රාවය

මට පාරක් කපා ගන්න මම ඒ අයව පාරට දැම්මා| රන්ජන් රාමනායක

මට පාරක් කපා ගන්න මම ඒ අයව පාරට දැම්මා| රන්ජන් රාමනායක

ටිරන් කුමාර බංගගමආරච්චි

රන්ජන්ට මාපියන් යොදපු නම දිග වැඩියි කියලා හිතුණේ නැද්ද?
හිතුණ වාර අනන්තයි. මම පුංචි කාලේ ඒක ලියද්දී සෑහෙන වෙහෙසක් ගන්නවා. මම හිතන්නේ මට දේවල් මතක තියාගන්න ශක්තිය ලැබෙන්න ඇත්තේ පුංචි කාලේ මගේ නම මතක තියාගත්ත හින්දා වෙන්න ඇති. (හිනා)
සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු රාමනායක.
පුංචි කාලේ මේක මටත් වදයක්. යාළුවන්ටත් ජෝක් එකක් වගේ. මම නම ගැන මාපියන්ට නිතර කම්ප්ලේන් කළා. මේකට දවසක් තාත්තාට හරියට තදවුණා. උඹට පිස්සුද යකෝ, මේකේ තියෙන අගය උඹ දන්නෙ නැහැ. කවදාහරි උඹට තේරෙයි මේකෙ අගය. මේකෙන් කියන්නේ උඹගේ පරම්පරාව සද්ද විද්ද කියන්නේ සද්දෙට විද්ද දුනුවායෝ. ඒ අය රජයට පක්ෂව හිටපු නිසා තමයි රාජපක්ෂ වුණේ. ලියෝ කියන්නේ ‘ළය.’ සිල්වෙස්ටර් කියන්නේ ශුද්ධවන්තයාගේ නම. අල්පොන්සෝ කියන්නේ පෘතුගීසීන් අද්මිරාල්ට කියන නාමයක්. තාත්තා දීර්ඝ දේශනයක් දුන්නා. ඒත් තාත්තේ පෘතුගීසියි අරවයි මේවයි කවලම්නේ කියලා මම කෙඳිරි ගෑවා. කොහොම වුණත් ලොකු වෙන කොට මම ඒ නමට ආසවුණා.
පාස්පෝට් එකේ නම පුරවද්දී තමයි තවමත් ප්‍රශ්නෙ. එස්.වී.ආර්.පී.පී.ඒ.ආර්.එල්.එස්.ඒ. රාමනායක (හිනා) නමේ හැටියට සද්දෙට විදින ගතිය මට හොඳටම තියෙනවා. (හිනා)

තාත්තා මොනවද කළේ?
සීජීආර් එකේ සිග්නල් සහ කලර් ලයිට් ඉන්ස්පෙක්ටර්. ඊට පස්සේ ෆෝමන් කෙනෙක් විදිහට වැඩ කළා.

රන්ජන්ට කුඩා කාලයේ මතක ලොකුවට තියෙනවාද?
අපි කතෝලික පරිසරයක උපත ලබපු හින්දා සියලු මතක කතෝලිකයි. පල්ලිය, ෆාදර්ලා බයිබලේ කතා මේවා තමයි විශ්වාස. පුංචි කාලේ මම දැඩිව ආගම විශ්වාස කළා. අර බයිබලේ තියෙනවා කියනවානේ, නොදැක විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය කියලා. මම හිතන්නේ මම භාග්‍යවන්තයෙක් වුණා.
පොඞ්ඩක් තේරෙන කාලය එනකොට පාසලේදී ආගම ප්‍රශ්න කරන තැනට මම ආවා. මට මතකයි සෞඛ්‍ය පාඩමට දරුවෙක් හැදෙන හැටි කියලා දෙනකොට ඊළඟට ආගම ගුරුවරයා ඇවිත් ගෙබි්‍රයල් දේව දූතයා ජනේලයෙන් ඇවිත් කියලා මරියාව ගැබ් ගන්වන කොට මට ඒවා ප්‍රශ්න වුණා. මම කෙළින්ම ඒවා ඇහැව්වා. අද වගේම තමයි. අනවශ්‍ය කතා කියලා එළියේ දණගස්වලා තිබ්බා. ඒ කාලේ වැඩිම දණ ගහන ටීම් එකෙත් ප්‍රමුඛයා මම.

විජය කුමාරතුංග රන්ජන්ට ඥාතිවෙන්නේ කොහොමද?
විජේ කියන්නේ මගේ මාමා. විජයගේ තාත්තාගේ නංගි තමයි මගේ අම්මා. සමහරු හිතනවා මම බොරුවට ඥාතිකමක් පටලවාගෙන කියලා. විජයගේ තාත්තාගේ නංගිගේ ළමයා වුණාම මට විජය ඥාති වෙන්නේ නැද්ද? හැබැයි ඒ ඥාතිකම නිතර උලුප්පලා තියෙනවා. මොකද ඔහු රටේ ජනප්‍රියතම චරිතයක් නිසා. මම ඉස්කෝලෙදි විජය මාමා කිව්වාම යාළුවෝ මාව සවුත්තුම කරනවා. පල පල යන්න. එහෙනම් උඹට කෝ කුමාරතුංග කෑල්ල කියලා. පුංචි කාලේ ඉඳලාම සෑහෙන අපහාස, උපහාස මම විඳලා තියෙනවා.

රන්ජන්ගේ ජීවිතයට වැඩිපුරම බලපෑවේ අම්මාද? තාත්තාද?
අම්මා. එයා නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. කොටින්ම එයා කියපු බොරු නිසා තමයි මට අනාගතයක් ලැබුණේ. මගේ අම්මා ඇවිල්ලා කාක් අම්මා වගේ. එයාගේ ලෝකයේ හිටපු ලොකුම වීරයා මම. ඉතින් මම මොකක් කළත් එයාට මරු. මම සිංදුවක් කිව්වොත් එයා අහපු ලස්සනම සිංදුව ඒක. මම තරම් ලස්සන කෙනෙකුත් නෑ එයාට. මම රඟපානවා දැක්කාම එයාට මම තරම් නළුවෙක් නැහැ.
තාත්තා අනෙක් පැත්ත. එයා මාව එකෙන්ම ප්‍රතික්ෂේප කළා. මුල් කාලේ මගේ රඟපෑම් දැකලාත් ඔහු කිව්වේ, මේ යක්කුන්ට වෙන එවුන් නැද්ද බං ගන්න උඹවම ගන්නේ කියලා. මගේ නළුකම නිසා ඒ අයට පාරට බහින්නත් වුණා. ඒ කේන්තියත් තාත්තාට තිබුණා. ඒ නිසා ඔහු මගේ හොඳක් දැක්කේ නැහැ.
මමත් දන්නවා තාත්තා තමයි ඇත්ත කියන්නේ කියලා. ඒත් අම්මා තෝමස් අල්වා එඩිසන්ගේ අම්මා වගේ මාව උඩට ගෙනෙන්න කියපු බොරු මට කනට වත්කරන මී පැණි වගේ වුණා. ඒක මට ආශීර්වාදයක් වුණා. අම්මා කියන්නේ බොරු කියලා මම දන්නවා. ඒත් ඒ තුළ ලොකු පන්නරයක් මට තිබුණා. අද මම මෙතැන ඉන්නේ අම්මා නිසා. කවුරු ප්‍රතික්ෂේප කළත් මාව හෑල්ලු කළත් මගේ අම්මා මට දුන්න තැන නොවන්න අද මම නෑ. මම මිනිහෙක් මරලා ගියත් එයා මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. තාත්තායි, අක්කායි අනික් පැත්ත.

නළුවෙක් වෙන්න හිතුණේ ඇයි?
අපේ පල්ලියේ හිටියා බර්නාඞ් බලුවා කියලා ෆාදර් කෙනෙක්. හයේ හතරේ මිනිහා. යකාටවත් බය නෑ. මාළු, මස් ගෙනෙන්න මෙයාම තමයි බයික් එකේ යන්නේ. වැඩි සද්දෙට ආවොත් ගහනවා. මිනිස්සු පණ බයයි. ඒ වගේම තමයි සිල්වත්කමත්. ගෑනු නෑ. හොරකම් නෑ. වෙන ෆාදර්ලා වගේ නෙමෙයි. මේ චරිතය තමයි මට මුලින්ම බලපෑවේ. මට ඕනෑ වුණේම ඒ වගේ වෙන්න. ඔහු තමයි මගේ මුල්ම වීරයා.
ඒත් ඥාති කෙනෙක්ගේ මඟුල් ගෙදරකදී විජය කුමාරතුංග දැක්කාම තමයි නළුවෙක් වෙන්න ආස හිතුණේ. මට ඒ දවස අද වගේ මතකයි. අපි පොඩි එවුන්. මඟුල් ගෙදර ඉන්න කොට අන්න විජය ආවා කිව්වා. විජය කළු ෂර්ට් එකක් ඇඳලා, හිර කලිසමක් ඇඳලා කුමාරයෙක් වගේ ආවා. එදා එයාගේ වාහනය එලවාගෙන ආවේ පත්මසිරි කොඩිකාර. එදා මඟුල් ගෙදර වීරයා විජේ මාමා. මඟුල් ජෝඩුව නෙමෙයි, මගේ වීරයා ෆාදර්, එයාත් විජේ එක්ක පොර කකා පින්තූර ගන්නවා. මට හිතුණා යකෝ වෙනවා නම් නළුවෙක්නේ වෙන්න ඕනෑ, නළුවෙක්ට තියෙන තැන කාටවත් නැහැනේ කියලා. පුංචි මට විජේ මාමාට තියෙන දැවැන්ත තැන එදා තේරුණේ නැහැ. මම හිතුවේ මේක නළුවාට තියෙන දෙයක් කියලා. අද මමත් නළුවෙක්. ජනප්‍රිය නළුවෙක්. මට නෙමෙයි මොන නළුවාටවත් අදටත් විජේ මාමාට තිබුණ ඉල්ලුම තිබුණේ නැහැ. ඒක නම් ලැබෙන්නෙත් නැහැ. ලබා ගන්නත් බැහැ. කොහොම හරි එදා ඉපදිච්ච ආශාව මාව නළුවෙක් කළා. ඒ වගේ දැවැන්ත නළුවෙක් දිහා බලාගෙන නළුවෙක් වෙන්න ඕනෑ කියලා ප්‍රාර්ථනා කරපු නිසා මේ මට්ටමේ හරි නළුවෙක් වුණා. (හිනා)

විජේ මාමා උදව් කළාද නළුවෙක් වෙන්න.
උදව් කළා. ඔහු මාව ඔහුගේ ගෙදරත් තියාගෙන හිටියා. ඒත් ඔහු නිතර කියපු දෙයක් තමයි මමත් මේ තැනට ආවේ මහන්සි වෙලා. ඔයත් එහෙම එන්න කියලා. මම කිව්වානේ මේ හැමදේම අම්මා කියලා. එදා විජය මාමා දැකපු පුංචි මට නළුවෙක් වෙන්න ඕනෑ කියලා හිතුණාම මම ඒක අම්මාට කිව්වා. අම්මා කිව්වේ ඔව්! ඔයාට පුළුවන්. ඔයා ලස්සන ළමයෙක්නෙ. ඔයාට විජය මාමා වගේ වෙන්න පුළුවන් කියලා. එදා ඉඳලා මම නළුවෙක් විදිහට හැසිරුණා. එතකොට කළු මම පවුඩර් ගගා සුදට හිටියා. ඊළඟට ආයේ විජය මාමා දැක්කේ ඥාති මළගෙදරකදී. එදා මාව දැකපු ඔහු කිව්වා අම්මා රන්ජා දැන් නළුවෙක් වගේනේ කියලා. මට ඊට එහා දෙයක් නෑ. අවුරුදු 18ක් විතර ඇති එතකොට. එදා යනකොට මම ඇහැව්වා මාමේ මටත් නළුවෙක් වෙන්න බැරිද කියලා. මොකද බැරි පුළුවන්. ඔයා මගේ ගෙදර එන්නකෝ. මම ඒ කියපු විදියට ගියා. සෑහෙන කට්ටක් කෑවා. එහේ ගියා කියලා රඟපාන්න ලැබුණේ නැහැ. විජය මාමාට එන ලෝ බජට් ඒවා මට දෙන්න කියලා විජය මාමා කිව්වාම, ඒ අය පිස්සුද? මෙයා කවුද? විජය ඔයා එන්න, මෙයා දාලා ෆිල්ම් කරන්න අපිට පිස්සු නැහැ කියලා මගේ මූණටම කිව්වා. මම පින්තූර අරගෙන ඒ කාලේ චිත්‍රපට කරන හැමකෙනාගෙම ගෙදර ගියා. චරිතයක් ඉල්ල ගන්න ලැබුණේ නැහැ. උදේ ඉඳලා හවස් වෙනකම් කළේ ඒක. පොඩි චරිතයක්වත් ලැබුණේ නැහැ. සල්ලිත් නෑ. විජය මාමා රඟපාපු ක්‍රිස්තු චරිතේ පුංචි කෑල්ලක් ලැබුණා. ඒක තමයි මගේ පළමු චිත්‍රපටය. ඒත් මටත් බෑ මම හිටපු තැන හොයා ගන්න. (හිනා)
ඒ අතරේ සමහරු කිව්වා ඔහොම බෑ. දේවල් නිකං ලැබෙන්නේ නෑ. ඒකට මේවා කරන්න ඕනෑ කියලා. ඉතින් මම ගෙදරින් සල්ලි ඉල්ල ඉල්ලා තරංගා රෙකෝඞ් බාර් එක ළඟට එන අධ්‍යක්ෂවරුන්ට, බෝතල්, බයිට් අරගෙන ගිහින් දෙනවා. ඒ අය ඒවා කාලා බීලා යනවා. කිසිම චරිතයක් ලැබුණේ නැහැ. මාව බයිට් වුණා විතරයි. සෑහෙන වියදම් කළා බොන්න දෙන්නම. මම හිඳුණා. ගෙදරත් හිඳුණා මට කරලාම. ඔය කට්ට කාගෙන ඉන්න කොට ‘භාග්‍යා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට හම්බ වුණා. එතැන ඉඳලා මට සෑහෙන ඉල්ලුමක් තියෙයි කියලා හිතුවාට එහෙම වුණේත් නෑ. ආයේ වේලෙන්න ගත්තා. රඟපාන්න නම් කොළඹ පදිංචි වෙලා නළුවෙක් විදිහට නඩත්තු වෙන්න ඕනෑ. ඒකට සල්ලි එපැයි. මම ගෙදරට කරදර කළා මට තියෙන දෙයක් දැන්ම දෙන්න කියලා. පර්චස් පනස් හයක් ඉඩම. හොඳට ගේ හදලා. අම්මා ඒක මට ලිව්වා. තාත්තායි, අක්කායි තදින්ම විරුද්ධ වුණා. තාත්තා කිව්වා ලියන්න එපා, මේකා අපිව පාරට දායි මේවා විකුණගෙන කාලා කියලා. අම්මා කිව්වා නෑ දෙන්න තියන දේවල් දෙන්න ඕනෑ කියලා ලිව්වා. මම ඔප්පුව උගස් තියලා මෙහෙන් කුලියට ගෙයක් අරගෙන නළුවා වගේ හිටියා. මාස හතරක් පහක් යනකොට අම්මායි, අක්කායි, තාත්තායි අඬාගෙන එනවා. උඹ අපිව පාරට බැස්සුවා කියාගෙන. පොලී ගෙවන්න බැරිව ඒක සින්නවෙලා. මම නිසා ඒ අයට ඉන්න තැනක් නැතිවුණා. පස්සේ අක්කා ළඟට ඒ අයව ගත්තා. තාත්තාට ඒ තරහ දිගටම තිබුණා. මම නළුවෙක් වෙන්න කියලා සෑහෙන දේවල් කැපකළා. මම උගස් කළේ මගේ මව්පියන්ගේ ජීවිත. ඒත් මට නළුවෙක් වෙන්න බැරිවුණා. මම මේවා දමලා ගහලා ඇමරිකාවේ ගියා. ඇමරිකාවේ ගියෙත් හොලිවුඞ් යනවා කියලා හිතාගෙන. සෑහෙන කට්ටක් කෑවා. ඉන්න හිටින්න නැතිවුණා. හොලිවුඞ් යනවා කියන්නේ ඇත්තටම හඳට යනවා වගේ වැඩක්. මාස 18ක් ඇමරිකාවේ හෑල්ලු වෙලා යන එන මං නැතිවෙලා. ආයේ හිස් අතින් ලංකාවට ආවා. ඇමරිකාවේ ඉඳලා එතකොට සුදුවෙලා මහත්වෙලා අතඇරලා දාපු නළු පෙනුම විතරයි තිබුණේ. මෙන්න ඒකට ඉල්ලුමක් තිබුණා. සුනිල්සෝම පීරිස් ඇවිත් කිව්වා ෆිල්ම් එකක් කරමු කියලා. කළා. ඒ එක්කම උදයකාන්ත ඇවිත් කිව්වා, ‘බහුභාර්යා’ කියලා ෆිල්ම් එකක් කරනවා, ඔයා ප්‍රධාන නළුවා, කිස් කරන කෑලි තියෙනවා, ඒකට නිළියක් තවම හිතාගන්න බැරිවුණා කියලා. මම කිව්වා සංගීතා ගන්න කියලා. එයා කිව්වා පිස්සුද එයා එන්නෙ නෑ කියලා. කොහොමහරි එයා ආවා. ෆිල්ම් එක හිට්වුණා. ඒ ගමන් ‘රෝස වසන්තයත්’ ලැබුණා. මම සෑහෙන ජනප්‍රිය වුණා. අවුරුදු ගාණක් කට්ට කාලා හොයපු දේ කාලයක් ගිහිල්ලා ලැබුණා. මට හිතුණා මමත් චිත්‍රපටයක් කරනවා කියලා. හැමෝම හිනා වුණා. ඕකෙන් තමයි ඇනගන්නේ කියලා. ඒත් මම කළා. තිස්ස අබේසේකර මහත්තයා මුදල් පාස් කළා. ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ වැඬේ නැගලා ගියා. මාව නවත්වන්න කාටවත් බැරිවුණා. පාර්ලිමන්ට් ජෝක්ස් කළ මම පාර්ලිමේන්තුවටත් ගිහින් නැවතුණා. (හිනා)

මාපියන්ට සලකන්න පුළුවන් වුණාද?
බැරිවුණා. මරණය දක්වාම ගෙනියන සදාතනික වේදනාවක් තියෙනවා. ඒ තමයි අම්මාටයි, තාත්තාටයි සලකන්න බැරිවීම. ඒ අයට දුන්න වේදනාවන්ට සහනයක් වෙන්න බැරිවීම. අද සල්ලි තියෙනවා. ජනප්‍රියත්වය තියෙනවා. හැමදේම තියෙනවා. ඒත් ඒ අයට කරන්න බෑ. ඒ අය නෑ. අද මිනිස්සු අතර ජනප්‍රිය වුණත් ආදරය ලැබුණත් මේ අඩුව පුරවන්න බෑ. ඒ වේදනාව මට තියෙනවා. ඒක හොඳ නොවන තුවාලයක් වගේ. මට පාරක් කපා ගන්න මම ඒ අයව පාරට දැම්මා. මම මම ගැනමයි හිතුවේ. මම නළුවෙක් වුණා. ජනප්‍රියම නළුවෙක් වුණා. ඒත් ඇතුළෙ විඳවිල්ලක් තියෙනවා. අම්මා තාත්තාට දේවල් දෙන්න බැරිවීම ගැන.

තනිකඩ ජීවිතයට ආසද?
ඔව්! මගේ සාර්ථකත්වයේ රහස ඒක. මට මාවවත් රැකගන්න බැරිව පවුලක් රකින්නෙ කොහොමද කියලා අතීතය දිහා බලපුවාම පෙනෙනවා. ඕන කට්ටක්, දුකක් තනිවම විඳින්න පුළුවන්. එහෙම වින්දා. මේ ජීවිතය සැපයි. බරක් නෑ. අද සතුටින් ජීවත් වෙනවා. හම්බ කරනවා. වියදම් කරනවා. අද විතරයි. දැන් පනස් පහයි. ඉතිරි ටිකත් මෙහෙමම ඉන්නවා.

‘පාර්ලිමන්ට් ජෝක්ස්’ කළ ඔබ පාර්ලිමේන්තු එනවා. ඒක ඇත්තටම ජෝක් එකක්ද?
මම නිතරම අපේ දේශපාලනය දැක්කේ ජනතාවට අසාධාරණය සිදුකරන දෙයක් විදිහට. ඒකයි මම එහෙම ෆිල්ම් එකක් කළේ. ඒ එක පැත්තක්. ඕනෑම එකක වගේ දේශපාලනයෙත් හොඳ චරිත ඉන්නවා. හිටියා හෙවත් ඉන්නවා. ෆිල්ම් එකෙන් මම පෙන්නුවේ එක පැත්තක්. මමත් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒකේ හොඳ අය වගේම හොරුත් ඉන්නවා. හොඳ අය වැඩිකර ගන්නයි ඕනෑ. එතකොට ජෝක්ස් වෙන්නත් පුළුවන්.

ඔබ විශ්වාස කරන විදියට ඔබ දන්න ඔබ තුළ තියෙන හදාගන්න බැරි වරද මොකක්ද?
පුංචි කාලේ ඉඳලම මම කැපී පෙනෙන්න, ජනප්‍රිය වෙන්න ආසයි. ඒ නිසා ඒ වෙනුවෙන් අමන ගොන් වැඩ ඕනෑතරම් කළා. කෙනෙක් මාව ඉස්සරහට දාලා විසිල් එකක් ගහන්න විතරයි තියෙන්නේ. මම ත්‍රිල්වෙලා මරාගෙන මැරෙන්න හරි යනවා. ඒ කාලෙත් වැඩිම ගහගත්තේ මම. ගුටි කන්නේත් මම. පුංචි කාලේ ඉඳලා ආ මේ නරක පුරුද්ද අදත් තියෙනවා. කැපී පෙනෙන්න මම ආසයි. තල්ලුවක් දීපු ගමන් තල්ලුවෙලාම යනවා. ඉස්සරහා ඔක්කොම පෙරළාගෙන හරි. ඒ වගේම කියන දේ කියනවා. පස්සේ ඒකම තමයි හෙණේ. ඒත් හෙණේ එන්නෙ පස්සෙනේ කියලා දන්නවා. හැබැයි මේ හැමදේම තුළින් මාව කැපිලා පෙනුණාට මම මේ දෙවල් කරන්නේ තියෙන්නේ පොදුවේ හිතලා. නළුවෙක් වෙන්න හැමදේම උකස් කළාට දේශපාලකයෙක් වෙන්න මම මාවමයි උකස් කරලා තියෙන්නේ. තිත්ත ඇත්ත ඒකයි.

ඔබ ප්‍රාර්ථනා කළ තැනට ඔබ අද ඇවිල්ලාද?
ප්‍රාර්ථනා කළාට වඩා දස ගුණයක් විතර ඇවිත්. මට නළුවෙක් වෙන්න ඕනෑ වුණාට මෙච්චර දුර එන්න හිතේ තිබුණේ නෑ. දැන් ඉන්න තැන වෙලාවකට හිතාගන්නත් බෑ. හැබැයි ඒ පිනට ලැබුණු දෙයක් නෙමෙයි. මම විඳපු දුකට ලැබුණු දෙයක්.

නළුවෝ අතර ඔබට චරිත සහතික වැඩිපුර ලැබෙනවා නේද?
ඔව්! හැමෝගෙම හොඳ නරක ඕනෑ තරම් තියෙනවා. නිළියක් ගැන හිතන්න ඒ අයට දෙන නරක චෝදනාවම නළුවෙක් විදියට මටත් දීලා තියෙනවා. සල්ලිකාරයෝ, බලය තියෙන පිරිමි ඒ බලයට, සල්ලිවලට ඕනෑම දෙයක් ලබාගන්නවා. ඒ අතර නිළියෝ, නිරූපිකාවෝ ඉන්නවා. ඒවාට ඕනෑ තරම් සල්ලි වියදම් කරනවා. ඒ ආශාවම සල්ලිකාර බලපුළුවන්කාර ගැහැනු ගාවත් තියෙනවා. ඒ අයත් නළුවන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජනප්‍රියම චරිතවලට ආස කරනවා. ඉතින් ඒ අයත් සල්ලි වියදම් කරලා ඒ අයගේ ආශාවල් පිරිමහ ගන්නවා. ඉතින් නිළියන් වගේම නළුවෙක් විදියට මටත් ඒ ගොදුරු වෙන්න වෙලා තියනවා. මම ඕක කියනවා. වෙන අය කියන්නේ නෑ. එතැනයි වෙනස. හැබැයි මොකද්දෝ කරුමයකට මම කියවනවා වැඩියි. ඒකයි කරුමේ.■