රාවය

රේස් එක දුවන්නේ කවදාද?

රේස් එක දුවන්නේ කවදාද?

ටිරන් කුමාර බංගගම ආරච්චි

මේ දිනවල ක්‍රීඩාව අරබයා කතා කරන්නට ඇත්තේ කුමක්ද? කිසිවක් නැති ගාණට පිට්ටනි පාළුවී ඇත. පහුගිය කාලයේ සුසන්තිකාගේ කට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩ ගැන කතා කරන්නට විය. කටවල්, බඩවල් ගැන කතා කළ පසු සියල්ල විහිළුවකින් කෙළවර විය.

ඒ සියල්ල හුදු දේශපාලන කතා බහ විය. මේ දෙකතාවේම කතා නායකයා ක්‍රීඩා ඇමති නිසා විරුද්ධ දේශපාලකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ඇමතිවරයා යොමු කරන්නෙකුට ඒ කතා දෙකේ වරදක් දැකිය නොහැකි මුත් දේශපාලන කෝවෙන් බලන කළ එයට එරෙහි බොහෝ කතා කිව හැකිය. සිද්ධ වුයේ එයය. යහපාලනයේ දෙවසරක්ද හමාරය. එහෙත් ක්‍රීඩාවට ඇත්තේ කුමන දියුණුවක්ද? යහපාලනයට පෙර ආශ්චර්යගෙන්ද ක්‍රීඩාව තිබුණේ දරුණු කඩා වැටීමකය. මේ තත්ත්වය වත්මන් ඇමති නිසාම වුණායැයි කිව නොහැකිය.

එහෙත් ගෙවුණු දෙවසර තුළද ක්‍රීඩාවට සැලකිය යුතු කිසිවක් නොවූ බව කිව යුතුය. දයාසිරි ජයසේකර බොහෝ කතා කීවද තවමත් ඒවා කතාමය. රට වටේ මහා පරිමාණ ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩා පිටි හදන්න සැලසුම්ය. එහෙත් තවම දෙවසරක් ගත වී ඇතත් සුගතදාස ක්‍රීඩාංගණය අලුත්වැඩියා කොට ධාවන පථය අලුතින් එළා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාර දීමට අපොහොසත් වී ඇත. මෙය සුළුපටු අභාග්‍යයක් නොවේ. මොන තරම් ඉතිහාසයක් පුරා කයිවාරු ඇදබෑවද තවමත් අපට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ලෙස ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණය පමණි. එයද මෙලෙස වසර ගාණක් වසා තබා සිටිමෙන් ක්‍රීඩාවේ අනාගතයක් සකසනුයේ කෙසේ ද?

කවුරු ක්‍රීඩා ඇමති වුවද ඇමතිට වැඩ කළ හැකි දක්‍ෂ පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටිය යුතුය. එලෙස පිරිසක් නැතහොත් එය ඇති කර ගැනීම ඇමතිවරයා සතු වගකීමකි. එසේ නොවී ගමනක් තිබිය නොහැකිය. අද ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටිනුයේ වැඩ බැරි දාසලාය. මේ අය අංක එකේ නිකමුන්ය. එවන් නිකමුන්ගෙන් අපි බොහෝ දේ බලාපොරොත්තු වෙමු.

හැමදාම මේ අයට බැණ වැදීමෙන්ද පලක් නොවේ. එය හරියට බීරී අලින්ට වීණා වැයීමක් මෙනි. මේ තත්ත්වයට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයා පෙරමුණ ගත යුතුය. ක්‍රීඩාව දියුණු කිරීම යහපාලනයෙන් ඔහුට පවරා ඇත. එබැවින් අඩුපාඩුකම් මත හෝ නිකමුං සමඟ හෝ වැඩ කිරීම ඔහු සතු වගකීමකි. ඒ සියල්ලෙහි අවසානය ක්‍රීඩාව විය යුතුය. කටවල් බඩවල් ගැන මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ නිකමුං ගැනද අමාත්‍යවරයා කතා කළ යුතුය. අත්‍යවශ්‍ය කතාව එයය. තවමත් සිදු නොවී ඇත්තේද එයමය. සුසන්තිකාගේ ප්‍රශ්නය ගත්තද එය ක්‍රීඩා බලධාරීන් විසඳාලිය යුතු ප්‍රශ්නයකි. එහෙත් එය තමන්ගේ ඇඟට ගැනීම නිසා ඇමතිවරයා කතාවට ලක් විය. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩවල් එම සංගමය හරහා කතා කළ යුත්තකි. එහෙත් එයත් ඇමතිවරයාගේ බඩටම වැදුණි.

ක්‍රීඩා සංගම් තම තම ක්‍රීඩා වෙනුවෙන් වැඩ කරනවා තබා බොහෝ සංගම් නිලවරණ හෝ පවත්වා නැත. මෙය නරක තත්ත්වයකි. එහෙත් එහි නරකක් කාට හෝ පෙනෙන අයුරක් නැත. ඒ පෙනෙන විට මේ චිත්‍රය බොහෝ කැත විය හැක. ප්‍රශ්නය නම් එයය.■