රාවය

ආවා පෙරට දමා උතුරට හිංසා කරන්නේ ඇයි?

ආවා පෙරට දමා උතුරට හිංසා කරන්නේ ඇයි?

රේඛා නිලු‍ක්ෂි හේරත්

ආවා කල්ලිය එල්ටීටීඊය මෙන් තවත් දේශපාලන ඉලක්ක සහිත, ජනතා සහාය ලබන සංවිධානයක්ද? නැතිනම් එය දකුණේත් සිටින ආකාරයේ මැර කල්ලියක්ද යන කාරණා දෙක එකිනෙකට පටලවාගෙන ආණ්ඩුවත්, පොලීසියත්, දකුණේ මාධ්‍යත් කටයුතු කරන බව පෙනෙයි. පොලිස්පති තනතුර ලැබෙන්නැයි බෝධි පූජා තැබූ බව ප්‍රසිද්ධියේ කී, නිලමේ අත්අඩංගුවට නොගන්නා බව ‘සර්’ට ප්‍රසිද්ධියේ කී අප පොලිස්පතිවරයාද ආවා සහ එල්ටීටීඊය පටලවාගෙන ඇති බව පෙනෙයි.
“පොලිස්පතිවරයාම කළ හොඳම විහිළුව තමයි මේ ආවා කල්ලියේ සාමාජිකයන් පුනරුත්ථාපනය කළ කොටින්ය කියන එක. අනෙක් පැත්තෙන් එයාලාම කියනවා මේ අයගේ වයස අවුරුදු විස්ස ආසන්නයේ කියලා. ගොඩක් අය අවුරුදු දාහතේ දහඅටේ කොටිලු‍. යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු අටහමාරක් ගතවෙලා. මේ කොල්ලෙක්ගේ වයස විස්සයි කියලා හිතුවත් අවසාන යුද්ධයෙදී වයස අවුරුදු එකොළහක් විතර. දාහතේ කොල්ලෙක් නම් යුද්ධය කාලේ අවුරුදු නවයයි. ඒත් එහෙම හිතන්න පුළුවන් වන්නියේ හිටපු කොල්ලෝ මෙහේ ආවා කියලා උපකල්පනය කළොත්. මොකද චුන්නාක්කම්, කේකේඑස් පැතිවල යුද්ධය ඉවරවුණේ 1994දී. යුද්ධය තිබුණු කාලේ දැන් අවුරුදු විස්සෙ කොල්ලො ඉපදිලාවත් නෑ.” මේ යාපනයේ සිටින සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් ඇතුළුව සමස්ත පොදු ජනතාව මේ දිනවල අසන පළමු පැනයේ ඓක්‍යයයි.
ආවා කල්ලිය මෙච්චර කල් වැඩෙන තුරු පොලිසිය කළේ මොනවාද? හරක් ව්‍යාපාර කළාද? ස්ත්‍රී දූෂකයන් අල්ලස් ගෙන කොළඹට පැන්නුවාද? අහිංසකයන් අතුරුදන් කළාද? මාධ්‍යවේදීන්ට තර්ජනය කළාද? වැලි ව්‍යාපාර කළාද? ඉහළ පොලිස් නිලධාරීන් පහළ නිලධාරිනියන් දූෂණය කළාද? ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තාද? සරසවි සිසුන්ට වෙඩි තිබ්බාද? වැලි ජාවාරම්කාරයන්ට වෙඩි තිබ්බාද?

ආවා එන වෙලාව
ආවා වැඩ කරන්නේ කාගේ වුවමනාවටදැයි අපි නොදන්නෙමු. ඒත් ආවා ක්‍රියාත්මක වුණේ කෙබඳු අවස්ථාවලද? මීට කලින් ඉරිදා පුවත්පත්වල පිටු පුරවන්නට ආවා සමත්වුණේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් ඝාතනය කළ අවස්ථාවේදීය. ඒ සිදුවීමෙන් පසුව පොලිස් නිලධාරියෙකුට ආවා කල්ලියේයැ’යි කියමින් නාඳුනන බයිසිකල්කරුවන් දෙදෙනෙකු පහරදුන් බව කියැවුණි.
දැන් ආවා කල්ලිය යළි මතුවුණේ උතුරේ පොලිස් නිලධාරීන් විසින් යාපනයේ වැලි ජාවාරම් කළායැයි කියන තරුණයෙකුට වෙඩි තබා මරා දැමීමෙන් පසුවය. ආවා කල්ලියේ ඉතිහාසය සොයා බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නේ ඒ කාලවලදී උතුරේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් කුමක් හෝ ප්‍රශ්නයක් මතුව ඇති බවයි.

ගෝඨාගේ වගකීම
වත්මන් ආණ්ඩුව එන්නට කලින් ආරක්ෂාව ගැන බලය තිබුණේ ත්‍රස්තවාදය අතුගා දැමුවායැයි කියන ගෝඨාභය රාජපක්ෂ අතේය. හමුදාවේ බලය දැරුවේ රණවිරුවන්ය. ඇතැම් නාවික හමුදා රණවිරුවන් කොළඹ සිටින දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සාක්ෂි නැතිව අතුරුදන් කළේ එල්ටීටීඊයට සම්බන්ධ නිසාය. ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් පවා රණවිරුවන් අතුරුදන් කළේ කොටින්ට නැඟිටින්නට බැරිවෙන්නට දෙන්නට ඕනෑ නිසාය. පෝද්දල ජයන්තට පහරදීමත් කොටින්ට මරු පහරක් විය. මාධ්‍යවේදීන් බොහොමයකට ලංකාවේ ජීවත්වෙන්නට නොහැකි පසුබිමක් හැදුණේ කොටින්ට කිසිම සහායක් නැති කරන්නටය. එතරම් දේවල් කළ ගෝඨාභය රාජපක්ෂගේ රණවිරුවන්ට දැලි රැවුල නොවැඩුණු කඩු ටිකක් රැගත් කොල්ලන් ටිකක් පාලනය කරගන්නට නොහැකි වීම ලැජ්ජාවකි. එසේ නැතිනම් ඔවුන් පාලනය කරන්නට ගෝඨාභය රාජපක්ෂට වුවමනා නොවෙන්නට ඉඩ තිබුණි. අනෙක මේ කොල්ලන් අතර හිටපු හමුදා සාමාජිකයන්ද සිටීම පුදුම සහගතය. ඉන්ද්‍රකුමාර් කපිලන් නම් ආවා කල්ලියේ සාමාජිකයා හමුදා සාමාජිකයෙකි. අනෙක් අතට ආවා කල්ලියට ගෝඨාභයගේ සම්බන්ධයක් ඇතැයි රජයේ කැබිනට් සාකච්ඡාවකදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාම කියා තිබුණි.

ත්‍රස්තවාදය සහ ආවා
ආවා කල්ලිය කර ඇති ප්‍රහාරවල ඉලක්කය කුමක්ද? එය එල්ටීටීඊය යළි නැගිටීමක් හෝ විදෙස්ගත දමිළ ප්‍රජාව විසින් සංවිධානය කරන මහා සැලසුම් මත ක්‍රියාත්මක වී ඇති ප්‍රහාරයැයි විශ්වාස කළ හැකිද? ආවා කල්ලියේ ප්‍රහාරයක්යැයි පෙබරවාරි මාසයේ සී.සී.ටී.වී. කැමරා දර්ශනයක් මාධ්‍ය හරහා ප්‍රචාරය විය. කිසිදු සැලැස්මක් නැති තරුණයක් පිරිසක් එක්වරම මෝටර් සයිකලයක් නවත්වා කඩය ඉදිරිපිට සිටින දෙදෙනෙකුට පහරදී කඩය ගිනිතබයි. පහරකෑමට ලක්වූ අය පෙර සැලසුම් අනුව පහර කෑ අය නොවේ. කඩය තෝරාගත්තේ කුමන හේතුවක් මතදැයි නොවැටහේ. මෑත දිනයක පොලිස් නිලධාරීන් දෙන්නෙකුට පහර දීම ගැන කියමින් ආවා කණ්ඩායමේ නායකයායැයි කියාගන්නා පුද්ගලයා කියන්නේ ඒ පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ පූර්ව සැලැස්මක් මත නොවන බවයි. මෙය එල්ටීටීඊය යළි නැගිටීමක් බව කියන කතාව අප විශ්වාස කළත් යළි නැඟිටින එල්ටීටීඊය මෙවැනි ඉලක්කයක් නැති පුංචි මිෂන් පමණක් කිරීම පුදුම සහගතය. පොලිසියටවත් අල්ලාගන්නට බැරි තරම් ශක්තිමත් මෙවන් කණ්ඩායමක් දේශපාලන නායකයන් ඉලක්ක කරමින් වඩා බලපෑම් සහගත ප්‍රහාර එල්ල නොකරන්නේ ඇයි? පොලිස් කොස්තාපල්වරුන් වෙනුවට ඉහළ නිලධාරීන්ව ඉලක්ක නොකරන්නේ ඇයි? එසේ වුණා නම් ඔවුන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගත හැකි නොවේද?
කෙසේවෙතත් ආවා සැරෙන් සැරේ එන එක නැවැත්වීම ආණ්ඩුව සහ පොලිසිය සතු වගකීමකි. එහෙත් පොඩි කොල්ලන්ගේ බයිසිකල් කල්ලියක් අල්ලන්නට යාපනය නගරයේම අනවශ්‍ය කලබල ඇතිකිරීම පොලිසිය කළයුත්තක් නොවේ. එහෙත් ආවා අල්ලනවායැයි කියමින් මිනිසුන් පීඩාවට පත්කිරීම යහපත් තත්ත්වයක් නොවේ. අපි ආවා කල්ලිය ගැන උතුරේ ක්‍රියාකාරී පුරවැසියන් කිහිපදෙනෙකුගේ අදහස් විමසුවෙමු.

සිනමාවේදී කේසවරාජන් නවරත්නම් මෙසේ කීය.
“ආවා කියා කල්ලියක් සිටින බව අපටත් තේරෙනවා. ඒත් ආණ්ඩුව සහ පොලිසියම කියලා තියෙනවා මේ කල්ලියේ ඉන්නේ අවුරුදු දාහත, දහඅට, විස්ස, විසිඑක වගේ වයස්වල අය කියලා. මේකේ නායකයන් පවා ඒ වගේ වයස් කාණ්ඩවල අය. අනික මේ කල්ලිය කේන්ද්‍රගත වෙලා ඉන්නේ චුන්නාක්කම්, කේකේඑස් වගේ යාපනයේ නගරවල කියලායි කියන්නේ. ඒ නිසායි අපි කියන්නේ මේක පහුගිය අවුරුදු කිහිපයේ හමුදාවේ ආශීර්වාදයෙන් හදපු කල්ලියක් කියලා.
මේ කල්ලිය හැදෙන්න පටන් ගන්නකොටම පොලිසියෙන් ඇක්ෂන් එකක් අරගෙන තිබුණා නම් තත්ත්වය මේ තරම් දරුණු වෙන්නේ නැහැ. මේක මහා ලොකු කණ්ඩායමක් හෝ ජනතාවගේ ආරක්ෂාව ලබන දේශපාලන සංවිධානයක් නෙවෙයි. මේකේ සාමාජිකයන් විස්සක් විතර ඇති. මේක එල්ටීටීඊ ආරම්භයට කිසිසේත්ම සමාන කරන්න බෑ. අනික මීට කලින් ඝාතනය කළ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා එක්ක මේ කල්ලියේ කිසිම සම්බන්ධයක් නෑ.
මම දන්නවා. උතුරේ පුරවැසියන් විදියට මේ වගේ තත්ත්වයන්ට අපිත් වගකියන්න ඕනෑ. මිනිස්සුන්ටත් මැදිහත් වෙලා මේ කොල්ලන්ට විරුද්ධව ඒ දවස්වලම කෑගහන්න තිබුණා. හැබැයි මේවා නවත්වන්න පුළු‍වන් ආරක්ෂක අංශවලටනේ. දැන් වුණත් අපි කියන්නේ වහාම මේ අයව සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලායි. අපි යුද්ධය ඉවරවෙලා අවුරුදු ගණනක් යනකන් වෙන හැම සිදුවීමක් දිහාම බයවෙලා ගෙවල් ඇතුළට වෙලා බලන් හිටපු එක විතරයි වුණේ. අපේ මිනිස්සු නිදහසේ කතා කළා නම් මේක වෙන්නේ නෑ.
චුන්නාක්කම් පැත්තේ මිනිස්සු ජීවන මාර්ගයක් විදියට විශාල වශයෙන් වැලි ජාවාරම්වල යෙදෙන බව ඇත්ත. ඒ මිනිස්සු කරන්නේ නීති විරෝධී වැඩක් වුණත් ඒ මිනිස්සු කල්ලි හදාගෙන ආණ්ඩු විරෝධී වැඩ කරන්නේ නෑ. ආවා කල්ලිය ඒ මිනිස්සුන්ටත් කරදරයක්. ඒත් පොලිසිය දැන් ආවා කල්ලිය අල්ලන්න කියලා එස්.ටී.එෆ්. අරන් යන්නේ ඒ මිනිස්සු ඉන්න ගම්මානවලට. කරදර කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට.
මේකෙන් වෙන්නෙ මොකක්ද. මිනිස්සු දැන් කොටි හිටියා නම් හොඳයි කියන තැනට ඇවිල්ලා. කොටි හිටියා නම් මේ වගේ පොඩි කල්ලිවලට ඇවිත් මිනිස්සුන්ට කරදර කරන්න බෑ. කොටි කියන්නේ මෙහේ මිනිස්සුන්ට ආණ්ඩුවක්. එයාලා හරි පාලනයක් ගෙනිච්චා. දැන් පොලිසියට ඒක කරන්න බැරිද? නැත්නම් පොලිසිය මේ කල්ලි පාලනය කරන්නේ නැද්ද? ආණ්ඩුවට ඕනෑ ලංකාවට එන මානව හිමිකම් චෝදනාවලින් ගැලවෙන්නට මේ වගේ කල්ලි සහ සංවිධාන හදන්නද කියලා මිනිස්සු අතර සැකයක් ඇතිවෙනවා.”

මාධ්‍යවේදී සිවරාසා කරුණාකරන් මෙසේ කීය.
“ආවා කල්ලිය ගැන අසන්න ලැබෙන්නේ යාපනය ප්‍රදේශයෙන්. ඒත් යුද්ධය පැවතුණේ වන්නියේ. මේ අය එල්ටීටීඊ එක එක්ක පටලැවීම තේරුමක් නෑ. උතුරෙ ජනතාව දැන් කැරලි ගහන්න පුළුවන් තත්ත්වෙක නෙවෙයි ඉන්නේ. මේ අයව අල්ලන්න කියලා ඉල්ලලා තියෙනවානේ. උතුරු පළාත් මහඇමතිවරයාත් ප්‍රකාශයක් කරමින් ඒ බව කිව්වා. මහඇමතිවරයා පොලිසියෙන් ඉල්ලු‍වා මේ අයව වැටලීමක් කරලා සම්පූර්ණයෙන්ම අල්ලාගන්න කියලා.
මේ වෙනකොට උතුරේ සාමාන්‍ය තරුණයන් පවා බයෙන් ඉන්නේ ආවා කල්ලියේයැයි කියමින් ඒ අයවත් අල්ලයි කියලා. අත්අඩංගුවට ගැනීම උතුරේ අයට දකුණට වගේ සරල අත්දැකීමක් නෙවෙයි. අත්අඩංගුවට ගත්තාට පස්සේ සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් එස්.ටී.එෆ්. එක වගේ මැදිහත් වෙද්දී අවදානම තව වැඩියි. අන්තිමේදී ආවා කල්ලියට කිසි හානියක් නොවී තරුණයන්ට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
මැතිවරණය කාලය වෙද්දී ආවා කල්ලිය හිටියොත් මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කරන්න විතරක් නෙවෙයි, ආවා කල්ලියයැයි කියමින් පක්ෂ දේශපාලනයේ යෙදෙන අයට කරදර කරන්නත් පුළුවන්. ඒ නිසා තවත් නොඉඳ දැන්ම මේක අවසන් කරන්න. එස්.ටී.එෆ්. අවශ්‍ය නෑ. පොලිසියට මේක අවසන් කරන්න පුළුවන්.”
යාපනය මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික මයුරප්‍රියන් අප සමඟ කීවේ මෙවන් කතාවකි.
“දකුණේ මාධ්‍ය පෙන්වන තරම් උතුරේ කලබල නෑ. ආවා ගෲප් කියලා මෙච්චර කල් අල්ලපු අය ඔක්කෝම අවුරුදු විස්සට අඩු අයයි. මේ ගොඩක් අය විභාග කරලා හෝ නැතිව ගෙවල්වල ඉන්න තරුණ ළමයි. ඒ වගේ අයගේ චණ්ඩිකම් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. යාපනයේ නෙවෙයි කොළඹ වුණත් මේ වගේ චණ්ඩි ඉන්නවා.
මේක හේතුවක් කරගෙන යාපනයේ ප්‍රශ්න ගොඩක් ඇති කරන්න පහුගිය දවස්වල ආණ්ඩුව කටයුතු කළා. පහුගිය සතියක නාරාහේන්පිටත් මේ වගේ පොලිසිය එක්ක ගැටුමක් ඇතිවුණානේ. එතකොට එස්.ටී.එෆ් ඇවිල්ලා කොළඹ ගෙවල් වැටලු‍වේ නැහැනේ. ඇයි මේ වගේ පොඩි කල්ලියක් අල්ලන්න මේ වගේ මෙහෙයුම් කරන්නේ. දකුණෙත් පොඩි කල්ලි අල්ලන්න ඔය වගේ ත්‍රිවිධ හමුදාව යොදවනවාද?
අපි කියන්නේ සමස්ත ප්‍රජාව දිහා සැකයෙන් බලන එක නවත්වන්න. අනිවාර්යයෙන්ම මේ වගේ කල්ලි මර්දනය කරන්න ඕනෑ. ඒකට ත්‍රිවිධ හමුදාවම අරන් පිස්සු නැටුවාට හරියන්නේ නැහැ. උතුරේ මිනිස්සුන්වත් සාමාන්‍ය මිනිස්සු විදියට සලකන්න. මුළු සමාජය දිහා සැකයෙන් බලන්න එපා. උතුරේ ඉන්නේ දකුණේ යටත්වැසියෝ නෙවෙයි, යටත්වැසියෝ කැරලි ගහයි කියලා වගේ අපි දිහා බයෙන් බලන්න එපා.
දැනුත් මේ පැත්තේ වාහනයක යන්න බැහැ පොලිසිය චෙක් කරනවා. පාරේ යන මිනිස්සු නවත්තාගෙන ප්‍රශ්න කරනවා. ඒකෙන් සාමාන්‍ය ජනතාවගේ කාලය ගොඩක් නාස්ති වෙනවා. අනික දැන් මිනිස්සු කාකි ඇඳුමක් දැක්කත් බයවෙනවා. ඉතින් මිනිස්සු බයෙන් උත්තර දෙනවා. එහෙම වුණාම සැකයි කියලා අත්අඩංගුවට ගන්නවා. උතුරෙ කල්ලියකට හැංගිලා ඉන්න බෑ. උතුරේ කැලෑ නැහැ දකුණෙ වගේ. තියෙන ඒවා ආමි එකේ පාලනය යටතේ කටුකම්බි දාලා තියෙන්නේ. හැංගනෙවා නම් නෑදෑ ගෙදරක තමා හැංගෙන්න පුළුවන්. එහෙනම් ආවා කල්ලිය මෙච්චරකල් අල්ලන්නෙ නැතිව පොලීසිය වැඩෙන්න ඇරියේ ඇයි.”■

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
ඊපීආර්එල්එෆ් පක්ෂයේ නායක
සිංහල මාධ්‍යවල පෙන්නන තරම් උතුරේ ලොකු ප්‍රශ්නයක් නෑ. එහෙම තියෙනවා නම් තියෙන්නේ පොඩි පොඩි තරුණයෝ එකතුවෙලා හදාගත්ත මැර කල්ලියක් අල්ලගන්න ශ්‍රී ලංකා පොලිසියට නොහැකි වීම තමයි. දැන් ත්‍රිවිධ හමුදාවයි එස්.ටී.එෆ්. එකයි ගෙනල්ලා ලොකු ප්‍රශ්නයක් විදියට මේක පෙන්වනවා.
උතුරු පළාත් සභාවට මේ ගැන බලයක් නෑ. පොලිස් බලතල තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවටනේ. උතුරු පළාත් සභාව මැදිහත්වෙලා මේක කළා නම් මේ ප්‍රශ්නය මීට වඩා සාමකාමීව විසඳාගන්න තිබුණා. අනික සිවිල් කටයුතුවලට විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යෙදවීම විශාල ප්‍රශ්නයක්. උතුර තවම සිවිල් පසුබිමකින් නැතිව මිලිටරිමය ඇහැකින් නිර්වචනය කිරීමට යෑම කනගාටුදායකයි. විශේෂයෙන් යාපනයේ යුද්ධය ඉවරවෙලා අවුරුදු විස්සක් වෙන පසුබිමක.
ආවා කල්ලිය හැදුණු විදියට අහගන්න ඕනෑ නම් වෛද්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයාගෙන් අහගන්න. ආමි එකේ වුවමනාවලට තමයි මේක හැදුණේ. ඒක රහසක් නෙවෙයි. උතුරෙන් ආමි එක යනකොට එයාලා පුරුදුවුණ දේවල්වලින් එයාලට ගැලවෙන්න බෑ. ඒකයි මෙහෙම කරන්නේ. සිංහල අයට කියන්න ඕනෑ දෙයක් තමයි මාධ්‍යවල පෙන්නන තරම් උතුරේ කලබල නැති බව. උතුරේ මිනිස්සුන්ව අපහසුතාවට පත්වීම තමයි මෙතැන ප්‍රශ්නය. පොලිසිය පිස්සුවෙන් වගේ පාරවල්වල ඇවිදිනවා. එස්.ටී.එෆ්. එකෙන් කෑම්ප්වලට ගහන්න වගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න ගෙවල් වටලනවා. ඒක තමයි දැන් මෙහේ ලොකුම ප්‍රශ්නය. ඔය ආණ්ඩුවලට සහ ආරක්ෂක අංශ විශ්වාස නොකර උතුරේ ජනතාවගෙ පැත්තෙන් හිතන්නැයි මම සිංහල ජනතාවගෙන් ඉල්ලනවා. පහුගිය දවස්වල තිහක් හතළිහක් ඇල්ලු‍වේ සාමාන්‍ය මිනිස්සුන්ව. තාමත් ආවා අල්ලන්න හරියට පොලිසියට හැකිවෙලා නෑ. මම පොලිසියෙන් ඉල්ලන්නේ මේ කණ්ඩායම මුළුමනින්ම නැති කරලා දාන්න කියලයි. මේ ප්‍රශ්නය ලොකු වෙන්න දෙන්න එපා. උතුරට ආයේ හිංසනය ගේන්න උත්සාහ කරන්න එපා. හිංසනය නිසා අපි පුදුමාකාර විදියට බැට කාලා තියෙන්නේ.
යුද්ධයෙන් පස්සේ උතුරේ මනුස්සයෙක් ආයුධ අතට ගත්තේ නෑ. පොලිසියෙන් තමයි ළමයින්ව මරන්නේ. හිංසනය පටන්ගත්තේ පොලිසිය. ඉන්පස්සෙයි උතුරෙ ජනතාව කෝලාහල කළේ.”