රාවය

සාහිත්‍යයෙන් පෙරාගත්තාට ගීතය ඉතාම සරල වෙන්න ඕනෑ | ලූෂන් බුලත්සිංහල

සාහිත්‍යයෙන් පෙරාගත්තාට ගීතය ඉතාම සරල වෙන්න ඕනෑ | ලූෂන් බුලත්සිංහල

කේ. සංජීව

මුලින්ම ගීත සාහිත්‍යය සහ කලාවෙන් මේ සංවාදය පටන්ගන්න මම කැමතියි….
ඇත්තටම ගීත කලාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණි වෙන්නත් පුළුවන්. මිනිස්සු නොයෙක් අවස්ථාවලදී ගීත ගයනා කළා. ආගමික අවස්ථාවලදී, උත්සව අවස්ථාවලදී, ප්‍රීතිවෙන අවස්ථාවලදී බොන කන අවස්ථාවලදී මිනිස්සු ගීත ගායනය කළා. දැන් බටහිර ගත්තොත් ගීත කලාවේ උපරිම වර්ධන අවස්ථාව තමයි ඔපෙරාව. කටහඬ උපරිම තලයට අරගෙන ගිහිං ගායනය සඳහා කටහඬ භාණ්ඩයක් වශයෙන් භාවිත කළා. අපේ ගීත කලාව හෝ සාහිත්‍යය එතරම් දුරකට වර්ධනය වුණේ නැහැ. අපිට ආවේ හින්දුස්ථානි සංගීතයත් එක්ක ආ බොහොම සෞන්දර්යවාදී ගීත කලාවක්. ඒ නූර්තිය ඔස්සේ. ඇත්තටම නූර්තිය ගෙනා සංගීතය තමයි අද ජාතික සංගීතය වෙලා තියෙන්නේ. ඊට කලින් අපිට තිබුණේ කර්ණාටක සංගීතයේ ආභාසය ලබපු ජන සංගීතයක්. අපේ ජන සංගීතයේ මූලයන් සේරම තියෙන්නේ දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතයේ. නූර්තිය බොහොම ජනප්‍රිය වුණා. ඊළඟට ජනප්‍රිය වුණේ චිත්‍රපට ගීතය. මේ කාලයේ අපිට තිබුණේ එක ගුවන්විදුලියයි. එතකොට මේ ගීතය මිනිස්සු ළඟට යන්නේ ගුවන්විදුලිය හරහා. ඔය ජනප්‍රිය ආරේ ගීත බොහොමයක් විකාශය වුණේ වෙළඳ සේවයේ. මේ ගුවන්විදුලිය ශාස්ත්‍රීය ගීතය සහ සරල ගීතය කියලා ගීත වර්ග දෙකක් හැදුවා. ශාස්ත්‍රීය ගීත විකාශය වුණේ රාත්‍රී දහයෙන් පස්සේ. ඔය අස්සේ ගීත නාටක කියලා වර්ගයකුත් තිබුණා. කතාන්දරයක් ගීතයෙන් ගායනය කළා. මේවා ප්‍රචාරය වුණේත් ගුවන්විදුලියෙන්ම තමයි. ඒවා ලිව්වේ මහගමසේකර, මඩවල එස් රත්නායක, මානවසිංහ, විමල් අබේසුන්දර වැනි අය. මින්දද හීසර වගේ ගීත ආවේ ඔය ගීත නාටක හරහා. ඒ සමඟ තමයි අද ඔය බොහෝ දෙනෙක් කියන සුභාවිත ගීතය එන්නේ. ඊට පස්සේ මේක සරල ගීතයට බලපෑවා. මහගමසේකරගේ ඈත කඳුකර හිමව් අරණේ වගේ ගීතයක් ගත්තොත්, ඒවා ආවේ චිත්‍රසේනගේ බැලේවලින්. ඒවා ඊට පස්සේ සරල ගී විදියට ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. මෙහෙම බැලු‍වාම වෙනත් රටවල ගීත කලාව ගොඩනැගුණු විදියට නෙවෙයි අපේ රටේ ගීත කලාව ගොඩනැගුණේ. අපි එහෙම ලොකු සංගීත සම්ප්‍රදායක් තිබුණු මිනිස් කොට්ඨාසයක් නෙවෙයි. අපි මේ සේරම කරගෙන ගියේ අනුකාරක සංගීතයකින් තමයි. අද වුණත් වෙන්නේ ඒකයි. එදා හින්දුස්තානිය සහ කර්ණාටක සංගීතය අනුකරණය කළා වගේ, අද බොහෝ අය බටහිර අනුකරණය කරනවා. සංක්‍රමණය වූ මිනිස්සුන්ගෙන් තමයි මේ රට නිර්මාණය වෙන්නේ. කාලෙන් කාලෙට ඒ මිනිස්සු අරගෙන ආ සංගීතය තමයි ප්‍රචලිත වෙන්නේ. හොඳම උදාහරණය බයිලා සංගීතය. අද ඒ රටවලවත් මේ සංගීතය නැහැ. මේ විදියට අපේ ගීත කලාව ගොඩනැගෙන කොට ඒක අවසානයේ යන්න ඕනෑ කොතැනටද කියලා අපේ සංගීතඥයන් අතර සංවාදයක් ගොඩනැගුණේ නැහැ. කට්ටිවාදී විදියට තමයි අපි වැඩකළේ. බටහිර එහෙම නැහැ. ඔවුන් අප්‍රිකානු සංගීතය තමන්ගේ සංගීත අස්සට මිශ්‍රකරගත්තේ එවැනි කතිකාවතක් හරහා. අපේ ගීත සාහිත්‍යයට කලාවට අද පොදුවේ උරුම වෙලා තියෙන මේ තත්ත්වයට හේතුවත් මේක කියලා තමයි මට හිතෙන්නේ. ගීතය කියන්නේ ලොකු ගම්භිර දේවල් කියන්න පාවිච්චි කළ මාධ්‍යයක් නෙවෙයි. ඒක පාවිච්චි වුණේ හෘදයංගම දේවල් කියන්නයි. අද අපිට ඒ ප්‍රකාශන මාධ්‍යය නැතිවෙලා තියෙනවා. සාහිත්‍යයෙන් පෙරාගත්තාට ඉතිං ගීතය ඉතාම සරල වෙන්න ඕනෑ. මහගමසේකරයන් වුණත් ඒක කියනවා.

මහගමසේකර, අමරදේව සුසංයෝගය ගත්තොත් එමගින් බිහිවුණ ගීතය ගීතයමද, නැත්නම් එය කවියේම වෙනස් හැඩයක් නෙවෙයිද..
අමරදේව මහත්තයා ගොඩනැගෙන්නේ හින්දුස්ථානි සංගීතය හරහා. ඒ සංගීතයේ ගතිලක්ෂණ අනුව ඒ සංගීතය අස්සේ හොයන්නේම මිහිර. එතකොට ඒ සෞම්‍ය සංගීතයට ඒගොල්ලෝ හොයන්නේ සෞම්‍ය වචන. ළගන්නාසුලු‍ වචන. මගේ විශ්වාසය නම් ගීතය කියන්නේ ඒකම නෙවෙයි. මිනිස්සු ආදරය ප්‍රකාශ කරන්න වගේම, තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නත් ගීතය භාවිත කරනවා. දුක කියන්නත් ගීත ගායනා කරනවා. එතකොට ඒ හැඟීම ප්‍රකාශ කරන්න වචන හොයහොයා ඉන්න බැහැ. අපි කතාකරන්නේ කොහොමද ඒකම සංගීතවත් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතැන බලන්නේ. ගීතයට කියලා වෙනම භාෂාවක් හදන්න බැහැ. ඒක තමයි මගේ විශ්වාසය. මේ තත්ත්වය නිසා ජනකවිය ගීතය පෝෂණය කරනවා. මොකද ජනකවියේ තියෙන්නේ මිනිස්සු එදිනෙදා පාවිච්චි කළ වහර. මහගමසේකරගේ ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට දණ්ඩි පැටව් උඩ පැන නැටුවා’ වැනි ගීත එන්නේ කොහෙන්ද, ජන ගීතයෙන්. එතකොට සම්භාව්‍ය සාහිත්‍යයට වැඩිය ජන සාහිත්‍යය තමයි ගීතයට බලපාන්නේ. මහගමසේකරගේ, මඩවලගේ ගීත දිහා පරිස්සමෙන් බලනකොට අපට පෙනෙනවා, මේ ජනකවිය ඔවුන්ගේ ගීතයට කොච්චර බලපාලා තියෙනවාද කියලා. අමරදේව මේකට හරි කැමතියි. අමරදේව කවදාවත් එහෙට මෙහෙට යන පර්යේෂණාත්මක වැඩවලට කැමති වුණේ නැහැ. ඒකට හොඳ කතාවක් මම කියන්නම්. ‘කොළොම්තොට නැත මහලු වී’ කියන ගීතය මම ලිව්වේ කපුගේට. මොකක් හරි වෙලා මේක කපුගේ අමරදේවට දුන්නා. අමරදේව මහත්තයා මේක කියන්න බැහැමයි කියලා තියෙනවා. අන්තිමේදී කපුගේගේ පෙරැත්තයට තමයි ඔහු මේ ගීතය ගායනය කරන්නේ. මම අමරදේවට ලියූ ගීතය තමයි ‘සඳින් සඳට මුවාවෙලා’ කියන එඞ්වඞ් ජයකොඩි දැන් ගායනය කරන ගීතය. ඒකත් ඔහු කිව්වේ නැහැ. ලංකාවේ ගායක ගායිකාවෝ මෙහෙම තමතමන්ගේ රාමු හදාගෙන ඉන්නවා. හැබැයි ලෝකයේ මේ වාගේ තත්ත්වයක් නැහැ. ඒකෙන් තමයි භේද හැදුණේ. දැන් සුභාවිත ගීතය එන්නේ ඔතැනින්. මම නම් ඒක පිළිගන්නේ නැහැ. සුභාවිත ගීතය කියලා එකක් නැහැ. කලාව හරියට පාවිච්චි කරනවා නම් ඒක භාවිත කරන්නේ හරියට, සුභාවිතව තමයි. කවුද වැරදියට පාවිච්චි කරන්නේ. සුභාවිත කිව්වාම අවභාවිත කරන කට්ටියකුත් ඉන්න එපැයි.

ඔබ ගීත ලියන්න පටන්ගත්ත කාලය ගැන මතක් කළොත්…
ගීතය කියන්නේ මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය නෙවෙයි. මුලින්ම මගේ නාට්‍යවලට තමයි ගීත ලිව්වේ. ඒ 1960 දශකයේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ. හැබැයි බොහෝ දෙනා මාව ගීත රචකයෙක් විදියට අඳුනාගත්තේ රතු හැට්ටකාරී කියන මගේ නාට්‍යයෙන්. එතකොට මම ගුවන්විදුලියේ සේවකයෙක්. හැබැයි මම ගීත ලියාගෙන අනේ මේක කියන්න කියලා කාගෙවත් පස්සෙන් ගිහිං නැහැ. ගොඩක් වේලාවට ආරාධනාවන් නිසා තමයි ගීත ලියැවුණේ. මම බොහොම අතලොස්සයි ගීත ලියලා තියෙන්නේ. ඒකත් හිතවත්කමට. කපුගේට, ඔස්ටින් මුණසිංහට. මේ කාලේ ගොඩක් ගායක ගායිකාවෝ එන්නේ සරල ගී වැඩසටහන්වලට ගීත ලියාගන්න. එහෙම වැඩසටහනකට මාලිනීට මුලින්ම ලියූ ගීතය තමයි ‘රජමැදුරක ඉපදී සිටියා නම් ඔබත් රජෙකි පුතුනේ’ කියන ගීතය. හැබැයි සුජාතා අත්තනායකට ලියූ ගීතයෙන් තමයි බොහෝ දෙනා මාව අඳුනාගත්තේ. ඒ ගීතය තමයි ‘සඳ බැස නැහැ වෙසක් සඳ’ කියන ගීතය. ඔස්ටින් මුණසිංහ තමයි සංගීතවත් කළේ. ඒ සිංදුව ඒ කාලේ හිට් එකක් වුණා. ඊට පස්සේ තමයි මට ගීත ලියන්න කියලා ආරාධනා ගලාගෙන ආවේ. මේක ඇහුව ප්‍රේමකීර්ති ද අල්විස් මට කිවුවා, ෂා මේක ලිව්වේ උඹද, දිගටම ලියපන් කියලා. ප්‍රේම් සහ මම එකට තමයි නිවේදකයන් විදියට ගුවන්විදුලියට යන්නේ. ඒ 1971 අවුරුද්දේ. හැබැයි මම මුලින්ම ගුවන්විදුලියට ලියූ සහ ප්‍රචාරය වුණ ගීතය තමයි, ඉන්ද්‍රා කුමාරි විජේරත්න කියන සරල ගී ගායිකාවට පේරාදෙණියේ ඉන්න කාලේ ලියූ ‘සීත පෙරෙන දුරුතු රැයේ’ කියන ගීතය. ඒ කාලේ අපි එම්ජී සුගතදාස සංගීත මාස්ටර්ගේ සංගීත පන්තියේ ශිෂ්‍යයෝ. මම ඒ කාලේ බටනළා වාදකයා. මම තමයි ‘ප්‍රේමති ජායති සෝකෝ’ නාට්‍යයේ බටනළා වාදකයා.
ඔබ ලියූ කපුගේ ගැයූ ‘සුදු නැන්දා ඇයි ගේදොර වැහුවේ’ කියන ගීතය වගේම ඔබේ ගීතාවලියේ බොහෝ ගීත චිත්‍රපටයට හරි ළඟයි කියලා මට හිතෙනවා. මේ සිංදු අහනකොට ඒ දර්ශන අපේ සිතේ මැවෙනවා. මේ රූප ඉපැද්දවීම ඔබ ගීත රචනය පිළිබඳව කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්ද?
නැහැ.. මේ හැමදේකම තියෙන්නේ මගේ අත්දැකීම්. මම දේවල් කියවනවාට වැඩිය දකිනවා. ඉතිං මම බාලකාලේ විඳපු දේවල්, නිරීක්ෂණය කළ දේවල් තමයි මගේ ගීතය අස්සේ තියෙන්නේ. අනික ජන කවියෙන් මා ඉගෙනගත් දේවල්. මම සම්භාව්‍ය සාහිත්‍යය වගේ දේවල් ගොඩාක් හැදෑරුවා. ලොකු බුද්ධිමතෙක් සාහිත්‍යකරුවෙක් නෙවෙයි. ජන කවියක් අරගෙන බලන්න ජන කවියා කියන්නේ කොතරම් නිරීක්ෂණශීලි පුද්ගලයෙක් ද කියලා. මමත් දේවල් දරුණු විදියට නිරීක්ෂණය කරන කෙනෙක්. අනික මම නාට්‍යකරුවෙක්. එතකොට මම වේදිකාව මතත් කරන්නේ රූප නිර්මාණය. මං හිතන්නේ ඔබ ඔය කියන දේ මගේ ගීතයට ආවා නම් ඒ එන්න ඇත්තේ එතැනින්. ‘පිනිබර යාමේ’ ගීතය ගත්තොත්, මගේ පුංචි කාලේ නිරීක්ෂණ ටිකක් එතැන කැටිවෙලා තියෙන්නේ. ඉතිං යම්කිසි අදහසක් දෙන්න හිතාගෙන මම ගීත ලිව්වේ නැහැ. මම දැකපු දේවල් මම ලිව්වා. මගේ අත්දැකීම අනික් අයගේ අත්දැකීමක් බවට පෙරළන්න තමයි මට ඕනෑ වුණේ.
අනෙක, සිංහල ආදර ගීතයට ඔබ එන්නත් කරන ඉන්ද්‍රජාලික බව වෙන කිසිම ගීත රචකයෙකුගෙ න් දකින්න ලැබෙන්නේ නැහැ. මේ කතාවට හොඳම නිදර්ශනය තමයි මාලිනී බුලත්සිංහල ගයන ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’ කියන ගීතය. මේ යෙදුම් හිතාගන්න බැරි තරම් නැවුම්..
ඔව්, එහෙම වෙන්න ඇති. මේ එක දෙයක්වත් හිතලා සැලසුමකට කළ දේවල් නෙවෙයි. ඒ ඒ ගීත ලියැවුණ හැටි. ඒවා ඉන්ද්‍රජාලිකද කොහොමද කියලා කියන එක ඒක රසවිඳින විඳින්නාගේ වැඩක්. නැත්තම් මේ ගීත විචාරය කරන විචාරකයාගේ වැඩක්. මම මගේ හිතට එන හැඟීම වචනවලට පෙරළලා තියෙනවා. සංගීතඥයා සහ ගායකයා ඒකට තවත් අර්ථයක් දීලා තියෙනවා. හැබැයි සුවිශේෂ විදියට ලියැවුණ ගීතත් තියෙනවා. කපුගේ ගයන ‘විදුලි මිණිපහන්’ කියන ගීතය ඒ වාගේ ගීතයක්. මට දවසක් ගුවන්විදුලි පුස්තකාලේ තිබිලා බටහිර ගීත ඇල්බමයක් ලැබුණා. ඒක ඇහැව්වාම මට ආස හිතුණා. ඒකේ තිබුණේ අප්‍රිකානු බෙර හඬ මූලික කරගත්ත සංගීතයක්. මම මේක කපුගේට අහන්න දීලා කිව්වා උඹලට පුළුවන්ද මේ වාගේ වැඩක් කරන්න කියලා. එතකොට කපුගේ කිව්වා, හරි ඕකට ගැළපෙන්න සිංදුවක් ලියලා දීපං කියලා. ඒ ලියූ ගීතය තමයි ‘විදුලි මිණි පහන්’ කියන ගීතය.

අවසාන වශයෙන් කියන්න අද ගීතය ගැන..
ඇත්තටම කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ අවගමනයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ මාධ්‍ය. ඔවුන් තමයි මේ විනාශය කළේ. අද අපි අහන්නේ අපි කැමති ගීත නෙවෙයි. මාධ්‍ය කැමති ගීත. ඒවා ඇහෙන ගීත. අනික ගුවන්විදුලිය විනාශ වීම. අද ගුවන්විදුලිය දිහා බලනකොට දුක හිතෙනවා. එදා මම ගුවන්විදුලියට යනකොට මහගමසේකර, මඩවල, ඩෝල්ටන්, ප්‍රේම් වගේ ගීත රචකයෝ තමයි එහි හිටියේ. කපුගේ හිටියා. තව කොච්චරක් නම් මේ රටේ සංගීතයට සේවයක් කළ මිනිස්සු එතැන හිටියාද? අද ඉන්නේ කවුද?..■