ, තුන්වන පන්තියේ දේශපාලන තත්ත්වය මෙන්න මෙහෙම තමා කියා පෙන්නුම් කිරීමකි.

සුදු ජාතික ස්වාමිවරුන්ගෙන් 1948 දී අප නිදහස් වන විට, රටටම එක සේ සාධාරණව පිළිගත හැකි නායකත්වයක් සහිත ආණ්ඩුවක් හෝ ආණ්ඩුක්‍රමයක් ගොඩ නගා ගැනීමට අපි අසමත් වීමු. ඉන් අදහස් කරනුයේ අප රටේ ජීවත් වන ලෙකු -කුඩා සෑම ජනවර්ගයක්මත්, සැම උප ජන සමූහයක්මත් (කුල – ප්‍රාදේශීය අනන්‍යතා) එකා පිට අනෙකා නො නගින සේ, එනම් ධුරාවලියක් ඇති නොවන සේ සමාන්තරගත ආකාරයකට ප්‍රජාතාන්ත්‍රික හා සමාජ සාධාරණත්වය රජයන ආණ්ඩු ක්‍රමයක් ගොඩ නගා ගැනීමට අසමත් වූවාය යන්න ය. අපගේ ඒ බැරි වීම හෙවත් අතපසු වීම පළමුවෙන්ම වාර්ගික විතැන් වීමකට ආරම්භයක් ලබා දුන්නේ ය. ලාංකික අනන්‍යතාවක් ඇති මහා නායකයෙකු නොමැති වූයෙන් එතැන් සිටම අපට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සිදුවූයේ ඔළුගෙඩි ගණනින් වැඩි සිංහල ජන සමූහය (වර්ගය) මත අරා සිටීමෙනි. ඒ මොහොතේ සිටම අපගේ ශ්‍රී ලාංකික අනන්‍යතාව වාෂ්ප වන්නට පටන් ගැනිණ. ඒ නිසාම ජාතික දැක්මක් ඇතිව මේ රට දියුණු ලෝකය දෙසට මෙහෙයවන්නට නොහැකි විය. ජාතියක්, ජන සමූහයක් සංඛ්‍යාවෙන් විශාල වීම වාසියක් කර ගනිමින් එය රටේ පැවැත්මට රුකුලක් බවට පත් කර ගැනීමට අසමත් වූ අපි – අපගේ ආත්මය තුළ සැඟව ඇති මොකක්දෝ බියක් හේතුවෙන් – කුඩා ජන සමූහයක් ලෙස සිතන්නට පුරුදු වී සිටිමු. අපට හැකි වූයේ සංඛ්‍යාත්මකව අපගේ විශාලත්වය රටේත්, අවසානයේ අපගේත් අයහපතට යොදා ගැනීමට පමණ ය. එනම් සංඛ්‍යාවෙන් කුඩා ජන සමූහවලට – අප තුළ ඇති අර බිය නිසා – අපගේ ලොකුකම පෙන්වා අප යටතේම තබා ගැනීමට උත්සාහ කිරීමෙන් අසමගිය වර්ධනය කර ගැනීමට ය. මේ නිසාම ආරම්භ වී තිබූ වාර්ගික විතැන්වීම එතෙක් කල් නො තිබූ දේශපාලන – සමාජ අර්බුද මාලාවකට අලුත් ගුරුත්ව කේන්ද්‍රයක් ලබා ගත්තේය. ඒ තැන් සිටම අපගේ මෙම රම්‍ය දිවයිනේ දේශපාලන අරමුණු සහ අපේක්‍ෂාවන් භ්‍රමණය වන්නට පටන්ගෙන ඇත්තේ ඒ වාර්ගික දේශපාලන ගුරුත්ව කේන්ද්‍රය වටා ය.

සියලුම දේශපාලන පක්ෂවලට හෝ ධාරාවන්වලට ඒ මගින් අලුත් හැඩතල හා පෙනුමක් ලබා දුන්නේය. සමස්ත රාජ්‍යයක් හැටියට හිස එසවීමට අපට තිබූ – හෝ තිබෙන්නට තිබූ – අරමුණු සහ අපේක්ෂා ක්‍රමයෙන් මැකී යන්නට විය. අප ජන සමාජයේ සිතුවිලි හෙවත් චින්තනය වාර්ගික ගුරුත්ව කේන්ද්‍රයේ ග්‍රහණයට හසුවිය. මේ නිසාම අපගේ නිර්මාණ කලාවට පවා විකෘත හැඩයක් ලබා දී තිබේ. ඉතිහාසය පිළිබඳ අපගේ අලුත් පඨිතය කියැවෙන්නේ සැම අතින්ම බිය සහ සැකය ඇතුළු කර ගැනීමෙනි. කොටින්ම කිවහොත් දියුණුවට පත් ලොව අනෙක් සමාජ තුළ සිදුවන ප්‍රකෘති ලෝකය සහ මිනිසා අතර සංවාදය වෙනුවට ජනවර්ග දෙකක් අතර සිදුවන අමිහිරි සංවාදයක් බවට පත්වී ඇත. අප අත්විඳිමින් සිටින දේශපාලන අස්ථාවරත්වය වාර්ගික ගුරුත්ව කේන්ද්‍රයේ පාලනයට යටත්ව සිදුවන හූනියමක් බව තවමත් අපගේ නායකයන් ද ජන සමාජයද වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ වාර්ගික ගුරුත්ව කේන්ද්‍රය අකාමකා දැමීමටත්, මහා නායකයෙකු බිහිකර දීමටත් ඉඩක් තිබුණේ නම්, ජවිපෙ, ජාතික හෙළ උරුමය සමඟම එල්ටීටීඊය ද මොහොතකින් අතුරුදන් වනු ඇත. ඉතිරිවනු ඇත්තේ දියුණු ලෝකයක් තැනීමට අවශ්‍ය මිනිසුන් අදහස් සහ මෙවලම් පමණි. එහෙත් දෙවියන්ගේ දිව්‍යමය සැලැස්මට එවැන්නක් ඇතුළු වී නැති බව පෙනේ. අපගේ ගැටලුව අප විසින්ම මනුෂ්‍ය ප්‍රඥාවේ මහිමයෙන් ම විසඳාගත යුතුව තිබේ.

ජන සමාජය මත වාර්ගික සීමා නොතකා යෝධ සෙවණැල්ලක් හෙළිය හැකි මහා නායකයෙකු, මහා පක්ෂයක් රටට අවශ්‍ය වී ඇතත් ලැබී ඇත්තේ උස් වූ වාර්ගික ඉවුරු හා සමාජයේ යෝධ සෙවණැල්ලට බිය වූ චූල නායකයන් සහ චූල පක්ෂ ය. මේ නායකයන් සමාජයේ සෙවණැල්ලට බිය වී තම හුස්ම හිරකරගන්නා බව සහතික ය. එබැවින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් වන අප කවුරුත් සිටින්නේ හැම අතින්ම අවාසිදායක විකට්ටුවක ය. ශ්‍රී ලංකාවට මහා සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වී ඇත්තේ ඒ නිසා ය.

ජනවාර්ගික ගැටලුව නම්, කිසි වැදගැම්මකට නැති ප්‍රාථමික කෝලාහලයක් ඇති කරගත්තේ සංඛ්‍යාවෙන් සුළු ජනවර්ග කෙරෙහි අප තුළ ඇති බිය නිසා ය. බලයට පත්වන්නට වෙරදරන සහ බලයේ සිටින පක්ෂ කිසි බියක් සැකක් නැතුව අප හිස මත පට්ටපල් බොරු වැසි වස්සන්නේ මොන බොරුව කිව්වත් ඔවුන්ට ඇති බිය නිසා අප ඒවා ප්‍රශ්න නොකර බව ඔවුන් දන්නා නිසා ය. අපි ද අපගේ අනාගතය අඳුරු වේ යැයි යන බිය නිසා ඔවුන් අමනාප කරගන්නට බියවෙමු. අප ඇස්පනා පිටම අපගේම තව එකෙකු හිංසනයට ලක් කරද්දී අප අහක බලන්නේ ඕවාට අත පොවා අපි කුමට නම් කරදර ඇති කරගනිමු ද යන බිය අප තුළ ඇති නිසා ය. බලය ඇති නායකයන් ද රටේ අනාගතය වෙනුවෙන් රැස්කළ විප්ලවීය තීරණ නොගන්නේ පෙරලා සමස්ත සමාජය කෙරෙහි ඔවුන් තුළ ඇති බිය නිසාය. එවැනි තීරණ ගතහොත් තමන්ගේ බලය ගිලිහී තමන් දැන් අත්විඳින සැප සම්පත්, ගරු ගම්භීරත්වය නැති වී යාවියැයි ද තමන් කළ පව් තමන් පසුපස රියසක සේ පැමිණේවි යැයි ද යන බිය නිසා ය. මෙය භීතියේ දයලෙක්තිකය ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. වාර්ගි ක ගැටලුව තුරන් කිරීමට සාධනීය පියවරක් ගැන්මට සියලුදෙනා බිය වී ඇත්තේ මේ නිසාය. මෑත කාලයේ ෆෙඩරල් යන වචනයට පවා එජාපයේ සිට ජාතික හෙළ උරුමය දක්වා සියලු ධාරාවන් බියවූයේ ඒ නිසාය. දැන් එය දේශපාලනඥයෙකුගේ එඩිතරභාවය මනින මීටරයක් බවට පත් වී තිබේ. මෙම “ජාතික භීතිකා රෝගය” තුරන් කිරීමට නම් මහා රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඇති කළ යුතු වේ.■