රාවය

ගඟෙන් එපිට සිරවූ සිහින

ගඟෙන් එපිට සිරවූ සිහින

සටහන සහ ඡායා/ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඒ උදෑසන අපි ගං ඉවුරට වෙත පැමිණෙද්දීත් එක් ඔරුවක් එගොඩට ළඟාවෙමින් තිබුණි. එතුළ සාරියෙන් සැරසුණු එක් කාන්තාවක ද තවත් කිහිප දෙනෙකු ද සිටිනු ඈතට පෙනුණි. මුරුක්කන්තිවු සිවශක්ති විද්‍යාලයේ ගුරුවරියක හා විදුහල්පතිවරයාත් ඒ ඔරුවෙන් එගොඩට ගිය බව හේනුජන් අප හා පැවසුවේය.

අප නැගුණු පසු ඔහු ඔරුව දියඹට හෙමි හෙමින් තල්ලු‍ කර ඔරුවට ගොඩ නැගී හබල අතට ගත්තේ හුරු පුරුදු ඔරු පදවන්නෙකු ලෙසිනි. තවමත් හේනුජන්ට වයස දහසයකි. අටේ පන්තිය තෙක් පමණක් වූ ඔහුගේ පාසල් ගමන නැවතී ඒ වන විට ද බොහෝ කල් ගතව තිබුණි. වෙනදා ඔරුව පදවන්නේ හේනුජන්ගේ මව වුවත් එදින ඇය වෙනුවට හේනුජන් පැමිණි බව ඔහු කීවේය. මව පැමිණෙන දිනවල හේනුජන් නිවසේ රැඳී සිටින බවත් දිවා ආහාරය මවට රැගෙන ඒම ඔහුගේ රාජකාරිය බවත් ඔහු අපට පැවසුවේය. කින්නියඩි සිට අපි කිලෝමීටර තුනක පමණ ඔරු ගමනෙන් මුරුක්කන්තිව් වෙත ගොඩ බැස්සෙමු.

ළඳු කැලෑව මැදින් වැටුණු වැලි පාර දිගේ ඇවිද ගියෙමු. කින්නියඩි වෙත යෑමට ගං ඉවුර වෙත ගමන් කරන ළදරුවන් අතැති මවුවරුන් ද, තවත් ගැමියන් ද අපට අතරමගදී මුණගැසුණි. කිලෝමීටරයකට අඩු නොවූ පා ගමනකින් පසු අපි මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා මැතිවරණ කොට්ඨාසයට අයත් මුරුක්කන්තිව් ගම්මානයේ තිබෙන මුරුක්කන්තිව් සිවශක්ති විද්‍යාලය වෙත පැමිණියෙමු. තාප්පයක් වෙනුවට තල් පිතිවලින් ආවරණය වූ පාසල් වත්තට රිංගා ගත් එළු රංචු පාසල් වත්තේ තැන තැන පැළෑටි බුදිමින් සිහියහ.

පාසල වෙත තම දරුවා රැගෙන විත් ආපසු යෑමට සැරසුණු සිරිසේන ජෙයකුමාර් අප හා දොඩමළු වූයේය.
“අපි ඉන්නේ පිරම්බඩිතිව් ගමේ. මුරුක්කන්තිව්, සාරාවලී, පිරම්බඩිතිව් කියන ගම්මාන තුනේම ළමයින්ට තියෙන්නේ මේ ඉස්කෝලේ. ඒත් මේ ඉස්කෝලේ පන්ති පැවැත්වෙන්නේ අටේ පන්තියට එනකම් විතරයි. එතැනින් එහාට ඉගෙන ගන්නවා නම් කින්නියඩි හෝ කිරාන් ප්‍රදේශවලට යන්න ඕනෑ. ඒ ගමන ලේසි ගමනක් නෙමෙයි. ඒ නිසා මේ ගම්මානවල ළමයින්ගේ ඉගෙනුම ගොඩක් වෙලාවට අටේ පන්තියෙන් නවතිනවා.”

අටේ පන්තියෙන් පසු වෙනත් පාසලකට යාම ඒ ගම්මාන කීපයේ දරුවන්ට ලෙහෙසි පහසු ගමනක් නොවීය. හතයි තිහට පෙර එගොඩ ඇති පාසලකට යෑමට නම් ඔවුන් උදෑසනින්ම ගං ඉවුර වෙත යා යුතුව තිබුණි. ඔරු පදවන්නන් නොසිටින විටෙක පාසල් දරුවන් විසින්ම ඔරුව පදවාගෙන යෑම බොහෝ විට සිදුවිය. මේ ගමන් අපහසුවෙන් පමා වී පාසල් වෙත යන දරුවන් නැවත පාසලෙන් හරවා එවන බව ජෙයකුමාර් පැවසුවේය. එමෙන්ම යම් යම් කාලවල හමන සුළං මැද ඔරුවේ ගමන අන්තරාදායක බැවින් උදෑසන එගොඩ ඇති පාසල් වෙත යන දරුවන්ට මෙගොඩට ඒමට නොහැකි වන අවස්ථා ඇති බවත් ඔහු කීවේය.

“ඒ ගමන අමාරු නිසා එගොඩ ඉස්කෝලවලට යන ළමයිත් සතියට ඉස්කෝලේ යන්නේ දවස් දෙකක් තුනක් වගේ තමයි. ඒ ගමනත් ටික දවසකින් නතර කරනවා. ඊළඟට ඒ ළමයි අඩු වයසෙන් විවාහ වෙනවා. නැත්නම් කුලී වැඩවලට යනවා, එහෙමත් නැත්නම් ගෙවල්වලට වෙලා ඉන්නවා. ඕනෑම ගමක රාජ්‍ය සේවයේ රැකියා කරන එක්කෙනෙක් හරි ඉන්නවා. සාමාන්‍ය පෙළ සමත් අය අපේ ගමේ හිටියත් රජයේ රැකියා කරන කිසිම කෙනෙක් අපේ ගමේ නෑ. අපේ දරුවෝ එක්කෙනෙක් හරි ඉගෙනගෙන රජයේ රස්සාවක් කරනවා නම් අපිට ඒක ලොකු සතුටක්. ඒත් එහෙම තත්ත්වයකට එන්න අපිට පුළුවන්කමක් නැහැ.” ජෙයකුමාර් ඒ සියල්ල පැවසුවේ වේදනාව පිරුණු හඬිනි.
මේ වන විට සිවශක්ති විද්‍යාලයේ දරුවෝ සියයකට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන්නෝය. එක වසරේ සිට අට වසර දක්වා වූ ඒ සියලු‍ පන්තිවලට ඉගැන්වීමට තරම් ගුරුවරු එහි නොසිටියහ. ඉංග්‍රීසි භාෂාව ද විෂය නිර්දේශයේ තිබුණ ද එම විෂය ඇතුළු තවත් විෂයන් ගණනාවකට ගුරුවරුන් ඒ පාසලේ සිටියේ නැත. දැනට සිටින විදුහල්පති එස්. සුකුමාර් ඇතුළු ගුරුවරුන් කිහිපදෙනා පාසල වෙත පැමිණෙන්නේ ද දිනපතා බස් දෙකක පමණ ගමනකින් පසු ඔරුවෙන් ගඟ ද තරණය කරමිනි. මේ හේතු නිසා මීට පෙර පැමිණි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැඩි කල් නොගොස්ම මේ පාසලත් දරුවනුත් අත්හැර දමා ගොස් තිබුණි. දෙක, තුන පන්තිවල දරුවන් එකම පන්තියක් තුළට ගෙන එක් ගුරුවරයෙක් උගන්වමින් සිටියේය. කළු ලෑලි මත හුණුකූරෙන් ලියැවුණු වගන්ති දරුවන් හඬ නගා කියවනු කොරිඩෝව දිගේ ඇවිද යන අපට හොඳින් ඇසුණි. එක් පන්ති කාමරයක් තුළ විභාගයකට මෙන් ඈත් කළ මේස පුටුය. ඒ සිවශක්ති විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්ව පන්තියයි. එහි දරුවන් අට දෙනෙකි. ගුරුවරයා කළු ලෑල්ල මත ලියා තිබූ ගැටලුවලට ඔවුහු විසඳුම් සොයමින් සිටියහ. මේසයට පිටුපසින් එක් දැරියකගේ එක් පාදයක් පමණක් පහළට එල්ලෙමින් තිබුණි. බිම තිබුණු ඇගේ පොත් මල්ලට ඇගේ කෘත්‍රිම පාදය හේත්තු වී තිබුණි. ඇය කල්පනා බරව ශිෂ්‍යත්ව ගැටලුවලට විසඳුම් සෙව්වාය.

පාසලට පුස්තකාලයක් නොතිබුණු බැවින් වර්තමාන විදුහල්පතිවරයා විසින් ඔහුගේ මිතුරෙකුගේ ආධාර මත කුඩා පන්ති කාමරයක් පුස්තකාලයකට හරවා තිබුණි. පොත් අල්මාරි කිහිපයකුත් දිගු මේසයකුත් පුටුත් එහි තිබූ අතර පොත් අල්මාරිවල දැමීමට අතිරේක පොත් කිසිවක් ඔවුන් සතුව තිබුණේ නැත. ඒ වෙනුවට පාසල් විෂය නිර්දේශයට අයත් පොත්වලින් ඒ අල්මාරි පුරවා තිබුණි. මේ දරුවන්ට ද වෙනත් පාසල්වල දරුවන්ට ලැබෙන අත්දැකීම් ලබාදීමේ අරමුණින් පසුගිය දාක විදුහල්පතිවරයා සහ ගුරු මඩුල්ල එක්ව ශිෂ්‍ය නායකයන් පත් කිරීමේ කුඩා උත්සවයක් පවත්වා ශිෂ්‍ය නායකයන්ගේ ඡායාරූපයක් ගෙන බිත්ති පුවරුවේ ප්‍රදර්ශනය කර තිබුණි. ඔවුන්ගේ විශේෂ රැස්වීම් ද මේ කුඩා පුස්තකාලයේ දිගු මේසයේ පැවැත්වීම එම දරුවන්ට විශේෂිත අවස්ථාවක් බවට පත්ව තිබුණි.

ඒ පාසල් දරුවන්ගේ උදෑසන ආහාරය සකස් වී තිබුණු වේලාවයි. එය පාසලේම කොටසක මාපියන් විසින් සූදානම් කෙරෙයි. හතර වසරේ දරුවන් දෙදෙනෙකු පාසල් මිදුලේ වූ ළිඳෙන් වතුර ඇද උස් ප්ලාස්ටික් බඳුනකට පිරවීම ආරම්භ කර තිබුණි. එක් දරුවෙකු පාදයක් ළිං ගැට්ටට තබා සවි ශක්තිය ගෙන වතුර බාල්දිය ඉහළට ඇද්ද පසු අනෙක් දරුවා එය දෝතින් රැගෙන බඳුනට පිරෙව්වේය. වරින් වර බාල්දිය සහිත කඹය කප්පියෙන් ඉවතට පනිද්දී අනෙක් දරුවා සැණෙකින් ළිං ගැට්ට මතට නැග එය සකස් කර බිමට බසින්නේය. එක් එක් පන්තියේ දරුවෝ පිඟන් අතැතිව පේළියකට විත් ඒ වතුරෙන් අත් සහ පිඟන් සෝදාගෙන නැවතත් පේළියකින් ආහාර බෙදන ස්ථානය වෙත ගමන් කළහ. කළු පැහැ මේස් හා සපත්තු පැළඳ සිටි ගැහැනු සහ පිරිමි ළමුන්ගෙන් බොහෝ දෙනෙකුගේ මේස් හා සපත්තුවල විසල් සිදුරුය. ඇතැමෙකු ඒ පාවහන් පන්තයේ කොණක ගලවා තබා තිබුණි.

වේලනායුම් අපට හමුවන්නේ පාසල අසළදීය.
“මගේ ළමයි දෙන්නෙක් අටේ පන්තියෙන් පාසල් ගමන නතර කළා. ගමන් ප්‍රශ්නෙ නිසා එගොඩ ඉස්කෝලෙකට යන ගමන ලේසි නෑ. දැන් ලෝකේ තියෙන තත්ත්වය දිහා බැලු‍වාම ළමයෙක්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නම වෙනවා. ඒ අයත් ඉගෙනගන්න ඕනෑ කියන අදහසේ ඉන්නවා. ඒත් ඒවාට පහසුකමක් අපට නෑ. පාලමක් හරි හොඳ බෝට්ටු සේවයක් හරි තිබුණා නම් අපිට එතැනට ළමයි බයිසිකලේකින් හරි එක්ක යන්න පුළුවන්. ඒත් මේ ඔරු ගමන අමාරුයි. සමහර වෙලාවට ඔරු නෑ. සුළං කාලේ පටන් ගත්තාම කොහොමත් ඔරු යන්නේ නෑ. ඒ නිසා ඉගෙන නොගත්තත් ජීවිතේ වටින නිසා යවන්නත් බැහැ.”

සිවශක්ති විද්‍යාලයේ පන්ති පැවැත්වෙන්නේ අටේ පන්තිය වන තුරු පමණක් නිසාත් එගොඩ පාසල්වලට යෑම දුෂ්කර කටයුත්තක් වූ නිසාත් ගම්මාන තුනක බොහෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නතර වී තිබුණි. ගොවිතැනෙන් හෝ කුලී වැඩකින් එදිනෙදා ජීවිත ගැටගසාගත් ඒ මිනිසුන්ට තම දරුවන් වෙනත් ප්‍රදේශයන්හි නතර කොට ඉගැන්වීමට තරම් සවි ශක්තියක් ද නොතිබුණි. එහෙත් අධ්‍යාපනයේ අත්‍යවශ්‍යතාව ඒ මාපියෝ දැනසිටියහ. තම දරුවන් කෙදිනක හෝ උසස්යැයි සමාජයේ සම්මතව තිබෙන රැකියාවක නියුතු වෙනවා දැකීමේ සිහින ඔවුන්ගේ සිත්වල තිබුණි. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේට සීමා මායිම් වැටී තිබුණි.
“උසස් පෙළ ළමයින්ට උදේ හයට පන්ති තියනවා. ඒ අයට මෙහෙන් පාන්දර හතරයි තිහටවත් යන්න වෙනවා. ඒත් ඒ වෙලාවට යන්න ඔරු නැහැ. සිවශක්ති විද්‍යාලේ ගුරුවරුන්ටත් ගුරු නිවාසයක්වත් නැහැ. ඒ නිසා ගමන අමාරු නිසා ගුරුවරු වැඩි කලක් එන්නේ නෑ.” ඩී. පූරානම් පැවසුවාය.
මේ ගම්මාන තුනේ කිසිවෙකුට අසනීපයක් හැදුණ ද වාලච්චේන රෝහලට ගෙන යා යුතුය. එය පහසු කාර්යයක් නොවන බව ඇය කියයි.

“නයි වගේ සර්පයෝ ගහලා මිනිස්සු මැරෙන වෙලාවල් තියනවා. ඔරු එනකම් බලන් ඉඳලා යද්දී හදිසි ලෙඞ්ඩු මැරෙනවා. ත්‍රීවීල් එකක්වත් මේ ගම්මානවලට එන්න ලේසි නෑ. කින්නියඩිවලට ගඟ හරහා යනවා නම් තියෙන්නේ කිලෝමීටර තුනයි. ගොඩ පැත්තෙන් එනවා නම් කිලෝමීටර පහළොවක විතර දුරක් ගෙවාගෙන එන්න වෙනවා. ඒ නිසා ත්‍රීවීල්වල අයවත් එන්න කැමති නැහැ. සමහර වෙලාවට ත්‍රීවීල්වල ගෙන යන අතරමගදී දරුවන් වදපු මව්වරු ඉන්නවා.” පූරානම් ඔවුන් විඳින දුෂ්කර ජීවිතය ගැන වේදනාවෙන්ම පැවසුවාය.
ලෝහිදරාසා මුරුක්කන්තිව් ග්‍රාමීය සංවර්ධන සංගමයේ සභාපතිය.

“අපි මේ ගමේ දිගටම ජීවත් වෙන්න ඕනෑ. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි එගොඩට යන්න පාලමක් නැතිකම. එක්දහස් නවසිය පනස් නවය කාලේ ඉඳලා මේ ගම්මානවල මිනිස්සු හිටියා. අදත් තියෙන්නේ එදා ගමනම තමයි. ගමන් ප්‍රශ්නේ නිසාම වෙන දියුණුවක්වත් මේ ගම්මානවල වෙන්නේ නෑ, වාහන එන්න බැරි නිසා පාරක්වත් හැදෙන්නේ නෑ. පාලම හැදුණා නම් ගම දියුණු කරගන්න අපිට පුළුවන්. මේ ඉස්කෝලෙට ගුරුවරු ඔක්කෝම එන්නේත් එගොඩින්. ඒ අයත් වැඩිකල් එන්නේ නෑ, මාරුවීම් අරන් යනවා. අපි කියන්න පුළුවන් හැමතැනටම කියලා පාලමක් ඉල්ලු‍වා. ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳලා මැති ඇමතිවරුන්ටත් කිව්වා. ඡන්දේ කාලෙට නම් ඇවිත් පොරොන්දු දීලා යනවා. ඒත් තවම කළ දෙයක් නම් නෑ.”

පහ වසර පන්තියේ සිටි පාදයක් අහිමි දැරිය තනි කකුලෙන් වේගයෙන් කොරිඩෝව දිගේ පැන පැන යනු තල් පිත්තෙන් සැදුණු පාසල් වැට අතරින් පෙනුණි. පාසල් ගෙවත්තේ වැලි පොළොව මත වරක් ඇය ඇද වැටුණාය. වටපිට බැලූ ඇය දෙ අත් බිම තබා තනි කකුලෙන් නැගිට නැවතත් වේගයෙන් යනු පෙනුණි. අපි ගං ඉවුර වෙත පියවර තැබුවෙමු.■