රාවය

විජයදාස අස්කරන්න එජාපයෙන් හඬක්

විජයදාස අස්කරන්න එජාපයෙන් හඬක්

කේ. සංජීව

පසුගිය රාජපක්ෂ පාලන කාලයට අදාළ දූෂිතයන්ට එරෙහි නඩු පමා කිරීම, ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු කටයුතු හේතුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවට එජාපය තුළ ප්‍රබල මතයක් ඉදිරිපත් වී ඇති බවත් එහි එක් පියවරක් ලෙස ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්විය හැකි බවත් වාර්තා වේ.

දූෂිතයන්ට එරෙහි නඩු පමාවට හේතුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ බවට මීට පෙර චෝදනා එල්ල වී තිබූ අතර හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඔහු කර ඇති ප්‍රකාශය මේ වනවිට දැඩි උණුසුම් කතාබහක් බවට පත්වී ඇත. ඔහු ඒ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ චීනයට ලබා දුන් එම වරාය නැවත පවරා ගන්නා බවත් ජාතික දේපළ රැක ගැනීම වෙනුවෙන් සටන් කිරීම සඳහා තනතුරු අහිමිකර ගැනීමට තමා සූදානම් බවත්ය. මීට පෙර ඇවන්ගාඞ් සිද්ධියේදී රාජපක්ෂවරුන් ආරක්ෂා කරන බවට ඔහු කළ ප්‍රකාශයද දැඩි කතාබහට ලක්විය.

මේ වනවිට නඩු පමාව ගැන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා අමාත්‍ය විජයදාස රාජපක්ෂට ප්‍රසිද්ධියේම චෝදනා කර ඇති අතර ඊට අමතරව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් ඔහුට එරෙහිව පක්ෂය තුළ අදහස් දක්වා ඇත. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයට සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අගෝස්තු 10 දින කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ප්‍රතිචාර දක්වා තිබුණි.

විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලකිරීමේ ක්‍රියා මාර්ගයේම එක් පියවරක් ලෙස ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන ආ හැකි බවත් එසේ නොවුණහොත් එය ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙනඒමට සූදානමක් ඇති බවත් මේ සම්බන්ධයෙන් රාවයට අදහස් දක්වමින් එජාප අමාත්‍යවරයෙක් පැවසීය.

රවි කරුණානායක මහතාට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට වීමේ සිදුවීමත් සමඟ තවදුරටත් රාජපක්ෂ පාලනයේ චූදිතයන්ට එරෙහිව නඩු නොපවරා සිටීමේ හැකියාවක් නැති බව විශේෂයෙන්ම එජාපය තුළ කතාබහට ලක්වී ඇති අතර ඒ සඳහා බාධාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බව බොහෝ අයගේ මතය වී ඇත. ■