රාවය

අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා මේක මොන අසාධාරණයක්ද?

අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා මේක මොන අසාධාරණයක්ද?

කේ. සංජීව

අපේ රටේ මිනිසුන්ට දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වී තිබෙන දහසකුත් ප්‍රශ්න ප්‍රමුඛතා අනුපිළිවෙළකට යොමුකළහොත් එහි මුලින්ම ලියවෙන ප්‍රශ්නයක් ලෙස ඉඩම් ප්‍රශ්නය හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකුට තමන්ට කියා ඉඩමක් නැත. තවත් අයෙකුට තිබෙන ප්‍රශ්නය තමන් ජීවත්ව සිටින ඉඩම වෙනත් අයෙකුගේ නමට ලියැවී තිබීමය. මෙවැනි ප්‍රශ්න කෝටියක් නිසා ලංකාවේ පහළ උසාවිවල ඇසෙන නඩුවලින් වැඩි ප්‍රතිශතය ඉඩම් නඩුය. එම ඉඩම් නඩුවල තීන්දු තීරණ ලැබෙන්න යන කාලය සහ ඒ වෙනුවෙන් අදාළ පාර්ශ්වයන්ට ගෙවන්නට වෙන මුදල සහ ශ්‍රමය ගැන සැලකීමේදී මෙම ප්‍රශ්නය බොහෝම සංකීර්ණ ප්‍රශ්නයක්ය. මේ ප්‍රශ්නය නිසා සමාජයේ පුද්ගලයන් සහ පවුල් අතර ඇතිවී තිබෙන ආරාවුල් බොහෝ ප්‍රමාණයක් කෙළවර වී තිබෙන්නේ එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට මරණය උරුමකර දෙමින්ය. ලංකාවේ මෙම ඉඩම් ගැටලුව උග්‍රවීමට මේ රටේ රජය ඉඩම් පිළිබඳව දක්වා තිබෙන අඩු සැලකිල්ල සහ යම් යම් ආණ්ඩු සම්මත කරගෙන තිබෙන අණපනත්ද බෙහෙවින් බලපෑ හේතූන්ය. ජයභූමි, ස්වර්ණ භූමි ආදි නම්වලින් මිනිසුන්ගේ භුක්තියට සවිවී තිබෙන රජයේ ඉඩම් එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැවරීමේදී සහ විකිණීමේදී ඇතිවී තිබෙන ප්‍රශ්න අහසට උසය. එම ප්‍රශ්න දෙස නිවැරදි කෝණයෙන් බලා අණපනත්වල තිබෙන ගැටලු විසඳා මෙම ඉඩම් ප්‍රශ්නවලින් දුක්විඳින මිනිසුන් ඒ ප්‍රශ්නවලින් නිදහස් කරලීමට පත්වෙන එකුදු ආණ්ඩුවක් හෝ සාධාරණ උත්සාහයක් ගෙන නැත. එනිසාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධිකරණවල ගොඩගැසී තිබෙන ඉඩම් ප්‍රශ්න අද පුපුරා යන තරමටම උග්‍රවී ඇත. මෙම ප්‍රශ්න සමාජ දේහයට කරන විනාශය සහ එය රටේ සමස්ත සංවර්ධනයට කරන හානිය තවමත් කිසිවෙකුත් ගවේෂණය කර නැත. අපි පසුගිය සතියේද එක් ඉඩම් ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කළෙමු. එහිදී කියවුණේ සටකපට දේශපාලකයෙකු විසින් සොච්චම් මුදලකට රජයේ ඉඩම් තමන් සතු කරගැනීම පිළිබඳ ප්‍රශ්නයක් සහ ඒ හිමිකර ගැනීම නිසාම ජීවත්වීමේ නිදහස අහිමි වූ අසරණ පුරවැසියෙකු පිළිබඳවය. මේ කතාව ඊට තරමක් වෙනස්ය. ගොවි ජනපද ව්‍යාපාරයකට ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එවකදී නිරවුල් කර තිබූ ඉඩම් නැවත රජයට පවරා ගැනීම සහ එම ගොවි ව්‍යාපාරය අසාර්ථකවීම නිසා නැවත එම ඉඩම් අදාළ මිනිසුන්ට ඔවුන් රජය වෙත ලබාදී තිබෙන අයුරෙන්ම ලබා නොදීම නිසා ඇතිවී තිබෙන ගැටලු රැසක් පිළිබඳවය.

සියඹලාණ්ඩුවට යමු
මේ ඉඩම් පිළිබඳ කතාව සියඹලාණ්ඩුවෙන්ය. ඒ මුතුකණ්ඩිය ගොවි ජනපද ව්‍යාපාරය නිසාය. සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය කේන්ද්‍රගත මෙම ගොවි ජනපද ව්‍යාපාරය එවක රජය ආරම්භ කරන්නේ 1979 අවුරුද්දේදීය. එය අවසන් වන්නේ 1983 අවුරුද්දේදීය. එම ව්‍යාපාරය නිසා සියඹලාණ්ඩුව අම්පාර හන්දියේ පුද්ගලික ඉඩම් සියල්ලම පාහේ රජයට ලබාගන්නා අතර සියඹලාණ්ඩුව නගරයද දැන් තිබෙන ස්ථානයේ සිට අම්පාර පාරේ අම්පාර දෙසට ගෙන යන්නට සැලසුම් කර තිබුණි. මෙම ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවන මිනිසුන්ට ගොඩ ඉඩම් අක්කර 3/4ක්ද, මඩ ඉඩම් අක්කර 2 1/2ක්ද ලැබෙන්නේය. එහෙත් නගරයේ ජීවත් වන බොහෝ මිනිසුන් එම ඉඩම්වලට යන්නේ නැත. එනිසා සියඹලාණ්ඩුව නගරය තවමත් තිබූ තැනමය. එහෙත් මෙම ඉඩම් රජය සතුකර ගන්නා අවධිය වනවිට බොහෝ ඉඩම් හිමියන්ට ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන්ගේ ඉඩම නිරවුල් කළ බවට ලිපි ලැබී තිබෙන්නේය. ඒ මෙම ඉඩම් රජය සතුකර ගන්නා අවධියේ තත්ත්වයයි. එහෙත් එදා මෙම ඉඩම් රජය සතු කරගත් බව ප්‍රකාශ කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පසුවද එම ඉඩම්වලින් යන්නේ නැතිව එහිම රැඳී සිටින මේ මිනිසුන්ට සිදුවන්නේ එදා සිට රජයේ ඉඩම්වල ජීවත්වන්නටය. එදා සිට බලපත්‍රයක් හෝ කිසිම ලිඛිත සාක්ෂියක් මේ ඉඩම් පිළිබඳව ඔවුන්ට නැත. ඒ නිසාම එදා සිට ඔවුන්ට අතොරක් ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවී ඇත.

ගැටලු රැසක්
“මම සන්ධ්‍යා ඉලේපෙරුම. මම ඉන්නේ සියඹලාණ්ඩුවේ අම්පාර හන්දියේ. රෙදි මහලා තමයි ජීවත් වෙන්නේ. මගේ තාත්තා 1962 අවුරුද්දේ තමයි සියඹලාණ්ඩුවට එන්නේ. ඒ එනකොට අලි කොටි තමයි මෙහේ ඉඳලා තියෙන්නේ. මම ඉපදුණෙත් මෙහේ. මුතුකණ්ඩිය ව්‍යාපාරයට මේ ඉඩම් ගන්න කලින් මේ ඉඩම් නිරවුල් කරලා ඒ දෙපාර්තමේන්තුවෙන් අපිට ලියුම් එවලා තිබුණේ. හැබැයි ඔප්පු ලැබිලා තිබුණේ නැහැ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හයක් ඉන්නවා. දැන් තාත්තා ජීවතුන් අතර නැහැ. දැන් අපිට මේ ඉඩම් නිරවුල් කරගන්න ක්‍රමයක් නැහැ. අපි සහෝදර සහෝදරියෝ මෙහෙම ප්‍රශ්නයක් නැතිව මේ ඉඩම් එකට භුක්ති වින්දට අපේ ළමයි මෙහෙම ඉඳියිද? ටිකක් හිතලා බලන්න. අපි දැන් හැමතැනකටම ගියා මේ ඉඩම් අපිට පෙර තිබුණ විදිහටම දෙන්න කියලා. එහෙම ගියාම ප්‍රාදේශීය ලේකම් කියන්නේ දැන් මේවා රජයේ ඉඩම්. බදු ඔප්පුවක් තමයි දෙන්න පුළුවන්. බදු ගෙවන්න කියලා.”
ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ මේ මිනිසුන්ගේ භුක්තියට සවිවූ මේ ඉඩම් දැන් නැවත රජය ඔවුන්ටම දෙන්නට හදන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ තිස් අවුරුදු බදු පදනමින්ය. එම බදු කොන්දේසිය තව තවත් පුළුල් කරමින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් මෙම මිනිසුන්ට ලිපි යවා තිබෙන්නේ 1960 අවුරුද්දේ සිට හිඟ බදු මුදලත් සමඟම ඔවුන් මෙම ඉඩම් රජයෙන් බදු ගත යුතු බවය. එම බදු මුදල කොපමණද?
සමහර ඉඩම් හිමියකුට ප්‍රාදේශීය ලේකම් එවන ලද එම ලිපිවල සම්පූර්ණ බදු මුදල ලෙස සඳහන් වන්නේ රුපියල් දාසය ලක්ෂයක් තරම් සුවිසල් මුදලක්ය. එහෙත් ගැටලුව වන්නේ මේ සියලු කතා මෙලෙස සිද්ධවෙන අතරේදී දේශපාලන දැනහැඳුනුම්කම් මත පුද්ගලයන් 6 දෙනෙකු තමන්ගේ ඉඩම් සඳහා සින්නක්කර අයිතිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ලබාගැනීමය. රජය මේ මිනිසුන්ට එකම ප්‍රශ්නයක් අරබයා විසඳුම් දෙකක් ලබාදී ඇත. ලාභදායී විසඳුම සඳහා දේශපාලන හිතවත්කම් ඇවැසිය. ඒ ලංකාවේ හැටිය.

අපි කියන්නේ අපිටත් දෙන්න
“මම ගුරුවරියක්. මගේ නම සන්ධ්‍යා කුමාරි. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අපේ තාත්තා සියඹලාණ්ඩුවේ මේ ඉඩමට ඇවිත් තියෙන්නේ 1960 අවුරුද්දේ. අපිට මේ ඉඩම්වල අයිතියක් නැහැ. ඒ නිසා අපිට අඩුම තරමේ ලෝන් එකක් ගන්න බැරිවෙලා තියෙනවා. මට ගෙදර හදාගන්න 7% ණය පාස්වුණා. ඒත් මේ ඉන්න ඉඩමේ අයිතිය පෙන්නගන්න බැරිව ගිය නිසා ඒක ගන්න බැරිවුණා. අපි දැන් අන්ත අසරණ අඩියක ඉන්නේ. ඒ අස්සේ රජය අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා. රජය ඉල්ලන ඒ මුදල් ලක්ෂ ගණන් අපිට ජීවිත කාලෙදි ගෙවන්න බැරිවෙයි. හැබැයි රජය පුද්ගලයන් 6කට ඔප්පු දීලා තියෙනවා. ඉතින් අපි කියන්නේ එයාලාට එහෙම දෙන්න පුළුවන් නම් අපිටත් එහෙම දෙන්න කියලා.”
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්ගේ බල ප්‍රදේශය තුළ මෙම ඉඩම් ගැටලුව නිසා පවුල් 200ක් පමණ දුක් විඳිමින් සිටිති. සියඹලාණ්ඩුව නගරය ආශ්‍රිතව පමණක් පවුල් 25ක් පමණ මේ ගැටලුවත් සමඟ ජීවත්වෙමින් සිටිති. අද ඔවුන්ට ඔවුන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථානය නිදහසේ දියුණු කිරීමට අවකාශ නැත. ඒ මෙම ඉඩම් නිරවුල් නැති ප්‍රශ්නය නිසාය. අනෙක් පැත්තෙන් මරණයට ආසන්න වී සිටින පියෙකුට තම දරුවාට මෙම ඉඩම ලියාදී නිදහස් වන්නට අවකාශ නැත. ඒ නිසා ඔහුට හෝ ඇයට අවසානයේ සතුටින් මැරෙන්නට හෝ අවකාශ නැත. ඒ මේ ඉඩම් ප්‍රශ්නය නිසාය. ඒ නිසා ආණ්ඩුව වහාම කළයුතු වන්නේ රජයේ ඉඩම් අරබයා තිබෙන දහසකුත් මේ ගැටලු පිළිබඳව නිසි සමීක්ෂණයක් සිදුකිරීමය. ඉන්පසුව එම ගැටලු විසඳීම සඳහා රජයේ ඉඩම් පිළිබඳ අණපනත් වෙනස් කිරීමය. මෙම ඉඩම් ගැටලුව තවත් පරපුරකට ඉතිරි නොකර විසඳීම සඳහා යහපාලන රජය හෝ අලුත් ඉඩම් ප්‍රතිපත්තියක් වහාම සම්පාදනය කළ යුතුය. එලෙස නොවෙන තාක් බිම්සවිය ආදි ලස්සන නම් දමා ඡන්දය ගන්නට ඉඩම් ඔප්පු පිරිනැමුවාට වැඩක් නැත.■