රාවය

අනිකාගේ සාක්ෂියෙන් පසු

අනිකාගේ සාක්ෂියෙන් පසු

ජයදේව උයන්ගොඩ

බැඳුම්කර කොමිසමත්, මෙරට මහජනතාවත් ඉදිරියේ දිගහැරෙමින් තිබෙන දේශපාලන නාටකයේ අලුත්ම අවධියට අනුව, එක්කෝ රවි කරුණානායක මහතා ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඒ මහතා අස්කිරීමට අගමැතිතුමා වහා පියවර ගත යුතුය. ඒ දෙකම ඉක්මණින් සිදු නොවන්නේ නම්, යහපාලන ආණ්ඩුවේ එජාප පාර්ශ්වය ගැලවිය නොහැකි දේශපාලන අර්බුදයකට ඇද වැටීම වැළැක්වීමට බැරිය.

මේ අර්බුදයෙන් තරමක් හෝ ගොඩඒමට එජාපයට ඇති එකම විකල්පය රවි කරුණානායක ඇමතිවරයා අස්වීම හෝ අස්කිරීමයි. එහෙත් ඒ පමණින්ම, බැඳුම්කර කොමිසම ඉදිරියේ මතුවන ආණ්ඩුකරණය පිළිබඳ බරපතළ ප්‍රශ්නය නම් විසඳෙන්නේ නැත. එම ගැටලුව වනාහි හුදෙක් දේශපාලනඥයන් යෙදෙන දූෂණය පිළිබඳ කාරණය නොවේ. ඊට වඩා ඈතට ගොස් තිබෙන්නකි. බරපතළම ගැටලුව නම්, ලංකාවේ දේශපාලන දේහයේ දැනට පවත්නා බරපතළම පිළිකාව වන පුද්ගලික ව්‍යාපාර සහ දේශපාලනය අතර ඇති අශූද්ධ සන්ධානය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමයි. පහසු දෙයක් නොවුවත්, ඒ සඳහා පියවර ගැනීමට දැන් අවකාශය විවර වී තිබේ.
අද රටේ පවත්නා දේශපාලන වාතාවරණය අනුව, ඒ සඳහා යම් කිසි පියවරක් ගැනීමට හැකියාව තිබෙන්නේ එකම එක පුද්ගලයෙකුටය. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. දූෂණ විරෝධය හුදෙක් මැතිවරණ සටන් පාඨයකට වඩා යමක් ලෙස නොසලකූ රනිල් වික්‍රමසිංහ මහතාට එය කළ නොහැකිය. දූෂණය හා දේශපාලන බලය අතර සම්බන්ධය ආයතනගත කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ සඳහා කිසිදු වුවමනාවක් නැත. එතුමාට වැදගත් වන්නේ, රවි කරුණානායකගේ ප්‍රශ්නය ආණ්ඩුව බිඳවැට්ටීමේ ව්‍යාපාරයට දේශපාලන වශයෙන් යොදා ගැනීමේ වුවමනාවයි.

මේ අතර, රවි කරුණානායක මහතාගේ දියණිය, තම පියා ආරක්‍ෂා කරමින් ලියූ ලිපියේ නිවැරදිව කියා ඇති පරිදි, මෙය රවි කරුණානායක මහතා පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මන්ද යත්, දේශපාලනයෙන් සහ දේශපාලන බලය යොදා ගනිමින් මහා පරිමාණ ලෙස සහ අයුතු ලෙස ධනය රැස්කිරීම පසුගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේත් දේශපාලනඥයන් බොහෝ දෙනෙකු තම අයිතිවාසිකමක් ලෙස සලකා කර ඇති සහ කරන දෙයක් වන නිසාය. රවි කරුණානායක අස්වීමේ හෝ අස් කිරීමේ ව්‍යාපාරයේ මුලිකත්වය ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුවේ අනෙක් නායකයන්ට නැති සුදුසුකමක් තිබේ. එනම් දේශපාලනය මුදල් ඉපැයීමේ මාර්ගයක් කර ගැනීමේ චෝදනාව එතුමාට නැති නිසාය. එහෙත් එම චෝදනාව එල්ල නොවන රනිල් වික්‍රමසිංහ මහතාට සිරිසේන මහතා සතු සුදුසුකම නැත. මහ බැංකුවේ බැඳුම්කර වංචාව වසන් කර, අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කිරීමේ සටනේ ඉදිරියෙන්ම සිටියේ එතුමා වන නිසාය.

එසේ වුවත් රවි කරුණානායක ඉවත් කිරීමේ කාර්යයෙන් ඈතට යන්නට සිරිසේන මහතාටද ඇති ඉඩකඩ තරමක් සීමිතය. එයට හේතුව නම්, රවි කරුණානායක මෙන්ම අස්විය යුතු හෝ අස් කළ යුතු කිහිප දෙනෙකුම එතුමා වටේද සිටින නිසාය. “ඇයි අර අය අස් කරන්නේ නැත්තේ” යැයි ඔවුන්ට ඇඟිලි දික්කිරීමට රවිගේ අනෙක් දුවටද හැකිවෙනු ඇත.

රවි කරුණානායක අස් කිරීමෙන් පමණක් විසඳිය නොහැකි මහා ගැටලුවක ලංකාවේ දේශපාලනය පැටලී තිබෙන බව පිළිගන්නට මෙරට පුරවැසියන්ට බලකෙරී තිබෙන්නේ ඒ නිසාය. ඉල්ලා අස්වූ හෝ අස්කළ පසු රවි කරුණානායකට නඩු දැමීමට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට ජනාධිපතිතුමාට සිදුවෙනු ඇත. අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන්ම ඇලෝසියස්ටද විරුද්ධව නඩු පවරන්නට සිදුවනු ඇත. “මේ අපේ යහපාලන ආණ්ඩුවේ ආදර්ශය” යයි කියා, මහජනයා තෘප්තිමත් කිරීමට අගමැතිතුමාට එවිට බැරිවෙනු ඇත. මන්ද යත්, එම නඩුවලදී එජාප ආණ්ඩුවේ මෙන්ම පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේද බලවත් අයගේ ක්‍රියාකාරකම් එළිදරව් විය හැකි නිසාය. අර්ජුන් මහේන්ද්‍රන් සහ රවි කරුණානායක යූඇන්පීකාරයන් වුවත්, අර්ජුන් අලෝසියස් මූල්‍ය ව්‍යාපාරික ලෝකයේ මතුවූයේ රාජපක්‍ෂ -නිවාඞ් කබ්රාල් පාලන සමයේදීය. අර්ජුන් මහේන්ද්‍රන් සහ රවි කරුණානායකගේ අනුග්‍රහය යටතේ, අර්ජුන් ඇලෝසියස් කර ඇත්තේ, ඊට අවුරුදු කිහිපයකට පෙර රාජපක්‍ෂ-කබ්රාල් යුගයේදී ඔහු මෙන්ම වෙනත් අයත් සිදුකළ භාවිතාවන්ම නොවන්නේ දැයි අප ප්‍රශ්න කළ යුත්තේ එබැවිනි.

බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කර ඇති පිටු පන්දහසක් පමණ දීර්ඝ යැයි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇති, අර්ජුන් ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ වාර්තාව අතිශයින්ම වැදගත් ලේඛනයක් වන්නේ මේ පසුබිම තුළය. දැනට දප්පුල ලිවේරා නීතිඥතුමා සහ ජනමාධ්‍ය අවධාරණය කරන්නේ, එම කෙටි පණිවුඩවල ඇති රවි කරුණානායක ගැන කෙරෙන කෙටි සඳහන්වලට පමණි. ලිවේරා නීතිඥතුමා තවමත් හෙළිකර නැති, තවත් බොහෝ දෙනෙකු ගැන වැදගත් සඳහන් කිරීම් එම පිටු පන්දහසේ නොතිබෙන්නට නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ගේ වර්තමාන චර්යාව ගැන පුවත්පත් වාර්තාවලින් ගම්‍යවන ආකාරය ගැන සිතා බලන විට ඒ අනෙකුත් නම් හෙළිනොවන්නට ද බොහෝ විට ඉඩ තිබේ. එබැවින් ප්‍රතිපත්තිගරුක ජනමාධ්‍ය සහ සිවිල් සමාජ බලවේග ජනාධිපතිතුමාගෙන් වහාම ඉල්ලා සිටිය යුත්තේ, බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කර, කාල පරාසය 2010 පමණ ආසන්නයට වලංගු කර, එහි විෂය පථයද පුළුල් කරන ලෙසයි. රවි කරුණානායක පිළිබඳ ප්‍රශ්නය, රවි කරුණානායක පිළිබඳ ප්‍රශ්නයක්ම නොවන බව ජනාධිපතිතුමාට අවධාරණය කිරීමද කළ යුතුයි.
මේ අතර, බැඳුම්කර කොමිසම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාම වටිනා අත්‍යවශ්‍යම සේවයක් කෙටි කලකින් සිදු කළ බවද පුරවැසියන් වශයෙන් අප පිළිගත යුතුය. එම සේවය නම් වර්තමාන ලංකාවේ පුද්ගලික ව්‍යාපාර සහ දේශපාලනය අතර ඇති අශූද්ධ සන්ධානය පිළිබඳ ඉතා දුර්ලභ තොරතුරු රාශියක් මහජනතාව ඉදිරියේ එළිදරව් වීමට මග හෙළිකිරීමයි. පුදුමාකාර ලෙස හිටි ගමන්ම මෙන් කාර්යශූර වී ඇති නීතිපති දෙපාර්තමේන්තුවටද මේ ගෞරවයේ කොටසක් අප දිය යුතුය. පසුගිය රජයේ දූෂණ ක්‍රියා පිළිබඳ පරීක්‍ෂණ නිමකර, නඩු පැවරීමට අධිකරණ අමාත්‍යාංශයත්, නීතිපති දෙපාර්තමේන්තුවත් මැලිකමක් දක්වන බවට චෝදනා ආණ්ඩුව පැත්තෙන්ම අසන්නට ලැබෙද්දී, පුරවැසියන් වන අප දකින්නේ “ජනාධිපති කොමිසම” යන යාන්ත්‍රණය දූෂණය මැඩ පැවැත්වීමේ රාජ්‍ය ක්‍රියාවලිය කාර්යක්‍ෂම කිරීමට වඩාත් හොඳ විකල්පයක් බවයි. ජනාධිපතිතුමා මෙම “ජනාධිපති කොමිෂන්” යන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවට සිවිල් සමාජ බලවේග සහ ජනමාධ්‍ය එතුමාගෙන් බැරෑරුම් ලෙස ඉල්ලා සිටිය යුත්තේද එබැවිනි.

“දේශපාලන දූෂණය” යනු දේශපාලන විද්‍යාඥයන් උනන්දුව දක්වන, ඔවුන්ගේ පර්යේෂණයට ලක්වන තේමාවකි. එහෙත් ඒ පිළිබඳ විශ්වාස කළ හැකි දත්ත සොයාගැනීම ඉතා දුෂ්කරය. ඒ ගැන ලංකාවේ අය ඉදිරියේ තිබෙන කටකතා, අනුමාන සහ ස්ථිර කළ නොහැකි මාධ්‍ය වාර්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කොතරම් විකෘති වී තිබේදැයි මැන බැලීමට නම් දූෂණය සහ දේශපාලනයත්, ව්‍යාපාරික පන්තිය සහ දේශපාලනඥයනුත් අතර ඇති ගනුදෙනු පිළිබඳ දත්ත සහ තොරතුරු මත පදනම් වූ විශ්ලේෂණ අවශ්‍යය. එහෙත් දේශපාලන විද්‍යාඥයන් මෙන්ම පුරවැසි ව්‍යාපාරද මුහුණ දෙන ලොකුම බාධකය වන්නේ ඒ පිළිබඳ ආනුභවික සහ විශ්වසනීය සාක්‍ෂි ලබා ගැනීමට නොහැකි වීමයි. පසුගි ය රජයේ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් යෙදුණා යැයි චෝදනා වී තිබුණු මහා පරිමාණ වංචා ගැන ප්‍රමාණවත් දත්ත සහ සාක්‍ෂි ලබා ගැනීමට තමන් යටතේ ඇති පොලිසියට, විශේෂ පරීක්‍ෂණ ඒකකයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට අවුරුදු දෙකහමාරක් තිස්සේත් බැරි වී ඇතැයි යහපාලන ආණ්ඩුවේ ප්‍රකාශකයන් ස්වයංවිවේචන කරද්දී, දේශපාලන පර්යේෂකයන්ට සහ පුරවැසියන්ට එම තොරතුරු ලබාගැනීමට ඇති එකම මාධ්‍යය වී ඇත්තේද ජනාධිපති කොමිසමයි. දූෂිත ව්‍යාපාරිකයන්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ක්‍රියාවලිය සහ ආයතන ඇතුළට කොපමණ විනිවිද ගොස් තිබෙන්නේද යන්න ගැන අනිකා විජේසූරිය මෙනෙවිය කොමිසම ඉදිරියේ දුන් සාක්ෂියෙන් ඉතාම වටිනා තොරතුරු දැන් මහජනයා ඉදිරියේ තිබේ. විජේසුරිය මෙනෙවියගේ සාක්ෂිය දූෂක ව්‍යාපාරිකයන් සහ දූෂිත දේශපාලනඥයන් අතර ගොඩනැගී ඇති එක්තරා සංස්කෘතියක් ගැන ද දුර්ලභ ගණයේ ප්‍රසිද්ධ එළිදරව්වක් කර ඇත්තකි. මේවා අද ඊයේ ඇති වූ ඒවා නොවේ. රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ යන පාලන තන්ත්‍ර දෙකම මේ ක්‍රියාවලියට වගකිව යුතුය.
බැඳුම්කර කොමිසමේ එළිදරව්කිරීම්වල අතුරු ඵලයක් ලෙස ලංකාවේ වාර්තමාන දේශපාලනයේ “සුද්දවීමක්” සිදුවන්නේ නම් එයට ඉඩ දිය යුතුය. එවැනි සුද්දවීමක් නිසා දේශපාලනයේ කෙටි කාලීන වශයෙන් ව්‍යාකුලත්වයක් සහ පවත්නා අර්බුදය අලුත් දිසාවකට ගමන් කිරීමක් සිදුවිය හැකිය. එහෙත් එම ව්‍යාකුලත්වය සහ අර්බුදය මැද්දේ තම රාජ්‍ය තාන්ත්‍රිකත්වය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ජනාධිපතිතුමාටද විවෘත වනු ඇත. එහෙත් එම අවස්ථාවෙන් නිසි ලෙස ප්‍රතිඵල ලබාගන්නට නම් තමන් වටා සිටින කිහිප දෙනෙකු අස්කිරීමට එතුමාටද සිදුවෙනු ඇත.■