රාවය

වසර එකසිය පනහක තේ දල්ලේ අමිහිර

වසර එකසිය පනහක තේ දල්ලේ අමිහිර

සටහන හා ඡායා රේඛා නිලු‍ක්ෂි හේරත්

අප ඔවුන් හඳුන්වන්නේ කොහොමද? ‘වතු කම්කරු’ දෙමළ, ‘ඉන්දීය’ දෙමළ, ‘ලැයිම්’ දෙමළ වැනි විවිධ නම්වලින් ඔවුන්ව හඳුන්වනවා. ඒ හැම හැඳින්වීමකම අසාධාරණය විසක් මෙන් ගැබ්වෙලා තියෙනවා. එහෙත් ඒ වෙනුවට යෙදිය හැකි මලය දෙමළ ජනතාව කියන යෙදීම හරි ලස්සනයි. මලය දේශය කියන්නේ උඩරට කඳුකරය ඈත අතීතයේ ඉඳන් හැඳින්වූ ලස්සන නම.

ලංකාවේ තේ වගාව ඇරඹී වසර එකසිය පනහක් ගෙවී ගිහින්. ලංකාවේ 1863දී ජේම්ස් ටේලර් මහත්තයා ගලහා ලූල්කඳුර වත්තේ පළවැනි තේ පැළය හිටවලා අවුරුදු එකසිය පනහක්. ලංකාවේ වතු වගාවේ ඇරඹුම තේ නෙවෙයි. කෝපි තමයි ඉස්සර වැඩිපුර තිබුණේ. එහෙත් කරුමක්කාර රෝගයකින් කෝපි වසාගත්තා. කොකෝවා, සිංකෝනා ඇතුළු විවිධ අත්හදා බැලීම් අවසානයේයි තේ ලංකාවට පත්තියම් වුණේ.
ලංකාවට මුල්ම ඉන්දීය කම්කරු කණ්ඩායම තේ එනකොටත් ඇවිත් හමාරයි. ඒ 1823දී. තේ වගාව ඇරඹීමත් සමඟ මේ වතු කම්කරුවන් තේ වතුවල කම්කරුවන් බවට පත්වුණා. එහෙත් සිංහල ජාතිකයන් වතුවල වැඩ කරන්නට අකමැති වෙද්දී ලංකාවේ තේ වගාව මේ තරම් ඉස්තරම් වීමේ ගෞරවය සම්පූර්ණයෙන් යායුත්තේ මේ පීඩිත මිනිසුන් වෙතයි. අදටත් ලොව ඉහළම මිලක් ලංකාවේ තේවලට ලැබීමේ සුන්දර කතාව, එහෙමත් නැත්නම් කඳුකරයට සංචාරකයන් ආකර්ෂණය කරන සුන්දර තේ වතුවල කතාව පසුපස ඇති අසුන්දර කතාව මේ පීඩිත මිනිසුන්ගේ කතාවයි. මේ මිනිසුන්ගේ පීඩිත බව රහසක් නොවෙයි. එය හැමෝම දන්නා නමුත් කිසිදා වෙනස් කරන්නට උත්සාහ නොගන්නා කාරණයක්.

නිදහස
තේ වගාව ලංකාවට පැමිණ වසර එකසිය පනහක් ගතවීම මහා ඉහළින් කොළඹදී සමරනවා. එහෙත් ඒ වසර එකසිය පනහ අවසාන වෙද්දීත් පුරුදු විදියට නායයෑමේ අවදානමෙන් යුතු තේ වත්තක පාමුලට වී වතු කම්කරුවන් තම සුපුරුදු පීඩිත ජීවිත ගත කරනවා. ඔව්, නායයෑමේ අවදානම ගැන කතාව සැබෑවක්. බදුල්ල දිස්ත්‍රික්කයේ තේ වතු අතරින් සීයට හැත්තෑවක් නායයෑමේ අවදානමට මුහුණ දෙන බව හඳුනාගෙන තියෙනවා. තේ වතු නිසි ලෙස නඩත්තු නොවීම, කාණු නොයෙදීම වැනි හේතු නිසා තේ වතු නායයෑමේ අවදානමෙන් වැඩි බව හඳුනා ගන්නවා.

බදුල්ල පැත්තේ එක් තේ වත්තකට අපි ඇතුළුවුණේ තේ දලු කඩන ඔවුනතරින් කිහිපදෙනෙකු සමඟ කතා කරන්නට. එහෙත් වත්තේ කනකපුල්ලේ මහත්තයා අප පුවත්පතකින් පැමිණි බව කී විගස බියට පත්වුණා.
“පත්තරවලට ඇවිත් ෆොටෝ ගන්න එහෙම දෙන්නේ නැහැ. අවසර ගන්න ඕනෑ. වත්තේ මැනේජ්මන්ට් එකේ අවසරය නැතිව මොනවත් කරන්න බැහැ.” ඔහු එහෙම කීවා.
“මොනවහරි නරක දෙයක් ලියැවිලා තිබුණොත් මටයි ප්‍රශ්නය එන්නේ.” කනකපුල්ලේගේ වේදනාව සාධාරණයි. කොට කලිසමක් හැඳ දිග කෝටුවක් අතැතිව අභිමානයෙන් යන එන කනකපුල්ලේ කියන්නේ වත්තේ සුපිරින්ටන්ඩන්ට්වරයායි.

දීර්ඝ පැහැදිලි කිරීමකින් පස්සේ ඡායාරූප කිහිපයක් ගැනීමට අවසර දෙන්න කනකපුල්ලේ කැමති වුණා. කෙසේ වෙතත් ඉහත සිදුවීමෙන්ම වත්තේ මිනිසුන්ට ඇති සීමා පෙනෙනවා. තේ වත්තක් කියන්නේ සැඟවී ඇති තැනක් නොවුණත් තේ වත්තක වෙසෙන මිනිසුන්ට ප්‍රසිද්ධියේ තම දුක කියන්නට ඉඩ පසුබිම නිර්මාණය වෙලා නැහැ.

ගිවිසුම් හා වැටුප්
“අපේ මිනිස්සු වත්තේ වැඩ කරන්නේ ඕනෑවට එපාවට. ඒකට හේතුවක් තියෙනවා. වත්තෙන් අපට ගෙවන්නේ සොච්චම් පඩියක්. ඉතින් කවුරුත් වත්තේ වැඩට යන්න කැමති නෑ.” දලු කඩන කාන්තාවක් එහෙම කියනවා.
දලු කැඩීම පහසු වැඩක්ද? ගෝනි පඩංගු හැඳ, පිහියක් ඉණ ගසාගෙන දිග කෝටුවක් අතැතිව, බරැති දලු ගෝනිය හිසෙන් එල්ලාගෙන කඳු මුදුන්වල සීතලේ ඇවිදින කාන්තාවක් ඔබ මවාගන්න. මා ඒ කඳු මුදුන්වල ඇවිද කොළඹ පැමිණ මේ සටහන ලියන මොහොත වෙද්දීත් පුදුමාකාර දෙපා වේදනාවකින් පෙළෙන්නේ තේ වතුවල ඇවිදීමේ අසීරුව නිසායි. දිනපතා ඒ කඳු මුදුන්වල විඳින දුක මේ අකුරු අතරට එක්කිරීම කළ නොහැක්කක්.
තේ දලු නෙළන සුන්දර ළඳුන් බලාපොරොත්තු වෙන්න එපා. ඔබට දකින්නට ලැබෙන්නේ තේ දලු නෙළීමෙන්ම කර්කශ වූ මිනිසුන්. වේදනාව දරාගැනීම වෙනුවෙන් බුලත්විට කන්නට පමණක් නොව මත්පැන් බොන්නට පවා හුරුවූ කාන්තාවන්. කළු ගැසුණු දත් මෙන්ම රළු වැටුණු අත්. තේ වත්තක කාන්තාව දලු කඩනවා. පිරිමියා වතු උදලුගෑම, සුද්ධ කිරීම, කප්පාදු කිරීම ආදි නොයෙක් නඩත්තු කටයුතු කළ යුතුයි.

වත්තේ දලු කඩන කාන්තාවකට දිනක වැටුප රුපියල් හත්සිය තිහක්යැයි 2016 ඔක්තෝබර් පළමුවැනිදා අත්සන් කළ අලු‍ත් ගිවිසුම්වල කියැවෙනවා. එහෙත් දිනක් වැඩකරන කෙනෙකුගේ අතට රුපියල් හත්සිය තිහක් ලැබෙන්නේ නෑ.
“පඩි ගෙවන විදිය ගැන අපි දන්නේ නෑ මහත්තයා. අපට ඔය ගිවිසුම් කවුරුත් පෙන්නන්නෙ නෑ. අපි දවසකට කිලෝ දහඅටකට වඩා කැඩුවොත් පන්සිය තිහක් දෙනවා. නැත්නම් රුපියල් හාරසිය පනහක් විතරක් දෙනවා.” අප සමඟ දලු කඩන කාන්තාවන් කීවේ එහෙම.

නව ගිවිසුම අනුව වතු කම්කරුවන්ට දිනක වැටුප ලෙස රුපියල් පන්සිය තිහක් ගෙවිය යුතුයි. ඊට අමතරව මාසිකව සීයට හැත්තෑවකට වැඩි පැමිණීමක් ඇතිනම් දිනකට රුපියල් හැට බැගින් අමතරව එකතුවිය යුතුයි. ඊට අමතරව රුපියල් එකසිය හතළිහක දීමනාවක් ඊපීඑෆ් සහ ඊටීඑෆ් ලෙස ලැබෙනවා. දිනක වැටුප රුපියල් හත්සිය තිහක් වෙන්නේ එහෙම. මේ ගිවිසුම් හෝ අයිතිවාසිකම් ගැන සාමාන්‍ය වතු කම්කරුවෙක් දන්නේ නැහැ. ඒ මිනිසුන්ට ප්‍රායෝගිකව ලැබෙන්නේ රුපියල් හාරසිය පනහක් පමණයි.
“අපි වැඩිය වත්තේ වැඩට යන්න කැමති නැත්තේ හරි පඩියක් ලැබෙන්නේ නැති හින්දා. රුපියල් හාරසිය පනහ ගාණේ දවස් විස්සක් ගියොත් කීයක්ද ලැබෙන්නෙ.” අපි ඔවුන් වෙනුවෙන් ගණන් හදා බැලු‍වා. ලැබෙන්නේ මසකට රුපියල් නවදහසක් පමණයි.

නිවාස
ඇතැම් ලැයිම් කාමර හිමි උත්සාහවන්ත මිනිසුන් තමන්ගේ පුංචි නිවාස අලු‍ත්වැඩියා කරගෙන තියෙනවා. එහෙත් ඔවුන්ට ඉඩම්වල අයිතිය නැහැ. අප ත්‍රීවීලරයෙන් රැගෙන ගිය තරුණයාත් වෙහෙස වී නිවස ගොඩනඟාගත් කෙනෙක්.
“අර තියෙන්නෙ මගේ ගෙදර. මේ වත්තෙ ලොකුම ගෙදරක්.” ඔහු පෙන්නුවේ ටිකක් දියුණු පෙනුමැති පුංචි නිවසක්.
“ලොකුවට ගෙයක් හදන්න බෑ. සීමාවක් තියෙනවා. මේ ඉඩම්වල අයිතියක් අපට ලැබෙන්නේ නෑ.” ඔහු එහෙම කියනවා.‍
පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ පාර්ශ්වයෙන් පොරොන්දු වී තිබුණේ මලය දෙමළ ජනතාවට ඉඩම් හා නිවාස ලබාදෙන බවයි. පර්චස් හතක ඉඩමක නිවසක් ලබාදෙන බව පොරොන්දු වී තිබුණා. එහෙත් ඒ පොරොන්දු ඉටු වෙන්නට තව බොහෝ කාලයක් යාවි. අපිරිසිදු සහ කුඩා පොදු වැසිකිළි මෙන්ම එකිනෙකට අල්ලා ඇති වසර ගණන් පැරණි කාමර දෙකේ නිවාස පේළි වසර සිය ගණනක් තිස්සේ එලෙසම පවතිනවා. අප මෙවර ගිය වත්තේ ලැයිම් කාමර තනා ඇත්තේ 1983දීයි. ඉන්පසුව කිසිදා මේවා අලු‍ත්වැඩියා කර නැහැ.

අයිතිවාසිකම්
“මලය දෙමළ ජනතාව ලංකාව සමඟ ගැටගැසී සිටියේ වරින් වර ඇති කරගත් ගිවිසුම් ඇතුළෙයි. ඔවුන්ගේ අයිතිවාසිකම් තීරණය වුණේ රටේ ව්‍යවස්ථාව අනුව නෙවෙයි, අර ගිවිසුම් අනුවයි. ඔවුන්ට 1977 වෙනකන්ම ලංකාවේ පුරවැසිභාවය තිබුණේ නෑ. ඉන්පස්සේ මැතිවරණවලදී ඉන්දීය දෙමළ ජනතාවගේ නියෝජනයක් පාර්ලිමේන්තුවට යන්නට පටන් ගත්තා. ඒක හොඳ ලක්ෂණයක් විදියට දකින්න පුළුවන්. එහෙත් ඒ විදියට මලය දෙමළ ජනතාවගේ නියෝජනය පාර්ලිමේන්තුවට ලැබිලා අවුරුදු හතළිහක් ගෙවී ගිහින්. වෙනසක් වෙලා තියෙනවාද?’ අප සමඟ එසේ අදහස් දැක්වුවේ බදුල්ලේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුරේෂ් කුමාර්.
තවමත් වතු කම්කරු ජනතාවගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන’තරින් දාහකට එක්කෙනෙක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ. ඒ අයගෙනුත් බහුතරය කලා විෂයෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ.

තවම පළාත් පාලන ආයතනවල අයිතිවාසිකම්වත් මේ ජනතාවට නැහැ. ප්‍රාදේශීය සභාවල සේවාවන් වන කුඩා මාවත් සංවර්ධනය, ග්‍රාම සංවර්ධන කටයුතු, කුණු ඉවත්කිරීම වැනි විවිධ සේවාවන් වතු සමාගම්වලට අයත් ඉඩම්වල වෙසෙන මේ ජනතාවට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉඩම් පළාත් පාලන ආයතනවලට අයත් නැහැ. ඒවා අයත්වෙන්නේ වතු සමාගම්වලට. ඒ නිසා කැඩී බිඳී විනාශ වී ගිය මාවත් තමයි ඔවුන්ගේ නිවාසවලට ඇතුල්වෙන්නට තියෙන්නේ. වත්තක් මධ්‍යයේ ඇති නිවාසවලට නම් ළංවෙන්නටත් අපහසුයි. වාහනයක් යන්නේ වළ ගොඩැලි සහිත ලංකාවේ ඇති අපායේ මාවත් වැනි දුෂ්කරම පාරවල් ඔස්සේ. අප වත්ත ඇතුළට එක්කාගෙන ගිය ත්‍රීවීලරයේ රියැදුරු මිත්‍රයා පවසන්නේ ඔහු කුඩා කාලයේ, වසර තිහකට පෙර අවසාන වරට පාරවල් අලු‍ත්වැඩියා කර ඇති බවයි.

තේ වගාව
“දැන් වතුවල තත්ත්වය දුර්වලයි. සමහර වතුවල තේ ගස් දැන් අවුරුදු තිහකට වඩා වියපත්. තේ පැළ කප්පාදු කිරීම වගේම අවුරුදු තිහකට සැරයක් වගේ අලු‍තින් ගස් සිටුවීම අනිවාර්ය දෙයක්. ඒත් ඒවා සිද්ධවෙන්නේ නැහැ. වතු හරියට කළමනාකරණය වෙන්නේ නෑ. දැන් අවුරුදු හතළිහ පනහා පරණ ගස් තියෙනවා. ඒවාට සාත්තු කරන්න සමාගම් දන්නේ නෑ. දලු ලැබෙන්නේ බොහෝ අඩුවෙන්. අක්කරයක අලු‍තින් පැළ හිටවන්න රුපියල් ලක්ෂ හතළිහක් විතර වැයවෙනවා. ඒක කොහොමහරි කරන්න පුළුවන්. ඉන්පස්සෙ ලාභය ලැබෙනවනෙ. ඒත් එහෙම දෙයක් කරන්න තරම් කම්කරුවො දැන් වත්තෙ වැඩට එන්නේ නෑ. සමාගම් ඒ නිසා ඒවාට උනන්දු වෙන්නේ නෑ. ඒවා එක්ක තේ වතු සහිත කඳුවල නායයෑමේ අවදානමත් වැඩිවෙලා. ආරක්ෂිත කාණු පද්ධති නැහැ. ඒ නිසා වෙන්නැති නායයන අවදානම වැඩි. කාණු කපන්නට, නඩත්තුවට කම්කරුවො නෑ.” වත්තේ කංකානම් මහත්තයෙක් අප සමඟ කීවේ එසේයි. කර්මාන්තශාලා අලු‍ත්වැඩියාවත්, නඩත්තුවත් වෙනුවෙන් වියදම් කරන්නට වතු සමාගම්වල උනන්දුව දැන් නැතිව ගිහින්. බොහෝ කර්මාන්තශාලා වසා දමා ඇති අයුරු දකින්නට පුළුවන්.

කලෙක තේ අපනයනයෙන් අංක එකේ සිටි ලංකාව මේ වෙද්දී පහළට ඇදවැටිලා. තේ අපනයනය පැත්තෙන් චීනයට සහ කෙන්යාවට වඩා අප ඉන්නේ පහළින්. වසරින් වසර තේ නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස අඩුවෙනවා. 2015 සිට 2016 වෙද්දී ප්‍රතිශතයක් ලෙස තේ නිෂ්පාදනය සීයට දෙකකට ආසන්න ප්‍රමාණයකින් අඩුවෙලා. එහෙත් තවම ලංකාවේ තේ ඉහළම මිලකින් යුතුයි.

පෙනෙන විදියට ලොකුම ගැටලු‍ව ශ්‍රම හිඟකමයි. කම්කරුවන්ට සොච්චම් වැටුප් දෙමින්, කම්කරුවන් සූරාකන පසුබිමක සමාගම්වලට ලාභ සෙවිය හැකිද? වතු සමාගම්වල අනාගතය ආලෝකමත් නොවෙන්නට පළමු හේතුව ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරාකෑමයි. ශ්‍රමයට නිසි වටිනාකමක් තිබුණා නම් තේ වගාව ආලෝකය කරා ගෙන යා හැකියි. එකල මෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගන්න දැන් බැහැ. දැන් ඒ වෙනුවෙන් මිල ගෙවිය යුතුයි. ලොව පුරා ඉහළ ඉල්ලු‍මක් ඇති කර්මාන්තයක් කරද්දී කම්කරුවාට ගෙවීම පාඩුවක් වෙන්නේ කොහොමද. එය යහපත් ආයෝජනයක්. තේ වගාව සංවර්ධනය කරන්නට නම් මුලින් කළ යුත්තේ වතු කම්කරුවන් සතුටු කිරීමයි. සමාගම් එවන් තීන්දු නොගන්නා නිසා ඒ තීන්දු ගතයුත්තේ රටේ සංවර්ධනය ගැන කල්පනා කරන ආණ්ඩුවයි. එසේ කිරීමෙන් ලංකාවට ලැබිය හැකි ලාභය සුවිශාලයි.

“අපට හරි වැටුපක් තියෙනවා නම් වත්තේ මිනිස්සු තේ වගාව ගැන උනන්දු වෙයි.” අප සමඟ වත්තේ සිටි තරුණයෙක් කීවේ එහෙම. ඔහු දැන් කොළඹ රැකියාවක් කරනවා.
“කොටුවේ කඩවල සිය ගාණක් වතුකරයේ දෙමළ තරුණයො සුළු වැටුපට කම්කරු පන්නයේ රස්සා කරනවා. අපි කොළඹ යන්නේ මෙහේ රැකියා නැති හින්දා.” බෝඩිම්වල ඉඳිමින් ඔවුන් දින ගණන් වෙහෙස වී ලබන්නේ සුළු වැටුපක්.
“මම නම් දැන් වත්තේ වැඩට යන්නෙ නැති තරම්. ගමේ මොකක් හරි කුලී වැඩක් කළොත් රුපියල් දාහක විතර කුලියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්න එක හොඳයි. ඔය සොච්චමකට මැරෙනවාට වඩා” මැදිවියේ කාන්තාවක් එසේ කියනවා. වඩා කාර්යක්ෂම ශ්‍රමිකයන්ට වතු අසලම ඇති ගම්මානවලින් හෝ නගරවලින් ඉල්ලු‍මක් තියෙනවා. ඒ ශ්‍රමය වත්තේ සොච්චමට යට වෙන්නේ නැහැ. වත්ත තුළ නතර වෙන්නේ අකාර්යක්ෂම ශ්‍රමය පමණයි. වතු නඩත්තු කරන්නට ඒ ශ්‍රමය ප්‍රමාණවත් නෑ.
ඒ සියල්ල මැද ලංකාවේ තේ වගාව අවුරුදු එකසිය පනහක් සම්පූර්ණ කරනවා. බොහොම සතුටුයි. තව වසර එකසිය පනහක් ලංකාවේ තේ කර්මාන්තය පවතීවිද? එය තීරණ වෙන්නේ මලය දෙමළ ජනතාවට සලකන්නට බලය හා ධනය ඇති අය පෙළඹීම හෝ නොවීම මතයි.■