රාවය

අර්ජුනගේ සිහිනය

අර්ජුනගේ සිහිනය

ඒ. වික්‍රමසුරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වන හැම වාරයකම වඩා ආවේශ වන්නේ අර්ජුන රණතුංගය. මෙය ක්‍රිකට් මේනියාවකි. අර්ජුන අදහන එක් සත්‍යයක් ඇත. එනම් ලංකාවේ ක්‍රිකට්හි අයිතිකාරයා ඔහු පමණක් බවය. ක්‍රිකට් ගැන සියල්ල දන්නේද ඔහුම පමණක් වන බවය. ඒ සියල්ල ඔහුටම දුන්නද ක්‍රිකට්වලට සෙතක් වේද?

තමා ජනපතිට ක්‍රිකට් ගැන දැනුවත් කොට ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරන්නැයි ඉල්ලා සිටින බවට අර්ජුන මේ දිනවල කෑ මොර දේ. අර්ජුන ඉල්ලා සිටින මේ අතුරු කමිටුවේ තනතුරු දරන්නේ කවුද? අර්ජුන අතුරු කමිටු හරහා ඉල්ලා සිටිනුයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය ඔහුට ලබා දෙන ලෙසය. ඔහුට ක්‍රිකට් නිලවරණයකින් කිසිදා දිනිය නොහැකිය. ඒ නිසා බලයට එන්නේ නම් එයට ඇති විකල්පය අතුරු කමිටුවක්මය. දැන් මේ අතුරු කමිටුව යනු ඔහු බලයට ඒමට ජනපතිට අර්ජුන වගේම තිලංගද වුවමනාය. තිලංග අහකට කොට අර්ජුනට ක්‍රිකට් පුටුව දීම ජනපති සැහැල්ලුවට කරනු ඇතිද? අර්ජුනට ජනපතිකම හමුවුවද අඩුවකි. ක්‍රිකට් සභාපතිකම නොමැති වීම මේ තණ්හාව කුමක්ද? සියල්ලටම වඩා පෙරමුණ මෙරට ක්‍රිකට්හි අයිතිකරුවා තමා බව සිතීමය.
අර්ජුනද ක්‍රිකට් පාලන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඒ කාලය තුළ අපමහා පෙරළියක් නොලැබීය. හෙට ආවද එහි අමුතු වෙනසක් සිදු වේද? මේ ප්‍රශ්න එක් පුද්ගලයෙකු මාරු වූ පමණින් විසඳාලිය හැකි දේ නොවේ. එයට පුද්ගලයාගේ බලපෑමද විශාල විය හැකිය. එහෙත් තිලංග සමග බලන කල අර්ජුන ලොකු වෙනසක් නැති බව අපගේ හැඟ ීමය. අර්ජුනට ඇත්තේ ක්‍රිකට් කෙරෙහි වෛරයකි. එය සංවර්ධනයට වන්නට සුදුසුකම නොවන්නේය. අර්ජුනගේ ක්‍රිකට් වෛරය කොතෙක්ද යන්න පැහැදිලි වන්නේ ඔහු මේ දිනවල කතාව පටන්ගනුයේම තමා ක්‍රිකට් තරග නොබලන බව පවසමින් වීමය. තමාට ක්‍රිකට් තරග බැලිය නොහැකි තරමට මේ දිනවල ක්‍රිකට් අප්පිරියා වී ඇත්නම් අර්ජුන කළ යුත්තේ ක්‍රිකට් පරිපාලනය දෙසද ඇසක් ඇර නොබැලීමය. එහෙත් ක්‍රිකට් තරග නොබලන අර්ජුන ක්‍රිකට් සභාපති පුටුව දෙස බැල්ම හෙළයි. මේ තම ආශාවය. ක්‍රිකට් දියුණු කිරීමට නොව බලයට ඇති ආශාවමය. මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට් පුටුව තම බුදලයක් කොටගෙන එය මුදලාලිලාට අලෙවි කළ යුගයක් විය. තරග කොට තිලංග පැරදවිය නොහැකි අය මුදල් දී එකල ක්‍රිකට් පුටුව තම නමට ගත්හ. ධර්මදාසලා එවැනි පිනට පත් වූ අයය. තිලංගට කෙසේ හෝ එන්න නොදෙන තත්ත්වයක් තුළ යහපාලනයට කඬේ යමින් තිලංග ප්‍රාර්ථනා කළේ ක්‍රිකට් පුටුවය. තිලංගත් අර්ජුන වගේමය. මේ පුටුව මත මියැදෙන්න වුව ලැස්තිය. දෙකම එකය. එබැවින් යහපාලනයෙන් ඔහුට ක්‍රිකට් පාලනය ලැබුණි. එහෙත් දැන් ඔහුට පරිපාලනයක් කළ හැකි අයකු නොවන බව මනාව ඔප්පු කොට ඇත. දැන් ඒ නිසා එය අර්ජුන ඉල්ලයි.

අද ක්‍රිකට් පුටුව තීන්දු වන්නේ තරග ජය – පරාජය වන අනුවය. ඕනෑම කණ්ඩායමක බැසීමක් ඇත. මේ ශ්‍රී ලංකා පිලේ ඒ කාලයය. එසේ කියා ඔහේ සිටිය නොහැකිය. එය වෙනස් කරන්නට වැඩ කළ යුතුය. එය කළ හැක්කේ අර්ජුනට පමණක් කියා කොහේ වත් ලියා නැත. එහෙත් එය එසේ ලියන්නට අර්ජුන වලි කමින් සිටී.අර්ජුනත් – සුසන්තිකා බඳුමය. වෙනසකට ඇත්තේ ඉල්ලන විදිහේය.■